2022 සැප්තැම්බර් 25 වන ඉරිදා

හදිසි ඡන්දයකට විශේෂ දේශපාලන මෙහෙයුමක්!

 2022 සැප්තැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 08:00 317

මහ රැජිනගේ වියෝවෙන් ලොවම තැවෙනා අතරේ ඇගේ පැරුණි කොලනියේ උදෑසන ආහාරය නොලද දරුවෝ කලාන්තය වී පාසල්වල ඇද වැටුණි. මහතුන් සභා මැද කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහ රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා බ්‍රිතාන්‍යයට ගොස් සිටින බැවින් පසුගිය සතියේ පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් මණ්ඩල රැස්වීමද කල්ගිය බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. සෑම සතියකම සඳුදා කැබිනට් මණ්ඩලය රැස්වන නමුත් මෙවර කැබිනට්ටුව රැස් නොවුණු පුවත දේශපාලනයේ තිරය පිටුපස නොයෙකුත් කතා මැවීය. ජනාධිපතිවරයා නොසිටියද අගමැතිවරයාට කැබිනට් රැස්වීම පැවැත්වීමට හැකියාව තිබුණි. එහෙත් දිනේෂ් ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලය කැඳවීමට පියවර ගෙන නොතිබීම සුවිශේෂී කරුණක් විය.

මේ අතර රැජිනගේ අවමංගල්‍යයට සහභාගි වීමට මහා බ්‍රිතාන්‍ය බලා පිටත් වූ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ආර්යාව වන මහාචාර්ය මෛත‍්‍රී වික‍්‍රමසිංහ මහත්මිය සහ එක්සත් රාජධානියේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන සමඟ සැප්තැම්බර් 18 වැනිදා වෙස්ට්මිනිස්ටර් මාලිගයේ තැන්පත් කොට තිබූ දෙවැනි එළිසබෙත් රුජිනගේ දේහයට ගෞරව දැක්වීම සඳහා ගියේය. අනතුරුව තුන්වැනි චාල්ස් රජු බකිංහැම් මාලිගය තුළ සංවිධානය කළ සංග්‍රහයකට ශ්‍රී ලාංකික දූත පිරිසද සහභාගී වූහ.

ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාව, සැප්තැම්බර් 19 වැනි සඳුදා දින වෙස්ට්මිනිස්ටර් ඇබේහි පැවැති රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වූහ. මෙම සංචාරයේදී ශ්‍රී ලාංකික ඩයස්පෝරාව හමුවීමටද ජනපති අමතක නොකළේය. වෙළෙඳාම, සේවා, ව්‍යාපාර යනාදී වශයෙන් එක්සත් රාජධානියේ ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයක් තුළ තම සලකුණ සනිටුහන් කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික ප්‍රජාවට ඔහු සුභ පැතුම් පිරිනමා තිබුණි.

ජනාධිපතිවරයා සැප්තැම්බර් 20 වැනි දින පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් රැජිනගේ නීතිඥ පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමුවිය. එහිදී පොදුරාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලය සමඟ ශ්‍රී ලංකාවේ පවත්නා බැඳීම සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා සිදුව තිබුණි.

මේ අතර ගෙවී ගියේ පාර්ලිමේන්තු සතියකි. බොහෝ දේශපාලන සිදුවීම් කේන්ද්‍රගත වී තිබුණේ දියවන්නාව වටාය. අඟහරුවාදා විපක්ෂය කතානායකවරයාට විශේෂ යෝජනාවක් සිදුකළේය. අලුතින් විපක්ෂයට එක්වූ ඩලස් අලහප්පෙරුම, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු පිරිසක්ද මෙම යෝජනාවට සහාය පළකර තිබීම සුවිශේෂී කරුණක් විය. විපක්ෂය යෝජනා කර සිටියේ ආර්ථික අපරාධ පිළිබඳ සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමටයි.

වර්තමාන ආර්ථික අර්බුදයට හේතු වී ඇති කරුණු විමසා බැලීම මෙම යෝජනාවේ අරමුණ බව කියැවුණි. රටේ මුදල් පාලන බලතල පැවරී ඇත්තේ පාර්ලිමේන්තුවට බැවින්, වර්තමාන ආර්ථික අර්බුදය අමාත්‍යවරුන්, නිලධාරීන් සිය වගකීම් පැහැර හැරීමෙන් සැලසුම් සහගතව නිර්මාණය කරන ලද්දක්ද යන්න පිළිබඳ සොයා බැලිය යුතු බව මෙම යෝජනාවේ අන්තර්ගත විය.

මේ අතර පොහොට්ටුවෙන් බිඳී ගිය ඩලස් ඇතුළු කණ්ඩායමට පාර්ලිමේන්තුවේ විවාදවලදී කතා කිරීමට කාලය නොලැබීම නිසා ගැටලුවකට මුහුණ දෙමින් සිටියහ. පාර්ලිමේන්තුව තුළ අදහස් දැක්වීමේ අවස්ථාවක් නොදෙන බව පවසමින් ඊට විරෝධය පා එම මන්ත්‍රී කණ්ඩායම පසුගිය සතියේදී පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයට පැමිණියෝය. මාධ්‍යයද එම ස්ථානයට කැඳවා ගනිමින් ඔවුහු සිය විරෝධය පළ කරන්නට වූහ.

හැකිනම් තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපති ධූරයෙන් ඉවත් කර පෙන්වන්නැයි අභියෝගයක් කරන බව නිදහස ජාතික සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙහිදී පැවසීය. පොහොට්ටුව තවමත් එසේ නොකරන්නේ නීත්‍යානුකූලව එය කළ නොහැකි බව දන්නා නිසා යැයිද ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

විපක්ෂයේ නොවූ ඔවුන්ට ආණ්ඩුවෙන් කාලය ලබා නොදීම නිසා පාර්ලිමේන්තු විවාදවලදී නිහඬව සිටීමට මෙම පිරිසට සිදුව තිබුණි. ඒ අනුව ඔවුන් මේ සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංවිධානය, අන්තර් පාර්ලිමේන්තු සංවිධානය හා සාර්ක් කලාපීය සංවිධානය දැනුවත් කිරීමටද බලාපොරොත්තු වන බවද ජී.එල්. පීරිස් මහතා කීවේය.

ඉකුත් සතියේදී මෙම කණ්ඩායම සංවිධාන රුසකට ලිපි යොමුකර තිබුණි. ඒ අනුව දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානය (SAARC) මහලේකම් ඇසළ රුවන් වීරකෝන්, පොදුරාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංගමයේ මහා ලේකම් ස්ටීවන් සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාර්ටින් චොන්ගොන් වෙත ලිපියක් යොමුකර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ආණ්ඩුවේ තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් අකරතැබ්බයකට මුහුණ දුන්නේය. රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා බදුල්ල ප්‍රදේශයේ එළවළු වෙළෙඳසලක් අසලට පැමිණි අවස්ථාවක ප්‍රහාරයට ලක්වූයේය. රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය 19 වැනිදා බදුල්ල, බණ්ඩාරනායක මාවතේ වෙළෙඳසලක් අසලට සිය ජීප් රථයෙන් පැමිණ තිබුණු අතර එතැනට යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු ඒ මහතා සමඟ බහින්බස් වීමක් ඇති කරගෙන තිබේ.

එහිදී එක් පුද්ගලයෙකු රාජ්‍ය අමාත්‍යවරයාට සිය හෙල්මට් එකෙන් පහරදීමට උත්සාහ දරා ඇති අතර අමාත්‍යවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් මැදිහත්ව තත්ත්වය පාලනය කර ඇති බව සඳහන්. එම අවස්ථාවේදී පහරදීමට උත්සාහ දැරූ එක් අයකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර අනෙක් පුද්ගලයා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. පසුව මෙම සිදුවීමට අදාළ සී.සී.ටී.වී. දර්ශනද මාධ්‍ය වෙත නිකුත් කොට තිබුණි.

පොහොට්ටුවේ අභ්‍යන්තර මෙහෙයුම් පිළිබඳව තොරතුරු ද පසුගිය සතියේ දේශපාලන කරළියේ නිරන්තරව අසන්නට ලැබුණි. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සංවිධායකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන බලමණ්ඩල පිහිටුවීම ආරම්භ කෙරිණි. පසුගිය මාස කිහිපය තුළ පක්ෂය සමඟ සබඳතා අතහැර දැමූ පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ ශාඛා සමිති නියෝජිතයන් නැවත පක්ෂය වටා එකතු කර ගැනීම මෙහි මූලික අරමුණ වී ඇතැයි පැවසේ.

පක්ෂයේ ක්‍රියාකාරී මැති ඇමැතිවරුන්ට වෙනත් දිස්ත්‍රික්කවලට ගොස් ආසන බලමණ්ඩල පිහිටුවීමට සහයෝගය ලබා දෙන ලෙසට ද පක්ෂයට ඉහළින් නියෝග ලැබී තිබිණි. කෙසේ වෙතත් ඇතැමුන් මේ හා සම්බන්ධව එතරම් උනන්දුවක් නොදක්වන බව දැන් දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. තවත් පිරිසක් මෙම කටයුතුවලට සම්බන්ධ වුවද  ඒ හා සම්බන්ධ මාධ්‍ය අවධානය ලබාගැනීමට හෝ ප්‍රචාරණ වැඩසටහන්වලට අවතීර්ණ වීම ප්‍රතික්ෂේප කර ඇතැයි කියැවේ.

කෙසේ වෙතත් පොහොට්ටුවේ වැඩබලන ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම කටයුතු සඳහා සක්‍රීයව මැදිහත්ව සිටියි. පළාත් පාලන මන්ත්‍රීවරුන් සම්බන්ධ කොටගෙන පවත්වනු ලබන රැස්වීම් මාලාව සඳහා මන්ත්‍රීවරුන් අවමය 20 ක් සහ උපරිමය 50 ක් වන පරිදි පිරිස් සහභාගිත්වයක් පවත්වා ගත යුතු බව ඔහුගේ නායකත්වයෙන් උපදෙස් ලබා දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර විවිධ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් සංවිධායකයන් ආසන සංවිධායකයන් අතර පවතින ආරවුල් නිසාවෙන් පොහොට්ටුවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට බාධා එල්ල වූ අවස්ථා පිළිබඳව ද ඉකුත් සතියේ දැනගැනීමට ලැබුණි. 

දේශපාලන ආරංචියකට අනුව පසුගිය සතියේ මහනුවර දිස්ත්‍රික්කයෙන් රැස්වීම් මාලාව සඳහා දින සහ වේලාවන් ඇතුළත් සැලැස්ම සකසා තිබුණේ මහින්දානන්ද අලුත්ගමගේ මහතාය. ඔහු අදාළ සැලැස්ම පක්ෂය වෙත ලැබීමට සලස්වා ඇත. පක්ෂයේ කටයුතුවලට මේ දිනවල උර දී සිටින රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා එම සැලසුමට එකඟ වී නොමැති බව පොහොට්ටුවේ ආරංචි මාර්ග පවසයි.

මෙම ගැටලුව පිළිබඳ ඉකුත් පාර්ලිමේන්තු සතියේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කතාබහට ලක්වී ඇතැයි දැනගැනීමට ලැබිණි. මෙම ගැටලුව නිසාවෙන් රෝහිත අබේගුණවර්ධන, සනත් නිශාන්ත, මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරුන් අතර වචන හුවමාරුවක් ද සිදු වූ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. 

ආරංචි අනුව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පක්ෂයේ කටයුතු පිළිබඳව අමනාපයෙන් කතා කිරීම හේතුවෙන් මෙම ගැටුම ඇතිවී තිබේ. රෝහිත අබේගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ අතර කතාබහට මැදිහත් වූ සනත් නිශාන්ත මන්ත්‍රීවරයා නිසාවෙන් සංවාදය උණුසුම් වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ මොහොතේදී නාමල් රාජපක්ෂ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨතමයන් හා එක්ව තත්ත්වය කළමනාකරණය කර ගැනීමට සමත්ව තිබේ.

මේ අතර සමගි ජනබලවේගය ද පුංචි ඡන්දයට සූදානම් වන බව ඉකුත් සතියේ පෙනී ගියේය. ඒ අනුව පළාත් පාලන මැතිවරණය ඇතුළු මැතිවරණ පිළිබඳව විශේෂ සාකච්ඡාවකට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් මැතිවරණ කොමිසමට ගියෝය. 

ශ්‍රී ලංකාවේ මැතිවරණ නීතිවලට අනුව අනුමත කාලසීමාව අවසන් වී ඇති බැවින් ඕනෑම වේලාවක පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ බලතල ජාතික මැතිවරණ කොමිසමට පැවරී ඇතැයි මෙම පිරිස පෙන්වා දී තිබුණි. එසේම කඩිනම් මැතිවරණයක අවශ්‍යතාව ද ඔවුන් කොමිසම හමුවේ අවධාරණය කළ බව කියැවිණි.

මේ අතර ඉකුත් දා පැවති සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවකදී ද මැතිවරණයකට සූදානම් වීමේ අවශ්‍යතාව පිළිබඳ කතිකාවක් නිර්මාණය වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව මේ වනවිට සමගි ජන බලවේගය සිය බිම් මට්ටමේ දේශපාලනය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළකට අවතීර්ණ වී සිටියි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ නැවත පිබිදීමත් සමඟ යම් යම් ගැටුම් නිර්මාණය වෙමින් ඇති බවද දැනගැනීමට ලැබේ. සමගි ජනබලවේගය හැර යන පිරිස් ඍජුව එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වී එම පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතුවලට හවුල් වීම නිසා ද බිම් මට්ටමේ ගැටලු නිර්මාණය වී ඇතැයි කියැවේ. කෙසේ වෙතත් පොහොට්ටුවෙන් බිඳී ගිය පිරිස් බිම් මට්ටමේදී තමන් වටා එකතු කර ගැනීමට සමගි ජනබලවේගය සාර්ථක වැඩපිළිවෙළකට අවතීර්ණ වී ඇතැයි ද දැනගැනීමට ලැබිණි.

ජාතික ජනබලවේගය ද සෙසු පක්ෂ අනුව යමින් පුංචි ජන්දය වෙනුවෙන් ඉලක්කගත වැඩපිළිවෙළකට අවතීර්ණ වී ඇති බව පසුගිය සතියේ දැනගැනීමට ලැබුණි. ඒ අනුව ජාතික ජනබලවේගය සෑම ග්‍රාම නිලධාරී වසමකම කොට්ඨාස සභාවක් ඇති කිරීමට යන බව කියැවේ. කොට්ඨාස සඳභා කාර්යභාරයක් පැවරීමටත් ඒවා පක්ෂය සමඟ සම්බන්ධීකරණය කිරීමටත් ඔවුන් බලාපොරොත්තු වන බව කියැවේ. දෙසැම්බර් මාසය පමණ වනවිට සැලකිය යුතු කොට්ඨාස සභා ප්‍රමාණයක් නිර්මාණය කිරීමට ජාතික ජන බලවේගය බලාපොරොත්තුවෙන් සිටියි.

මේ අතර මැතිවරණයක් ලබාගැනීම සඳහා විශේෂ දේශපාලන ක්‍රියාන්විතයක් ආරම්භ කිරීමට ද ජාතික ජනබලවේගය කටයුතු කරමින් සිටින බව පැහැදිලිය. ඒ අනුව ඔවුන් ඉදිරි සතියේදී මැතිවරණයක් අවශ්‍ය බව ප්‍රකාශ කරන දේශපාලන පක්ෂ, විද්වතුන් හා සිවිල් සංවිධාන සමඟ ලබන සාකච්ඡා ආරම්භ කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. ඡන්දයක් පැවැත්වෙන්නේ නම් ඒ සඳහා රජයේ මුදල් අවශ්‍ය නොවන අතර ජාත්‍යන්තර ආධාර ලබාගත හැකිය යන පදනම මත පිහිටා මෙම සාකච්ඡා සිදුවනු ඇතැයි කියැවේ.

මේ අතර පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ ජාතික සභාව නැමති පාර්ලිමේන්තු කාරක සභාව පිහිටුවීම සඳහා වූ යෝජනාවට ජාතික ජන බලවේගය විරෝධය පෑවේය. ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ මෙම යෝජනාවට තම පක්ෂය සහාය ලබා නොදෙන බවයි. රටේ අර්බුද විසඳීම සඳහා විපක්ෂය ජාතික සභාවක් පිහිටුවීමට යෝජනා කළේ ප්‍රධාන කරුණු ගණනාවකින් සමන්විතව බවත්, කෙසේ නමුත් ආණ්ඩුව යෝජනා කර ඇති ජාතික සභාව හුදෙක් ආණ්ඩුවට එරෙහිව එල්ල වන අභියෝග සමනය කිරීම සඳහා වන ඇටවිල්ලක් බවත් දිසානායක මහතා කීය.

මේ අතර ඩලස් අලහප්පෙරුම පාර්ශ්වය ද මෙම යෝජනාවට විරෝධය පෑවේය. කෙසේ වෙතත් ජාතික සභාව ස්ථාපිත කිරීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරවම සම්මත විය. ජාතික සභාව නමින් හඳුන්වන පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිත්වය කථානායකවරයාට හිමිවේ.

ඒ අතර අග්‍රාමාත්‍යවරයා, සභානායකවරයා, විපක්ෂ නායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නිල බලයෙන් එහි සාමාජිකයෝ වෙති. ඊට අමතරව දේශපාලන පක්ෂවල නායකයන් තීරණය කරන ලද පරිදි පිළිගත් දේශපාලන පක්ෂවලින් තෝරා පත්කර ගන්නා මන්ත්‍රීවරුන් 35 කට නොවැඩි සංඛ්‍යාවකින් ජාතික සභාව සමන්විත වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැවති කාලගෝට්ටිය ද ඉකුත් සතියේ එක්තරා ආකාරයක නිමාවක් දුටුවේය. සියල්ල අවසානයේ පක්ෂයේ මතයට එරෙහිව යමින් ආණ්ඩුවේ තනතුරු ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් පක්ෂයේ දැරෑ දිස්ත්‍රික් නායකත්ව, ආසන සංවිධායක ධුර ඇතුළු සියලුම තනතුරුවලින් සහ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කිරීමට පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත්තේය. එම මන්ත්‍රීවරුන් වෙත ඉවත් කිරීමේ ලිපි යොමු කිරීමට ද ශ්‍රීලනිපය කටයුතු කර තිබුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 14 දෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කළෝය. ඒ අනුව මෙම තීරණයෙන් බලපෑමට ලක්ව සිටින්නේ ආණ්ඩුවට සම්බන්ධ වෙමින් අමාත්‍ය ධුර ලබාගත් මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න, ශාන්ත බණ්ඩාර, සුරේන් රාඝවන්, චාමර සම්පත් දසනායක, ජගත් පුෂ්පකුමාර, රංජිත් සියඹලාපිටිය යන පිරිසයි. කෙසේ වෙතත් තවදුරටත් දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, සාරති දුෂ්මන්ත මිත්‍රපාල, ශාන් විජයලාල් ද සිල්වා සහ අංගජන් රාමනාදන් යන පිරිස මෛත්‍රීපාල පාර්ශ්වය සමඟ නිදහස් පක්ෂය තුළ රැඳී සිටිති.

ශ්‍රීලනිපයෙන් ඉවත් කරනු ලැබූ පිරිස ගන්නා තීන්දුව කුමක්ද යන්න පිළිබඳ දේශපාලන කරළියේ තිරය පිටුපස සාකච්ඡා නිර්මාණ වී තිබේ. බොහෝ දුරට අලුත් පක්ෂයක් නිර්මාණය කර ගැනීමට මෙම පිරිස කටයුතු කරනු ඇතැයි ඇතැමෙක් පවසති. කෙසේ වෙතත් ඉවත් කරනු ලැබූ පිරිසෙන් කිහිප දෙනකු එක්සත් ජාතික පක්ෂයට සහ පොහොට්ටුවට නිල වශයෙන් එකතුවීමේ අවදානමක් ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර කුමාර වෙල්ගම මහතාගේ නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු තවත් පාර්ශ්ව කිහිපයක් ශ්‍රීලනිපය බිඳීමෙන් නිර්මාණය වන කණ්ඩායම් තමන් සමඟ එක්වෙතැයි බලාපොරොත්තුවෙන් සිටියි.

චමිඳු නිසල් ද සිල්වා

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00