2022 ජනවාරි 22 වන සෙනසුරාදා

ශ්‍රීලනිපය තීන්දුව වැට උඩ!

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 342

  • සජිත්ගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක්
  • මන්ත්‍රීවරුන්ගේ පුස්තකාල වැඩ කථානායකගේ විවේචනයට
  • වෙළෙඳ ඇමැති පාකිස්තානයේ සංචාරයක
  • නිමල් සිරිපාල පොර ටෝක් කතාව කිව්වේ කාටද?
  • රන්ජන්ගේ නිදහසට සජබෙන් උද්ඝෝෂණ
  • නව ජනපති ලේකම් වැඩ බාරගනියි
  • කරූ ජයසූරිය හෙළිකළ රහස
  • චන්ද්‍රිකා හදිසියේම මෛත්‍රීපාලට බැට දෙයි

 

 

 

 

 

 

2022 වසරේ දේශපාලන කටයුතු නිල වශයෙන් ආරම්භ වූ කාර්යබහුල දේශපාලන සතියක් ගෙවී ගියේය. ඉකුත් වසරේ වාර අවසාන කළ පාර්ලිමේන්තුවේ නව සභාවාරය පසුගිය සතියේ ආරම්භ වූ අතර විදෙස් ගතවූ මෙන්ම ගම් දනව් බලා පිටත්ව ගොස් සිටි මැති ඇමැතිවරු කොළඹට සේන්දු වූහ. බඩු මිල, ඉන්ධන විදුලිය ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි වූ අර්බුද දේශපාලන කරළියේ ප්‍රමුඛ මාතෘකා විය. සමස්තයක් ලෙස මෙරට දේශපාලන පොර පිටිය 2022 නිමිත්තෙන් උණුසුම් වෙමින් තිබුණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 9 වැනි පාර්ලිමේන්තුවේ 02 වැනි සැසිවාරයේ සමාරම්භක කටයුතු සඳහා පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය. පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් විසින් පිළිගනු ලබුණි. පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීමේදී වෙනදාට පවත්වන රාජ්‍ය උත්සවය සරලව පවත්වන ලෙස ජනපතිවරයා කල් ඇතිව නියෝග කොට තිබුණෙන් ආචාර පෙළපාලි, අශ්වාරෝහකයන් හෝ පෙර ගමන් රථ මෙදින දැකගන්නට නොලැබුණි. ඒ අනුව සාම්ප්‍රදායිකව සිදුකෙරෙන කටයුතුවලට පමණක් මූලිකත්වය ලබාදෙමින් ජනපතිගේ ප්‍රධානත්වයෙන් නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ විය.

ඉදිරි වසර සඳහා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම හෙවත් ජනපතිගේ රාජාසන කතාව වෙත දේශපාලන කරළියේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවිය. රට තුළ පවතින වර්තමාන ආර්ථික සාමාජීය ගැටලු පිළිබඳ අවධානය යොමු කරමින් ජනපතිවරයා පැයකට ආසන්න කාලයක් පාර්ලිමේන්තුව ඇමතූ අතර රට මුහුණ දී සිටින අභියෝගය ජයගැනීමට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් ආණ්ඩු පක්ෂ, විපක්ෂ සියලුදෙනා එක්වන්නැයි ඉල්ලා සිටියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජාසන කතාව සිදුකරද්දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් පාර්ලිමේන්තු සභා ගර්භයේ නොසිටියහ. අලි සබ්‍රි, විජේදාස රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ කිහිපදෙනෙක්ද සභාවේ නොසිටියහ. මේ අතර පාර්ලිමේන්තු කටයුතු අවසානයේදී රාජාසන කතාවෙන් පසු ජනාධිපතිවරයා සාම්ප්‍රදායිකව ලබාදෙන තේ පැන් සංග්‍රහය පාර්ලිමේන්තු භෝජනාගාරයේදී පැවැත්වුණි. පෙර දිනයේදීම මෙම තේ පැන් සංග්‍රහය වර්ජනය කිරීමට සජබ මන්ත්‍රී කණ්ඩායම තීරණය කොට තිබුණි. ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානයද මෙම තේ පැන් සංග්‍රහය වර්ජනය කළෝය.

දේශපාලන ආරංචි මාර්ග අනුව කියැවුණේ සජබ මන්ත්‍රී කණ්ඩායම තේපැන් සංග්‍රහය වර්ජනය කළද සමගි ජනබලවේගය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සහ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මෙම තේ පැන් සංග්‍රහයට එක්වූ බවකි. ජනපති සමඟ සංවාදයට නොගියද මෙහි පැමිණි කුමාර වෙල්ගම මහතා දයාසිරි ජයසේකර ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සමඟ කතාබහ කරමින් සිටි බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. එහෙත් මෙම තේ පැන් සංග්‍රහයට කුමාර වෙල්ගම මහතා සහභාගී නොවූ බවත් ඉරාන් වික්‍රමරත්න මෙම ස්ථානයට පැමිණ තිබුණේ තානාපතිවරුන් හමුවීමට බවත් එජාප ප්‍රකාශකයකු මාධ්‍ය වෙත පවසා තිබුණි.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම තේ පැන් සංග්‍රහය අතර ආණ්ඩුවේ බොහෝ මැති ඇමැතිවරුන් සමඟ සුහදව කතාබහ කරමින් සිටියේය. තානාපතිවරු සහ මහ කොමසාරිස්වරුද ජනපති සමඟ සුහද සංවාදයට එක්වූ අතර ආරක්ෂක අංශ ප්‍රධානීහුද මෙම අවස්ථාවට සහභාගීව සිටියහ. පසුගිය දිනවල දිගින් දිගටම ආණ්ඩුව විවේචනය කරමින් සිටි දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයාද ජනපති සමඟ කතාබහ කරන දසුනක් දක්නට ලැබුණි. එසේම හිටපු කථානායක කරු ජයසූරිය මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බොහෝ වේලාවක් කතාබහ කරමින් අයුරුද මෙහිදී දැක ගත හැකිවිය.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධව පැවැති දෙදින කල්තැබීමේ විවාදය අතරතුර වසරේ පළමු වැනි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණි. මෙම රුස්වීමට සහභාගී නොවූ චරිතයක් පිළිබඳ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතර යම් කසුකුසුවක් නිර්මාණය වූ බවද පෙනී ගියේය. සුපුරුදු පරිදි එම චරිතය වූයේ මේ දිනවල පුවත් මවමින් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබුණු පරිදි කණ්ඩායම් රුස්වීම පැවැත්වෙන අතරතුර මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු සභා ගර්භයේ රුඳී සිට ඇත. එමනිසාම ඔහු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව හිතාමතා මඟහැර ඇති බව පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් පවසති. එසේම ඒ හා සම්බන්ධ සැක සංකා පළ කරන්නෝද වෙති.

මෙම සැකය තවදුරටත් වැඩිදියුණු කරන සිදුවීම් කිහිපයක් පසුගිය සතියේ සිදුවිය. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැෆරල් සංවිධානය මගින් සංවිධානය කොට තිබූ &වෙනසකට මඟක්” නම් සම්මන්ත්‍රණය අතුරතුර විශේෂ යමක් සිදුවිය. මෙම උත්සව අවස්ථාවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට මෙන්ම හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද ආරාධනා ලැබී තිබුණි. ඒ අනුව මෙම උත්සවය අතරතුරදී සජිත් ප්‍රේමදාස මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සුහද සංවාදයක් ඇති විය. කෙසේ වෙතත් මෙම අවස්ථාවට තවත් පක්ෂ බොහෝමයක නියෝජිතයෝ සම්බන්ධ වූහ. එහෙත් පවතින වාතාවරණය මත පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ මෙන්ම මාධ්‍යයේද විශේෂ අවධානයක් මෙම හමුව වෙත යොමුව තිබුණි.

මේ අතර පසුගිය සතිය මුලදී ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවද රුස්ව වූ බව කියැවුණි. ඒ අනුව ඉදිරියේදී පවත්වනු ලබන ඕනෑම මැතිවරණයකදී වෙනමම සන්ධානයක් ලෙස තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. මේ අතර පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් පක්ෂයේ නියෝජිතයන් අතර පවත්වා ඇතැයිද තොරතුරු වාර්තා වෙමින් තිබුණි. ඒ හා සම්බන්ධව ගනු ලැබූ තීරණය ඉදිරියේදී පාර්ලිමේන්තුව වෙත දැනුම් දීමට නියමිත බවටද කතාවක් පැතිර ගියේය.

එම ආරංචි මාර්ග තහවුරු කර ගැනීමට නොහැකි වූ නමුත් අදාළ තොරතුරුවලට අනුව කියැවුණේ ඇමති ධූර නොදරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළදී ස්වාධීනව කටයුතු කිරීමට සූදානම් වන බවකි. අමාත්‍ය ධුර අත්හැරීම පිළිබඳ සංවාදයක් ඇතිව ඇතත් ඒ පිළිබඳ අවසන් එකඟතාවයක් මේතාක් නිර්මාණය වී නොමැති බවද කියැවේ. තනතුරු අත්හැරීමට අකමැති පිරිසක් සම්බන්ධවද ඒ අනුව කියවේ.

පසුගියදා ශ්‍රීලනිප උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිදුකළ ප්‍රකාශයක් බොහෝ දෙනකුගේ අවධානයට යොමු විය. ඒ හරහා පළමුවරට ශ්‍රීලනිප අභ්‍යන්තරය තුළ වන මත ගැටුම පිළිබඳ ඉඟියක් කරළියට රුගෙන ආවේය.

ආණ්ඩුව වැරදි ගමන් මාර්ගයක යනවා නම් අපේ කාර්යය විය යුත්තේ එය නිවැරදි කිරීමයි. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කර ගැනීමේ වැඩපිළිවෙළක් අපි ගෙනියන්න ඕනෑ. මේ ආණ්ඩුවේ වැරදි හින්දා ඔක්කොම අය අපිට කතිරේ ගහයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. ඒකට අපි හොඳ වැඩපිළිවෙළක් මේ රටේ ජනතාවට ලබාදෙන්න ඕනේ. එතකොට තමයි ආකර්ෂණය වෙන්නේ. පොර ටෝක් දුන්න කියලා මිනිස්සු ඡන්දය දෙන්නේ නෑ. ඒ නිසා අපිට මේ අවස්ථාවේදී ආණ්ඩු බලය ගන්නවත් පෙරලන්නවත් අවශ්‍යතාවයක් නැහැ.

පසුගිය සතියේ සමගි ජනබලවේගය සිරගතව සිටින රන්ජන් රාමනායක නිදහස් කරගැනීම වෙනුවෙන් නව වැඩපිළිවෙළක් ආරම්භ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් රන්ජන් රාමනායක නිදහස් කර ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව හෙළිදරව් කළේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසිනි. එසේම සජිත් ප්‍රේමදාස මහතා පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී රන්ජන් රාමනායක පිළිබඳව සඳහනක් කරමින් පවසා සිටියේ රංජන් හට වහා පූර්ණ නිදහසක් ලබාදෙන ලෙස තමන් ඊයේ දිනයේදීත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි. කෙසේ වෙතත් සමගි ජනබලවේගයේ ආරංචි මාර්ග පවසන පරිදි ඉදිරි දින කිහිපය තුළදී රන්ජන් රාමනායක නිදහස් කර ගැනීම වෙනුවෙන් දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් රටපුරා සංවිධානය වනු ඇත.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධ කල්තැබීමේ විවාදය ජනවාරි 19 සහ 20 යන දෙදින පුරා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි. නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගුණාත්මකභාවය සහ දැනුම සම්බන්ධ එහිදී විශේෂ හෙළිදරව්වක් කතානායකවරයා විසින් සිදුකරන ලදී. 2021 වසර තුළ මන්ත්‍රීවරයන් විසින් පාර්ලිමේන්තු පුස්තකාලයෙන් ලබාගෙන ඇත්තේ පොත් 330ක් පමණක් බව හෙතෙම පැවසීය.

පුස්තකාලයෙන් මන්ත්‍රීවරු ලබාගත් පොත්වලින් 94ක් දේශපාලන විද්‍යාව සහ 27ක් සමාජ විද්‍යාව පිළිබඳය. එසේම ආර්ථික විද්‍යාව පිළිබඳ පොත් 11ක්, විද්‍යාව පිළිබඳ පොත් 5ක්, නීති පොත් 4ක්, තාක්ෂණය පිළිබඳ පොත් 3ක්, අධ්‍යාපන ග්‍රන්ථ 1ක් සහ සිංහල සාහිත්‍ය ග්‍රන්ථ 1ක් වශයෙන් මන්ත්‍රීවරු ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ. මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තුවකට මෙය යහපත් නොවන තත්ත්වයකි.

සූදානමක් හා විෂය කරුණු පිළිබඳ දැනුමක් නොමැතිකම නිසා අපහාස, බොරු චෝදනා, පාර්ලිමේන්තු නොගැලපෙන භාෂාව විවාදයන් තුළ භාවිත වීම සහ බොහෝ ප්‍රකාශ රජයට මඟ පෙන්වීමට වෙනුවට දේශපාලන වාසියක් ලබා ගැනීමට භාවිත කිරීම මේ නිසා දක්නට ලැබේ. මෙම තත්ත්වය අවසානයේ ලැජ්ජා සහගත පාර්ලිමේන්තු විරෝධී හැසිරීමක් දක්වා වර්ධනය වීමට හේතුවී තිබේ.

රාජාසන කතාව සම්බන්ධව පැවැති කල්තැබීමේ විවාදයේදී  විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුව දැඩිව විවේචනය කළේය. වත්මන් ජනපතිවරයා ජනාධිපතිවරණයේදී රටට ජනතාවට සෞභාග්‍යලන්තය උරුම කරදෙන බවට පොරොන්දු වී අද ජනතාවට උරුම කර දී තිබෙන්නේ වෙන්දේසිලන්තයක් බව ඔහු කීය. වර්තමාන ආණ්ඩුව යටතේ රට ලෝක භූ දේශපාලනයේ ගොදුරක් බවට පත්ව ඇතැයිද පැවසූ විපක්ෂනායකවරයා ආණ්ඩුව රට පුරාවටම තිබෙන ජාතික සම්පත්, ජාතික දේපළ, මහජන සම්පත්, මහජන දේපල කුණු කොල්ලයට විදේශිකයන්ට විකුණා අද ලොව වටා ඩොලර් හිඟමනේ යන බවද පැවසීය.

පසුගිය සතියේ බොහෝ දෙනකුගේ අවධානය දිනාගත් සිදුවීමක් වූයේ නව ජනාධිපති ලේකම්වරයා ලෙස හිටපු අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා වැඩ බාර ගැනීමයි. ජනාධිපති ලේකම්වරයාගේ වැඩ බාරගැනීමේ උත්සවය ඉතා චාම් ලෙස පැවැත්වීමට ගාමිණී සෙනරත් මහතාට අවැසි වී තිබුණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිප දෙනකුගේ සහභාගීත්වයෙන් එය පැවැත්වීමට සැලසුම් සකස් විය. පූජ්‍ය පක්ෂයට පවා ආරාධනා නොකළ ගාමිණී සෙනරත් මහතා ජනපති හමුවේ කියා සිටියේ අදාළ ආගමික කටයුතු වැඩ බාරගැනීමෙන් පසුව විහාරස්ථානයකට ගොස් තමන් විසින් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි. 

එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ භික්ෂූන් වහන්සේ කිහිප නමක් වඩමවා මෙම අවස්ථාවට ආශිර්වාද ලබාගැනීම සුදුසු බවයි. ඒ අනුව ජනාධිපතිවරයා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා කොළඹ අවට විහාරස්ථානවල හිතවත් භික්ෂූන් වහන්සේලා කිහිප නමකට ආරාධනා කොට තිබුණි. සංඝරත්නයේ ආශිර්වාද මැද ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් මහතා වැඩ බාරගැනීම සිදුවිය. එම කෙටි උත්සවයෙන් අනතුරුව මෙරට සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් කැඳවා සාකච්ඡාවක් පැවැත්වීමට ද ජනපති කටයුතු සූදානම් කොට තිබුණි. ජනාධිපති ලේකම්වරයා සමඟ එක්වී අමාත්‍යංශ ලේකම්වරුන් හට සංවර්ධනය සඳහා දායක විය යුතු ආකාරය සම්බන්ධව ජනපති විසින් මාර්ග සැලසුමක් සකසා එහිදී ඉදිරිපත් කරන ලදී. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද සහභාගි වූ අතර ඔහු සිය හිතවතුන් හට සමු දුන්නේය. 

පොදුජන පෙරමුණු පාලක ලේකම් රේණුක පෙරේරා මහතා ලිට්රෝ සභාපති ලෙස පත්කොට පැයක් ඇතුළත නැවත ඉවත් කිරීමේ කතාවේ දිගුවක් ගෙවුණු සතියේ දී විකාශය විය. මෙම සිදුවීම සම්බන්ධව පොදුජන පෙරමුණු නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ බොහෝ දෙනෙක් කලකිරීමට පත්ව සිටියෝය. මීට ඉහත දී ස්වාධීන රෑපවාහිනී ආයතනයට සහ ප්‍රවාහන කොමිසමට රේණුක පෙරේරා මහතා පත් කිරීමට තිබූ සැලසුම් ද මෙලෙස ව්‍යාර්ථ වී තිබුණෙන් ඔහුට අසාධාරණයක් වී ඇති බව ඔවුහු කීහ. ලිට්රෝ සිදුවීම සහ අදාළ පත් කිරීම සම්බන්ධව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනපතිට කිසිවක් නොපවසා පසෙකට වී සිටි බව දේශපාලන ආරංචි මාර්ග අනුව කියැවුණි.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද රේණුක පෙරේරාට යම් සාධාරණයක් ඉටුවිය යුතු බව විශ්වාස කළේය. ඒ අනුව ජනපතිවරයා රේණුක පෙරේරා අමතා කියා තිබුණේ මිල්කෝ ආයතනයේ පුරප්පාඩුවක් පවතින බවත් එය බාරගැනීමට සූදානම් වන ලෙසත්ය. මිල්කෝ සභාපති ලසන්ත වික්‍රමසිංහ, ලංකා පොහොර සමාගමේ සභාපති ධුරයට පත් කිරීමට ජනපති සූදානම් වී සිටියේය. කෙසේ වෙතත් මුලදී රේණුක පෙරේරා මෙම නව තනතුර බාරගැනීමට අකැමැති වූයේ මෙම ක්ෂේත්‍රය පිළිබඳ තාක්ෂණික දැනුමක් තමන්ට නොමැති බව පවසමිනි. අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පොදුජන පෙරමුණු ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මෙම තනතුර බාරගන්නා ලෙස රේණුකගෙන් ඉල්ලා සිටියහ.

එවර ද ඔහු එම තනතුර බාරගැනීම ප්‍රතික්ෂේප කර තිබූ අතර ජනපති ඒ වෙනුවෙන් යෝජනාවක් ඉදිරිපත් කළ බව දැනගන්නට ලැබුණේ දේශපාලන ආරංචි අනුවය. "නෑ.. ඔයා කැමති ආයතන පහක් මට නම් කරල කියන්න. මම ඉන් එකක් ඔයාට පවරන්නම්" යනුවෙන් ජනාධිපතිවරයා රේණුකට පවසා ඇතැයි කියැවේ. එවර රේණුක පෙරේරා මිල්කෝ ආයතනය බාරගැනීමට එකඟ වී ඇත. "ඉන්න කට්ටිය එළවලා මම එන එක හොඳ නෑ සර්. ඒ නිසා මම ඒක බාරගන්නම්" යනුවෙන් අවසානයේ ඔහු පවසා ඇතැයි ද කියැවේ. පසුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතින් රේණුක පෙරේරා සිය පත්වීමේ ලිපිය බාරගත් අතර ඉකුත් බ්‍රහස්පතින්දා ආයතනයේ වැඩ බාරගැනීම ද සිදු විය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය සතියේ දේශපාලන කරළියේ ප්‍රමුඛ මාතෘකාවක් බවට පත්වූ අතර හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ප්‍රකාශයක් ද දේශපාලන කරළිය උණුසුම් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකතුවීමේ වරදට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂයෙන් පන්නා දැමිය යුතු බව ඇය කීවාය. මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන දෙදෙනාම තමා හැදූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ බව ද ඇය සඳහන් කළාය. පොදුජන පෙරමුණ සමඟ කිසිවිටකත් එකතු නොවන්නැයි තමා වසර දෙකක් තිස්සේ කළ ඉල්ලීමට මෛත්‍රීපාල සිරිසේන ඇහුම්කන් නොදුන් බවද බණ්ඩාරනායක මහත්මිය මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මේ අතර යූටියුබ් සංවාදයකට සහභාගි වූ හිටපු කථානායක කරෑ ජයසූරිය මහතා  යහපාලන ආණ්ඩු සමයේ පාර්ලිමේන්තුවේ සිදුවූ දෑ පිළිබඳ  විශේෂ හෙළිදරව්වක් සිදු කළේය. 2018 වසරේ කුමන්ත්‍රණ ආණ්ඩු අවස්ථාවේදී පාර්ලිමේන්තුව තුළ සිදු වූ පහරදීම්, නොසන්සුන් තත්ත්වයන් සම්බන්ධයෙන් නිවැරදි විමර්ශනයක් සිදු කිරීමට අවස්ථාව නොලැබුණු බව පවසා සිටි හෙතෙම විමර්ශන නතර කිරීමට හේතුවූවන් පිළිබඳ හෙළිදරව් කළේය. ඒ අනුව එම විමර්ශන නතර කිරීමට සිදුවූයේ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බලපෑම් මත බව ජයසූරිය මහතා පවසා තිබුණි. මෙදින පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන්තාවය අතරමැද තමාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා කුමන්ත්‍රණයක් දියත් වූ බවක් ද ඔහු වැඩිදුරටත් හෙළි කර ඇත. කෙසේ වෙතත් මෙම ප්‍රකාශය සම්බන්ධ වූ කිසිදු පාර්ශ්වයක් මේ දක්වා ප්‍රතිචාර දක්වා නොමැත.

මේ අතර ඉකුත් සතියේදී පාකිස්ථාන රජයේ ආරාධනය පරිදි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාකිස්ථානු නිල සංචාරයක නිරත විය. වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට මෙම ආරාධනාව ලැබී ඇත්තේ පාකිස්ථානු වාණිජ අමාත්‍ය අබ්දුල් රසාක් ඩාවුඩ් මහතා මෙරට සිදු කළ සංචාරය අතරතුරදීය. මෙම සංචාරයට කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු විදේශ අමාත්‍යංශ නියෝජිතයන් පිරිසක් ද, වෙළෙඳ අමාත්‍යංශ නියෝජිතයන් පිරිසක් හා මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් ද එක් වූහ.

දෙරට අතර වෙළෙඳ සහයෝගීතා තවදුරටත් වර්ධනය කර ගැනීම මෙම සංචාරයේ දී සිදුවන අතර ඉස්ලාමාබාද් නුවර දී එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සමඟ ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වේ. මෙම සංචාරය අතරතුරදී බන්දුල ගුණවර්ධන මහතා පාකිස්ථානු වාණිජ අමාත්‍ය අබ්දුල් රසාක් ඩාවුඩ් මහතා සහ විදේශ අමාත්‍යවරයා ද හමුවීමට නියමිතය. මෙම සාකච්ඡාවලදී මෙරට අපනයන ක්ෂේත්‍රය සඳහා වැඩි ඉඩකඩක් පාකිස්ථාන වෙළෙඳපොළ තුළ ඇතිකර ගැනීමටත්, ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා පිළිබඳව නව ප්‍රවණතා ඇතිකර ගැනීමටත් අරමුණු කෙරේ.

චමිදු නිසල්