2021 ජුලි 10 වන සෙනසුරාදා

බැසිල් පිටියට පැමිණෙයි

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 209

  • රාජපක්ෂ පවුලේ තීරණාත්මක භෝජන සංග්‍රහය
  • ජනාධිපතිගෙන් නිලධාරීන්ට සංවේදී ප්‍රශ්නයක්
  • සජබ මන්ත්‍රී කණ්ඩායම සෑහෙන්න බිසී
  • ලක්ෂ්මන් යාපාගේ පැය හයේ පෝස්ටර් විප්ලවය
  • දයාසිරිට ඇතුළෙත් එළියෙත් දොස් පරොස්
  • විමල්-උදය මොකද කියන්නේ?
  • පාර්ලිමේන්තුවේ මහින්ද නොදැරූ තනතුරු දෙක
  • ඉම්තියාස්ට පක්ෂ විපක්ෂ ප්‍රශංසා

විසිල් සහ කචල් මැද සිදුවූ බැසිල්ගේ පාර්ලිමේන්තු ආගමනය සතියේ ප්‍රධාන දේශපාලන පුවත වූයේය. ආණ්ඩුව මෙන්ම විපක්ෂද තමන් වටා භ්‍රමණය වන අතර බැසිල් වටාද පරිභ්‍රමණ වීමට පටන් ගත්තේය. විපක්ෂ විරෝධතාවලට වැට බැඳුණු අතර පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයන්ද වාර්තා විය. එම නිසාම ගෙවුණු සතිය දේශපාලන වශයෙන් සුවිශේෂී සතියක් විය.

සතියේ සියලු දේශපාලන සිදුවීම් අතරේ සතියේ සුවිශේෂීම දිනය ඉකුත් බ්‍රහස්පතින්දා දිනය විය. එදින බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු ආගමන සිදුවිය. උදෑසනින්ම බැසිල් රාජපක්ෂ මහතා සිය බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ සමඟ අරලියගහ මන්දිරයට පැමිණියේය. අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා ඇතුළු පිරිසක් බැසිල් රාජපක්ෂ මහතා පිළිගත්හ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත්, අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාත්, ජනාධිපති පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම් මාලක චන්ද්‍රදාස මහතාත් අරලියගහ මන්දිරයට පැමිණ සිටියහ. මාලක චන්ද්‍රදාස යනු රාජපක්ෂ පවුලේ සහෝදරියක වන ප්‍රීති චන්ද්‍රදාස මහත්මියගේ පුත්‍රයායි. අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් සකසා තිබූ කිරිබත් මේසයට ගිය පිරිස එම භෝජන සංග්‍රය භුක්ති වින්දෝය.

නැකත ළං වනතුරු පිරිස සුහද සාකච්ඡාවක නිරත වූහ. යහපාලන ආණ්ඩුකාලේ හිරගෙදර සිටියේදී සිදුවූ දේ සාකච්ඡාවට මාතෘකා විය. බැසිල් රාජපක්ෂ තමාව උසාවි රුගෙන ගොස් රාත්‍රී දහය එකොළ වනතුරු එහි රඳවාගෙන සිටි අයුරු සිහිපත් කළේය. එසේම හිරගෙදර සිට පක්ෂය නිර්මාණය කිරීමට කටයුතු කළ ආකාරය පිළිබඳවද බැසිල් සිහි කළේය. එහිදී නාමල් රාජපක්ෂද හිරගෙදර සිටියදී සිදුවූ දෑ සිහි කරන්නට විය. මට දැන් තියෙන ප්‍රශ්නය හිරගෙදරදී යාළු වෙච්ච සිරකරුවන් ඔක්කෝගෙම ප්‍රශ්න මට විසඳන්න වෙන එක* යනුවෙන් පවසමින් තමාට වී ඇති සන්තෑසිය විස්තර කළේය. ඔහු පැවසුවේ සිරකරුවන්ගේ බිරින්දෑවරුන්, දරුවන් තමා හමුවී හඬා වැළපෙන බවයි.

නැකත ළංවෙන විට සියලු දෙනාම එක්වී දිවුරුම් දීම වෙනුවෙන් පිටත්ව යාමට සිදුවිය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා එකම වාහනයට ගොඩ වූ අතර නාමල් රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා වෙනත් වාහනයකට ගොඩ වූහ. පිරිස ජනාධිපති කාර්යාලයට ගිය අතර දිවුරුම් දීම එහිදී සිදුවිය. මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙසත්, මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙසත් දිව්රුම් දීම සිදුවිය. ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් ධූරය අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාටම ලබාදීමට තීරණය විය. මෙහි තවත් කිරිබත් මේසයක් සකසා තිබුණි. ඒ අනුව එයද භුක්ති විඳි බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස සුහද කතාබහකින් අනතුරුව දිවුරුම්දීම පාර්ලිමේන්තුව බලා පිටත්ව ගියහ.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසෙන විට ඔහු පිළිගැනීමට ආණ්ඩුවේ පිරිසක් එක්ව සිටියෝය. එහිදී අපූරු සිදුවීමක් සිදුවිය. මන්ත්‍රී ධූරය අතහරින්න වේ යැයි බියෙන් සැඟවී සිටි පිරිස පළමුවෙන් පිරිස අතරින් ඉදිරියට පැමිණියහ. එය පසුපස සිටි ජ්‍යෙෂ්ඨයන්ට සිනහා පහළ කරන දසුනක් විය. ඒ අතර බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනීමට කතා ඉල්ලා පොරයක්ද ඇතිවුණි. එහි පළමුවෙන් ඉදිරියට පැමිණියේ චරිත හේරත් ඇතුළු පිරිසයි. එහෙත් ඔවුනට අවස්ථාව ලබා නොදීමට ඉහළින් තීරණය විය. පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ මහතා විශේෂිත කතාවක් කළේය. රජයේත් තමාගේත් ප්‍රමුඛතාවය වන්නේ පොදු ජනතාවගේ අවශ්‍යතාවයන් බවත්, එහිදී ඇතැම්විට අමිහිරි තීන්දු ගැනීමට සිදුවනු ඇති බවත් අභිනව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේය.

අපේ අමාත්‍යාංශයේත් අපේ රජයේත් ඒ වගේම මගේත් ප්‍රමුඛතාවය වෙන්නේ පොදු ජනතාවගේ අවශ්‍යතාවයන්. ඔවුන්ගේ ප්‍රමුඛතාවය අපේ ප්‍රමුඛතාවයයි. ඒ ප්‍රමුඛතාවයන් සියල්ල අපි දන්නවා. අපිට අවබෝධයක් තියෙනවා මොකද්ද ප්‍රශ්නේ කියලා. ඒක ජනාධිපතිතුමාට, අගමැතිතුමාට මේ රජයේ සියලුදෙනාට තියෙනවා. නමුත් සමහර වෙලාවට පියකුට වගේ සමහර අමිහිරි දේවල් කරන්න වෙයි. ඒ වුණත් අපි ඒවා අවංකව ජනතාව වෙනුවෙන් කරන දේවල් කියලා අපි හිතනවා. ඒකට සහයෝගය දෙන්න.

මෙලෙස සතියේ ප්‍රධානතම දේශපාලන ජවනිකාව නිමවූ අතර පාර්ලිමේන්තු ගැටුම් ආදිය සති අන්තය ළංවන විට දැකගන්නට ලැබුණි. සිකුරාදා මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ එකට සිටින ජායාරෑපයක් නිසා සමාජ මාධ්‍යයේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය. පසුව එය ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ දරුවෙකුගේ සාදයකදී ලබාගත් බවට කියවුණි. දැන් බැසිල් පරිච්ඡේදයේ අලුත් දිගුවක් කියවා ගැනීමට රට සූදානමින් සිටියි. ඒ අතර බැසිල් පාර්ලිමේන්තු ආගමනය පසුපස වූ රහස් රුසක් අපට දැනගන්නට ලැබුණි. එම කතාව දිග හැරෙන්නේ මෙසේය.

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු පැමිණීම ඇමැතිවරයක් ලෙස දිවුරුම් දීම ආදිය පිළිබඳ විවිධ කතා සතිය ආරම්භයේදීම පැතිර ගියේය. එහෙත් තමාගේ පාර්ලිමේන්තු ගමන පිළිබඳව හෝ තනතුර පිළිබඳව බැසිල් රාජපක්ෂ ප්‍රසිද්ධියේ කිසිවක් කීවේ නැත. ඇමරිකාවේ සිට පැමිණි ඔහු ෂැංග්‍රිලා හෝටලයේ නිරෝධායනය වන අතරේ අතිශය වැදගත් දේශපාලන කටයුතු කිහිපයකටම අත ගැසුවේය. ඉන් පළමුවැන්න වූයේ තමා සමඟ දේශපාලන වශයෙන් අමනාපව සිටින පක්ෂ සමඟ සබඳතා ගොඩනගා ගැනීමයි. ඒ අනුව ෂැංග්‍රිලා සුපිරි නිවාස සංකීර්ණයේදී බැසිල් සහ විමල් වීරවංශ අතර අතිශය වැදගත් රහසිගත සාකච්ඡා සිදුවූ ඇති බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය.

එය පැය දෙකක පමණ දීර්ඝ සාකච්ඡාවක් විය. සුහදතාව වර්ධනය කරගනිමින් සාකච්ඡා දිව යනවිට බැසිල් විමල්ගෙන් තීරණාත්මක ප්‍රශ්නයක් විමසා තිබේ. ඕගොල්ලෝ මම පාර්ලිමේන්තු එනවට අකමැතිද? මොකද ඔයගොල්ලෝ ද්විත්ව පුරවැසි ප්‍රශ්නයට විරුද්ධ වුණානේ* යනුවෙන් බැසිල් විමල්ගෙන් විමසා තිබේ. ඔබතුමා පාර්ලිමේන්තුවට එන එක පිළිබඳව අපේ කිසි අකමැත්තක් නැහැ යනුවෙන් එහිදී විමල් වීරවංශ පවසා ඇති බව කියැවේ. එවිට උදය මොකද ඒ ගැන කියන්නේ? යනුවෙන්ද බැසිල් අසා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ. එයාගෙත් අකමැත්තක් නෑ ඕනෑනම් අහලා බලන්න? යනුවෙන් විමල් ඊට පිළිතුරු ලබාදී තිබේ. ඒ අනුව මේ ආදී කරුණු රුසක් පිළිබඳව බැසිල් හා විමල් සාකච්ඡා කර තිබේ.

මේ අතර ජනපති කාර්යාලයේ ඉහළ නිලධාරියෙක් බැසිල් රාජපක්ෂගේ පණිවිඩකරුවෙක් ලෙස අමාත්‍ය උදය ගම්මන්පිල හමුවීමට ගියේය. &ඔබතුමා බැසිල් රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තු එනවට අකමැතිද?* කියා අදාළ නිලධාරියා උදය ගම්මන්පිලගෙන් විමසා තිබේ. එතුමා පාර්ලිමේන්තු එනවාට කිසි අකමැත්තක් නැති බවත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ලෙස සිය වගකීම තමා දන්නා බවත් උදය අදාළ නිලධාරියාට පවසා තිබේ. මේ ආදී වූ සියලු සාකච්ඡාවල ප්‍රතිඵල සුභවාදී වීමෙන් පසු බැසිල් රාජපක්ෂ සිය පාර්ලිමේන්තු ගමන ස්ථීර කළේය.

මේ අතර බැසිල් රාජපක්ෂගේ ඇමැතිකම පිළිබඳව විවිධ පුවත් මැවුණි. මුදල් රාජ්‍ය ඇමැතිකම, ආර්ථික සංවර්ධන ඇමැතිකම ආදී ඇමැතිකම් බැසිල් රාජපක්ෂ හට ලැබෙනු ඇතැයි අනාවැකි පළවුණි. කෙසේ නමුත් රාජපක්ෂ පවුලේ සම්ප්‍රදාය වූයේ මෙවන් තීන්දු එකට වාඩිවී ලබා ගැනීමයි. දේශපාලන තීන්දු ලබාගැනීම සාමාන්‍යයෙන් මෙතෙක් සිදුවී තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. එම නිසාම පසුගිය සෙනසුරාදා විශේෂ දිවාභෝජන සංග්‍රහයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේ සංවිධානය විය. එය සංවිධානය කිරීමට කටයුතු කළේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වන චමීන්ද්‍ර රාජපක්ෂයි. මෙම භෝජනය සංග්‍රහයට ජනපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, අමාත්‍ය චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක, මාලක චන්ද්‍රදාස යන පිරිස එක්ව සිටියහ. දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබුණු මෙම සංග්‍රහයේ කතා පුවත මෙසේය.

සංග්‍රහය පටන් ගැනීමට පෙරම නාමල් රාජපක්ෂ සිය පුංචි අම්මා වන ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ හමුවී සුවිශේෂී කතාවක් කියා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව බාප්පා ගන්නා ඕනෑම තීරණයකට තමා එකඟ බව බාප්පාට කියන්නට යැයි ඔහු සිය පුංචි අම්මාට කියා තිබේ. අනතුරුව භෝජන සංග්‍රහය ඇරඹුණි. ආහාර ගැනීමට පෙර රාජපක්ෂ සහෝදරයන් ඇතුළු පිරිස එකට එක්ව කතාබස් කරමින් සිටියේය. එහෙත් බැසිල්ගේ පාර්ලිමේන්තු ගමන පිළිබඳ වන මාතෘකාව එළියට පැමිණියේ නැත. අනතුරුව භෝජන සංග්‍රය භුක්තිවිඳීමට සියලුදෙනාම ගියෝය. එහෙත් එහිදීද අවශ්‍ය මාතෘකාව කරළියට පැමිණියේ නැත. කා බී අවසන් වී පිරිස එළියට පැමිණ නැවත කතාබහ කරන්නට වූහ.

එවර කිසිවෙක් අදාළ මාතෘකාවට නොපැමිණි තැන මහින්ද රාජපක්ෂ මහතාම කතාවට ප්‍රවේශ විය. &බැසිලුත් පාර්ලිමේන්තු එන්න ඕනෑ කියනවානේ මොකද දැන් කියන්නේ කට්ටිය යනුවෙන් විමසමින් මහින්ද රාජපක්ෂ මහතා සංවාදයට අවකාශ විවර කළේය. බැසිල් රාජපක්ෂ පක්ෂය නිර්මාණය කිරීමටද ආණ්ඩුව නිර්මාණය කිරීමටද මූලික වූ පුද්ගලයා ලෙස පාර්ලිමේන්තු පැමිණීමේ ගැටලුවක් නැති බව සියල්ලන්ගේම අදහස වූහ. මීළඟට මතුවූයේ බැසිල්ට ලබාදෙන තනතුර කුමක්ද යන්නයි. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට පිළිතුරු දීමට ගියේ නැත. බැසිල් රාජපක්ෂද කිසිවක් කීවේ නැත. ඇත්තෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට යෝජනාවක් ඉදිරිපත් කිරීමට කිසිවක් සූදානම් නොවුණේය.

එවර මහින්ද රාජපක්ෂ මහතාම කීවේ මුදල් ඇමති ධූරය බැසිල්ට දීම පිළිබඳව තමාගේ අකමැත්තක් නොමැති බවයි. එහෙත් අග්‍රාමාත්‍ය ධූරය සහ මුදල් අමාත්‍ය ධූරය මහින්ද රාජපක්ෂ මහතාම දැරිය යුතු බව පවුල තුළින්ම ඒ වනවිටත් ඉල්ලීම් ඉදිරිපත් වී තිබුණි. කෙසේ නමුත් නාමල් මෙම ඉල්ලීම්වල කොටස් කරුවෙක් නොවුණි.  කවුරුන් කෙසේ කීවත් අවසන් තීන්දුව මහින්ද රාජපක්ෂ මහතා සතුවිය. ඒ අනුව තමා මුදල් අමාත්‍ය ධූරය අතහැරීමට වුවද සූදානම් බව මහින්ද රාජපක්ෂ මහතා අවසානයේ කියා සිටියේය. මේ සමඟ බැසිල් වෙනුවෙන් ඉල්ලා අස්වන්නේ කවුරුන් යන්න පිළිබඳ සොයා බැලීමට සහ ඔහු හෝ ඇයව ඊට එකඟකර ගැනීමේ වගකීම නාමල් රාජපක්ෂට පැවරුණි. ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු වී ඇති මහකොමසාරිස් ධූරය ඉල්ලා අස්වෙන මන්ත්‍රීවරයාට ලබාදීමට හැකි බවද පිරිස පැවැසූහ. ඒ අනුව මෙදින දිවා භෝජන සංග්‍රහ අවසන් වූ අතර සභා තොමෝ සතුටින් විසිර ගියහ.

පසුදා ජනාධිපති කාර්යාලයට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සමීපතම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක් සමඟ කතාබහ කළේය. මුදල් ඇමැතිකම ලබාගැනීම පිළිබඳ මහින්ද අයියාගේ හිත නරක් වෙයි දැයි ජනපති කනස්සල්ලෙන් විමසා සිටියේය. ජනාධිපතිවරයා සිටියේ දෙගිඩියාවෙනි. මහින්ද මහත්තයාගේ මුදල් ඇමතිකම ගැලවෙනවා නම් එතුමාට මොනවාද දෙන්නේ? පිරිස ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට වූහ. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගෙන් ගැලවෙන මුදල් අමාත්‍යාංශ වෙනුවට ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශ නමින් අමාත්‍යාංශයක් නිර්මාණය කර දීමට තීරණය විය. මේ අතර මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පැමිණි හිතවතුන් සිදුවන්නට යන දේ පිළිබඳ විමසන්නට වූහ. &මම අවුරුදු පනස් හතරක් දේශපාලනය කළා. මම පාර්ලිමේන්තුවේ දරපු නැති තනතුරු දෙකයි තියෙන්නේ. එකක් තමයි කතානායක ධූරය. අනෙක තමා සභානායක ධූරය. මට ඔය තනතුරු පිළිබඳ ප්‍රශ්නයක් නෑ යනුවෙන් පැවසුවේය.

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු ආගමනය වෙනුවෙන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන්නේ කවුරුන්ද යන්න පිළිබඳවද ඊළඟට ඇතිවූයේ විශාල ප්‍රශ්නයකි. පොදුජන පෙරමුණ ඕනෑම මොහොතක ඉවත්වීමේ පදනම මත ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු හත් දෙනෙක් පත්කර තිබුණි. බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු ආගමනය වෙනුවෙන් පළමුවෙන් සාගර කාරියවසම්, ජයන්ත කැටගොඩ ඉල්ලා අස්වීමට සූදානම් වූයේ ලියුම් පවා භාරදෙමිනි. කෙසේ වෙතත් පක්ෂයේ අනෙක් ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වූයේ බැසිල් වෙනුවෙන් ඉල්ලා අස්විය යුත්තේ රංජිත් බණ්ඩාර, චරිත හේරත් හෝ ෆලීල් මර්ජාන් බවයි. බැසිල් රාජපක්ෂ හටද පාර්ලිමේන්තුව තුළදී තමන්ගේ සහායට කැටගොඩ වැනි ගෝලයෙක් අවශ්‍ය වී තිබුණි. ඒ නිසාම අන්තිම මොහොත වනතුරු ඉල්ලා අස් නොවන ලෙස බැසිල් කැටගොඩට කීවේය.

එමනිසා රංජිත් බණ්ඩාර, චරිත හේරත්, ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ, ෆලීල් මර්ජාන් ආදී මන්ත්‍රීවරුන් කාගේත් ඉලක්කය විය. ඔවුන්ට ඉල්ලා අස්වෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කරමින් ඔවුන් හමුවට ගියේ රේණුක පෙරේරා මහතාය. රංජිත් බණ්ඩාර ඉල්ලා අස්වන්නට කැමති බව කීවද ඔහු මහ බැංකු අධිපති ධූරය හෝ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය හෝ බලාපොරොත්තු විය. ආණ්ඩුවේ ප්‍රධානීන් ඊට එතරම් කැමති වූයේ නැත. මර්ජාන් ෆලීල් ඉවත් කරනවාට මහින්ද රාජපක්ෂ මහතා අකමැති වූයේ මුස්ලිම් ජනතාව අමනාප විය හැකි බව පවසමිනි. චරිත හේරත්ට දුක් ගැනවිල්ලක් තිබුණි. ඔහු රේණුක පෙරේරාට කීවේ අපි වගේ ප්‍රතිපත්ති සම්පාදන කරන අය පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවයි. &මම කෝප් එකෙත් ලොකු වැඩ කොටසක් කරනවා. ඇයි මට මේ වගේ යෝජනාවක් කරන්නේ* යනුවෙන් ඔහු ප්‍රශ්න කළේ ශෝකී ලෙස බව දේශපාලන කතාවක්ද පැතිර ගියේය.

ජයන්ත වීරසිංහ ජනාධිපති නීතීඥවරයාට මෙම යෝජනාව ඉදිරිපත් විය. ඔහු බැසිල් රාජපක්ෂගේ නඩුවලටද පෙනී සිටි නීතීඥවරයා විය. ඔහු කෙලින්ම බැසිල් රාජපක්ෂහට දුරකථන ඇමතුමක් ගත්තේය. &ඔයා පාර්ලිමේන්තු එනවද මිස්ටර් බැසිල්? ඔයා එනවා නම් මම තමා ඔයාගේ සහායකයා විදිහට පාර්ලිමේන්තුවේ ඉන්නේ.* යනුවෙන් පැවසීය. ඒ අනුව ඔහුද ඉල්ලා අස් නොවන බව පැහැදිලි විය. මේ අනුව අවසානය වනවිට ඉල්ලා අස්වීමට කෙනෙක් නැති තත්ත්වයක් මතුවිය. මේ අතර තත්ත්වය ආරංචි වූ රාජ්‍ය ඇමතිවරියක වන සීතා අරඹේපොල මහත්මිය බැසිල් රාජපක්ෂ හමුවී කීවේ කවුරුත් නැත්නම් තමා අස්වීමට සූදානම් බවයි. කෙසේ නමුත් අවසන් දවස් දෙක තුන වනවිට ලැයිස්තුවේ සිටි විද්වතුන් දෙදෙනෙක් දුරකථන පවා විසන්ධි කර සැඟවී සිටියේ ඉල්ලා අස්වන්නට වේ යැයි යන බියෙනි. රේණුක පෙරේරා ඔවුන් සොයන්නට වූ නමුත් ඔවුන්ගෙන් ප්‍රතිචාරයක් නොවුණි.

නැවතත් සාගර කාරියවසම් අස්වීමට සූදානම් විය. බැසිල් රාජපක්ෂ කීවේ පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම සුදුසු නොවන බවයි. අවසානයේ ප්‍රශ්නය බරපතළ වනවිට ස්වේච්ඡාවෙන්ම ජයන්ත කැටගොඩ නැවත ඉදිරිපත් වී තමා ඉල්ලා අස්වන බව කියා සිටියේය. ඔහු තනතුරු පවා ප්‍රතික්ෂේප කරමින් තමා මුලසිටම ඉල්ලා අස්වීමට සූදානමින් සිටි බව කියා සිටියේය. ඔහු මහින්ද රාජපක්ෂ මහතා හමුවී මේ බව කියා සිටින විට මහින්ද රාජපක්ෂ මහතා කීවේ ලෙහෙසියන් දේශපාලනය තුළ සිදු නොකරන පරිත්‍යාගයක් ඔහු සිදුකරන බවයි. ඒ නිසාම ඔහුට අවශ්‍ය තනතුර කුමක්දැයි අග්‍රාමාත්‍යවරයා විමසා සිටියේය. මට තනතුරු එපා! මම දෙපාරක් ඡන්දයෙන් පාර්ලිමේන්තු ආපු කෙනෙක්. මම මේ පරිත්‍යාගය කරන්නේ පක්ෂය හදපු බැසිල් රාජපක්ෂ මහත්තයා වෙනුවෙන්. එතුමා තමා මේ තනතුර අපිට දුන්නේ. ඔහු කීය

අනතුරුව ජනාධිපති, අගමැති සමඟ කතාබහ කර ජයන්ත කැටගොඩට රක්ෂණ සංස්ථාවේ සභාපති ධූරය ලබාදීමට සූදානම් විය. නමුත් ඔහු එයද ප්‍රතික්ෂේප කරමින් තමන් පක්ෂයේ වැඩකටයුතු සිදුකරන බව කියා සිටියේය. ඒ අනුව කැටගොඩ සාගර සමඟ ගොස් ඉල්ලා අස්වීම භාර දුන්නේය. අනතුරුව බැසිල් රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිසමට යෝජනා කිරීම සිදුවිය. ඒ අනුව බැසිල්ගේ පාර්ලිමේන්තු ගමන ස්ථීර විය. පුෂ්පා රාජපක්ෂ මහත්මිය සුභ නැකත් දෙකක් බලා තිබුණේ ගෙදරින් පිටත්වීමට සහ දිවුරැම් දීමටයි. ඔහු දිවුරුම් දීමත් සමඟ රට පුරා ප්‍රචාරක ව්‍යාපාරයක් ඇරඹීමට පොහොට්ටුව තිරණය කළේය. පොස්ටර් ගැසීම්, කිරිබත් සාද සංවිධානය විය. මෙම පෝස්ටර් ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටි අය අතර මාතර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාද විය. ඔහු පැය 6ක කාලයක් තුළ මාතර දිසාව පුරා බැසිල් ගැන පෝස්ටරයක් අලවා වාර්තාවක් තැබීය.

මේ සියල්ල අතරේ බැසිල්ගේ පාර්ලිමේන්තු පැමිණීම පිළිබඳ ශ්‍රීලනිප මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කී කතාවක් හේතුවෙන් පොහොට්ටුවේ බැසිල් හිතවාදීහු කිපී සිටියෝය. “මේක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කැබිනට් මණ්ඩලයක් නෙමෙයි. මේ විහිළු ඇමතිකම් හැදුවේ බැසිල් රාජපක්ෂ මහතා සහ පී.බී. ජයසුන්දර මහතායි. අපිව පැත්තකට කරලා තියලා තියෙන්නෙත් ඒ අයම තමයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එක්ක අපි වැඩ කරන්න ලෑස්තියි.” යනුවෙන් දයාසිරි ප්‍රකාශයක් කොට තිබුණි. මේ සමඟ නිර්මාණය වූ ගැටුම දුරදිග ගියේය. ආණ්ඩුවේ විවිධ මැති ඇමතිවරු දයාසිරිට ප්‍රසිද්ධියේ දොස් කීහ. තමන්ට දීලා තියෙන්නේ විහිළු ඇමතිකමක් යැයි පැවසීමෙන් ඔහු මාස අටක් ජනතාවට විහිළු සැපයූයේ යැයි පිළිගන්නා බවත් දයාසිරි ජයසේකර මහතා එවැනි දේ පැවසුවද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයා ඇතුළු සෙසු සියලුම ප්‍රධානීන් රට පත්ව ඇති තත්ත්වය තේරුම් ගෙන රජයට සහයෝගය දක්වන බවත් පොහොට්ටු ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

මේ අතර පක්ෂ තුළින්ද දයාසිරි ජයසේකර මහතාට පීඩනයක් එල්ල විය. ඔහු දිගින් දිගටම සිදුකළ ප්‍රකාශ පිළිබඳ පක්ෂයේ ඇතැමුන් සිටියේ කලකිරීමෙනි. විවිධ අවස්ථාවල එය විරෝධයක් ලෙසද ඉස්මතු විය. මෙවර චාමර සම්පත් දසනායක දයාසිරිට ඉල්ලා අස්වෙන්න යැයි කියා තිබීම හේතු කොටගෙන ශ්‍රීලනිප අභ්‍යන්තරයේද දයාසිරි පිළිබඳ සාකච්ඡා ඇතිවී තිබුණි. දේශපාලන ආරංචි අනුව ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක යන පිරිස දයාසිරිගේ ප්‍රකාශ පිළිබඳ නොසතුටින් සිටි බව දැනගන්නට ලැබේ. ඒ අනුව මෙම දෝෂදර්ශන හමුවේ ජූලි 6 වැනිදා පැවැති ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම් රුස්වීමේදී ජයසේකර මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර ඇති බව කියැවේ. තමන් කියා සිටියේ ගම් මට්ටමේ පාක්ෂිකයන්ගේ මතය බවත්, අවශ්‍ය නම් තමන් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවත් ඔහු පවසා තිබේ. එවිට තමන්ට පක්ෂයේ වැඩකටයුතු ඉදිරියට කරගෙන යාමට හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇතැයි කියැවේ.

ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා නියෝජනය කරන ආසනය වන පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනා කළ සභාපතිවරයා වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් යෝජනා කරන ලද සභාපතිවරයෙක් පත්කර ගැනීමට පියවර ගෙන තීබීමද සුවිශේෂී පුවතක් විය. පසුගිය සතියේ එම සභාව සඳහා සභාපතිවරයකු තෝරා පත්කර ගැනීමට පැවැති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නම් කරන ලද අපේක්ෂකයා පරාජයට පත්ව ඇත. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව නව සභාපතිවරයෙක් පත්කර ගැනීමට කටයුතු කර තිබේ. මෙම සිදුවීම ශ්‍රීලනිප පොහොට්ටුව අර්බුදය තවත් වර්ධනය කරන්නක් බව පෙනී ගියේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සමාන නමකින් අලුත් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කර ඇතිදැයි විමසා බැලීමට ජූලි 7 වැනිදා ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා මැතිවරණ කොමිසමට ගොස් තිබුණි. ඒ පසුගියදා කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශ පාදක කොටගෙනය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නමට සමාන නමකින් නව පක්ෂයක් කිසියම් පිරිසක් කටයුතු කරන්නේ නම් එය වළක්වාලන ලෙස ජයසේකර මහතා කොමිසමෙන් ඉල්ලා තිබුණි. මෙම සිදුවීම් සියල්ල අතරේ කවුරුන් දයාසිරිට විරුද්ධ වුවත් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුව අරක්ෂා කරන බව තිරය පිටුපස කතා අතර කියැවුණි. ඒ අතර ජූලි 8 වැනිදා රාත්‍රියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රුස්වීම පවත්වා ඇති බව වාර්තා වෙයි. පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දයාසිරිගේ ප්‍රකාශ පිළිබඳ සේම ‌සාකච්ජාවේදී ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් ශ්‍රීලනිපය ඉලක්ක කර සිදුකරන විවේචන සම්බන්ධයෙන්ද සාකච්ජා වී ඇති බව කියවේ. කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන මහතා දිගින් දිගටම පවසා ඇත්තේ පක්ෂයේ සංවිධාන කටයුතු වේගවත් කළ යුතු බවයි.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් හමු කිහිපයක්ම ගෙවුණු සතියේ පැවැත්වුණි. ජූලි 5 වැනිදා පැවැති මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමට ඔවුහු තීරණය කළහ. එහිදී සමගි ජනබලවේගයට එක්වීම හේතුකොට ගෙන එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරනු ලැබූ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ප්‍රමුඛතාවය ලබාදීමටද තීන්දු වී තිබුණි. ඔවුන් විරෝධතා කිහිපයක් වෙනුවෙන්ද මෙහිදී පිඹුරුපත් සැකසූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. තවද පාර්ලිමේන්තුවේදී එකම පිරිසකට කතා ලබාදීම පිළිබඳ සජබ මන්ත්‍රීවරු පිරිසක් අසතුටින් සිටි බවත් දැනගන්නට ලැබුණි. මේ අතර විශ්වාසභංගය සම්බන්ධව සාකච්ඡාද සමගි ජනබලවේගය තුළ ගෙවුණු සතියේ පැවැත්වුණි. ජූලි 8 වැනිදාද ඔවුන් විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවක් පැවැත්වීමට කටයුතු කර තිබුණි.

ගෙවුණු සතියේ විපක්ෂ මන්ත්‍රීවරයකු ඉදිරිපත් කළ යෝජනාවකට පක්ෂ භේදයකින් තොරව සියළු දෙනාගේම ප්‍රසාදය හිමිවිය. ජූලි 7 වැනිදා පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයට එක්වෙමින් විපක්ෂ මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා මෙම යෝජනාව ඉදිරිපත් කළේය. ඔහු කියා සිටියේ සියලු මැතිවරණවලදී තාරුණ්‍යයට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිසීම සඳහා පහසුකම් සැලසිය යුතු බවයි. ඒ අනුව සියලු මැතිවරණවලදී නාමයෝජනා ලබාදීමේදී තාරුණ්‍යයට අවම වශයෙන් නාමයෝජනා වලින් සියයට විසිපහක ප්‍රතිශතයක් ලබාදීම සහතික කිරීමට ප්‍රතිපාදන සැකසිය යුතු බව ඉමිතියාස් මහතා යෝජනා කළේය. එම යෝජනා ආණ්ඩුවේ පමණක් නොව විපක්ෂයේ දමිළ සන්ධනයේ පවා ප්‍රශංසාවට ලක්විය. එහිදී මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධ කාරක සභා කමිටුවේ සභාපතිවරයා වන සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා එම යෝජනාව විශේෂයෙන් අගය කළේය. එම යෝජනාව තමන් සභාපතීත්වය දරණ කමිටුවට ඉදිරිපත් කරන බවද ඔහු පැවසීය.

 චමිදු නිසල්