2022 දෙසැම්බර් 04 වන ඉරිදා

මැතිවරණ කොමිසම හංගන නීතිපතිගෙ උත්තරේ

 2022 දෙසැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 06:00 351

අණවින කොඩිවින ගැටුම් වැටුම් සපිරි තවත් දේශපාලන සතියක් ගෙවී ගියේය. දේශපාලන කරළියේ රැඟූ චණ්ඩි කිහිප දෙනකු පිළිබඳව ද තොරතුරු වාර්තා ලැබුණි. එසේම සමාව අයැදීමක් පිළිබඳව ද අපූරු කතා මතු විය. මේ අතර නැගුණු අනෙක් පැනය වූයේ, කැබිනට් ඇමැතිකම් බලාපොරොත්තුවෙන් සිටින අයගේ බාලගිරි දෝෂය පිළිබඳ කතාවයි.

පසුගිය සතිය පුරා පාර්ලිමේන්තු කටයුතු සිදු වූ බැවින් මැති ඇමැතිවරු සියලු දෙනාම නිතර කොළඹ ආහ. මේ අතර ඉකුත් අඟහරුවාදා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුව ද පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්වුණු බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙහිදී පාර්ලිමේන්තු කමිටුව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා නියෝජිතයන් පත්කිරීම පිළිබඳ දීර්ඝ කතාබහක් නිර්මාණය වූ බව කියැවේ. 

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට, ආණ්ඩුවේ බහුතර පක්ෂයේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා නම් කළා."

මෙම හමුවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු කණ්ඩායමට සිය තීරණය දැනුම් දී තිබේ. අග්‍රාමාත්‍යවරයා සේම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද මෙම රැස්වීමේ මුලසුනේ රැඳී සිටි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
දේශපාලන කරළියේ පැතිර ගිය කතා අනුව මෙහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙන් අපූරු පැනයක් විමසා තිබිණි.

“සමහරු විපක්ෂයේ වාඩිවෙලා ඉන්නවා. වැඩ කරන්නේ ආණ්ඩුවේ වගේ. අපි හරියටම මේ අය ආණ්ඩුවේ ද විපක්ෂයේ ද කියලා දැනගන්න ඕනෑ."

පාර්ලිමේන්තු කමිටුව සඳහා ආණ්ඩු පක්ෂ නියෝජිතයන් තෝරාගැනීමේදී මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමේ අරමුණෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙලෙස අදහස් දක්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ආණ්ඩු පක්ෂයත් ප්‍රධාන විපක්ෂයත් නියෝජනය නොකරන අයකු පත්කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී කතිකාවක් නිර්මාණය වී තිබේ.

“අපි ඔය තැනට අතාවුල්ලා මහතාව පත් කරමු." 

අතාවුල්ලා මහතා ආණ්ඩු පක්ෂ රැස්වීමේ රැඳී සිටින අවස්ථාවේදීම මෙවන් යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකය.

“නෑ නෑ චාමර, අතාවුල්ලා ඉන්නේ අපිත් එක්ක ආණ්ඩු පක්ෂයෙ. ඒ නිසා ආණ්ඩු පක්ෂයේ නොවන කෙනකු පත් කරන්න ඕන තනතුරට. අපිට අතාවුල්ලාව පත් කරන්න බෑ." 

මෙවන් අදහසක් මතු කරමින් චාමර සම්පත් දසනායකගේ කතාවට කරුණු පහදා දී ඇත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බව කියැවේ.

පසුගිය සතියේ විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර සම්බන්ධව ද අපූරු දේශපාලන කතාවක් අසන්නට ලැබුණි. එය යතුරක් සම්බන්ධ කතාවකි. එය මෙසේය.

මේ කතාවේ අනෙක් චරිතය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්තයි. සාමාන්‍යයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යවරයාට ද කොළඹින් නිවෙසක් ලබාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කරයි. නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ සිටි නිවස රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත හට ලබාදීමට මෙවර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය තීරණය කර තිබුණි. 

මේ අතර පසුගිය දිනක ජගත් පුෂ්පකුමාර රාජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය පරිපාලන ලේකම්වරයා හමුවීමට පැමිණියේය. ඔහුගේ අරමුණ වී තිබුණේ කොළඹින් නිල නිවෙසක් ලබා ගැනීමයි. ලේකම්වරයාගේ කාර්යාලයේ දෙදෙනා කතා කරමින් සිටියහ.

“මටත් නිවෙසක් ලබාගන්න ඕන කොළඹින්" 

ජගත් පුෂ්පකුමාර මෙලෙස පවසන අතරේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක්, ලේකම්වරයාගේ නිල කාමරයට පැමිණියේය. 

“සර්, මේක අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කතානායකතුමාගේ ගෙදර යතුර. ඒ නිල නිවෙස දැන් වෙන්කරලා තියෙන්නේ අශෝක ප්‍රියන්ත රාජ්‍ය ඇමැතිතුමාට." 

අතිරේක ලේකම්වරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා අමතමින් එලෙස කියන අතරේ ජගත් පුෂ්පකුමාර අමාත්‍යවරයා මේසය උඩ තිබූ යතුර ලබාගෙන තිබිණි.

“ආ මේ තියෙන්නෙ. මේක මට ඕන. මම මේක ගෙනියනවා."

දේශපාලන කරළියේ පැතිර ගිය කතා අනුව මෙවන් ප්‍රකාශයක් සිදු කරමින් ඔහු යතුරද රැගෙන පිටව ගොස් ඇත. ලේකම්වරයාගේ විරෝධය අමාත්‍යවරයා නොතැකූ බවද කියැවේ. කෙසේ වෙතත් අවසානයේ අමාත්‍යාංශය විසින් කුරුඳුවත්ත පොලිසිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කළ බව දැනගන්නට ලැබේ.

එහෙත් කඩිමුඩියේම පැය දෙකක් තුනක් තුළ අලුත් නිවෙසට ගොස් පදිංචි වීමට ජගත් පුෂ්පකුමාර අමාත්‍යවරයා කටයුතු කර තිබිණි. අවසානයේ අපහසුතාවයට පත්වූ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සිය විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයාට ඉතා අපහසුවෙන් නිල නිවෙසක් සොයා දීමට කටයුතු කර ඇතැයි කියැවේ. මේ අතර මෙම යතුරු සෙල්ලම සැලසුම්සහගත සිදුවීමක් ද යන්න පිළිබඳව ද සැකයක් මතුව ඇතැයි දැනගන්නට ලැබේ.

ගෙවී ගිය සති කිහිපය පුරා නිරන්තරව මතුවන පුංචි ඡන්දය පිළිබඳ ආන්දෝලනයට ඉකුත් සතියේ පණපෙව්වේ මැතිවරණ කොමිසමයි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් කොමිසම උපදෙස් ඉල්ලා තිබුණි. මේ පිළිබඳ බොහෝ පාර්ශ්ව කලබල විය. 

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙන්ම පැෆරල් සංවිධානයද මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නීතිපති උපදෙස් අවශ්‍ය නැති බව පවසා සිටියේය. 

ආරංචි මාර්ග අනුව දැනගැනීමට ලැබුණු පරිදි කොමිසම නීතිපතිවරයාගෙන් විමසා ඇත්තේ, “21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමඟ සියලු ස්වාධීන කොමිසම් අහෝසි වී යන අතර එවැනි තත්ත්වයක් තුළ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමේ බලය මැතිවරණ කොමිසමට පවතීද?" යන්නයි.

ඉකුත් සතියේ පළවූ වාර්තා කිහිපයකට අනුව කියැවුණේ අදාළ උපදෙස් මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා වෙත ලැබී ඇති බවයි. එහෙත් ඔහු එම උපදෙස් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත් නොකිරීමට තීරණය කර ඇතැයි කියැවේ.
මේ අතර පුංචි ඡන්දය පැවැත්වීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ පොහොට්ටු මන්ත්‍රීවරුන් අතරද  කතාබහක් ඇතිව තිබේ.

"ඔබතුමාවත් හරියට දන්නෙ නැද්ද ඡන්දය තියන දවසක්..."පොහොට්ටුවේ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාගෙන් පොහොට්ටුවේ සෙසු මන්ත්‍රීවරුන් විමසා තිබේ."කවුරුත් කලබල වෙන්න එපා. බලාගෙන ඉන්න. පෙබරවාරි මාසේ වෙනකොට අනිවාර් යෙන්ම ඡන්දය තියනවා..."

මේ අතර පොහොට්ටුවේ ඉහළ පිරිස් සහ ජනාධිපතිවරයා අතර ඇමැතිකම් බෙදීම සම්බන්ධව දුරකථන සංවාද කිහිපයක් පවත්වා ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පොහොට්ටුව විසින් යොමුකර ඇති දොළොස් දෙනකුගෙන් යුත් ලැයිස්තුවේ සිව්දෙනෙකු සම්බන්ධයෙන් ජනාධිපති අප්‍රසාදය පළකරන බවටද කතාවක්ද දේශපාලන කරළියේ පැතිර යමින් තිබිණි.

පසුගිය සතියේ සමගි ජනබලවේගය සිය පක්ෂ කාර්යාලය පිටකෝට්ටේ අලුත් තැනකට රැගෙන ඒමට කටයුතු කළේය. සිය දේශපාලන මහගෙදර වන සිරිකොත තරමක් ආසන්නයට සමගි ජනබලවේගය පැමිණීම සුවිශේෂී කරුණක් විය.
මේ අතර සමගි ජනබලවේගයෙන් යළිත් සුජීව සේනසිංහ සක්‍රීය දේශපාලනයට අවතීර්ණ වීමේ සූදානම පිළිබඳ දේශපාලන ආරංචියක් ලැබුණි. ඔහු කොළඹින් හෝ නුවරින් සජබ ආසන සංවිධායකවරයකු ලෙස කරළියට එනු ඇතැයි කියැවේ. එසේම ඔහුට සමගි ජනබලවේගයේ තනතුරක් ලැබෙනු ඇති බවද කියැවේ. පසුගියදා පැවති සමගි ජනබලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඔහු සම්බන්ධව යම් කතාබහක් ඇතිව ඇතැයි තොරතුරු වාර්තා වේ.

කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකු සේනසිංහ මහතා පිළිබඳ  විමසූ විට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ලබාදී ඇත්තේ මෙවන් පිළිතුරකි.

"ඒ කතාව ඇත්ත. මම එයත් එක්ක සෑහෙන්න කාලෙක ඉඳන් කතා කරමින් ඉන්නේ. අපි බලමු..."

මේ අනුව ඉදිරියේදී යම් තනතුරක් සහිතව ඔහු සජබ සක්‍රීය දේශපාලනයට ඇතුළත් වනු ඇතැයි සමගි ජනබලවේගය ඉහළ පෙළේ ආරංචි මාර්ග තහවුරු කරයි. කෙසේ වෙතත් ඔහුගේ දේශපාලන ආගමනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යම් යම් කටයුතු සිදුවෙමින් පවතින බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර දෙසැම්බර් එකොළොස් වැනිදාට යෙදෙන සමගි ජනබලවේගයේ සංවත්සරය වෙනුවෙන් විශාල ජනතාවක් කොළඹට රුගෙන ඒමට පසුගිය සතිය පුරා සමගි ජනබලවේගය පිඹුරුපත් සකසමින් සිටියේය. කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඒ පිළිබඳව වගකීම පැවරීමද සිදු වූ බව කියැවේ.

මේ අතර සමගි ජන බලවේගය හැර ගිය රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සමඟ තවදුරටත් සමගි ජනබලවේගය ගැටුම් වර්ධනය විය. පක්ෂ සම්මේලනයද ඊට ඈඳා ගනිමින් සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ඉකුත්දා ඩයනා ගමගේට විරුද්ධ දැඩි වාග් ප්‍රහාරයක් දියත් කළේය.

"ඩයනා ගමගේ කියලා තියෙනවා විපක්ෂ නායකතුමා නුවර ඉඳලා කොළඹට සංචාරකයෝ ගේන්න හදන වෙලාවේ පා ගමනින් එන්න හදනවලු. රට අවුල් කරන්න හදනවලු. එයා ජනාධිපතිගේ ත්‍රෛයි ලෝක විජය පත්‍ර එක කූරක් ඇදලා ඇවිල්ලාද මන්දා. ඒ ඇඩ් එක දැක්කා නම් එයා තේරුම් ගන්න ඕන අපි අපේ පක්ෂයේ වාර්ෂික සම්මේලනයට දෙසැම්බර් 11 ලක්ෂ ගණනක් සෙනඟ කොළඹට ගේන්න යන්නේ. අපේ පක්ෂයේ හයිය ජනමතය කොතැනද කියලා ජනමතය නැති මේ ආණ්ඩුවටයි, ජනපතිටයි, ප්‍රාදේශීය සභා මන්ත්‍රීලටයි අපි පෙන්නනවා."

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභා රුස්වීමක් නොවැම්බර් 30 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණි. දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබුණේ මෙම රැස්වීමට සහභාගී නොවන බවට පක්ෂ කිහිපයක් දැනුම් දුන් බවයි.

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපි යොමුකරමින් මහජන එක්සත් පෙරමුණ, ජාතික කොංග්‍රසය, දේශ විමුක්ති ජනතා පක්ෂය සහ ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ මෙම රැස්වීම වර්ජනය කොට තිබේ. කෙසේ වෙතත් මෙම හමුවේදී පක්ෂයෙන් බිඳීගිය පිරිස් සිදුකරන කතා සහ තර්ජන පිළිබඳ තරමක ආවේගයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් දැක්වූ බව කියැවේ.

"මම ඔය වගේ මිනිස්සු එක්ක නෙවෙයි හැප්පිලා තියෙන්නේ. ඔයිට වඩා ලොකු මිනිස්සු එක්ක අපි හැප්පිලා ගෙදර යවලා තියෙනවා ඒගොල්ලන්ව. එක නිසා අපි ඕවා අබ ඇට, කොස් ඇට වගේ තමයි දකින්නේ. ඒ නිසා අපිත් එක්ක හැප්පෙන්න එපා, කවුරුවත් දේශපාලන වශයෙන්. හැප්පෙන්න ආවොත් අපිත් හැප්පෙන්න ලෑස්තියි."

මෙම රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන් වී ගිය පාර්ශ්වයද මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රතිචාර දක්වන්නට විය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභා රැස්වීම ව්‍යවස්ථානුකූල නොවන බැවින් ඉදිරියේදී ඒ සම්බන්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු යොදා ඇතැයි ඇමැති මහින්ද අමරවීර මහතා කීවේය.

"සන්ධානයේ පක්ෂ කවුරුත් ඒ රැස්වීමට ගියේ නෑ. මේ අය එහිදී කතාකළේ ඡන්ද ලක්ෂ ගණන් ගත් අය කජුඇට කොස්ඇට ගාණට දාලා. ඡන්ද දෙතුන් සීය ගත්ත අය තමයි මේ දේවල් කරන්නේ. මේ කජුඇට කොස්ඇට තමයි පක්ෂය ඉදිරියට ගෙනාවේ. ඔය බැලුම්බෝල ඉක්මනටම පිපිරෙනවා."

බොරු චෝදනා නඟමින් අසාධාරණ ලෙස විවේචනය කරන්නේ නම් අභියෝග කරන්නේ නම් 'මල්ල ලිහා තොරතුරු එළියට දාන්නට' තමන් සූදානම් බවත් අමරවීර මහතා පවසා තිබුණි.

මේ අතර "ජන බලය" විරෝධතා රැළිය නමින් කලකට පසුව දැවැන්ත රැළියක් පැවැත්වීමට දෙසැම්බර් පළමුවැනිදා ජාතික ජනබලවේගය කටයුතු කළේය. සැලකිය යුතු පිරිසක් මෙම රැළිය සඳහා සහභාගි වී සිටිහ. මෙහිදී ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා අයවැය සම්බන්ධ දැඩි විවේචනයක් සිදු කළේය.

"රට ගොඩනැගීමට බව කියමින් රනිල් අයවැයක් ඉදිරිපත් කළා. ඒ අනුව ලබන වසරේ මුළු වියදම රුපියල් කෝටි හත්ලක්ෂ අනූදාහක් වෙනවා. රුපියල් කෝටි හාරලක්ෂ අනූදාහක් ණයට ගන්න යෝජනා කර තිබෙනවා. ණයවලින් රුපියල් කෝටි ලක්ෂ දෙකක් ණය වාරිකයටත් කෝටි දෙලක්ෂ විසිදාහක් පොලී ගෙවන්නත් වැයවෙනවා. ණය වාරිකය සහ පොලිය ගෙවන්න විතරක් රුපියල් කෝටි හාරලක්ෂ විසිදහසක් වැය වෙනවා. රනිල්ගේ යෝජනාව නැවත නැවතත් ණය ගැනීම සහ සම්පත් විකිණීමයි. දැන් විකුණන්න දෙයක් ඉතිරිවෙලත් නැහැ. වතු ටික වික්කා, නිෂ්පාදන කර්මාන්ත ටික වික්කා, දැන් රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු මූල්‍ය ආයතන විකුණන්න සූදානම් වෙනවා."

මේ අතර යම් සමගියක් ඇතිව තිබූ ජවිපෙ සහ පෙරටුගාමී පක්ෂය අතර නැවතත් ගැටුමක් නිර්මාණ වූයේය. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් පිරිසක් විසින් කරන ලද බරපතළ පාවාදීමක් පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂය තොරතුරු හෙළි කළේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසා තිබුණේ ජවිපෙ සාමාජිකයන් පිරිසක් රජයේ ආරක්ෂක අංශ වෙත සිය සමාජිකයින් පිළිබඳ තොරතුරු ලබාදෙමින් මෙම පාවාදීම සිදුකර ඇති බවයි. පක්ෂ දෙක අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵල සම්බන්ධ වන ඔහු නොසතුටින් අදහස් දක්වා තිබුණි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට සහාය දක්වන පිරිස පසුගිය සතියේ ජනාධිපති වික්‍රමසිංහ මහතා මුණගැසීමට ගියෝය. තවමත් ඇමතිකමක් ලැබී නොමැති නමුත් දුමින්ද දිසානායක පාර්ලිමේන්තුව මන්ත්‍රීවරයාද ජනපති හමුවට පැමිණ සිටියේය."ආ... ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම මෙතැනනෙ.." මෙම පිරිස දුටු සැණින් ජනපති එසේ පැවසූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි."ඔව් සර්, දැන් ඒ පැත්තෙ ඡන්ද දිනන්න පුළුවන් අය නෑ. ඔය එක එක ව්‍යාපාරිකයොයි, බුකී කාරයොයි ඉන්නේ..."

මෙම පිරිස ජනපතිට ලබාදී ඇත්තේ එවන් පිළිතුරකි. පැයකට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව පැවැති බව කියවේ. දේශපාලන ආරංචි මාර්ග පවසන පරිදි තවදුරටත් ආණ්ඩුවට සහයෝගය ලබාදීමට මෙම කණ්ඩායම තීරණය කර ඇත. මේ අතරතුර දී පුංචි ඡන්දය කල් දැමීමට හේතුවක් නොමැති බව ජනාධිපතිවරයා කියා ඇතැයි දැනගන්නට ලැබේ.

I චමිඳු නිසල් ද සිල්වා