2022 මැයි 08 වන ඉරිදා

මැතිසබයේ ‘‘සියඹලා වෙන්දේසිය‘‘

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 206

  • හර්තාලයෙන් වැඩ අඩාල වෙයි
  • මුල්ම සුබපැතුම රනිල්ගෙන්
  • අගමැති අස්වෙනතුරු දින ගැන්න කට්ටිය
  • සජබ - ස්වාධීන සාකච්ඡා අර්බුදයක
  • ජනපතිට එරෙහි නොවන බව වාසු - උදය කියති
  • ෆොන්සේකාගේ නම කැපුවේ කවුද
  • පොහොට්ටු මන්ත්‍රි පිරිසක් විපක්ෂයට

තවත් විලම්භීත දේශපාලන සතියක් ගෙවී ගියේය. මහජන දුක් අඳෝනාවන්, කෑ කෝ ගැසීම් දේශපාලනඥයෝ සතයකට මායිම් නොකළෝය. රෙදිපිළි උනා ලූ කළ බිලින්ඳන් සතුටුවන්නා සේ ඔවුහු කෙළිදෙලෙන් පසුවූහ. දේශපාලකයාගේ නිරුවත දුටු පුරවැස්සෝ ජුගුප්සාවෙන් අසරණව ඒ දෙස බලා උන්හ. විසඳුම් නොලැබෙන අර්බුද දහසක් මැද රාජ්‍යය පතුලක් නොපෙනෙන කුහරයක ගිලී යමින් තිබුණි.

පාර්ලිමේන්තු විෂයයේ සංදර්ශනාත්මක දිනය වූයේ ඉකුත් බ්‍රහස්පතින්දා දිනයයි. නියෝජ්‍ය කතානායක තේරීම සඳහා එදින පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් සිදුවිය. මෙම ඡන්දය සම්බන්ධව තිරය පිටුපස කතාවක් දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ අප හට දැන ගැනීමට ලැබුණි. රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉවත් වීමට තීරණය කළේ ශ්‍රීලනිප අණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කිරීමත් සමඟය. පළමුවර ඔහුගේ ඉවත්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාර නොගත්තේය. ඒ අනුව මාසයක පමණ කාලයක් ඔහු නැවත එම ධුරයේ කටයුතු කළේය. එය සිදුවූයේ ශ්‍රීලනිප නායකත්වය සහ පොහොට්ටු නායකත්වය අතර ඇතිවූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසය.

ඉකුත්දා දෙවැනි වර ඔහු නැවත ඉල්ලා අස්වීමට ලිපිය භාරදුන් විට එය ජනපති පිළිගත්තේය. මේ අතර හිස්වන නියෝජ්‍ය කතානායක ධුරය සඳහා ඡන්දයක් විමසීය යුතුව තිබුණි. ඒ අනුව ඊට විවිධ නම් යෝජනා වන්නට විය. නියෝජ්‍ය කතානායක ධුරය ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමට යා යුතු බවක්ද වරෙක කියැවුණි. ඒ අනුව අනුර ප්‍රියදර්ශන යාපා ආදීන්ගේ නම්ද යෝජනා විය. එහෙත් ප්‍රධාන වශයෙන්ම සලකා බැලූ නාමය වූයේ ජගත් පුෂ්පකුමාරයි. ජගත් පුෂ්පකුමාර එම තනතුරට හොඳ නමුත් ඊට වඩාත් සුදුසුම පුද්ගලයා රංජිත් සියඹලාපිටියම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත නැවතත් පවසමින් සිටියේය.

කෙසේ වෙතත් රංජිත් සියඹලාපිටිය  නැවත නියෝජ්‍ය කථානායක ධුරය බාරගැනීම ප්‍රතික්ෂේප කළේය. දේශපාලන කරළියේ පැතිර ගිය ආරංචි අනුව අන්තර්වාර රජයක කැබිනට් අමාත්‍ය ධුරයක් පිළිබඳ බලාපොරොත්තුවක් ඔහු තුළ තිබී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින ආර්ථිකය හැසිරීම පිළිබඳ දැනුම ඇත්තකු ලෙස තමා කැබිනට් අමාත්‍ය ධුරයක් ලැබෙති ඔවුහු සිතා තිබේ. නැවත නියෝජ්‍ය කථානායක ධුරය බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම පිටුපසද මෙම අදහස වූ බව කියවුණි. එසේ නමුත් හදිස්සියේම තමන්ට කැබිනට් අමාත්‍ය ධුරයක් නොලැබෙන බවට යම් සංඥාවක් ඔහුට ලැබී ඇත.

ඒ අනුව නැවත නැවත පැමිණි යෝජනාවට රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතානායක තරගයට ඉදිරිපත් වීමට එකඟ වී ඇතැයි කියවේ. කෙසේ හෝ අවසානයේ ඔහු එක ඡන්ද විමසීමකදී ජය ගත්තේය. පාර්ලිමේන්තුවේ වරුවක් එම ඡන්ද විමසීම වෙනුවෙන් නාස්ති වූ අතර සැබවින්ම අලුත් යමක් එහිදී සිදුනොවුණි.

 පාර්ලිමේන්තුව සංදර්ශන භූමියක් බවට පත්කළ මෙම සිදුවීම බොහෝ දෙනෙක් හාස්‍යයට ලක් කළහ. සියඹලා ඉවත් වී සියඹලාම ගෙන ඒම ලෙස සමාජ මාධ්‍ය එය නම්කොට තිබුණි. නියෝජ්‍ය කතානායක ධුරය සඳහා සමගි ජන බලවේගයද නමක් යෝජනා කළේය. එලෙස යෝජනා වූයේ පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන ඉමිතියාස් බාකීර්  මාකර්ය.

අවසානයේ රංජිත් සියඹලාපිටිය හට ඡන්ද 148 ක්ද ඉමිතියාස් බාකීර් මාකර් මහතාට ඡන්ද 65ක්ද ලැබී තිබුණි. ඒ අනුව වැඩි ඡන්ද 83ක් ලබා රංජිත් සියඹලාපිටිය මහතා නැවත නියෝජ්‍ය කථානායක ධුරයට පත්විය. බෙදීගිය ආණ්ඩුව සියඹලාපිටිය වෙනුවෙන් එකතුවී තිබුණි. මේ තුළද යම් දේශපාලන අරුතක් සැඟව ඇති බව පැහැදිලි විය.

මේ අතර නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතා තේරී පත්ව ඇති බව කතානායකවරයා විසින් ප්‍රකාශ කිරීමත් සමඟ පළමුව ඒ මහතා අසලටම ගොස් සුබපැතුවේ එක්සත් ජාතික පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාය. එයද බොහෝ දෙනකුගේ අවධානය දිනාගත් සිදුවීමකි. රනිල් වික්‍රමසිංහගේ ඡන්දයත් ලැබුණේ සියඹලාපිටියටමදැයි පාර්ලිමේන්තුවේ ඇතැමෙක් ප්‍රශ්න කළහ.

නියෝජ්‍ය කතානායක ධුරය සඳහා වන ඡන්ද විමසීමේදී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවට පැමිණ නොසිටීම සම්බන්ධයෙන් කතාබහක්ද පාර්ලිමේන්තු ලොබියේ සිදුවිය. ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සහ ආණ්ඩුව අතර ඇතැයි කියැවෙන ඇතැම් එකඟකතා පිළිබඳ ඔහු අමනාපයකින් පසුවන බවද කියැවුණි.

මේ ආදී වූ දේශපාලන සංදර්ශන අතරේ කිසිදු දේශපාලනඥයකුට තමන්වහන්සේ බැහැ දැකීම සඳහා අවසර ලබානොදීමට මල්වතු පාර්ශ්වයේ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක හිමියන් තීරණය කර තිබුණි. ත්‍රෛනිකායික මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ පූර්ණ එකඟතාව මත පවතින අර්බුදයෙන් රට මුදවා ගැනීම පිණිස තාවකාලිකව සර්වාපක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම ඉදිරිපත් කළ යෝජනාව ආණ්ඩුව සහ සෙසු පක්ෂ නායකයන් විසින් නොසලකා හැරීම ඊට හේතුව බව කියැවුණි.

මෙම තහනමේ බරපතළ බව පළමුවරට අත්දකින්නට ලැබුණේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාටය. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා සමගි ජනබලවේගය මගින් ඉදිරිපත් කළ යෝජනා ඇතුළත් ලියැවිල්ල මහ නා හිමිවරුන්ට පිළිගැන්වීම සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා මහනුවර ගියේය. එහෙත් ඔහු හමුවීම මහා නාහිමියෝ ප්‍රතික්ෂේප කළහ. ඒ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක්ද පසුගියදා මල්වතු මහ නා හිමියන් බැහැ දැකීමට අවසර ඉල්ලා තිබූ නමුත් මහා නාහිමියන් එම ඉල්ලීමද ප්‍රතික්ෂේප කළහ.

මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම කුමන හෝ මොහොතක සිදුවෙතැයි පිරිසක් දින ගණිමින් සිටියහ. එහෙත් සමගි ජනබලවේගය මැයි 3දා ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනා දෙකක් කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත භාරදීමත් සමඟ තත්ත්වය වෙනස් වුණි. අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහික වගකීමට සහ උත්තර දීමට බැඳී සිටීම පැහැර හැරීම, පාර්ලිමේන්තුව සතු මුදල් බලය ආණ්ඩුව අත්තනෝමතික ලෙස පවරා ගැනීම සහ රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම ආණ්ඩුව පැහැර හැරීම ආදී චෝදනා එම විශ්වාසභංග තුළ අන්තර්ගත විය.

මෙම විශ්වාසභංග භාර දීමට පෙර සමගි ජනබලවේගය සහ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් අතර සාකච්ඡා වට කීපයක් කිහිපයක්ම පවත්වා තිබුණි. විශ්වාසභංගය බාරදුන් දිනයේ පෙරවරුවේදී ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 11 මන්ත්‍රී කණ්ඩායම හා සමගි ජනබලවේගය කටයුතු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නිවෙසේ එම සාකච්ඡාව පවත්වා ඇතැයි දැන ගන්නට ලැබුණි. විශ්වාසභංග භාරදීම පිළිබඳ එකඟතාවක් මෙහිදී ඇති නොවූ බව පක්ෂ එකොළහේ කණ්ඩායමේ ආරංචි මාර්ග ඔස්සේ ආරංචි විය. ඒ අනුව පෙරවරුවේ සාකච්ඡා කොට පස්වරුවේ භාරදුන් මෙම විශ්වාසභංගය පිළිබඳ විවිධ කතා දේශපාලන කරළියේ පැතිර ගියේය.

අග්‍රාමාත්‍යවරයා ඉවත්වීමට සූදානමින් සිටි බවත් එය දැනීමත් සමඟ සජබ කණ්ඩායම හදිසියේම විශ්වාසභංග යෝජනාව භාරදීමට තීරණය කළ බවත් ඒ අනුව කියැවුණි. කෙසේවෙතත් විශ්වාසභංගය භාරදීමත් සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තමා විශ්වාසභංගයට මුහුණ දෙන බව සිය සමීපතමයන් වෙත පවසා ඇත. තමාට විශ්වාසභංග ජයගත හැකි බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබේ.

මේ අතර සමගි ජනබලවේගය සහ පක්ෂ එකොළහේ මන්ත්‍රී කණ්ඩායම අතර පවත්වන සාකච්ඡාද යම් අර්බුදයක් කරා ගමන්කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. විශ්වාසභංගයට සහාය දීමට නම් සමගි ජනබලවේගය අන්තර්වාර සර්වපාක්ෂික ආණ්ඩුවක් තුළට පැමිණීමට එකඟ විය යුතු බව පක්ෂ එකොළහේ කණ්ඩායම පවසමින් සිටිති. එහෙත් සමගි ජනබලවේගය සඳහන් කරන්නේ අන්තර්වාර සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීමට නම් අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා යන දෙදෙනාම ඉවත්විය යුතු බවයි. ඒ අනුව මෙම දෙපිරිස අතර එකඟතාවක් ගොඩනගා ගැනීම අපහසු වී ඇතැයි කියැවේ.

එය තවදුරටත් පැහැදිලි වූයේ වාසුදේව නානායක්කාර විසින් සිදුකරනු ලැබූ ප්‍රකාශයක් හේතුවෙනි. ජනාධිපතිවරයාට එරෙහි කිසිදු යෝජනාවකට තමන් සහාය නොදෙන බව හෙතෙම මාධ්‍යයට ප්‍රකාශ කළේය. ඔහු කියා සිටියේ තමාගේ පක්ෂය නම් කිසිසේත් සහාය නොදෙන බව සහ ඉතිරි පක්ෂ 10ත් සහාය නොදෙන බව තමාට විශ්වාස බවත්ය. එසේම එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ජනාධිපතිවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාවද කිසිදු අර්ථයක් නොමැති යෝජනාවක් බවයි. වාසුදේව හැරුණු විට උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාද මීට සමානව අදහස් දැක්වීමක් කළේය. මේ අතර ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමේ හැකියාව පිළිබඳවද නීති තර්ක ඉදිරිපත් වී තිබුණි.

මේ අතර පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමක් ඉකුත් සතියේ රහස් සාකච්ඡා වට කිහිපයක් සිදුකළහ. අග්‍රාමාත්‍යවරයා ඉවත් වීමට සැලසුම් කරන බව කනවැකුණු ඔවුන් පළමුව සාකච්ඡා කළේ අග්‍රාමාත්‍යවරයා ඉවත් වූවහොත් තම කණ්ඩායම ගතයුතු තීරණය පිළිබඳවයි. මෙතෙක් කල් අග්‍රාමාත්‍යවරයාට ඉවත් නොවන ලෙස බලකරමින් සිටී. ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන ඇතුළු කණ්ඩායම සහ නාමල් රාජපක්ෂද මෙම සාකච්ඡාවට සහභාගි වූ බව දේශපාලන ආරංචි තහවුරු කළේය.
යම් හෙයකින් අග්‍රාමාත්‍යවරයා හදිසි ඉවත්වීමක් සිදුකළහොත් විපක්ෂයට ගොස් ස්වාධීනව අසුන් ගැනීමට මෙම පිරිස එකඟ විය. පක්ෂ එකොළහේ ස්වාධීන වූවන්ට සහ දැනට විපක්ෂයේ ආණ්ඩුවට චෝදනා කරමින් සිටින පිරිසට ආණ්ඩු කරන්නට ඉඩ දී පසෙකට යා යුතු යැයි ඔවුහු කීහ. පසුව ඔවුන්ටද අර්බුදය කළමනාකරණය කර ගැනීමට නොහැකි වූ තැන නැවත බලය ලබා ගැනීමට සටන් කිරීමටද පිරිස එකඟ වී තිබුණි.

අග්‍රාමාත්‍යවරයා ඉවත් නොවීමට තීරණය කළ විට නැවත මෙම පිරිස අතරින් ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකු අගමැති හමුවිය. දේශපාලන ආරංචි මාර්ග අනුව ඔවුන් අග්‍රමාත්‍යවරයාට පවසා ඇත්තේ විශ්වාසභංගයට මුහුණදීම සිදුකළ යුත්තක් බවයි. ආණ්ඩුව මේ වනවිට මුහුණ දෙමින් සිටින අර්බුදයන්ට හේතුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නොවන බව මෙම පිරිස පෙන්වා දී තිබේ. ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණ නිසාවෙන් රට තුළ අර්බුද නිර්මාණය වූ බව මෙම පිරිස පවසා ඇත. ඒ ආණ්ඩුවේ තවත් අභ්‍යන්තරික දේශපාලන භාවිතාවක් පිළිබඳ ව්‍යංගාර්ථ මතුකරමිනි. කෙසේ වෙතත් මෙහිදී විශ්වාසභංගය පරාජය කිරීමට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීමට මෙම පිරිස අග්‍රමාත්‍යවරයාට පොරොන්දු වී ඇතැයිද කියැවේ.

පසුගිය සතියේ මැයි පළමුවැනිදා පක්ෂ කිහිපයක් විසින් කම්කරු දින සැමරුම් සංවිධානය කර තිබුණි. ඒ අතරින් සමගි ජනබලවේගය පාගමන අවසානයේ පැවති කම්කරු දින රුලිය සුවිශේෂී විය. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරින් ප්‍රනාන්දු සහ සරත් ෆොන්සේකා මෙහිදී ප්‍රසිද්ධ ගැටුමකට මැදිවුණි. සමගි ජනබලවේගයේ සභාපතිවරයා ලෙස තමා පක්ෂයේ දෙවැනියා බව පවසන සරත් ෆොන්සේකා මහතාට කථික ලයිස්තුවේ නිසි තැන නොලැබීම මෙම ගැටුමට ඇති වූ බව කියැවුණි.

කථික ලයිස්තුවේ තමා පහළට ඇද දැමුවේ රුස්වීම සංවිධානය කළ හරීන් ප්‍රනාන්දු බව සරත් ෆොන්සේකා මහතා සැකකර තිබේ. කෙසේ වෙතත් එය වෙනත් ජ්‍යෙෂ්ඨයෙකු විසින් සිදුකරනු ලැබූවක් බවක්ද ආරංචි පැතිර යමින් තිබේ. මෙම ගැටුම කැමරා කාචයට හසුවීම සමඟ ඒ සම්බන්ධව මාධ්‍ය විමසුම් කිහිපයක්ම සිදුවුණි. සරත් ෆොන්සේකා මහතා පක්ෂයේ අභ්‍යන්තරයේ පවතින අර්බුදය යම් පමණකට ප්‍රකාශ කළද හරීන් ප්‍රනාන්දු කීවේ සිංහයන් සිටින විට ගෙරවිලි සාමාන්‍ය බවයි. කෙසේ වෙතත් හරීන් සහ ෆොන්සේකා අතර ගැටුම කලක පටන් පවතින බවත් හරීන් ප්‍රනාන්දු ගම්පහට පැමිණීමත් සමග එය උග්‍ර වී ඇති බවත් සජබ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ඉකුත් සතියේ ජාතික ජාතික ජනබලවේගය විසින් සිදුකරනු ලැබූ &රට වනසපු හොරු වළල්ල තොග පිටින් එළියට* මාධ්‍ය සාකච්ඡාවද ඉහළ අවධානයක් දිනා ගත්තේය. දේශපාලඥයන් රාජ්‍ය නිලධාරීන් ව්‍යාපාරිකයන් ඇතුළු වංචා දූෂණවලට සම්බන්ධ යැයි සැක කෙරෙන පිරිසකට අදාළ චෝදනා ලිපිගොනු ලෙස ඔවුන් මාධ්‍ය හමුවේ තැබුවේය. රාජපක්ෂවරුන්ට මෙන්ම රාජපක්ෂ හිතවාදී දේශපාලනඥයන්ට සහ ව්‍යාපාරිකයන්ටද මෙහිදී චෝදනා ඉදිරිපත් කෙරුණි. එසේම යහපාලන රජයට සම්බන්ධ වූ පිරිසකට සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හටද ජාතික ජනබලවේගය වංචා දූෂණ සම්බන්ධ චෝදනා එල්ල කළේය.

මෙම මාධ්‍ය සාකච්ඡාව අතර විශේෂිත සිදුවීමක් සිදුවිය. මෙහි පැමිණි පුද්ගලයකු මෙම ලිපිගොනු තමා විසින් සොයාගත් ඒවා බව පැවසුවේය. අනුර කුමාර දිසානායක මහතාගේ කතාවට බාධා කරමින් ඔහු සිදුකළ ප්‍රකාශය කාගේත් අවධානය දිනා ගත්තේය. ලිපිගොනු හෙළිකිරීම සම්බන්ධ කිසිදු ගෞරවයක් තමන්ට නොලැබුණු බව මෙම පුද්ගලයා කීය. මෙහිදී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඔහුගෙන් විමසා සිටියේ ඔහු මේ පවසන්නේ කවර ලිපිගොනුව පිළිබඳවද යන්නයි. මෙම පුද්ගලයා පිළිබඳ ඇතිවූ ගැටලුව පක්ෂ ක්‍රියාකාරීන් විසින් අවසානයේදී විසඳනු ලැබුවේය.

මේ අතර මෙම මාධ්‍ය සාකච්ඡාවේදී චෝදනාවට ලක් වූ කිහිපදෙනෙකුම සිය නිර්දෝෂීභාවය ප්‍රකාශ කරමින් නිවේදන නිකුත් කොට තිබුණි. අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන අය නීතිමය පියවර ගන්නා බව පවසා තිබූ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා ප්‍රතික්ෂේප කොට තිබුණි. කෙසේ වෙතත් ජාතික ජනබලවේගය පසුව සඳහන් කර සිටියේ අවශ්‍ය ඕනෑම අයකුට නීතිය ඉදිරියට යාමට හැකි බවයි. චෝදනාවට ලක්වූවන් සැබැවින්ම බිය විය යුතු බවත් ඔවුහු කීහ.

මේ අතර ඉකුත් බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පාර්ලිමේන්තුව අසල සුවිසල් විරෝධතාවක් සංවිධානය කළේය. පා ගමනින් පැමිණි ඔවුහු පළමු මාර්ග බාධකය බිඳ දමා දෙවැනි මාර්ග බාධකය බිඳ දැමීමට උත්සාහ ගැනීමේදී කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක්විය. අනතුරුව නැවතත් එම පිරිස පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ ඉදිරිපස කොටස අත්පත් කරගත් අතර රාත්‍රියේදී ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව තවත් විරෝධතා මධ්‍යස්ථානයක් ගොඩනගාගත්හ. එය ඔවුන් හොරු ගෝ ගම ලෙස නම් කළේය. ගෝල්ෆේස් පිටියට පිරිස ආ පරිද්දෙන් මෙම ස්ථානයටද පිරිස රුස්වන බව පෙනී ගියේය.

මේ අතර ඉකුත් බ්‍රහස්පතින්දා 1953 වසරෙන් පසුව මෙරට ක්‍රියාත්මක වූ පළමු දීපව්‍යාප්ත හර්තාලය ක්‍රියාත්මක විය. වෘත්තීය කණ්ඩායම් රැසක් ඊට දායකත්වය සපයා තිබුණි. බොහෝ නගර පාළුවට ගොස් තිබූ අතර ගමනාගමනයද අඩාල විය. හර්තාලය සාමකාමීව පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා පොලීසියද මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට තිබුණි. කෙසේ වෙතත් හර්තාල් විරෝධතා කොතරම් පැවැත්වුණත් පක්ෂ විපක්ෂ පාලකයන් බල දේශපාලන ගැටුම්වල නිරත වෙමින් සිටියහ. ගෑස් ඉන්ධන විදුලි අර්බුද එලෙසම ඉදිරියට ඇදුණි. බඩු මිලද දරාගත නොහැකි ලෙස ඉහළ ගියේය. දේශපාලන සැණකෙළි සංදර්ශන හමුවේ ඒ පිළිබඳ අවධානය ගිලිහෙමින් පැවතුණි.

මේ අනුව ආණ්ඩුව සහ පක්ෂය නියෝජනය කරන නායකයන් මහජන නියෝජිතයන් සියලුදෙනාම මහජන ගැටලු කෙරෙහි සංවේදී නොවන බව මේ අනුව පෙනී යයි. තම තමන්ගේ බල දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ඔවුන් සියල්ලෝම පෙනී සිටිති. එහෙත් අර්බුදය කොතරම් භයානකද යත් මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ ශ්‍රී ලංකා රජය සතුව ඇති විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 50කටත් වඩා අවම බවයි. ඒ අනුව අපහට පැහැදිලි වන්නේ සියලු නිරුවත් දේශපාලකයන් එක්වී මහජනතාව දංගෙඩියට රැගෙන යමින් සිටින බවකි.

 චමිදු නිසල්