2022 අප්‍රේල් 10 වන ඉරිදා

මත ගැටුම් මැද ඇමැතිවරු මහ රෑ අත්සන් කළ අන්තිම ලියුම

 2022 අප්‍රේල් 10 වන ඉරිදා, පෙ.ව. 10:00 334

  • අපි කරපු වරද මොකක්ද? සරත් වීරසේකර අසයි
  • ස්වාධීන ලැයිස්තුවෙන් නම කපාගත් මන්ත්‍රීවරු
  • මහින්දානන්ද කෙහෙළිය බැසිල් සමඟ පැටලෙයි
  • අගමැතිගෙන් තද ප්‍රකාශයක්
  • හර්ෂගේ නම ජනපති ධූරයට හරීන් යෝජනා කරයි
  • විමල්ගෙන් අන්තර්වාර පාලන යෝජනාවක්
  • එකම විසඳුම ජනපති ඉල්ලා අස්වීමයි: අනුර කුමාර කියයි
  • හර්ෂ එපා කියද්දී කිරිඇල්ලගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ පෙර කිසි දිනක අත් නොවිඳි දේශපාලන ආර්ථික අර්බුදයකට අපි මුහුණ දෙමින් සිටිමු. පසුගිය සතියේ රටපුරා මහජන විරෝධතා සිය ගණනක් සංවිධානය විය. දේශපාලන තීන්දු තීරණ රුසක්ද ප්‍රකාශයට පත්විය. තිරය මතුපිට දේශපාලන කතාවද තිරය පිටුපස දේශපාලන රහස් බොහෝ විය. සැබවින්ම ගතවූයේ ඓතිහාසික දේශපාලන සතියකි.

මිරිහානේ ජනාධිපති නිවස වැටලීමෙන් ඇරඹි මහජන විරෝධතා නොනැවතී ඉදිරියට ගියේය. ගෝඨා ගෝ හෝම් සටන් පාඨය රුගත් මෙම විරෝධතා දිවයිනේ සෑම නගරයකම පාහේ දක්නට ලැබුණි. ඒ අතර ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ පෞද්ගලික නිවාසද වැටලූ ජනතාව විරෝධතාවල නිරත වූහ. එයින් නිර්මාණය වූ පීඩනය සුළුපටු නොවූ අතර කැබිනට්ටුව ඉල්ලා අස්වීම දක්වා එම පීඩනය වර්ධනය විය.

පසුගිය සතියේ සඳුදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්විය. රාත්‍රී හතට පමණ පිරිස රැස්වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන් හට වෙනත් සාකච්ඡාවක් සිදුකළ යුතුව ඇති බව පවසමින් මෙම සාකච්ඡාවට එකඟ නොවී පිටව ගිය බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මේ සඳහා සහභාගී වූ මන්ත්‍රීවරුන් පිරිස එකසිය තිස් දෙකක් විය. වර්තමාන තත්ත්වය සහ අර්බුදයට විසඳුම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා ඇති වී තිබුණි.

ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග අනුව මෙම රුස්වීමේදී පළමුව කතා කළේ මහින්දානන්ද අලුත්ගමගේය. ඒ අනුව ඉන්ධන හිඟය වර්තමාන දේශපාලන අර්බුදය නිර්මාණය වීමට ප්‍රමුඛ හේතුව බව ඔහු පවසා ඇත. ඒ අනුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් මහින්දානන්ද අලුත්ගමගේ විමසා ඇත්තේ මෙම ප්‍රශ්නය මෙතරම් බරපතළ වීමට ඉඩහැරියේ ඇයිද? යන්නයි. ඩොලර් මෙතරම් හිඟවන තුරු බලා සිටීමට හේතුවද, අවසන් ඉන්ධන නැව මිලදී ගැනීමට මුදල් ලබාදීමට හැකියාවක් තිබියදී එසේ නොකළේ ඇයිද? යන්නද ඔහු මෙහිදී ප්‍රශ්න කළ බව කියැවේ.

දේශපාලන ආරංචි මාර්ග අනුව මෙම ගැටලුව මෙතරම් උග්‍රවීමට හේතුව බැසිල් රාජපක්ෂ බව හැඟවෙන පරිදි ප්‍රකාශයන් නිකුත් වනවිට බැසිල් රාජපක්ෂද හඬ අවදි කළේය. ආණ්ඩුවට ඩොලර් යම් ප්‍රමාණයක් සොයා ගැනීමට හැකියාවක් තිබූ නමුත් එයින් අයථා ලෙස ඉපයීමට යම් පිරිසක් සූදානමින් සිටි බව බැසිල් රාජපක්ෂ එහිදී පවසා ඇත. තමා ඩොලර් ලබා නොදුන්නේ ඒ හේතුව නිසා බවද ඔහු පැහැදිලි කර ඇතැයි කියැවේ. දේශපාලන ආරංචි මාර්ග අනුව මෙම ප්‍රකාශයත් සමඟ ආවේගශීලි වූ මහින්දානන්ද අලුත්ගමගේ ඊට ජනතාව පලි නැති බව පවසා ඇත. වෙනත් වාසි ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි දේශපාලකයන් හෝ නිලධාරීන් සිටියේ නම් ඔවුන් අල්ලා ගැනීම කළ යුතුව තිබූ බවත් ඔහු කියා තිබේ. මෙහිදී දෙදෙනා අතර උණුසුම් තත්ත්වයක් ඇතිවූ බව දේශපාලන ආරංචි මාර්ග අනුව කියැවේ.

ඔහේ කරන දේවලුත් අපි දන්නවා යැයි පවසමින් මෙහිදී මහින්දානන්ද සමඟ බැසිල් රාජපක්ෂ ගැටී තිබේ. දන්නා දෙයක් ඇත්නම් කියන ලෙසත්, මේ මොහොතේ උද්ගතව ඇත්තේ වෙනත් ප්‍රශ්නයක් බවත් මෙහිදී මහින්දානන්ද අලුත්ගමගේ ආවේගයෙන් පවසා ඇත. තවදුරටත් මෙම රැස්වීම තුළ සාකච්ඡා සිදුවන්නේ මෙයාකාරයෙන් නම් තමා මෙහි රැඳී සිටීමෙන් පලක් නැතැයි පවසමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පිටවී යාමට පවා උත්සාහ දරා ඇතැයි කියවේ. කෙසේ වෙතත් මෙම ගැටුම් සමනය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැදිහත්ව ඇත. මහින්දානන්දහට අසුන්ගන්නා ලෙස කියා බැසිල් රාජපක්ෂ අමතා මහින්ද රාජපක්ෂ තරමක් තදින් කතා කර මොනවද මේ කියන්නේ සල්ලි දීලා ඉවර කරන්න. මේක මිනිස්සුන්ගේ ප්‍රශ්නයක්නේ... යනුවෙන් සඳහන් කළ බවට තිරය පිටුපස කතා අතරේ කියැවේ.

අර්බුදයට විසඳුම් එකිනෙක සාකච්ඡා වන අතරේ තවත් උණුසුම් තත්ත්වයක් ඇතිවූයේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා පිරිස අමතන අතරේය. ඖෂධ ලබාගැනීමට මුදල් නොමැති බවත්, ඊට ඇමරිකානු ඩොලර් මිලියන විස්සක් අවැසි බවත්, කරුණාකර හැකි ඉක්මනින් එය සපයන ලෙසත් ඔහු බැසිල් රාජපක්ෂ අමතා සඳහන් කර ඇතැයි කියැවේ. මෙහිදී බැසිල් රාජපක්ෂ මුදල් සැපයීමේ නොහැකියාව සහ අදාළ මුදල් සෞඛ්‍ය අමාත්‍යංශයට සොයාගන්නා ලෙස පවසා ඇති බවට තොරතුරු වාර්තා පළවේ.

එහිදී කෙහෙළිය රඹුක්වැල්ල ආවේගශීලී වී ඇති අතර සෞඛ්‍ය අමාත්‍යංශයට මුදල් සැපයීම මුදල් අමාත්‍යාංශයේ කාර්යභාරයක් බව පවසමින් ආවේගයෙන් අදහස් දක්වා ඇත. තමා මුදල් ඇමැතිවරයා නොවන බවත් මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මුදල් ලබාදිය යුතුව ඇති බවත්, ඖෂධ නොමැති කමින් ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති බවත් ඔහු දිගින් දිගටම සඳහන් කර තිබේ. මෙම තර්ක විතර්කවලින් පලක් නැතැයි පවසමින් මෙහිදීද ඉදිරියට පැමිණි අග්‍රාමාත්‍යවරයා බැසිල් රාජපක්ෂ හට පවසා ඇත්තේ මුදල් අමාත්‍යංශයට අදාළ මුදල් සපයා දිය යුතු බවයි.

කෙසේ හෝ මෙම රැස්වීම අවසාන වනවිට තීරණය වී ඇත්තේ ආණ්ඩුවේ සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්විය යුතු බවකි. අග්‍රමාත්‍යවරයා හරහා ජනාධිපතිවරයා වෙත ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට අමාත්‍යවරුන් සූදානම් වන අතරේ නැගී සිටි සරත් වීරසේකර මහතා අපි ඉල්ලා අස් විය යුතු නෑ... මොකක්ද අපි කරපු වරද? යනුවෙන් ප්‍රශ්න කිරීම් කරමින් අදහස් දැක්වීමට සූදානම් වූ බව කියැවේ. දේශපාලන ආරංචි මාර්ග පවසන පරිදි මෙහිදීද සරත් වීරසේකර සමග පැටලී ආත්තේ මහින්දානන්ද අලුත්ගමගේය.

මොකක්ද ඔබතුමා කියන්නෙ. ඔබතුමාට පොලිසියෙන් 25ක් දීලා තියෙනවා ආරක්ෂාවට අපිට මොකුත් නෑ. යනුවෙන් ප්‍රශ්න කරමින් මහින්දානන්ද අදහස් දක්වා ඇත. මෙහිදී තරමක් ආවේගශීලී වූ සරත් වීරසේකර එය බොරු කතාවක් යැයි පවසා ඇත. එය බොරුවක් නොවන බව මහින්දානන්ද පෙරළා කියා තිබේ. ඒ අනුව මෙහිදී දෙදෙනා තමුසේ යනුවෙන් ආමන්ත්‍රණය කරගනිමින් තරමක බරපතළ ගැටුමක් නිර්මාණය වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. අවසානයේ මන්ත්‍රීවරු පිරිසක් එක් වී දෙදෙනාව පාලනය කර ගැනීමට සමත්ව ඇත.

මේ ආදී ආරවුල් මැද පැවති රුස්වීම අවසානයේදී කැබිනට්  අමාත්‍යවරු අදාළ ලිපියට අස්සන් තැබීමට තීරණය කළහ. එහිදී බැසිල් රාජපක්ෂ පවසා ඇත්තේ තමාගේ ඉල්ලා අස්වීමේ ලිපියේ විශේෂ කරුණු සඳහන් කළ යුතු බවයි. එම නිසාවෙන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය සකස් කොට වෙනම ජනාධිපතිවරයා වෙත යැවීමට කටයුතු කරන බව ඔහු පවසා ඇති බව කියැවේ. කෙසේ හෝ පසුදින බැසිල් රාජපක්ෂද සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති වෙත යොමුකර තිබුණි. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ සියලු අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් විය.

මෙම ඉල්ලා අස්වීමත් සමඟ රාජ්‍යයේ  කටයුතු පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය මත අමාත්‍යවරුන් කිහිපදෙනකු පත්කිරීමට ජනාධිපතිවරයාට සිදුවිය. ඒ අනුව ජනාධිපතිවරයා අදාළ අමාත්‍ය ධුර සඳහා කිහිප දෙනකු පත්කළේය. සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන්ද, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහාමාර්ග ඇමැතිවරයා වශයෙන්ද දිවුරුම් දුන්හ. මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා දිවුරුම් දුන් අතර, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විදේශ ඇමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. මේ අතර අමාත්‍ය ධුර භාර ගනිමින් ගැටලුව නිරාකරණය කර ගැනීමට සහාය වන ලෙස ජනාධිපතිවරයා විපක්ෂයෙන් ඉල්ලීමක් කළේය.

මුදල් ඇමැතිවරයා වශයෙන් කටයුතු කරන ලෙස ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතාට ජනාධිපතිවරයා සිදුකරනු ලැබූ ඉල්ලීම ඔහු මුලසිටම ප්‍රතික්ෂේප කර තිබුණි. කෙසේ වෙතත් අයි.එම්.එෆ්. නියෝජිතයන් හමුවීමට අවශ්‍ය තිබූ බැවින් මෙම පත්වීම අනිවාර්ය විය. ඒ අනුව ජනපතිගේ දැඩි ඉල්ලීම මත දින කිහිපයකට පමණක් මුදල් අමාත්‍යාංශය භාර ගැනීමට ජනාධිපති නීතිඥ අලි සබ්රි එකඟතාව පළ කළේය. එහෙත් ඔහු අදාළ අමාත්‍ය ධූරයේ කටයුතු කළේ එක් දිනක් පමණි. ඔහු එම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළේය.

ඔහු ඉල්ලා සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කොට තිබුණේ අප්‍රේල් 03 වැනිදායින් පසු කිසිදු තනතුරක් භාරගැනීමට තමන් සූදානම්ව නොසිටි මුත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගැනීමත්, පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්ථාවරත්වය පවත්වා ගැනීමත් සඳහා, ව්‍යාපාරික ප්‍රජාව, වෘත්තිකයන් සහ කැබිනට් සගයන් විසින් ඉදිරිපත් වූ ඉල්ලීම් රැසක් සැලකිල්ලට ගනිමින් තමා එම අමාත්‍යධූරය භාරගත් බවයි.

කෙසේ වෙතත්, බොහෝ ආවර්ජනාවන් හා සාකච්ඡාවන්ගෙන් අනතුරුව සහ මා දැන් දැනුවත්ව සිටින වර්තමාන තත්ත්වයද සැලකිල්ලට ගනිමින්, මෙම පෙර නොවූ විරූ අර්බුදය මඟහරවා ගැනීම සඳහා සුදුසු අන්තර්කාල විධිවිධානයක් සූදානම් කිරීමේදී ඔබතුමාට නව මුදල් ඇමැතිවරයෙකු පත්කිරීමද ඇතුළුව නැවුම්, ක්‍රියාශීලී සහ සාම්ප්‍රදායික නොවන පියවර ගැනීමට සිදුවේ. යනුවෙන් සිය ඉල්ලා අස්වීමේ ලිපියේ කරුණු දැක්වූ අලි සබ්‍රි තත්ත්වය හැසිරවීමට සුදුසු අයකු වත්මන් පාර්ලිමේන්තුවෙන් පිටතින් පත් කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍ය නම්, එවැනි පත් කිරීමට හැකිවන පරිදි තමන් ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමට සූදානම් බවද වැඩිදුරටත් සඳහන් කළේය. 

කෙසේ වෙතත් ජනාධිපතිවරයා අලි සබ්‍රි මහතාගේ ඉල්ලා අස්වීම භාරනොගත් බව සිකුරාදා වනවිට වාර්තා විය.

මේ අතර අඟහරුවාදා දිනයේදී පාර්ලිමේන්තුව රුස්වූ අතර එහිදී  නිර්මාණය වූයේ දැඩි උණුසුමකි. මෙතෙක් ආණ්ඩුවේ රුඳී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනා ස්වාධීන වන බව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. එසේම විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසා සිටියේ වත්මන් රජය ඉවත්විය යුතු බවයි. තමන් සමඟ කටයුතු කරන පක්ෂ දහයේ මන්ත්‍රීවරුන් 16 දෙනෙකුත් ස්වාධීනව කටයුතු කරන බව ඔහුද පැවසුවේය. මෙම ලැයිස්තුවට ගයාෂාන් නවනන්දන මන්ත්‍රීවරයාගේ නම ඇතුළත් වුවද පසුව ඔහු නැගී සිට පැවසුවේ තමන්ගේ නම ලැයිස්තුවේ ප්‍රකාශ කෙරුණද තමන් තීරණයක් ගන්නේ නම් එය තමා විසින්ම ප්‍රකාශ කරන බවයි. 

ස්වාධීන වීම සම්බන්ධව තවත් ප්‍රකාශයක් සිදුකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා සඳහන් කළේ තමා ඇතුළු මන්ත්‍රීවරුන් 11ක් ද ස්වාධීන වන බවයි. කෙසේ වෙතත් එම ලැයිස්තුවට ඇතුළත් වූ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පසුව පැවසුවේ තමාගේ නම අදාළ ලැයිස්තුවට ඇතුළත් කර නොගන්නා ලෙසය. ඒ අනුව අප්‍රේල් පස්වැනිදා වනවිට රජය නියෝජනය කරන මන්තිවරුන් 39 දෙනකු ස්වාධීනව කටයුතු කරන බවට ප්‍රකාශයට පත්ව තිබුණි. 

මෙදින පාර්ලිමේන්තුව රුස්වීමට පෙර ආණ්ඩුවේ බහුතර බලය අහිමි වන බවට අනාවැකි පළ වී තිබුණි. පෙර දින රාත්‍රිය මුළුල්ලේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අතරේ දුරකථන සංවාද රැසක් වූ බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. විමල් වීරවංශ පෞද්ගලිකව ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් රැසකට දුරකථන ඇමතුම් ගෙන මේ මොහොතේ තම කණ්ඩායම සමඟ එක්වන ලෙස ඉල්ලා සිටියේය. එම පිරිස අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු කණ්ඩායම ද ස්වාධීන ගොඩට එකතු කරන්නට වූහ. ඒ වන විටත් පොහොට්ටුව සමඟ කලකිරී සිටි පොහොට්ටුවේම පිරිසක් ඔවුනගේ ඉලක්කය විය. ඩලස් අලහප්පෙරුම සහ තවත් කිහිප දෙනකුගේ නම් ද මෙම පිරිස සමඟ කියවුණු අතර කෙසේ වෙතත් එම පිරිස ආණ්ඩුවේ රඳවා ගැනීමට අග්‍රාමාත්‍යවරයා සමත් වූ බව කියවුණි.

මෙදින පාර්ලිමේන්තුවේදී කිසිදු එකඟතාවක් ගොඩනගා ගැනීමට කිසිවෙක් සමත් නොවූහ. විපක්ෂයට බහුතරය බලයද නොලැබුණු අතර පක්ෂ නායක රැස්වීමකින් පසු උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ විවාදයක් සඳහා කාලය වෙන් කෙරුණි. කෙසේ වෙතත් පාර්ලිමේන්තු ලොබියේ සහ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ තම තමන් ගත යුතු තීරණ පිළිබඳ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අතර කතාබහ ඇතිවිය. මතගැටුම් සහ අපහාස උපහාස ද බහුල විය. පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම මහජනතාව විසින් අවහිර කර ඔවුහු විරෝධතාවල නිරත වූහ. එම නිසාම බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කටයුතු අවසානයේ පිටව ගියේ පෑල දොරෙනි. 

ඒ අතර ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපස පිවිසුමෙන් පිටව යෑමට කටයුතු කළේය. එහිදී ඔහු හා විරෝධතාකරුවන් අතර සංවාදයක් ඇතිවිය. විරෝධතාකරුවන් අවසානයේ ඔහුට පිටව යෑමට ඉඩ දුන් අතර ඒ අවස්ථාවේ විරෝධතාකරුවන් අතරින් පැමිණි අයකු ඔහුගේ වාහනයට ගොඩවීම සම්බන්ධයෙන් පසුව ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය විය. පසුගිය පාර්ලිමේන්තුවේදී ද ඒ පිළිබඳ සාකච්ඡා වූ අතර අනුර කුමාර මහතා කියා සිටියේ ඒ තමාගේ ආරක්ෂකයකු බවයි.

පාර්ලිමේන්තු කණ්ඩායම් ස්වාධීන වීමත් සමඟ ජනාධිපතිවරයා එම කණ්ඩායම් කැඳවා සාකච්ඡා කිරීමට තීරණය කළේය. ඒ අනුව පිරිස ස්වාධීන වූ දිනයේම ශ්‍රීලනිප කණ්ඩායම සමඟ ජනාධිපති සාකච්ඡාවක් පවත්වා තිබුණි. මෙහිදී හදිසි නීතිය සම්මත කිරීමට ශ්‍රීලනිප සහයෝගය නොලැබෙන බවත් හදිසි නීතිය ඉවත් කර ගන්නා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවේ පවසා ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එහිදී හදිසි නීතිය තවදුරටත් පවත්වාගෙන යෑමට තමන්ට වුවමනාවක් නැති බවද ඉදිරි දින දෙක තුළ එය ඉවත් කරන බවද ජනාධිපතිවරයා පවසා තිබිණි. 

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ආණ්ඩුව නිර්මාණය කිරීමට සහාය දුන් පිරිසක් ලෙස ස්වාධීන නොවී තවදුරටත් ආණ්ඩුව සමඟ කටයුතු කිරීම සුදුසු බවයි. එසේ කළ නොහැකි යැයි ද අවශ්‍යතාව අනුව සලකා ආණ්ඩුවට සහයෝගය දැක්වීම කළ හැකි බව මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසී යයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස කටයුතු කළ රන්ජිත් සියඹලාපිටිය සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ලෙස කටයුතු කළ අන්ගජන් රාමනාදන් සිය ඉල්ලා අස්වීමේ ලිපි භාරදීම සම්බන්ධව ද සාකච්ඡා වී ඇතැයි කියැවේ. එම ඉල්ලා අස්වීම් තමා භාර නොගන්නා බව ජනපති සඳහන් කර තිබේ. එහිදී ඒ පිළිබඳ සලකා ඔවුනට ඉවත් නොවන ලෙස පැවසිය හැකි යැයි මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූ බවද ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග කියා සිටියි. කෙසේ නමුත් ඔවුන් මේ දක්වා සිය ඉල්ලා අස්වීමේ ලිපි ඉවත් කොටගෙන නොමැත.

මේ අතර කාලයේ ජනාධිපතිවරයා විසින් ආර්ථික විශේෂඥයන්ගෙන් උපදෙස් ලබාගෙන පත්වීම් කිහිපයක් සිදු කළේය. මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වූ නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපති තනතුරට පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. ඔහු ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි අතර ඉකුත් බ්‍රහස්පතින්දා දිවයිනට පැමිණ වැඩ බාරගත්තේය. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ භූතානය යන රටවල් සඳහා විකල්ප විධායක අධ්‍යක්ෂවරයා ලෙසත්, රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් කටයුතු කර ඇති කේ.එම්.එම්. සිරිවර්ධන මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කිරීම ද සිදුවිය. මෙම පත්කිරීම් සම්බන්ධව විපක්ෂයේ විරෝධතාවක් ඉදිරිපත් නොවූ අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ හර්ෂ ද සිල්වා අතර පූර්ව සාකච්ඡාවක් සිදුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනුව කියවුණි.

දේශපාලන කරළියේ කුමක් සිදුවුවද මහජන විරෝධතාවල අඩුවක් නොවුණි. දිවයින පුරා බොහෝ නගරවල විරෝධතා ක්‍රියාත්මක වූ අතර බහුතර තාරුණ්‍ය වීදි බැස සිටියහ. කිසිවකු සිය හඬට සංවේදී නොවන බව ඔවුන්ට හැඟී යමින් තිබූ අතර ඒ හේතුවෙන්ම ඔවුනගේ පීඩනය වැඩි විය. රජයේ අමාත්‍යවරුන් රුසකගේ නිවෙස් වැටලීම දිගින් දිගටම සිදුවිය. ගාමිණී ලොකුගේ මහතාගේ නිවෙස ආසන්නයේ ගින්නක් ද හටගත්තේය. මේ අතර අප්‍රේල් නව වැනිදා මිලියනයක පිරිසක් විසින් කොළඹ වැටලීමට සූදානම් වන බවට ද සමාජ මාධ්‍ය වාර්තා පළ විය. කෙසේ වෙතත් බ්‍රහස්පතින්දා වනවිට හදිසි නීතිය ඉවත් කෙරුණි.

මේ අතර බ්‍රහස්පතින්දා රැස්වූ පාර්ලිමේන්තුව අර්බුදය පිළිබඳ දීර්ඝ වශයෙන් විවාද කරන්නට වූහ. ඇතැම්හු තම තමන්ගේ යෝජනා ඉදිරිපත් කළහ. ඒ අනුව අගමැතිවරයාගේ සිට සමස්ත ආණ්ඩුවම ඉවත්කොට අන්තර්වාර පාලනයක් පිහිටුවා රටේ මූල්‍ය ස්ථාවරභාවය ඇතිකිරීමට ලෝකයේම විශ්වාසය දිනාගත යුතු බව හිටපු ඇමැති විමල් වීරවංශ පැවසීය. ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පරිවර්තනය කරමින් පසුගිය දිනවල සිට සිදුවෙමින් පවතින ශ්‍රී ලංකාවේ ජනතා නැගිටීම්වලට තවම විසඳුම් ලැබී නැති බවත් කැබිනට් මණ්ඩලය අස්වීම, පිරිසක් ස්වාධීන වීම හෝ වෙනත් යමක් ගැන ජනතාව සෑහීමකට පත් කර නැති බවත් පළමු විසඳුම ජනපතිගේ ඉල්ලා අස්වීම බවත් අනුර කුමාර දිසානායක කීවේය. විධායක ජනාධිපති ක්‍රමය සහමුලින්ම අහෝසි කොට ඒ හරහා ඒකාධිපති ආඥාදායකත්වය සහමුලින් ඉවත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කීවේය.

මේ අතර පාර්ලිමේන්තුවේ දී සිදුවූ කැපීපෙනෙන සිදුවීම් කිහිපයකි. සමගි ජන බලවේගය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ආණ්ඩුවේ සංචිත පිළිබඳ සිදු කළ හෙළිදරව්ව එවැන්නකි. හර්ෂ ද සිල්වා අදාළ සංචිත පිළිබඳ හෙළි නොකරන ලෙස පාලිමේන්තුවේදී දිගින් දිගටම ඔහුගෙන් ඉල්ලා සිටියදී ලක්මන් කිරිඇල්ල විසින් මෙම හෙළිදරව්ව සිදු කෙරිණි. කිරිඇල්ලගේ කතාවට සිව් වරක් පමණ බාධා කරමින් හර්ෂ ද සිල්වා අදාළ සංචිත ප්‍රමාණය හෙළිදරව් නොකරන ලෙස ඉල්ලා සිටියේය.එහෙත් "අපි දේශපාලනය කරන්නේ" යැයි ඉංග්‍රීසි බසින් පවසමින් ඔහු මෙම හෙළිදරව්ව සිදු කළේය. අදාළ තොරතුරු හර්ෂ ද සිල්වා හට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ලබා දී ඇතැයි කියවුණි. ඔහු සමඟ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සාකච්ඡා කරමින් සිටින පසුබිමක මෙම හෙළිදරව්ව සිදුකිරීමත්, පෙර දිනයේ දී හර්ෂ ද සිල්වා හරීන් ප්‍රනාන්දු විසින් ජනාධිපති ධූරයට යෝජනා කර සිටීමත් හේතුවෙන් මෙම සිදුවීම විශේෂිත විය.

සිකුරාදා දිනයේද මහජන විරෝධතා ප්‍රදේශය රැසකම පැවැත්වුණි. බොහෝ ප්‍රදේශවල වැසි වැටුණත් විරෝධතා නතර නොකිරීමටය පිරිස කටයුතු කළහ. මේ අතර පාර්ලිමේන්තුවද උණුසුම් විය. ආණ්ඩුවේ නායකයන් ඉවත් වන්නේ නැතිනම් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ අතර ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සඳහා සමගි ජන බලවේගය පක්ෂය මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබා ගැනීම ආරම්භ කළ බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ ඇතිවූ උණුසුම් තත්වය මත ආණ්ඩු පක්ෂ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කිරීමට කතානායකවරයා කටයුතු කළේය. ඒ අතර අධිභාර බද්ද පනත් කෙටුම්පත කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා බලාත්මක කළේය. එසේම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය බාරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත සිකුරාදා තීරණය කර තිබුණි. ඒ අනුව විශේෂ ප්‍රකාශයක් සිදුකළ රංජිත් සියඹලාපිටිය මහතා එම තනතුර යළි බාරගැනීමට තීන්දු කළ බව කීය.

මේ අතර තරමක් අපුරු ප්‍රකාශයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවේදී සිදු කළේය. තමන් නැවත පාර්ලිමේන්තු එන්නේ රට ස්ථාවර වූ දවසක බව බවත් එතෙක් පාර්ලිමේන්තු එන්නේ නැති බවත්, තමන්ට ඉංග්‍රීසි භාෂාවද බැරි බවත් එනිසා තමන්ට රට හදන්න බැරි බවත් ඔහු සඳහන් කළේය. මේ අතර පොහොට්ටුවේ ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන අනුර යාපා ප්‍රියදර්ශන මහතා ඇතුළු කණ්ඩායම පක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මුණගැසී සාකච්ඡා කළ බවටද තොරතුරු අනාවරණය විය.

නව අමාත්‍ය මණ්ඩලයක් දිවුරුම් දීම සම්බන්ධ ආරංචිද දේශපාලන කරළියේ වේගයෙන් පැතිර ගියේය. බ්‍රහස්පතින්දා දිනය රාත්‍රියේ ජනාධිපති ජනාධිපති කාර්යාලයේදී සම්බන්ධ සාකච්ඡා පවත්වා ඇතැයි කියවුණි. කෙසේ වෙතත් නව කැබිනට් මණ්ඩලය ලබන සතියේ පත්කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබුණි. බොහෝදුරට ලබන සඳුදා හෝ අඟහරුවාදා නව කැබිනට් මණ්ඩලය පත් කරනු ඇතැයි එම ආරංචි මාර්ග හැඟී ගියේය.

 චමිදු නිසල්