2022 ජුනි 26 වන ඉරිදා

මට සැලැස්මක් තිබෙනවා... ධම්මික පෙරේරා කියයි

 2022 ජුනි 26 වන ඉරිදා, පෙ.ව. 08:00 334

  • ඉන්දියාව ඇවිත් යයි: අමෙරිකාව එන්න නියමිතයි
  • හිටපු රාජ්‍ය ඇමැතිලා ආණ්ඩුව ගැන ලොකු වර්ණනාවක්
  • ජවිපෙන් ජනතා විලාපය කරළියට
  • විමල්ලාත් ශ්‍රීලනිපයත් විපක්ෂයේ වැඩේ කරති
  • සජිත් වෙනුවට යෝජනා වූ අලුත් විපක්ෂනායක!
  • යාපනයේ සිට මැතිසබයට එක වරක් එන්න තෙල් වියදම රුපියල් හැට දෙදහයිලු

වර්ජන ගර්ජන තර්ජන සපිරි මැතිසබය ඉකුත් සතියේ  එකම රංග භූමියක් වූයේය. විසිල් හඬ, අත්පොළසන් හඬ නොවූ ප්‍රේක්ෂකාගාරය කෝපයේ ගිනියමින් සහ වේදනාවේ සුසුමින් පිරී ගියේය. සතිය පුරාම වැයුනේ සුපුරුදු තනුවයි. පෝලිම්වල අවසන් සුසුම් හෙලූවන්ගේ කතාව කාගේත් ඇස් තෙත් කළේය. මේ දැනෙමින් ඇත්තේ මහා භූමි කම්පාවක පෙරකම්පන තත්ත්වය නොවේදැයි, සිත සැක සංකා පහළ විය.

පසුගිය අඟහරුවාදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව රුස් විය. විසඳුම ඇත්තේ පාර්ලිමේන්තුව තුළ බව උගතුන් නිරන්තර කී හෙයින් ජනතාවද ඒ දෙස දෑස් දල්වා බලා සිටියෝය. විසඳුම් පිළිබඳ කතා කවරක් වෙතත් සිදුවූයේ වෙනස්ම දෙයකි. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ සුවිසල් ප්‍රකාශයක් කොට ගර්ජනා කළේය. රනිල් ගෝඨාභය ආණ්ඩුවෙන් ජනතාවට සෙතක් නොවන බවත් ජනතාව පීඩාවෙන් පීඩාවට පත්වන බවත් ඔහු කීවේය. ඒ නිසාවෙන් පාර්ලිමේන්තුවේ රුස්වී කතාබහ කොට ජනතා ධනය නාස්ති කිරීමෙන් පලක් නොවන බව විපක්ෂ නායකවරයා කීය. ඒ අනුව මේ සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කරන බව ඔහු සඳහන් කළේය.

මෙහිදී පෙරට පැමිණි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාද කියා සිටියේ ජනතා ගැටලු විසඳීම සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් සාකච්ඡාවට නොගන්නා බැවින් මෙම සතියේ පාර්ලිමේන්තු රුස්වීම් වර්ජනය කිරීමට සිය මන්ත්‍රී කණ්ඩායමද තීරණය කළ බවයි. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශද පැවසුවේ පවතින ගැටලු විසඳීමට ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවයි. එහෙත් මෙම අවස්ථාවේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට සිය කණ්ඩායම සූදානම් නොමැති බව ඔහු සඳහන් කළේය.

ඉන් පසුව පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කිරීමට පාර්ලිමේන්තු කාරක සභාව රුස් විය. ප්‍රධාන විපක්ෂ කණ්ඩායම් නොමැති පාර්ලිමේන්තුවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යන ආකාරය පිළිබඳව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රුස්වූ පිරිස සාකච්ඡා කළෝය. මෙහි සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා විහිළුවට මෙන් අපූරු යෝජනාවක් කළේය.

&සජිත් ප්‍රේමදාස මහත්තයට විපක්ෂ නායකකම කරන්න බැරිනම් අපි විමල් වීරවංශ මහත්තයව තාවකාලික විපක්ෂනායක විදියට පත්කරමු.* ඩිලාන්ගේ යෝජනාව කාගේත් මුවගට සිනාවක් කැන්දුවේය. පිරිස ඒ පිළිබඳ මොහොතක් කතා කළමුත් සැබවින්ම එය ප්‍රායෝගික නොවූ යෝජනාවක් බව දැන සිටියහ. මේ අතර ඉන්ධන ගැටලුවද පාර්ලිමේන්තු ගමනට තදින්ම බලපාන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මැසිවිලි නගන්නට වූහ.

මෙම වර්ජනය හේතුවෙන් විපක්ෂයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයකු විසින් ගෙන ඒමෙන් අනතුරුව විවාදයට ගැනීමට තිබුණු වත්මන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු පිළිබඳ කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීම අර්බුදයක් වූයේය. එහිදී විපක්ෂයේ කාර්යභාරය සිදුකරමින් ඉදිරියට පැමිණි විමල් වීරවංශ පාර්ශ්වයේ ගාමිණී වළේබොඩ මන්ත්‍රීවරයා අදාළ කල්තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ අනුව ස්වාධීන වී විපක්ෂයේ වාඩිගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් විපක්ෂයේ කාර්යභාරය සිදු කරන්නට වූහ

මේ අතර ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී  ධුරයෙහි දිවුරුම් දීමද ඉකුත් සතියේ කාගේත් අවධානය දිනාගත් සිදුවීමක් විය. කෙසේ වෙතත් ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත් කිරීමේ තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබුණි. එම පෙත්සම් ව්‍යාපාරික චන්ද්‍රා ජයරත්න, මාධ්‍යවේදිනී රොයෙල් රේමන්ඩ් හා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ඇතුළු පස් දෙනකු විසින් ගොනු කරනු ලැබ තිබුණි.

එම අවස්ථාවේදී ධම්මික පෙරේරා උපදෙස් පැතුවේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සහ හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි යන මහත්වරුන්ගෙන්ය. මෙහිදී විශේෂයෙන්ම ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ධම්මික පෙරේරා හට කියා තිබුණේ &බයවෙන්න කිසිම හේතුවක් නෑ. නීතිය හරි පැහැදිලියි. පූර්ව නඩු තීන්දු තියෙනවා. අපි මේක අධිකරණයෙන් බලාගමු* යනුවෙනි. ඒ අනුව එම පෙත්සම් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී ධම්මික පෙරේරා මහතා ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පත්වීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර තිබූ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. මෙහිදී ජනාධිපති නීතීඥ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි අතර ධම්මික පෙරේරා වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාය.

අඟහරුවාදා නඩු තීන්දුව ලැබීමත් සමගම බදාදා ධම්මික පෙරේරාගේ පාර්ලිමේන්තු දිවුරුම් දීමට කටයුතු සූදානම් විය. ඒ අතර ඔහු හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ගොස් තමාගේ දිවුරුම් දීම පිළිබඳව දන්වා සිටියේය. එහිදී මහින්ද රාජපක්ෂ මහතා ධම්මික පෙරේරා වෙත සුබපැතුම් එක් කළ බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබුණි. ඒ අනුව පොදුජන පෙරමුණ සියලු ප්‍රබලන්ගේ ආශීර්වාදය යටතේ ධම්මික පෙරේරා බදාදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.

මෙම දිවුරුම් දීමෙන් අනතුරුව සම්ප්‍රදාය අනුගමනය කරමින් කතානායකවරයාගේ නිල කාමරය වෙත ගොස් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා කටයුතු කළේය. මෙහිදී කතානායකවරයා විශේෂ පැනයක් ධම්මික පෙරේරා වෙත ඉදිරිපත් කළේය. ඔබතුමා හොඳ ව්‍යාපාරිකයෙක් මේ රටේ, කරුණාකරලා කියන්න අපේ රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නය විසඳන්න ඔබතුමා ළඟ මොනවා හරි වැඩපිළිවෙළක් සැලැස්මක් තියෙනවද?

&ඔව් වැඩපිළිවෙළක් තියෙනවා කථානායකතුමා, මම විශ්වාස කරනවා මේකට විශාල උදව්වක් මට කරන්න පුළුවන් කියලා* ධම්මික පෙරේරා කතානායකවරයා හමුවේ එසේ කියූ බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. තමා එකතුවූයේ සුවපහසු ආණ්ඩුවකට නොවන බවත්, පවතින්නේ නිශ්චල මුහුදක් නොව කුණාටු මුහුදක් බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබුණි. එහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා තිබුණේ මට විවිධ අය හම්බවෙනවා මේ පාර්ලිමේන්තුවේදී. ඒ හම්බවෙන අයගෙන් මේක කරන්න පුළුවන් කියලා පොඩි හරි බලාපොරොත්තුවක් දුන්නේ ඔබතුමා විතරයි. හැමෝම කියන්නේ මේක කරන්න බෑ බෑ කියලා. ජනතාවට බර දරාගන්න වෙනවයි කියලා.

ඒ අනුව පාර්ලිමේන්තුවේද සහාය ලබාගෙන  හැකි අයුරුන් රට ගොඩගැනීමට දායක වන ලෙස කතානායකවරයා පවසද්දී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය භාරගැනීමට තමාට ප්‍රධාන වශයෙන්ම ආශිර්වාද කළේ තම මව බව ඔහු පවසා තිබුණි. කොතරම් අභියෝග පැමිණුනද මේ මොහොතේ සිය ශක්ති ප්‍රමාණයෙන් රට වෙනුවෙන් යමක් කිරීමට ඉදිරිපත් වෙන ලෙස තමාට මව උපදෙස් ලබාදුන් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර මෙදින තවත් අපූරු සිදුවීමක්  වාර්තා විය. ධම්මික පෙරේරා සිය දිවුරුම් දීම ඇතුළු කටයුතු අවසන් කොට පාර්ලිමේන්තුවේ ලොබියට පැමිණෙන විට ඔහුට ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා මුණගැසී ඇත. එහිදී ඔවුන් දෙදෙනා ඉතා කුළුපගව කතා කතාබහ කරමින් පැය භාගයක පමණ කාලයක් ගත කළ බව කියැවේ. ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් ගොනු වූ අවස්ථාවේදී තමාට විරුද්ධව පෙනී සිටි නීතිඥයා සමඟ ඔහු මෙතරම් කුළුපග වීම බොහෝ දෙනකුගේ මවිතයට හේතු විය. &මෙයාල එකතු වෙලාද නඩු කිව්වේ* මෙය දුටු ඇතැමෙක් පාර්ලිමේන්තු ලොබියේදී ප්‍රශ්න කර තිබුණි.

මේ අතර ඉකුත් බ්‍රහස්පතින්දා ඉන්දියානු විශේෂ නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසීමට ඉන්දියාවේ සිට පැමිණියේය. මීට හේතුව වී තිබුණේ ඉන්දියාවෙන් ඉල්ලා ඇති අලුත් ණය මුදල පිළිබඳ කතාවකි. ආරංචි මාර්ග අනුව මේ වනවිට ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඩොලර් බිලියන 1.5ක ණයක් ඉල්ලා තිබේ. ඉන් ඩොලර් මිලියන 500ක් තෙල් ලබාගැනීම සඳහාද ඉතිරිය සාමාන්‍ය අවශ්‍යතා සඳහාද යොදවා ගැනීමට ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වේ.

මෙම ණය ලබාගැනීම සම්බන්ධව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දියානු විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් සහ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සමඟ සාකච්ඡා කොට තිබුණි. මෙම හදිසි සංචාරයට දින දෙකකට පමණ ඉහතදී මෙම සාකච්ඡා පැවති බව ආරංචි මාර්ග ඔස්සේ හෙළිදරව් විය. කෙසේ වෙතත් එහිදී ඉන්දියානු අමාත්‍යවරුන් සඳහන් කර ඇත්තේ &ඔබේ රටට අපි උදව් කරන්න ඕනෑ, නමුත් මේ වනවිටත් අපි විශාල ණය ප්‍රමාණයක් ලබාදීලා තියෙනවා. ඒ නිසා අපට කළ හැක්කේ කුමක්ද යන්න තීරණය කිරීමට, අපි අපේ විශේෂ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මුණගැසීමට යවනවා.* යනුවෙනි.
ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන ඉන්දියානු විදේශ ලේකම් විනෙයි මොහාන් ක්වත්‍රා, ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අජෙයි සෙත්, ඉන්දීය රජයේ ප්‍රධාන ආර්ථික උපදේශක මහාචාර්ය ආනන්ද නාගේෂ්වරන් යන අය මෙරට පැමිණියහ. බ්‍රහස්පතින්දා උදෑසන පෙරවරු 10ට පමණ විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණි මෙම පිරිස පිළිවෙළින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමු වූහ. ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ ඉදිරි ආර්ථීක සැලසුම් පිළිබඳව විශේෂයෙන්ම මෙහිදී ඔවුන් විමසා ඇති බව දැනගන්නට ලැබේ.
මීට අමතරව ලබාගන්නා ණය ගෙවීමට ඇති සැලසුම් පිළිබඳවත්, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඉන්දියාවෙන් ලබාදිය යුතු සහයෝගය පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි කියවේ. කෙසේ වෙතත් මෙදිනම පස්වරුවේ මෙම නියෝජිත පිරිස දිවයිනෙන් පිටත්ව ගියහ. පිටත්ව යන්නට පෙර ඔවුන් නැවත වරක් ජනපති හමුවූ බව දේශපාලන ආරංචි මාරග සදහන් කරයි. කෙසේවෙතත් ණය මුදල ලබාදීම සම්බන්ධ අවසාන තීරණය තවමත් ප්‍රකාශයට පත් වී නොමැත. ශ්‍රී ලංකාවට පැමිණි නියොජිතයන් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා වෙත විශේෂ වාර්තාවක් ලබා දුන් පසුව ණය ලබා දීම පිළිබදව අවසන් තීරණය ඉන්දියානු රජය ලබා ගනු ඇතැයි කියමි. මේ අතර අමෙරිකානු භාණ්ඩාගාරයේ නිලධාරීන් පිරිසක්ද එළඹෙන සතියේ මෙරටට පැමිණීමට නියමිත බව පැවසේ. එසේම දේශපාලන කරළියේ පැතිරෙන ආරංචියකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ළඟදීම ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමටද නියමිතය.

සඳුදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව ද පසුගිය සතියේ තරමක් උණුසුම් වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. ඊට හේතුව ලෙස කියවුණේ අග්‍රාමාත්‍යවරයා රුස්වීම අතරතුර නැගිට පිටව යෑමයි. මින් පෙරද මෙවන් සිදුවීමක් සිදුව ඇති බැවින් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී පිරිසක් අසතුටින් පසුවූහ. ඒ අනුව උදයන කිරිදිගොඩ, ලලිත් එල්ලාවල, වසන්ත යාපා බණ්ඩාර යන මන්ත්‍රීවරුන් පසුපෙළ විරෝධතාව කරළියට ගෙන ආ බව කියැවේ. 

“අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා අතරමැද්දේ නැගිටලා යනවා. සමහර ඇමැතිලා දකින්නත් නෑ. අපි එතුමට සහයෝගය දෙනවා නම් එතුමා මෙතැන ඉන්න ඕනෑ." ආදී වශයෙන් විවිධ  ප්‍රකාශ මෙහිදී ඇතැමුන් විසින් සිදු කළ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් මෙහිදී පෙරට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා පිටව ගියේ අයි.එම්.එෆ් නියෝජිතයන් පිරිසක් හමුවීමට බවකි.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයා කෙරෙහි මතුවූ විරෝධතා තරමක් යටපත් වී තිබේ. කෙසේ වෙතත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග ද මෙහිදී අදහස් දක්වා ඇතැයි කියැවේ. අග්‍රාමාත්‍යවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව අවසන් වනතුරු රුඳී සිටීමේ වැදගත්කම ඔහු අවධාරණය කර ඇත. අග්‍රාමාත්‍යවරයාට සහ සියලුම අමාත්‍යවරුන්ට කණ්ඩායම් හමුව අවසන් වනතුරු රුඳී සිටින්න යැයි දන්වන ලෙස ඔහු වැඩිදුරටත් ඉල්ලා තිබේ.

මේ අතර ප්‍රසන්න රණතුංග දිගින් දිගටම ආණ්ඩුව තුළ පොහොට්ටුවේ කාර්යභාරය ඉටුකරමින් සිටින බවට ද කතාවක් පැතිර ගියේය. 21 වැනි සංශෝධනය කැබිනට්ටුව තුළ පමා කිරීමට ද ඔහු පෙරමුණ ගෙන ඇති බව කරළියේ තිරය පිටුපස කතාබහට ලක්විණි. පසුගිය සතියේ ද සංශෝධනය කැබිනට්ටුවට ඉදිරිපත් වූ මොහොතේදී ඔහු සිදු කළා යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධව සංශෝධනයට පක්ෂපාතී පිරිසක් අමනාපයෙන් පසුවූහ.

රාජ්‍ය අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීම ද ආසන්න දිනයක සිදුවන බවට දේශපාලන කරළියේ ආරංචි අතර කියවුණි. මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් ඉකුත් සතියේ අඟහරුවාදා පවත්වා ඇති බවද වාර්තා විය. ආරංචි මාර්ග අනුව හිටපු අමාත්‍යවරුන් බොහෝ දෙනකු මීට සහභාගී වූයේ අමාත්‍යාංශය පිළිබඳ බලාපොරොත්තු ඇතිවය. එම නිසාම සියලු දෙනාම පාහේ ජනපති පිළිබඳ සේම අගමැති ප්‍රමුඛ ආණ්ඩුවේ නව වැඩපිළිවෙළ පිළිබඳ පැහැදීමෙන් කතාබහ කර ඇතැයි දැනගන්නට ලැබේ.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමයි. එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වර්තමාන දේශපාලන ආර්ථික අර්බුදය නිරාකරණය කර ගැනීමට දරණ උත්සාහය පිළිබඳව ගුණ ගායනා මෙහිදී ප්‍රමුඛ වී තිබේ. ඊට අමතරව අමාත්‍ය විෂය පථය බෙදී ඇති ආකාරය සහ එහි ප්‍රායෝගිකත්වය පිළිබඳව ද වැඩිදුරටත්  සාකච්ඡා වී ඇත. කෙසේ වෙතත් මෙහි පැමිණි බොහෝ රාජ්‍ය අමාත්‍යවරුන් තමන් හට ලැබීමට යන අමාත්‍යාංශය පිළිබඳව ඉඟි පළ කරමින් සිටි බව ද දැනගන්නට ලැබුණි.

තවත් දේශපාලන ආරංචියකට අනුව කියැවුණේ රාජ්‍ය ඇමැතිවරුන් දිවුරුම් දෙන අවස්ථාවේදීම, අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පත්වූ ධම්මික පෙරේරා මහතා ද අමාත්‍යවරයකු ලෙස දිව්රුම් දෙනු ඇති බවයි. කෙසේ වෙතත් සිකුරාදා වන විට තත්ත්වය වෙනස් වී තිබුණි. සිකුරාදා සන්ධ්‍යාවේදී ධම්මික පෙරේරා මහතා දිවුරුම් දීමට කටයුතු සූදානම් වූ නමුත් රාජ්‍ය ඇමැති දිවුරුම් දීම කල් ගියේය. ආණ්ඩුව අභ්‍යන්තරයේ මතු වූ යම් යම් විරෝධතා එයට හේතු වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉකුත් සතියේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් කිහිපයක්ම  කතානායකවරයා හමුවීමට ගියෝය. ඉන්ධන ගැටලුව පිළිබඳව සිය දුක් ගැනවිල්ල කතානායකවරයාට ඉදිරිපත් කිරීම ඔවුන්ගේ අරමුණ විය. "සර් අපිට තෙල් වියදමට ලබාදෙන මුදලින් පාර්ලිමේන්තු එන්න බෑ. පරණ මිලට ලබා දෙන දීමනා හින්දා විශාල ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. මේකට සහනයක් ලබා දෙන්න." යනුවෙන් මේ පිරිස කතානායකවරයාගෙන් ඉල්ලා සිටියහ.

පාර්ලිමේන්තු ආරංචි අනුව මෙහිදී යාපනයේ සිට පැමිණෙන මන්ත්‍රීවරයකු කියා සිටියේ එක් වරකට පාර්ලිමේන්තු පැමිණීමට තමාට රුපියල් 62,000ක පමණ ඉන්ධන වියදමක් දැරීමට සිදුවී ඇති බවයි. එසේම අම්පාරේ සිට පැමිණෙන විමලවීර දිසානායක මන්ත්‍රීවරයා පවසා තිබුණේ තමාට එක් වරකට පාර්ලිමේන්තු පැමිණීමට රුපියල් 42,000ක ඉන්ධන වියදමක් දැරීමට සිදු වී ඇති බවකි. අතරමගදී ඉන්ධන ලබාගැනීමට සිදුවන හෙයින් ඉන්ධන පෝලිම්වල රුඳී සිටීමට සිදුවන බවද ඔවුන් දෙදෙනා වැඩිදුරටත් පවසා ඇතැයි කියැවේ. බදුල්ලේ සිට පැමිණෙන මන්ත්‍රීවරයකුට රුපියල් 50,000ක් පමණ ද, මාතර සිට පැමිණෙන මන්ත්‍රීවරයකුට රුපියල් 26,000ක් පමණද වැය වන බව මෙම සාකච්ඡාවලදී හෙළිදරව් වී තිබිණි.
ඒ අනුව පාර්ලිමේන්තුව අවම දින ගණනක් පැවැත්වීම සම්බන්ධව යෝජනාව මෙහිදී ඉදිරිපත් වී ඇතැයි කියැවේ. මීට අමතරව පාර්ලිමේන්තු ඉන්ධන බිල්පත් පරණ මිලට සකස්වීම හේතුවෙන් කතානායකවරයාගේ වාහන සඳහා ද ඉන්ධන ලබාගැනීමේ ගැටලු මතුවී ඇතැයි දැනගැනීමට ලැබේ.
පසුගිය සතියේ දී ජාතික ජන බලවේගය ද නැවත පාරට බැසීමේ වැඩපිළිවෙළකට අවතීර්ණ විය. "ජනතා විලාපය" නමින් ආණ්ඩුවට එරෙහි විරෝධතා රුල්ලක් ඔවුහු ආරම්භ කළහ. "වළං අරන් - හිස් බූලි අරන් - පන්දම් අරන් බයිසිකල්වලින් පාරට එන්නෑ"යි මෙම උද්ඝෝෂණ මාලාවේ මෙහෙයුම්කරු වන වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ජනතාවට ආරාධනා කළේය. ඒ අනුව ඉකුත් බ්‍රහස්පතින්දා වෙළෙඳ සංගම්, ත්‍රිරෝද රථ හා ගොවි සංගම් එක්ව සංවිධාන කළ මෙම විරෝධතා වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ජවිපෙ සූදානමින් සිටියේය.

මීට අමතරව තවත් උද්ඝෝෂණ විරෝධතා රුසක් ඉදිරි සති කිහිපය පුරාවට සංවිධානය කිරීමට ජාතික ජන බලවේගය කටයුතු කරමින් සිටින බව එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ අනුව මෙම ඉරිදා අනුරාධපුරයේ දී දැවැන්ත විරෝධතාවක් සංවිධානය වනු ඇතැයි කියැවේ. මෙම නව සටන පිළිබඳව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද අදහස් දක්වා තිබුණි. මෙවර තම පක්ෂය ජන පීඩක ආණ්ඩුවට එරෙහිව සටනට පිවිසෙන්නේ නැවත ආපසු හැරෙන්නට නොවන බව ඔහු මාධ්‍යයට පැවසීය.

ගෝල්ෆේස් අරගලයට නායකත්වය සැපයූ කිහිප දෙනකුම අත්අඩංගුවට පත්වීම පිළිබඳව ද පසුගිය සතියේ විශේෂ අවධානයක් යොමුවිය. අයි.එම්.එෆ් නියෝජිතයන් මෙරට පැමිණ සිටි මොහොතේ ජනාධිපති ලේකම්වරයාගේ සහභාගීත්වය පමා කරමින් අරගලකරුවන් පැවැත්වූ විරෝධතාවක් මෙම ආන්දෝලනයට තුඩු දුන්නේය. මෙය හිතාමතා රට ජාත්‍යන්තර නියෝජිතයන් ඉදිරියේ අපහසුතාවට ලක්කිරීමට සිදු කරන ලද්දක් බව ද දේශපාලන කරළියේ කතාබහට ලක්විය. පාර්ලිමේන්තුවේ ද විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායම මේ සම්බන්ධව චෝදනා නැගූහ.

චෝදනා ලැබූ පිරිසෙන් කණ්ඩායමක් මරදාන පොලීසිය වෙත පෙළපාළියකින් පැමිණ බාරවූහ. ඒ අනුව මහජන දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා ලබන 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. මේ අතර අරගලය මර්දනය කිරීමට සැරසෙන බවට ද විපක්ෂය ආණ්ඩුවට චෝදනා කළේය. මේ අතර අරගලකරුවන් ගැටලුව ජාත්‍යන්තරයට ද රුගෙන යෑමට සියලු කටයුතු සූදානම් කර ඇති බව දැනගන්නට ලැබේ.

ඉකුත් සතියේ රුසියාව ද මෙරට දේශපාලන මාතෘකාවක් විය. ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයන් මෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ලංකාවේ රුසියානු තානාපති යූරි මැටෙරි හමුවී තිබුණි. තෙල් අර්බුදය සහ පොහොර ගැටලුව පිළිබඳව ශ්‍රී ලංකාව වඩාත් උනන්දුවෙන් හා කැපවීමෙන් කටයුතු කරන්නේ නම්, ඒ පිළිබඳව රුසියාවට වඩාත් සක්‍රීයව දායකත්වය සැපයීමට හැකි යැයි ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටෙරි මහතා මෙම හමුවලදී අවධාරණය කර තිබුණි. ඒ හේතුවෙන් ආණ්ඩුවෙන් වෙන්වූ මෙම කණ්ඩායම් රුසියානු ජනාධිපතිවරයාගෙන් ආධාර උපකාර ලබාගන්නා ලෙස පසුගිය සතියේ ජනාධිපතිවරයා ප්‍රමුඛ  ආණ්ඩුවට බල කරමින් සිටියහ.

 චමිදු නිසල් ද සිල්වා