2023 මැයි 14 වන ඉරිදා

මැතිසබයේ පත්තුවුණ එක්ස්ප්‍රස් පර්ල් ගින්න

 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:00 238

තම තමන්ගේ අරමුණු ජය ගැනීමට වලිකන පොදිකන දේශපාලකයන් අතරේ කතා සාද සපිරි තවත් සතියක් ගෙවී ගියේය. පාර්ලිමේන්තුව උණුසුම් විය. තනතුරු හබයද දිග ඇදුණි. මන්ත්‍රණ කුමන්ත්‍රණ සුලභ විය. එක්ස්ප්‍රස් පර්ල් නැව නැවත දේශපාලන සමුදුරේ ගිනි ගනිමින් තිබුණි.

ගෙවීගිය සතියේ දේශපාලන කරළියේ තිරය පිටුපස ප්‍රධානතම මාතෘකාව බවට පත්වූයේ නව ආණ්ඩුකාරවරු පත් කිරීමයි. පසුගිය සතියේ අප හෙළිකළ පරිදි පොහොට්ටුවේ දැඩි ඉල්ලීමට ඇහුම්කන් දෙමින් ජනපති නව ආණ්ඩුකාරවරුන් සිවුදෙනකු පත්කිරීමට තීරණය කළේය. පොහොට්ටු පාර්ශ්වයෙන් මුලසිටම කියැවුණේ බොහෝ ආණ්ඩුකාරවරුන් දේශපාලඥයන් සමග සුහදව වැඩ නොකරන බවකි. ඒ අනුව ආරම්භයේදී ආණ්ඩුකාරවරුන් පස්දෙනකු මාරුකිරීම සම්බන්ධ ඉල්ලීම් ඉදිරිපත් වී තිබුණි.

උතුරු, නැඟෙනහිර, සබරගමු, වයඹ, බස්නාහිර ආණ්ඩුකාරවරුන්ගේ නම් මේ අතර කියැවුණි. කෙසේ වෙතත් මේ වනවිට බස්නාහිර ආණ්ඩුකාර ධූරය සම්බන්ධ කතාබහ යටපත් වී තිබේ. ඒ පිටුපස ඇති දේශපාලන සිදුවීමද පසුගිය සතියේ අපට දැන කියා ගැනීමට හැකි විය. සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා, ආණ්ඩුකාරවරුන් මාරුකිරීමේ ඉල්ලීම පිළිබඳ ඔහු දැනුම්වත් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

''දැන් ඔබතුමාට බලය තියෙනවා කැමති දෙයක් කරන්න. ඒ සම්බන්ධව මට ගැටලුවක් නෑ. මම එක ඉල්ලීමක් කරනවා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලකට තවත් අවස්ථාවක් දීලා බලන්න පුළුවන් නම් හොඳයි.''

කෙසේ වෙතත් පොහොට්ටුවේ මන්ත්‍රීවරු රැසක් ආණ්ඩුපක්ෂ කණ්ඩායම් හමුවේදී ඒ වනවිටත් බස්නාහිර ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතාට සහ වයඹ ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ මහතාට විරෝධය පළකර තිබුණි. එහෙත් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මැදිහත් වීමත් සමඟ, මාරු කිරීමට නියමිත ආණ්ඩුකාරවරුන්ගේ ලැයිස්තුවෙන් රොෂාන් ගුණතිලක මහතාගේ නම ඉවත්වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

මීට සතියකට ඉහතදී ජනපතිගේ නියමයෙන් ආණ්ඩුකාරවරුන් සිව්දෙනකුට ඉල්ලා අස්වන ලෙස පණිවිඩයක් යවනු ලැබූ බව දේශය වාර්තා කළෙමු. අප වෙත වාර්තාවන ආකාරයට මෙම පණිවිඩය ආණ්ඩුකාරවරුන් වෙත ලබාදී ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙම විෂය භාරව කටයුතු කරන අතිරේක ලේකම්වරියක වන චිත්‍රා තිලකරත්න මහත්මිය විසින් බව දැනගැනීමට ලැබේ. මෙම පණිවිඩය ලැබූ ආණ්ඩුකාරවරුන් අතරින් එක් අයකු ලේකම්වරිය වෙත දැඩි ස්වරයෙන් කතාකර ඇතැයි කියැවේ.

''ඕගොල්ලෝ මොනව කිව්වත් අපි අස්වෙන්නේ නෑ. අස්වෙන්න සූදානමකුත් නෑ.''

මෙලෙස තරවටු කරන ලීලාවෙන් කතාකළ ආණ්ඩුකාරවරයාට ලේකම්වරිය පෙරළා පිළිතුරු බැඳ ඇත.

''මම කතා කළේ මට ලැබුණු නියෝගය දැනුම් දෙන්න. එතැනින් එහාට මට කතාවක් නෑ. කරුණාකරලා මේ පණිවිඩය බාරගන්න. එච්චරයි.''  

උතුරු පළාත් ආණ්ඩුකාරවරයාට සංහිඳියාව සම්බන්ධව කටයුතු කරන ආයතනයක ඉහළ තනතුරක් ලබාදීමට සැරසෙන බවද අපට දැන ගැනීමට ලැබුණි. නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියද ඉල්ලා අස්වීමට අකැමැත්තක් නොමැති බව ප්‍රකාශ කළ බව මුලදී කියැවුණි. එහෙත් පසුව ආරංචි මාර්ග සඳහන් කළේ ආගමික සහ දේශ හිතෛෂි බලවේග සමඟ සමීපව වැඩකරන ඇය එම බලවේග වල සහය පතන බවයි. සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා මෙම සිදුවීම් පෙළ අතරේ විදේශගතව සිටි අතර, ඔහු දැනුම් දී තිබුණේ නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ඉල්ලා අස්වීම සම්බන්ධව ගැටලුවක් නොමැති බවකි.

කෙසේවෙතත් දින කිහිපයක් ගතවනවිට මෙම තත්ත්වය වෙනස් විය. එක්තරා ආණ්ඩුකාරවරයෙක් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා හමුවීමට ගොස් ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය. ආණ්ඩුකාරවරයකු ඉවත් කිරීම සම්බන්ධ නීති රීති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන දැනකියා ගැනීම ඔහුගේ අරමුණ වී තිබිණි. මේ සම්බන්ධව ලැබුණ දේශපාලන ආරංචි මාර්ග අනුව කියැවුණේ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ආණ්ඩුකාරවරයකු ඉවත් කිරීම සම්බන්ධව ඔහු හට යම් පැහැදිලි කිරීමක් සිදුකර ඇති බවකි.

''ආණ්ඩුකාරවරයකු පත් කිරීමේ සහ ඉවත් කිරීමේ බලය තියෙන්නේ ජනාධිපතිට. නමුත් ඒ බලය ව්‍යවස්ථානුකූල විය යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, ආණ්ඩුකාරවරයෙක් අතරමගදී අස්වුණේ නැත්නම් ඉවත් කරන්න බෑ. පළාත් සභාවලට ගෙන එන විශ්වාසභංග යෝජනාවක් මගින් තමයි අස්කරන්න වෙන්නේ. විශ්වාසභංගයක් ගෙනැල්ලා පළාත් සභාව තුළ සම්මත කරලා, සභානායක සහ මහඇමැති විසින් ඒක ජනාධිපතිවරයාට දුන්නට පස්සේ තමයි අස්කරන්න වෙන්නෙ.''

ආරංචි මාර්ග සඳහන් කළ ආකාරයට හිටපු අග්‍ර විනිශ්චකාරවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති උපුටා දක්වමින් මීට සමාන පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. කෙසේ වෙතත් මේ වනවිටත් පළාත් සභා සියල්ල විසුරුවා හැර ඇති නිසාවෙන් එම පැහැදිලි කිරීම අනුව මේ මොහොතේ ජනපතිට ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීමට බලයක් නැතැයි යන අදහස ජනිත වූ බව අප ආරංචි මාර්ග සඳහන් කරයි.

දිනෙන් දින කාලය ගත වුවද ජනපතිගේ පණිවිඩය අනුව ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වන බවක් නොපෙනුණි. ඒ අනුව ආණ්ඩුවද නීති විශාරදයන්ගේ උපදෙස් ලබාගෙන ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. ජනපතිගේ ප්‍රසාදය ඇතිතාක් ආණ්ඩුකාවරුන් ධූර දැරිය හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳන්ව ඇති නිසාවෙන්, ඕනෑම මොහොතක ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීමේ බලය ජනපතිට ඇතැයි එම නීති විශාරදයන් ජනපති කාර්යාලයට උපදෙස් ලබා දී ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට උපදෙස් ලබාදී ඇත්තේ මේ සම්බන්ධව නීතිපති උපදෙස් ලබා ගන්නා ලෙසයි. මේ වනවිට දැන ගැනීමට ලැබෙන්නේ, එම උපදෙස් ලැබීමත් සමඟ ආසන්න දිනයකදී ජනපති විසින් නව ආණ්ඩුකාරවරුන් සිව් දෙනකු පත් කිරීමට සූදානමින් සිටින බවකි.

මේ අතර පසුගිය සතියේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවද තරමක් උණුසුම් විය. ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එක් විය. මෙම හමුවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සිය දෙනෙක් පමණ සහභාගී වී සිටියහ. සතියේ පාර්ලිමේන්තු කටයුතු සහ දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡාවෙන් අනතුරුව, එක්ස්-ප්‍රස් පර්ල් නෞකාව පිළිබඳ සංවාදය මෙහිදී දිග ඇදී ඇත.

''ඇයි මේ නැව රටෙන් එළියට ගෙනියන්න ඉඩ දුන්නේ....'' මන්ත්‍රීවරුන්ගේ පාර්ශ්වයෙන් මතුවී ඇත්තේ මෙවන් පැනකි.

''එවකට විෂයභාර නාලක ගොඩහේවා මැතිතුමා කියපු නිසා තමයි ඒ අවසරය ලබා දුන්නෙ.''

ඊට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පාර්ශ්වයෙන් ලැබී මෙවන් පිළිතුරක් බව ආරංචි මාර්ග සඳහන් කරයි.

''නෑ එයා කියලා තියෙනවානේ, එයා නියෝග දුන්නේ නැහැයි කියලා. එයා කියලා තියෙන්නේ ජනාධිපතිවරයා නියෝග දුන්නා කියලා.''

මන්ත්‍රීවරුන් පිරිසක් පෙරළා ප්‍රශ්න කරන්නට වූහ. මෙවර පැහැදිලි කිරීම සිදුකළේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතායි.

''මේ නැව ගියේ කොහොමද කියලා මම හිටපු ජනාධිපතිතුමාගෙන් දෙපාරක් ඇහුවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කිව්වා මගෙන් ඇවිල්ලා අවසර ඉල්ලුවා නමුත් මම දුන්නේ නෑ කියලා. නීතිපතිගෙන් අවසර ගන්නෙ නැතුව මගෙන් අවසර ඉල්ලන්න එපා කියලා එතුමා කියලා තියෙනවා. ඒ අනුව නීතිපතිවරයාගේ මේ අය උපදෙස් ඉල්ලුවාට පස්සේ නීතිපතිවරයා කියල තියෙන්නෙ නැවට යන්න පුළුවන් හැබැයි සල්ලි ඩිපොසිට් කළාට පස්සේ කියලා.''

මෙම පැහැදිලි කිරීම සමඟ අවසානයේදී හිටපු විදේශ ලේකම් ජයනාත් කොළඹගේ විසින් යැවූ ලිපියක් සම්බන්ධවද කතිකාවක් නිර්මාණය වී තිබේ. මෙම නෞකාවට පිටත්වීමට අවසර ලබාදෙන ලෙස ලිපියක් විදේශ ලේකම්වරයා විසින් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියට යොමුකර ඇතැයි ඒ අනුව කියැවේ.

මෙම ලිපිය ලැබීමෙන් අනතුරුව සිදුකළ යුත්තේ කුමක්ද යන්න, එවක සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය, විෂයභාර අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගෙන් විමසා ඇතැයි මෙහිදී හෙළිදරව් විය.

''විදේශ ලේකම් කියලා තියෙනවා මේක යවන්න කියලා. දැන් අපි මොකද කරන්නේ.''

''විදේශ ලේකම් කියනවානම් යවන්න කියලා. එහෙනම් යවන්න.''

කණ්ඩායම් හමුවේ තොරතුරු අනුව අසන්නට ලැබෙන පරිදි එහිදී ඇතිව ඇත්තේ මෙවන් සංවාදයකි. මෙම සියලු තොරතුරු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවේ අනාවරණය වීමෙන් අනතුරුව, මේ පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට පිරිස තීරණය කර ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග තහවුරු කර සිටී.

පසුගිය සඳුදා දිනය සමගි ජනබලවේගයට සුවිශේෂිත දිනයක් වූයේ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වීම හේතුවෙනි. එසේම ඔවුන්ගේ කළමනාකරණ කමිටු රැස්වීම සහ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමද ඊට සමගාමීව පැවැත්වීමට සජබ නායකත්වය කටයුතු කර තිබීම විශේෂ විය. දැන ගැනීමට ලැබුණු පරිදි සජබ අභ්‍යන්තරයේ පැවති යම් යම් වියවුල් සහගත තත්ත්වයන් මුළුමනින්ම නිරාකරණය කර ගැනීම මෙහි අරමුණ විය.

ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සමගි ජන බලවේගයේ සිට ආණ්ඩුවට පිරිසක් එක්වීමට යන බවට කතිකාව පිළිබඳව සංවාදයක් හටගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

''කකුල් දෙක දෙපැත්තේ තියාගෙන කාටවත් ඉන්න දෙන්නෙත් නෑ. ආණ්ඩුව මේ හැසිරෙන විදියට, මීට පස්සේ ආණ්ඩුවට කිසි සහයෝගයක් ලබා දෙන්නෙත් නෑ. කවුරු හරි යනවා කියල ආරංචි වුණොත් අපේ පක්ෂය තුළ ඒ අයව ආයේ තියා ගන්නෙත් නෑ.''

විපක්ෂ නායකවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුම කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මෙවන් දැඩි අදහස් දැක්වීමක නිරත වී ඇතැයි සජබ ආරංචි මාර්ග සඳහන් කරයි. තවද ඉදිරියේදී පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණවලට එරෙහිව කටයුතු කරන ඕනෑම අයකුට එරෙහිව පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූලව අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමටද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙවර රැස්වීමේදී බලය පවරා ඇතැයිද වාර්තා වේ.

එසේම එළැඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගය අනිවාර්යයෙන්ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළයුතු බවට සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතික තීරණය කර ඇති බවද වාර්තා වේ.

''ඉතා පැහැදිලිව තීරණයක් ගත්තා. ඉදිරි ජනාධිපතිවරණයකදී සමගි ජනබලවේගයේ නායකත්වයෙන් හදන සන්ධානයේ සාමාජිකයෙක් විනා, විවිධ පක්ෂ එක්ක එකතු වෙලා දාන පොදු අපේක්ෂක කතාවලට සමගි ජනබලවේගය සම්බන්ධ වෙන්නේ නෑ කියලා.''

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මෙලෙස සඳහන් කළේ මාධ්‍ය අමතමිනි. එහිදී සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්ෂකයා විය හැකිදැයි මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කර තිබේ.

''අපේක්ෂකයා ඉතින් අපේ නායකයානේ, ඒ ඔක්කොම ඉන්න රැස්වීමේදී තමයි ඒකමතිකව තීන්දුව ගත්තේ.''

කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කටයුතු පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රද මාධ්‍ය හමුවේ අදහස් දක්වා තිබුණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරයේ පිහිටුවීමේ සූදානමක් පිළිබඳව ඇය කතා කළේය.

''විශේෂයෙන්ම මේ දවස්වල ලොකු කසුකුසුවක් යනවා රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති විදිහට ඉන්දැද්දි, සජිත් ප්‍රේමදාස මැතිතුමා අගමැති ධුරයට පත් කිරීමේ වෑයමක් තියෙනවා කියලා. ඒක පැහැදිලිවම සජිත් ප්‍රේමදාස නායකතුමා ප්‍රකාශ කළා. එතුමා ප්‍රකාශ කළා කිසිම හේතුවක් මත කිසිම විදිහකින් ආණ්ඩුවට එකතු වෙන්නේ නෑ කියලා.''

කෙසේ වෙතත් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී විපක්ෂයේ පොදු සන්ධානයක අවශ්‍යතාවය පිළිබඳවද කතිකාවක් නිර්මාණය වී තිබේ. දැනට නිර්මාණය වී ඇති විපක්ෂයේ පොදු එකමුතුව, සජබ සන්ධානයට එපිටින් තබා ගනිමින් ඉදිරියට යාමට පිරිස තීරණය කර ඇතැයිද දැන ගන්නට ලැබේ.

පසුගිය සතියේ අගමැති දිනේෂ් විශේෂයෙන් හඟුරන්කෙතට ආගමික කටයුත්තකට සහභාගි වූ අවස්ථාවකදී අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා නාහිමියන් බැහැදැක තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ ආරංචි මාර්ග පවසන පරිදි මෙම උත්සවයේ නිමාවෙද්දී නායක හිමියෝ අග්‍රාමාත්‍යවරයාව තමා අසලට කැඳවා ඇත.

මෙහිදී මහ නා හිමියෝ පසුගිය සමයේ ක්‍රියාත්මක වූ ආහාර සුරක්ෂිතතා වැඩසටහන පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට ප්‍රශංසා කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

''මේ වැඩසටහන මෙහෙයවූයේ අසීරුම කාලපරිච්ඡේදයක. හැබැයි අපේ අගමැතිතුමා අපේ රටේ ගොවි ජනතාව කෙරෙහි විශ්වාසය තබා, ආහාර අතිරික්ත නිෂ්පාදනය කරපු එක නම් හරිම විශිෂ්ඨ වැඩක්.''

අග්‍රාමාත්‍යවරයාද නාහිමියන් වෙත වැඳ නමස්කාර කර අදාළ කටයුත්ත පිළිබඳ පැහැදිලි කර ඇතැයි දැන ගැනීමට ලැබේ.

''අපේ ගොවි මහත්තුරු ගැන අපි ඉතිහාසයේ ඉඳන්ම විශ්වාසය තිබ්බා, අපේ නායක හාමුදුරුවනේ. ඒ විශ්වාසය අපේ ගොවියා කවදාවත් කඩකළේ නෑ. ඉස්සරහටත් මේ ජාතික වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරන බව ඔබවහන්සේට කියන්න ඕන.''

අග්‍රාමාත්‍යවරයාගේ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි එස්.බී. දිසානායක, සී.බී. රත්නායක, යදාමිණී ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේද මෙම අවස්ථාවට සහභාගී සිට ඇත.

අමාත්‍ය කාංචන විජේසේකර සහ ජාතික ජනබලවේගය අතර නිර්මාණය වෙමින් පවතින ගැටුමද ගෙවී ගිය සතියේ කැපී පෙනෙන සිදුවීමක් විය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ටෙන්ඩරයක් සම්බන්ධව මෙම මතභේදාත්මක තත්ත්වය උද්ගත විය. පළමුව ගැටලු නිර්මාණය වූයේ ඇමැති කංචන සහ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අතරය.

''මෙතන බරපතළ ගේම් එකක් ගිහිල්ලා තියෙනවා.''

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මෙම ටෙන්ඩරය සම්බන්ධ දීර්ඝව තොරතුරු ඉදිරිපත් කරමින් කීවේ එවැනි කතාවකි.

''අපි පිට සමාගමකින් ඉන්ධන අරගෙනත් නෑ ඉන්ධන ගත්ත ඒකට මුදල් දාලත් නැහැ.''

ආරම්භයේදී සාමාන්‍ය කතිකාවක් වූ නමුත් අවසානයේදී මෙය බරපතළ ගැටුමක් දක්වා දුරදිග ගියේය. කාංචන විජේසේකර මහතාගේ පියා කප්පම් ගත් බවක් ජාතික ජනබලවේගයේ පාර්ශ්වයෙන් ප්‍රකාශය වනවිට, ඇමැති කාංචන විජේසේකරද ජාතික ජන බලවේගය සම්බන්ධව විවේචන ඉදිරිපත් කර තිබුණි. ජනතා විමුක්ති පෙරමුණ හිටපු මන්ත්‍රී වසන්ත සමරසිංහ වැනි චරිතද මෙම සංවාදයට පැටලුනි. කාංචන නයාට ගසා පොල්ල වරද්දා ගත්ත බව ඔහු පැවසීය. මෙම ගැටුම ඉදිරි සතියේදී තවත් බරපතළ වනු ඇතැයි ඒ අනුව පෙනී ගියේය.

I චමිඳු නිසල් ද සිල්වා