2023 මාර්තු 19 වන ඉරිදා

කාලෙකට පස්සේ මහින්ද දේශපාලන වේදිකාවේ

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:00 303

වර්ජන, මරණ තර්ජන ගර්ජනවලින් සපිරි උණුසුම් දේශපාලන සතියක් ගෙවී ගියේය. මැතිවරණය පිළිබඳ කතාව තරමක් යටපත් වෙද්දී, නැවතත් සුපුරුදු දේශපාලන සටන් පාඨවල විපක්ෂය එල්ලී සිටියේය. අවුල් වියවුල් මැදින් ඉදිරියට ඇදෙන ආණ්ඩුවට වර්ජන තර්ජනය හිසරදයක් විය. ඒ නිසාවෙන්ම ආණ්ඩුවේ ඇතැම්හු ගර්ජනා කළහ. එහෙත් වර්ජන පැවැත්වුණි.

සියලු අලකලංචි අතරේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස මැතිවරණය ඉලක්ක කරගෙන කැඳවූ පළමු ජන හමුව පසුගිය සතියේ මොණරාගලදී පැවැත්වුණි. මෙය පැවතියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම ලෙසිනි. රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ මූලිකත්වයෙන් මෙම ජන හමුව සූදානම් කර තිබුණි.

කලකට පසුව ප්‍රසිද්ධියේ දේශපාලන වේදිකාවට ගොඩවූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රුස්ව සිටි පිරිස ඇමතීම ද සුවිශේෂී විය. 

“සමහරු අහලා තිබුණා ඡන්දෙට අපි බය ද කියලත්. අපි දිනනවා කියලා දන්නවා නම් අපි බය වෙන්නෙ මොකටද? බය වුණ අය තමයි අද රට ගැන නොහිතා ජනතාව කුපිත කරන්නෙ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයො පාරට බස්සල අද මොනවද මේ කරන්නේ. රටත් අවුල් කරලා ඒ ළමයින්ගේ මිනී උඩින් හරි දේශපාලනය කරන්නයි ඒ අය බලාගෙන ඉන්නෙ.

දැන් බලන්න ගෝල්ෆේස් අරගලය පිටිපස්සේ කවුද හිටියේ කියලා, ඒ අය කෝ දැන්."

මේ අතර පොහොට්ටු පක්ෂ අභ්‍යන්තරයේ අමාත්‍ය ධූර බලාපොරොත්තුවෙන් සිටි පිරිස දෑස් දල්වා බලා සිටියේ අයි.එම්.එෆ් සහනය දෙසයි. 

“ඉක්මනට අයි.එම්.එෆ් හම්බවෙයිද? ඊට පස්සෙවත් අපට ඇමැතිකම් ටික දෙයි නේද?”

පොහොට්ටුවේ ඇමැතිකම් බලාපොරොත්තු වූවන් මෙලෙස සිතන අතරේ පොහොට්ටුවේ නිර්මාතෘ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සුවිශේෂී ගමනක් ගියේය. ඒ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමටයි. එහෙත් මෙම සාකච්ඡාවේ සිදුවූ කතාබහ පිළිබඳ හරිහමන් තොරතුරක් වාර්තා නොවුණේ එය ඉතා රහසේ පැවැති සාකච්ඡාවක් නිසාවෙනි.

කෙසේ වෙතත් පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටියේ ඇමැති ධූර ලබාදීම, ආණ්ඩුකාරවරු පත්කිරීම සහ පළාත් පාලන මැතිවරණය පිළිබඳව ජනපති සහ බැසිල් රාජපක්ෂ සාකච්ඡා කර ඇති බවයි.

මේ අතර පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙසින් ද තරමක් උණුසුම් ආරංචියක් ලැබුණි. ඒ පළාත් පාලන මැතිවරණයට තරග කරන ගම්පහ දිස්ත්‍රික් අපේක්‍ෂකයන් දැනුම්වත් කිරීමේ රැස්වීමකදී සිදුවූ සිදුවීමක් සම්බන්ධවය. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ අඟහරුවාදා රාත්‍රියේ පැවති මෙම රැස්වීම අතරතුර තරමක් දරුණු බහින්බස් වීමක් සිදුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රීලනිප සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම රැස්වීම අමතමින් සිටින අතරතුරදී එම සිදුවීම සිදුව ඇතැයි කියැවේ. සභාපතිවරයාගේ දැනුම්වත් කිරීම් අතරතුර නැගී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක අජිත් බස්නායක, සභාපතිවරයාට චෝදනා කරමින් අදහස් දක්වන්නට පටන්ගෙන තිබේ.

“ඔබතුමා නිසා අපේ පක්ෂය දෙකට තුනට කැඩිලා ගියා. වහාම මේක නවත්තන්න ඕනෑ."

දේශපාලන ආරංචිවලට අනුව මෙලෙස අදහස් දැක්වූ හෙතෙම, වැඩබලන මහ ලේකම්වරයකු පත් කිරීම, රත්නපුර හබරාදුව ආසන සංවිධායකයන් පත් කිරීම ආදී පක්ෂ ක්‍රියාකාරකම් රැසක් දැඩිව විවේචනය කර ඇතැයි කියැවේ.

මෙහිදී මෙම කතාවට බාධා කරමින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය අදහස් දක්වා ඇතැයි දැනගන්නට ලැබේ.

“මම මේ පක්ෂය ආරක්ෂා කරන්න විශාල කැපකිරීම් කළා. අදටත් මට නඩු 400ක් විතර තියෙනවා." ආදී වශයෙන් පවසමින් තමා පක්ෂය වෙනුවෙන් සිදු කරනු ලැබූ කැපකිරීම් පිළිබඳව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් දැක්වූ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙහිදී නැගී සිටි තවත් කිහිප දෙනකු මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව අදහස් දක්වා ඇතැයි කියැවේ. පාස්කු නඩුව ආදිය පිළිබඳව කරුණු දක්වමින් මෙම පිරිස සභාපතිවරයාට එදිරිව කතා කර තිබේ. මෙම අවස්ථාවේදී පක්ෂයේ තවත් කණ්ඩායමක් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් වී අදහස් දැක්වීමට පටන්ගත් බවද ආරංචි මාර්ග සඳහන් කරයි. තත්ත්වය උණුසුම් වී ඇත්තේ ඒ අනුවය.

බොහෝ මාධ්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙම ආරවුල පිළිබඳ වාර්තා කළේය. ඇතැම් දේශපාලන ආරංචි අනුවද එවැන්නක් සිදුවුණු බව කියවුණ නමුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම තොරතුරු අසත්‍ය බවට සිකුරාදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.

''සම්පූර්ණ අසත්‍ය ප්‍රවෘත්තියක් බවත්, එම ප්‍රකාශිත ආකාරයේ කිසිදු සිදුවීමක් එම අවස්ථාවේ සිදුනොවූ බවත්, මේ දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ 6 වැනි විධායක ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණයක් ඉලක්ක කොට පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ඉතා සක්‍රියව සිදුවන අතර ඉහත ප්‍රකාශයට අදාළ දිනයේ දී ද ආසන සංවිධායකවරුන් පාක්ෂිකයන්, ක්‍රියාකාරීන් සමග ඉතා සුහදශීලීව එම කටයුතු සිදුවූ බවද ප්‍රකාශ කරමු.'' යනුවෙන් එහි සඳහන් විය.

මේ අතර හෙලිකොප්ටර සන්ධානයේ දේශපාලන මෙහෙයුමක් සම්බන්ධවද පසුගිය සතියේ තොරතුරු වාර්තා විය. පොහොට්ටුවට සමපාත වෙමින් තමන්ගේ බලය ද ඒ දිස්ත්‍රික්කවල ප්‍රදර්ශනය කිරීම මෙම මෙහෙයුමේ අරමුණු බව කියැවුණි. ඒ අනුව පසුගිය 11 වැනිදා මොණරාගලදීම මෙම පිරිස හෙලිකොප්ටරයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන අපේක්ෂකයන් සහ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ හමුවක් සංවිධානය කර තිබුණි.

මොණරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැති මෙම රැස්වීමට  නිදහස් ජනතා සන්ධානයේ නායකයන් වන විමල්, වාසු, ඩලස්, ජී.එල්. පීරිස් සේම ශ්‍රීලනිපයේ තිලංග සුමතිපාල පවා සහභාගි වූහ. මෙතනින් නොනැවතුණු මෙම පිරිස හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද පසුදා රැස්වීමක් පැවැත්වූහ. සන්ධානයේ නායකයන් බොහෝ දෙනකු නිවෙස් බලා පිටත් නොවුණු අතර කතරගම තංගල්ල ආදී තදාසන්න ප්‍රදේශවල රැඳී සිටි බව කියැවේ.

හම්බන්තොට දිස්ත්‍රික් රැස්වීම සංවිධානය කිරීමේ වගකීම බාරගෙන ඇත්තේ උපුල් ගලප්පත්ති මන්ත්‍රීවරයාය. රැස්වීම අවසානයේ ඔහු වෙත ප්‍රශංසා කිරීමට බොහෝ දෙනකු කටයුතු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
“අපි මේ රැස්වීම තිබ්බේ රාජපක්ෂ බලකොටුවට ඇවිල්ලා. මේක ඔබතුමා අගේට සංවිධානය කරලා තිබුණා. අපි රාජපක්ෂ බලකොටුවට බර අවිවලින් පහර දුන්නේ."

ඒ අනුව රැස්වීම අවසානයේ උපුල් ගලප්පත්ති අමතා ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාද මීට සමාන කතාවක් කී බවක් අසන්නට ලැබේ.

මෙවන් පක්ෂ දේශපාලන සිදුවීම් අතරේ පසුගිය සතියේ සුවිශේෂීම සිදුවීම වූයේ බදාදා දින පැවති වැඩවර්ජනයයි. වර්ජකයන්ගේ ඉල්ලීම් අතර මූලික ඉල්ලීම වූයේ බදු සංශෝධනයයි. ඊට අමතරව විදුලි බිල අඩු කිරීම, ණය පොලී අනුපාතය අඩු කිරීම, ජීවන වියදම් දීමනාවක් ලබා දීම, විශ්‍රාම වැටුප් කප්පාදුව නතර කිරීම ආදිය මෙම වර්ජනයේ සටන් පාඨ ලෙස කියැවුණි. ආරම්භයේදී ආණ්ඩුව වර්ජකයන්ට නිරන්තර අනතුරු ඇඟවීම් සිදු කරන්නට විය. ඇතැම් අනතුරු ඇඟවීම් තර්ජනාත්මක ස්වරෑපයක් ඉසිලීය. අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ වරදක් කරන සෑම තැනැත්තකුගේම සියලු චංචල හෝ නිශ්චල දේපොළ රාජසන්තක වන බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාය.

“මෙවැනි අවස්ථාවක රටේ වෘත්තීය සමිති ව්‍යාපාර පාරට බහිනවා නම් මං හිතන්නේ ඒ අයගේ මොළය පරීක්ෂා කළ යුතුව තිබෙනවා. බංකොළොත් වූ රටක් ගොඩගන්න සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය කරන වෙලාවක විවිධ විදේශ බලවේගවල අතකොලු බවට පත්වී රට අරාජික කරන්න ඇතැම් අය උත්සාහ කරනවා."

කෙසේ හෝ අවසානයේ බදාදා වර්ජනය සිදු කෙරුණි. වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සංවිධාන කළ මෙම වැඩවර්ජනයට වෘත්තීය සමිති 40කට අධික සංඛ්‍යාවක් එක්විය. මීට අමතරව තවත් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති රැසක් ද සහයෝගය පළ කළේය. වැඩවර්ජනය හේතුවෙන්  සෞඛ්‍ය, තැපැල්, දුම්රිය ඇතුළු කේෂ්ත්‍ර රුසක සේවා අඩාල වූ අතර ඇතැම් ක්ෂේත්‍ර රාජ්‍ය මැදිහත්වීම යටතේ ක්‍රියාකාරීව පැවතිණි.

වරාය වැනි ස්ථානවල වර්ජකයන් ප්‍රබල වූ අතර පාසල් රැසක් වසා දමා තිබුණි. රෝහල්වලද සේවා අඩාල වූ නමුත් අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යාමට සෞඛ්‍ය කාර්ය මණ්ඩල කටයුතු කළෝය. කෙසේ වෙතත් දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට රජය සමත් විය. එසේම සැලකිය යුතු බැංකු ප්‍රමාණයක් විවෘතව තබා ගැනීමටද රජය සමත් විය. එහෙත් මෙම වර්ජනය හේතුවෙන් සැලකිය යුතු ලෙස රාජ්‍ය සේවා අකර්මණ්‍ය විය. කෙසේ හෝ වර්ජනය අතරවාරයේ වර්ජකයන්ගේ ඉල්ලීම් සලකා බැලීමට ජනාධිපතිවරයා එකඟ බව දන්වමින් ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කළේය. වර්ජනය අතර කාලයේ ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදන රැසක් නිකුත් කිරීම ද තරමක් විශේෂ සිදුවීමක් විය. වර්ජනය අතර සක්‍රීය සේවාවන් පිළිබඳ ඔවුහු දිගින් දිගටම කරුණු වාර්තා කරමින් සිටියහ.

ජනපති පාර්ශ්වයෙන් ලැබුණු පණිවිඩයක් සමඟ පසුදා උදෑසන 8 ට වර්ජනය නිල වශයෙන් අවසන් කිරීමට වෘත්තීය සමිති නියෝජිතයෝ කටයුතු කළෝය. වර්ජනය අති සාර්ථක බවද ඔවුහු කීහ. කෙසේ වෙතත් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන සමන් රත්නප්‍රිය මහතා පවසා තිබුණේ වර්ජනය අසාර්ථක බවකි.

මේ අතර ජනාධිපතිවරයා වෘත්තීය සමිති සමඟ සෘජු සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් වූ ලිපියට පිළිතුරු ලිපියක් වෘත්තීයවේදීන්ගේ එකමුතුව යොමු කළේය. ඒ අනුව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක කීවේ මෙවන් කතාවකි.

''ජනාධිපති ලේකම්වරයාට පිළිතුරු ලිපියක් යවනවා ඒ ලිපිය සම්බන්ධයෙන්. ඒ ලිපියේ සඳහන් වන සමහර කරුණු සම්බන්ධයෙන් අපි කිසිසේත්ම එකඟ වෙන්නේ නැති බව පැහැදිලිව ප්‍රකාශ කරනවා. කිසිසේත්ම අපි සූදානම් නැහැ මාස 06ක් බලාගෙන ඉන්න. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා සාකච්ඡාව 22 වැනිදාට පෙර අපිට ලබාදෙන්න කියලා. ඒ ඉල්ලීම් ඉටු නොවුණොත් දැඩි ක්‍රියාමාර්ගවලට එළඹෙනවා.''

පසුගිය සතියේදී මැතිවරණය පිළිබඳව පවතින අවිනිශ්චිතභාවය නිසා සමගි ජන බලවේගය දිස්ත්‍රික් මට්ටමේ දැවැන්ත රුලි සංවිධානය ප්‍රමාණාත්මකව අඩුකර ඇතැයි සජබ ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ වෙතත් ප්‍රාදේශීය මට්ටමේ රැස්වීම් අහෝසි නොකොට තවදුරටත් පවත්වාගෙන යා යුතු බව පක්ෂ මූලස්ථානයෙන් ප්‍රාදේශීය නායකයන්ට උපදෙස් ලබා දී ඇතැයිද දැනගන්නට ලැබේ.

පසුගිය සතියේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ගමනක් ගියේය. ඒ රෝගී තත්ත්වයකින් පෙළෙන ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලිට උපකාර කිරීමේ අපේක්ෂාවෙනි. දේශපාලන ආරංචි මාර්ග අනුව විපක්ෂ නායකවරයාව මෙම ගමන කැඳවාගෙන ගොස් තිබුණේ සමගි ජන බලවේගය ප්‍රධාන කාන්තා ක්‍රියාකාරීන් ලෙස මේ දිනවල කැපී පෙනෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ රංගන ශිල්පිනී දමිතා අබේරත්න යන අයයි. මෙම ගමන සඳහා තවත් කලාකරුවන් කිහිප දෙනකුද සම්බන්ධව සිටියහ.

මේ අතර පසුගිය සතියේ මැතිවරණය ලබා ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා තවත් සුවිශේෂී හමුවකට සම්බන්ධ නිරත විය. එය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නියෝජනය කරන එහි නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර පැවැති හමුවකි.

මේ වනවිටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර පාර්ශ්ව කිහිපයක් මැතිවරණයේ අවශ්‍යතාවය පැහැදිලි කර තිබීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇතැයි කියැවේ. ඒ අනුව විපක්ෂනායකවරයා පවසා ඇත්තේ මැතිවරණය පැවැත්වීම සහ ඒ හරහා ජනතාවගේ පරමාධිපත්‍ය සහතික කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සක්‍රීය මැදිහත් වියයුතු බවකි.

පසුගිය සතියේ මැතිවරණ කොමිසමද තරමක දැඩි තීරණයක් ගත්තේය. දින 14ක් ඇතුළත 2021 වර්ෂයේ විගණිත ගිණුම් ප්‍රකාශ ලබා නොදෙන්නේ නම් අදාළ දේශපාලන පක්ෂවලට ඇති හිමිකම් අවසන් කරන බව කොමිසම කියා තිබුණි. මෙම තීරණය ප්‍රකාශයට පත්වූයේ ඉකුත් බ්‍රහස්පතින්දා කොමිසම රැස්වීමෙන් අනතුරුවයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් ලබා නොදීම සම්බන්ධව කොමිසම මෙදින දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව කියැවේ. පසුගිය මාර්තු 12 වැනිදා කොමිසම මුදල් අමාත්‍යංශයට යොමු කළ ලිපියටද තවම පිළිතුරු ලැබී නොමැති බව මෙහිදී හෙළිව ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර මර්තු 23 වැනිදා පක්ෂ නායකයන් කැඳවා පළාත් පාලන මැතිවරණය සම්බන්ධ විශේෂ රැස්වීමක් පැවැත්වීමටද කොමිසම තීරණය කර ඇත.

ජාතික ජන බලවේගය පාර්ශ්වයෙන් පසුගිය සතියේ අසන්නට ලැබුණේ මැතිවරණය කල් දැමීමේ ක්‍රියාවලියට එරෙහිව තවදුරටත් සක්‍රීයව මැදිහත් වීමට ඔවුන් තීරණය කර ඇති බවකි. ඒ අනුව මැතිවරණය කල්දැමීම සඳහා උපකාර කරනු ලබන රාජ්‍ය නිලධාරීන්ට සෘජුව නඩු පැවරීමට ජාතික ජන බලවේගය සූදානම් වන බව කියැවේ. ඒ සම්බන්ධ සාකච්ඡා කිහිපයක්ම පසුගිය සතියේ පවත්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර මැතිවරණය දිනාගැනීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස පසුගිය සතියේදී ජාතික ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවටද ගියේය. මාර්තු මස 09 වැනිදා පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වී ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනු කළේය.

ඔවුන් එහි වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, නීතිපතිවරයා, රජයේ මුද්‍රණාලාධිපතිනිය, පොලිස්පතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු තිස් පස්දෙනෙකු නම්කර තිබේ.

මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබුණේ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, ජාතික ජන බලවේගයේ ලේකම් නිහාල් අබේසිංහ යන අය විසිනි.

''පරමාධිපත්‍ය අයිතිය උල්ලංඝනය වන රටක ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න අපට හැකියාවක් නෑ. මේක බරපතළ අවස්ථාවක්. තීරණාත්මක අවස්ථාවක්.''

පෙත්සම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හරිනි අමරසූරිය එය ඉදිරිපත් කිරීමට හේතුව පැහැදිලි කරමින් එලෙස පවසා තිබුණි.

මේ අතර ඉකුත් බ්‍රහස්පතින්දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සුවිශේෂී උත්සවයක් පැවැත්වුණි. මෙහි විශේෂත්වය වූයේ වත්මන් ජනපති හා හිටපු ජනාධිපතිවරුන් දෙදෙනක් මෙම උත්සවයට සහභාගි වීමයි. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ජන්ම දිනය සහ ප්‍රඥා බන්දු ශිෂ්‍යත්ව ප්‍රදානය වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය විය.

ඒ අනුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන යන නායකයන් ප්‍රධානත්වයෙන් මෙම උත්සවය සංවිධානය විය. දේශපාලඥයන් තානාපතිවරුන් ඇතුළු සම්භාවනීයයන් රැසක් මේ සඳහා සහභාගී වූහ. එම නිසාම වෙලාවටම ආරම්භ වූ මෙම රැස්වීම වෙලාවටම අවසන් විය.

මෙහිදී හිටපු ජනාධිපතිවරුන් අතින් අ.පො.ස. සා.පෙළ සමත් දරුවන් 25කට ප්‍රඥාබන්දු ශිෂ්‍යත්ව ප්‍රදානය සහ කලාකරු සම්මාන ප්‍රදානය සිදුවුණි. බන්දුල ගුණවර්ධන මහතා නිෂ්පාදනය කළ චිත්‍රපට සඳහා දායකත්වය සැපයූ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් වන ධර්මසිරි බණ්ඩාරනායක, සිරිල් වික්‍රමගේ, පරාක්‍රම නිරිඇල්ලට මෙහිදී සම්මාන සහ ත්‍යාග පිරිනැමුණි.

I චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00