2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

ශ්‍රීලනිපය ඇවිස්සූ ජනපතිගේ සැර කතාව

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 536

  • මැතිසබයේදි දයාසිරිගෙන් මොණර උපමාවක්
  • මහින්දානන්ද පාස්කු ප්‍රහාරය මතක් කරයි
  • අයවැය ඡන්දයට ආණ්ඩුවෙන් 6ක් ඇබ්සන්ට්
  • ජවිපෙ දිස්ත්‍රික් 03කට ගමෙන් පටන්ගමු ගෙන යයි
  • මංගල සමරවීරගේ තෙමස් සැමරුම ඉහළින්
  • තමන් කළුගංතොට සිංහයා වූ හැටි වෙල්ගම කියයි
  • තිස්ස කුට්ටිආරච්චි සමඟ සජබ මන්ත්‍රීවරු ගැටුමක

ගෙවී ගියේ තවත් උණුසුම් දේශපාලන සතියකි. පක්ෂ විපක්ෂ අභ්‍යන්තර අර්බුද සජීවීව පැවතුණි. පාර්ලිමේන්තුව අයවැය විවාදයෙන් නිතරන්තර උණුසුම් විය. විරෝධතා රුල්ලද නොනැවතී ඉදිරියට ඇදුණි. පාස්කුවේ අඳුරු මතකය නැවත නැවත සිහි ගන්වමින් සතිය පුරා සිදු වූ වාදවිවාද රුසකි. සැබැවින්ම මෝදු වී තිබුණේ දේශපාලන මන්දාරමකි.

ඉකුත් බ්‍රහස්පතින්දා “කල්‍යාණි රන් පිවිසුම” ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති උත්සවය ඇමතූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ස්වරය උණුසුම් විය. ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, පසුගිය රජය රටේ ජාතික ආරක්ෂාව කෙරෙහි කිසිදු ප්‍රමුඛත්වයක් නොදී රට පාලනය කිරීම නිසා පාස්කු ඉරිදා සිද්ධිය සිදුවූ බවයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට, පැවති රජය පත්කළ ජනාධිපති කොමිසම මගින් හිටපු ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය ඇතුළු ආණ්ඩුව ප්‍රහාරයට වගකිව යුතු බවට නිර්දේශ කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා කියා සිටියේය. එය ඉදිරි කටයුතු සඳහා පාර්ලිමේන්තුවට, නීතිපතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවද ජනපති කීය.

එහෙත් කඩිනමින් මෙය සිදු කිරීමට අවශ්‍ය නම්, පාර්ලිමේන්තු පනතකින් කොමිසම හෙළි කළ වැරුදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කළ හැකි යැයි සඳහන් කළ ජනාධිපතිවරයා කියා සිටියේ ඒ සඳහා අවශ්‍ය තුනෙන් දෙකක බලය ආණ්ඩුව සතු බවයි. එසේම ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණ කළේ, ඉල්ලීම් කරන විට ප්‍රවේශම් වන ලෙසයි.

හැබැයි කඩිනමින්ම කරන්න ඕනනම්, අපිට පුළුවන් පාර්ලිමේන්තුවෙ පනතක් ගෙනැල්ලා එහෙම කරලා තියෙනවා. මීට ඉස්සර වෙලා, වගකියන අයගෙ අයිතිවාසිකම් අහෝසි කරලා දාන්න ඒ කරපු වැරදි තවත් මේ රටේ කරන්න නොදෙන අන්දමට ක්‍රියා කරන්න පුළුවන් අවශ්‍ය නම්, ඒක නම් ඉල්ලන්නෙ අපි ලෑස්ති ඒක කරන්න.

බ්‍රහස්පතින්දා තත්ත්වය එසේ වුවද සඳුදා පටන්ම දේශපාලන කරළිය හමුවේ දැඩි උණුසුමකි. සඳුදා 2022 වසර සඳහා වන අයවැය යෝජනාව දෙවැනි වර කියවීමේ ජන්ද විමසීම පැවැත්වුණි. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 153 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 60ක් ලැබුණි. ඒ අනුව අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මත විය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනකු ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටියද තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් අයවැය දෙවැනි වර කියවීමේදී සම්මත වීම විශේෂ සිදුවීමක් විය. ජන්දය විමසන අවස්ථාවේ සභාගැබේ රුඳී නොසිටි මන්ත්‍රීවරු වූයේ විජයදාස රාජපක්ෂ, විදුර වික්‍රමනායක, ගාමිණී ලොකුගේ, ටිරාන් අලස්, තවුෆීක් සහ සමන්ප්‍රිය යන මන්ත්‍රීවරුන්ය. මෙම පිරිස් අතරින් කිහිප දෙනකු පෞද්ගලික සහ සෞඛ්‍යය හේතූන් මත ජන්ද විමසීමට නොපැමිණි නමුත් සිතාමතාම ඡන්දය විමසීමට පැමිණ නොසිටි අයද මේ අතර සිටියෝය. කෙසේ වෙතත් අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 10 වැනිදා පැවැත්වීමට නියමිත බැවින් ඒ් දිනට පාර්ලිමේන්තු පැමිණීම සියලු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට අනිවාර්ය කොට තිබේ.

මේ අතර ආණ්ඩුවේ මෙන්ම සමගි ජන බලවේගයේ අසමගිය ගෙවුණු සතියේ කැපී පෙනුණි. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන හරීන් ප්‍රනාන්දු සහ කුමාර වෙල්ගම යන මහත්වරුන් අතර අද පාර්ලිමේන්තුවේදී වචන හුවමාරුවක් සිදු විය. පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධව කුමාර වෙල්ගම මහතා මට උසාවියේ නඩු දැම්මා. හැබැයි අපි බය වුණේ නෑ. අපි කවදාවත් සිරිසේන මහත්තයා ළඟට ගියෙත් නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟට ගියෙත් නෑ. ඒවට මුහුණ දුන්නා. දැන් ඉන්න අය බයයි. දැන් ලොක්කෝ වගේ කෑගහනවා. අන්තිමට ගිහින් CID එකෙන් කටඋත්තර ගන්න ආවහම හැංගෙනවා. එහෙම වෙන්න එපා. අපි වගේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් ඉගෙන ගන්න. අපි හැංගුණා නම් කළුතර මිනිස්සු මට කළුගංතොට සිංහයා කියන්නේ නෑ. යනුවෙන් පැවසීය.

මෙම ප්‍රකාශයට පසුව පිළිතුරු දීමට හරීන් ප්‍රනාන්දු කටයුතු කළේය. “මම කළ ශල්‍යකර්මයට සාක්ෂියක් ලෙස මගේ කමිසය ගලවා මගේ පපුවේ කැළල ඔහුට පෙන්වීමට මම සූදානම්. නොදන්නා දේ කතා නොකළ යුතුයි” ඔහු කීවේය. පසුව නැවතත් ඊට ප්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෙල්ගම කියා සිටියේ තමන් පසුගිය දිනක තම කතාවේදී කිසිදු මන්ත්‍රීවරයකුගේ නම සඳහන් නොකළ බවයි.

මම සීඅයිඩීය කතාකළාම හැංගිලා ඉන්න මිනිහෙක් නෙමෙයි’ යනුවෙන් වෙල්ගම මහතා  කියා සිටියේය.

මේ අතර ආණ්ඩුව අභ්‍යන්තරයේ හටගත් ගැටුමක් පාර්ලිමේන්තුවටද ගියේය. ජනාධිපති වැය ශීර්ෂ පිළිබඳ විවාදයේ දී කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හිටපු ජනාධිපති වරුන්ගේ වැය ශීර්ෂ සම්බන්ධ සිදුකළ කතාවක් මෙම ගැටුමට මූලික විය. මෙම කතාවේ සෘජු වූ ඉලක්කයක් බවට පත් වූයේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. මෙම ප්‍රකාශය හිටපු ජනපතිවරයාගේ සිත්තැවුලට හේතු විය. සිය මන්ත්‍රී කණ්ඩායම සමග ඔහු ඒ සම්බන්ධව සාකච්ඡාවට කළ බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. නිහඬව සිටීම නිශ්ඵල දෙයක් බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට පිළිතුරු ලබාදිය යුතු බවත් පිරිස පවසා තිබුණි

ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා මෛත්‍රීපාල  සිරිසේන මහතා පාර්ලිමේන්තුව ඇමතුවේ උණුසුම් ස්වරයෙනි. ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය රුඳී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දාහතර දෙනා අත යැයි ඔහු සඳහන් කළේය. අපි ගහගන්න ජාතියේ මිනිස්සු නොවෙයි. ඒත් ගැහුවොත් අපි ගහන්නේ ඔය විදියට නොවෙයි. අපි ගහන්න ගිය දාට කාට මොන තුවාල ඇති වේද කියන්න මමවත් දන්නේ නැහැ.. යැයිද හිටපු ජනාධිපතිවරයා මෙහිදී කීවේය. කතාව දික් ඇදුණි.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරමින් කතා කරන්නට විය. ඔහුගේ වචන තවත් සැරපරුෂ විය. හිටපු ජනාධිපතිතුමාට මෙහෙම මඩ ගහනකොට අපට ඉවසගෙන ඉන්න බැහැ. මහින්දානන්ද අද මොණරෙක් වගේ පිල් විදහාගෙන නටනවා. හැබැයි පස්ස එළියට දාගෙන ඉන්නේ. එතුමා ඔය වළ තව හාරන්න, හාරන්න කුණුගඳ එනවා. සභාව නායක දිනේෂ් ගුණවර්ධන මහතා ගැටලුව සමනය කරමින් කතා කළද ගැටුම දික් ඇදුණි.
පොහොර ප්‍රශ්නයද මීට ඈඳිණි. මහින්දානන්ද ඇමතිතුමා ජනාධිපතිතුමාට බොරු කිව්වා. කැබිනට් එකට බොරු කිව්වා. පාර්ලිමේන්තුවට බොරු කිව්වා. ජනතාවට බොරු කිව්වා, ගොවීන්ට බොරු කිව්වා, පාරිභෝගිකයාට බොරු කිව්වා. ඒකෙන් තමයි මේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම අවුලක් ඇති වෙලා ආණ්ඩුව අප්‍රසාදයට පත් වුණේ. ආණ්ඩුව මේ කාලයේදී බරපතළ ලෙස අප්‍රසාදයට පත්වීමට හේතුව ඔබතුමාගේ ක්‍රියාකලාපය.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා චෝදනා කරන විට මහින්දානන්ද අලුත්ගමගේ ඊට පිළිතුරු දුන්නේය. මම ජනාධිපතිතුමා චූන් කරන්න යමක් කිව්වා කියල හිටපු ජනාධිපතිතුමා දැන් මෙතන කිව්වා. ඒක අතේ පැලවෙන බොරුවක්. මහින්දානන්ද නිසයි මේ ඔක්කොම වුණේ කියලා එතුමා තවත් කතාවක් කිව්වා . මම ක්‍රියාත්මක කළේ රජයේ ප්‍රතිපත්තිය. ඒ නිසා මට පාස්කු ප්‍රහාරය ගැනත් මෙතන කියන්න පුළුවන්.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවට තදින් කතා කළ නමුත් ඊට පැය කිහිපයකට පසු යෙදී තිබූ ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරුවට සහභාගි විය. අරලියගහ මන්දිරයේ දී ගුණසමරු උත්සවය සංවිධානය කොට තිබුණි. මීට ආරාධිතයකු ලෙස සහභාගි වූ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඉතා සතුටින් සුහදව කතාබහ කරමින් සිටියේය.

මේ අතර පරිණත දේශපාලනඥයකු වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ වියෝවෙන් තෙමස් පූර්ණය සැමරුම බ්‍රහස්පතින්දාට යෙදී තිබුණි. එදිම සමරවීර මහතාගේ භෂ්මාවශේෂ මල්ශාලාවක මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබුණි. කෝවිඩ් වාතාවරණය නිසා ඔහුට අවසන් බුහුමන් දැක්වීමට නොහැකි වූ හිතමිතුරන් හට ඊට අවස්ථාවක් ලබාදීමට ‘සමරවීර පදනම’ විසින් මෙම වැඩසටහන සංවිධානය කළේය.

හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු මැති ඇමතිවරුන් රුසක් ඊට එක්වූහ. මංගල සමරවීර මහතා අනුස්මරණ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහැර තිබුණි. තම ජීවිතේ හමු වූ හොඳම බොස් මංගල බව කී ඔහු මංගල සමරවීර මහතා විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහු යටතේ කටයුතු කරන්නට ලැබීම භාග්‍යයක් බවද කියා සිටියේය. තවත් දේශපාලකයන් කිහිපදෙනකුම මංගල අනුස්මරණය කොට තිබුණි.

මේ අතර පාර්ලිමේන්තුව ඇවිලී යෑමට තවත් හේතුවක් වූයේ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ කතාවයි. සමගි ජන බලවේගයේ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය කළ කතාවකට පිළිතුරු බැඳීමට තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා ඉදිරිපත් වීමත් සමඟ මෙම අර්බුදය නිර්මාණය විය. ඔහුගේ කතාවේ දී කාන්තා මන්ත්‍රීවරියන්ට අපහාස වන ලෙස වචන භාවිත කිරීමක් සිදුවීමත් සමඟ පාර්ලිමේන්තුව ඇවිලී ගියේය. මෙය වාචික හිංසනයක් බවත් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාට එරෙහිව පියවර ගත යුතු බවත් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය කියා සිටියේය. ඒ සමඟම පාර්ලිමේන්තුවේ ඉතා උණුසුම් තත්ත්වයක් ද ඇතිවුණි.

මෙය ගහමරා ගැනීමක් දක්වා වර්ධනය වීමට ඉඩ තිබුණි. සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සභා ගැබ මැදට පැමිණ කුට්ටිආරච්චි මහතාට පහර දීම සඳහා උත්සාහ දරන අයුරු දිස්විය. උණුසුම් වචන හුවමාරුවක් අතරේ පහරදීමට උත්සාහ කළ අවස්ථාවේදී මන්ත‍්‍රීවරුන් පිරිසක් පැමිණ එම උත්සාහය වැළැක්වූහ.

තිස්ස කුට්ටිආරච්චි පිළිබඳව ආණ්ඩුවේ පාර්ශ්ව කිහිපයක් තුළ ද විශාල අප්‍රසාදයක් දිගින් දිගටම පැවතිණි. මෙවර එය දෙගුණ තෙගුණ විය. ඔහුට විරුද්ධව විනය පියවර ගත යුතු බව විපක්ෂයේ මෙන්ම ආණ්ඩුවේ කිහිප දෙනකු ද ප්‍රසිද්ධියේ කී බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංගමය මෙහිදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය. අතළොස්සක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වාචික හිංසනයට ලක්වීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් කතානායකවරයාගේ අවධානයට යොමු කෙරිණි. ඒ අනුව තිස්ස කුට්ටිආරච්චිගේ ක්‍රියා කලාපය හේතුවෙන් කතානායකවරයාට ද සැලකිය යුතු තරමේ පීඩනයක් එල්ල විය.

පසුව මෙම ප්‍රකාශය සම්බන්ධව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැඩි ප්‍රකාශයක් සිදු කළේය. “තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීතුමා විසින් විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයට අපහාස කරමින් මෙම උත්තරීතර සභා ගර්භයේ දී කරන ලද එම අශෝභන කතාව පිළිබඳව මාගේ කනගාටුව ප්‍රකාශ කරන අතර, මෙවැනි අයෝග්‍ය, අශෝභන වචන භාවිත කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම පිටස්තර පාර්ශ්වයන්ට අපහාස කරමින් කරන ලද කතාවලින් වැළකී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාට දැඩි ලෙස අවවාද කරමි.”

තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ කතාවට විරෝධය පළ කරන්නට විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව තීරණය කළේ සමගි ජන බලවේගයයි. එහිදී රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය විසින් අපූරු යෝජනාවක් කළාය. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් “කාන්තාවන්ට එරෙහි හිංසනය වළක්වමු” යන පාඨය සිය ශරීරයන්හි ප්‍රදර්ශනය කරමින් අත්වල තැඹිලි පැහැති පටියක්ද පැළඳ මැතිසබයට යා යුතු බව ඇය කීවාය. අවසානයේදී සියල්ලන්ගේම එකඟතාවයෙන් තැඹිලි පැහැති විරෝධය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ දී දියත් වුණි.

පාර්ලිමේන්තුවේ දී සිදුවූ ගැටුම් නිසාවෙන් රටේ සෙසු දේශපාලන කාරණාවලට ගෙවුණු සතියේ එතරම් ප්‍රමුඛතාවයක් නොලැබිණි. බොහෝ දෙනකුගේ අවධානයට ලක් නොවුණ ද ආණ්ඩුවේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවට විශේෂ ආරාධිත අමුත්තෙක් පැමිණ සිටියේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදපෙරදිග හා ආසියානු ශාන්තිකර රටවල දේශපාලනික කටයුතු, සාමය ගොඩනැගීම සහ සාම මෙහෙයුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කාලෙත් කියාරි මහතාය. ජනාධිපතිවරයා, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සමඟ පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡාවේ පසු විපරමක් වශයෙන් ශ්‍රී ලංකා රජය සිදු කළ ආරාධනාවකට අනුව සහකාර මහ ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

කෙසේ වෙතත් සහකාර මහ ලේකම්වරයා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයන් හමු වූ අවස්ථාවේදී රාජපක්‍ෂ ආණ්ඩුව ගෙන එන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහල බෞද්ධ ජාතිකවාදය තහවුරු කරන්නක් විය හැකි බව ප්‍රකාශ කර ඇත. බලය බෙදාහැරීමේ වැඩපිළිවෙළට හානි වන අයුරින් එක් රටක් එක් නීතියක් නම් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා, සිංහල බෞද්ධ ජාතිකවාදය තහවුරු කරමින් නව ව්‍යවස්ථාවක් හදන්න සුදානම් වෙනවා,’’ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසා ඇතැයි ද කියැවේ. ඒ වෑයම පරාජය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සහාය ඔහු ඉල්ලා ඇති බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

බ්‍රහස්පතින්දා දිනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කලීඩ් කියාරි මහතා හමුවිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සැමවිටම ශ්‍රී ලංකාව ඟමග සමීපව කටයුතු කරන බව එහිදී සහකාර මහ ලේකම්වරයා පවසා තිබුණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ ඇල්මකින් දිගුකාලීනව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

මේ අතර ගෙවුණු සතියේ දී ජනතා විමුක්ති පෙරමුණද සිය "ගමෙන් පටන්ගමු" නම් වූ වැඩසටහන මොණරාගල මාතලේ බදුල්ල ආදී දිස්ත්‍රික්ක තුළ ක්‍රියාත්මක කළේය. එම වැඩසටහනේදී ජනතා අදහස් ලබාගනිමින් ඒවා සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ ක්‍රමවේදයක් ඔවුන් සකස් කර තිබුණි. පවතින දේශපාලන ආර්ථික වටපිටාව මත ජවිපෙ වීඩියෝ වෙත ද සමාජ ජාල තුළ යම් ආකර්ශනයක් දක්නට ලැබුණි.

‘ගමෙන් පටන්ගමු’ වැඩසටහන යටතේ මාතලේ නාඋල නගරයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් සමන්ත විද්‍යාරත්න මහතා විශේෂ ප්‍රකාශයක් කළේය. පොහොර නැවේ අර්බුදය අද වන විට චීනය ලංකාවට නඩු දමන තත්ත්වයට පත් වී ඇති බවත්, ඉන්දියාව ළඟ දණගහන තත්ත්වයට ආණ්ඩුව පත් වී ඇති බවත් ඔහු පැවසීය. චීන පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් රටේ පාලකයන් වැරුද්දක් කර ඇති හෙයින් එම මුදල් ඔවුන්ගෙන් අය කර ගැනීම කළ යුතු බවද ඔහු කියා සිටියේය.

 චමිදු නිසල්

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00