2022 මැයි 15 වන ඉරිදා

අගමැති සටනේ නොකියවුණු කතාව

 2022 මැයි 15 වන ඉරිදා, පෙ.ව. 10:00 599

  • ආරක්ෂක රැකවල් මැද මහින්ද ත්‍රිමලේට
  • ඩයනා ගමගේ ගෙනා යෝජනාව
  • සජිත්ගේ ප්‍රතිචාරය ආසයි බයයිලු
  • රනිල් බහුතරය හදාගත් හැටි
  • රනිල් තමයි සුදුස්සා: නිමල් සිරිපාල කියයි
  • ඕමල්පේ හිමි - කාදිනල් හිමි රනිල්ට විරුද්ධ වෙති
  • පක්ෂනායක රැස්වීමට පොහොට්ටුවෙන් අලි සබ්‍රි - දිනේෂ් පමණයි
  • සුමන්තිරන්ගෙන් දැඩි විවේචනයක්

ගෙවී ගියේ කටුගා දැමිය නොහැකි විරූපී පරිච්ඡේදයක් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ලියැවුණු සතියකි. අවසානයේ කලක පටන් දුම් වලා නංවමින් විදාරණය වෙමින් පැවති ඒ මහා ගිනි කන්ද ඉකුත් සඳුදා පුපුරා ගියේය. ලෝදිය ගලා ගිය මහ පොළොව තවමත් ගිනියම්ය. දසත පැතිර ඇති දුහුලි වලා හේතුවෙන් සියල්ල තවමත් අපැහැදිලිය.

සිදුවූ බොහෝ දෑ පිළිබඳ රටම දන්නා නිසා අගමැති ඉවත්වීමේ සිය නව අගමැති පත්කිරීම දක්වා දේශපාලන කරළියේ සිදුවූ දෑ පිළිබඳ යටගියාව අපි අවදි කරමු. තීරණාත්මක සඳුදා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේය. රටපුරා කුපිත කරවූ අරගලය කෝලහලයක් දක්වා ඇවිලී ගිය මේ රැයේ පිරිසක් අරලියගහ මන්දිරය වට කොට සිටියහ. ඉල්ලා අස් වූ අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයේ රැඳී සිටියේය. මේ අතර කුපිත වූ විරෝධතාකරුවෝ අරලිය මන්දිරයේ පිවිසුමක් පවා ගිනිබත් කොට කලහකාරී ලෙස හැසිරෙන්නට පටන් ගත්හ. හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් තර්ජනයක් මතු විය.

මෙම ස්ථානයේ විරෝධතාකරුවන් විසුරුවා හැරීම සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීමට බලධාරීන්ට සිදුවිය. ඒ අනුව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකගේ සහ ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සහ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත පිරිස විසුරුවා හැරීමේ නියෝගය ලැබුණි. ඒ අනුව  අරලියගහ මන්දිරය ඉදිරිපිට රුස්ව සිටි විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ප්‍රහාර එල්ල කොට අහසට වෙඩි තබා ඔවුන් විසුරුවා හැරීමට ආරක්ෂක අංශ කටයුතු කළේය. පිරිස ඉවත්ව යාමත් සමඟ පාන්දර හතරට පමණ ආරක්ෂාව තකා  හිටපු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙලිකොප්ටරයකින් මගින් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට පිටත් කිරීමට ආරක්ෂක අංශ සමත් විය.

නාවික හමුදා කඳවුරේ ආරක්ෂාව සහිතව හිටපු අග්‍රාමාත්‍යවරයා සිටින අතරතුර ඔහුට හිතවත් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් ඔහුව අමතා ඇතැයි කියැවේ. තොරතුරු අනාවරණය වන පරිදි මහින්ද රාජපක්ෂ මහතාට අවැසි උපකාරය කුමක්ද යන්න ඔවුන් විමසා තිබේ. මෙහිදී රටින් පිටව යෑම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාව ඔහු පෞද්ගලිකව ප්‍රතික්ෂේප කර ඇතැයි කියැවේ. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රැඳී සිටින බව ආරංචි වූ විරෝධතාකරුවන් පිරිසක් කඳවුර ඉදිරිපිටට පැමිණ සිය විරෝධය පළ කරන්නට වූහ. පසුව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කර සිටියේ හිටපු අග්‍රාමාත්‍යවරයා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සුරක්ෂිතව රුඳී සිටින බවයි.

මේ අතර හිස් වූ අග්‍රාමාත්‍ය ධූරයට සුදුස්සකු කඩිනමින් පත්කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇතිවිය. මේ වන විටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආණ්ඩුව භාරගැනීම සඳහා ජනපති පාර්ශ්වයෙන් ආරාධනා ලැබී තිබුණි. එහෙත් ඔහුගෙන් ඊට සාධනීය ප්‍රතිචාරයක් නොවුණි. ඒ අනුව පළමුව අග්‍රාමාත්‍ය ධූරය සඳහා යෝජනා වී තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නමයි. දේශපාලන ආරංචි මාර්ග අනුව මෙම යෝජනාව ජනපති වෙත රුගෙනවිත් තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ඇතුළු පාර්ශ්වයකි. ඇගේ ස්වාමියා වන මේජර් සේනක ද සිල්වා සරත් ෆොන්සේකා මහතාගේ පෞද්ගලික ලේකම්වරයකු ලෙස කටයුතු කළ සමීපතමයකු වීම ඊට හේතුව විය.

කෙසේ වෙතත් මේ වන විට ද රටේ නීතිය හා සාමය සම්බන්ධ කරුණුවලදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යම් සුහදතාවයක් පවත්වා ඇති බවක් ද දේශපාලන ආරංචි අනුව කියවුණි. ඒ අනුව රට පුරා මතුවෙමින් තිබු කලහකාරී තත්ත්වය ද හේතු කොටගෙන අවසානයේ ජනාධිපතිවරයා සරත් ෆොන්සේකා මහතා සමඟ සාකච්ඡා කර ඇතැයි තොරතුරු වාර්තා වේ. ඉකුත් බදාදා ජනාධිපති මන්දිරයේදී මෙම සාකච්ඡාව සිදුව ඇතැයි කියැවේ. මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා ෆොන්සේකා මහතාට පාර්ලිමේන්තු බහුතරය නිර්මාණය කරගත හැකිදැයි විමසා ඇතැයි අසන්නට ලැබුණි.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාව පිළිබඳ තතු හෙළිවීමත් සමඟ ඉකුත් බ්‍රහස්පතින්දා සරත් ෆොන්සේකා මහතා විශේෂ නිවේදනයක් නිකුත් කළේය. මම කිසිවිටෙකත් ගාලුමුවදොර අරගලකරුවන් සමඟ සාකච්ඡාවකින් තොරව රාජපක්ෂලාගේ අර්බුදය විසඳීමේ කොටස්කරුවකු නොවෙමි යනුවෙන් ඔහු එහි සඳහන් කොට තිබුණි. කෙසේ වෙතත් සරත් ෆොන්සේකා මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා දීමේ සූදානමක් ඇතැයි වූ ආරංචිය සමඟ පොදුජන පෙරමුණට සම්බන්ධ විවිධ පාර්ශ්ව විරෝධතා ගොනු කර තිබූ බවට ද තොරතුරු වාර්තා විය.

මේ අතර ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම නිමල් සිරිපාල අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අග්‍රාමාත්‍ය ධූරය සඳහා යෝජනා කර සිටියහ. ජනපතිගේ අවධානය ඒ වෙත යොමුව තිබුණි. කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත සිදු කරනු ලැබූ ආරාධනය සම්බන්ධව ද තවදුරටත් සාකච්ඡා සිදු විය. මේ සම්බන්ධව සජබ මන්ත්‍රී කණ්ඩායමක් ජනපති සමඟ සාකච්ඡා කළේය. එහෙත් ජනාධිපතිවරයා ඉවත් විය යුතුය යන දැඩි කොන්දේසියේ දිගින් දිගටම  සමගි ජන බලවේගයේ නායකත්වය රැඳී සිටියේය.

මේ අතර තවත් දේශපාලන ආරංචිවලට අනුව කියැවුණේ මෙදින සවස් වරුවේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන්  ජනපතිට දුරකථන ඇමතුමක් ලැබුණු බවකි. "මට පුළුවන් ආණ්ඩුවක් ෆෝම් කරන්න" යනුවෙන් හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ජනපතිට පවසා ඇතැයි කියැවුණි. මේ වන විටත් විපක්ෂය ලෙස ගත යුතු තීරණය පිළිබඳ සමගි ජන බලවේගය හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර, හර්ෂ ද සිල්වා, පාඨලී චම්පික රණවක ආදී මන්ත්‍රී කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කරමින් සිටි බවද දේශපාලන ආරංචි මාර්ග අනුව හෙළිදරව් කළේය.

ජනපතිට ඉවත් වන ලෙස දැඩි කොන්දේසි දමමින් ආණ්ඩුව භාර නොගෙන සිටීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උත්සාහ කරන්නේ යැයි සැකයක් සමගි ජන බලවේගයේම පිරිසක් තුළ නිර්මාණය වී තිබූ බව පැහැදිලි විය. බදාදා දින සිදු වූ අභ්‍යන්තර සාකච්ඡාවකින් පසුව එළියට පැමිණි හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශයෙන් එය තහවුරු විය. "විපක්ෂ නායකවරයා අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට ආසයි බයයි." යැයි හරීන් ප්‍රනාන්දු පැවසීය.

ඒ අනුව මෙම සජබ මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායකවරයා හමුවේ පැහැදිලිවම සඳහන් කර ඇත්තේ පක්ෂයක් ලෙස මේ මොහොතේ අභියෝගය භාරගැනීමට සූදානම් විය යුතු බවයි. පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වැනි ජ්‍යෙෂ්ඨයන් පවා අභියෝගය භාරගත යුතු යැයි පැවසූ බව කියැවේ. කෙසේ වෙතත් සිය ස්ථාවරයේ වෙනසක් සිදුකිරීමට විපක්ෂ නායකවරයා මැලි විය. ඒ අනුව සමගි ජන බලවේගයේ ද පැහැදිලි බෙදීමක ලකුණු පෙනී ගියේය.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසා ඇත්තේ ආණ්ඩුවක් පිහිටුවීමට බහුතර බලය ඔහු සතුව ඇද්ද යන්න පිළිබඳවයි. ඒ අනුව බහුතරය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා බදාදා දිනයේ දී රනිල් වික්‍රමසිංහ සහ ජනපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් සිදුවිය. මිනිත්තු 45ක පමණ සාකච්ඡාවක් දෙදෙනා අතර සිදුව ඇතැයි කියැවේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් ද රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයට පත්වීම සම්බන්ධව යම් කැමැත්තක් පළකර ඇතැයි මෙහිදී හෙළිවිය.

දේශපාලන ආරංචි අනුව පිරිස අයත් වූයේ තවදුරටත් පොදුජන පෙරමුණ සමඟ රුඳී සිටින සියයක් පමණ වන මන්ත්‍රී කණ්ඩායමටයි. එම පිරිස ස්වාධීන වූවන්ගෙන් අයකුට අග්‍රාමාත්‍ය ධූරය ලබාදීම සම්බන්ධව දැඩි අකැමැත්තක් පළ කරන්නෝ වූහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතමයා වන නිමල් සිරිපාල ද සිල්වා මහතා නොමැති නම් අග්‍රමාත්‍ය ධූරය සඳහා සුදුස්සා රනිල් වික්‍රමසිංහ මහතා බව මෙම පිරිස සඳහන් කළ බව ද වාර්තා විය. ඒ අනුව ස්වාධීන වූ විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමට තමන්ගේ කිසිදු සහයෝගයක් නොලැබෙන බවත් එම පිරිස ඡන්ද පදනමක් නොමැති ඇතැමුන්ට ඇමැතිකම් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් කුමන්ත්‍රණ කරන බවත් පොහොට්ටුවේ ශේෂ වූ මෙම මන්ත්‍රීහු කීහ.

මේ අතර බැලූ බැල්මටම පෙනී ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත සහයෝගය පළ කරන බවකි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර වැනි අයගේ ප්‍රකාශ අනුව එය පැහැදිලි විය. එහෙත් ශ්‍රීලනිප අභ්‍යන්තරයේ ද අර්බුදයක් හටගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 12 කි. අභ්‍යන්තර ආරංචි අනුව රනිල් වික්‍රමසිංහ විරෝධීන් වූ පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු හතර පස් දෙනකු සජිත් ප්‍රේමදාස කෙරෙහි විශ්වාසය තබා තිබුණි. එහෙත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරය භාරගැනීම සම්බන්ධව මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න වැනි සෙසු පිරිස් තුළ විරෝධතාවක් නොවුණි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නම අග්‍රාමාත්‍ය ධූරයට යෝජනා වීමත් සමඟ ශ්‍රීලනිප කණ්ඩායම සහ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කණ්ඩායම ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ නිවෙසේ දී සාකච්ඡාවක් පවත්වා තිබුණි. මෙහිදී පිරිස අතරින් යෝජනා වූයේ නිමල් සිරිපාල ද සිල්වා මහතා අග්‍රාමාත්‍ය ධූරය භාරගත යුතු බවකි. එම යෝජනාවත් සමඟ නැගී සිටි නිමල් සිරිපාල ද සිල්වා මහතා ජ්‍යෙෂ්ඨත්වය අනුව අග්‍රාමාත්‍ය ධූරය භාරගැනීමේ අයිතිය තමා සතු වුවද මේ මොහොතේ අග්‍රාමාත්‍ය ධූරය භාරගැනීමට තමන්ට නොහැකි බව කියා සිටියේය. ඔහු ඊට හේතුද පැහැදිලි කළේය.

මෙහිදී තරමක් ආවේගශීලී වූ හෙතෙම මේ මොහොතේ රට කිරීමට නම් රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධූරය ලබා දිය යුතු යැයි ද පවසා තිබේ. ජාත්‍යන්තරය සමඟ කතාබහ කොට ප්‍රශ්නය විසඳාගැනීමට සමත් එකම පුද්ගලයා වික්‍රමසිංහ බවත් නිකරුණේ විවිධ නම් යෝජනා කරමින් කල් මැරීමෙන් පලක් නොවන බවත් ඔහු ආවේගයෙන් පැහැදිලි කර ඇත. එසේම දේශපාලනය පිළිබඳ නොව මේ මොහොතේ දී සියලු දෙනාම රට පිළිබඳ සිතිය යුතු බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා පිරිස හමුවේ පවසා තිබිණි. 

කෙසේ වෙතත් මෙම සාකච්ඡාව පිළිබඳව ලැබෙන දේශපාලන ආරංචි අනුව විමල් වීරවංශ, ගෙවිඳු කුමාරතුංග, ටිරාන් අලස් සහ අතුරලියේ රතන හිමි සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබා දිය යුතුය යන ස්ථාවරයක සිටි බව කියැවේ. එහෙත් රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධූරය ලබාදීම සම්බන්ධව සෙසු පිරිස අතරින් බොහෝ දෙනකු විරෝධය පළ කොට නොමැත. මෙම තත්ත්වය මත ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තුළ ද යම් බෙදීමක් ඇති වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

මෙම සාකච්ඡාව පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකු වන මහින්ද අමරවීර මහතා ගෙන්වා තොරතුරු විමසා තිබේ. පසුගිය ආණ්ඩු සමයේ දී රනිල් වික්‍රමසිංහ සමඟ තමන් ඇතුළු පිරිසට ප්‍රශ්න තිබුණද මේ මොහොතේ දී රට බේරාගැනීමේ අරමුණෙන් ඔහු වෙත අග්‍රාමාත්‍ය ධූරය ලබාදීම සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බව ඔහු පවසා ඇතැයි කියැවේ. අර්බුදකාරී වාතාවරණය මත අග්‍රාමාත්‍ය ධූරය භාරගන්නා පුද්ගලයා කවරකු වුවත් ඔහු ජාත්‍යන්තර සුහදතා සහිතව ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීමට හැකි පුද්ගලයකු විය යුතු යැයිද අමරවීර මහතා ජනපතිට පැහැදිලි කර තිබේ.

මේ අනුව ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් වෙතින් පැමිණි  නිමල් සිරිපාල ද සිල්වා, ඩලස් අලහප්පෙරුම, අනුර ප්‍රියදර්ශන යාපා වැනි අයගේ නම් අග්‍රාමාත්‍ය ධූරය සඳහා සලකා නොබලන තත්ත්වයක් උදා විය. රනිල් වික්‍රමසිංහ පත් කිරීම සම්බන්ධව ස්වාධීන වූ පිරිසේ නාමයෝජනා හිමිවූ සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා වැන්නෝ ද යම් එකඟතාවයකට පැමිණෙමින් සිටියහ. රනිල් වික්‍රමසිංහ මහතා තමන් හට ස්වාධීන කණ්ඩායමකගේ මෙන්ම පොහොට්ටුවේ ස්වාධීන වූ කණ්ඩායමේ කොටසකගේද සහාය ලැබෙන බව දැන සිටියේය. පොදුජන පෙරමුණේ ශේෂ වූ පිරිස්වලින් ද ඔහුට විරෝධයක් නොවුණි. දෙමළ ජාතික සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණෙන් ද ඔහු වෙත විශාල විරෝධයක් එල්ල නොවෙතැයි වික්‍රමසිංහ මහතා විශ්වාස කළේය.

දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ මහ බැංකු අධිපතිවරයා සිදුකරනු ලැබූ ප්‍රකාශය වෙතද සියලුදෙනාගේම අවධානයට යොමු විය. සතියක් හෝ දෙකක් තුළ දේශපාලන ස්ථාවරයක් ඇති නොවන්නේ නම්, තමා ධුරයේ රුඳී නොසිටින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. ඔහු අවධාරණය කළේ, සියලු දේශපාලන පක්ෂ එකතු වී රට ස්ථාවර කිරීමට කටයුතු නොකරන්නේ නම්, තමන්ට පමණක් නොව කිසිවකුට රට ගොඩගැනීමට නොහැකි බවයි. එසේම මෙරට දේශපාලනය අස්ථාවර වීමේ පළමු සිද්ධිය මිරිහානේ වූ සිදුවීම බවත් තමන් මහ බැංකු අධිපති ධුරයට භාර ගැනීමට කැමැත්ත පළ කළේ ඊට පෙර බවත් ඔහු සඳහන් කළේය.

මහජන නියෝජිතයන් අතරින් සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමකගේ සහ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ කිහිපදෙනකු හැරෙන්නට රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම සම්බන්ධව සෙසු මහජන නියෝජිතයන්ගෙන් විරෝධයක් ගොනු වී නොතිබුණි. එහෙත් ඕමල්පේ සෝභිත හිමි සහ කාදිනල්තුමා ඇතුළු කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ පත් කිරීමට එරෙහිව විශාල බලපෑමක් එල්ල කරන්නට වූහ. පැතිර ගිය දේශපාලන ආරංචියකට අනුව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයට පත් නොකරන ලෙස මෙම පිරිස් වෙතින් ජනපතිට ඉල්ලීම්ද ඉදිරිපත් වී තිබේ. කෙසේ වෙතත් තමන් වෙත බහුතර බලය රඳවා ගැනීමට හැකි බව රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාස කළෙන් ජනපතිද ඔහුව අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීම සඳහා එකඟ විය.

මේ වනවිට සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය අග්‍රාමාත්‍ය ධූරය භාරගැනීම සඳහා ජනපතිට කොන්දේසි දමා තිබුණි. ඔවුන් දෙපිරිසගේම පළමු කොන්දේසිය වූයේ ජනපතිගේ ඉවත් වීමයි. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ ජනපති ඉවත් වී අනුප්‍රාප්තිකයා ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පත් වූ පසුව තමා ආණ්ඩුව භාර ගැනීමට සූදානම් බවයි. කෙසේ වෙතත් ඉකුත් බ්‍රහස්පතින්දා වනවිට ස්ථිර ලෙසම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දෙන බව සමගි ජනබලවේගයට දැනගන්නට ලැබී තිබුණි. ඒ හේතුවෙන් හදිසියේ පක්ෂයේ සියලුදෙනා තමන් හමුවට කැඳවන්නට විපක්ෂනායකවරයා උත්සුක විය.

කලහකාරී සිදුවීම ආරම්භ වීමත් සමගම පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළේය. රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පාර්ලිමේන්තුව මේ මොහොතේදී වහාම කැඳවීම වැදගත් බව කථානායකවරයා ජනාධිපතිවරයාට පෙන්වා දී ඇතැයි වාර්තා වුණි. මේ අතර බදාදා පක්ෂ නායක රුස්වීමක් කැඳවීමටද ඔහු කටයුතු සූදානම් කළේය.

මේ වනවිටත් බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිය නිවාස හැරගොස් ආරක්ෂිත ස්ථානවල රුඳී උන්හ. ආරක්ෂාව තහවුරු වනතුරු පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි බව එම පිරිස් කතානායකවරයාට දන්වා තිබුණි. එම තත්ත්වය යටතේ නැවතත් කතානායකවරයා පවසා සිටියේ පාර්ලිමේන්තු විශේෂ සැසිවාරයක් කැඳවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කළ පසුව පමණක් බවයි. පක්ෂ නායක රුස්වීමද අවලංගු කරන බව මුලදී පැවසුණු නමුත් සූම් තාක්ෂණ ඔස්සේ පසුව එය පැවැත්වුණි. තොරතුරු වාර්තා වූ පරිදි පළමු දිනයේදී පක්ෂ නායක රුස්වීමට පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සහභාගි වී තිබුණේ දිනේෂ් ගුණවර්ධන මහතා සහ අලි සබ්‍රි මහතා පමණි. පසුව පැවති පක්ෂ නායක රුස්වීමට පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කිසිවෙක් සහභාගී නොවූ බවද මාධ්‍ය වාර්තා කළේය.

බ්‍රහස්පතින්දා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිය කොන්දේසි තරමක් ලිහිල් කරමින් නැවතත් ජනපති වෙත ලිපියක් යැවීමට කටයුතු කළේය. ඒ වනවිටත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට සියලු කටයුතු සූදානම් කොට තිබුණි. ජනාධිපතිවරයා ඉවත්ව යන නිශ්චිත කාලයක් ප්‍රකාශයට පත්කිරීම, සති දෙකක් තුළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වන පරිදි නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම ආදී වූ කොන්දේසි ප්‍රේමදාස මහතාගේ ලිපියේ ඇතුළත් විය. මේ අතර සමගි ජනබලවේගය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීමේ සූදානම විවේචනය කළේය. රනිල් දැනටමත් ගෝ හෝම් වී ඇතැයි සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

ජාතික ජනබලවේගයද රනිල් වික්‍රමසිංහ පත්කිරීම අග්‍රාමාත්‍ය ධූරයට පත්කිරීම සම්බන්ධව විරෝධය ගොනු කරන්නට විය. අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීම ගැන තමන්ට කීමට ඇත්තේ තෙලෙන් බැද්දත් කොබෙයියා කිරෙන් බැද්දත් කොබෙයියා තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා බොල කොබෙයියා යනුවෙනු පමණක් බවයි. අපේ රටේ ජනතාව අපේක්ෂා කළේ මෙය නොවන බවත් කී ඒ මහතා ආණ්ඩුව භාර ගැනීමට සූදානම් බවට යෝජනාවලියක්ද තම පක්ෂය විසින් භාරදුන් බවත් කීවේය.

මේ සියල්ල සිදුවෙමින් පවතින අතරවාරයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මන්දිරයට පැමිණියේය. අවසානයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව අගමැතිවරයා වශයෙන් බ්‍රහස්පතින්දා පස්වරුවේ දිවුරුම් දුන්නේය. වැඩිම වාර ගණනක් අගමැති පදවියේ දිව්රුම් දෙමින් ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වාර්තාවක් තබා සිටින රනිල් වික්‍රමසිංහ මෙවර අගමැති ධුරයේ දිවුරුම් දුන්නේ 6 වැනි වරටය.

මේ අතර අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ආශීර්වාද ලබාගැනීම සඳහා හුණුපිටිය ගංගාරාමයට සහ කොල්ලුපිටිය වාලුකාරාමයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියේය. ඒ අවස්ථාවේදී මාධ්‍යවේදීහු ඔහුගෙන් අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීම පිළිබඳ කරුණු විමසා සිටියහ. රටේ ජනතාව මේ අවස්ථාවේ මුහුණ පා සිටින ආර්ථික අර්බුදයන්ට විසඳුම් ලබා දී ජනතාව විඳින පීඩාවන්ගෙන් මුදාගන්නා බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

මෙහිදී මාධ්‍ය අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියේ, බහුතරය පෙන්වන්නේ කෙසේද යන්නයි. ඊට පිළිතුරු දුන් අගමැතිවරයා කියා සිටියේ බහුතරය පෙන්වීමට අවශ්‍ය වූ විට එය පෙන්වන බවකි. ඒ අනුව මාධ්‍ය නැවත ප්‍රශ්න කළේ ආණ්ඩුවේ සහායෙන් බහුතරය පෙන්වන්නේද යන්නයි. ඊට පිළිතුරුදීම වෙනුවට මාධ්‍යයට ප්‍රශ්නය යොමුකරමින් අගමැතිවරයා විමසා සිටියේ මාධ්‍ය ජනතාව දුකෙන් මිදෙනවාට අකැමැතිද යන්නයි. ගෝඨාගෝගමට සිදුවන්නේ කුමක්දැයි කළ ප්‍රශ්න කිරීමේදී අගමැතිවරයා තවදුරටත් කියා සිටියේ අරගලය දිගින් දිගටම පැවතිය යුතු බවත් ගෝඨාගෝගමට කිසිවක් නොකරන බවය.

මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් යොමුකළ ලිපියට ප්‍රතිචාර දැක්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමතක නොකළේය. නව අන්තර්කාලීන රජයක අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස පළමුව ආරාධනා කළේ,විපක්ෂනායකවරයාට බව ජනපති පෙරළා ලිපියක් යොමු කරමින් පැවසීය. එහෙත් හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වන තුරුත් විපක්ෂ නායකවරයා ඊට ප්‍රතිචාරයක් ලබා නොදුන් බව ජනපති එහි සඳහන් කර තිබුණි.

ඒ අනුව අනෙකුත් පක්ෂ නායකයන් සමඟ පැවති සාකච්ඡාවේ ප්‍රතිපලයක් ලෙස අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීම සඳහා සුදුසුම පුද්ගලයා වන රනිල් වික්‍රමසිංහ මහතා ඊට පත්කළ බව ජනාධිපතිවරයා දන්වා තිබුණි. ජාතික අවශ්‍යතාවක් සේ සලකා සමගි ජනබලවේගයේ යම් පිරිසක් ඉදිරියේදී පත් කිරීමට නියමිත නව අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් කිරීමට එකඟවන්නේ නම් ඒ සම්බන්ධයෙන් නොපමාව තමා දැනුවත් කරන්නැයිද ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයාව මේ හරහා දැනුවත් කළේය.
කෙසේ වෙතත් සිකුරාදා වනවිට විපක්ෂයෙන් අපේක්ෂිත සහයෝගය නව අග්‍රාමාත්‍යවරයාට ලැබේද නොලැබේද යන්න පිළිබඳ සැක සංකා මතුවෙමින් තිබුණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සමගි ජනබලවේගයේ කිසිදු සහයක් හිමි නොවන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසා තිබුණි. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදෙනු ඇතැයි කියවුණු සමගි ජනබලවේගයේ ප්‍රබලයන් කිහිප දෙනකුගේ ප්‍රකාශ හරහාද පෙනී ගියේ රනිල් වික්‍රමසිංහ මහතාට ඔවුන් සහාය නොදෙන බවකි.

ජනතා පරමාධිපත්‍යට පයින් ගසා ආණ්ඩු කරන්න තමා එකතු නොවන බවත්, රාජපක්ෂ - රනිල් ආණ්ඩුව ගැටලුවට විසඳුමක් නොවන බවත් සමගි ජනබලවේගයේ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසීය. මේ අතර හර්ෂ ද සිල්වා මහතාද දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකර තිබුණි. තමා තනතුරු බාර නොගන්නේ ඇයිද යන්න ඔහු එහිදී එහිදී පැහැදිලි කළේය. ජනතාව ඉල්ලන්නේ මෙවැනි දේශපාලන ගේමක් නොවේ. පවුලක බලය රුක දීමට, ඔවුන්ගේ අනාගතය සුරුකීමට, බලයට කෑදර වූවන් පිනවීමට හදන ආණ්ඩුවක තනතුරු ලබාගැනීමට වඩා ගෙදර යන එක මට සැපයකි.* ඔහු එසේ සඳහන් කර තිබුණි.

මේ අතර දෙමළ සන්ධානයේ සහයෝගයද ගැටලු සහගත විය. ආරම්භයේදී ඔවුන්ගේ සහයෝගය වික්‍රමසිංහ මහතාට ලැබෙතැයි කියැවුණි. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා යනු ජනවරම අහිමි කරගත් ජනාධිපතිවරයකු බවත්, එවැනි ජනවරම අහිමි කරගත් අයකු කිසිදු ජනවරමක් නැති පුද්ගලයකු වූ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති බවට පත්කොට ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා කීය. ඔහු පෙන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ යනු අවම වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කොට පාර්ලිමේන්තුවට පවා පැමිණීමට නොහැකි වූ පුද්ගලයකු බවයි.

සිකුරාදා වනවිට අරගලයේ නියුතු පිරිස් සහ තවත් කණ්ඩායම් රුසක් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම සම්බන්ධව විවේචනාත්මක අදහස් දක්වමින් සිටියෝය. මේ අතර නව ආණ්ඩුවේ පළමු අමාත්‍යවරුන් දෙදෙනා දිවුරුම් දීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග අනුව දැනගන්නට ලැබුණි. මැයි මස 17 වැනිදා පාර්ලිමේන්තුව රුස්වීමට කටයුතු සූදානම් විය. එදිනට ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව විවාදයට ගැනීමට විපක්ෂය සූදානමින් පසුවූහ. නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස ඉමිතියාස් බාකීර් මාකර් මහතාව පත් කිරීමටද සමගි ජනබලවේගය සාකච්ඡා කරමින් සිටියේය.

 චමිඳු නිසල් ද සිල්වා