2023 අප්‍රේල් 09 වන ඉරිදා

අයි.එම්.එෆ්. යෝජනාවට ඡන්දය දෙන්නේ කවුද?

 2023 අප්‍රේල් 09 වන ඉරිදා, පෙ.ව. 06:00 292

අවුරුද්ද කට ළඟය. සමහරුන් කොට උඩය. පනින්නේ කවුද? ඇමතිකම් කාටද? දේශපාලන කරළියේත් තැන තැන ඇසුණු කතා අපමණය. ගෙවී ගිය සතියේ ආණ්ඩුව සැනසුම් සුසුමක් හෙලනු පෙනුණි. තෙල් ගෑස් අඩුකොට බඩු මිලටද යම් සහනයක් සැලසීමට ආණ්ඩුව සමත් විය. මේ සමඟම ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන්ගේ කටට පණ ලැබී තිබුණි.

පසුගිය සතියේ පොහොට්ටුව පාර්ශ්වයෙන් අලුත් කතාවක් අසන්නට ලැබුණි. ''පොහොට්ටුවේ අපේ ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ'' මින් පෙර තැන තැන ඇසෙමින් තිබූ මෙම කතාව, පසුගිය සතියේ බරසාර කොට ඇමැති බන්දුල ගුණවර්ධන සහ ඇමති කාංචන විජේසේකර ප්‍රසිද්ධියේම කීහ.

රට ගොඩගැනීමේ කාර්යය අවංකව, නිර්භීතව හා ශක්තිමත්ව කළ හැකි නායකයා රනිල් වික්‍රමසිංහ බව කීවේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාය. රටේත් ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායමේත් ප්‍රසාදයක් දිනාගෙන ඇති නිසා ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ලෙස ඔහු ගැන බලාපොරොත්තු තබාගැනීමේ වරදක් නැතැයිද ඒ මහතා පවසා තිබුණි.

මෙය අතර ඇමැති කංචන විජේසේකරද රෑපවාහිනී වැඩසටහනකදී ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ කතා කරන විට, ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ සුභවාදී ප්‍රවේශයකින් කතා කළේය.

''අනිවාර්යයෙන්ම ජනාධිපති අපේක්ෂකයා ගැන කතා වෙනවා. මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවත වතාවක් ජනාධිපතිවරයා බවට පත්කළ යුතුයි කියන මතයක් වැඩිපුර අපේ පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම තුළ තියෙනවා. මම හිතන්නේ නෑ ඒකේ වැරුද්දක් තියෙනවා කියලා. අපි දන්නේ නෑ ඊළඟ මැතිවරණය කුමක්ද කියලා. ජනාධිපතිවරණයක් නම් ලැබෙන්නේ, අපි ඒ සඳහා ඒ අවස්ථාවේදී පක්ෂයක් හැටියට සුදුසුම හා හොඳම පියවර ගනීවි.''

ඉදිරි ජනාධිපතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇති බව ඇමති කංචන ප්‍රසිද්ධියේ පිළිගත්තේය.

මේ ආදී ප්‍රකාශ කිහිපයක් කරළියට පැමිණීමත් සමග ''පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ'' යන ශීර්ෂය යටතේ මාධ්‍ය පුවත් පළ කරන්නට විය. මෙම පුවත් පොදුජන පෙරමුණේ ඉහළට සැලවීමත් සමඟ තරමක නෝක්කාඩු ස්වරෑපයක් නිරෑපණය වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

''පක්ෂය තවම තීරණයක් අරගෙන නෑ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද කියලා. කොහොමද එහෙම කියන්නෙ...?''

මෙම ප්‍රකාශයෙන් තරමක් කිපුණු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් මෙලෙස පවසා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහු මෙම මතය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමඟම, හනික තත්ත්වය සමනය කිරීමට ඉදිරිපත් වී තිබුණේ පොහොට්ටුවේ ප්‍රබලයකු වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනය.

බොහොම පැහැදිලිවම අපේ පක්ෂය තුළ සුදුස්සෝ ඉන්නවා. ''සුදුසු අය නැහැ කියලා කියන්න අපිට පුළුවන් කමක් නෑ.''

ඇමැති කංචන විජේසේකරගෙ ප්‍රකාශය උපුටා දක්වමින් පොහොට්ටුවේ සුදුස්සෝ නැතිදැයි ප්‍රශ්න කළ විට රෝහිත අබේගුණවර්ධන ලබාදුන්නේ එවන් පිළිතුරකි. ඇමැතිවරයා ප්‍රකාශය කර ඇත්තේ ඔහුගේ පෞද්ගලික මතය බවද ඔහු සඳහන් කර තිබුණි.

''අප්‍රේල් 4 වෙනිදා විපක්ෂයෙන් පිරිසක් ආණ්ඩුවට එනවා...'' දේශපාලන කරළියේ තැන තැන පැතිර පැවතුණු මෙම ආරංචිය ඉකුත් අඟහරුවාදා පල දැරුවේ නැත. එහෙත් පැති මාරු තවදුරටත් යට නොගියේය. ඊට හේතු වූයේ විපක්ෂයේ සමගි ජන බලවේගයට සම්බන්ධ ඇතැමුන් සිදුකළ ප්‍රකාශයි.

''කොහොම වුණත් වුණත් මට සෞඛ්‍ය ඇමැති තනතුර දෙනවා නම් භාරගන්න සූදානම්. 2015 විපක්ෂ නායකතුමා පළමුවරට ඇමැති වන්නේ, ඒ පැත්තේ ඉඳලා මේ පැත්තට ආව හින්දා. අපේ පිල්මාරුව හින්ද තමයි. නැත්නම් එක්සත් ජාතික පක්ෂය ඒ වෙලාවේ දිනන්නේ නැහැ. ඒ වගේ කට්ටියක් දේශපාලනය වෙනුවෙන් ගන්න තීන්දු තව කට්ටියකට පේනවා මුදල්වලට ගත් බවට. අපි හැමදාමත් ගන්නවා නම් තීන්දුවක් ගන්නේ දේශපාලනය බලලා. ඒක හින්දා තමයි මිනිස්සු ඒවා පිළිගන්නේ. මුදල්වලට යන කට්ටියත් ඇති, දේශපාලනයට යන කට්ටියක් ඉන්නවා.”

මෙලෙස ප්‍රකාශ කොට තිබුණේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය අමාත්‍යවරයෙකු වූ රාජිත සේනාරත්න මහතායි.

සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර්  අප්පුහාමි මහතාද ආණ්ඩුවට එක්වීමට සූදානම් යැයි කී බවක් මාධ්‍යය වාර්තා කළේය. එසේ වුවත් පසුව එවැන්නක් තමා නොකී බව අප්පුහාමි මහතා මාධ්‍ය හමුවක් පවතිමින් ප්‍රකාශය කළේය. මාධ්‍යය සහ ඇතැමුන් සංවිධානාත්මකව සජබ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට මඩ ගැසීම ආරම්භ කොට ඇති බව හෙක්ටර් අප්පුහාමි මහතා කීය.

කෙසේ වෙතත් පසුගිය අප්‍රේල් සිව්වැනිදා සිදුවීමට නියමිත යැයි කිවූ පක්ෂ මාරු හේතුවෙන්, විපක්ෂ නායකවරයා කැඳවූ රාත්‍රී භෝජන සංග්‍රහයද තුන්වැනිදා පැවැත්වූ බව කියැවුණි. විපක්ෂ නායක හා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සජබ මන්ත්‍රි කණ්ඩායම වෙනුවෙන් පැවැත්වූ මෙම රාත්‍රී භෝජනය පැවතියේ තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේය.

මෙම සංග්‍රහය පිළිබඳ විවිධ ආරංචි දේශපාලන කරළියේ පැතිර ගියේය. ඇතැමුන් මෙහි නොපැමිණි බවද කියැවුණි. කෙසේ වෙතත් සමගි ජන බලවේගය පිරිස් කියා සිටියේ සිය පක්ෂය බිඳ දැමීම සඳහා ආණ්ඩුවේ ඉහළ පිරිසක් සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බවයි. පක්ෂයට විරුද්ධව විවිධ පුවත් වෙබ් අඩවි හරහා පළ කරන්නේද ඔවුන් බව සජබ පාර්ශ්වයෙන් කියැවුණි.

ඒ කෙසේ වෙතත් ජනපති රනිල් වික්‍රමසිංහගේ තවත් දේශපාලන උපායක් ක්‍රියාත්මක වීමට යන බව ආණ්ඩුවේ ඉහළ ආරංචි මාර්ග සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළැඹී ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට, විවාදයක් පවත්වා ඡන්ද විමසීමකට යාමට ජනපති සූදානම් වෙමින් සිටින බව ඒ අනුව කියැවේ.

ගිවිසුම විවාදයට ගෙන පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වුවහොත් සජබ කණ්ඩායමක් දෙලොවක් අතර තනි වෙනු ඇත. සමගි ජන බලවේගයට පක්ෂයක් ලෙස ගිවිසුම සම්බන්ධව විරෝධයක් ඇතත් මේ වනවිටත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න ඇතුළු අයි.එම්.එෆ්. ණය අගය කළ පිරිසට තීන්දුවක් ගැනීම අපහසු වනු ඇත.

අඛණ්ඩව දෙවැනි වරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමාජ මාධ්‍යයේ සජීවීව ජනතාව හමුවට පැමිණියේය. මෙහිදී ඔහුට විවිධාකාර ප්‍රතිචාර සමාජ මාධ්‍ය පරිශීලකයන් වෙතින් ගලා ආවේය. මෙහිදී ඉදිරිපත් වූ එක් ප්‍රශ්නයක් සමාජ මාධ්‍යයේ ඉහළ අවධානයක් දිනා ගත්තේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ පුත්‍රයා මිහින් ලංකා ගුවන් සමාගමේ රැකියාවකට යොමු කිරීම සඳහා මැදිහත් වූයේ ඔබදැයි එම ප්‍රශ්න අතර නාමල් රාජපක්ෂ මහතාගෙන් විමසා තිබුණි.

''බොහෝ අයට උදව් කරලා තියෙනවා. ඒ අය අතරේ අනුර කුමාර මහත්මයාගේ පුතා හිටියාද නැද්ද කියලා මම කියන්න යන්නේ නෑ. අපි ඒ ගැන විශේෂ අවධානයක් යොමුකරන්න ඕනේ නෑ. දේශපාලනය කරන අයගේ ළමයි මේ කාරණාවලට පළි නෑ.''

තවදුරටත් මෙවන් සජීවී හමු පැවැත්වීමට නාමල් රාජපක්ෂ තීරණය කර ඇති බව කියැවුණි. මේ අතර සජබ පිරිසක් ආණ්ඩුවට එක්වී ඇමැතිකම් ලබාගතහොත් නාමල් ඇතුළු පිරිසක් විපක්ෂයට යෑමට සැරසෙන බවටද කතාවක් දේශපාලන කරළියේ පැතිර ගියේය.

පසුගිය සතියේ පොලිස්පති පත්වීම සම්බන්ධ කතිකාවද දේශපාලන කරළියේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය. පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට මාස 3ක සේවා දිගුවක් ලබාදීමේ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කිරීම කතිකාව හේතු විය. වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ නිල කාලය පසුගිය මාර්තු 26 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුණි. ඒ හේතුවෙන් පොලිස්පති වන්නේ කවුරුන්ද, යන්න පිළිබඳ මෙරට දේශපාලන අභ්‍යන්තරයේ ඇතිවූයේ දැඩි ආන්දෝලනයකි. පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකුගේ නම් යෝජනා වී ඇතැයි ඒ අතර කියැවුණි.

කෙසේ වෙතත් ආණ්ඩුවේ පොහොට්ටුවට සම්බන්ධ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා බවට පත්කළ යුතුයැයි සෘජුවම ජනපති වෙත යෝජනා කළහ. ජනපති කීවේ තමන් අවශ්‍ය තීන්දු නියමිත කාලයක ගන්නා බවයි. මේ සම්බන්ධව ඇතිවූ වියවුල් සහගත තත්ත්වය හමුවේ අවසානයේ පොලිස්පතිවරයාගේ සේවා කාලය මාස 3කින් දීර්ඝ කිරීමේ යෝජනාව කළේ ජනාධිපතිවරයා විසිනි. පොලිස් ප්‍රධානීන්ට නිදහසේ තවදුරටත් පොලිස්පති සිහිනය දැකීමට කාලය ලැබුණි. කෙසේ වෙතත් මෙම සිදුවීම් පෙළත් සමඟ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ආණ්ඩුවේ ඉහළින් පණිවිඩයක් ලැබී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

''අපි වර්තමාන පොලිස්පතිවරයාට මාස තුනක කාලයක් ලබාදෙනවා. කොහොම වුණත් අපි ඔයා ගැන සලකා බලන්නේ, ඔයාට තියෙන නඩුහබ ඉවර වුණාට පස්සේ.''

මේ අතර පසුගිය සතියේ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සම්බන්ධ සිදුවීමක්ද දේශපාලන කරළිය කැළඹුවේය. උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා පත්කර ඇති විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේදී කලහකාරී ලෙස හැසිරෙමින් එහි කටයුතුවලට බාධා කිරීම හේතුවෙන් ඩයනා ගමගේ එම කාරක සභාවෙන් එළියට දමා තිබුණි. මෙම සිදුවීම සිදුව තිබුණේ පසුගිය සතියේ අඟහරුවාදාය. ඇය මෙලෙස කාරක සභාවෙන් ඉවත් කර ඇත්තේ එම කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කරන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතායි. මෙම සිදුවීමට හේතුව වී ඇත්තේ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා අතර සිදු වූ ආරවුලකි.

චන්දිම වීරක්කොඩි  මන්ත්‍රීවරයා ප්‍රමාද වී මෙම ස්ථානයට පැමිණ බව කියමින් ඩයනා ගමගේ දෝෂාරෝපණය කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.

''මේ ගොල්ලෝ රට වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ. පරක්කු වෙලා ඇවිල්ල තව කියවන්නත් එනවා.''

හබය දුරදිග යනවිට ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය චන්දිම වීරක්කොඩි මහතාට අදහස් පළ කිරීමට නොදී ඔහුට පරිභව කර ඇතැයි කාරක සභා ආරංචි මාර්ග සඳහන් කරයි. මෙහිදී වීරක්කොඩි මන්ත්‍රීවරයාට අදහස් පළ කරන්නට අවස්ථාව ලබාදෙන ලෙස සභාපති විජයදාස රාජපක්ෂ මහතාද පවසා ඇත. කෙසේ වෙතත් සභාපතිවරයා දිගින් දිගටම සිදුකළ අවවාද ඇය නොසලකා හැර තිබේ. රමේෂ් පතිරණ, රවුෆ් හකීම්, අනුර ප්‍රියදර්ශන යාපා, මහාචාර්ය චරිත හේරත්, සීතා අරඹේපොළ ඇතුළු මැති ඇමැතිවරුන් සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වගකිවයුත්තන් කිහිප දෙනකු මෙම සභාවේ රුඳී සිට ඇත.

ඒ අනුව අවසානයේ දිගින් දිගටම කලහකාරී ලෙස හැසිරීමට පටන්ගත් රාජ්‍ය අමාත්‍යවරියට, විජයදාස රාජපක්ෂ මහතා වහාම එළියට යන ලෙසට නියෝග කර තිබේ. මේ සම්බන්ධව ලැබුණු ආරංචි අනුව සභාවෙන් එළියට පැමිණි පසුවද ඇය දිගින් දිගටම කලහකාරීව හැසිරුණු බව කියැවේ.

මේ අතර ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳවද සැලකිය යුතු කතිකාවක් පසුගිය සතියේ නිර්මාණය විය. ආණ්ඩුව ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවත් සති කිහිපයක් ප්‍රමාද කිරීමට තීරණය කළේය. ඒ බව නිවේදන කරමින් අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කීවේ මෙම පනත් කෙටුම්පත පසුගිය 4 වැනිදා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වුවත් අධිකරණ නිවාඩු කාලය හේතුවෙන් පනත සම්බන්ධයෙන් අධිකරණයට යෑමට මතුවන බාධා සැලකිල්ලට ගෙන පනත ඉදිරිපත් කිරීම ප්‍රමාද කළ බවයි.

කෙසේ වෙතත් පනත් කෙටුම්පතට විපක්ෂයේ දේශපාලන පක්ෂ, නීතිඥ සංවිධාන, සිවිල් සහ බහුජන සංවිධාන විශාල විරෝධයක් මේ වනවිටත් ගොනු කරමින් සිටිති. ඒ අනුව රජය මගින් ඉදිරිපත් කිරීමට යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත හරහා ත්‍රස්තවාදයට පුළුල් අර්ථ කථනයක් ලබාදීම තුළින් ජනතාවගේ මූලික අයිතීන්වලට බලපෑමක් එල්ලවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවද නිවේදනය කළේය.

මේ අතර ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි මෙම පනත ගැන අපූරු කතාවක් කීවේය. උන්වහන්සේ කිව්වේ බණ පවා මෙම පනතට අනුව ත්‍රස්තවාදී ක්‍රියාවක් විය හැකි බවකි.

''අපි සමහරවිට බණක් කිව්වොත් එහෙම, ඒ බණේ ඇතැම් කොටස් අරගෙන ඒක බරපතල ත්‍රස්තවාදී ක්‍රියාවකට අනුබල දෙන්නක් හැටියට තීරණය කළොත්...? ඇතැම්විට අපි දේශපාලන ව්‍යුහය පවා විවේචනය කරනවා ධර්ම දේශනාවලදී...''
ඒ අතර ප්‍රතිත්‍රස්ත පනත හේතුවෙන් කලබල වූවන් අතර ජාතික ජන බලවේගයද විය. ඔවුන් කීවේ මාලිමාවද ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කිරීමට ඉඩ ඇති බවයි. මෙම අදහස පළකර තිබුණේ ජන බලවේගයේ විධායක කමිටු සාමාජික නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාය.

''ජාතික ජන බලවේගය ත්‍රස්තවාදී සංවිධානක් ලෙස නම් කළ හැකියි. එහෙම කරන්න මේ පනතේ ප්‍රතිපාදන තිබෙනවා.''

කෙසේ වෙතත් ආණ්ඩුව මෙම පනත වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටියේය. ඇමැති ආචාර්ය විජේදාස රාජපක්ෂ බී.බී.සී.ට පවා කියා තිබුණේ මෙම පනත අත්‍යවශ්‍ය බවයි.

''ඔය විවේචනය ඉදිරිපත් කරන අය ඔය ඔක්කොම ආපහු යම් අවස්ථාවක පාස්කු ප්‍රහාරයක් වගේ දෙයක් සිද්ධවුණොත් ආපහු වැඳගෙන ඇවිල්ලා කියනවා ත්‍රස්ත පනත කරුණාකරලා ක්‍රියාත්මක කරන්න කියලා, මේක විවේචනය කරන අයගේ ජීවිත ආරක්ෂා කරන්නයි මේක තියෙන්නේ.''

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි පිළිබඳ ජනතාව වැඩි වැඩියෙන් දැනුම්වත් කළයුතු බව ඉකුත්දා ජාතික ජන බලවේගය තීරණය කළේය. ඒ අනුව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට ඔවුන කටයුතු කළහ. එහි පළමුවැනි වැඩසටහන සිකුරාදා කොළඹදී සංවිධානය විය. මෙම වැඩසටහන් රටපුරා ක්‍රියාත්මක වීමට නියමිතය.

මේ අතර පසුගිය සතියේ ජාතික ජන බලවේගය පිළිබඳ තවත් විශේෂ පුවත් වාර්තා විය. රජයට විරෝධය දක්වමින් ජාතික ජනබලවේගය පක්ෂය විසින් සංවිධානය කළ විරෝධතාවකට රාජකාරි වේලාව තුළ සම්බන්ධ වී සිටි පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට කළවංචිකුඩි සහකාර පොලිස් අධිකාරිවරයා කටයුතු කර තිබිණි. බණ්ඩාරදූව පොලිස් වසමේ ගොනාගොල්ල හන්දියේ පැවති මේ උද්ඝෝෂණයට නිලධාරියා සහභාගි වී ඇත්තේ සිවිල් ඇඳුමිනි. මේ නිලධාරියා ඔහුව හඳුනා ගැනීමට නොහැකි වන ලෙස ආරක්ෂක හිස් වැසුමක් පැළඳ උද්ඝෝෂණයට සක්‍රීයව සහභාගි වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බැවින් ඒ ගැන විමර්ශනයක් පවත්වා වැඩ තහනම් කිරීමට පියවර ගත් බව පොලීසියේ ඉහළ ආරංචි මාර්ග සඳහන් කළේය.

එළඹෙන මැයි දිනය පැවැත්වීම සම්බන්ධව දේශපාලන පක්ෂ අභ්‍යන්තර කතිකාව අප්‍රේල් පළමු සතියේ ඇරඹී තිබුණි. පොදුජන පෙරමුණ කැම්බල් පිටිය වෙන්කර ඇති බවට ආරංචියක් පැතිර ගිය අතර කැම්බල් පිටියට ඇස ගසාගෙන සමගි ජන බලවේගය හයිඩ් පිටිය දෙසට හැරී ඇතැයි කියැවේ.

කවරක් වෙතත් මෙවර මැයි දිනය උත්කර්ෂවත්ව පැවැත්වීමට ප්‍රධාන පෙලේ සියලු දේශපාලන පක්ෂ උත්සාහ කරන බවක් පෙනී යයි. අප්‍රේල් 10 වැනිදා සජබ මේ සම්බන්ධ විශේෂ රුස්වීමක් කැඳවීමට බලාපොරොත්තු වන බව කියැවේ. සෙසු පක්ෂද මැයි දිනය සම්බන්ධ ක්‍රියාකාරීව සිටිති.

I චමිඳු නිසල් ද සිල්වා