2023 මැයි 07 වන ඉරිදා

ජොනී මුදල් කමිටු මුල් පුටුවට දැම්මාට විපක්ෂ විරෝධය

 2023 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 06:00 335

දේශපාලන සතියක් ගෙවී ගියේය. දේශපාලන අලකලංචි, සංදර්ශන, ගැටුම් නොඅඩුව දක්නට ලැබුණි. මැයි දින සැණකෙළි හේතුවෙන් ද දේශපාලන කසුකුසු නිර්මාණය විය. දේශපාලන කරණම් පිළිබඳ කතා මෙන්ම තරවටු කිරීම් පිළිබඳ කතා ද දේශපාලන පක්ෂ ඇසුරේ අසන්නට ලැබුණි. කෙසේ වෙතත් සිංහල අවුරුද්දත් සමඟ කෙමෙන් උණුසුම් වෙමින් පැවැති දේශපාලන කරළිය, සති අන්තය එළඹෙන විට වෙසක් පොහොය හේතුවෙන් තරමක සන්සුන් ස්වරූපයක් ගත්තේය.

අප ඉහත සතියේදී ඔබට කියූ ආණ්ඩුවේ ආණ්ඩුකාර හබය ගෙවී ගිය සතියේදී සංධිස්ථානයක් කරා එළැඹියේය. නව ආණ්ඩුකාරවරුන් පත් කරන ලෙසට දිගින් දිගටම ලැබුණු ඉල්ලීම් සලකා බලමින්, බ්‍රහස්පතින්දා ලන්ඩන් ගමනට පෙර ජනපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණයක් ගත්තේය. ඒ අනුව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ආණ්ඩුකාරවරුන් සිව්දෙනකු මාරු කිරීමට ජනපති තීරණය කළ බවකි.

ඒ අනුව උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මෙලෙස මාරු කිරීමට නියමිත ආණ්ඩුකාරවරුන් බව ආරංචි මාර්ග තහවුරු කළේය. ඒ අනුව මෙම ආණ්ඩුකාරවරුන් සිව්දෙනා වෙත ඉල්ලා අස්වෙන්න යැයි දැනුම් දීමට ද ජනපති පාර්ශ්වය කටයුතු කර ඇතැයි දැනගැනීමට ලැබුණි.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩන් ගමන නිමා කොට පැමිණ නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමට නියමිත බව කියැවේ. එම පත්කිරීම් මැයි 10 වැනිදායින් පසුව සිදුවනු ඇති බවද ආරංචි මාර්ග තහවුරු කරයි. කෙසේ වෙතත් මෙම පුවත සැලවීමත් සමඟ සිය තනතුරු අහිමිවීම පිළිබඳ ආණ්ඩුකාරවරුන් කලබලයට පත්වූ බව දැනගන්නට ලැබේ. මේ අතරින් එක් අයකු හෝ දෙදෙනකු හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද අමතා තිබිණි.

“සර් ඔබතුමා තමා අපිව මේ තනතුරුවලට පත් කළේ. කරුණාකරලා මේ තනතුරු අපිට ආරක්ෂා කරල දෙන්න."

එවන් ඉල්ලීමක් ආණ්ඩුකාරවරුන්ගේ පාර්ශ්වයෙන් ලැබෙද්දී ආරංචි මාර්ග පවසන පරිදි හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ඊට පිළිතුරු බැඳ තිබිණි.

“මම දැන් දේශපාලනයෙන් අයින්වෙලා ඉන්නේ. ජනාධිපතිතුමා හොඳ තීරණයක් ගනී. මම ඔබතුමාලව මගේ කාලේ උදව්වක් විදිහට මේ තනතුරුවලට පත් කළා. දැන් ජනාධිපතිතුමා සුදුසු තීරණයක් ගනියි. මට කරන්න දෙයක් නෑ."
ආණ්ඩුකාරවරුන් සිව්දෙනකු තනතුරුවලින් ඉවත් කිරීමේ පුවත සැලවීමත් සමඟම නව ආණ්ඩුකාරවරුන් ලෙස පත්වන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ද දේශපාලන කරළියේ විශාල ආන්දෝලනයක් ඇතිවිය. දේශපාලන පළ පුරුද්ද ඇති අය ආණ්ඩුකාරවරුන් ලෙස පත් කළ යුතු බව පොහොට්ටුවේ බොහෝ දෙනා අවධාරණය කළහ.

ඒ අනුව මේ වනවිට යෝජනා වී ඇති නම් ලෙස අසන්නට ලැබුණේ දේශපාලනඥයන් වන නවීන් දිසානායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සෙන්දිල් තොණ්ඩමන්, පාලිත රංගේ බණ්ඩාර සහ මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකාවක වන පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඇතුළු කිහිප දෙනකුගේ නම්ය. කෙසේ වෙතත් මෙම තනතුරුවලට කවරකු පත්වේදැයි තවමත් අවිනිශ්චිතය.

ගෙවී ගිය සතිය විපක්ෂයට ද තරමක කාර්යබහුල සතියක් විය. විපක්ෂයේ පොදු සන්ධානයේ කැඳවුම්කරු ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බකීර් මාකර් මහතා පත්කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන තිබුණි. ඒ අනුව විපක්ෂයේ පොදු සන්ධානය පසුගිය සතියේම සිය වැඩ කටයුතු ආරම්භ කළේය.

ඒ අනුව පසුගිය බදාදා (03) විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොල්ලුපිටියේ මැන්ඩරින් හෝටලයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා විපක්ෂයේ සර්ව පාක්ෂික එකමුතුව අතර හමුවක් සංවිධානය විය. මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට සහ කතුවරුන්ට උදෑසන ආහාර වේලටද ආරාධනා කරමින් විපක්ෂය විසින් සංවිධානය කරනු ලැබූ මෙම හමුවට කැපී පෙනුණු සහභාගිත්වයක් දක්නට ලැබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා මෙම කටයුත්ත මෙහෙයවූ අතර, සමගි ජන බලවේගය වෙනුවෙන් තිස්ස අත්තනායක, ලක්ෂ්මන් කිරිඇල්ල, හර්ෂණ රාජකරුණා ඇතුළු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී කණ්ඩායමක් සහභාගි වී සිටියහ. විපක්ෂයේ වෙනත් ප්‍රධාන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතුරලියේ රතන හිමි, මහාචාර්ය ජී.එල්. පීරිස්, රවුෆ් හකීම්, ගෙවිඳු කුමාරණතුංග, චන්දිම වීරක්කොඩි ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
මෙදින ජාත්‍යන්තර මාධ්‍ය දිනය වූයෙන් මෙම සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාවක් බවට "මාධ්‍ය පාලනය උදෙසා රජය පිඹුරුපත් සකස් කරන විකාශන අධිකාරී පනත" පත් කර ගැනීමට විපක්ෂයේ නියෝජිතයෝ කටයුතු කළහ. එය උපක්‍රමශීලී ප්‍රවේශයක් විය. මීට අමතරව ප්‍රතිත්‍රස්ත පනත, මහ බැංකු පනත, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව වන්දිය ආදී කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණි.

“විශේෂයෙන්ම විවිධ දේශපාලන පක්ෂවලට ඒ ඒ පක්ෂවලට අන්‍යෝන්‍ය සහ අනන්‍ය වූ චින්තන තිබෙනවා. න්‍යාය තිබෙනවා. නමුත් ජාතික වශයෙන් වැදගත් වන හුදු කාරණා ගණනාවකදී අපට එකතුවීමේ අවස්ථාව අද ඇතිවෙලා තිබෙනවා. උදාහරණයක් ලෙස මාධ්‍ය පාලනය උදෙසා අද රජය පිඹුරුපත් සකස් කරන විකාශන අධිකාරී පනත දැක්විය හැකියි. ඒ හරහා නිදහස් මාධ්‍යයට එල්ල වන මරු පහර ගැන, එයට විරුද්ධ වීම ගැන පොදු මතයක් අදහසක් අප සතුව තිබෙනවා."
ජාත්‍යන්තර මාධ්‍ය දිනය පිළිබඳව ද සිහිපත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් දැක්වූයේය. 

ඒ අතර මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳ කතා කළේය.

“ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමේදී මාධ්‍යවේදීන් අතිශය වැදගත්. පසුගිය මාස කිහිපයේ රටේ සිදුවූ දේවල් ගැන බලද්දි ඔබලාගේ සහයෝගය නැතිව මේ ප්‍රතිත්‍රස්ත පනත ඉවත් කර ගන්න පුළුවන්කමක් නැහැ. ගිය සතියේ අධිකරණ ඇමැතිතුමා කිව්වේ දැනට ගේන්නේ නෑ කියලා. ඒ කියන්නේ දින නියමයක් නොමැතිව ඉවත් කරගෙන. මෙය අතිවිශාල ජයග්‍රහණයක්. ඒ සඳහා මාධ්‍යවේදීන් කළ උදාර වැඩ කොටස නොතිබුණා නම් මේ ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ."

රැස්ව සිටි පිරිස සමඟ සුහදව කතාබහ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ව්‍යවස්ථාදායක සභා රුස්වීමට සහභාගි වීම සඳහා කල් ඇතිවම සභාවෙන් නික්ම ගියේය.  මෙහිදී විපක්ෂයේ සෙසු පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතුරලියේ රතන හිමි, රවුෆ් හකීම්, ගෙවිඳු කුමාරණතුංග යන අයද වැඩිදුරටත් අදහස් දැක්වූහ. ජාතික ජන බලවේගය විපක්ෂයේ පොදු එකමුතුව සඳහා එක් නොවුණි.

සතියේ විශේෂ අවධානයක් දිනාගත් ජනපතිගේ ලන්ඩන් ගමන සිදුවූයේ බ්‍රහස්පතින්දා (04) ය. ඒ අනුව බ්‍රහස්පතින්දා අලුයම ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ නිල සංචාරයක් සඳහා පිටත්ව ගියේය. ඒ බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගිවීමේ අරමුණිනි. ජනාධිපතිවරයා සමඟ තවත් අට දෙනකු දිවයිනෙන් පිටත්ව ගිය බව කටුනායක ගුවන්තොටුපොළ කාර්ය භාර කළමනාකාරවරයා මාධ්‍ය වෙත පැවසීය. 

බ්‍රිතාන්‍ය රජ පවුලේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම රාජාභිෂේක උත්සවයට සහභාගි වන බව වාර්තා වේ. සංචාරය අතරතුරදී ජනපති තවත් රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවනු ඇතැයි ද කියැවේ. බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ රාජාභිෂේකය මැයි 6 වැනිදා වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී පැවැත්වීමට නියමිත බව විදෙස් සේවා වාර්තා කරයි. රාජාභිෂේක උත්සවයෙන් අනතුරුව ජනාධිපතිවරයා ලබන 8 වැනිදා පෙරවරුවේ නැවත දිවයිනට පැමිණීමට නියමිතය. මේ අතර ජනපතිගේ පැමිණීමෙන් පසු තීරණාත්මක දේශපාලන තීන්දු කිහිපයක් ආණ්ඩුව විසින් ගනු ඇතැයිද දේශපාලන කරළිය තුළ අනාවැකි පළ වේ.

මේ අතර ජනපතිගේ ලන්ඩන් සංචාරයට පෙර මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා වැඩබලන මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරනු ලැබුවේය. එසේම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් පත් කිරීමටද ජනපති කටයුතු කර තිබුණි.

පසුගිය සතියේ තවත් අපූරු දේශපාලන සිදුවීම් සම්බන්ධ කතාවක් පැතිරෙන්නට විය. පසුගියදා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට මෙම සිදුවීම සිදුව ඇතැයි කියැවේ. මාධ්‍ය වාර්තා සහ දේශපාලන තොරතුරු අනුව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වැරදීමකින් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ අසුනක වාඩිවී තිබේ.

පාර්ලිමේන්තුවේ විපක්ෂ කොරිඩෝවෙන් පාර්ලිමේන්තුවට ඇතුළු නොවී, ආණ්ඩු පක්ෂ කොරිඩෝවෙන් සභාවට ඇතුළු වූ මහාචාර්යවරයා, ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ සිය පැරණි අසුනේ අසුන්ගෙන ඇත. පසුගිය සමයේ පොහොට්ටුවේ සභාපති ධූරය සම්බන්ධ ඇති වූ ගැටලු හේතුවෙන්, ජී.එල්. පීරිස් මහතා නැවත පක්ෂ මාරුකර ඇතැයි ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එවිට සිතා ඇතැයි අසන්නට ලැබේ. කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මුලසුනේ ආමන්ත්‍රණයක් සමග නැවතත් ජී.එල්. පීරිස් මහතා විපක්ෂයේ අසුන වෙත ගමන් කර ඇත.

පසුගිය සමයේ දැඩි ආන්දෝලනයකට තුඩුදුන් පාර්ලිමේන්තුව මුදල් කමිටු සභාපති ධුරය පිළිබඳ ගින්න පසුගිය සතියේ නැවත දැල්වුණි. ඒ පසුගිය සතියේ මුදල් කමිටු රුස්වීමේදී එහි වැඩබලන සභාපතිවරයා වශයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත්කිරීමට ආණ්ඩුව කටයුතු කිරීමත් සමඟයි.

විපක්ෂයෙන් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා සභාපතිවරයා ලෙස නම්කොට තිබියදී විපක්ෂයේ මන්ත්‍රීවරයකු වූ මයන්ත දිසානායක මහතාගේ නම යෝජනා කොට සම්මත කිරීමත් සමඟ එම ගැටලුව උද්ගත විය. පසුව අවස්ථා දෙකකදී ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු වන වජිර අබේවර්ධන මහතා එහි වැඩබලන සභාපතිවරයා වශයෙන් පත්කොට මුදල් පනත් කිහිපයක්ම සම්මත කර ගැනීමට ආණ්ඩුව කටයුතු කර තිබුණි.

මෙවර ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වැඩබලන සභාපති ධූරයට පත් කිරීමත් සමඟ විපක්ෂය දෙසින් නැවතත් දැඩි විරෝධයක් එල්ලවන්නට විය. ඒ අනුව කමිටුව රුස් වූ අවස්ථාවේදී, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සිය විරෝධය ලිඛිතවම සටහන් කරගන්නා ලෙස දැනුම් දී ඇතැයි ද කියැවේ. දේශපාලන ආරංචි මාර්ග අනුව එහිදී කතානායකවරයාගේ මෙම වැඩපිළිවෙළ පිළිගත නොහැකි බව වීරක්කොඩි මහතා සඳහන් කොට ඇත.

පසුගිය සතියේ ජාතික ජන බලවේගය දෙසින්ද විශේෂ සිදුවීමක් වාර්තා විය. ජාතික ජන බලවේගය පක්ෂයේ දේශපාලන වේදිකාවෙහි තම මතය ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමාව අසාදු ලේඛනගත කිරීමට සිදු වූ බව පවසමින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරියකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර කළේය.

ගුවන් හමුදාපතිවරයාට අමතරව ගුවන් හමුදා පරිපාලන අධ්‍යක්ෂවරයා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් හා නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ගොනුකර තිබේ. තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම වෙනුවෙන් ඔහුගෙන් රුපියල් මිලියන 5ක වන්දියක් අය කරදීමට නියෝගයක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියා මෙම පෙත්සම හරහා ඉල්ලා සිටීම සුවිශේෂී තත්ත්වයකි.

මේ අතර ජාතික ජනබලවේගයේ සුනිල් හඳුන්නෙත්ති මහතා සහ මහාචාර්ය සරත් විජේසූරිය මහතා අතර අැතිවූ මත ගැටුමක්ද පසුගිය සතියේ කරළියට පැමිණියේය. පෙර අවස්ථාවක සිදුවීමක් සිහිපත් කරමින් එක්තරා සභාවකදී මෙම ප්‍රකාශය මහාචාර්ය සරත් විජේසූරිය විසින් සිදුකළේය. තමා පිළිබඳ දීර්ඝ විවේචනයක් සිදු කරමින් එස්.එම්.එස්. පණිවිඩයක් ගාමිණී වියන්ගොඩ වෙත සුනිල් හඳුන්නෙත්ති විසින් එවා ඇතැයි ඔහු එහිදී සඳහන් කළේය.

මේ අතර පසුගිය සතියේ මැයි දින රුළි පෙළපාළි සම්බන්ධවද දේශපාලන මැසිවිල්ලක් අසන්නට ලැබුණි. මැයි රුළි පැවැත්වීමට පෙරාතුව පොලීසිය සමඟ දේශපාලන පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සාකච්ඡාවක් සිදුකොට තිබේ. මැයි රුළි පවත්වන ස්ථානය සහ ඒවා පවත්වනු ආකාරණය පිළිබඳ තීන්දුවක් ගැනීම එම සාකච්ඡාවේ අරමුණ වී ඇත.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන පරිදි මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහස වී ඇත්තේ බම්බලපිටිය හන්දියෙන් මෙරීන්ඩ්‍රයිව් පසට වන්නට මාර්ගයේ සිය මැයි රුළිය පැවැත්විය යුතුය යන්නයි. පොහොට්ටුවේ අදහස ප්‍රකාශයට පත්වීමත් සමඟ ''මොනම හේතුවක් නිසාවත් මහා මාර්ගවල මැයි රුළි පැවැත්වීමට ඉඩ ලබාදිය නොහැකි* යැයි ශ්‍රී ලංකා පොලීසිය ප්‍රතිචාර දක්වා තිබේ.

පොහොට්ටුව කැම්බල් පිටිය සහ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය සිය මැයි දිනය වෙනුවෙන් වෙන් කිරීමට කටයුතු තීරණය කළේ ඒ අනුවය. අවසානයේ එම ස්ථාන දෙකෙන් කැම්බල් පිටිය තෝරා ගැනීමට පොහොට්ටුවේ නායකයෝ කටයුතු කළෝය.

ජනතා විමුක්ති පෙරමුණ සිය මැයි දිනය වෙනුවෙන් වෙන්කර ගෙන තිබුණේ, බී.ආර්.සී. පිටියයි. එහෙත් ඒ ආසන්නයේ පිහිටි හෙන්රි පේදිරිස් ක්‍රීඩාංගනය පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙන්කර කරගෙන තිබීම නිසාවෙන් ගැටලුවකාරී තත්ත්වයක් උද්ගත විය. සැබවින්ම මෙම පක්ෂ දෙකම සිය මැයි දින රැළි එක ළඟ පැවැත්වීම ගැටලුකාරී වූයේය.

අවසානයේ පිරිස කතාබහ කොට  ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සිය මැයි දිනය වෙනුවෙන් ලබාදීමට තීරණය කළේය. ජනතා විමුක්ති පෙරමුණට බී.ආර්.සී. පිටිය ලැබුණි. ඒත් අවසානයේ ජනතා විමුක්ති පෙරමුණේ මැයි රුළිය බී ආර් පිටියේ නොපවත්වා විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිට පැවැත්වීමට කටයුතු කළේය. පෙළපාලිය පමණක් එම ස්ථානයෙන් ආරම්භ කෙරුණි.

''මහ පාරේ මැයි දින රුළි තියන්න කාටවත් අවසර දෙන්නේ නැහැ කිව්ව පොලීසිය කොහොමද ජවිපෙට අවසර දුන්නේ...''

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ තවත් පක්ෂ ඒ හා සම්බන්ධව මැසිවිලි නගන්නට විය. මාධ්‍ය සාකච්ඡාවක් පවා පවත්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් ඒ පිළිබඳ ප්‍රශ්න කළේය.

I චමිදු නිසල් ද සින්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00