2023 පෙබරවාරි 05 වන ඉරිදා

සරත් ෆොන්සේකා මාලිමාව එක්ක සම්මුතියකට සූදානම්

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:00 810

කැළඹිලි සහගත දේශපාලන කාලගුණය පහව නොගියේය. දෙලොවක් අතර රැඳි මැතිවරණ කටයුතු මන්දගාමී වී තිබුණි. පාර්ලිමේන්තු වාරාවසාන වූයෙන් තුටු වූ පෙළක් මන්ත්‍රීවරු ගම් රට බලා ගියහ. ඒ අතර නිවාඩුවක් ගතකිරීමට සත් සමුදුර තරණය කළ ඇත්තෝද වූහ. එහෙත් කිසිවකුට විවේකය සැනසුමක් නොවුණේ, ඉඳහිට පුපුරා ගිය දේශපාලන තුන්හුලස් රතිඤ්ඤා, චීන පටස් නිසාවෙනි.

ගෙවීගිය සඳුදා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථාදායක සභාව රැස්විය. දේශපාලන ආරංචි අනුව මෙම හමුව පවත්වා ඇත්තේ සූම් තාක්ෂණය භාවිතා කරමිනි. මෙහිදී මැතිවරණ කොමිසම ඇතුළු අනෙකුත් ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත්කිරීමට අයැදුම්පත් කැඳවීම සම්බන්ධව සාකච්ඡාවක් ඇතිව තිබේ.

"මම කිව්වනේ මම ඕකට විරුද්ධයි. මේ අවස්ථාවේ ස්වාධීන කොමිෂන් සභාවලට අයැදුම්පත් කැඳවන්න එපා..."

යනුවෙන් මෙම කටයුත්තට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා දැඩි විරෝධයක් ගොනුකර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

"ඔබතුමා ඇයි විරුද්ධ වෙන්නේ?"

ව්‍යවස්ථාදායකයේ සෙසු සාමාජිකයන් විපක්ෂ නායකවරයාගෙන් විමසා ඇතැයි දැනගන්නට ලැබේ.

"මැතිවරණ කොමිෂන් සභාව අලුතින් පත් කරන්න ඔය යන්නෙ. මම ඕකට විරුද්ධයි. මීට කලිනුත් අයැදුම්පත් කැඳවන්න යනකොට මමයි නැවැත්තුවේ..."

මින් පෙර අවස්ථාවකද අයැදුම්පත් කැඳවීමට දැරූ උත්සාහය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ දැඩි විරෝධය හමුවේ ව්‍යවස්ථාදායක සභාව කල් දමා තිබුණි. කෙසේ වෙතත් මෙවර කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ව්‍යවස්ථාදායක සභාවේ තවත් සාමාජිකයන් මේ හා සම්බන්ධව සජිත් ප්‍රේමදාස මහතාට කරුණු පැහැදිලි කිරීමට උත්සාහ දරා ඇති බව කියැවේ.

කතානායකවරයා ‌ඇතුළු පිරිස පෙන්වා දී ඇත්තේ දැන්වීම් පළකළද ‌මැතිවරණ ක්‍රියාවලියට ඉන් කිසිදු බාධාවක් නොමැති බවයි. එහෙත් විපක්ෂ නායකවරයාගේ දැඩි විරෝධය ඔවුනට එල්ල වී ඇත.

"මැතිවරණ කොමිසමට තර්ජනයක් තියන වෙලාවේ මේක කරන්න බෑ. මැතිවරණ කොමිසම නැතුව කරනවා නම් ගැටලුවක් නෑ."

තමන්ට ඇහුම්කන් නොදෙන්නේ නම් තමා සහ තම නියෝජිතයා ව්‍යවස්ථාදායක සභාවේ රැඳී සිටීමෙන් පලක් නොමැති බවද සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇතැයි කියැවේ.

"මැතිවරණ කොමිසම වෙනස් කරන්න නෙවෙයි අපි ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්න හදන්නෙ. එහෙනම් අපි බහුතරයෙන් තීරණය ගන්නවා..."

කෙසේ හෝ අවසානයේ ව්‍යවස්ථාදායක සභාව සජිත් ප්‍රේමදාස මහතාගේ විරෝධය නොතකමින් ස්වාධීන කොමිෂන් සභා නවයක් සඳහා අයැදුම්පත් කැඳවීමට තීරණය කොට තිබේ.

පසුව කොළඹ පැවති උත්සවයකදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබුණේ, ව්‍යවස්ථාදායක සභාවේ රහස්‍යභාවය රැකීමට පොරොන්දු වුවද, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතියන් උල්ලංඝනය කරන ව්‍යවස්ථාදායක සභාවේ අනීතික ක්‍රියා අනුමත කළ නොහැකි හෙයින් එම තීරණ ජනතාව හමුවේ හෙළිකරන බවයි.

පසුගිය සතියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරගිය මන්ත්‍රීවරුන් වෙත එම පක්ෂයෙන් ලැබුණු ලිපියක් පිළිබඳවද දේශපාලන ආරංචියක් ලැබුණි. පොහොට්ටුවේ මහ ලේකම්වරයා විසින් පක්ෂ විනය කඩකළා යයි දක්වමින් මෙම ලිපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සාමාජිකත්වය දරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත යොමුකර ඇත. පක්ෂ විනය කඩ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි කිරීමට කටයුතු කරන බව මෙම ලිපියේ අන්තර්ගත වී ඇතැයි කියැවේ.

"මේ මන්ත්‍රීධූරය මට දුන්නේ කවදාවත් නොපිපෙන නෙළුම් තියෙන පාරක කාර්යාලයකින් නෙවෙයි. මාව අයින් කරනවා නම් අයින් කරන්න පුළුවන් වෙන්නෙ මාතර දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ට මිසක්, වෙන කාටවත් නෙවෙයි."

මෙම ලිපිය ලැබුණු පසු  නිදහස ජාතික සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා එලෙස පවසා තිබුණි. මේ අතර මෙම ලිපිවලට අදාළව පිළිතුරු ලිපි, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ උපදේශකත්වය මත සකසා ඇතැයි කියැවේ. එම ලිපි වෙන වෙනම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත යැවීම අදාළ මන්ත්‍රීවරුන් කටයුතු කර ඇතැයිද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අතර මෙම පිරිස නියෝජනය කරන නව හෙලිකොප්ටර් සන්ධානයේ විධායක රුස්වීමක් පසුගිය බදාදා පැවැත්වුණි. හෙලිකොප්ටරයෙන් බැස ගියා යැයි කියැවුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසද එම අවස්ථාවට සහභාගි වී සිටියහ. මෙම සාකච්ඡාවේදී සිය මැතිවරණ යාන්ත්‍රනය දියත් කිරීම පිළිබඳව පිරිස දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි කියැවේ.

"නිදහස් ජනතා සංධානයක් එක්ක එකතුවෙලා ඉතාම දැවැන්ත මහජන ව්‍යාපාරයක් විදියට ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. සියලුම පක්ෂ එක්ක එකතුවෙලා ගමින් ගමට යන වැඩපිළිවෙළ සම්බන්ධව අපි සාකච්ඡා කළා."

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා මෙම හමුවෙන් පසු මෙසේ පවසා තිබුණි. කෙසේ වෙතත් දිස්ත්‍රික්ක 20ක පමණ පළාත් පාලන ආයතන රැසකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් තරග කරන බවද වාර්තාවේ.
මේ අතර දේශපාලන කරළිය ආරංචි සඳහන් කළේ ජාතික නිදහස් සන්ධානය හෙලිකොප්ටරයේ ලකුණෙන් මැතිවරණයට පිවිසියද, සෙසු ප්‍රධාන පක්ෂ හා තරගකාරීව වියදම් කිරීමට ඔවුන් සතුව මුදල් නොමැති බවකි. ප්‍රධාන පක්ෂවලට තරම් මුදල් තිබුණේ නම් විශාල පෙරළියක් කරන්නට හැකියාවක් තිබෙන බව එහි නායකයන් අභ්‍යන්තරයේ සාකච්ඡා කර ඇතැයි කියැවේ.

මේ අතර පසුගිය සතියේ සමගි ජනබලවේගය අභ්‍යන්තර අර්බුදයක් දේශපාලනයද කරළියට නිරාවරණය වූයේය. කණින් කොණින් නිරාවරණය වෙමින් පැවති මෙම අර්බුදය මෙවර පුපුරා ගියේය. මෙය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද සහභාගි වූ සමගි ජනබලවේගයේ මතුගම ආසන බලමණ්ඩල සජබ මතුගම ආසන සංවිධායක ජගත් විතාන කළ විශේෂ ප්‍රකාශයකි.

"මම දැක්කා ඊයේ පෙරේදා අපේ කුමාර ලොක්කා රාජිතයි සර්වපාක්ෂික සමුළුවට ගිහිල්ලා. වෙල්ගම මහත්තයා කියනවා ඔබතුමා ඕනේම තීරණයක් ගන්න කියලා යකෝ අපි ඡන්දෙ දුන්නේ ඔය ටික අහන්නද?"

රාජිත සේනාරත්න සහ කුමාර වෙල්ගම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම ආසනයේ පක්ෂයේ සියලු රැස්වීම් තහනම් කර ඇතැයි ජගත් විතාන මෙහිදී පැවසීය. එසේම තව සුමාන දෙකකින් ඔවුන් ආණ්ඩුවේ ඇමැතිකම් ලබා ගන්නා බවද ඔහු සඳහන් කර තිබුණි. රාජිතට ඇමතිකමක් ලබාදෙන්නේ තමන්ටද ඇමතිකමක් ඕනෑ බව රෝහිත කියා ඇතැයි ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් රාජිත සේනාරත්න මහතා ඉකුත් සතිය පුරා කළුතර දිස්ත්‍රික් සමගි ජන බලවේගය රැස්වීම්වලට සහභාගි වෙමින් සිය මුහුණු පොතේ ඡායාරූප පළකර තිබුණි. ගෙවී ගිය සතියේ රූපවාහිනී වැඩසටහන් රැසකට සහභාගී වෙමින් ඔහු විශේෂ ප්‍රකාශ රැසක්ද සිදුකර තිබුණි.

මේ අතර නෙළුම් මාවතේ පොහොට්ටු ප්‍රධාන කාර්යාලය දෙසින්ද විවිධ දේශපාලන ආරංචි ගලා ආවේය. සිය පක්ෂය හැරගිය මන්ත්‍රීවරුන් ඉවත් කිරීම පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ප්‍රකාශයක් කළේය.

"සියලුදෙනා සම්බන්ධයෙන් අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නවා. අපි මේ වෙනුවෙන් ගතයුතු පියවර සහ අවශ්‍ය නීති උපදෙස් ලබාගෙන අවශ්‍ය කරුණු කාරණා එකතු කරමින් සිටිනවා."

එසේම හෙලිකොප්ටර් සන්ධානයෙන් ඉදිරිපත් වන පිරිස මැතිවරණයේදී අභියෝගයක් නොවන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබුණි. එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු සභාපති ජී.එල්. පීරිස් මහතා පිළිබඳවද පවසා තිබුණි.

"එතුමා අඩුවුණා කියලා පක්ෂයට හානියක් වුණේ නෑනේ. අපි ජයග්‍රහණයට අවශ්‍ය අපේ කැම්පේන් එක කරනවා. අපි දැන් මේ වනවිට ඒ කැම්පේන් එක ලෑස්ති කරලා තියෙන්නේ. ඡන්ද පෙට්ටි ගණන් කරනකොට පෙනෙයි කොහොමද අපි ජයග්‍රහණය කළේ කියලා."

නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ, පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙ විශේෂ රැස්වීමක් පසුගිය බ්‍රහස්පතින්දා පැවතියේය. පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන්, ආසන සංවිධායකවරුන් මෙම හමුවට පැමිණ සිටියේ බැසිල් රාජපක්ෂගේ ආරාධනයෙනි.

දේශපාලන ආරංචි මාර්ග අනුව මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ විශේෂිත උපදෙස් රැසක් බැසිල් රාජපක්ෂ විසින් මෙහිදී පොහොට්ටුවේ ආසන සංවිධායකවරුන්ට ලබාදී තිබේ.

"මැතිවරණය පවත්වනවාද නැද්ද කියන කාරණය අපි හිතන්නේ නෑ. ඒක අපේ පාලනයෙන් බැහැරව තිබෙන කාරණාවක්. අපි හැමෝම මැතිවරණය පවත්වන කියන උපකල්පනය මත වැඩ කරමු."

මෙවර මැතිවරණයේදී එල්ලවන අභියෝග ජයගන්නා ආකාරය පිළිබඳව බැසිල් රාජපක්ෂ දීර්ඝ වශයෙන් උපදෙස් ලබාදී ඇතැයි කියැවේ. ආසන සංවිධායකවරුන්ද තමන්ට තිබෙන ගැටලු ඔහු වෙත ඉදිරිපත් කළ බව කියැවේ. මෙවර මැතිවරණයේදී ගෙයින් ගෙට යාම සහ ජංගම රැස්වීම් පැවැත්වීම පිළිබඳවද මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි දැනගන්නට ලැබේ.

පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන කරළියේ විශේෂ අවධානයක් දිනාගත්තේය. ඔහු පාස්කු ප්‍රහාරය සම්බන්ධ කතෝලික ජනතාවගෙන් සමාව අයැදීම සහ ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව පැවසීම ඔහු වෙත කාගේත් අවධානය ‍යොමුවීමට මූලික හේතුව විය.

කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ගත් තීරණය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පවා නොදන්නා බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. එම නිසාම මෙම ප්‍රකාශයත් සමඟ දේශපාලන කරළියේ තිරය පිටුපස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ විවිධාකාර අදහස් පලවෙමින් තිබේ.

"අපේ ලොක්කා ඉල්ලලා පැරදුණොත්, පක්ෂ නායකත්වය දයාසිරිට යයි..."

පක්ෂයට සම්බන්ධ පිරිස් අතරේ මෙවැනි කතාබහක් නිර්මාණය වී ඇති බවටද වාර්තා ලැබේ. 

හෙලිකොප්ටර් සන්ධානයෙන් ඉවත්වීම පිළිබඳ රූපවාහිනී වැඩසටහනක සිදුකළ විමසීමකදී මෛත්‍රීපාල සිරිසේන මහතා තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබුණි.

"මාව හෙලිකොප්ටරෙන් තල්ලු කෙරුවේ නැහැ. මමයි අයින් වුණේ. රෙජිනෝල්ඩ් කුරේ මහත්තයා මැරුණා නෙවෙයි මැරුවා. මැරුණා නෙවෙයි මැරුවා!”

පසුගිය සතියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාද විශේෂ ප්‍රකාශ කිහිපයක්ම සිදුකර තිබුණි. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට තමා ගරුකරන බවත් ඔහු තමාගේ සතුරකු නොවන බවත් සරත් ෆොන්සේකා මහතා විටෙක පැවසීය.

"අපි තමා විපක්ෂය. අපේ නායකතුමා විපක්ෂ නායකතුමා. අනෙකුත් කුඩා පක්ෂ පිළිබඳ අපි එතරම් කලබල වෙන්න අවශ්‍ය නෑ. ඒත් මාලිමාවට කලින් තිබුණට වඩා ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා කියලා අපිට පේනවා."

ඔහු මෙසේ පවසා තිබුණේ පසුගියදා නිදහස් වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ බැලීමට ගිය අවස්ථාවේදීය.

කෙසේවෙතත් ඉකුත් සතියේදී සරත් ෆොන්සේකා මහතා  යූටියුබ් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජාතික ජනබලවේගය සම්බන්ධ තවත් කතාවක් කියා තිබුණි. ජනතා ආරාධනාවක් ලැබුණහොත් අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජාතික ජන බලවේගය සමඟ සිවිල් සමාජ සම්මුතියකට එළැඹීමට තමා සූදානම් බව‍ත් ඔහු සඳහන් කර තිබුණි.

මේ අතර ජාතික ජනබලවේය දෙසින් ඇසුණු කතාවක් පිළිබඳවද දේශපාලන කරළියේ කතාබහක් ඇතිවිය. මෙම ප්‍රකාශය සිදුකර තිබුණේ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මියයි.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජාතික ගැටලුවට විසඳුමක් වශයෙන් ඉදිරිපත් කෙරුණු නිසාවෙන් සහ එය මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි කොටසක් වශයෙන් පවතින නිසාවෙන් එම සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුය යන්න තම පක්ෂයේ මතය බව අමරසූරිය මහත්මිය පවසා තිබුණි. කෙසේ වෙතත් 13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළත් ජාතික ගැටලුව එයින් විසඳේද යන්න සම්බන්ධයෙන් සිය පක්ෂය තුළ විවාදයක් පවතින බව ඇය වැඩිදුරටත් සඳහන් කර කළේය.
ඇයට අමතරව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාද දහතුන්වැනි සංශෝධනය පිළිබඳ අදහස් දැක්වූයේය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිසි දිනක පළාත් සභා ක්‍රමය සම්පුර්ණයෙන්ම බලාත්මක කිරීමට කටයුතු නොකරන බව ඔහු පැවසීය. ඒ වෙනුවට 13 පිළිබඳ සමාජය තුළ කතාබහක් ඇති කරමින් දේශපාලනික වශයෙන් සිය බලය තහවුරු කරගැනීම සඳහා වන උපක්‍රමික දේශපාලන භාවිතයක ජනාධිපතිවරයා නිරත වෙමින් සිටින බව ඔහු පැහැදිලි කළේය.

ගෙවී ගිය සතියේ ආශු මාරසිංහ සහ ආදර්ශා කරඳන අතර වූ ආරවුලේ තවත් සුවිශේෂී ජවනිකාවක් දැකගත හැකි විය. ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වූ මහාචාර්ය ආශු මාරසිංහ නැවතත් එම තනතුරෙහි පිහිටුවීමට ජනධිපතිවරයා පියවර ගෙන තිබේ.

I චමිඳු නිසල් ද සිල්වා