2022 ජුනි 12 වන ඉරිදා

විදුලිබල පනතට මැතිසබයේ ගිය ගෝරිය

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 309

  • ගෝඨා - මහින්ද හමු වී බැසිල් කළ යෝජනාව
  • සරත් ‌ෆොන්සේකා කුමක් කරයිද?
  • චම්පික රණවකගේ අලුත්ම කරණම
  • ජනපතිගෙන් විදුලි ඉංජිනේරු සභාපතිට ඇමතුමක්
  • ජවිපෙන් ප්‍රජා ගොවිපොළවල්
  • මම මොකටද මේකට අහුවෙන්නේ
  • ධම්මික පෙරේරා දිවුරුම් දීමට සූදානම්
  • විදුලිබල පනත ගේනකොට දමිළ මන්ත්‍රීවරු සභාගැබේ නෑ

සංශෝධන කතා, ඉල්ලා අස්වීම්, ස්වාධීන වීම් ඇතුළු කතා සපිරි සතියක් ගෙවී ගියේය. ඒ අතර පාර්ලිමේන්තුවද රැස්විය. කෙළවරක් නොවූ නාටකීය ජවනිකාවල දුෂ්ටයන් වීරයන් ඉඳහිට මාරු වූහ. එහෙත් පීඩිතයාගේ චරිතය මහජනයා නමටම ලියාපදිංචි විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට සමුදීම ඉකුත් බ්‍රහස්පතින්දා සිදුවිය. බැසිල්ගේ පසුබෑම පිළිබඳ තිරය පිටුපස විවිධ කතා අසන්නට ලැබුණි. ඒ අතර බැසිල්ගේ තීරණය පිළිබඳ සේම බැසිල්ගේ අනාගතය පිළිබඳ දේශපාලන ආරංචි ඔස්සේ සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් අප වෙතද ගලා ආවේය.

අර්බුදය සහ අරගලය හමුවේ පහළ නොවූ ඉල්ලා අස්වීමේ අදහස බැසිල් රාජපක්ෂ තුළ පහළ වූයේ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරලියට පැමිණීමත් සමඟය. පසුගිය සති කිහිපයේදී 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ විවිධ පාර්ශව විසින් ගෙනහැර පෑ අදහස් සහ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ ඇති වූ කතාබහ බැසිල් රාජපක්ෂ මෙම තීරණයට එළඹීමට හේතුව විය. නව සංශෝධනය රුගෙන එන්නේ තමා ඉලක්ක කරගෙන බව ඔහු කී බවක්ද දේශපාලන ආරංචි මාර්ග අනුව කියැවුණි.

මේක ගේන්නේ මාව ඉලක්ක කරගෙන. මම මොකටද මේකට අහුවෙන්නේ. මම එළියේ ඉඳන් පක්ෂෙ හදනවා.

දේශපාලන ආරංචි අනුව බැසිල් රාජපක්ෂ සිටියේ මෙවන් අදහසකය. තමාගේ ඉවත්වීම සමඟ 21 සම්බන්ධ පවතින උණුසුම සහ උනන්දුව අඩුවෙතැයිද ඔහු අපේක්ෂා කළ බව කියැවුණි. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ සිටින එකම ද්විත්ව පුරවැසියා තමා නොවන බව ඔහු හොඳ හැටි දැන සිටියේය.

ඉල්ලා අස්වීමට ප්‍රථම බැසිල් රාජපක්ෂ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙන වෙනම හමුවූයේය. එහිදී තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඔහු සිය සහෝදරයන්ට දැන්වීය. සුදුස්සෙක් පත්කර ගන්නා ලෙසද මෙහිදී බැසිල් රාජපක්ෂ ඔවුනට පවසා ඇත. එහෙත් තමා පෞද්ගලිකව කිසිවකු යෝජනා නොකරන නමුත් පක්ෂයෙන් රේණුක පෙරේරා හෝ සිරිපාල අමරසිංහ යන අය යෝජනා කරන බව ඔහු ජනපති හමුවේ පවසා ඇතැයි කියැවේ.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වුවමනාව වූයේ ව්‍යාපාරික ධම්මික පෙරේරාව හිස්වන ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුනට රුගෙන ඒමයි. ධම්මික ඉදිරිපත් කළ ඩොලර් සෙවීමේ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම ජනපතිට අවශ්‍යතාවක් මතුව ඇතැයි කියැවුණි. ඒ අනුව සිය මතය ඉදිරිපත් කරමින් ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට ගෙන ඒමට ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ හමුවේ යෝජනා කළේය. දේශපාලන ආරංචි අනුව ජනපතිගේ යෝජනාව හා එකඟවීමට බැසිල් ඇතුළු සියලු දෙනාටම අවසානයේ සිදුවිය.

කෙසේවෙතත් පක්ෂ මෙම තීරණය ක්‍රියාවට නැංවීමට නම් ධම්මික පෙරේරා පක්ෂයේ සාමාජිකත්වය ලබාගතයුතු විය. ඒ අනුව ධම්මික හට පොහොට්ටුවේ පක්ෂ සාමාජිකත්වය ලබාගන්නා ලෙස ජනාධිපති දැන්වීය. ඒ අනුව පක්ෂ කාර්යාලයට ගිය ඔහු පක්ෂයේ සාමාජික කාඩ්පතක්ද ලබා ගත්තේය. බ්‍රහස්පතින්දා වනවිට ධම්මික පෙරේරාට පාර්ලිමේන්තු පැමිණීමට සියලු කටයුතු කඩිමුඩියේ සූදානම් වෙමින් පැවතුණි.

සියල්ල අවසානයේ ගෝල්ෆේස් ප්‍රහාරයෙන් මසක් ගතවූ තැන තීරණාත්මක බ්‍රහස්පතින්දා බැසිල් රාජපක්ෂ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශ කළේය. ඔහු මාධ්‍ය සාකච්ඡාවක්ද කැඳවා තිබුණි. සැබැවින්ම ඔහු කරළියට පැමිණියේ සැලකිය යුතු කාලයකට පසුවයි. එනිසාම මාධ්‍ය සාකච්ඡාද තරමක් උණුසුම් විය. ඉදිරියේදී රාජ්‍ය පාලනයට සම්බන්ධ නොවන නමුත් දේශපාලනයේ නියැලෙන බවත් බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් එහිදී කියා සිටියේය.

තමන් මුදල් අමාත්‍ය ධූරය සිටි කාලයේ විදේශ සංචිත පහළ ගියේ යැයි වන චෝදනාව පිළි නොගන්නා බවද ඔහු මෙහිදී කීය. තමන් අමාත්‍ය ධූරය භාරගන්නා අවස්ථාවේදීද රට තුළ විදෙස් සංචිත නොවූ බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
සංචිත බිංදුවට වැටුණ එකනම් මම පිළිගන්නේ නෑ. කවුද දන්නේ නැහැ කිව්වේ? කොහෙද තියෙන්නේ? ඒක නම් වැරදියි. සම්පූර්ණ වැරදි තොරතුරක්. සංචිත කියල එකක් තිබුණෙත් නැහැ මම එනකොට.

මේ අතරතුර “රාජපක්ෂ පාලනය අවසන් වුණේ බැසිල් රාජපක්ෂ නිසා බව ජනතාව චෝදනා කරනවා,” යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දෙමින් බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ “ඔව් ඒක ඉතින් ගියාම ඉවරනේ.... යනුවෙනි.

මේ අතර බැසිල්ගේ ඊළඟ සැලසුම් පිළිබඳවද දේශපාලන කරළියේ තිරය පිටුපස බොහෝ කතා ඇතිවිය. ලේසියෙන් පරාජය පිළිනොගන්නා යළි යළිත් කරළියට එන දේශපාලකයකු ලෙස ප්‍රකට බැසිල්ගේ ඊළඟ සැලසුම කුමක්ද? බොහෝ දෙනෙක් ප්‍රශ්න කළහ. මේ අතර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ ඒ පිළිබඳවද කරුණු හෙළිකර ගැනීමට හැකිවිය.

පළමුව පක්ෂ කටයුතු සිදුකර මසකට අධික නිවාඩුවක් සඳහා ඇමෙරිකාව බලා පිටත්ව යෑමට බැසිල් රාජපක්ෂ කටයුතු සූදානම් කොට ඇතැයි දැනගන්නට ලැබුණි. බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මිය බ්‍රහස්පතින්දා උදෑසන ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇති බවද ඒ අතර වාර්තා වුණි. කෙසේ වෙතත් මෙම නිවාඩුවට පසු බැසිල් රාජපක්ෂ නැවත මෙරටට පැමිණෙනු ඇත. ඔහු සෘජුවම පක්ෂය අතට ගෙන ඉදිරි පළාත් පාලන ඡන්දය සඳහා කටයුතු සැලසුම් සකස් කිරීමට සූදානම් වන බව කියැවේ.

බැසිල් රාජපක්ෂ පියවරක් පසුපසට තබන විට ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේදී පාඨලී චම්පික රණවක පියවරක් ඉදිරියට තැබුවේය. ඔහු සමගි ජනබලවේගයෙන් වෙන් වී විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් තමා ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක් ලබා නොගන්නා බව ඔහු මෙහිදී සඳහන් කළේය. මේ සමඟම පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, බන්දුල ගුණවර්ධන ආදී පිරිස් ඔහු අගය කරමින් කතා කිරීම සුවිශේෂී විය.

මේ ස්වාධීන වීමෙන් පසු පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පාඨලී චම්පික රණවක මහතා පැවසූයේ සමගි ජනබලවේගය තම පාර්ශ්වයේ හතුරු බලවේගයක් නොව මිතුරු බලවේගයක් බවයි. එසේම ඡන්දය දුන් ජනතාවගේ ගරුත්වය කෙලෙසන්නේ නැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ආර්ථිකමය වශයෙන් ඔවුන් ඉදිරිපත් කරන වැඩපිළිවෙළට රජය කැමැත්තක් දක්වනවා නම් ඒවාට සහයෝගය දක්වන බවත් ආණ්ඩුවේ මේ ක්‍රියාමාර්ගයට ගල් පෙරළන්න බලාපොරොත්තුවක් නැති බවත් පාඨලී චම්පික රණවක මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර ස්වාධීන වූ පාඨලී චම්පික රණවක මහතා නව දේශපාලන පෙරමුණක් නිර්මාණය කිරීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබුණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජනබලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යන පක්ෂවල පිරිසක් ඔහු සමඟ එකතුවීමට නියමිත බවද කියැවුණි. මේ අතර දේශපාලන කරළියේ පැතිර ගිය තවත් කතාවකට අනුව හරීන් සහ මනූෂද පාඨලී සමඟ සන්ධාන ගතවීමට යන බව කියැවුණි. කෙසේ වෙතත් ඒ සම්බන්ධ නිශ්චිතව තොරතුරක් අනාවරණය නොවුණි.

විදුලි ඉංජිනේරු වර්ජනය සහ ශ්‍රී ලංකා විදුලිබල පනත සම්බන්ධවද පසුගිය සතියේ දේශපාලන කරළියේ විශාල සංවාදයක් නිර්මාණය විය. ඉකුත් බ්‍රහස්පතින්දා විදුලි ඉංජිනේරුවෝ මුළු රටම අඳුරේ තබා වර්ජනය කිරීමට සූදානම් වූහ. ඔවුහු එදින ඉදිරිපත් වන විදුලිබල පනතට විරුද්ධත්වය පළකරමින් මෙම වර්ජනය සංවිධානය කළෝය. බදාදා වනවිට මෙම වර්ජන සම්බන්ධ දැඩි මහජන විරෝධයක් මතු වූ අතර සමාජ මාධ්‍ය තුළ වර්ජකයන් ඉලක්ක කරගත් කැළඹීමක් නිර්මාණය වී තිබුණි. ආණ්ඩුවේද ප්‍රමුඛ අවධානය මෙම වර්ජය සම්බන්ධ යොමුවිය.

බදාදා රාත්‍රියේ නවයත් දහයත් අතර මොහොතක විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් යන අයට ජනාධිපතිගෙන් දුරකථන ඇමතුමක් ලැබී ඇතැයි කියැවේ. දේශපාලන ආරංචි මාර්ග අනුව මේ මොහොතේ සමස්ත රටම  අපහසුතාවට පත්වී ඇති බවත් ජනතාව දැඩි පීඩනයකින් සිටින බවත් ජනාධිපතිවරයා ඔහුට සිහිපත් කර දී තිබේ. කරුණාකරලා මේ වර්ජනය නවත්වන්න යැයිද ජනපති පවසා ඇති බව කියැවේ.

කරුණාකරලා මේක නවත්තන්න, මේ පොඩි දෙයක්නේ. පුනර්ජනනීය බලශක්තිය වැඩි දියුණු කිරීමට ආයෝජකයකුට එන්න කියලා තිබෙනවා. අපිට මේක කරන්න ඩොලර් තියනවාද? අපිට කන්නත් ඩොලර් නෑ. ඒක නිසා මේකට බාධා කරන්න එපා...

ජනාධිපතිවරයා මෙවන් අදහසක් පළකර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේවෙතත් මේ වනවිටද දැඩි මහජන විරෝධතාවක් විදුලි ඉංජිනේරුවන් වෙත එල්ල වී තිබුණි. ඔවුන්ගේ නම් ගම් දුරකථන අංක ලිපින පවා ඇතැමෙක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි. තත්ත්වය ඉතා නරක අතට හැරෙමින් තිබූ අතර සර්ව පාක්ෂික අරගලකරුවෝද වර්ජන සම්බන්ධ විය විරෝධය පළකළෝය.

මේ අතර ජනාධිපතිගේ ඉල්ලීමත්, මෙම සේවය අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කිරීමත් සමඟ තාවකාලිකව වර්ජනය අතහරින බව එම සංගමය අවසානයේ ප්‍රකාශය කළේය. අදාළ සංගමය ඒ බව ජනපතිට දන්වා තිබුණි. එහෙත් බ්‍රහස්පතින්දා උදෑසන දිවයින පුරා විදුලි බිඳවැටීමක් සිදුවූයේ ජනතාව කෝප ගන්වමිනි.

මේ අතර බ්‍රහස්පතින්දා විදුලිබල පනත පාර්ලිමේන්තුව ගෙන ඒමද එකම අලකලංචියක් විය. ඇමැති කාංචන විජේසේකර පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඊට ජනාධිපතිවරයා එකතු කරන ලෙස කී සංශෝධන කිහිපයක් එකතු වී නොතිබුණ බව කියැවුණි. එසේම විපක්ෂයෙන් ඉදිරිපත් වූ සංශෝධනයද පනතට ඇතුළත් නොවුණි. ඒ අනුව පනත සම්මත කර ගැනීමට සූදානම් වන අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේම පිරිසක්ද ඊට යම් විරෝධයක් පෑහ. රමේෂ් පතිරණ, මහින්දානන්ද අලුත්ගමගේ යන ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් ඒ අතරින් කැපී පෙනුණි.

මේක දැන් කරන්න එපා. වෘත්තීය සමීති එක්ක ජනාධිපතිතුමා කතාකරලා එකඟතාවකට ඇවිල්ලා ඉන්නේ. මේක කල්දාන්න.

මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රමුඛ කරගත් පිරිසේ ඉල්ලීම එය විය. කෙසේ වෙතත් කාංචන විජේසේකර ඇමැතිවරයාගේ සහායට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු ඉදිරියට පැමිණියෝය. මෙය විදුලි මාෆියාව බිඳදැමීට හොඳ අවස්ථාවක් බව ඔවුහු කීහ. පනත සම්මත කර ගැනීමට ඔවුහු ඇමතිවරයාට සහාය පළ කළහ. ඒ සමඟ වාද විවාද රැසක් ඇතිවිය. විපක්ෂයේ සංශෝධනය නොතකා හැරීම නිසාවෙන් ඔවුහුද මීට විරුද්ධ වූහ. මේ හරහා තවත් විදුලි මාෆියාවක් නිර්මාණය වන බව විමල් ඇතුළු පිරිස කීහ.

කාංචන විජේසේකර ඇමතිවරයා මෙහිදී විදුලි මාෆියාව සම්බන්ධ කතා කළේය.

විදුලිය සම්බන්ධයෙන් රට තුළ පවතින මාෆියාව අවසන් කරමින් ක්ෂේත්‍රයේ වෙනසක් කිරීමේ අරමුණෙන් අමාත්‍යාංශය භාර ගත්තා. විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් කර තිබියදීත් කප්පාදු කිරීමට ඇතැම් ත්‍රස්තවාදී කොටස් කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරමින් ජනතාවගේ මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට අවශ්‍ය පූර්ණ සහාය රජයෙන් දෙනවා.

කෙසේ හෝ අවසානයේ ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්ද 84කින් සම්මත විය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 120ක් සහ විරුද්ධව ඡන්ද 36ක් ලැබිණි. 13 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ඡන්දය දීමෙන් වැළකී සිටි පිරිස අතර විමල් උදය කණ්ඩායම සහ ටිරාන් අලස් ඇමතිවරයාද වූයේය.

මෙම ඡන්ද විමසීම් සිදුවන අවස්ථාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් 90 දෙනාගෙන් පාර්ලිමේන්තුවේ සිටියේ මන්ත්‍රීවරු 58 දෙනකු පමණි. විපක්ෂයේ දමිළ පක්ෂවල උතුරු නැගෙනහිර දමිළ මන්ත්‍රීවරුන් මෙන්ම විපක්ෂයේ වතුකරේ දමිළ මන්ත්‍රීවරුන්ද ඡන්ද විමසීමට නොපැමිණීම සුවිශේෂී තත්ත්වයක් විය. ඒ සමඟම මෙම පනත හරහා ක්‍රියාත්මක වීමත් සමඟ පිරිනැමෙන ප්‍රධාන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමාගමට ලැබෙන බවද බොහෝ දෙනකුට සිහිපත් විය.

මේ අතර බැසිල් රාජපක්ෂ වෙනුවට පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත සිටි ව්‍යාපාරික ධම්මික පෙරේරාට හටද ගැටලු කිහිපයක් මතුව වූයේය. ඔහුගේ නීතීඥයන් ඔහුට පවසා තිබුණේ ඔහු විශාල ව්‍යාපාර ජාලයක හිමිකරුවෙක් වීමත්, කොටස් හිමියකු වීමත්, ඔහුට අයත් ආයතනවලට රාජ්‍ය සමඟ ගනුදෙනු තිබීමත් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධ නීතිමය ගැටලු ඇතිවිය හැකි බවකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සතු ව්‍යාපාරවලට රජය සමඟ ව්‍යාපාර කිරීමට නොහැකිය බවට වන නීතිමය තර්කයක් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට බඳුන් වී ඇතැයි කියැවේ.

ව්‍යාපාරික ධම්මික පෙරේරා මේ පිළිබඳ සොයා බලා සිය අවසාන තීන්දුව සිකුරාදා වනවිට ලබාදීමට කටයුතු කරන බව කියැවුණි. තමා ඇමැතිකමක් ලබාගෙන ව්‍යාපාරවලින් ඉවත්වීමට සූදානම් නොමැති බවත් තමාගේ ප්‍රධාන ආදායම් මාර්ගය ව්‍යාපාර බවත් ධම්මික පෙරේරා පවසා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. එහෙත් අවසන් මොහොතේ ඔහු තනතුර භාර ගැනීමට එකඟ විය. මෙම සාකච්ඡාව අතරේම ඉකුත් බ්‍රහස්පතින්දා වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තාක්ෂණය සහ ආයෝජන ප්‍රවර්ධනය නමින් නව අමාත්‍යාංශයක් ස්ථාපිත කිරීමට කටයුතු කළේය.

මේ සමඟම කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය නමින්ද අමාත්‍යාංශයක් ජනාධිපතිවරයා ගැසට් කර තිබුණි. මෙම අමාත්‍යාංශය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලබාදීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. තාක්ෂණය සහ ආයෝජන අමාත්‍යාංශය ධම්මික පෙරේරා මහතාහට ලබාදීමට ජනාධිපති සූදානමින් සිටියේය. සිකුරාදා වනවිටත් මේ සම්බන්ධව කටයුතු සූදානම් වෙමින් පැවතුණි.

මේ අතර සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පිළිබඳවද විවිධාකාර ආරංචි දේශපාලන කරළියේ පැතිර ගියේය. ඔහුද පාඨලී චම්පික මෙන් ස්වාධීන වීමට යන බව ඇතැමෙක් කීය. තවත් එක් ආරංචියකට අනුව කියැවුණේ ඔහු නැවත වතාවක් විශ්‍රාමික හමුදා නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් සම්බන්ධ කරගනිමින් පක්ෂයක් නිර්මාණය කිරීමට සැරසෙන බවකි. සජිත්ට වඩා ෆොන්සේකා හොඳ බව සමගි ජනබලවේගයේ පාක්ෂිකයන් පිරිසක් සමාජ මාධ්‍ය තුළ හඬ නගමින් සිටීමද මේ අතර කැපී පෙනුණි.

ඉකුත් සතියේ රංජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීම සඳහා බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශයක්ද සිදුකොට තිබුණි. සිරදඬුවම් විඳින රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාවක් හිමිවිය යුතු බව ඔහු සඳහන් කළේය. එසේම එහිදී ෆොන්සේකා මහතා කියා සිටියේ මේ මොහොතේ පවා රාජපක්ෂවරුන් විවිධ උපක්‍රම යොදමින් සිය දේශපාලන ගමන ඉදිරියට ගෙන යාමට සැලසුම් කරමින් සිටින බවකි. ප්‍රබල ව්‍යාපාරිකයකු දේශපාලනයට ගෙන එන බව කියන්නේද ඒ අරමුණින් බවද ඔහු සඳහන් කළේය.

ඒ අතර ඉකුත් සතියේ තරමක වෙනස් කටයුතු කිහිපයකටම මුල පිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළේය. ඒ අනුව පවතින ආහාර හිඟයට පිළියමක් වශයෙන් ගම් මට්ටමින් ප්‍රජා ගොවිපොළවල් නිර්මාණය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කොට ඇති බව කියැවුණි. මීට අමතරව ගැබිණි මව්වරුන්ට සහ දරුවන්ට ආහාර සැපයීමේ වැඩපිළිවෙළක්ද ආරම්භ කළ බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේය. එසේම රෝහල්වලට අත්‍යවශ්‍ය ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙළක්ද පක්ෂය විසින් ‌සකස් කොට ඇති බවද ජවිපෙ කියා සිටී.

මේ අතර ශ්‍රීලනිප දෙසින්ද විවිධ ආරංචි ගලා ආවේය. ආණ්ඩුවට එක්ව අමාත්‍ය ධූරයක් භාරගැනීම නිසා නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු කණ්ඩායම පක්ෂයේ සියලු තනතුරුවලින් නෙරපා හැරීමට ශ්‍රීලනිපය තීරණය කර තිබිණි. එහෙත් නිමල් සිරිපාල ද සිල්වා මහතා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර සිටියේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව තමන්ව එසේ තනතුරුවලින් ඉවත්කිරීමේ බලයක් පක්ෂ සභාපතිවරයාට, ලේකම්වරයාට හෝ මධ්‍යම කාරක සභාවට නොමැති බවකි.

ඒ අනුව ඉකුත් සතියේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය අත්හිටුවමින් අධිකරණ නියෝගයක් නිකුත් කළේය. ඒ අනුව කොළඹ දිසා අධිකරණය නියෝග කර ඇත්තේ නිමල් සිරිපාල ද සිල්වා මහතාව ශ්‍රීලනිප තනතුරුවලින් ඉවත් කිරීමේ තීරණය ජූනි 20 වැනිදා දක්වා අත්හිටුවීමටයි.

උද්ගත වූ මෙම තත්ත්වය මත පසුගිය සතියේ ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර පෞද්ගලික හමුව පැවති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා ඔබතුමාව සහ අමරවීරව මම තනතුරුවලින් ඉවත් කරන්නේ නෑ යනුවෙන් පවසා ඇතැයිද දේශපාලන ආරංචි ඔස්සේ දැනගන්නට ලැබේ. කෙසේ වෙතත් එම පොරොන්දුව ලිඛිතව ලබාදෙන ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉල්ලා ඇතැයි ද කියැවේ. මෙම හමුව සඳහා දයාසිරි ජයසේකර මහතාට මෛත්‍රීපාල සිරිසේන මහතා ආරාධනා කර ඇතත් ඔහු ඊට සහභාගි නොවූ බවද දේශපාලන ආරංචි මාර්ග හෙළිකරයි.

■ චමිඳු නිසල් ද සිල්වා