2023 මාර්තු 26 වන ඉරිදා

කරන්නාගොඩ වාර්තාව ගැන ජනපති දුන් පිළිතුර

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:00 454

ගෙවී ගියේ යාන්තමින් හෝ සැනසුම් සුසුමක් හෙලන්නට හැකි වූ සතියකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු සහනයෙන් ආණ්ඩුව උදම් විය. විපක්ෂයද ගෞරවයේ කොටසක් ඉල්ලා සිටියේය. කවරක් වෙතත් අපේක්ෂා භංගත්වයෙන් මිදී බලාපොරොත්තු ඇතිකර ගැනීමට මහජනතාවට යම් අවස්ථාවක් සැලසුණි. මැතිවරණ කතාව සුපුරුදු ලෙසම බඹරයක් මෙන් එක තැන කැරකෙන්නට විය. රජයේ ඉහළ තනතුරුවලට පත් කිරීම සහ මාරු කිරීම සම්බන්ධවද නොයෙකුත් කතා පැතිර ගියේය. දේශපාලන කරළියේ සුපුරුදු වාද විවාද, බැණ අඬගසා ගැනීම්වලද අඩුවක් නොවිණි.

පොලිස්පති පත් කිරීම පිළිබඳව ගෙවී ගිය සති කිහිපය පුරාවටම නිර්මාණය වී තිබුණේ ගැටලුකාරී තත්ත්වයකි.

“මේ පොලිස්පතිවරයාට නම් සේවා දීර්ඝ කිරීමක් දෙන්න එපා." 

පොහොට්ටුව නියෝජනය කරන බහුතරයක් මන්ත්‍රීවරුන් එලෙස කීවේ එක හඬිනි. මැයි 9 වැනිදා සිදුවීම් පෙළ වළකා ගැනීමට පොලිස්පති කටයුතු නොකළ බවට ඔවුන් තුළ පැලපදියම් වී තිබූ අදහස ඊට හේතු විය.

පසුගිය අඟහරුවාදා දින පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවේද ප්‍රධාන මාතෘකාව බවට පත්වූයේ පොලිස්පති පත් කිරීමයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවේදී පොලිස්පති පත් කිරීම පිළිබඳ මැති ඇමැතිවරු කතා කළහ. මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, ජෝන්ස්ටන් ප්‍රනාන්දු ආදී පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෝ ද අදහස් දැක්වීමට එක්වූහ.

“මැයි 9 වැනිදා පහරදීම පිළිබඳව වසන්ත කරන්නාගොඩ වාර්තාවට අනුව චෝදනා ලබපු කෙනෙක්ව පත් කරන්න එපා."

මෙහිදී කරන්නාගොඩ වාර්තාවට අනුව ක්‍රියාත්මක වන ලෙස මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. දේශපාලන ආරංචි මාර්ග හෙළිදරව් කරන පරිදි එවිට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අපූරු පිළිතුරක් ලබා දී තිබේ.

“ඒ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන්නෙ. අධිකරණ තීන්දුව අනුව අපිට පියවරක් ගන්න පුළුවන්. ඊට කලින් ඒ සම්බන්ධ පියවර ගන්න මට හැකියාවක් නෑ." 

කෙසේ වෙතත් මෙම වාර්තාවේ අන්තර්ගත චෝදනාව වර්තමාන පොලිස්පතිවරයාට මෙන්ම, පොහොට්ටු හිතෛයිශීන් පොලිස්පති ලෙස යෝජනා කරන දේශබන්දු තෙන්නකෝන් මහතාටද  එල්ල වී තිබේ. එහෙත් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කරන ලෙසට මෙම සභාවේදී යෝජනා වූ බව කියැවේ.

“දේශබන්දු මහත්මයා තමා පොලිස්පති වෙන්න ඕනෑ."

මෙම යෝජනාව රුගෙන ආ පිරිස අතරෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ප්‍රමුඛයෙක් විය. ඒ අතර පොහොට්ටුවේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් වෙනත් විශේෂ යෝජනාවක් රුගෙන ආහ.

“පොලිස්පතිකම දෙන්න බැරි නම්, එතුමට වැඩබලන පොලිස්පති ධූරය හරි ලබා දෙන්න."

පොහොට්ටුව පාර්ශ්වයෙන් දේශබන්දු තෙන්නකෝන් කෙරෙහි පළ වූයේ මෙවන් මතයන්ය. කෙසේ වෙතත් සභාවෙන් මතු වූ මෙවැනි අදහස්වලට පිළිතුරු ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උත්සුක නොවූ බව කියැවේ. 
දේශපාලන ආරංචි අනුව අවසානයේ ජනපති මන්ත්‍රීවරුන්ට කියා ඇත්තේ මෙවන් කතාවකි.

“පොලිස්පති ධූරය ගැන බොහොම කල්පනාවෙන් හිතලා මතලා තීන්දුවක් ගන්න ඕනෑ. ඒ තීන්දුව මං වෙලාවට අරගන්නම්."

පොලිස්පති හබය පිළිබඳව පසුගිය සතියේ පැතිර ගිය තවත් ආරංචියකට අනුව කියැවුණේ විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් කලකිරීමට පත්ව ඇති බවකි. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත් කරන ලෙස ඔහු කළ යෝජනාව නොසලකා හැර ඇතැයි ඔහුට හැඟී ඇතැයි කියැවේ.

සිය යෝජනාවට වගකිවයුත්තන්ගෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ඔහු සිය හිතවතුන් සමඟ සිතැඟි බෙදාගෙන ඇතැයි අසන්නට ලැබේ.

“අපි මේ තනතුරුවල ඉඳලා තේරුමක් නෑ. මේවා අතහැරලා දාන එක මීට වඩා හොඳයි." 

එවැනි අදහසක් ඔහු සිය මිතුරන් සමඟ ප්‍රකාශ කර ඇතැයි දේශපාලන කරළියේ කතා අතර කියැවේ.

පසුගිය සතියේ රටේ පරිපාලන ව්‍යුහයේ සිදු වූ සුවිශේෂී වෙනස්කමක් පිළිබඳව ද තිරය පිටුපස කතාවක් අප වෙත වාර්තා විය. එය ස්ථාන මාරුවකි. මැතිවරණයේ ඇප තැන්පත් කිරීම සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයකට මැදි වූ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් හපුහින්න මහතාට මෙම ස්ථාන මාරුව ලැබී තිබුණි. 

දැනගැනීමට ලැබුණු පරිදි මෙය ක්ෂණික ස්ථාන මාරුවකි. ඒ අනුව හපුහින්න මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයකු ලෙස හදිසි පත්වීමක් ලැබ තිබේ. ඒ අනුව මෙරට රාජ්‍ය පරිපාලන ධූරාවලියේ ප්‍රධානතම තනතුරක් වන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාට ලැබුණු මෙම හදිසි ස්ථාන මාරුව පිළිබඳ තිරය පිටුපස කතා නිර්මාණය වූයේ නිතැතිණි. 

ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලනඥයෝ ද මෙම ස්ථාන මාරුවට හේතු වූ කරුණු සොයා බැලීමට කටයුතු කළහ.

“ඇතැම් වගකිව යුතු පාර්ශ්වලින් ලැබුණු යෝජනා ක්‍රියාත්මක කරන්න බැහැයි කියල ප්‍රතික්ෂේප කරපු නිසා තමයි මේ ස්ථාන මාරුව එතුමට ලැබිලා තියෙන්නෙ." 

විශ්‍රාම යාමට ආසන්නව සිටින හපුහින්න මහතාට ලැබුණු ස්ථාන මාරුව පිළිබඳව එවැනි කතාවක් අසන්නට ලැබුණේ තිරය පිටුපස කතා අතරේය.

කෙසේ වෙතත් ලේකම්වරයා ප්‍රතික්ෂේප කරනු ලැබූවා යැයි කියැවෙන යෝජනා අතර කල් පිරුණු පළාත් පාලන ආයතනවලට විශේෂ කොමසාරිස්වරුන් ලෙස හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් පත් කිරීමේ යෝජනාව ද වූ බව දැනගන්නට ලැබේ. පනතට අනුව එවැන්නක් සිදු කිරීමට ඉඩකඩ නොමැති බව ලේකම්වරයා ඉහළ බලධාරීන් වෙත දන්වා තිබේ.

මේ අතර පළාත් පාලන මැතිවරණයේ ඇප තැන්පත් කිරීම අත්හිටුවන ලෙස කැබිනට්ටුව තීරණයක් ගත්තේද නැද්ද යන්න විමසා රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියෙක් තොරතුරු අයැදුම්පතක් යොමුකර ඇතැයිද දැනගන්නට ලැබේ. ආණ්ඩු පාර්ශ්වය මේ පිළිබඳව අසතුටට පත් වී ඇති බවද තිරය පිටුපස කතා අතරේ කියැවේ. මෙම තොරතුරු විමසීම පිටුපස සිටින්නේ හපුහින්න මහතා බවද ඇතැමුන් විශ්වාස කරන බව අසන්නට ලැබේ. දැනගන්නට ලැබුණු පරිදි මෙම ස්ථාන මාරුවට එයද හේතුවක් වී ඇත. කෙසේ වෙතත් හපුහින්න මහතා මේ සම්බන්ධව කිසිදු අදහස් දැක්වීමක් මේ තාක් සිදුකර නොමැත.

ඉකුත් සමයේ සභාපති ධූරය සම්බන්ධව රට පුරා දැඩි ආන්දෝලනයක් ඇති කළ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය සඳුදා රුස් වූ බව වාර්තා විය. තවදුරටත් ස්ථීර සභාපතිවරයකු නොමැතිව රුස් වූ මෙම කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ නලින් ප්‍රනාන්දු අමාත්‍යවරයායි. 

මෙම රැස්වීම සඳහා සභාපතිවරයකු ලෙස පත් වී පසුව ඉවත් වූ සමගි ජන බලවේගයේ මයන්ත දිසානායක මන්ත්‍රීවරයා මෙන්ම, සභාපති ධූරයට යෝජනා වූ සමගි ජන බලවේගයේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ද පැමිණීම කැපී පෙනුණි.

“ආණ්ඩුව කෙනෙක්ව සභාපති විදිහට දාලා මේක කරන්නේ කොහොමද? මේ සභාපතිකම අයිති විපක්ෂයට." 

ඒ අනුව සමගි ජන බලවේගය පාර්ශ්වයෙන් අසන්නට ලැබුණේ එවැනි කතාවකි. කෙසේ වෙතත් අප්‍රේල් හතරවැනිදා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් රාජ්‍ය මුදල් කාරක සභාවට ස්ථිර සභාපතිවරයකු පත් කරනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල අනුමත වීමත් සමඟ දේශපාලන කරළියේ විශේෂ සිදුවීම් කිහිපයක්ම වාර්තා විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමේ ක්‍රියාවලිය ආරම්භ වූයේ ඉකුත් වසරේ මාර්තු මාසේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේය. අර්බුද, අරගල, මතගැටුම් හේතුවෙන් පමා වූ මෙම ව්‍යාපෘතිය අභියෝග රුසක් මැද සාර්ථක කර ගැනීමට සමත් වූයේ වත්මන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසිනි.

අයි.එම්.එෆ්. අනුමැතියෙන් පසුව බදාදා දිනයේ පාර්ලිමේන්තුවද රුස්විය. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවන් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. 
“අසීරු ගමන සීරුවෙන් යමු. අපගේ මූලික අරමුණ වන්නේ රට ගොඩනැගීම පමණයි. එහෙම හිතුවොත් වඩා කඩිනමින් හා සාර්ථකව ගමන යා හැකියි. ඉදිරි වසර 10 තුළ මෙතෙක් ගෙන ඇති සියලු ණය ගෙවා අවසන් කළ යුතුයි. මේ මාර්ගයේ දිගටම ගියොත් ඒ තත්ත්වය උදා කරගත හැකි බව මට විශ්වාසයි. ඒ මාර්ගයේ ගියොත් 2048 දී ලංකාව ලෝකයේ සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරගත හැකියි."

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශය අවසන් වීමෙන් පසුව නැගී සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් පුළුල් පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බවයි. විවාදය ලබා දෙන තෙක්, ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් යම් අදහස් දැක්වීමක් සඳහා කාලයක් ඔහු ඉල්ලා සිටියේය. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ එම ප්‍රකාශයෙන් පසුව නැගී සිටි සභා නායක, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ මෙවැන්නකි.

“අද ඉඳල වුණත් ආණ්ඩු පක්ෂය විවාදයට සූදානම්. ඕනෑ නම් දැන් පටන් ගන්න පුළුවන්."

එවිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

“අපිත් සූදානම් විවාදයට" යනුවෙන් පැවසීය. විපක්ෂ නායකවරයාගේ එකඟතාව සමඟ මෙම විවාදය ආරම්භ විය.

මෙම විවාදය අතරතුර උණුසුම් අවස්ථා රුසක් වාර්තා විය. ඒ අතර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කළ ප්‍රකාශය තරමක් ආන්දෝලනාත්මක විය. සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස තාවකාලිකව හෝ පත්කර රට ස්ථාවර කළ යුතු යැයි පසුගිය අරගල සමයේ සජිත් ප්‍රේමදාස මහතා සමඟ වූ සාකච්ඡාවක දී ඉල්ලා සිටියද ඔහු ඊට අකැමැති වූ බව හරීන් ප්‍රනාන්දු කියා සිටියේය. 

මේ අතර දිගින් දිගටම ආණ්ඩුව කියා සිටියේ අයි.එම්.එෆ් ක්‍රියාවලිය සඳහා විපක්ෂය සහයෝගය නොදුන් බවයි.  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂය අයි.එම්.එෆ් සඳහා සහයෝගය ලබාදුන් බව සඳහන් කළේය. 

එසේම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ට්විටර් පණිවිඩයක් තබමින් අයි.එම්.එෆ් සහනය ලබාගැනීමට ජනපති දැරෑ උත්සාහය අගය කළේය.

මේ අතර බොහෝ දෙනකුට අමතකව ගොස් තිබූ සර්ව පාක්ෂික ආණ්ඩු කතාව පසුගිය සතියේ නැවත කරළියට පැමිණියේය. ඊට මූලිකත්වය ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. 

“රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති වූ පසුව, එතුමගේ කතාවලින් සීයට අනූවකම කියලා තියෙනවා රට ගොඩනගන්න හැමෝම එකතු වෙන්න කියලා. නමුත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදීමට විරුද්ධ වුණේ කවුද? ඒක කඩාකප්පල් කළේ කවුද? පොහොට්ටුව පක්ෂයේ නායකයෝ."

ඒ අනුව රට ගොඩගත හැක්කේ සියලු පක්ෂ එක්ව දූෂිතයන්, වංචාකාරයන්, පවුල්වාදයන් නැති පිරිසුදු මිනිසුන්ගෙන් යුත් ආණ්ඩුවක් ගොඩනැගීමෙන් පමණක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ මූලස්ථානයේදී කීය. 

තමන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් යෝජනා කරන්නේ රට ගොඩනැගීමට මිස තනතුරු බලාපොරොත්තුවෙන් නොවන බවත් මේ වන විට රට වැටී ඇති තැනින් ගොඩගෙන සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීමට රජය මැදිහත් විය යුතු බවත් තවදුරටත් අදහස් දක්වමින් සඳහන් කර ඇත. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැරෑ උත්සාහයද මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගය කර තිබීම සුවිශේෂී විය. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලැබීමත් සමඟ රතිඤ්ඤා පත්තු කිරීම් සිදු වූ බවට ද පසුගිය සතියේ වාර්තා පළ විය. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඒ පිළිබඳව අදහස් දක්වා තිබුණි.

“දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබාගැනීමට හැකිවීම පිළිබඳව අලුත් බලාපොරොත්තුවක් ඇතිකර තිබෙනවා. ණයක් ලබාගන්නා විට රතිඤ්ඤා පත්තු කිරීමෙන් පෙනෙන්නේත් අපේ රට වැටී ඇති ආර්ථික ප්‍රපාතයේ තරමයි."

මේ අතර ජාතික ජන බලවේගයේ ඇතැම් පිරිස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ ප්‍රබල විවේචන ද ඉදිරිපත් කරමින් සිටියෝය. සීතාවක ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කී කතාවක් මාධ්‍ය වාර්තා කළේ මෙලෙසිනි.

“මූල්‍ය අරමුදල හදලා තියෙන්නෙ ජනතාව වෙනුවෙන් නෙවෙයි, ඔය හොරාකන ආණ්ඩු බේරාගන්න. මොකක් වුණත් ණයක්නෙ ගන්නෙ අපි. ඔය ණය ටික ගෙනත් දාපු ගමන් මොකක්ද වෙන්නෙ මෙතනට? දැන් මේ අවුරුද්දක් තිස්සේ ආණ්ඩුවේ ඉන්න ඇමැතිකම් කරන, ඇමැතිකම් කරපු උන් ටික බලන් ඉන්නේ වේලි වේලි. කෑමක් තිබුණෙ නෑ ළඟකදී. උන්ටත් හොරකම් කරන්න මාර්ග නැතිවෙලා තියෙනවා. ඒ නිසා බලන් ඉන්නෙ චාන්ස් එකක් එනකල්."

කෙසේ වෙතත් ජාතික ජන බලවේගයේ තවත් පිරිසක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය  පිළිබඳව කතා කිරීමට උනන්දු බවක් පෙනී ගියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සහ මොරටුව නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා අතර බදාදා නෙළුම් මාවතේ සාකච්ඡාවකදී සිදුවූ උණුසුම් වචන හුවමාරුවක් සම්බන්ධ හඬපටයක් සමාජ මාධ්‍යයේ සංසරණය විය.

“එපැයි කියද්දී සෙනග ගෙන්නලා අරලියගහ මන්දිරයට, අපේ කට්ටියට ගුටි ගැස්සෙව්වා. මම කිව්වා මේක කැඳවන්න එපා කියලා. මහින්ද ජනාධිපතිතුමාට එපා කිව්වා."

මැයි නවවැනිදා  සිදුවීමට අදාළව පොහොට්ටුවේ පිරිස් කොළඹට රුගෙන ඒම පිළිබඳ මෙහිදී බැසිල් රාජපක්ෂ විසින් සමන් ලාල් වෙත චෝදනා කරන ආකාරය පෙනී යයි.

“සර් බනින්න. කොච්චර බැන්නත් මම පක්ෂය දාලා යන්නේ නෑ." 
මෙම සංවාදය අතර සමන්ලාල් ප්‍රනාන්දු පවසන්නේ එවැන්නකි.

I චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00