2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා

මෛත්‍රීපාලගේ ගෙදර පක්ෂ නායකයෝ 10ක්

 2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 307

  • පාර්ලිමේන්තුවේ තහනම් භාණ්ඩ
  • සජිත්ලාගෙන් අඳුරෙන් එළියට
  • ලියුම ලියා ලන්සා රට යයි?
  • දෙමළ සන්ධානයෙන් කොළඹදී විරෝධයක්
  • හවුල්කාර පක්ෂ ලොක්කන්ගේ විකල්පය ගැන පොහොට්ටුව සීරුවෙන්
  • දිනේෂ්ගෙන් විපක්ෂයට බාල්දියක්
  • මොන්ටිසෝරි වැඩ එපා. විපක්ෂයට උදයගෙන් පිළිතුරු

ගෙවුණු සතියේ දේශපාලන කතාව දිනුම් පැරදුම් ගැටුම් අනවින කොඩිවින සපිරි එකක් වුණි. පාර්ලිමේන්තුවද රැස්වූයෙන් තත්ත්වය තවත් උණුසුම් විය. රහස් සාකච්ඡා පිළිබඳවද තොරතුරු ගලා ආවේය. තෙල් සහ විදුලිය පිළිබඳ තත්ත්වය තවදුරටත් බරපතල විය.

පසුගිය සතියේ කැබිනට් රුස්වීමක් දෙකක් පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළේය. ඒ අනුව සුපුරුදු පරිදි සඳුදා දිනයේදී පළමු කැබිනට් හමුව පැවැත්වුණි. වර්තමාන ආර්ථික අර්බුද සහ ඉන්ධන විදුලි අර්බුද පිළිබඳ මෙහිදී සාකච්ඡා ඇතිවිය. පැය හතරකට අධික කාලයක් මෙම කැබිනට් හමුව පැවැත්වුණි. ආරක්ෂක, අධිකරණ සහ ක්‍රීඩා අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යංශ කිහිපයක් ඉදිරිපත් කළ යෝජනා සඳහා අනුමැතිය ලැබී තිබුණි.

ඒ අනුව සීෂෙල්ස් ජනරජයේ කැඩෙට් නිලධාරීන්ට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට තීරණය කිරීම විශේෂ තීරණයක් වූ අතර මෙරට අධිකරණ පද්ධතිය සඳහා අධිකරණ ස්වයංක්‍රීයකරණ පද්ධතියක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබීමද විශේෂ විය. ස්වයංක්‍රීයකරණ සම්බන්ධ යෝජනාව අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සමඟ එක්ව මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මීට අමතරව අමාත්‍ය නාමල් රාජපක්ෂ කැබිනට්ටුවට ඉදිරිපත් කළ යෝජනා කිහිපයකටම මෙදින අනුමැතිය ලැබීම සුවිශේෂී විය. ක්‍රීඩාවල නිරතවීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ වගන්ති යටතේ ක්‍රීඩා ඇමැතිවරයා සකස් කළ තහනම් උත්තේජක ලයිස්තුවේ නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද මෙහිදී එකඟතා ඇති විය. මීට අමතරව උසස් කාර්යසාධන වැඩසටහන යටතේ තෝරා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් දිරිගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අදාළව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාවකටද කැබිනට් අනුමැතිය ලැබුණි.

මේ අතර පෙබරවාරි 18 වැනිදා පැවැති සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාකච්ඡා වූ පරිදි පසුගිය සතිය තුළ ඔවුන් වඩාත් වෙහෙස වූයේ නව දේශපාලන ව්‍යාපෘති කිහිපයක් සැලසුම් කිරීම වෙනුවෙනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුර සල්ගාදු පිටියේ පැවැත්වූ රුස්වීමට අභියෝග කරමින් පැවැත්වෙන ජන රුලිය මාර්තු දෙවැනි සතිය තුළ පැවැත්වීම වෙනුවෙන් පිරිසක් සැලසුම් සකස් කරන්නට වූහ. ජන රුලියට සෙනඟ රුගෙන ඒම මෙන්ම එම රුලියට ආණ්ඩුවෙන් එල්ලවිය හැකි බාධා පිළිබඳවද ඔවුන් විශේෂ අවධානයක් යොමුකර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේම මෙම රුලියට සමගාමීව පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු ශක්තිමත් කිරීමට අදාළ මේ දිනවල සිදුවෙමින් පවතින දේශපාලන කටයුතු වේගවත් කිරීමට සජබ නායකයන් උත්සාහ කරන බවක් පෙනී ගියේය. පසුගිය සතිය පුරා ග්‍රාමීය මට්ටමින් ශාඛා සමිති හරහා ජනපවුර සහ සදහම් යාත්‍රා නම් වැඩසටහන් සංවිධානය විය. සදහම් යාත්‍රා වැඩසටහන පූර්ණ වශයෙන් තිස්ස අත්තනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කරනු ලැබූ අතර අත්තනායක මහතාට හිතවත් බිම් මට්ටමේ එජාප ක්‍රියාකාරීන් මේ සමගම සජබය සමඟ එකතු කරගැනීම සැලසුම බව සජබ ආරංචි මාර්ග සඳහන් කළේය.

සතියේ විශේෂ කැබිනට් හමුව පැවැතියේ පසුගිය අඟහරුවාදාය. විදුලි කප්පාදුව සහ ඉන්ධන හිඟය පිළිබඳ පමණක් මෙම විශේෂ කැබිනට් හමුවේදී අවධානය යොමුවිය. මහ බැංකු අධිපතිවරයාත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාත් මෙම හමුවට කැඳවා තිබුණි. එම නිලධාරීන්ද මෙහිදී අමාත්‍යවරුන් වෙත කරුණු පැහැදිලි කළ බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. මෙහිදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාද තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමට ඉදිරිපත් විය. මුදල් නොමැතිව මෙය තවදුරටත් සිදුකරගෙන යා නොහැකි බව ඔහු පැවසීය. මේ වනවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන අලෙවියෙන් ලබන අලාභයන් පිළිබඳ සේම රුසියානු යුක්රේන අර්බුදය හේතුවෙන් බොරතෙල් මිල ඉහළ යෑම පිළිබඳවද ගම්මන්පිල මහතා පැහැදිලි කිරීමක් කළේය. සියලු පැහැදිලි කිරීම් අවසානයේ මිල වැඩිකිරීමට අවසර ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

මෙහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ මිල වැඩි කිරීමට අවසර ලබාදිය හැකි බවයි. එහෙත් මිල වැඩිකිරීමත් සමග පෙරළා සහන ලබාදීමට සිදුවන්නේද තමන්ට බව ඔහු කියා සිටියේය. ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග බස් සංගම්, ධීවර සමිති, බේකරිකරුවන් ඇතුළු සියලු පාර්ශ්ව සහන ඉල්ලා සිටින බව බැසිල් රාජපක්ෂ මහතා කීය. මිල වැඩිකිරීම හේතුවෙන් ප්‍රවාහන වියදම් හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන්ද ඉහළ යන බව ඔහු පැහැදිලි කළේය. එමනිසා පාඩුව දරාගෙන පවතින මිල පවත්වාගෙන යාම වඩා යහපත් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසීය.

මේ අතර විදුලිබල මණ්ඩලය විසින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු රුපියල් බිලියන 80ක ණය මුදල ගෙවීමට නව සැලසුමක් යෝජනා විය. එම මුදල මහා භාණ්ඩාගාරය විසින් විදුලිබල මණ්ඩලයට ලබාදී විදුලිබල මණ්ඩලය එය පෙරළා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමටද මෙහිදී අනුමැතිය ලැබුණි.

පසුගිය සතියේ දෙමළ ජාතික සන්ධානය කොළඹදී විරෝධතාවක් පවත්වමින් කාගේත් අවධානය දිනා ගැනීමට සමත්විය. මෙම සිදුවීම සිදුවූයේ ඉකුත් බ්‍රහස්පතින්දා දින පෙරවරුවේය. කලින් වේලාවක් වෙන්කර නොගෙන මෙම දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා මුණගැසීම සඳහා මෙදින ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ අවස්ථාවේදී කාර්යාලයේ රැඳී සිටියේ නැත. ජනාධිපතිවරයා රත්මලාන දුම්රිය අංගනයේ පරීක්ෂාවකට ගොස් සිටියේය.

අනතුරුව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට ගොස් විරෝධතාවක නිරත වූහ. ඔවුන් විරෝධතා පුවරුද රුගෙන විත් තිබුණි. ඒ අනුව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත්තේ කලින් දැනුම්දීමක් නොකොට මෙසේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතා දැක්වීම ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත වැරුදි අවබෝධයක් ලබාදීමට කෙරෙන කුමන්ත්‍රණයක් ලෙස සැලකිය හැකි බවකි.

බ්‍රහස්පතින්දා දින තවත් විශේෂ සිදුවීමක් පාර්ලිමේන්තුවේදී සිදුවිය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා 27/2 වගන්තිය යටතේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය. මෙම වගන්ති යටතේ යොමු කරනුයේ ජාතික වශයෙන් වැදගත් වන ප්‍රශ්නයි. එවන් ප්‍රශ්නයකට කඩිනමින් පිළිතුරු ලබාදීමට වගකිවයුත්තන් බැඳී සිටියි. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා බලශක්ති අර්බුදය විසඳීම සම්බන්ධව උදය ගම්මන්පිල මහතාට ප්‍රශ්නයක් යොමුකර තිබුණි. මෙම ප්‍රශ්නය සමඟම විපක්ෂය තිරය පිටුපස වෙනම සැලසුමක් දියත් කරනු ලැබුවේය. ඊට නම ලැබී තිබුණේ අඳුරෙන් එළියට යනුවෙනි.

ඒ අනුව මෙදින සජබ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පරිශ්‍රයට විදුලි පන්දම් රැගෙන ඒමට කල් ඇතිවම කතිකා කරගෙන සිටියෝය. එහෙත් විදුලි පන්දම් රුගෙන ඔවුන් පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුළු වනවිට පාර්ලිමේන්තුවේ ආරක්ෂාව භාරව සිටි පොලිස් නිලධාරීන්ට ඒවා අසුවිය. යහපාලන ආණ්ඩු සමයේ ඔක්තෝබර් බල පෙරළියේදී ඇතිවූ පාර්ලිමේන්තු ගැටුමෙන් පසු මන්ත්‍රීවරුන් සම්බන්ධ ආරක්ෂක අංශ විශේෂ අවධානයක් යොමුකොට තිබුණෙන් මෙම විදුලි පන්දම් ඔවුනට හසුවිය.
මෙහිදී පාර්ලිමේන්තු පිවිසුමෙන් විදුලි පන්දම් පාර්ලිමේන්තු පරිශ්‍රයට රැගෙන යෑමට අවසර ලබාදිය නොහැකි බව පොලීසිය කීය. එහෙත් දේශපාලන ආරංචි අනුව ඊට එකඟ නොවුණු සජබ මන්ත්‍රීවරු විවිධ තර්ක ඉදිරිපත් කරමින් එම විදුලි පන්දම් පාර්ලිමේන්තු පරිශ්‍රයට රුගෙන ආවෝය.

පාර්ලිමේන්තු තුළ සිදුවන්නට යන දේ නොදත් නමුත් මෙය ආරක්ෂාවට ගැටලුවක් වෙතැයි සිතූ පොලීසිය පාර්ලිමේන්තු පරිපාලනය විපක්ෂ මන්ත්‍රීවරුන් විදුලි පන්දම් රුගෙන ආ බව දැනුවත් කළේය. පැමිණිල්ල ලැබුණේ පාර්ලිමේන්තුවේ වේත්‍රධාරියා ලෙස කටයුතු කරන නිලධාරියාහටය. ඒ වනවිටත් විදුලි පන්දම් පාර්ලිමේන්තු පරිශ්‍රයට රුගෙන විත් තිබුණෙන් ඔහුට කළ හැක්කක් නොමැති විය. පාර්ලිමේන්තු ආරංචි අනුව අනතුරුව එම නිලධාරියා සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාට මේ සම්බන්ධ තොරතුරු වාර්තා කර ඇත.

ලද තොරතුර මත සභාවාරය ආරම්භ වනවාත් සමඟම විශේෂ ප්‍රකාශයක් කිරීමට නැගී සිටි සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ගරු කතානායකතුමනි, විපක්ෂයේ මන්ත්‍රීවරු සභාව තුළට රුගෙන ඒමට අවසර නොහැකි තහනම් භාණ්ඩ වගයක් ගෙනැල්ලා තිබෙනවා. ඒ භාණ්ඩ සභා ගැබෙන් ඉවත් කරන්න කියලා මං ඉල්ලීමක් කරනවා " යනුවෙන් තරමක පැහැදිලි කිරීමක් සිදු කළේය. 

මෙහිදී කතානායකවරයාද මෙම සංවාදයට මැදිවිය. ඔබතුමාට මතක ඇති පක්‍ෂ නායක රුස්වීමේදී ගත්තු තීරණය පක්‍ෂ නායකයෝ තීරණයක් ගත්තා කිසිම මන්ත්‍රීවරයකු අනවශ්‍ය උපකරණ සභාවට ගෙන නොආ යුතු බවට. එය නතර කරන්න පොලීසියට භාර කළා යනුවෙන් පවසන විට පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප‍්‍රනාන්දු මහතා ඊට අපූරු පිළිතුරක් ලබාදුන්නේය. ඔය ප‍්‍රශ්නය ඇති වුණේ මගේ බෑග් එකේ ටෝච් තුනක් තිබුණා කියලයි. මම මේ ටෝච් එක ගහලා තමයි වැසිකිළියට ගියේ. කරන්ට්එක කපයි කියලා. ඒක තමයි මම ටෝච් එකක් අරන් ආවේ.

විරෝධතාව ප්‍රබල වූ අතර විපක්ෂ මන්ත්‍රීවරු විවිධ සටන් පාඨ කියමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කළෝය. ඒ අනුව මන්තී‍්‍රවරු විදුලි පන්දම් දල්වා, ඩොලර් නැති ආණ්ඩුව ෆේල්, මොළ හතම ෆේල්, දැන් ඇති ගෙදර යන්න, දරුවන් අඳුරෙන් එළියට ගන්න, හොඳටම කළා දැන් ඇති, කන්න නැති ආණ්ඩුව ගෙදර යන්න, තුනම ෆේල්, සර් ෆේල් වැනි වැකි සහිත පුවරු ප‍්‍රදර්ශනය කළහ. මේ අතර පිළිතුරු බඳිමින් ආණ්ඩුවේ පිරිසද සටනට අවතීර්ණ වූහ. උදය ගම්මන්පිල මහතා පිළිතුරු බැඳීමට උත්සාහ කර තිබුණි. ඒ අනුව උදය ගම්මන්පිල අමාත්‍යවරයා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙනවිට මතු කරන්නට බලාපොරොත්තුවෙන් සිටි විරෝධතාව විපක්ෂ මන්ත්‍රීහු ක්ෂණිකව මතු කළහ.

විපක්ෂ නායකතුමා කියන්නේ රටේ ප්‍රශ්නවලට මැදිහත් වෙන කෙනෙක්. ඒත් තමුන්නාන්සේ කරන්නේ මොන්ටිසෝරි වැඩ. මොන්ටිසෝරි වැඩ කරන්න එපා. දැන් බලන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමාගේ යෝජනා ඉදිරිපත් කරනවා රට අර්බුදයෙන් ගොඩගන්න. දැන් බලන්න මාත් එක්ක තනිවී වෙලා ඉන්න විපක්ෂයේ තනිවී සිටින චම්පික රණවක මැතිතුමා එතුමත් පුළුවන් විදිහට විකල්ප වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා තිබෙනවා. එතුමා අද තනිවෙලා ඉන්නේ. එහෙම තමා නායකයෝ වැඩ කරන්නේ.

මෙහිදී පාඨලී චම්පික රණවක සමඟ දේශපාලන විරසකයක සිටි උදය ගම්මන්පිල ඔහුව අගය කිරීමද සුවිශේෂීය. කෙසේ හෝ අවසානයේ විරෝධතාව අතරතුර පෙරවරු 11ට පැමිණි කථානායකවරයා සභාව විනාඩි 10කට කල් තබන බව කියමින් සිය අසුනින් නැගිට ගියේය. මෙම සිදුවීම සම්බන්ධව සිකුරාදා වනවිට දැන ගන්නට ලැබුණේ විදුලි පන්දම් රුගෙන ඒම පිළිබඳ කතානායකවරයා හරීන් ප්‍රනාන්දුට එරෙහිව පැමිණිලි කිරීමට සූදානම් වන බවකි.

පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව වෙත විදුලිපන්දම් රුගෙන ඒම සම්බන්ධව ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා කතානායකවරයා වෙත ලිපියක් භාර දීමටද ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීන් පිරිසක් කටයුතු කර තිබුණි. හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන්ට බාධාකර ඇති බවද එම ලිපියේ සඳහන් වේ. ඒ හා සම්බන්ධව පොලිස් නිලධාරීන් සටහන් තබා ඇත. පාර්ලිමේන්තුවට බෝම්බ තැබීමේ උත්සාහයන් සම්බන්ධ ඉතිහාසගත උදාහරණ ඇති බැවින් මෙම සිදුවීම බරපතළ ලෙස සැලකිය යුතු බව මෙම පිරිස කියා සිටිති. එසේ හෙයින් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා මෙම මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ඔවුන් මෙම ලිපිය හරහා ඉල්ලා ඇත.

මේ අතර ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂ හා සංවිධාන 10ක නායකයන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් පසුගිය බදාදා පස්වරුවේ පැවැත්වුණි. එහි විශේෂත්වය වූයේ මෙම සාකච්ඡාව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී පැවැත්වීමයි. හවුල්කාර පක්ෂ සන්ධානයේ පක්ෂ 11ක නායකයන් අතරින් අතාවුල්ලා මහතා හැරෙන්නට අනෙක් සියල්ලෝම මෙහි සිටියහ. මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

මාර්තු 2 වැනිදා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් ඉදිරිපත් කිරීමට නියමිත රට ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා වන විකල්ප වැඩපිළිවෙළ* පිළිබඳ මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කිරීම සහ ඊට ශ්‍රීලනිප සහයෝගය ලබාගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ වූයේය. වැඩපිළිවෙළ ඩිව් ගුණසේකර මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැහැදිලි කළේය. ඩොලර්, විදුලි, ඉන්ධන ඇතුළු සියලු ආර්ථික අර්බුදයන්ට මේ හරහා ඔවුන් විසඳුම් ඉදිරිපත් කර තිබුණි. මෙම වැඩපිළිවෙළ තලවතුගොඩ මොනාක් හෝටලයේදී මාර්තු දෙවැනිදා එළිදැක්වීමට තීරණ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ සඳහා තමාට ආරාධනා කිරීම සම්බන්ධව ස්තුතිවන්ත වූ මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට මේ සම්බන්ධයෙන් තනිව තීරණයක් ගැනීමට නොහැකි බව කීවේය. බ්‍රහස්පතින්දා දින ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම රුස්වන බවත් එම පිරිස මේ සම්බන්ධව දැනුවත් කළයුතු බවත් පැවසූ හෙතෙම එම දැනුවත් කිරීම සඳහා විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන්ට ආරාධනා කළේය. ඒ අනුව බ්‍රහස්පතින්දා පස්වරුවේ මෙම ඇමතිවරු දෙදෙනා සිය වැඩපිළිවෙළ සම්බන්ධව පැහැදිලි කිරීමට ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානය පැමිණියහ.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව දුමින්ද දිසානායක සහ නිමල් සිරිපාල ද සිල්වා යන ශ්‍රීලනිප ප්‍රබලයන් අදාළ යෝජනා සම්බන්ධයෙන් පසුව සලකා බැලීමට බලාපොරොත්තු වන බව පවසා තිබේ. කෙසේ වෙතත් මාර්තු 2 වැනිදා යෝජනා සම්බන්ධයෙන් මෙන්ම ආණ්ඩුව අභ්‍යන්තරයේ සිදුවෙමින් පවතින මෙම කටයුතු පිළිබඳවද පොහොට්ටු නායකත්වය විශේෂ අවධානයකින් පසුවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර පසුගිය සති කිහිප තුළ නිරන්තර දේශපාලන කරළියේ  අවධානය දිනාගෙන සිටි නිමල් ලන්සා මහතා පිළිබඳවද තොරතුරු වාර්තා වන්නට විය. ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිටු තුනක ලිපියක් යොමු කිරීමට පසුගිය සතියේ කටයුතු කර තිබුණි. එම ලිපිය සම්බන්ධ කිසිවක් තමා පාර්ලිමේන්තුවේ නොපවසන බවද ලංසා මහතා පාර්ලිමේන්තුවේ සිදුකළ විශේෂ ප්‍රකාශය අතරේ කියවුණි. නිමල් ලන්සාගේ පාර්ලිමේන්තු  ප්‍රකාශයට ලැබුණේ ඉහළ අවධානයකි.  නිමල් ලන්සා සහ සනත් නිශාන්ත යන රාජ්‍ය අමාත්‍යවරුන් අතර පසුගියදා ඇතිවූ උණුසුම් වචන හුවමාරුව ඊට හේතුවිය. ඒ අනුව නිමල් ලන්සා මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ තමන්ට එල්ල කරන ප්‍රහාරවල ප්‍රති ප්‍රහාර දරුණු විය හැකි බවයි. එසේම පසුව එම කතාවේ ඇතුළත් කරුණු පදනම් කරගනිමින් තමන්ට චෝදනා එල්ල වූ ඔක්සිජන් සිද්ධිය නිර්මාණය කළේ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පෙරළා චෝදනා කළේය.

දේශපාලන ආරංචි මාර්ග අනුව ලිපිය සම්බන්ධ තවත් තොරතුරු කිහිපයක් දැනගන්නට ලැබුණි. රාජ්‍ය අමාත්‍ය ලේකම්වරයා සම්බන්ධ ඇතිවූ ගැටලුද මහාමාර්ග අමාත්‍යාංශයෙන් සිදුවූ අකටයුතුකම්ද ග්‍රාමීය මාර්ග සංවර්ධනයට අයවැයෙන් වෙන්වූ මුදල් නිසි පරිදි ලබාදීමට නිලධාරීන් කටයුතු නොකිරීම සම්බන්ධවද ඔහු මෙම ලිපියේ සඳහන් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනුව කියැවුණි. මේ අතර ඇතැම් නිලධාරීන් පැමිණ රාජ්‍ය අමාත්‍යාංශයේ මුදල් සම්බන්ධ ගැටලුවලදී මහාමාර්ග අමාත්‍යාංශය සම්බන්ධව ප්‍රශ්න නොකරන ලෙස නිමල් ලංසා රාජ්‍ය අමාත්‍යවරයාට පවසා ඇතැයි කියැවේ. එම නිසාම මෙම ලිපියේ මහාමාර්ග අමාත්‍යාංශය සම්බන්ධ ප්‍රබල විවේචන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ අතර ඉකුත් සතියේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සිය හිතවතකු වන නිමල් ලන්සා තමා හමුවට කැඳවා තිබුණි. ඔයාට මහා මාර්ග අමාත්‍යංශයෙ වැඩ කරන්න බැරි නම්, මම මුදල් රාජ්‍ය ඇමැති කම දෙන්නම්* යනුවෙන් පවසා ඇත. එහෙත් දුප්පත් මිනිසුන්ට උදව් කරන්න පුළුවන් මෙම අමාත්‍යාංශයෙන් බව ලන්සා මහතා බැසිල් රාජපක්ෂ මහතා පෙන්වාදී තිබේ. තමාගේ ලිපියට අනුව ජනාධිපතිවරයා ලේකම්වරයාව ඉවත් කරනු ඇති බවට ඔහු විශ්වාසය පළකර තිබේ. කෙසේ වෙතත් තමන්ට නිදහසේ රාජකාරි කිරීමට අවශ්‍ය බව බැසිල් රාජපක්ෂ මහතා හට නිමල් ලන්සා පවසා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මට නිදහසේ බලයක් ඇතුව වැඩ කරන්න තියෙන්න ඕනෑ. මේ කටයුතු ඉවර වෙනකම් මම විදේශගත වෙනවා* යනු පැවසූ අමාත්‍ය නිමල් ලන්සා ඩුබායි බලා පිටත්වීමට සූදානම් විය.

 චමිදු නිසල්