2022 සැප්තැම්බර් 18 වන ඉරිදා

පොහොට්ටුවේ අලුත් ජාතික සංවිධායක

 2022 සැප්තැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 08:00 335

ලද්දෝ තුටු වෙති. නොලද්දෝ දුක් වෙති. පතන්නෝ අයදිති. මැති ඇමැතිකම් බෙදා දීම අහවර වූ තැන ගෙවී ගියේ තවත් කලබලකාරී දේශපාලන සතියකි. වසරකට දෙවරක් තිරගත වන ජිනීවා මානව හිමිකම්  සංදර්ශනය ද ඉකුත් සතියේ වැඩි අවධානයක් දිනාගත්තේය. තිරය පිටුපස වූයේ තවත් දේශපාලන කයිකතන්දර රැසකි. 

රාජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනාගේ පත්වීම අවසානයේ ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇතිවූයේ උණුසුමකි. ඇමැතිකම් නොලැබුණු පිරිස් තරමක් අමනාපයෙන් පසුවූහ. ඉතිරිව තිබුණේ රාජ්‍ය අමාත්‍ය ධුර දෙකක් සඳහා පුරප්පාඩු පමණි. 

කැබිනට් අමාත්‍ය ධුර 12 ක පුරප්පාඩු පැවති අතර එය කඩිනමින් සම්පූර්ණ කළ යුතු බවට පොහොට්ටුව කියා සිටියේය. මේ අතර කැබිනට් අමාත්‍ය ධුර 11ක් සඳහා යෝජිත නම් ලැයිස්තුවක් ද පොහොට්ටුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. 

තනතුරු නොලැබුණු දිස්ත්‍රික් නායකයන් එකොළොස් දෙනකුගේ නම් එම ලැයිස්තුවේ අන්තර්ගත වී තිබුණි. කෙසේ වෙතත් එහි නම සඳහන් වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තමාට කිසිදු තනතුරක් අවශ්‍ය නොවන බව හදිසියේම කියා සිටියේය. ඔහු තම අදහස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ඔහුගේ පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දන්වා ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. 

තමාට අමාත්‍ය ධුර අනවශ්‍ය බවත් මන්ත්‍රීවරයකු ලෙස දිස්ත්‍රික්කයේ ජනතාවට සේවය කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පවසා තිබුණි. එහෙත් රට ගොඩගැනීමට රජය ගන්නා සියලු කටයුතුවලට සහාය දක්වන බව ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.
නාමල් කුමක් කීවද, පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයෝ තමන්ට කැබිනට් අමාත්‍ය ධුර නොලැබීම සම්බන්ධව දැඩි කනස්සල්ලකින් පසුවූහ. මෙම පිරිස පසුගිය සඳුදා සන්ධ්‍යාවේ පොහොට්ටුවේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද හමුවූහ. ඒ අනුව එස්.බී. දිසානායක, පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ වැනි වර්තමාන ආණ්ඩුවේ ප්‍රබල චරිත මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

පසුගිය විත්ති, දේශපාලන තොරතුරු සාකච්ඡාව කරන අතරේ මෙම පිරිස මෙලෙස ද පවසා තිබුණි.

“සර්.. පොඩ්ඩක් බලන්නකෝ, කැබිනට් අමාත්‍ය තනතුරු තාමත් නෑ. සර් පොඩ්ඩක් හොයලා බලන්නකෝ" 

මෙලෙස පවසමින් මෙම පිරිස හඟවා ඇත්තේ කැබිනට් අමාත්‍ය පත්කිරීම් සම්බන්ධව රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මහින්ද රාජපක්ෂ මහතා සාකච්ඡා කළ යුතු බවයි. ඒ අනුව කැබිනට් අමාත්‍ය ධුර ගැටලුව පිළිබඳ සොයා බලන බවත් කතාබහ කරන බවත් මහින්ද රාජපක්ෂ මහතා පිරිසට පවසා තිබේ.

කෙසේ නමුත් සිය දේශපාලන කනිෂ්ඨයන්ට පවා ආණ්ඩුවේ තනතුරු ලැබී තිබියදී තමන්ට අමාත්‍ය ධුර නොලැබීම සම්බන්ධව මෙම කණ්ඩායම සිටියේ දැඩි කනස්සල්ලෙනි.

එසේ වුවද, පුරප්පාඩු වී ඇති කැබිනට් අමාත්‍ය ධුර බෙදා දීම සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එතරම් හදිසියක් නොමැති බව පෙනී ගියේය. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ කැබිනට්ටුව පත්කිරීමට පෙරාතුව ප්‍රධාන රාජකාරි කිහිපයක් සිදු කිරීමට වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වන බවකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රැජිනගේ අවමංගල්‍යයට සහභාගි වීමෙන් අනතුරුව ජපාන සංචාරය ද නිමා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවෙයි. එම කටයුතු අවසානයේ ව්‍යවස්ථා සංශෝධනයේ කටයුතු අවසන් කොට ගෙනම ජනාධිපතිවරයා කැබිනට් පත්කිරීම් සිදු කරනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් කැබිනට් අමාත්‍ය පත්කිරීම් සම්බන්ධව ලැබෙමින් පවතින්නේ නිල නොවන ආරංචිය. මේ අතර කැබිනට් අමාත්‍ය ධුර පත්කිරීම අදියර දෙකක් යටතේ සිදු කළ යුතු බවට ද ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව කියැවේ. ඒ අනුව අමාත්‍ය ධුර සම්බන්ධ පොහොට්ටුවේ නිර්දේශිත ලැයිස්තුවේ අර්බුදකාරී නම් ඇති චරිත සඳහා වන පත්කිරීම් දෙවැනි අදියරේ දී සිදු කරන ලෙස ජනපති වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ.

එහෙත් මෙම ලැයිස්තුව සඳහා එකවර කැබිනට් අමාත්‍ය ධුර ලබා දිය යුතු බව පොහොට්ටුවේ යෝජනාවයි. පමාව පිළිබඳව ද පොහොට්ටුව සිටින්නේ අසතුටිනි. ඒ අනුව මෙම තත්ත්වය යටතේ ආණ්ඩුවේ අභ්‍යන්තර මතගැටුමක් ද හටගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

තායිලන්තයේ සිට මෙරටට පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දෙසතිය පුරා කොළඹ මලලසේකර මාවතේ නිල නිවෙසේ රැඳී සිටියේය. ගෝඨාභය රාජපක්ෂ මහතා බැහැදැකීමට දේශපාලනඥයන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හා හිතවතුන් විශාල පිරිසක් දිනපතා පැමිණියෝය.

ඒ අතරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, කථානායක මහින්ද යාපා අබේවර්ධන ආදී ආණ්ඩුවේ ප්‍රධානීහු ද ඇතුළත් වූහ. මීට අමතරව පළාත් පාලන ආයතන නියෝජිතයෝ පවා විශාල වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දැකබලා ගැනීමට පැමිණියෝය. ඇතැම් පිරිස් කණ්ඩායම් වශයෙන් එක්වී රාජපක්ෂ මහතා බැහැදැකීමට පැමිණීම ද විශේෂත්වයක් විය.

මේ අතර ඉකුත් පොහෝදා, සෙනසුරාදා හුණුපිටිය ගංගාරාමයට පැමිණ ආගමික වතාවත් සිදු කරන ලෙසට විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන්ගෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇරියුමක් ලැබුණි. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා පොහෝදා රාත්‍රියේ සිය බිරිඳ සමඟ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ගොස් ආගමික වතාවත් සිදු කළේය. 

ආචාර්ය කිරින්දේ අස්සජී හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය එම අවස්ථාවේදී සෙත් පිරිත් සජ්ඣායනා කොට හිටපු ජනාධිපතිවරයාට හා ඔහුගේ බිරිඳට ආශිර්වාද කර තිබුණි. පොහෝ දින සිල් සමාදන් වී සිටි බැතිමත්හු ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සුහද කතාබහක නිරත වූහ. ඇතැම් අය හිටපු ජනාධිපතිවරයාට මුහුණ දීමට සිදු වූ දෑ පිළිබඳව කනගාටුව පළ කළෝය. තවත් පිරිසක් සුහදව පසුගිය කාලයේ සිදුවූ දේශපාලන අතපසුවීම් සම්බන්ධව කතිකා කළ බව කියැවුණි. 

මේ අතර පසුගිය සතියේ නෙළුම් කුලුන ජනතාවට විවෘත කිරීමට සැරසෙන බවට වූ පුවත ද හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනගැනීමට ලැබුණි. ඒ අනුව තමන් ආරක්ෂක ලේකම්වරයාව සිටි සමයේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ තතු විමසා බැලීමට ඔහුට අවැසි විය. 

ඉකුත් බදාදා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නෙලුම් කුලුන පරිශ්‍රයට පැමිණියේය. නෙලුම් කුලුන ව්‍යාපෘතියේ ප්‍රධානියා ලෙස කටයුතු කරන විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ද මෙම අවස්ථාවට එක් විය. ඒ අනුව නෙළුම් කුලුනේ ඉහළට ගොස් නිරීක්ෂණය කළ හිටපු ජනාධිපතිවරයා සුහද කතාබහකින් අනතුරුව එම ස්ථානයෙන් නික්ම ගියේය.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙත දේශපාලනයට පිවිසෙන ලෙස ඉල්ලීම් රැසක් ගලා එමින් පැවතිණි. කෙසේ වෙතත් කිසි විටෙකත් දේශපාලනයට සම්බන්ධ නොවී සාමාන්‍ය දිවි පෙවතක් ගත කිරීම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අරමුණ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

පසුගිය සතියේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු නිසාවෙන් කාර්යබහුල වී සිටියේය. ප්‍රදේශ කිහිපයකම පක්ෂ කාර්යාල විවෘත කිරීම් වෙනුවෙන් ඔහු සහභාගී විය. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කතිකා කරගත් පරිදි පාක්ෂිකයන් බලගැන්වීම මෙම ගමන් බිමන්වල අරමුණ වූ බව සජබ ආරංචි මාර් ග සඳහන් කළේය.

ඉකුත්දා අම්පාර දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමත්, එහි බලමණ්ඩල රැස්වීමත් පැවැතියේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී සජිත් ප්‍රේමදාස මහතා විශේෂ අදහස් දැක්වීමක් සිදු කළේය. වෙනසක් සිදුවිය යුත්තේ නව මැතිවරණයකින් බවත් ඒ සඳහා තමා ඇතුළු සියලු දෙනාම සූදානම් බවත් පවසා තිබුණි. මේ අතර මේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද වනවිට රාජපක්ෂ පවුල ප්‍රමුඛ පොහොට්ටුවේ ප්‍රාණ ඇපකරුවකු වී ඇතැයිද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

සමගි ජනබලවේගය මෙවන් ප්‍රකාශය සිදුකිරීම ඉකුත් සතිය පුරාම කැපී පෙනුණි. ජනාධිපතිවරයාට සෘජුව අභියෝග නොකොට, වක්‍රාකාරයෙන් චෝදනා කිරීම සජබ අරමුණ බව ඒ අනුව පෙනී ගියේය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රාජපක්ෂ පවුලේ රෑකඩයක් බවට පත්ව ඇතැයි සජබ පාර් ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාද ඉකුත්දා පවසා තිබුණි.

ආසියානු කුසලාන ජයග්‍රහණ නිසාවෙන් ක්‍රීඩාව පිළිබඳ වැඩි අවධානයක් යොමු වූ බව පෙනෙන්නට තිබු අතර ඒ සම්බන්ධයෙන් පසුගිය සතියේ සුවිශේෂී හමුවක් ද පැවැත්වුණි. මෙය හිටපු ක්‍රීඩා ඇමැතිවරුන්ගේ හමුවකි. වර්තමාන ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ට හට මෙම හමුව සඳහා ආරාධනා කොට තිබුණි. ක්‍රීඩාවේ උන්නතිය සඳහා හිටපු අමාත්‍යවරුන්ගේ අදහස් ලබාගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ බව කියැවුණි.

ඒ අනුව සාකච්ඡාව සඳහා මහින්දානන්ද අලුත්ගමගේ, ගාමිණී ලොකුගේ, ලක්ෂ්මන් කිරිඇල්ල, ජීවන් කුමාරණතුංග, දයාසිරි ජයසේකර, නවීන් දිසානායක, ෆයිසර් මුස්තාපා, හරීන් ප්‍රනාන්දු යන හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර් ජුන රණතුංග මහතාද සහභාගී වූහ. තම තමන් ක්‍රීඩා අමාත්‍ය ධූර හොබවන සමයෙහි සිදු කළ දෑ පිළිබඳව සේම, සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටි දෑ පිළිබඳව මෙහිදී පිරිස අදහස් දක්වා ඇති බව දේශපාලන ආරංචි මාර් ග සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහභාගී නොවීම සුවිශේෂී කරුණක් විය. පොහොට්ටුවේ ආරංචි මාර්ග සඳහන් කළේ ඔහු රත්නපුර දිස්ත්‍රික්කයේ කිසියම් දේශපාලන කටයුත්තක් වෙනුවෙන් සහභාගි වී සිටි බවකි. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අභ්‍යන්තරයේ මෙම සාකච්ඡාව සම්බන්ධව කතිකාවක් නිර්මාණය වී තිබුණි. ඇතැමුන් මෙම සාකච්ඡාව විවේචනය කර තිබූ අතර රොෂාන් රණසිංහගේ දේශපාලන ගමන පිළිබඳව ඔවුන් සැකසංකා මතුකළ බවද දේශපාලන ආරංචි අනුව දැනගන්නට ලැබුණි. කෙසේ වෙතත් මෙම සාකච්ඡාව පිළිබඳ සාධනීය ප්‍රතිචාරයක් ක්‍රීඩාලෝලීන් තුළ විය.

මේ අතර ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ජාතික දැල්පන්දු කණ්ඩායම ආසියානු ශූරතා දිනාගත්තේ නාමල් රාජපක්ෂ මහතා විසින් ක්‍රීඩාවට සිදුකළ අනුපමේය සේවය නිසා බව පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවකදී පොදුජන පෙරමුණු පාර් ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසා තිබිණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‌ෙණ් වැඩබලන ජාතික සංවිධායකවරයා ලෙස නාමල් රාජපක්ෂ පත්ව ඇති බවටද පසුගිය සතියේ දේශපාලන ආරංචි ගලා ආවේය. මාසයක් දෙකක් ගතවනතුරු පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට නොපැමිණීම හේතුවෙන් නාමල් රාජපක්ෂ මහතාට මෙම තනතුර ලැබී ඇතැයි කියැවේ. ඒ අනුව පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් නාමල් රාජපක්ෂ මේ වනවිටත් අතිශය කාර්යබහුල වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය පොහෝදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතරගම පුදබිමට ගොස් ආශීර්වාද ලබාගත් බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. පුදබිමට පැමිණි ජනාධිපතිවරයා ප්‍රථමයෙන්ම කිරිවෙහෙර රාජමහා විහාරධිපති කොබවක ධම්මින්ද හිමියන් බැහැ දැක කිරිවෙහෙර සෑය වැඳපුදා ගෙන තිබේ. අනතුරුව කතරගම අභිනවාරාම විහාරස්ථානය වෙත ගොස් කපුගම සරණතිස්ස හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් රනිල් වික්‍රමසිංහ මහතා රුහුණු කතරගම මහා දේවාලයට පළතුරු පූජාවක් සිදුකර ආශීර්වාද ප්‍රාර් තනා කළ බව කියැවේ. කතරගම පැමිණි මොහොතේදී බැතිමතුන් හමුවේ සුහද කතාබහක නිරතවීමටද ජනාධිපතිවරයා කටයුතු කළ බව දේශපාලන ආරංචි මාර් ග සඳහන් කරයි.

මේ අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මෑණියන්ගේ අවමංගල්‍ය අවස්ථාවට සහභාගිවීමටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේය. මෙම අවස්ථාව සඳහා බොහෝ මැති ඇමතිවරු පැමිණ සිටියහ. එහිදී පැමිණ සිටි පිරිස සමඟ කතාබහක නිරත වීමටද ජනපති අමතක නොකළේය. මෙම අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මහතා ජනපතිට මුණගැසී ඇති බව කියවේ.

එහිදී හඳුන්නෙත්ති මහතා සහ ජනාධිපතිවරයා අතර ඇතිවූ කතාබහේදී පසුගියදා පාර් ලිමේන්තුවේ අයවැය කතාවේ හදුන්නෙත්ති මහතාගේ ප්‍රකාශයක් ජනපති උපුටා දැක්වීම පිළිබඳව සාකච්ඡාවක් ඇතිව තිබේ. සුනිල් හඳුන්නෙත්ති මහතා මෙහිදී ජනපතිට පවසා ඇත්තේ එම උපුටා දැක්වීම නිසාවෙන් බොහෝදෙනා තමන්ගෙන් තොරතුරු විමසන බවයි.

මීට පිළිතුරු දෙමින් ජනපති පවසා ඇත්තේ රජය ව්‍යාපාර නොකළ යුතුය යන අදහසින් තමා එම උපුටා දැක්වීම සිදුකළ බවයි. එම කරුණු සම්බන්ධව හඳුන්නෙත්ති මහතාගේ ස්ථාවරයම තමා දරන බව ජනපති මෙහිදී පවසා ඇති දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් පසුගිය සතියේදී ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ආණ්ඩුවට දැඩි චෝදනා එල්ල කරනු දැකගත හැකි විය. පවතින අර්බුදකාරී වාතාවරණය යටතේ ජනතාව කැමැති පාලනයක් තෝරා ගැනීමට වහාම ඉඩ සලසා දියයුතු බව කියා තිබුණි. ඔහු මාධ්‍ය හමුවේ පවසා තිබුණේ "පවු නොදී දැන්වත් ජනතාවට තමන් කැමැති පාලනයක් ඇතිකර ගැනීමට ඉඩ ලබාදෙන" ලෙසය.

මේ අතර ඉකුත් සතියේ වර්තමාන ආණ්ඩුවේ ආර් ථික වැඩපිළිවෙළ සම්බන්ධව සිය අදහස් ඉදිරිපත් කිරීමේ අරමුණෙන් ජාතික ජන බලවේගය සම්මන්ත්‍රණයක් සංවිධානය කොට තිබුණි.  "විකුණන කතාවේ සඟවන ඇත්ත" නමින් පසුගිය අඟහරුවාදා කොළඹ පදනම් ආයතනයේදී මෙම සම්මන්ත්‍රණය සංවිධානය කොට තිබුණේය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කළ යුතුයි කියන මාතෘකාව අද අලුත් වටයකින් සාකච්ඡාවට ඇවිත් ඇති බවයි.

"පෞද්ගලිකකරණය කතිකාව ජනප්‍රිය වෙමින් තිබෙනවා. තෙල් මිල, ගෑස් මිල ඉහළ යනකොට කෙනෙකුට දැනෙනවා මේ ආයතන තමයි අපිව විනාශ කරන්නේ කියලා. ඒ නිසා මේ ආයතන විකුණා දමන්න ඕනෑ යන අදහස යම් ප්‍රමාණයකට මතුවෙමින් තිබෙනවා."

I චමිදු නිසල් ද සිල්වා