2022 අප්‍රේල් 24 වන ඉරිදා

වාසු මහින්දගෙන් රහසින් කළ ඉල්ලීම

 2022 අප්‍රේල් 24 වන ඉරිදා, පෙ.ව. 10:00 400

  • තනි තීන්දුවක් ගන්න බෑ - අගමැති මහින්ද
  • ආණ්ඩුවට බහුතරය අහිමි වෙයිද?
  • පොහොට්ටුවේ පිරිසකුත් ස්වාධීන වෙති?
  • 25 වැනිදාට පසු බල පෙරළියක්
  • වෙන්න යන දේ ගැන සජබ සීරුවෙන්
  • මැතිසබයේ කාගෙත් සුන්දරී

 

 

 

 

 

ආර්ථික දේශපාලන දුර්භික්ෂ කරා රට ගමන් කරමින් සිටීද? සියල්ලන්ගේ පැනය එයයි. ජනපති ගෙදර යැවීම, අන්තර්වාර අණ්ඩුවක් නිර්මාණය, නව ඇමතිවරු පත්කිරීම ආදී වූ සියගණන් දේශපාලන සංවාද අප අභිමුව තිබේ. ආර්ථික ගොඩගැනීම නම් අභියෝගය ඒ සියල්ලම ඉහළිනි. මෙවර උණුසුම් වී ඇත්තේ දේශපාලන කරළිය පමණක් නොවේ, ප්‍රේක්ෂකාගාරයද උණුසුම්ය. ජීවිත පවා අහිමි වෙමින් ඇත.

ගෝඨා ගෝ හෝම් සටන් පාඨය මේ මොහොතේ මහජන අරගලයේ ප්‍රමුඛ සටන් පාඨය වුවද දේශපාලන කරළියේ මාතෘකාව වී ඇත්තේ අන්තර්වාර ආණ්ඩුවයි. අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ සමස්ත කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීම, නව අන්තර්වාර පාලනයක් උදෙසා අග්‍රාමාත්‍යවරයකු තෝරා ගැනීම ආදී කරුණු දේශපාලන කරළියේ තිරය පිටුපස ගැඹුරු සාකච්ඡාවකට බඳුන් වේ. අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් පිළිබඳ පැන නගින යෝජනාව තරමක් ප්‍රබල යෝජනාවකි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉවත්විය යුතු යැයි ප්‍රකාශ කරනු ලබන කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතමයා වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාරය.

කෙසේවෙතත් වාසු සහ මහින්ද යනු සමකාලීන දේශපාලන මිතුරන් දෙදෙනෙකි. පාර්ලිමේන්තුවට එකම කාල පරාසයක් තුළ පැමිණි මෙම දෙදෙනා අතර දේශපාලනයෙන් එපිට ඉතා කුළුපග සම්බන්ධයක් ඇතිබව ප්‍රසිද්ධ රහසකි. පසුගියදා දේශපාලන කරළියේ තිරය පිටුපස මේ දෙදෙනා අතර වූ දුරකථන සංවාදයක් සම්බන්ධ කතාවක් අසන්නට ලැබුණි. ඉකුත් දිනෙක වාසුගෙන් මහින්ද රාජපක්ෂ හට මෙම දුරකථන ඇමතුම ලැබී ඇතැයි කියැවේ. සුහදව නිර්මාණය වූ මෙම සංවාදයේදී වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ අග්‍රාමාත්‍යවරයා විසින් වාසුදේව නානායක්කාරගෙන් විමසා ඇත.

දේශපාලන තත්ත්වය නම් හොඳ නෑ. ආණ්ඩුවට බහුතරය අහිමි වෙන්න යන්නේ. ඒ නිසා මහින්ද මම කියන්නේ බොහොම ආදරයෙන් ගෞරවයෙන් ඔයා ඉල්ලා අස්වෙන්න. වාසු මීට සමාන ප්‍රකාශයක් සිදුකරමින් සිය අදහස අග්‍රාමාත්‍යවරයා හමුවේ තබා ඇතැයි කියැවේ. කෙසේ වෙතත් එහිදී මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ ඒකේ ගැටලුවක් නෑ. ඔයගොල්ලෝ ඕනෑවෙලාවක බහුතරය පෙන්වනවා නම් මම ඉල්ලා අස්වෙන්න කැමතියි එවර මහින්ද රාජපක්ෂගෙන් ලැබුණේ එවැනි පිළිතුරකි.
ලැබී ඇති තොරතුරුවලට අනුව වාසු නැවත කරුණු පැහැදිලි කරන්නට උත්සාහ කර තිබේ. ඒක නෙවෙයි, දැන් මම කියන්නේ විශ්වාසභංග ගෙනැල්ලා බහුතරේ පෙන්නලා ඔයාට යන්න වුණොත්, ඔයා ලංකාවට වැඩක් කරපු කෙනෙක්, ඒකෙන් අගෞරවයක් සිද්ධ වෙනවා. ඊට කලින් ගෞරවය රැකගෙන ගියොත් තමා හොඳ? මෙය අසා සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වාසුදේව නානායක්කාර අමතා කියා ඇත්තේ එය තනිව තීරණය කළ නොහැකි බවයි. පක්ෂය සමඟ සාකච්ඡා කොට එවන් තීරණයක් ගතයුතු බව රාජපක්ෂ මහතා පවසා තිබේ.

මෙම දුරකථන සංවාද පිළිබඳ තිරය පිටුපස කතා තවත් දික් ඇදෙයි. මහින්ද අපි අවුරුදු පනස් පහක් යාළුවෝ. ඔයාට මම යම් යම් උපදෙස් දීලා තියෙනවා මගේ දැනුමේ හැටියට. ඔයාට දීපු එක උපදෙසක්වත් වැරදිලා නෑ නේද? වාසු අසා තිබේ. මෙහිදී මොහොතක් කල්පනා කර බැලූ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ ඔව්. වාසු කියපු දේවල් වැරදිලා නෑ යනුවෙන් සඳහන් කර ඇතැයි කියැවේ. එවර වාසු එහෙනම් මේ දේ පිළිගන්න. විශ්වාසභංග ගෙනැල්ලා කටයුතු කරනවාට වඩා කල්තබා ඉවත්වෙන එක හොඳයි. යනුවෙන් පවසා ඇත. මට නම් ඉවත්වෙන එකේ කිසි ගැටලුවක් නෑ. ආණ්ඩුවට වඩා විපක්ෂය මට පුරුදුයි. පක්ෂයට කතාකරලා තීරණයක් ගන්න ඕනෑ. මහින්ද රාජපක්ෂ මහතා කියා තිබේ.

මේ අතර ආණ්ඩුවට පක්ෂව තවදුරටත් පවතින එකසිය  දාහත් දෙනාගේ සරල බහුතර බලයද අභියෝගය ලක්වෙමින් ඇති බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. මෙම කණ්ඩායමෙන් දොළොස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක ක්‍රියාකාරීත්වය මත මෙම තත්ත්වය නිර්මාණය වී ඇතැයි කියැවේ. මෙම දොළොස් දෙනාගේ කණ්ඩායම පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට ලිපියක් භාරදුන්නේය. අන්තර්වාර පාලනයකට ආණ්ඩුව භාරදිය යුතු බව එම පිරිස මෙම ලිපියේ සඳහන් කොට තිබුණි. වසන්ත යාපා බණ්ඩාර, උදයන කිරිඳිගොඩ, කරුණාදාස කොඩිතුවක්කු, උපුල් ගලප්පත්ති ඇතුළු පිරිසක් මෙම දොළොස් දෙනාගේ කණ්ඩායමේ සිටින බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි. අග්‍රාමාත්‍යවරයා වෙතද සති අන්තය වනවිට මෙම දැනුම් දීම කිරීමට සූදානමක් තිබිණි. කාලීන විසඳුම වන අන්තර්වාර පාලනයට ඉඩ ලබාදීම සිදුනොකළහොත් තමන්ටද ස්වාධීන වීමට සිදුවන බව මෙම පිරිස අනතුරු ඇඟවීමක් සිදුකරන බව පෙනී යයි.

කෙසේ වෙතත් සිය මන්ත්‍රී කණ්ඩායම තම පක්ෂය තුළ ගොනුකර තබා ගැනීමේ මෙහෙයුමක්ද පොදුජන පෙරමුණ විසින් ක්‍රියාත්මක කර ඇතැයි දැනගන්නට ලැබේ. ඒ අනුව මෙම දොළොස් දෙනකුගෙන් යුත් කණ්ඩායමේ පස් දෙනකු සමඟ මේ මොහොත වනවිටත් පක්ෂය සාකච්ඡා කර ඇති බවද හෙළිදරව්වේ. කෙසේ වෙතත් සිය ඉල්ලීම ඉටු නොවන්නේ නම් සෙසු පිරිස ස්වාධීන වීමට සූදානමින් සිටිති. යම් හෙයකින් හත් දෙනකුගෙන් යුත් මෙම කණ්ඩායම ස්වාධීන වුවහොත් පොදුජන පෙරමුණ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ සරල බහුතරය අහිමි වේ. මෙම තත්ත්වය යටතේ සති අන්තය වනවිට වර්තමාන දේශපාලන අර්බුද තීරණාත්මක සංධිස්ථානයකට එළඹෙනු ඇතැයි පැහැදිලිය.

මේ වනවිටත් ස්වාධීන වී ඇති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම විසින් පාර්ලිමේන්තුවේ තීරක බලය සියතට ගෙන හසුරුවන බවද තිරය පිටුපස තොරතුරු අනුව පැහැදිලිය. ඉදිරි සතියේ අන්තර්වාර පාලනය ලබාගත හැකි බවට ඔවුන් පූර්ණ විශ්වාසයකින් පසුවන බව කියැවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුවන සාකච්ඡාවලට බාධාවන ලෙස සිය සැලසුම් ක්‍රියාත්මක නොකිරීමට ගතවූ දින කිහිපය තුළ දී ඔවුන් තීරණය කොට තිබුණි. යම් හෙයකින් ආණ්ඩුවට බලය අහිමි වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අර්බුද සමඟ සාකච්ඡා කරමින් සිටින මුදල් අමාත්‍ය අලි සබ්රිගේ තනතුරද අභියෝගයට ලක්වේ. එවන් තත්ත්වයක් තුළ සාකච්ඡා බිඳ වැටෙනු ඇත. සාකච්ඡා වට අවසන් වී අප්‍රේල් 25 වැනිදා මෙම පිරිස මෙරට පැමිණීමත් සමඟ බල පෙරළියක් හෝ බල හුවමාරුවක් සිදුවේ යැයි තිරය පිටු සාකච්ඡා අනුව පෙනී යයි.

අන්තර්වාර ආණ්ඩුවක අග්‍රාමාත්‍ය ධූරය හොබවන්නේ කවුරුන්ද යන්න පිළිබඳ සාකච්ඡා රුසක් පසුගිය සතියේ සිදුව ඇති බවට තොරතුරු තිබේ. දේශපාලනඥයන් කිහිප දෙනකුගෙන් නම්ද මෙලෙස සාකච්ඡාවට ලක්ව ඇත. ඒ අනුව විපක්ෂයේ පමණක් නොව ආණ්ඩු පක්ෂයෙන්ද විවිධ නම් යෝජනා වී ඇතැයි කියැවේ. ආණ්ඩු පක්ෂයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන නම් ප්‍රධාන වශයෙන් යෝජනා වී තිබේ. ඒ අතර ස්වාධීන වූ ආණ්ඩුවේ හතළිහකට ආසන්න කණ්ඩායම හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අග්‍රාමාත්‍ය ධූරය සඳහා යෝජනා කරන බවද කියැවේ.

ඉහත නම් ප්‍රධාන ධාරාවේ සාකච්ඡා වන අතරේ අන්තර්වාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ලෙස සලකා බැලෙන තවත් නම් කිහිපයකි. වාසුදේව නානායක්කාර, අනුර යාපා, රමේෂ් පතිරණ යන නම් ඒ අතර වේ. රමේෂ් පතිරණ පිළිබඳ සජබ යම් පිරිසක්ද විශ්වාසය පළකරන නමුත් පාර්ලිමේන්තු ජ්‍යෙෂ්ඨයන්ගේ විශ්වාසය ඔහුට දිනාගත හැකිද යන්න පිළිබඳ යම් ගැටලුවක් මතුවේ. මෙම සියලු චරිතවලට අමතරව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳවද සංවාදයක් ඇතිවී තිබේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසා සිටියේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට ලබාදී ඇති අධික බලතල ඉවත්කර පරිවාස ආණ්ඩුවක් පිහිටුවීමට පියවර ගතහොත් එහි අගමැතිධුරය භාර ගැනීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සූදානම් බවය.

මෙම ක්‍රියාවලියේ සිටින අප සමඟ අදහස් දැක්වූ අයෙක් කියා සිටියේ මෙම පිරිස අතරේ නම් නොකියවෙන අයෙක් වුවද අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමට හැකියාවක් ඇති බවයි. වාසුදේව නානායක්කාර මහතා වුවද අන්තර්වාර පාලනයේ අග්‍රාමාත්‍ය විය හැකි බව ඒ අනුව කියැවුණි. කෙසේ වෙතත් අන්තර්වාර පාලනයේ අග්‍රාමාත්‍ය ධූරය ගැන සමගි ජනබලවේගයද අවධානය යොමුකොට ඇතැයි කියැවේ. ආණ්ඩුවේ ස්වාධීන වූ කණ්ඩායම් සහ ආණ්ඩුව සමඟ රුඳී සිටින කණ්ඩායම් එකතුවෙන් නැවත බහුතර බලය ස්ථාපිත කොට නව අග්‍රාමාත්‍යයකු පත්කර ගන්නේ නම් ඊට විරුද්ධ වීමට සජබය සූදානමින් පසුවන බව කියැවේ. එසේ වුවහොත් සර්ව පාක්ෂික ආණ්ඩුව නිර්මාණය කිරීම පිළිබඳ සාකච්ඡා අභියෝගයට ලක්වනු ඇත.

මේ අතර නව කැබිනට් මණ්ඩලය පත්කිරීම් පිළිබඳව තිරය පිටුපස කතා රුසක් අසන්නට ලැබුණි. ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් රුසකගේ තනතුරු මෙම නව පත්කිරීමත් සමග අහිමි වූයේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අලුත් පිරිසක් කැබිනට්ටුවට පත් කළයුතුය යන දැඩි ස්ථාවරයක සිටි බව කියැවුණි. වෙනදා මෙන් පක්ෂ අභ්‍යන්තරයේ යෝජනා සලකා බැලීමක් මෙම පත්වීමේදී සිදුනොවූ බවද මාධ්‍ය වාර්තා කළේය. බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ යන යන රාජපක්ෂවරුන්ට මෙහිදී තනතුරු අහිමි වූ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම්. චන්ද්‍රසේන, සී.බී. රත්නායක, එස්.බී. දිසානායක වැනි ජ්‍යෙෂ්ඨයන්ටද තනතුරු අහිමි විය.

නව කැබිනට්ටුව පත් කිරීමට යාමේදී බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ගාමිණී ලොකුගේ ආදී ජ්‍යෙෂ්ඨයන් සිය කැමැත්තෙන්ම ඉවත් වූ බව කියයි. මේ අතර ජනාධිපතිගේ ඉල්ලීම පරිදි සිය කැමැත්තෙන් ඉවත් වූ තවත් පිරිසක් තුළ වූයේ තනතුරු පිළිබඳව වේදනාවකි. ඒ අනුව එක්තරා දේශපාලන ආරංචියට අනුව කියැවුණේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය දැඩි ලෙස කනස්සල්ලට පත්වී සිටි බවකි. 1994දී පාර්ලිමේන්තුවට පැමිණ වර්තමාන දක්වා නියෝජ්‍ය අමාත්‍යධූර සහ අමාත්‍යධූර දැරෑ නමුත් තමන් හට කිසිම දූෂණ චෝදනාවක් නොමැති බව ඈ හිතවතුන් සමග පවසා තිබුණි. සරත් වීරසේකර මහතාද එලෙසම කනස්සල්ලෙන් සිටි බව කියැවුණි. මේ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු සිය ජංගම දුරකථන පවා විසන්ධි කර නිවසේ රුඳී සිටි බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබුණි. කෙසේ වෙතත් ඔහු උණ රෝගී තත්ත්වයකින් පෙළුණු බවක්ද ආරංචි විය.

කෙසේ වෙතත් සිදුවීම් සියල්ලෙන්ම පසුව ජොන්ස්ටන් ප්‍රනාන්දු  පාර්ලිමේන්තු පැමිණියේය. ඔහු පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුනකට වී සිටියේ ලොකු කල්පනාවකිනි. අනතුරුව පාර්ලිමේන්තු ලොබියේදී ඔහු සහ මහින්දානන්ද අලුත්ගමගේ අතර වචන හුවමාරුවක්ද සිදු වූ බව පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය. කැබිනට් තනතුරු පත්කිරීම සම්බන්ධව මෙම වාදය හටගත් බවත් මහින්දානන්ද අලුත්ගමගේ ජනපතිගේ සමීපතමයකු වීමද මෙම මත ගැටුමට හේතුවක් බවත් කියැවුණි.

කැබිනට් පත්කිරීම්වලදී ජ්‍යෙෂ්ඨයන් රැසක් ඉවත්කළ නමුත් කීපදෙනකුට නැවත අමාත්‍ය ධූර හිමිවිය. එය අතර ප්‍රසන්න රණතුංගට අමාත්‍ය ධුරයක් මෙන්ම ආණ්ඩු පක්ෂ සංවිධායක ධූරයද හිමි වීම සම්බන්ධව ඇතැම් ජ්‍යෙෂ්ඨයන් තුළ වූයේ අසහනයකි. රමේෂ් පතිරණ හට අමාත්‍ය ධූරක් හිමිවීම සම්බන්ධවද එවැනිම කනස්සල්ලක් ඔවුන් තුළ විය. කැබිනට්ටුවට ප්‍රසන්න රණතුංග සහ රමේෂ් පතිරණ තේරෙන්නේ නම් තමන්ව ඔවුන්ට කලින් තෝරාගත යුතුව තිබූ බව මෙම පිරිස සඳහන් කර තිබිණි

මේ අතර කැබිනට් අමාත්‍ය ධූර හිමිවූ නමුත් තමන්හට ලැබුණු අමාත්‍ය ධූරය පිළිබඳ නොසතුටින් පසුවූ පිරිසක් පිළිබඳවද දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබුණි. නාලක ගොඩහේවා ඒ අතරින් කෙනෙක් වූ අතර ඔහු බලාපොරොත්තුවෙන් සිටියේ මුදල් අමාත්‍යංශය හෝ වරාය හා නාවික අමාත්‍ය ධූරයයි. ඒ අනුව ඔහුගේ හිතවතුන් අතරේ ලද අමාත්‍යධූරය පිළිබඳ නොසතුටින් කතාබහ කරන අතරේ ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවද පවසා ඇතැයි කියැවුණි. කෙසේ වෙතත් එවැන්නක් සිදු නොවුණි. ඔහුට අමතරව තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙක් මෙන්ම රාජ්‍ය අමාත්‍යවරු කිහිප දෙනෙක්ද ලද විෂය පථයන් පිළිබඳව නොසතුටින් පසුවන බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය.

මේ අතර ඉකුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රුස්විය. එම රුස්වීමේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන ඇතුළු කණ්ඩායමක් ආණ්ඩුවට යෝජනා කර තිබුණේ කවර තත්ත්වයක් මත වුවද ආණ්ඩුවෙන් ස්වාධීන වූ හතළිස් එක් දෙනාගේ කණ්ඩායම ඉල්ලීම් වලට එකඟ නොවිය යුතු බවයි. පාර්ලිමේන්තු බහුතරය ආරක්ෂා කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට තම කණ්ඩායම සූදානම් බව ඔහු පවසා ඇත. දේශපාලන ආරංචි මාර්ග අනුව පෞද්ගලිකව මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කොට තම පාර්ශ්වයට මන්ත්‍රීවරු එකතු කරගැනීම මෙම පිරිසේ අරමුණයි. කෙසේ වෙතත් මේ අතර ස්වාධීන වූ පිරිසට තවත් කිහිප දෙනෙක් එකතු වී අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩල ඉවත් කිරීම පිළිබඳව කතානායකවරයාට ලිපියක් භාර දීමට සූදානම් වන බවටද ආරංචියක් පැතිර ගොස් තිබුණි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවද තරමක උණුසුම් මුහුණුවරක් ගත්තේය. ජනපති හමුවී අන්තර්වාර පාලනයක් බිහිකළයුතු බවට ලිපි භාර දුන් පිරිස ගෙන් සෙසු පිරිස  ඒ ගැන ප්‍රශ්න කර සිටියහ. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ පත්වූ අජිත් රාජපක්ෂ නම් මන්ත්‍රීවරයා මෙහිදී අදහස් දක්වා තිබුණි. අපිට කතා කරා ලියුම බාර දෙන්න යන්න කියලා. අපි ගියා. අපි කිව්වේ අගමැතිතුමා ඉවත් කරන්න කියලා නෙවෙයි. අනිත් පක්ෂත් සම්බන්ධ කරගෙන අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවමු කියලා. තමාද හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයකු වන බවත් අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව කටයුතු නොකරන බවත් ඔහු එහිදී පවසා ඇත. කතා කරන හැමෝම ළඟට අපි යනවා. දැන් මෙතැන අපි කාගෙත් සුන්දරී වගේ වෙලා අජිත් රාජපක්ෂ මෙවැනි අදහසක් මතු කරන විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ නෑ නෑ ඕගොල්ලෝ කාගෙත් සුන්දරිය නොවී අපේ සුන්දරී විතරක් වෙන්න යනුවෙනි.

එමෙන්ම කණ්ඩායම නියෝජනය කළ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරියක වන රාජිකා වික්‍රමසිංහද මෙහිදී අදහස් දක්වා ඇත. තමන්ද මෙම ලිපිය බාරදීමට ගිය බව පිළිගත් ඇය තමන්ගේ නමද හැමතැනම කියවෙන්නට පටන් ගෙන ඇතැයිද ඒ හේතුවෙන් තමා අපහසුතාවට පත් වී සිටින බවද පවසා ඇත. රාජිකා වික්‍රමසිංහ යනු ශ්‍රීලාල් වික්‍රමසිංහ නම් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු සහ ප්‍රබල දේශපාලන ක්‍රියාකාරිකයකුගේ බිරිඳයි. සිය ස්වාමියාද මෙම ලිපිය භාර දීමට යෑම පිළිබඳ තමාට දොස් පැවරෑ බව ඔහු පවසා ඇත. මහින්ද රාජපක්ෂ අග්‍රමාත්‍යවරයාට එරෙහිව ලිපිවලට අස්සන් තබා ආපසු නිවසට නොපැමිණෙන ලෙසද සිය ස්වාමියා කී පැවසූ බවක් ඇය සඳහන් කර ඇතැයි කියැවේ.

මේ අතර ඉකුත් සතිය සංවේදී මතකයන් කිහිපයකටම හේතුවිය. රට තුළ හටගෙන ඇති මහජන විරෝධතා හමුවේ පුද්ගල මරණයක්ද වාර්තා විය. ඒ අනුව රඹුක්කන දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් අප්‍රේල් 19 වැනිදා ප්‍රදේශවාසීන් පැවැත්වූ විරෝධතාව පොලීසිය බලය යොදා විසුරුවාහැරීමේ සිද්ධිය අවසන් වූයේ නිරායුද විරෝධතාකරුවකුට දිවි අහිමි කරමිනි. මේ සම්බන්ධව ජාතික දේශපාලනයේ විශාල ඉඩකඩක් වෙන්වුණි. මෙම සිදුවීම සම්බන්ධව පාර්ලිමේන්තුවද උණුසුම් විය. ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ සිට තානාපතිවරුන් දක්වා බොහෝ පාර්ශ්ව විසින් ප්‍රකාශ නිකුත්කර තිබුණි. ඊට අමතරව පාස්කු ප්‍රහාරයේ මතකයද ඉකුත් සතියේ විශාල දේශපාලන ආන්දෝලනයක් ඇති කළේය.

ගෝල්ෆේස් අරගලය තවදුරටත් ක්‍රියාත්මක වූ අතර බොහෝ පාර්ශ්ව ඊට සහයෝගය දක්වමින් ගෝල්ෆේස් පිටිය පැමිණියෝය. බොහෝ ප්‍රදේශවල මාර්ග අවහිර කිරීම්ද වාර්තා විය. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මුදල් අමාත්‍ය අලි සබ්‍රි සාකච්ඡා කරමින් සිටියේය. මීට අමතර ඉකුත් සිකුරාදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය සඳහා වන යෝජනා ඇතුළත් කෙටුම්පතක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පක්ෂ දහයේ කණ්ඩායම සහ පොදුජන පෙරමුණේ ස්වාධීන වූ කණ්ඩායම එක්ව කතානායකවරයා වෙත භාර දී තිබුණි.


 චමිදු නිසල්