2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා

රනිල් - වජිර අභයාරාමයේ

 2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 369

  • ඕමල්පේ හිමිගෙන් දැඩි ප්‍රහාරයක්
  • බැසිල් පාර්ලිමේන්තු එන දවස!
  • පාර්ලිමේන්තු සභාවේ මංගල රැස්වීම
  • රජයේ කොරෝනා පිළිවෙතට සජිත්ගෙන් දොස්
  • මැතිසබයේ මාධ්‍යයට කොවිඩ් තහනමක්
  • අනුර-ලංසා ඔට්ටු ගැටුමක

දේශපාලන සුළි කුණාටු කිහිපයකට පසුව ගෙවුණු සතියේ දේශපාලනය තරමක් සන්සුන් මුහුණුවරක් ගත්තේය. විසිවැනි සංශෝධනය, ඇමරිකානු රාජ්‍ය ලේකම්ගේ සංචාරය තවදුරටත් ප්‍රබල මාතෘකා නොවූ අතර පුවත් මැවූ ජනපති කොමිසම්ද කොවිඩ් හේතුවෙන් ලොක්ඩවුන් වූයේය. දෙවැනි රැල්ලේ සැඩපරුෂ බව දෙස කාගේත් අවධානය යොමුවූ අතර සතියේ එක්දිනකට සීමාකළ පාර්ලිමේන්තුවේ රැස්වීම පිළිබඳ ඇතැම්හු අවධානය යොමුකළහ.

ගෙවුණු සතියේ සඳුදා ඇඳිරිනීතිය ඉවත් කිරීමට තිබුණද එය තවත් දීර්ඝ කෙරිණි. මේ අතර සඳුදා අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය විය. ඒ සඳහා බස්නාහිර පළාතේ දේශපාලනඥයන් මෙන්ම ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් සියලුදෙනාම වාගේ සහභාගී වූහ. රුපියල් පන්දහසේ දීමනාව ලබාදීම, අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම, නිවෙස් සඳහා බඩුබාහිරාදිය බෙදාහැරීමේ වැඩපිළිවෙළ සැකසීම ආදිය පිළිබඳ මෙහිදී සාකච්ඡා විය. සාකච්ඡා අතරේදී මෙරට ණය වාරික ගෙවීම සම්සම්බන්ධ විශේෂිත හෙළිදරව්වක් බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදුකෙරිණි.

හුඟක් විරුද්ධ පාක්ෂිකයන් බලාපොරොත්තු වුණා අපේ ණයවාරික ගෙවාගන්න බැරිවෙයි කියලා. නමුත් මේ අවුරුද්දට පමණක් ඇමරිකන් ඩොලර් බිලියන හතරයි දශම දෙකක ණය වාරික ගෙවලා අපි කිසිම අපහසුකමක් නැතුව කටයුතු කරගෙන ගිහිල්ලා තිබෙනවා.

කොවිඩ් මැද පාර්ලිමේන්තු රැස්වීම කාගේත් අවධානය දිනා ගත්තේය. රට තුළ පවතින කොවිඩ් 19 වෛරස රෝගය හමුවේ වෛද්‍ය ආඥා පනතට අදාළ නියෝග දෙකක් සම්මත කරගැනීම සඳහා මෙලෙස පාර්ලිමේන්තු රුස්විය. ඒ අනුව අඟහරුවාදා (03) පෙරවරු 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ විය. අදාළ පනත සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඉදිරිපත් කෙරිණි. කෙසේ වෙතත් මෙදින පාර්ලිමේන්තු පැමිණියේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද මන්ත්‍රීවරුන් 120ක පමණ පිරිසකි. මාධ්‍යයට මෙන්ම ආරාධිතයන්ට පාර්ලිමේන්තු කටයුතු නිරීක්ෂණය මෙදින තහනම් වූයේ කෝවිඩ් හේතුවෙනි.

ලංකාවේ කොරෝනා වෛරසය මර්දනය වන්නේ නම් තමන් මුහුදට බිලිවීමට පවා සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය කාගේත් අවධානය දිනා ගත්තේය. සමාජ මාධ්‍යවල පළව තිබෙන ඇතැම් සටහන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව කියා සිටියේය. ඒ අනුව මෙම ප්‍රකාශයට පදනම වූයේ පසුගියදා අමාත්‍යවරිය සහභාගී වූ ආගමික කටයුත්තක් සම්බන්ධයෙන් ඇතැමුන්ගේ උපහාසයට කළ ප්‍රකාශයකි.

මුහුණු පොතේ දාලා තිබෙනවා පවිත්‍රා වන්නිආරච්චි ලංකාවේ කොවිඩ් මර්දනය වෙන්න ඔයා මුහුදට බිලිවෙන්න කියලා... ඇත්තටම එහෙම වෙනවා නම් මම ඒකට ලෑස්තියි.

සෞඛ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවේදී කියා සිටියේ කොරෝනා මර්දනයේදී කිසිදු අවස්ථාවක එය දේශපාලනීකරණය නොවී සෞඛ්‍ය අංශවලට මුල්තැන දී කටයුතු කරන බවයි.

මීට අමතරව පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොරෝනා සම්බන්ධව ආණ්ඩුවේ කටයුතු දැඩිව විවේචන කළේය. කොරෝනා හේතුවෙන් මියයන මුස්ලිම් ජනයාගේ සිරුරු භූමදානය කිරීම ඉඩකඩ ලබාදීම සම්බන්ධවද මෙහිදී සංවාදයක් ඇතිවිය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මුස්ලිම් අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් අදහස් දැක්වූවේය. නමුත් ප්‍රේමදාස මහතාට බාධා කරමින් නැගී සිටි අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පෙන්වා දුන්නේ ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා කමිටුවක් පත්කොට ඇති බවයි. එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කොරෝනා වැළදී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කිරීම පිළිගෙන ඇති බවත්, ආණ්ඩුව එම තීන්දුවට ගරුකළ යුතු බවත්ය.

කෙසේනමුත් මෙම සිදුවීම අවසානයේ සෞඛ්‍ය ඇමතිනියද අදහස් දක්වා තිබුණි. කොරෝනා වැළඳීම හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු භූමදානය කිරීමට අවසර ලබාදීම ගැන සලකා බැලීමට රජය තීරණය කර තිබෙන ඇය කියා තිබුණි. කෙසේ වෙතත් කොරෝනා හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් සඳහා අවසන් කටයුතු කරන ආකාරය මේ වනවිට ගැසට්ටුවක් මගින් ප‍්‍රකාශයට පත් කර ඇත. භූමදානයට අවසර ලබාදෙන්නේ නම් එහි යම් වෙනසක් සිදුකළ යුතුවේ.
මෙදින පාර්ලිමේන්තුවේ ජාතික ජන බලවේගයේ නායක  අනුර කුමාර දිසානායක සහ රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා අතරද බහින්බස් වීමක් සිදුවිය. මෙහිදී පාර්ලිමේන්තු තරමක් උණුසුම් විය. රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පැවසුවේ පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේදී අනුර කුමාර මන්ත්‍රීවරයා ලංකාවේ නොසිටි බවත් දවස් 15කින් ලංකාවට පැමිණි බවත්ය. ඇමරිකාවේ සිටියද දවසක් තුළ ලංකාවට පැමිණි බව ඔහු කියා සිටියේය.

ඊට පිළිතුරු දුන් අනුර කුමාර මහතා පැවසුවේ එය ඉතාම අසත්‍ය සහ වැරදි තොරතුරක් බවයි. ප්‍රහාරය සිදුවූයේ 21 දින බවත් තමා 25 වැනිදා ලංකාවට පැමිණි බවත් ඔහු කියා සිටියේය. එහිදී නිමල් ලංසා රාජ්‍ය අමාත්‍යවරයා බාධා මතු කළේය. එහිදී අනුර කුමාර මන්ත්‍රීවරයා තරමක් සැර කතාවක් කීවේය... “ඔයත් එක්ක මොන ඔට්ටුද අනේ.... ඔයත් එක්ක දානවා කුඩු ෂොට් එකක්. මොන හෙරොයින්ද හොඳ කියලා ඔට්ටු දාන්න හොඳයි. මීගමුවෙන්ද දෙවුන්දරින්ද ගොඩබාන ඒවාද හොඳ කියලා ඔට්ටුවක් දාමු. එහෙම ඔට්ටු දාමු.

මේ අතර බදාදා පස්වරුවේ 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පත්කෙරුණු පාර්ලිමේන්තු සභාවේ මංගල රැස්වීම කථානායක නිල නිවසේදී පැවැත්විණි. ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. එම රුස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගීවීම සුවිශේෂී විය. ඔවුන්ට අමතරව අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා වන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා මීට සහභාගී වූහ. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා, නියෝජ්‍ය මහලේකම් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී, නීල් ඉද්දවල මහතාද මේ අවස්ථාවට එක්ව සිටියහ.

එහිදී කථානායකවරයාගේ උපදෙස් පරිදි මහලේකම් ධම්මික දසනායක මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට අනුව පාර්ලිමේන්තු සභාවේ නීතිමය රාමුව සහ එහි ක්‍රියාපටිපාටිය පැහැදිලි කළේය. එසේම මෙහිදී පාර්ලිමේන්තු සභාවේ සාමාජිකයන් ඉදිරියේදී අනුගමනය කළයුතු ක්‍රියාපටිපාටියන් පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරුණි. එක අයගේ වගකීම ආදිය පිළිබඳ සාකච්ඡා වූ අතර ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ එකඟත්වයකට පැමිණි බවද වාර්තා වේ.

තවත් විශේෂ සාකච්ඡාවක් පිළිබඳ දේශපාලන කටකතාවක් පැතිර ගියේය. ඒ අනුව නාරාහේන්පිට අභයාරාමයේ බදාදා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමඟ පැවැත්වූ බව කියැවුණු මෙම සාකච්ඡාවට සහභාගී වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂනායක රනිල් වික්‍රමසිංහ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාය. මෙම සාකච්ඡා පැය 2ක පමණ කාලයක් පැවති බවත් රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික කරුණ මෙන්ම දේශපාලන කරුණු රැසක්ද පිළිබඳ මුරුත්තෙට්ටුවේ හිමියන් සමඟ සාකච්ඡා කළ බවත් කියැවුණි.

මේ අතර ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ආණ්ඩුට තදින් පහර දෙන්නට පටන් ගත්හ. ඇඹිලිපිටියේ පැවැති එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සෝභිත හිමියෝ කොරෝනා මර්දනයට උපකරණ ලබාගැනීමට පරිත්‍යාගයක් ලෙස ලෝක බැංකුවෙන් ලැබුණ රුපියල් බිලියන තිහකින් සෞඛ්‍ය උපකරණ මිලදී ගන්නට කටයුතු නොකළේ කොමිස් මුදල් ඉන් නොලැබෙන නිසාදැයි ජනපති, අගමැති, සෞඛ්‍ය ඇමැතිවරිය ඇතුළු සෞඛ්‍ය බලධාරින්ගෙන් ප්‍රශ්න කර සිටියහ.

ඩොලර් කෝටි 167ක් කියන්නේ රුපියල් කෝටි 3039ක්. එය රුපියල් බිලියන වලින් 30ක්. මෙය මෙවර අයවැයෙන් සෞඛ්‍ය අංශය සඳහා වෙන්කළ රුපියල් බිලින 63ක මුදලින් භාගයක් තරම් වූ ප්‍රමාණයක්. මේසා විශාල පරිත්‍යාග මුදල් දීමට නියමිතව තිබියදී අදාළ සෞඛ්‍ය බලධාරීන් කිසිම පියවරක් නොගැනීම හේතුවෙන් ඒ මුදල අවලංගු වන ස්වරෑපයක් පෙනෙන්න තියෙන්නෙ. කොරෝනා මඬින්න මේ මුදලින් මොනම පියවරක්වත් අරන් නෑ කියලයි අවලංගු වෙන්න යන්නේ. පීසීආර් ප්‍රමාණවත් යන්ත්‍ර නෑ. තියෙන ඒවා ක්‍රියා විරහිත වෙලා තියෙනවා. අයිසීයූ පහසුකම් ඉතාමත් අවමයි. පීසීආර් යන්ත්‍ර මිලදී ගැනීම, අයිසීයූ පහසුකම් වැඩිදියුණු කිරීම කළ යුතුව තිබියදී, මේ මුදල් ඊට භාවිත නොකළේ ඇයිදැයි අපි සමස්ත මහජනතාව වෙනුවෙන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඇසිය යුතුයි.

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු පැමිණේද නැද්ද යන්න පිළිබඳ දේශපාලන කරළියේ යම් සංවාදයක් ගෙවුණු සතියේ නිර්මාණය වී තිබුණි. පැතිර ගිය ආරංචි වූයේ ජාතික ලැයිස්තුවෙන් පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ඉවත් වී බැසිල් රාජපක්ෂට එම අසුන ලබාදීමට යන බවයි. එසේම බැසිල් රාජපක්ෂ මහතා හට ආර්ථික හා ග්‍රාමීය සංවර්ධන, මුදල් අමාත්‍යංශය ලැබීමට නියමිත බවද මේ සමඟම කියැවුණි.

මෙම ආරංචිය ගැන මාධ්‍ය කළ විමසීමකදී පළමුව පිළිතුරු බැන්දේ ද්විත්ව පුරවැසිභාවයට දිගින් දිගටම විරුද්ධ වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාය. ඔහු මේ සම්බන්ධව අපූරු ප්‍රකාශයක් කළේය. බැසිල් රාජපක්ෂ මහතාට ද්විත්ව පුරවැසිභාවය අතහැර ඕනෑම මොහොතක පාර්ලිමේන්තුවට පැමිණිය හැකි බව කී ඔහු දැන් වුවද සම්මත කර ඇති විසිවැනි සංශෝධනය අනුව එය අත නොහැරද පාර්ලිමේන්තුව පැමිණිය හැකි බවත්ද කීය. එහෙත් එවන් ලැජ්ජා නැති වැඩක් බැසිල් රාජපක්ෂ මහතා නොකරනු ඇතැයි තමන් විශ්වාස කරන බව අවසානයේ වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නම් තමන් කැමති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා තිබුණි. මහින්ද රාජපක්ෂ මහතාගේ පසුබිමත් සමඟ බිම් මට්ටමේ සිට දැවැන්ත පක්ෂයක් නිර්මාණය කළේ බැසිල් රාජපක්ෂ මහතා විසින් බවත් ඔහුට නිසි ගරුත්වය ලබා නොදුනහොත් ගුණමකුවන් වන බවත් ඔහු කීවේය. එසේම ගෝඨාභය මහින්ද බැසිල් සුසංයෝගයෙන් යුක්තව රට සෞභාග්‍යයේ දැක්ම කරාගෙන යෑමට වත්මන් ආණ්ඩුවට හැකියාව ඇතැයි ද ඔහු කියා සිටියේය. මෙම ප්‍රකාශයට සමගාමීව පොහොට්ටුවේ තවත් මැති ඇමතිවරු බැසිල්වාදී ප්‍රකාශ කිරීම ඇරඹූහ.

පසුගිය සතියේ කොවිඩ් මර්දනය සම්බන්ධ පූර්ණ අවධානය ලබාදී සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිරෝධනයට නීති කඩ කරන්නන් පිළිබඳ අවස්ථා කිහිපයක දීම සොයා බැලුවේය. ප්‍රකාශ කිහිපයකට පසුව ජනාධිපතිවරයා නිවේදනයක් පවා නිකුත් කළේය. ඒ අනුව නිරෝධායනය වෙමින් සිටින පිරිස ඇඳිරිනීතිය ඉවත්කළ පසුවද විධිමත්ව අධීක්ෂණය කළයුතු බව රාජපක්ෂ මහතා අවධාරණය කළේය. ආසාදිතයන් සමාජයෙන් හමුවුවහොත් ඔහුගේ හෝ ඇයගේ ආශ්‍රිතයන් සහ ඔවුන් අයත් ප්‍රදේශ පිළිබඳව විශේෂ අවධානය යොමුකළ යුතු බවටත් අවශ්‍ය වුවහොත් හුදකලා ප්‍රදේශ ලෙස පවත්වාගෙන යා යුතු බවටත් ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබුණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතා අතර හමුවක් පසුගිය 03 වැනිදා පැවැත්විණි. මේ සාකච්ඡා හම්බන්තොට වරාය සම්බන්ධව කරුණක් නිසා සුවිශේෂී විය. හම්බන්තොට වරාය පිළිබඳ ප්‍රංශය උනන්දු දක්වන බව මෙහිදී තානාපතිවරයා ප්‍රකාශ කර ඇත. ඒ අනුව “ප්‍රංශ රජය හම්බන්තොට වරායේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වනවා.  ලැවර්ටු මහතා මහින්ද රාජපක්ෂ මහතා හට පවසා ඇත. එසේම ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා ප්‍රංශ වෙළඳපොළේ වැඩි ඉල්ලුමක් තිබෙන බවද පවසා තිබේ. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය කාර්යාලය මෙම තොරතුරු විශේෂ කොට නිවේදනයක් නිකුත් කිරීම සමඟ බොහෝ දෙනාගේ අවධානය ප්‍රංශයේ වරාය කතාව දෙසට යොමුවී තිබේ.

විස්ස සම්මත වීමෙන් පසු ආණ්ඩුවට සහයෝගය දැක්වූ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගැනීමට එම පක්ෂය කටයුතු කළේය. ඒ අතරතුර ආණ්ඩුවට පනින්නට බලා සිටි සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුට සමාජ මාධ්‍යයේ චෝදනා එල්ල වන්නට විය. පක්ෂ අභ්‍යන්තරයේද විවිධ කතා නිර්මාණය වෙමින් තිබුණි. මෙම චෝදනාවලට පෙරළා පිළිතුරු දීමට චෝදනා ලැබූ පිරිස ඉදිරිපත් වූයේ එක් අයෙක් පමණි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාය.
ඔහු මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණි. තමන් ඇතුළු සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක්වන බවට යම් පිරිසක් මාධ්‍ය ප්‍රචාරයක් රැගෙන යන බවත්, මෙය තමන්ට එරෙහිව සිදුකරන කුමන්ත්‍රණයක් බවත් ඔහු එහිදී අවධාරණය කළේය. මෙම මඩ ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන අතර ඉදිරි මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා රාජ්‍ය නායකයා බවට පත්කිරීමට උපරිම කැපවීමෙන් කටයුතු කරන බව මයන්ත දිසානායක මහතා මෙහි වැඩිදුරටත් පැවසුවේය.

මේ අතර උතුරේ දේශපාලන අර්බුදයක් පිළිබඳවද ගෙවුණු සතියේ දකුණේ මාධ්‍ය අවධානය යොමුකර තිබුණි. තොරතුරු වාර්තා අනුව ඔක්තෝබර් 31 වැනිදා මෙම අර්බුදය ආරම්භ වී ඇත්තේ ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මහ ලේකම් වශයෙන් එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතාව පත්කිරීම සමගිනි. ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මහ ලේකම් වශයෙන් කටයුතු කළ එස්. තුරෙයිසිංහම් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ඇති වූ පුරප්පාඩුවට මාවෙයි සේනාධිරාජා මහතා පත්වී තිබේ. කෙසේ වෙතත් පක්ෂයේ මහ ලේකම් ධුරය හා නායකත්වය එකම පුද්ගලයකුට හිමිවීම පිළිබඳව ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ සෙසු ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් හට ගැටලුවක් ඇතිවී ඇති බව කියැවේ.
මේ අතර දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශ තනතුර සම්බන්ධවද යම් අර්බුදයක් ඇති බව පැවසෙයි. දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රකාශක තනතුර අඩෙයිකලනාදන් මන්ත‍්‍රීවරයාටත්, පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරය ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතාටත් ලබාදෙන බවට ලබාදී තිබූ පොරොන්දුවක් සම්බන්ධව මෙම ගැටලු මතුකර ඇත්තේ ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්ය.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීම පිළිබඳ සංවාදයක්ද ගෙවුණු සතියේ හට ගත්තේය. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාව වෙත පැවරීමේ සූදානමක් සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා ගැන ප්‍රශ්න කරමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කළේය. එම ලිපියේ ජනාධිපතිට දැඩිව දෝෂාරෝපණය කර තිබුණි.

එම මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා රජය ප‍්‍රතික්ෂේප කර නැත. ගෙවී ගිය කාලය තුළ ඔබතුමාගේ රජය කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අනුගමනය කරන ලද ප‍්‍රතිපත්තිය මගිනුත් පැහැදිලිව පෙනෙන්නට ඇත්තේ මහජනතාව මෙන්ම වරාය සේවකයා රැවටීමටද ඔබතුමා ඉතා සූරයකු බව යැයි එහි සඳහන්ව තිබිණි.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාද බදාදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මෙම වරාය ගැටලුවට මැදිහත් විය. අදානි වරාය සහ විශේෂ ආර්ථික කලාපය (Adani port and special economic zone) නැමැති ඉන්දීය ආයතනයට කොළඹ නැගෙනහිර වරාය පර්යන්තයෙන් 49% කොටසක් විකිණීමට මෙරට රජය එකඟ වී ඇති බවට ජාත්‍යන්තර පුවත් කිහිපයක ප්‍රධාන පුවතක් වශයෙන් පළකර ඇති බව සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය. මෙම ගැටලු සම්බන්ධව ජනාධිපතිගේ ප්‍රතිචාර බොහෝ දෙනෙකු බලා සිටිමුත් මේ දක්වා ආණ්ඩු පාර්ශ්වයෙන් මීට පැහැදිලි කිරීමක් ලැබී නැත.

 චමිඳු නිසල්