2022 ජුනි 19 වන ඉරිදා

පොහොට්ටුවේ පිරිසක් සිරිකොතේ

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 346

  • බොරු කිව්වේ මාලදිවයින හිටපු ජනපතිද? හර්ෂ ද සිල්වාද?
  • රට නග්ගන්න ජවිපෙත් එනවාලු
  • මන්ත්‍රී නිවාස හා කාර්යාල රක්ෂණය කරයි
  • රනිල්ගෙන් ආර්ථික මාර්ග සිතියමක්
  • සජිත් විභාගෙන් පාස්: රන්ජන් බලන්නත් යයි
  • දිනේෂ්ගේ මැතිවරණ සංශෝධන යෝජනාවට විරෝධයක්

දේශපාලන පාට පක්ෂ තර්ක මතවාද ලක්වාසී ජනයාට බඩ කට පුරවාගෙන සැනසීමට අල්පමාත්‍රික හෝ දායකත්වයක් නොදක්වන සෙයකි. තම තමන්ගේ අරමුණුවල ප්‍රශ්නවල ඇලී ගැලී සිටින දේශපාලනඥයන්ගේ සුරංගනා කතා දැන් ජනතාව නොතකති. අනාගතය පිළිබඳ විශ්වාසයක් නොමැති කල යළිත් පෝලිම්වල ගිනි පුපුරු මතුවෙමින් තිබේ. සැබැවින්ම සැනසුමක් විසඳුමක් පිළිබඳ වූ අවසන් බලාපොරොත්තුව ද ගිලිහී යන දිනය ළං වී ඇති බවට ඇතිවනුයේ තැතිගැන්මකි. 

ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලනික අර්බුද පිළිබඳ ඉකුත් සතියේ දේශපාලන කරළියේ විවිධ කතා පැතිර යමින් තිබුණි. ඒ අතර එක්සත් ජාතික පක්ෂය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ වැඩ කළ පිරිසක් තමන් වෙත ළං කර ගැනීම පිළිබඳ කාගේත් අවධානය යොමුවිය. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතහැර පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවීම සඳහා සිරිකොතේදී සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා විය. එක්සත් ජාතික පක්ෂය විසින් ගොඩනැගීමට බලාපොරොත්තු වන දේශපාලන සන්ධානයක් වටා මෙම පිරිස එකතුවීමට යන බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය.

විශේෂයෙන්ම දමිළ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක් එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කළ බව තහවුරු විය. මෙලෙස සාකච්ඡා කළ පිරිස අතර ඉලංගෙයි මක්කල් දේශීය කච්චි වෙනුවෙන් එහි මහලේකම් එස්. විෂ්ණු කාන්තන්, දෙමළ එක්සත් නිදහස් පෙරමුණ වෙනුවෙන් එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක දුෂ්‍යන්ත් මනලිංගම් සහ ප්‍රගතිශීලී  ශ්‍රී ටෙලෝ වෙනුවෙන් එහි මහලේකම් පී. උදයරාසා යන අයගේ නම් කියැවුණි.

කෙසේ වෙතත් මෙම පිරිස ඍජුව අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ඉදිරි දෙසතිය ඇතුළත අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වැඩිදුරටත්  සාකච්ඡා කිරීමටත්, අනතුරුව පුළුල් හා ජනතාවාදී දේශපාලන ක්‍රියාවලියකට අවතීර්ණ වීමටත් ඔවුන් බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසා තිබුණි. මේ අතර අග්‍රාමාත්‍යවරයා සමඟ ඍජුව ගනුදෙනු කරමින් ඔහු හා කටයුතු කිරීමට පොදුජන පෙරමුණටම සම්බන්ධ කිහිප දෙනකු උත්සාහ දරමින් සිටින බවට කතාවක් දේශපාලන කරළියේ පැතිර ගියේය.

එම ආරංචි පැතිර යාමත් සමඟම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  ඊට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම ද සුවිශේෂී කරුණක් විය. මාධ්‍ය අමතා එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පවසා තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතු මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ නායකත්වයෙන් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බවයි. තම පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගැනීමට කටයුතු කරන බවට කරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ඔහු කීය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සම්බන්ධ පක්ෂ කිහිපයක් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වූ බවට ගෙන යන ප්‍රචාර පිළිබඳ තමා දැනුම්වත් නැති බවද ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.

මේ අතර ඉකුත් බදාදා දිනයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් සොයා බැලීමට වැලිකඩ ගියේය. රන්ජන් හමුවූ විපක්ෂ නායකවරයා රන්ජන් කී බවට පණිවිඩයක් ද ජනතාව හමුවේ තැබීය. නිදහස් දිනය වෙනුවෙන්, වෙසක් දිනය වෙනුවෙන්, පොසොන් දිනය වෙනුවෙන් යනාදී ලෙස රන්ජන් රාමනායකට නිදහස ලබා දෙන බවට ආණ්ඩු පාර්ශ්ව සිදු කළ ප්‍රකාශ සහමුලින්ම ඇන්දවීමක් සහ රුවටීමක් පමණක් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

ඒ අනුව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ රන්ජන් රාමනායක මහතා වඩාත් ධෛර්ය සම්පන්න ලෙස කායික සහ මානසික වශයෙන් ශක්තිමත්ව සිටින බවකි. සිය උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමත් සමඟ වඩාත් ඵලදායී ලෙසත්, අර්ථවත් ලෙසත් රටට සේවය කිරීම වෙනුවෙන් තමන් හෙට දවසේත් සමගි ජන බලවේගය සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කරන බවට රටට පණිවිඩයක් ලබා දෙන්නැයි රන්ජන් රාමනායක තමාගෙන් ඉල්ලා සිටි බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳ සුවිශේෂී තොරතුරක් ද අපට දැනගැනීමට ලැබුණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විවෘත විශ්වවිද්‍යාලයේ පෙනී සිටි පාරිසරික විද්‍යාව පිළිබද ශාස්ත්‍රපති විභාගයේ මුල් විෂයයන් දෙකෙන් විශිෂ්ට සාමාර්ථ දෙකක් සහිතව සමත් වී ඇති බව ඒ අනුව කියවුණි. ඒ අනුව විපක්ෂ නායක ධූරයේ සිටියදීම මෙයාකාර විභාගයකට මුහුණ දෙමින් පාරිසරික විද්‍යාව පිළිබද ශාස්ත්‍රපති උපාධියක් ලබාගැනීමට උත්සාහ දැරෑ පළමු තැනැත්තා බවට සජිත් ප්‍රේමදාස මහතා පත් විය. මෙම විභාගයේ ඡායාරෑප සහ එහි ප්‍රතිඵල පත්‍රය සමගි ජන බලවේගය ක්‍රියාකාරීන් විසින් සමාජ ජාල වෙත මුදා හැර තිබුණි. 

ඉකුත් සතියේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කණ්ඩායමක් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා යෝජිත මාර්ග සිතියමක් සකස් කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ විය. දේශපාලන ආරංචි මාර්ග අනුව මෙම සාකච්ඡාව සඳහා හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කුමාර වෙල්ගම, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, අලි සබ්‍රි, අනුර ප්‍රියදර්ශන යාපා, චරිත හේරත් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රුසක් සහභාගි වී සිටියහ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබාගැනීමෙන් පසු මෙම මාර්ග සිතියම අවසන් කර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කොට තිබුණි. මෙහිදී මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ද                  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කරුණු පැහැදිලි කොට තිබේ. වත්මන් ආර්ථික අර්බුදය සහ එය ජය ගැනීමට අපේක්ෂිත ආණ්ඩුවේ කෙටිකාලීන හා මධ්‍ය කාලීන ඉලක්ක පිළිබඳව කරුණු ඉදිරිපත් කර ඇත. පසුව සැලසුම සකස් කිරීම සඳහා මන්ත්‍රී යෝජනා ලබාගැනීම ද සිදුවේ තිබේ. ඒ අනුව මන්ත්‍රීවරුන් ආර්ථික අර්බුදය පිළිබඳව ඔවුන්ගේ මතය සහ විසඳුම් යෝජනා ඉදිරිපත් කර ඇතැයි කියැවේ.

ඉකුත් සතියේ සිදුවූ තවත් කැපීපෙනෙන දේශපාලන සිදුවීමක් වූයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සහ මාලදිවයින හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් මහතා අතර පැටලැවිල්ලය. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා දින කිහිපයකට ඉහත දී  මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මාලදිවයින හිටපු ජනාධිපතිවරයා හා තමන් අතර අදහස් හුවමාරුවක් සිදුවූ බවත් එහිදී ලංකාවට නිසි සැලසුමක් නොමැති නිසා රටවල් උපකාර කිරීමට නොපැමිණෙන බවත් ඔහු පැවසූ බවකි. ඔහු මෙහිදී මොහොමඩ් නෂීඩ් සහ සෞදි ඔටුන්න හිමි කුමරු වන මොහම්ඩ් බින් සල්මාන් අතර පැවති දුරකථන සංවාදයක් පිළිබඳවද තොරතුරු හෙළි කළේය.

කෙසේ වෙතත් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා තමන්ගේ නම සඳහන් කරමින් සිදු කළ ප්‍රකාශය පදනම් විරහිත බව මාලදිවයින හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා කියා සිටියේය. හර්ෂ ද සිල්වා මහතා යනු තමාගේ හොඳ මිතුරකු වන අතර රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවට උදව් කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බවත් ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට වෙනත් රටවලින් ඉන්ධන ගැනීම සඳහා විශේෂ නියෝජිතයකු ලෙස මාලදිවයින හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතාව පත්කර ඇති බව හර්ෂ ද සිල්වා මහතාගේ කතාවෙන් හෙළිදරව් විය.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතිකාව තවදුරටත් දික්ගැසෙමින් තිබුණි. ඉකුත් සතියේ ද කැබිනට් මණ්ඩලය තුළ සංශෝධනය සම්බන්ධ පූර්ණ එකඟතාවක් ගොඩනොනැගුණු බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසා සිටියේ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කළ යුතු යැයි දේශපාලන පක්ෂ කිහිපයක් යෝජනා කර ඇති බවකි. ඒ අනුව  21 වැනි සංශෝධනය තුළ තවත් වෙනස්කම් සිදුවීමට හැකියාවක් ඇතැයි කියැවුණි. මේ අතර ජනපති සමඟ ද විවිධ පක්ෂ කණ්ඩායම්වලට අයත් පිරිස් මෙම සංශෝධනය සම්බන්ධව ඉකුත් සතියේ සාකච්ඡා කිහිපයක්ම පවත්වා ඇතැයි වාර්තා විය. අවසන් සාකච්ඡාව පැවතියේ පොදුජන පෙරමුණ සමඟ ගිය බදාදාය.

සංශෝධනය සම්බන්ධව කල් මරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව විපක්ෂ කණ්ඩායම් චෝදනා කරයි. ඒ අනුව පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් සිය පක්ෂයේ ස්ථාවරය ලිඛිතව දැනුම් දීම සඳහා තවමත් අවස්ථාව ලැබී නොමැති බවකි. එහෙත් විජයදාස රාජපක්ෂ මහතා එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අදහස් හා යෝජනා ලිඛිතව ඉදිරිපත් කරන ලෙස මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ 43 ක නායකයන් වෙත ලිඛිතවම දැනුම් දී ඇති බවකි.

මේ අතර සංශෝධනය සම්බන්ධව පරස්පර අදහස් ඉදිරිපත් කරමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව අදහසකට මාරු වී ඇතැයි ආරංචි විය. මෙම සංශෝධනය වෙනුවට නව ව්‍යවස්ථාවක්ම රුගෙන ආ යුතු බව ඔවුහු දැන් පවසන්නට සැරසී සිටිති. මෙය බැසිල් රාජපක්ෂ මහතාගේ අදහසක් බව පොහොට්ටු අභ්‍යන්තරයෙන් ලැබුණු ආරංචි අනුව කියැවේ. 21 වැනි සංශෝධනයෙන් යෝජනා කෙරෙන වෙනස්කම් සිදු කිරීමට වසරකට ආසන්න කාලයක් ගතවනු ඇතැයි මෙම කණ්ඩායම කියා සිටියි. ඒ නිසාවෙන් සංශෝධනයට වඩා නව ව්‍යවස්ථාවක් මේ මොහොතේ හොඳම විසඳුම බව ප්‍රකාශ වේ.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද 21 වැනි සංශෝධනය සම්බන්ධව තරමක වෙනස් අදහසක් ඉදිරිපත් කොට තිබුණි. 21 වැනි සංශෝධනය පිළිබඳ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය නොතකා හරිමින් ඔහු මේ ප්‍රකාශය සිදු කළේය. ඒ අනුව අධිකරණ ඇමැතිගේ 21, ආණ්ඩුවේ 21, විපක්ෂයේ 21 කියා දෙයක් නැති බවත්, දැනට තිබෙන එකම 21 වන්නේ රංජිත් මද්දුමබණ්ඩාර මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන ආ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පමණක් බවත් ඔහු පැවසීය. 

මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන ආ එම සංශෝධනය සම්බන්ධ අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ මතය දින කිහිපයකින් නිකුත් වනු ඇතැයි ද සජිත් ප්‍රේමදාස මහතා කීවේය. ඒ අනුව පාර්ලිමේන්තුවේ තුන්වැනි සතියේදී එය සාකච්ඡාවට ගත හැකි යැයිද විපක්ෂ නායකවරයා පැවසීය. පසුගිය බදාදා &ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ* නියෝජිත පිරිසක් හමුවූ අවස්ථාවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේය.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනකු ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළේය. එක් සැකකරුවකුට මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් බැගින් නියම විය. කෙසේ වෙතත් ඇප බලාපොරොත්තුවෙන් සිටි තවත් පිරිසකට ඇප නොලැබුණි. 

මේ අතර සනත් නිශාන්ත මහතා ඇප ලබාගැනීමට අධිකරණයට යන අතරතුර ඔහුට ලැබුණු දුරකථන ඇමතුමක් සම්බන්ධව දේශපාලන කරළියේ මෙන්ම තිරය පිටුපස ද විවිධ කතා කියැවුණි. එසේම ඇප ලැබීමෙන් පසු ඔහුට ලැබුණු ඇමතුමක් පිළිබඳවද තවත් කතාවක් විය. ඔහු අධිකරණයට ගමන් කරන අතරතුර ඔහුට පළමු දුරකථන ඇමතුම පැමිණෙන අයුරු මාධ්‍ය ප්‍රචාරය වූ වීඩියෝ පටවල දැකගත හැකි විය.

තිරය පිටුපස කතාවලට අනුව එම ඇමතුම ලැබී ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙනි. "සර් මම ඇප ගන්න අධිකරණයට යන ගමන් ඉන්නේ ඇප අරගෙන සර්ට කතා කරන්නම්" යනුවෙන් සනත් නිශාන්ත මෙහිදී පවසා ඇතැයි අදාළ ආරංචි මාර්ග අනුව කියැවේ. ඇප ලැබීමෙන් අනතුරුව ඔහුට මුලින්ම අමතා ඇත්තේ පොහොට්ටුවේ නිර්මාතෘ  බැසිල් රාජපක්ෂ මහතාය. 

සනත් නිශාන්ත සහ පිරිස සම්බන්ධව දිගින් දිගටම සොයා බැලීමට බැසිල් රාජපක්ෂ කටයුතු කළ බව ද සඳහන් වෙයි. පිරිස සඳහා අවශ්‍ය ආහාරපාන පවා බැසිල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ දායකත්වයෙන් ලැබී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව නිදහස් වූ පසු තමාට පළමුව බැසිල් රාජපක්ෂ මහතාව හමුවීමට අවැසි බව සනත් නිශාන්ත පවසා ඇතැයි කියැවේ. එම ආරංචි මාර්ගවලට අනුව සනත් නිශාන්ත නිවෙස බලා පිටත් වීමටත් පෙර නෙළුම් මාවතට ගොස් බැසිල් රාජපක්ෂ මුණගැසී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අර්බුදය ද අභ්‍යන්තර පුපුරා යාමක් දක්වා ගමන් කරනු ඇතැයි ඉඟි පළවෙමින් තිබුණි. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය ධූරය භාරගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කිරීමටත් පෙර ඔහුට ඒ ධූරය ලබාගන්නා ලෙස ඉල්ලීම් කළ පිරිසක් පිළිබඳව ශ්‍රීලනිප අභ්‍යන්තරයේ සාකච්ඡා වී ඇත. පක්ෂ නායකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පක්ෂයේ බහුතරයක් රනිල් වික්‍රමසිංහ විරෝධීන්ව සිටියදී එවන් ඉල්ලීමක් සිදු කළේ කවුරුද යන්න පළමුව ගැටලුවක් වී තිබේ.

එහෙත් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක මෙලෙස ඉල්ලීම් කළ පිරිස බව දයාසිරි ජයසේකර පාර්ශ්වයෙන් ප්‍රකාශ කිරීමෙන් පසුව ඍජු චෝදනාවක් ඉදිරිපත් වී ඇතැයි කියැවේ. කෙසේ වෙතත් අදාළ චෝදනාව දුමින්ද දිසානායක ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කළ බවද කියැවේ. මුලදී පාර්ශ්විකව ක්‍රියා කළ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වනවිට දෙපිරිස අතර සමගිය ඇති කිරීමට වෙහෙසෙන බව ද ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් පත් කෙරුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව හේතුවෙන් ද ඉකුත් සතියේ තවත් මතගැටුමක් නිර්මාණය විය. තේරීම් කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කර ඇති අවසන් වාර්තාවට පක්ෂ රුසක නියෝජිතයෝ සිය විරෝධය පළ කළහ. තේරීම් කාරක සභාවේ සාමාජිකයකු වන දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා තේරීම් කාරක සභාව නියෝජනය කළ පක්ෂවල සාමාජිකයන් පැවැසූ කරුණු වෙනුවට අසත්‍ය කරුණු ඊට ඇතුළත් කරමින් වාර්තාව සකසා ඇතැයි චෝදනා කළේය.

සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය,  ශ්‍රී  ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජනතා විමුක්ති පෙරමුණ, ලංකා කම්කරු කොංග්‍රසය යන පක්ෂ නියෝජනය කරන සාමාජිකයන් මෙම වාර්තාව පිළිගත නොහැකි බව ප්‍රකාශ කළ බවද මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් පවසා තිබුණි. කෙසේ වෙතත් මැතිවරණ ක්‍රමයේ වෙනසක් සිදුකිරීම සම්බන්ධව මෙම තේරීම් කාරක සභාව හේතුවනු ඇතැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූහ. එහෙත් අවසානයේ වාර්තාව නිකුත් වීමත් සමඟම ඇතිවූ මෙම ගැටුම හේතුවෙන් එම බලාපොරොත්තු සුණු විසුණු වී ගියේය.

පසුගිය සතියේ ජාතික තරුණ සේවා ශ්‍රවණාගාරයේ දී ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මහ සමුළුව ද පැවැත්වුණි. එහිදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ රට තුළ නව ආර්ථික පරිවර්තනයක් සිදු කළ යුතු බවකි. "ඒකට අපි ලෑස්තියි. ඒ සඳහා ආර්ථික සැලැස්මක් අපිට තිබෙනවා. දේශපාලනයේ ඉතා හොඳ අවස්ථාවක් නිර්මාණය වෙලා තිබෙනවා. අපි සියලු දෙනා එකට වැඩ කරලා ජාතික ජන බලවේගයේ කොඩිය ඔසවමු." යනුවෙන් ඔහු මෙහිදී කියා සිටියේය.

මේ අතර මැතිවරණයකින් මෙපිට කිසිදු විසඳුමක් පිළිබඳව වෙනත් පාර්ශ්ව සමඟ සාකච්ඡා නොකිරීමටත් ජනවරමක් උදෙසාම බලපෑම් කිරීමටත් ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ අතර ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජනතාවට පක්ෂයක් ලෙස ලබා දිය හැකි දායකත්වය ලබාදීමට ඔවුහු සූදනම් වූහ. ගොවිපොළ නිර්මාණය කිරීම ඇතුළු සුබසාධන කටයුතු රුසක් ඉදිරි මාස කිහිපය පුරා ක්‍රියාත්මක කිරීමට ජනතා විමුක්ති පෙරමුණ වගකීම් පවරා තිබුණි.

මේ අතර සිකුරාදා වනවිට දේශපාලන කරළියේ තවත් තැතිගැන්මක් නිර්මාණය විය. ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඉදිරියේදී ලොක්ඩවුන් හෝ ඇඳිරි නීති තත්ත්වයක් ප්‍රකාශ කිරීමේ සූදානමක් ඇතැයි දේශපාලන කරළියේ තිරය පිටුපස කටකතා පැතිර යාම මේ කැළඹීමට හේතු විය. එවන් සූදානමක් පවතින්නේද යන්න පිළිබදව ඇතැම් මැති ඇමැතිවරුන් සහ නිලධාරීන් ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් විමසා ඇති බවද දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ. කෙසේ වෙතත් සිකුරාදා වන විටත් මේ සම්බන්ධව ප්‍රසිද්ධ පැහැදිලි කිරීමක් සිදු නොවුණි.

ඒ අනුව ඉදිරි දෙසතිය තුළ ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමේ යම් ගැටලුවකට බලධාරීන් මුහුණ දී ඇතැයි දේශපාලන කරළිය තුළින්ම ආරංචි විය. කෙසේ වෙතත් ලබන සතියේ තවත් ඉන්ධන තොගයක් මෙරටට පැමිණීමට නියමිත බැවින් රට සම්පූර්ණයෙන් වසා දැමීමේ හෝ ඇඳිරි නීතිය පැනවීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැති ඇමැතිවරුන් හට පැවසූ බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. 
එසේ වුවද සඳුදා සිට සති දෙකක කාලයක් පාසල් සහ පොදු සේවා පවත්වාගෙන යාම සඳහා ඔන්ලයින් ක්‍රමය හඳුන්වා දීමට රජය සලකා බලමින් සිටින බව නිල නොවන මට්ටමින් වාර්තා විය. ඒ පිළිබඳ අවසන් තීරණය මෙම සති අන්තයේ දී ප්‍රකාශයට පත්වනු ඇත. 

මේ අතර ඉන්ධන සොයා ගැනීමට අපහසුවීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ද අපහසුතාවට පත් වී සිටින බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. සාමාන්‍ය ක්‍රමයට ඉන්ධන ලබාගැනීමට යාම හේතුවෙන් මෙම පිරිස මෙලෙස අපහසුතාවට පත්ව සිටිති. කෙසේ වෙතත් සැලකිය යුතු මන්ත්‍රීවරුන් පිරිසක් ගැටලුවකින් තොරව තමන්ගේ රථවාහන සඳහා අවශ්‍ය ඉන්ධන සපයා ගන්නා ක්‍රමවේද සකසාගෙන තිබේ. ඔවුහු තමන්ට හෝ තමන්ගේ පවුල්වල අයට අයත් රථවාහන සේම අමාත්‍යාංශවලට අයත් රථවාහන ද සාමාන්‍ය ඉන්ධන පෝලිම්වල තැබීමට යම් බියක් දක්වති.

පසුගිය සතියේ ලැබුණු තවත් අපූරු ආරංචියකට අනුව කියැවුණේ බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් තම තමන්ගේ නිවාස සහ කාර්යාලය රක්ෂණය කිරීමට පෙළඹී ඇති බවකි. රක්ෂණ නියෝජිතයන්ගෙන් නිතර මැති ඇමැතිවරුන්ට රක්ෂණ යෝජනා ඉදිරිපත් වන බවත් මැයි නව වැනිදා සිදුවීම පිළිබඳ ඇති තැතිගැනීම හේතුවෙන් මැති ඇමැතිවරුන් අතරින් පිරිසක් එම යෝජනා පිළිගෙන ඇති බවත් කියැවේ.

 චමිඳු නිසල් ද සිල්වා