2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා

අපි දිනුම් ආණ්ඩුව ගුරු විදුහල්පති දෙපාර්ශ්වයම කියයි

 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 187

  • ආණ්ඩු පක්ෂ රැස්වීම පුපුරයිද?
  • මහින්දානන්දට ජනපතිගෙන් දෝස්මුරයක්
  • ලොහාන් රත්වත්තේ සිද්ධියට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්
  • යුගදනවි ගිවිසුමට සජබ උසාවියට
  • සනත් නිශාන්තත් ශ්‍රීලනිපයට සැලුන් දොර පෙන්වයි
  • බොරු ප්‍රචාරවලට ජ.වි.පෙ. සැරට පිළිතුරු දෙයි
  • ලංකා සතොස පොහොසත් කරන්න බන්දුල සැරසෙයි

ගුරුවර්ජන, තෙල් හිඟය, පොහොර අවුල සහ බඩුමිල යන මාතෘකාව පසුගිය සතියේ දේශපාලන කරළියේ ප්‍රමුඛ ලෙස සාකච්ඡාවට බඳුන් විය. මේ අතර පාර්ලිමේන්තුවද ගෙවුණු සතියේ රුස්විය. ඒ හේතුවෙන් විපක්ෂයේ චෝදනාව තරමක් ප්‍රබලව නැගුණි. ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ සුවිශේෂී පෙත්සම් කිහිපයක්ද බොහෝ දෙනකුගේ අවධානය දිනා ගත්තේය.

පසුගිය බ්‍රහස්පතින්දා (21) පාසල් ආරම්භ කිරීමට රජය ගත් තීරණය ක්‍රියාවට නැංවුණි. ඇතැම් ප්‍රදේශවල ගුරුවරුන් පාසල් පැමිණි අතර තවත් ප්‍රදේශවල පාසල් සම්පූර්ණයෙන්ම වසා දමා තිබුණි. සිසුන්ගේ පැමිණීම සමස්තයක් ලෙස සුබදායක නොවුණි. බ්‍රහස්පතින්දා පාසල් ආරම්භය සම්බන්ධව පළාත් ආණ්ඩුකාරවරු කල් ඇතුවම විවිධ ප්‍රකාශ සිදුකළහ. පාසල් විවෘත කෙරෙන දින පාසල් නොපැමිණෙන ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ නොවැම්බර් මස වැටුප් අත්හිටුවන බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පැවැසීය. පාසල් විවෘත කරන දින පාසල් නොපැමිණ විනය විරෝධී කටයුතුවල යෙදී 25 වැනිදා පාසල්වලට එන ගුරුවරුන්ට පාසල්වලට ඇතුළුවීමට ඉඩ නොදෙන බව ඔහු කීය.

කෙසේ වෙතත් පාසල් නොපැමිණෙන ගුරු විදුහල්පතිවරුන්ගේ නොවැම්බර් මාසයේ වැටුප් කප්පාදුවක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයක් ගෙන නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා මාධ්‍යට ප්‍රකාශ කළේය. වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාගේ ප්‍රකාශය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශයේ බොහෝ දෙනා නොසතුට පළ කළහ. අධ්‍යාපන අමාත්‍යවරයා සහ තවත් ආණ්ඩුවේ ප්‍රධානීන්ද ඔහුගේ එම ප්‍රකාශය සම්බන්ධව විමසා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය

අවසානයේ  දිවයින පුරා සිසුන් 200ට අඩු පාසල් 5106ක් බ්‍රහස්පතින්දා ආරම්භ විය. අභ්‍යාසලාභී උපාධිධාරීන් බහුතරයක් පාසල් ආරම්භයට දායකත්වා සපයා තිබුණි. පළාත් පාලන ආයතන විසින් දෙමාපිය සහයෝගය සහිතව පාසල් පවිත්‍රතා කටයුතු සිදුකරන ලදී. කෙසේ වෙතත් ගුරු සංගම් පවසන්නේ සඳුදා සිට පාසලට පැමිණෙන බවය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බ්‍රහස්පතින්දා  (21) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියේය. පසුගිය මාස කිහිපයේ ජනාධිපතිගේ පාර්ලිමේන්තු ගමන් වාර වැඩි වී ඇති බවක් නිරීක්ෂණය විය. මෙදින පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි ජනධිපතිවරයා සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පිළිගනු ලැබුවේය. එම මන්ත්‍රීවරුන් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සභා ගර්භයට පිවිසියේය. ජනාධිපතිවරයා සභා ගර්භයට පිවිසෙන විට ස්ථාවර නියෝග යටතේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රශ්න ඇසීම සිදු කළේය. විපක්ෂනායකවරයාගේ වාචික ප්‍රශ්නවලට මහින්දානන්ද අලුත්ගමගේ, ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන් විසින් දුන් පිළිතුරුවලටද ජනාධිපතිවරයා සවන් දුන්නේය.

විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ආනයනික සහල්, කාබනික වගාවක් හරහා ලබාගත් සහල් දැයි විමසුවේය. ඊට පිළිතුරු දෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටියේ මෙරටට සහල් ආනයනය කිරීමට සිදුවූයේ රජය ඉල්ලා සිටියද ගොවියා වී නොවිකුණා සිටීමට කටයුතු කිරීම හේතුවෙන් බවයි. දැනට විදේශයන්ගෙන් ආනයනය කරන සියලුම ආහාර ද්‍රව්‍ය කාබනික ලෙස ගෙන්වීමට හැකියාවක් නැති බවත් ඒ සඳහා රට ස්වයංපෝෂිත වියයුතු බවත් ඔහු තවදුරටත් කියා සිටියේය. මෙහිදී ඔහුට සුවිශේෂී යමක් කියැවුණි. විදේශයන්ගෙන් සහල් ආනයනය කිරීමට යෝජනා කිරීම හේතුවෙන් ජනාධිපතිතුමන්ගෙන් තමන්ට බැණුම් ඇසීමට සිදුවූ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීවේය.

ඇමති මහින්දානන්ද ජනාධිපතිගෙන් බැණුම් ඇසීම සම්බන්ධව සිදුවීමක් ගෙවුණු සතියේ දේශපාලන කරලිය කැළඹුවේය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කළ ජෙනරාල් සුමේධ පෙරේරා එම ධුරයෙන් ඉවත් කිරීම, පසුව මහින්දානන්ද අමාත්‍යවරයාගේ ඉල්ලීම මත කෘෂිකර්ම ලේකම් වශයෙන් පත්කළ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළ එම්.බී. රෝහණ පුෂ්පකුමාර මහතා ඉල්ලා අස්වීම ඇතුළු කරුණු සම්බන්ධව ජනාධිපති මහින්දානන්දහට දොස් පවරා ඇති බව කියැවේ. පසුගිය සතියේ ඇල්ලේ ගුණවංශ හිමියන් ජනපති හමුවීමට පැමිණි අවස්ථාවකදී මෙම කරුණ ගැන සංවාදය ඇතිවී තිබේ. පොහොර සම්බන්ධව රට තුළ උද්ගත ඇති තත්වය පිළිබඳ ජනාධිපති කලකිරීමෙන් පසුවන බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉහත සතියේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් තීරණයකට අනුව ඔවුහු ආණ්ඩුව තවත් තීරණයකට ගොනුකරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියහ. සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළේය. කෙරවළපිටිය යුගදනවි බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය සහ ගෑස් සැපයීමේ ඒකාධිකාරය අදාළ අමෙරිකානු සමාගම වෙත පැවරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඔවුහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියහ.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පසුගියදා අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී එහි රඳවා සිටි LTTE සිරකරුවන්ට ගිනිඅවි පෙන්වා තර්ජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්ද අධිකරණ විශේෂ නියෝගයක් නිකුත් කළේය. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නීතිපති උපදෙස් ලබාගෙන නිසි විමර්ශනයක් සිදුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය බ්‍රහස්පතින්දා (21) පොලිස්පතිවරයාට නියෝග කර තිබිණි. තර්ජනයට ලක්වූ බව කියන අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින රුඳවියන් 8 දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කොට තිබුණි.

දෙමළ සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා මෙම රුඳවියන් වෙනුවෙන් පෙනී සිටියේය. පෙත්සම්කාර රුඳවියන්ට තර්ජනය කිරීම බරපතළ වරදක් බව ඔහු දිගින් දිගටම පෙන්වා දුන්නේය. තම සේවාදායකයන්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ල වී තිබෙන හෙයින් ඔවුන් අනුරාධපුර බන්ධනාගාරයෙන් ඉවත් කොට උතුරු නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ඕනෑම බන්ධනාගාරයක රඳවා තබන නියෝගයක් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නිකුත් කරන ලෙසද ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා වෙත නොතීසිද නිකුත් කර තිබේ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ දියුණු සතියේ තමන්ට විරුද්ධව වැරදි ප්‍රචාර සිදුකළා යැයි කියමින් වෙබ් අඩවි ගණනාවකට විරුද්ධව නීතිමය පියවර ගැනීමට සූදනම් විය. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රවර්ධනය කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකට ප්‍රචාරණ ආයතනයකට රුපියල් කෝටි 05 ක් ගෙවා ඇති බවට වෙබ් අඩවියක් පසුගියදා පුවතක් පළකර තිබූ අතර අදාළ ප්‍රචාරණ ආයතනය විසින් මෙම ව්‍යාපෘතියට අදාළව ජවිපෙ ප්‍රචාරක අංශයට යැවූ බව කියන ලිපියක්ද පළකර තිබිණි. ඒ අනුව ව්‍යාජ පුවත සහ ඊට පදනම් කරගත් කූට ලේඛනය පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කළේය.

ගෙවුණු සතියේ ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවට තවත් බරපතළ චෝදනාවක්ද එල්ල කළේය. කෙරවළපිටිය යුගදනවි බලාගාරය පිළිබඳව ආණ්ඩුව ගිවිසුම් කිහිපයකට හොර රහසේ එළැඹී ඇති බව ඔවුහු කීහ. ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා මෙම චෝදනාව කළේය. මේ අතර බලාගාරය සඳහා ගෑස් සපයන නළ පද්ධතිය සහ පාවෙන ගබඩා පද්ධතිය වසර 50කට අධික කාලයකට ගෑස් සැපයීමේ මුළු අයිතිය ඇමෙරිකානු සමාගමකට පවරා දීම සඳහා කැබිනට් මණ්ඩල තීරණයක් ගෙන ඇති බවත් ඔහු පැවසීය. මීට අමතරව බරපතළ චෝදනාව ඉදිරිපත් කළේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතාය. මෙම බලාගාරය ඇමරිකාවට ලබාදීමෙන් ඇමරිකාවට තමන්ගේම නෞකාවක් ශ්‍රී ලංකාවට බටහිර වෙරළේ නවත්වා ගැනීමට අවස්ථාව ලබාදී ඇති බව ඔහු කීවේය. මේ හරහා දකුණු ආසියානු කලාපයේ පය ගසා ගැනීමට ඇමරිකාවට අවස්ථාවක් හිමිවී ඇති බවද ඔහු පැවසීය.

ඉරිදා ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය වන බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. ජනාධිපති මන්දිරයේදී ඉරිදා සවස හයේ සිට රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සහිතව මෙම සුවිශේෂී සාකච්ඡාව සංවිධානය වන බව දැනගන්නට ලැබුණි. සාකච්ඡාවේදී ආණ්ඩුව වර්තමානයේ මුහුණ දෙමින් සිටින ගැටලු රුසක් පිළිබඳ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු කණ්ඩායම සූදානමින් සිටියේය. විශේෂයෙන්ම කාබනික පොහොර ගැටලුව, යුගදනවි බලාගාර ගැටලුව ජනපති හමුවේ සාකච්ඡා කිරීම බොහෝ මැති ඇමැතිවරුන්ගේ අරමුණ බව දැනගන්නට ලැබිණි. බ්‍රහස්පතින්දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදීද ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරු කාබනික පොහොර අර්බුදය පිළිබඳ ජනාධිපතිවරයා සමඟ කතාබහ කළහ. එමනිසා මෙම සාකච්ඡාව බලාපොරොත්තු සහගත තීරණාත්මක සාකච්ඡාවක් වනු ඇතැයි කියැවුණි.

මේ අතර මෙම සාකච්ඡාවට නිමිත්තක් වූ තවත් විශේෂිත ලිපි ගනුදෙනුවක් පිළිබඳවද දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්න ලැබුණි. යුගදනවි ගිවිසුම පිළිබඳව ජනාධිපතිවරයා සහ පක්ෂය එකොළහේ නායකයන් අතර මෙම ලිපි ගනුදෙනුව සිදුවී තිබුණි. වීරවංශ ඇතුළු පක්ෂ එකොළහේ කණ්ඩායම යුගදනවි සම්බන්ධව ජනාධිපති සමඟ සාකච්ඡා කිරීමට දිගින් උත්සාහ කළෝය. සාකච්ඡා ඉල්ලා ඔවුහු ජනපතිට ලිපි යොමු කළහ. පළමුව අගමැති මහින්ද රාජපක්ෂ හමුවී සාකච්ඡා කළ මෙම පිරිස ජනාධිපතිවරයා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කරන බව මාධ්‍යයට පවා පැවසූහ.

එම පක්ෂ ආරංචි මාර්ග අනුව ජනාධිපතිවරයා ඔවුන්ගේ ලිපිවලට ප්‍රතිචාර දක්වා තිබේ. රජයේ හවුල්කාර පක්ෂ වශයෙන් මෙම කරුණු පිළිබඳව තමා සමඟ සාකච්ඡා කිරීමට වඩා අමාත්‍ය මණ්ඩලයේත්, රජයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ කොටස්කරුවන් සමඟ විවෘතව සාකච්ඡා කිරීම යෝග්‍ය බව ජනාධිපතිවරයා ඔවුනට දන්වා තිබේ. මෙම තත්ත්වය මත ඉරිදා සාකච්ඡාවේදී හවුල්කාර පක්ෂ තම ගැටලු සියලුදෙනා පොදු සභාවේදී කිරීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. එහෙත් යුගදනවි බලාගාරය සම්බන්ධව පාර්ශව කිහිපයක් අධිකරණයට ගොස් ඇති නිසාවෙන් ඒ සම්බන්ධ සාකච්ඡාව කෙලෙස සිදුවේ දැයි අපැහැදිලිය.

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර කලක පටන් පැවැති ගැටුමද ගෙවුණු සතියේදී නැවත කරළියට පැමිණියේය. ගොවි උද්ඝෝෂණ පිටුපස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද සිටින බව ඔහු පැවසීය. ශ්‍රීලනිපයට ආණ්ඩුවේ සිටීමට නොහැකි නම් ආණ්ඩුවෙන් ඉවත්වන ලෙසට ඔහු නැවත කියා සිටියේය. රොෂාන් රණසිංහගේ ශ්‍රීලනිප විරෝධී සටනට ගෙවුණු සතියේදී තවත් අයෙක් එකතු විය. ඒ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තයි. ආණ්ඩුව ඇතුළේ සිට ආණ්ඩුව විවේචනය නොකර ආණ්ඩුවෙන් ඒළියට යන ලෙසත්, ආණ්ඩුවේ සැලුන් දොර නිතරම විවෘතව ඇති බවත් ඔහු කීය.

මේ අතර පොදුජන පෙරමුණෙන් එල්ල වන චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ ගෙවුණු සතියේ සාකච්ඡාව වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබුණි. ඒ අනුව ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සහ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු කණ්ඩායමක් ආණ්ඩුවට ප්‍රතිචාර දැක්වීමට සූදානම් වන බව කියැවේ. මේ අතර උද්ගත වී ඇති තත්වය සම්බන්ධව මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු කණ්ඩායමක් නිහඬව සිටින බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ  ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා පැවැති වියදම් කළමනාකරණ කැබිනට් අනුකාරක සභාවේදී වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන විසින් අලුත් යෝජනාවක් සිදුකර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. ලංකා සතොස ආයතනයට ස්ථාවර වත්කම් අත්පත් කරගැනීම සඳහා වන අලුත්ම ක්‍රමවේදයක් බන්දුල ගුණවර්ධන මහතා යෝජනා කර තිබේ. මෙම යෝජනාව සිදුකරන විට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, &බන්දුල ඇමතිතුමාගෙ මේ යෝජනාව මට අයවැය යෝජනාවක් විදියටත් දෙන්න කියලා ඉල්ලන්න කැමැති මොකද මේ වගේ අළුත් යෝජනා අපිට ඉතාම වැදගත් වෙනවා.

කෙසේ වෙතත් බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී පවසා ඇත්තේ මුදල් ඇමතිතුමාට මං අයවැය යෝජනා ටිකක් දෙන්නම්. නමුත් මේ යෝජනාව නම් ඉක්මනට අනුමත කරගන්න අවශ්‍යයි. මොකද මේකෙන් සිද්ධ වෙන වැදගත්ම දේ තමයි ලංකා සතොස ආයතනයට ස්ථාවර වත්කම් ලබාගන්න දූෂණ, වංචාවලින් තොර ක්‍රියාවලියක් ආයතනය තුළ ඇතිවෙන එක මේ දිනවල සතොස සම්බන්ධව වැඩි උනන්දුවකින් කටයුතු කරන බන්දුල ගුණවර්ධන මහතා පවතින ආර්ථික අර්බුදයට විවිධ මාදිලියේ විසඳුම් යෝජනා කරමින් සිටින බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.

පසුගිය සතියේදී සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කළේය. රට මහා අනතුරක ඇති බව සඳහන් කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අවුල පිළිබඳව සහ කාබනික පොහොර අර්බුදය පිළිබඳව අනතුරු අඟවා තිබුණි. ඒ අනුව දැන්වත් පලිගැනීම් නවතා වහසිබස් නොදොඩා, ලබන සඳුදා ගුරුදෙගුරු ආශිර්වාද මැද පාසල් වැඩ ආරම්භ කරන ලෙස ජාතියේ නාමයෙන් සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බොහෝ කරුණු කරු ජයසූරිය මහතා නිවේදනය කළේය. රසායනික පොහොර වෙනුවට කොම්පෝස්ට් පොහොර භාවිතය පාරිසරිකව ඉතා වැදගත් වුවත්, ලෝකයේ කිසි රටක් ගොවීන්ට මාස කිහිපයකින් පොහොර භාවිතය වෙනස් කිරීමට බල නොකළ බවද එහි සඳහන් විය. භූතානය පවා දැන් සාර්ථක ප්‍රතිඵල ලැබීමට 2030 වර්ෂය දක්වා බලා සිටින බව එහි දැක්වුණි.

 චමිඳු නිසල් ද සිල්වා