2023 ජනවාරි 08 වන ඉරිදා

මෛත්‍රීපාල සිරිසේනට ලබන සතියේ තීරණාත්මක උසාවි තීන්දුවක්

 2023 ජනවාරි 08 වන ඉරිදා, පෙ.ව. 06:00 359

2023 වසරේ ප්‍රථම සතිය ගෙවී ගියේය. වසරේ පළමු දේශපාලන ගිනිකෙළි සංදර්ශනය ඇරඹීමට සියලු කටයුතු සූදනම් වෙමින් පැවතුණි. ඇතැමෙක් සංදර්ශනය කල් යන බව කීවද, නිසැක වශයෙන්ම එය පවත්වනු ඇතැයි තවත් පිරිසක් අනාවැකි කීහ. බැණ අඬගසා ගැනීම්, කුමන්ත්‍රණ සහ නව සන්ධාන පිළිබඳව කතාද නිතර අසන්නට ලැබුණි.

පළාත් පාලන ඡන්දයේ කටයුතු නිල වශයෙන් ආරම්භ වීමත් සමඟ දේශපාලන පක්ෂ බොහොමයක් සිය මෙහෙයුම් කටයුතු පුළුල් කරමින් සිටියේය. කෙසේ වෙතත් මැතිවරණ කටයුතු වෙනුවෙන් පළමුව නිල වශයෙන් ඇප තැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

"අපි ඡන්දවලට බය නැහැ. ගම ඉන්නේ අපිත් එක්ක. අපි තමයි මුලින්ම ඇප තියන්නෙත්..."

පොහොට්ටුව දෙසින් මතුවූයේ එවන් හඬකි. පළාත් පාලන මැතිවරණය සඳහා පළමුව ඇප තැන්පත් කළ පක්ෂය බවට පත්වීමට ඔවුහු සමත් වූහ. බ්‍රහස්පතින්දා (05) කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන දාහතක් වෙනුවෙන් මෙලෙස පොහොට්ටුවේ නායකයන් ඇප තැන්පත් කරනු ලැබුවේ උත්සවාකාරයෙනි. උදෑසන කළුතර බෝධිය අසල ආශීර්වාද පූජාවක්ද පවත්වා පෙ.ව. 10.33ට යෙදුණු සුභ නැකතින් ඇප තැන්පත් කිරීමට පොහොට්ටුවේ නායකයෝ කටයුතු කළහ.
"කොහේ කොහොම වුණත් කළුතර නම් අපි පරදින්නේ නැහැ. පැරදිලත් නැහැ..." කළුතර දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ නායකයෙක් උදම් අනා තිබුණේ එසේය.

මෙම අවස්ථාවට පක්ෂය වෙනුවෙන් නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම්, ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි අතර කළුතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන, පියල් නිශාන්ත, සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

මෙවන් උත්සව සංදර්ශන පැවති නමුත් තවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ තවමත් පළාත් පාලන මැතිවරණය සම්බන්ධ මත කිහිපයක් ඇති බවකි.

"අපි මේ මැතිවරණයට යන්න ඕනෑ, අනිවාර්යයෙන්ම සන්ධාන ගතවෙලා..."

"මේ වෙලාවේ සන්ධාන හදලා පුංචි ඡන්දෙට ඉදිරිපත් වෙලා තේරුමක් නැහැ. අපි තනියම තරග කරමු."

අලි-පොහොට්ටු සන්ධාන කථාව යටපත් වී ගියද මේ ආදී විවිධ මත පොහොට්ටුව අභ්‍යන්තරයේ සාකච්ඡා වූ බව ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත් නෙළුම් මාවතේ පක්ෂයේ ප්‍රධාන කාර්යාලයෙන් ආසන සංවිධායකවරුන් වෙත ලබාදුන් නාමයෝජනා පත්‍රිකාවල ආකෘතිපත්‍ර මේ වනවිටත් බොහෝ ආසන සංවිධායකවරුන් සම්පූර්ණ කරමින් සිටින බව කියැවේ. දේශපාලන කරළියේ අසන්නට ලැබෙන පරිදි පසුගිය සමයේ පක්ෂය සමඟ රැඳි පළාත් පාලන නියෝජිතයන්ට සහ පක්ෂ ක්‍රියාකාරීන්ට මූලිකත්වය ලබාදෙන ලෙසට පක්ෂය සංවිධායකවරුන්ට උපදෙස් ලබා දී ඇතැයිද කියවේ.

මේ අතර පොහොට්ටුවේ නව ආසන සංවිධායකවරුන් පත්කිරීම සහ දැනට සිටින ආසන සංවිධායකවරුන් අතර ආසන මාරු කිරීම පිළිබඳවද කතාබහක් වන බව තිරය පිටුපස කතා ඇසුරෙන් අසන්නට ලැබේ.

මේ සමඟ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මැතිවරණ සූදානම පිළිබඳවද පසුගිය සතියේ සුවිශේෂී දේශපාලන තොරතුරක් අප වෙත වාර්තා විය. පළාත් පාලන මැතිවරණයේ කිසිදු ඡන්ද කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට නිල වශයෙන් දැනුම් දී ඇති බව මෙම තොරතුරු වාර්තාව ඔස්සේ කියැවුණි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ පසුගිය බදාදා පැවැති පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ රැස්වීමකදී එක්සත් ජාතික පක්ෂනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය දැනුම් දී ඇති බවකි.

"මට වරමක් දීලා තියෙන්නෙ ඡන්ද කරන්න නෙවෙයි. අවුරුද්දක් ඇතුළත පුළුවන් ඉක්මනට මේ රට ගොඩගන්න..."

ආරංචි අනුව වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර ඇත්තේ මෙවන් අදහසකි. මෙහිදී ජනාධිපති ධුරය භාවිත කරමින් දේශපාලනික වාසි ලබාගනිමින් මැතිවරණට තරග කිරීම නුසුදුසු බව වික්‍රමසිංහ මහතාගේ අදහස වී තිබේ.

එක්සත් ජාතික පක්ෂයට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විය යුතුව තිබේ නම් ඒ සඳහා වන තීරණය ගැනෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ මුලසුන සාම්ප්‍රදායානුකූලව පමණක් ගැනීමට තමන් ඉදිරිපත් වන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී එජාප නායකයන්ට දැනුම් දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

"මම පළාත් පාලන මැතිවරණයට අදාළ කිසිම ඡන්ද වැඩකට සහභාගි වෙන්නේ නැහැ. ඒත් ඡන්දෙට ඉදිරිපත් වෙනවා නම් ලැයිස්තුවලින් සියයට හතළිහක්වත් අලුත් මුහුණු දාන එක හොඳයි..."

රනිල් වික්‍රමසිංහ මහතා මෙවන් අදහසක්ද මතුකර ඇතැයි කියැවේ. ඊට අමතරව පළාත් පාලන නියෝජිතයන්ගේ වැටුප් ගෙවීමේ ගැටලුව පිළිබඳවද මේ දිනවල ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී ඇතැයි අසන්නට ලැබේ.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබුණේ සමගි ජනබලවේගය පළාත් පාලන ආයතන සියල්ල සඳහාම තරග කිරීමට තීරණය කර ඇති බවයි. මේ වනවිටත් ඔවුහු ඒ සඳහා ආසන මට්ටමේ දේශපාලන ක්‍රියාකාරී හමු පවත්වමින් සිටිති. මෙම මැතිවරණයේදී සමගි ජනබලවේගයෙන් නාමයෝජනා ලබාගැනීමටද ප්‍රාදේශීය දේශපාලන ක්‍රියාකාරීන්ගේ ඉහළ ඉල්ලුමක් ඇති බව කියැවේ.

කෙසේ වෙතත් ඉදිරි මැතිවරණයේදී ඇතැම් පළාත් පාලන ආයතන සඳහා තරග කරන විට, සජබ ජනවාර්ගික නියෝජනයක් සහිත දේශපාලන පක්ෂ සමඟ සන්ධානගත වී තරග කිරීමට සැලසුම් කර ඇතැයි දැනගැනීමට ලැබේ. විශේෂයෙන් උතුරු, නැගෙනහිර සහ වතුකරයේ පක්ෂ සමඟ ඔවුන් සාකච්ඡා අරඹා ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

"හැම පළාත් පාලන ආයතනයකටම සමගි ජන බලවේගය තරග කරනවා. සියයට තුනක් හතරක් ගත්ත සමහර දේශපාලන පක්ෂ බයයි මැතිවරණයට යන්න. මොකද, ඒ ගොල්ලන්ගේ සැබෑ ඡන්ද ප්‍රතිපලය මොකක්ද කියලා රටට හෙළි වෙනවා. එතකොට ඔය සිහින මාලිගාවල ඉන්න ඒගොල්ලන්ට බැරි වෙනවා."

පසුගිය සතියේ සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙලෙස ප්‍රකාශ කර තිබුණේ ජාතික ජනබලවේගය ඉලක්ක කරගනිමින් බව දේශපාලන කරළියේ කතාබහක් ඇතිවුණි. සජබ සහ ජවිපෙ අතර ගැටුමක සේයාවක්ද මේ අනුව මතුවිය. සමගි ජනබලවේගය පාර්ශ්වයෙන් ජාතික ජනබලවේගයට තරමක ප්‍රහාරයක් එල්ල වන බව පසුගිය සතියේ පෙනී ගියේය. ඉකුත් සතියේ තිස්ස අත්තනායක මහතාද ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විවේචනාත්ම අදහස් ඉදිරිපත් කරනු දැකගත හැකි විය.

මේ අතර පසුගිය සතියේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සිය උපන් ගම් ප්‍රදේශයේදී ජනහමුවකට සහභාගී වූයේය. තඹුත්තේගම බස් නැවතුම්පොළ අසලදී පැවති, අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසන සමුළුව නමින් හැඳින්වූ මෙම රැස්වීම තරමක් සුවිශේෂී විය. අනුර කුමාර දිසානායක මහතාගේ මවද මෙහි පැමිණ සිටියාය. ඊටද සමාජ මාධ්‍යයේ ඉහළ අවධානයක් යොමුවනු දැකගත හැකිවිය.

"රනිල් වික්‍රමසිංහලා දස අතේ කල්පනා කරනවා පළාත් පාලන මැතිවරණය නොතියා ඉන්න. මැතිවරණ කොමිසම නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්නේ නැත්නම් ජාතික ජනබලවේගය සටන් කරලා හරි මේ ඡන්දය ලබා ගන්නවා."

මෙහිදී "පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපලය ඇවිත් මාස 02ක් 03ක් ඇතුළත මහ ආණ්ඩුව හදනවා. ඊටපස්සේ අපි ඔක්කොම එකතුවෙලා, මේ වැටුණු රට ගොඩනගමු" යනුවෙන් අනුර කුමාර දිසානායක මහතා කළ කතාව සුවිශේෂී විය. කෙසේ වෙතත් මැතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අරමුණින් අධිකරණය වෙත ඉදිරිපත් සියලුම පෙත්සම්වලට විරුද්ධව පෙනී සිටීමට ජාතික ජනබලවේගය තීරණය ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර පළාත් පාලන මැතිවරණය කල් දැමීම  පිළිබඳ තොරතුරු අප වෙතද ගලා ආවේ දේශපාලන ආරංචි මාර්ග ඔස්සේය.

ජනවාරි දහහත් වැනිදා රුස්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තුව ජනවාරි පස්වැනිදා රුස්වීමෙන් පසු පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ කුමන්ත්‍රණයක් පිළිබඳ කතිකාව දිග හැරුණි. මෙදින පාර්ලිමේන්තුවේදී පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව රීට් ආඥාවක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර ඇතැයි නියෝජ්‍ය කථානායකවරයා සභාවට දැනුම් දුන්නේය.

"මැතිවරණ ක්‍රියාවලිය ප්‍රකාශයට පත්කරපු ආකාරයටම ඉදිරියට යන්න රජය ඉඩ දෙයිද නැද්ද කියන ආකාරය පිළිබඳව අවිශ්වාසයක් තිබෙනවා. මොකද, මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවලා තියෙනවා. නාමයෝජනා භාරදීම උදෙසා දින වකවානු තීරණය කරලා තිබෙනවා. හැබැයි රජය සෘජුව සහ වක්‍ර ක්‍රමවේ‍දවලින් පණිවිඩයක් යවනව සල්ලි නැහැ, සල්ලි නැහැ කියල."

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී මෙලෙස පළාත්පාලන මැතිවරණය කල් දැමීමේ සූදානම පිළිබඳ කතා කළේය. තවත් බොහෝ දෙනකු මේ හා සම්බන්ධව අදහස් දැක්වීම කැපී පෙනුණි.

මේ අතර පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනය වැඩිකිරීම සඳහා ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතා ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව හේතුවෙන්ද පාර්ලිමේන්තුවේ ඇතිවූයේ කලබලයකි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගයේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙය මැතිවරණයට කල්ගැනීමේ උපායක් ලෙස හැඳින්වීය.

පළාත් පාලන විෂය භාරව කටයුතු කරන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ කිරිඇල්ල මහතා සභාව නොමඟ යවන බවකි. කෙසේ වෙතත් අවසානයේ මෙම ගැටුම නිමාවූයේ ජාතික ජනබලවේගයෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ පැහැදිලි කිරීමක් නිසාවෙනි. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් සම්බන්ධ පාර්ලිමේන්තු ක්‍රමවේදය ඔහු පැහැදිලි කිරීමෙන් පසුව, සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද එය අනුමත කළේය.

"අනුර කුමාර දිසානායක මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා ගරු විපක්ෂයේ සංවිධායකතුමාට, පැහැදිලි කර ගැනීම සඳහා ඔය කරපු පැහැදිලි කිරීම ගැන. ඔබතුමාට ස්තුතියි..."

මේ අතර ඩුබායි බලා පිටත් වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමද පසුගිය සතියේ සිදුවූ විශේෂිත සිදුවීමක් විය. ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා ජනවාරි පස්වැනිදා උදෑසන 08.25ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK- 650 දරන ගුවන් යානයෙන් නැවත කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි.

මේ අතර ඩුබායිහිදී එරට රජපවුලට අයත් සත්ව උද්‍යානයක් නැරඹීමට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගිය පුවතද මෙරටදී විශාල අවධානයකට ලක්විය. දේශපාලන ආරංචි අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිවාඩුවක් ගත කරමින් සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොස් තිබුණේ එරට ප්‍රකට සත්වෝද්‍යානයක් වන "ෆේම් පාර්ක්" වෙතය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ "ෆේම් පාර්ක්"හි හිමිකරු වන රජපවුලේ සයිෆ් අහමඩ් බෙල්හාසා, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිතවතෙක් බවද මේ සමඟම කියැවුණි. බෙල්හාසා යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යය එමීර් රාජ්‍යයේ සාර්ථක බිලියනපති ව්‍යවසායකයෙකි. ඔහු ගෝඨාභය රාජපක්ෂ සිය සත්ව උද්‍යානයට පැමිණි අවස්ථාවේ සතුන් සමඟ ගත් ඡායාරෑප Saif Ahmad Belhasa ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමටද එක්කර තිබුණි. මෙරට ප්‍රසිද්ධියට පත්වූයේ එම ඡායාරූපය.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද තරමක සුවිශේෂී ආරංචියක් ඉකුත් සතියේ ලැබී තිබුණි. සුබ අසුබ තීරණය කරගත නොහැකි වූ මෙම ආරංචිය ඔහුට තීරණාත්මක විය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අවසාන තීන්දුව ඉදිරි සතියේ සතිය ප්‍රකාශයට පත්වන බව මෙම ආරංචි ඔස්සේ කියැවුණි.

මාධ්‍ය වාර්තා අනුව මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ජනවාරි 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කරනු ඇත. ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අදාළ ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයන්, කතෝලික පියතුමන්ලා ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් ගොනුකරනු ලැබූ පෙත්සම් 12ක් පිළිබඳ තීන්දු මෙලෙස ප්‍රකාශයට පත්වේ.

මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇතුළු පිරිසකි. පෙත්සම් විභාගය විභාගයේ අවසාන තීන්දුව ඉදිරි සතියේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ඒ අනුව ඉදිරි සතියේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධ කතිකාව නැවතත් දේශපාලන කරළියට පැමිණෙනු ඇත.

පසුගිය සතියේ විදුලි බිල වැඩි කිරීම සම්බන්ධ කතිකාවද එන්න එන්නටම තීව්‍ර වෙමින් පැවතුණි. මාස හයකට වරක් විදුලි ගාස්තු සංශෝධනය වන අයුරින් ඉදිරිපත්වූ කැබිනට් පත්‍රිකාව පිළිබඳ අවසාන තීන්දුව බොහෝදුරට එළඹෙන සඳුදා ලැබෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය තුන්වැනිදා ඉදිරිපත් වූ මෙම කැබිනට් පත්‍රිකාවට සඳහා නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට සතියක කාලයක් ලබාගෙන තිබුණි.

කෙසේ වෙතත් විදුලිබිල සම්බන්ධ ගැටුමකට මැදි වී සිටින මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ වෙනස්ම කතාවකි. විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණද අධිකරණයට යෑමේ අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. කොමිසම සතු සතු නිශේධබලය පාවිච්චි කර එය ප්‍රතික්ෂේප කිරීමට හැකි යැයි ඉකුත්දා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කර තිබුණි.

I චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00