2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා

පක්ෂ නායක රැස්වීමේදී ඇදුනු කුමන්ත්‍රණ කතාව

 2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 352

තීරණාත්මක දේශපාලන සතියක් ගෙවී ගියේය. ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද අභ්‍යන්තරයේ පැවති අර්බුද එළිපත්තට පැමිණ තිබුණි. කෙළවරක් නොවූ ගොවි උද්ඝෝෂණ ආණ්ඩුවට හිසරදයක් විය. මාස ගණනාවකට පසු පාසල් ආරම්භ වූ අතර ගුරු වර්ජනය අවසානයක් දුටුවේය. පොහොර, යුගදනවි, ස්විස් බැංකු සතියේ දේශපාලන ප්‍රමුඛ මාතෘක වූයේය.

සතියේ දිනය බවට පත්වූයේ ඉකුත් බ්‍රහස්පතින්දා (28) දිනයයි. මුළු රටේම අවධානය යොමුවූ දේශපාලන සිදුවීම් දාමයකට පසු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ජනපති හමුවිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවට ආණ්ඩුවේ සියලුම පක්ෂ නායකයෝ පාහේ සහභාගී වූහ. සාකච්ඡාවේ පළමු පැය එකහමාරක පමණ කාලයක් ගතවූයේ යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධ ආන්දෝලනාත්මක සංවාදයටය.
වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ඇතුළු පක්ෂ නායකයෝ යුගදනවි ගිවිසුම ඒකාධිකාරී ගිවිසුමක් බව කියා සිටියහ. ජාතික සම්පත් විකිණීම වරදක් බවත් ආණ්ඩුව එය සිදු නොකළ යුත්තක් බවත් ඔවුහු දිගින් දිගටම කීහ. සියලු පක්ෂ නායකයන්ට අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දීමෙන් පසු ජනපති පිරිස ඇමතුවේය. මෙය ජාතික සම්පත් විකිණීමක් ලෙස හැඳින්වීම නුසුදුසු බව ජනපති පැවසීය. ආයෝජනයක් මේ එන්නේ. දැන් බලන්න නැගෙනහිර ජැටිය විදේශීය ආයෝජකයන්ට පවරන්න හදපු වෙලාවේ ඕගොල්ල විරුද්ධ වුණා. මම අදටත් ඉන්නේ එක දුන්නා නම් හොඳයි කියන ස්ථාවරයේ. මේක හදන්න අපිට සල්ලි නෑ. ඩොලර් මිලියන 500 ගණනක ආයෝජනයක් එන්න තිබ්බා දැන් ඒකත් නෑ. දැන් බටහිර ජැටිය හදන්න යනකොටත් එක එක දේවල් කියනවා.

ජනපති මෙසේ කරුණු පැහැදිලි කරනවිට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද පැනයක් මතු කළේය. අපි හදන්නේ රටට ආයෝජන ගෙන්න ගන්න. ඔය මහත්තුරු කියන්නේ අපි මේ වගේ වෙලාවක රටට ආයෝජන ගේන එක වැරදිද? මෙවර බැසිල්ගෙන් මතු මතුවූයේ සෘජු පැනයකි. ඒ අනුව ක්‍රමයෙන් යුගදනවි ගිවිසුම පිළිබඳ සාකච්ඡාව ඉදිරියට ගියේය. මන්නාරම් ද්‍රෝණියේ තෙල් පිළිබඳ කථා කරමින් උදය ගම්මන්පිල මහතා සංවාදයට අවතීර්ණ විය. මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් ලැබීමට නියමිතයි. මෙහෙම ගියොත් අපේ ගෑස්වලට විශාල අගතියක් සිද්ධ වෙනවා, ඇමරිකාවට ගෑස් සම්බන්ධ ඒකාධිකාරිය දුන්නොත් උදය සභාවට ගෙනාවේ අලුත් තර්කයකි. පෙරළා පිළිතුරු දුන්නේ බැසිල්ය. ඔබතුමා ගෑස් හොයාගන්න. එතකොට අපි ගිවිසුම වෙනස් කරන්නම්. පේසාලෙන් තෙල් එනවා කියලා හැත්තෑ ගණන්වල ඉඳන්ම කියනවා. තාම නෑ. ඔබතුමාට මුලින්ම ගෑස් හොයාගන්න මම උදව් කරන්නම්. උදය ගම්මන්පිලද පසුබෑමට සූදානම් නැත. එතකොට ඇමැතිතුමා ගිවිසුම කැන්සල් කරන්න පුළුවන්ද? උදය විමසීය. කැන්සල් කරන්න නෙවෙයි. අවශ්‍යතාවය මත සංශෝධනය කරන්න පුළුවන් බැසිල් පිළිතුරු බැන්දේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද කරුණු පැහැදිලි කිරීමට ඉදිරිපත් විය. මෙම ගිවිසුමේ ඇති වැදගත්කම සේම ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ සුහදව කටයුතු කිරීමට ඇති අවශ්‍යතාවයත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. හුදෙක් මෙම ගැටලුව පමණක් නොව විසඳාගැනීමට තවත් ගැටලු ඇති බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. ඉදිරියේදී ඇමරිකාවෙන් උදව් ලබාගත යුතු බවත් හෙතෙම කීය. බැසිල් රාජපක්ෂගේ කතාවේද මෙම කරුණු කියැවිණි. තවම එක ගිවිසුමක් පමණයි. අස්සන් කරලා තියෙන්නේ. තව ගිවිසුම් දෙකක් තියෙනවා අස්සන් කරන්න. කරුණාකරලා ඔබතුමාලගේ පක්ෂවල අදහස් උදහස් ලිඛිතව අපිට ලබාදෙන්න. එවා ගිවිසුම්වලට ඇතුළත් කරලා සාකච්ඡා කරන්න අපට පුළුවන්. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යුගදනවි අර්බුදයට විසඳීමට යෝජනා කළ ප්‍රධාන විසඳුම විය. පැය එකහමාරක් පමණ ගතවී යුගදනවි සාකච්ඡාව නිමා වනවිට සභාවෙන් පිටව යන්න අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සූදානම් විය. ඇමෙරිකානු තානාපතිවරියගේ සමුගැනීමේ සාදයට තමා සහභාගි විය යුතු බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ධූරයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීම සම්බන්ධව විමසා සිටියේ අමාත්‍ය විමල් වීරවංශ මහතාය. ඥානසාර හිමියන් වැනි පිරිස් තනතුරුවලට පත් කිරීමෙන් ප්‍රශ්න ඇතිවන බව ඔහු කියා සිටියේය. ජනපති හඬ අවදි කළේය. හැට නම ලක්ෂයක් ඡන්දේ දීලා මාව ජනතාව පත් කළේ. මම විධායක ජනපති. අපේ ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතරයක් තියෙනවා. ඥානසාර හාමුදුරුවන්ව මේකට පත්කළේ රටේ නීතිය හදන්න නෙවෙයි. මට උපදෙස් දෙන්න. එහෙම දෙයක්වත් මට කරන්න බැරිනම් මම කොහොමද මේ රටේ ජනාධිපතිකම කරන්නේ. මට යාළුවෙක් ආශ්‍රය කරන්නත් දැන් හවුල්කාර පක්ෂවලින් අවසර ගන්න වෙලා. එහෙම කරන්න බෑ.

එහෙත් විමල් උදය ඇතුළු පිරිස කියා සිටියේ අතාවුල්ලා වැනි ජ්‍යෙෂ්ඨයන් මෙන්ම මුස්ලිම් ජනතාවද මෙම පත්කිරීම සම්බන්ධව කලකිරී සිටින බවයි. එසේම මෙම ජනාධිපති කාර්ය සාධක බළකාය සඳහා දමිළ නියෝජිතයෙක් නොමැති වීම සම්බන්ධවද ඔවුහු ප්‍රශ්න කළහ. ජනපති එවිට කීවේ තමන් දමිළ නියෝජනයට ඉඩ තබා ඇති බවයි. එම පත්කිරීම් ඉදිරි සතියේදී සිදුකරන බවත් ජනපති කීවේය. ඔය වගේම විරෝධයක් මට එල්ල වුණා අලි සබ්රි ඇමතිතුමා පත්කරද්දීත්. දැන් බලන්න එතුමා ඉතාම හොඳින් වැඩ කටයුතු කරගෙන යනවා මෙවර ජනපතිගේ කතාව අනුමත කිරීමට රෝහිත, බන්දුල, ජොන්ස්ටන් ඇතුළු ඇමැතිවරුද ඉදිරිපත් වූහ. අලි සබ්රි ඇමැතිවරයා නිහඬවම ආණ්ඩුවට විශාල සේවයක් කරන බව ඔවුහුද කීවෝය.

මෙදින සභාවේ ආන්දෝලනාත්මක චරිතය ගෙවිඳු කුමාරතුංගයි. ගෙවිඳුද ආණ්ඩුව සම්බන්ධව විවිධ විවේචන මතු කරමින් කතා කරන්නට විය. මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා තරමක් කෝප වූයේය. ඔබතුමා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක්නේ. මොකක්ද මෙතනට පක්ෂ නායකයෙක් හැටියට ඇවිල්ල කරන්නේ. ඔහොම කරන්න එපා. බැසිල්ගේ ස්වරය ආවේගශීලීය. මම නියෝජනය කරන්නෙ යුතුකම සංවාද කවය ගෙවිඳු පිළිතුරු බඳින්නට සූදානම් විය. එහෙනම් මෙතන්ට වියත් මගෙනුත් මිනිස්සු ගෙන්න ඕනා. අර කවයෙන් මේ කවයෙන් මෙතන්ට මිනිස්සු ගේන්නේ නෑ. මෙතැනට එන්නේ පක්ෂ නායකයෝ විතරයි. ඔයා ආවෙ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් විදියට. කරුණාකරලා ඔය වගේ වැඩ කරන්න එපා බැසිල්ගෙන් ආවේ ගෙවිඳුට දැඩි දෝස් මුරයකි.

හවුල්කාර පක්ෂ හමුව ක්‍රමයෙන් උණුසුම් වන්නට පටන් ගත්තේ මේ අවස්ථාවේදීය. ඕගොල්ලෝ පොඩි පක්ෂ එකතුවෙලා හදනවා ආණ්ඩුව කඩන්න. ඔය වැඩේ මටත් කරන්න පුළුවන්. පොඩි පක්ෂවල මිනිස්සුන්ව මට අරගන්න පුළුවන්. මම එහෙම වැඩ කරන්නේ නෑ. ඔය වගේ කුමන්ත්‍රණකාරී වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා. බැසිල් රාජපක්ෂගෙන් එවර එල්ල වූ ප්‍රහාරය තරමක් බරපතළ විය. විමල් වීරවංශ වහා ඊට පිළිතුරු බැන්දේය. බැසිල් ඇමතිතුමා එහෙම හිතන්න එපා. අපි කුමන්ත්‍රණ කරන්නේ නෑ. අපි හදන්නෙ ආණ්ඩුව ආරක්ෂා කරන්න. මේ කරන්නේ සාධනීය දෙයක්.

මෙහිදී සාගර කාරියවසම්ද බැසිල් රාජපක්ෂ වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළේය. දැන් දොළවත්ත මන්ත්‍රීතුමත් මගෙන් ඉල්ලලා තියෙනවා පක්ෂය නායකයෙක් විදිහට රුස්වීම්වලට සහභාගි වෙන්න. එතුමාටත් මොකද්ද සංවිධානයක් තියෙනවා කියලා. මේ විදියට වැඩකරන්න බෑ මේ අය ඇවිල්ල තියෙන්නේ පොදුජන පෙරමුණෙන් මෙය අනුමත කරමින් බැසිල් රාජපක්ෂ මහතාද පැවසුවේ මෙවන් දෑ සිදුවේ නම්  තමන් පක්ෂනායක හමුවට පැමිණීමෙන් පවා පලක් නොවන බවයි. කෙසේ වෙතත් ඔහු සඳහන් කළේ තමා මෙසේ සඳහන් කරන්නේ අනිත් පක්ෂ පිළිබඳ නොව ගෙවිඳු කුමාරතුංගේ ක්‍රියාකලාපය පිළිබඳ බවය.

මේ සියල්ල අතරේ ගෙවිඳු කුමාරතුංග කියා සිටියේ ඥානසාර හාමුදුරුවෝ පත් කරපු එක සම්බන්ධව මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි මම කතා කළේ යනුවෙනි. ඊට වහා පිළිතුරු බැන්දේ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනය. ගෙවිඳු කුමාරතුංග වගේ මිනිස්සු ජාතික ලැයිස්තුවෙන් පත්කරපු එක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නය රෝහිත අබේගුණවර්ධන ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ද මෙහිදී කථා කළෝය. ගෙවිඳු කුමාරතුංග වැනි අය ඇතුළත ඇති ගැටලු පිටත කතා කරන බව ඔවුහු පෙන්වා දුන්හ. තමන්ටද ඇතැම් දෑ සම්බන්ධ ප්‍රශ්න ඇති මුත් ඒවා ඇතුළත දී පමණක් ඒ සඳහා විසඳා ගැනීමට කටයුතු කරන බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කළෝය. මේ ආදී ප්‍රශ්න රුසක් සාකච්ඡා කළ හවුල්කාර පක්ෂ හමුව බ්‍රහස්පතින්දා රාත්‍රී දහය පමණ වනවිට අවසන් විය.

මෙවන් අවුල් වියවුල් රැසක් මැද ආණ්ඩුව ඉදිරියට යමින් පවතිද්දී ඇමැති බන්දුල ගුණවර්ධන තවත් අපූරු වැඩකට අතගසා තිබුණි. චිත්‍රපට නිෂ්පාදකවරයකු ලෙසින් බන්දුල ගුණවර්ධන මහතා කටයුතු කළේ අදක ඊයෙක නොවේ. අවසන් වතාවට තිරගත වූ The NewsPaper ඔහු සිනමාපටය ඔහුගේ නිෂ්පාදනයක් විය. ඔහු මෙවර නිශ්පාදනය කර ඇත්තේ සහෝ යනුවෙන් සරසවි අරගලය පාදක කරගත් කර ගත් නිර්මාණයකි. පසුගියදා එහි මාධ්‍ය දර්ශනය පැවැත්වුණි. ඉදිරියේදී මෙම සිනමා පටය රට වටා තිරගත වීමට නියමිතය. කෙසේ වෙතත් සිනමාපටයට පෙර මේ දිනවල බන්දුල ගුණවර්ධන මහතා සිටින්නේ රටවටා යමින් නව සතොස වෙළෙඳසල් විවෘත කරමිනි.

ඉකුත් ඉරිදා ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායමේ තීරණාත්මක සාකච්ඡාව ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණි. එදින හවස හයයි හතළිස් පහට පමණ සාකච්ඡාව ආරම්භ විය. ප්‍රබල චරිත කීපයක් නිහඬවම මෙම සාකච්ඡාව මගහැර තිබුණි. හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය විමල් වීරවංශ, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මේ අතරින් පිරිස කැපී පෙනුණි. කෙසේ නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියයකට අධික පිරිසක් මෙම හමුවට පැමිණ සිටියහ. යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධව සහ පොහොර අර්බුදය සම්බන්ධව මෙහිදී අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙතැයි අනාවැකි පළවී තිබුණි. එනිසාම බොහෝ දෙනා මෙම සාකච්ඡාව දෙස අවධානයෙන් බලා සිටියහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රුස්වීම ආරම්භ වූයේය. කතාබහ සාමාන්‍ය පරිදි ඉදිරියට ඇදෙමින් තිබුණි. ඇමැති රෝහිත අබේගුණවර්ධන නැගිට කතා කරන්නට විය. ආණ්ඩුව ඇතුළේ සිටින ඇතැම් කණ්ඩායම් ආණ්ඩුව ඇතුළේ සිටම ආණ්ඩුව විවේචනය කරන බව පවසමින් ඔහු මාතෘකාවට ප්‍රවේශ ලබා ගත්තේය. ඇතුළෙ තියෙන ගින්දර පිටට දෙන්න එපා. ඒක හරි නෑ. ඒ ප්‍රශ්න ආණ්ඩුව ඇතුළෙ කතාකරලා විසඳගන්න ඕනෑ. එළියෙ කතාකරලා නැති ප්‍රශ්න ඇති කරන එක හරි වැරදි වැඩක්. මම මේ බොහොම සහෝදරත්වයෙන් කියන්නේ මේ ආදී වශයෙන් හරබර ලෙස වචන ගලපමින් රෝහිත හවුල්කාර පක්ෂ ක්‍රියාකාරීත්වයට සරදම් කළේය. එහෙත් ඊට සැලකිය යුතු ප්‍රතිචාරයක් නොලැබුණි.

සාකච්ඡාව ඉදිරියට යද්දී පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල සහ තිස්ස කුට්ටිආරච්චි පොහොර ගැටලුව සම්බන්ධව කතා කරන්නට නැගී සිටියහ. එහෙත් ගොවි ජනතාව මුහුණදී සිටින පොහොර ගැටලුව පිළිබඳ කතා නොකළ ඔවුන් ජනපතිගේ තීරණයේ වටිනාකම පිළිබඳව කතා කළෝය. ජනපතිගේ තීරණය හොඳ බවත් ඒ වෙනුවෙන් සියලු දෙනාම පෙනී සිටිය යුතු බවත් එහිදී කියවුණි. මේ අතර පෙනීගියේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල හඬ බාල වී තිබූ සෙයකි. යම් පමණකට හඬ අවදි කළේ අමාත්‍ය වාසුදේව නානායක්කාරය. යුගදනවි බලාගාරය ගිවිසුම සහ තවත් ගැටලු කිහිපයක් සම්බන්ධව ඔහු කතා කළේය. තමන් ඇතුළු පිරිස සිදුකරන්නේ ආණ්ඩුව ඇතුළේ සිට ආණ්ඩුවේ කකුලෙන් ඇදීමක් නොවන බව ඔහු කීවේය.
මම එක්දහස් නමසිය හැත්තෑවේ ඉඳලා පාර්ලිමේන්තුවේ ඉන්නවා. මාත් එක්ක හිටපු අයගෙන් දැන් ඉන්නේ මහින්ද මහත්තයා විතරයි. එතුමා දන්නවා ඉතිහාසය. අපි කොහොමද වැඩ කළේ කියලා. හැමදාම ආණ්ඩු ඇතුළේදී හවුල්කාර පක්ෂවලට වෙන වෙන මත තියෙනවා. ඒ මත තමයි අපි මේ කියන්නේ. මේක මේ ආණ්ඩුව පෙරළන්න කරන වැඩක් නෙවෙයි. ආණ්ඩුව හරි පාරට ගන්න, හදාගන්න කරන වැඩක්.

වාසුගේ කතාව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අනුමත කරන ලෙසින් අසා සිටියහ. එහෙත් කිසිවෙක් ඊට ප්‍රතිචාර දක්වන්නට ගියේ නැත. සාකච්ඡාව වෙනත් මාවත්වලට ගමන් කළේය. පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳවද සාකච්ඡා විය. මන්ත්‍රීවරු තමන්ට ඇති ගැටලු කීහ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ කතාවක් කළේය. මම මේ ඇමතිවරුන්ට කියන්නේ. මෙතන සෑහෙන්න කැබිනට් ඇමතිවරු පිරිසක් ඉන්නවනේ. කරුණාකරලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න තිබෙන අවස්ථාවලදී පාර්ලිමේන්තුවේ ඉන්න. පහුගිය ටිකේම අදාළ ඇමතිවරු හිටියේ නෑ. වෙන වෙන අය තමයි උත්තර දුන්නේ. එතකොට මන්ත්‍රීවරුන්ට හරස් ප්‍රශ්න අහන්න බැරිවෙනවා. ඒක හොඳ නෑ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් ඇමතිවරුන්ට සිදුකළේ අවවාදයකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පිරිස ඇමතුවේය. ආණ්ඩුවේ සියලු මැති ඇමතිවරුන් ජනතාව අතරට යා යුතු බව ජනපති කීය. ජනතාව අතරට යන්න. ප්‍රශ්න විසඳන්න උදව් වෙන්න. දේශපාලන වශයෙන් කළ හැකි සියලු උදව් ජනතාවට කරලා දෙන්න. මිනිස්සුත් එක්ක ප්‍රශ්න කතාකළාම, ඒකට හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. යනුවෙන් ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කරන්නට විය. තමා කාබනික ගොවිතැන සම්බන්ධව සොයාබැලීමට කුලියාපිටියට ගිය අවස්ථාවේදී ජනතාව ප්‍රශ්න ඉදිරිපත් කළ ආකාරය ජනපති සිහි කැඳවීය. ජනපති කීවේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදුන් විට ජනතාව එය පිළිගන්නා බවකි. කරුණාකරලා කැබිනට් ඇමැතිලා, රාජ්‍ය ඇමැතිලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජනතාව අතරට ගිහිල්ලා ප්‍රශ්න විසඳන්න මැදිහත් වෙන්න. නැත්තම් නැති ප්‍රශ්න ඇති වෙනවා යනුවෙන් කියූ ජනපති මාධ්‍ය විසින් ප්‍රශ්න උලුප්පා දැක්වීමටද හේතුව මැති ඇමැතිවරුන් නිහඬව සිටීම බව පැහැදිලි කළේය. අවසාන වශයෙන් අයවැයෙන් පසුව බොහෝ දෑ වෙනස් වනු ඇති බවද ජනපති බලාපොරොත්තු සහගතව කීවේය.

ප්‍රධාන සාකච්ඡාවෙන් පසු රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වුණි. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙන් භෝජන සංග්‍රහය සඳහා අවශ්‍ය ආහාරපාන රුගෙනවිත් තිබුණි. මැති ඇමැතිවරුන් වෙනුවෙන් මධුවිතද සපයා තිබුණු අතර ඇතැමුන් මධුවිත තොල ගෑවෝය. වාසුදේව නානායක්කාර ඇමතිවරයා සහ කිහිපදෙනෙක් රාත්‍රී භෝජනය භුක්ති නොවිඳම පිටව ගිය බව කියැවුණි. තවත් අය රාත්‍රී භෝජනය පමණක් ගෙන පිටව ගියහ. ඒ අතර පිරිසක් ජනපති සහ අගමැති හමුවෙමින් කතාබහ කරමින් රුඳී සිටි අතර තවත් පිරිසක් කා බී නටා ගයා සතුටු වූහ.

ගෙවුණු සතියේ සමගි ජන බලවේගය තුළ වූ අර්බුදයක් මාධ්‍ය හමුවේ පුපුරා ගියේය. සමගි ජන බලවේගයේ අභ්‍යන්තරයේ වූ අසමගියක් හේතුකොටගෙන මෙම ගැටලුව පැන නැගුණි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි විශේෂ ප‍්‍රවෘත්ති සාකච්ජාවක් කැඳවමින් හෙළිදරව්වක් කළෝය. මීට දින කිහිපයකට පෙර තමන් හා චමින්ද විජේසිරි මන්ත‍්‍රීවරයා සිය ආසන සංවිධායක ධුරවලින් ඉවත්වන බවට පක්‍ෂයේ මහලේකම් වෙත ලිඛිතව දැනුම් දුන් බවත් පක්‍ෂ මහ ලේකම්වරයා පමණක් දැන සිටි එම කාරණය මාධ්‍ය වෙතට ගියේ කෙසේදැයි වහාම සොයාබැලිය යුතු බවත් ඔවුහු කීහ.

මීට සති දෙකකට පමණ ඉහතදී මෙම ලිපිය හේෂා විතානගේ විසින් පක්ෂ මහලේකම් ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අතට මෙම ලිපිය භාරදී තිබේ. එම අවස්ථාවේදී එහි රුඳී සිට ඇත්තේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ තවත් දකුණු පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ලිපිය බාරගත් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ සම්බන්ධව සලකා බලන බව පවසා ඇත. කෙසේ වෙතත් මෙම ලිපිය එතරම් බරපතළ ලෙස ගැනීමට පක්ෂයේ ප්‍රබලයන් උනන්දු වී නොමැත. එහෙත් සතියක් පමණ ගත වූ තැන හිටිහැටියේම මේ සම්බන්ධව මාධ්‍ය වාර්තා පළ වන්නට විය. හේෂා සහ චමින්ද විමතියට පත්වූයේ මේ හේතුවෙනි. ගැටලුවට විසඳුම් නොලැබීමත් තොරතුරු මාධ්‍යයට හෙළිදරව් වීමත් පිළිබඳ ඔවුන් දෙදෙනා කෝපවූහ. නිසැක වශයෙන්ම සජිත් ප්‍රේමදාස මහතා සහ රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙම ලිපිය සම්බන්ද කරුණු අනාවරණය නොකරන බැවින් ඔවුන් දෙදෙනාගේ සැකය යොමුවූයේ තෙවැනි පාර්ශවය වෙතය.

කෙසේ වෙතත් හේෂාගේ සහ චමින්දගේ ඉල්ලා අස්වීම් පිටුපස වූයේ සිය දිස්ත්‍රික්කවල පැවති දේශපාලන අර්බුදයයි. පසුගිය මැතිවරණයේදී මනාප ලැයිස්තුවල ඉහළින්ම රුඳුනද පක්ෂයේ දේශපාලන කටයුතුවලදී මෙම තරුණ මන්ත්‍රීවරුන්ට අඩු සැලකිලි ලැබී ඇති බව දැනගන්නට කියවුණි. එම නිසාම මෙය කලක පටන් පැවති අර්බුදයකි. බදුල්ලට හරීන්ගේ පැමිණීම චමින්දට කලක පටන්ම ගැටලුවක් විය. පසුගිය සමයේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් හරීන් ප්‍රනාන්දු ඉවත්ව ගියද මේ වනවිට අදාළ සංවිධායක ධූරය ඔහුගේ නැන්දණිය වූ සුසිලා ඩයස් මහත්මියට ලබාදීමට සජබය කටයුතු කර තිබුණි. එය චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ සිත් රිදීමට ප්‍රමුඛ හේතුවක් වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. පසුගිය මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයේ සිංහල ඡන්ද වැඩිම ප්‍රමාණයක් ලබාගත් චමින්ද විජේසිරිය. එම නිසාම දිස්ත්‍රික්කයේ පක්ෂයේ බලය තමන් වටා ගොනුවිය යුතු බව චමින්ද විජේසිරි විශ්වාස කරන සෙයකි.

රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගත්තේ හේෂා විතානගේය. තලතා අතුකෝරළ රුඳුනේ මනාප ලයිස්තුවේ ලැයිස්තුවේ තෙවැනි තැනය. එහෙත් හේෂාට වඩා තලතාට පක්ෂයෙන් ගරුබුහුමන් හිමිවිය. තමාටද නව පක්ෂයක් ලෙස සජබයේ නිසි තැනක් හිමිවිය යුතු බව හේෂා විතානගේ කලක පටන් විශ්වාස කළේය. චමින්ද විජේසිරි සේම හේෂා විතානගේ පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළදී වැඩි බරක් අදිනු ලැබුවේ එබැවිණි. මේ අතරම එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබාදුන් ජ්‍යෙෂ්ඨයකු සමගි ජනබලවේගයේ රත්නපුරේට රුගෙන ඒමේ සැලසුමක් පිළිබඳවද හේෂා විතානගේ කලකිරී සිටි බව කියැවුණි.

 චමිදු නිසල්