2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා

ශ්‍රීලනිපයට ජවිපෙ පස්ස හරවයි

 2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 306

  • මහින්ද තිරුපති වන්දනාවක
  • හිටපු කෘෂිකර්ම ලේකම් කේවට්ටයන් ගැන හෙළිදරව්වක
  • ඉන්ධන මිල නැග්ගීමට එරෙහිව ස.ජ.බෙන් පන්දම් පෙළපාළියක්
  • යුගදනවි ගිවිසුම ගැන විමල්ගෙන් හෙළිදරව්වක්
  •  ඇමැති බන්දුල ස.තො.ස. සහ රජවාසයේ ලාභ බෙදයි
  • අමාත්‍යංශ ලේකම්ලාට ග්‍රහ මාරු

ඉන්ධන මිල ඉහළ යෑම සතියේ ප්‍රමුඛ පුවත මෙන්ම සතියේ බරපතළම දේශපාලන සංවාදය විය. එසේ නමුත් වෙනදාට සාපේක්ෂව ගෙවුණු සතියේ දේශපාලන කරච්චල් අඩුවූ බව පෙනී ගියේය. ඊට හේතුව වූයේ අය-වැය විවාදයෙන් පසු දේශපාලනඥයන් බොහෝ දෙනෙකු වර්ෂ අවසාන නිවාඩුව භුක්ති විඳීමයි. එහෙත් කිසිදා රුඟුම් නතර නොවන දේශපාලන කරළියේ විවිධ නාටක රඟ දැක්වුණි.

වසර දෙකක් ඇතුළත කෘෂිකර්ම අමාත්‍යාංශයට පත්වූ පස්වැනි ලේකම්වරයාද ගෙවුණු සතියේ පත්වීම් ලැබුවේය. ඒ අනුව මෙතෙක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා වෙනුවට ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක මහතා ජනපතිවරයා විසින් පත්කරනු ලැබුවේය. හිටපු ලේකම්වරයා ඉවත් කිරීම පිටුපස සහ ඉදිරිපසද දේශපාලන කතා බොහොමයක් විය.

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්ධුරයෙන් ඉවත් කෙරුණු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා ආණ්ඩුවේ කඩිනමින් කාබනික පොහොර ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම ගැන පසුගිය සමයේ අවස්ථා ගණනාවකදී ආන්දෝලනාත්මක අදහස් ඉදිරිපත් කළේය. ඉදිරියේදී ඇතිවන ආහාර ද්‍රව්‍යවල හිඟයක් පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඔහු මෑතකදී සිදුකළේය. ඒ අතර වරක් කාබනික පොහොර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ඉක්මන් වුණා වැඩිදැයි මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් ලේකම්වරයා ''මේක ඉක්මන් වුණා වැඩියි'' යනුවෙන්ද කියා තිබුණි.

මේ අතර ජනවාරියේ රාජ්‍ය අභ්‍යන්තර ව්‍යූහයේ සිදුවන දැවැන්ත පරිවර්තනයක් පිළිබඳවද විවිධ ආරංචි පැතිර යමින් තිබුණි. ලේකම් ධූර සභාපති ධූර පමණක් නොව ඇමැති විෂයන්ද මාරුවීමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. ඊට සාක්ෂි සපයමින් තවත් ලේකම් ධුරයක් ගෙවුණු සතියේදී මාරුවුණි. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කෙරුණු පසුව සංවර්ධන ලොතරුයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි අනූෂ පැල්පිට මහතාට මෙම නව පත්වීම ලැබුණි. ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ ලේකම් ධූරයද වරක් ඉසිලූ ඔහු මෙවර ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් ධුරයට පත්කරනු ලැබීය.

කෘෂිකර්ම ලේකම් ඉවත් කිරීම ක්‍රමයෙන් දේශපාලනික වන අයුරුද පසුගිය සතියේ පෙනී ගියේය. තනතුරෙන් ඉවත් කළ කෘෂිකර්ම ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ සිය ධූර කාලය තුළ සිදුකළ ජාතික අපරාධ ගණයේ ගනුදෙනු පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව  සජබ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය කීවේය. ඒ අනුව ඇය හිටපු ලේකම්වරයා සම්බන්ධව බරපතළ චෝදනා රුසක් ඉදිරිපත් කළාය.

ගෙවුණු සතියේ ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර විශේෂිත කතාවක් කීවේය. රටේ දේශපාලන භාවිතාව පිළිබඳ අවධානයට යොමුකරන කවුරුත් මෙම ප්‍රකාශය කිරා මැන බැලීමට සූදානම් වූහ. බදාදා (22) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙම ප්‍රකාශය සිදු කළේය.

වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ වගේ පිරිසිදු පක්ෂයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ පිරිසිදු පක්ෂයක් එක්ක එකතුවෙලා අනාගතය ගොඩනගන්න ඉඩකඩ තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණද නව දේශපාලන ගමනක් ආරම්භ කොට ඇති පසුබිමක මෙම ප්‍රකාශය තරමක් විශේෂ විය. ශ්‍රීලනිපයද එක්සත් ජනතා නිදහස් සන්ධානය නැවත ශක්තිමත් කිරීමට පසුගිය දිනවලදී උත්සාහ දරමින් සිටියේය. කෙසේ වෙතත් ජයසේකර මහතාගෙන් මේ සම්බන්ධ වැඩිදුරටත් විමසන විට පවසා තිබුණේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජවිපෙ සම්බන්ධ සාකච්ඡා නොකළ බවකි. එහෙත් රටතුළ පවතින දේශපාලන ආර්ථික අර්බුද හමුවේ මෙම ප්‍රකාශය සම්බන්ධව ජනතාව තුළද යම් උනන්දුවක් ඇති බව පෙනී ගියේ සමාජ මාධ්‍ය වෙබ් අඩවි ප්‍රචාර හේතුවෙනි.

මේ අතර ඉකුත් බ්‍රහස්පතින්දා (23) ජනතා විමුක්ති පෙරමුණද ශ්‍රීලනිප මහලේකම්වරයාගේ ප්‍රකාශය සම්බන්ධ ප්‍රතිචාර දැක්වූයේය. එම යෝජනාව සම්බන්ධ ශ්‍රීලනිප මහලේකම්වරයාට ස්තූති කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කීවේ මාධ්‍ය විමසුමකට පිළිතුරු දෙමිනි. එහෙත් පක්ෂය ශ්‍රීලනිපය සමඟ සන්ධාන ගතවීම සම්බන්ධව සාකච්ඡාවට කොට නොමැති බව ඔහු වැඩිදුරටත් පවසා තිබුණි. ඒ අතර සිකුරාදා (24) ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කර තිබුණේ ජවිපෙ කිසිදිනක ප්‍රධාන දේශපාලන පක්ෂ සමග සන්ධානගත නොවන බවය.

පසුගිය සතියේ චීනය සමඟ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමීප ඇසුරක් පවත්වනු දක්නට ලැබුණි. ඒ අනුව පසුගිය සතියේ සමගි ජනබලවේගයේ ''හුස්මක්” වැඩසටහන පිළිබඳව ස්වකීය ප්‍රසාදය සහ සතුට පළ කරමින් චීන රජය රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් එම වැඩසටහනට සුවිශේෂී පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය. මෙය සාමාන්‍යයෙන් මෙරට දේශපාලනයට එතරම් හුරුපුරුදු දෙයක් නොවූවෙන් බොහෝ දෙනකුගේ අවධානය ඊට යොමුවූයේය.

කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් මෙරට රෝහල්වල සෞඛ්‍යය නගාසිටුවීම අරමුණු කොට ගනිමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් “සමගි ජන බලවේගයේ හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක වේ. සමගි ජනබලවේගය පවසන පරිදි වැඩසටහනේ වට 34 ක් තුළ ලක්ෂ 1016ට අධික වටිනාකමකින් යුක්ත රෝහල් උපකරණ මේ වනවිටත් බෙදා දී ඇත. එසේම සජබ වාර්තා අනුව මෙම ආධාර මුදල ලබාගැනීම වෙනුවෙන් විපක්ෂනායකවරයා චීනය සමඟ සාකච්ඡා කොට තිබේ. මෙම ආධාර මුදල ලබාගැනීම සම්බන්ධයෙන් චීනය සමඟ පැවැති සාකච්ඡාවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිරන්තරයෙන් ණයක් නොව ආධාර මුදලක් ලබාදෙන ලෙස චීනයෙන් ඉල්ලා ඇතැයි කියැවේ.

වකුගඩු ආශ්‍රිත රෝග පිළිබඳව පරික්ෂණ සඳහා අත්‍යවශ්‍යව පවතින Kidney Dialysis Machine සඳහා රුපියල් ලක්ෂ එකසිය අනූහයක මූල්‍ය ආධාරය ඔවුන් වෙත ලැබී ඇත්තේ ඒ අනුවය. මෙම පරිත්‍යාග සම්බන්ධ නව චීන තානාපති කී සෙන් හොංග් මහතා අදහස් දක්වමින් රෝහල්වලට අත්‍යවශ්‍ය රෝහල් උපකරණ ලබාදීමට කටයුතු කරන ලද අතර ඉතා විනිවිද ලෙසත්, ක්‍රමානුකූලව සහ ප්‍රශස්ත ලෙසත් එම කටයුත්ත සිදුකරන බවට තමන්ට නිරීක්ෂණය වී ඇතැයි පවසා ඇතැයිද සජබ මාධ්‍ය වාර්තා උපුටා දක්වයි.

ආණ්ඩුව අභ්‍යන්තරයේ වූ යුගදනවි බලාගාර අර්බුදය බරපතළ ලෙස කරළියේ රඟ දැක්වීම සති කිහිපයක සිටිම සිදුවෙමින් තිබුණි. එහි තවත් උච්චතම අවස්ථාවක් ගෙවුණු සතියේ වේදිකාගත විය. ශ්‍රී ලංකා රජයෙන් නිව් ෆෝට්‍රස් සමාගමට යම් අගතියක් සිදුවුවහොත් අමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමට හැකි බවට යුගදනවි බලාගාර ගිවිසුමේ වගන්තියක් ඇතුළත් කර ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා රෑපවාහිනී සංවාදකට සහභාගී වෙමින් පැවසීය.
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ තිරුපති දේවාලය වන්දනාමාන කිරීම සඳහා බ්‍රහස්පතින්දා (23) අලුයම් කාලයේ ඉන්දියාව බලා පිටත්ව ගියේය. මෙය පෞද්ගලික සංචාරයක් වූ අතර අග්‍රාමාත්‍යවරයා පෞද්ගලිකව මෙම සංචාරය සිදුකළේය. වසරකට වරක් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය තිරුපති වන්දනාවේ යෑම පුරුද්දක් කරගෙන ඇති බව දේශපාලන කරළියේ බොහෝ දෙනෙකු දනිති. මුදල් භාවිතා කොට සංචාරයද සිදුවන්නේ ඒ අනුවය. සංචාරය සඳහා අගමැති බිරිය වූ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා ඇතුළු සීමිත පිරිසක් සහභාගී වූහ.

කෙසේවෙතත් අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දියානු සංචාරය පිළිබඳ විශාල අවධානයකින් කටයුතු කළ ඉන්දියානු රජය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට අවශ්‍ය සියලු පහසුකම් සපයා තිබුණි. ප්‍රාන්ත මැති ඇමතිවරු මෙන්ම පොලිස් ප්‍රධානීන්ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීමට ගුවන් තොටුපොළට පැමිණ සිටියහ. සංචාරයට පෙර සිටිම ඉන්දියානු රජය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේය. එසේම රාජ්‍යතාන්ත්‍රිකයන් සඳහා වන හෝටලයක අගමැතිවරයා ඇතුළු පිරිසට නවාතැන් පහසුකම් සූදානම් කර තිබුණි.

සිකුරාදා උදෑසන තිරුපති හී දී  අගමැතිවරයා විශේෂ පූජා කිහිපයකටම සහභාගී විය. අනතුරු සිකුරාදා දිවා ආහාරයෙන් පසු අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස නැවත ශ්‍රී ලංකාව බලා පිටත්වූහ.

ගෙවුණු සතියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වහාම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට යෝජනාවක් ශ්‍රීලනිපය තුළින් යළිත් මතුව ආවේය. පසුගිය සතියේ පැවැති කෑගල්ල දිස්ත්‍රික් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී එම යෝජනා ඉදිරිපත්ව තිබේ. පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති දිස්ත්‍රික් සම්මේලනයකදී මෙවන් යෝජනාවක් ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙය විය. ආණ්ඩුවේ ගමන් මාර්ගය පිළිබඳව එහිදී පාක්ෂිකයන් විසින් දැඩි විවේචන එල්ල කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ නමුත් ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතා එම අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් කිසිදු අදහසක් ප්‍රකාශ කර නොමැත.

චීන පොහොර නැව ගෙවුණු සතියේ නැවත කරළියට පැමිණියේය. එය සිදුවූයේ චීනයේ සීවින් බයෝටෙක් සමාගම විසින් මෙරටට එවන ලද කාබනික පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා නොමැති බව සිංගප්පූරුවේ සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළිවීමත් සමඟයි. මේ අතර ලංකා පොහොර සමාගම විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලද යළි කැඳවීමෙන් අනතුරුව අදාළ වාරණ නියෝගය ඉවත් කරනවාද? නැද්ද? යන නියෝගය ලබන 06 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ වාණිජ මහාධිකරණ නියෝග කළේය. මේ සමඟම වන්දි ලබාදී චීන පොහොර නැව නැවත ශ්‍රී ලංකාවට රුගෙන ඒමට ආණ්ඩුව සූදානම් වන බව විපක්ෂය චෝදනා කළේය.

සේවයෙන් ඉවත්කළ හිටපු කෘෂිකර්ම ලේකම්වරයාද බ්‍රහස්පතින්දා වනවිට නිහඬ බව බිඳ මාධ්‍ය ප්‍රශ්න කිරීම්වලට ප්‍රතිචාර දක්වන්නට විය. ඒ අනුව කාබනික කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ අඩාල වූයේ කේවට්ටයින්ගේ උපදෙස් ලබාගැනීම හේතුවෙන් බව හිටපු ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා ප්‍රසිද්ධියේ සඳහන් කළේය. කාබනික වගාව 100෴ක් සිදුකිරීම ප්‍රායෝගිකව කළ නොහැකි කාර්යයක් බවද පැවසූ හෙතෙම චීන පොහොර සම්බන්ධ හෙළිදරව්වක්ද සිදුකළේය.
නැවෙන් නෙමෙයි ප්ලේන් එකෙන් නෙවෙයි තෙප්පමෙන් ගෙනාවත් කමක් නෑ අවශ්‍ය ප්‍රමිතියකින් තොර භාරගත නොහැකි පොහොර යැයි කියාගත්ත ඒවා නම් මේ රටට ගේන්න එපා, මට හිතුණොත් මේ රටේ මේක කරනවට වැඩිය හොඳයි වෙන කොහේ හරි රටක ගිහිල්ලා නිවී හැනහිල්ලේ ඉතුරු අවුරුදු පහ හරි දහය හරි ඉන්නවා කියලා ඒක තමයි මගේ තීරණේ. අපි දාම් ඉත්තෝ නෙවෙයි. චෙස් ඉත්තෝ කියලා හිතාගන්නකෝ.

මේ අතර ලබන වසරේ රට තුළ කිසිදු ආහාර හිඟයක් ඇති නොවන බවට තමා සහතික වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගිය සතියේදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකර තිබුණි. අමාත්‍යවරයා පැවසුවේ සෑම දිස්ත්‍රික්කයකම කුඹුරු ඉඩම් වලින් සියයට 90ත් 95ත් අතර ප්‍රමාණයක් මේ වනවිට වගාකර තිබීම හේතුවෙන් රට තුළ ආහාර හිඟයක් ඇති වන බවට ඇතැමුන් සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බවකි.

රටේ බොහෝ ආයතන පාඩු ලබන පසුබිමක ලාබ ලබා සේවකයන්ට ව‍ර්ෂ අවසානයේ සැලකිය යුතු බෝනස් මුදල්ද ලබාදුන් රාජ්‍ය ආයතන දෙකක් පිළිබඳ දැනගන්නට ලැබුණි. මෙම පසුගිය මාසවල ලාබ ලබා තිබුනේ සතොස සහ රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාවයි. වාර්තා වූ පරිදි පාඩු ලබමින් තිබූ මේ ආයතන දෙකම මාස කීපයක් තුළ දී වාර්තාගත මෙහෙයුම් ආදායමක් ලබා ඇත. වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධනගේ මෙහෙය වීම යටතේ මෙය සිදුව තිබේ. බිලියන 20ක අලාභයක් පිට පවත්වාගෙන ගිය ලංකා සතොස ඇමති බන්දුල භාර ගත්තට පසුව බිලියන 40ක ආදායමක් වාර්තා කරන්නටත් සමත්ව ඇති බව කියැවුණි.

මෙම තත්ත්වය මත ඇමති බන්දුල අදාළ ආයතනයෙන් ආයතනයට ගොස්  මේ ලාභය ලබාගන්නට කැප වී ක්‍රියාකරපු හැමදෙනාම සර්ප්‍රයිස් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව පෙර වර්ෂවල පාඩු ලැබූ මෙම ආයතන දෙකේම සේවක සේවිකාවන්ට නොහිතූ වෙලාවක බෝනස් ලබාදීමට සිදුව තිබේ. බෝනස් බෙදූ වෙළඳ ඇමතිවරයා එහිදී මෙවන් ප්‍රකාශයක්ද සිදු කළේය.

අපි මේ කරන්නෙ ඔබේ සේවය අගය කිරීමක් පමණක් නෙවෙයි. ඔබේ සේවය අපිට මිල කළ නොහැකියි. නමුත් අද මේ දෙන ප්‍රසාද දීමනාවත් එක්ක ඔබ ලබන හැඟීමෙන් 2022 වසරෙත් ඔබේ කැපවීම ලබාදුන්නොත් අපිට තවත් අඩියක් ඉස්සරහට තියලා ඔබේ ප්‍රසාද දීමනාව තවත් වැඩිකර ලබාදෙන්නට හැකියාව ලැබෙන බව මේ අවස්ථාවේදී මතක් කළ යුතුයි.

ඉන්ධන මිල ඉහළ දැමීම සතියේ ප්‍රමුඛ සිදුවීම වුවද එය සිදුවන බව බොහෝ පාර්ශව කල් ඇතුව දැන සිටි නිසාවෙන් ප්‍රතිරෝදය තරමක් අඩුවිය. කෙසේ වෙතත් ඉහළ දැමූ තෙල් මිලට විරෝධය පාමින් සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණෙ ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධාන විය. ඉන්ධන මිලට විරෝධය පාමින් ගාල්ල බලපිටිය ප්‍රදේශයේදී සමගි ජනබලවේගය රාත්‍රි පන්දම් පෙළපාලියක් සංවිධාන කොට තිබිණි.

දේශපාලන පක්ෂවලට අමතරව වෘත්තීය සමිති, වෘත්තීයවේදී සංවිධාන සහ බහුජන සංවිධාන රුසක් සමඟ සාකච්ඡා ඇරඹීමට එක්සත් ජාතික පක්ෂය ගෙවුණු සතියේ තීරණය කර ඇති බව දැනගන්නට ලැබුණි. ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න, හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්, හිටපු ආණ්ඩුකාර අසාද් සාලි, නීතීඥ ශිරාල් ලක්තිලක සහ නීතීඥ ගුණරත්න වන්නිනායක යන මහත්වරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් සමග එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රමුඛ එජාප නායකයන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වූ සාකච්ඡාකින් අනතුරුව මෙම තීරණයට පිරිස පැමිණ ඇති බව කියැවේ.

හිටපු ආණ්ඩුකාරවරුන් සමඟ පැවැත්වූ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්වත් කර ඇත. අනතුරු වෘත්තීය සමිති ඇතුළු සංවිධාන සමඟ සාකච්ඡා කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාද උපදෙස් ලබාදී ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

 චමිදු නිසල්