2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

බැසිල් එන්නට පෙර කැබිනට් සංශෝධනයක්?

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 440

  • ජනපති ලේකම් පුටුව ගැන කතා පැතිරෙද්දි ගෝඨාභය පී.බී. හමුවක්
  • කන්ටේනර් නිදහස් කරගන්න බන්දුලට ඩොලර්
  • පාර්ලිමේන්තු සැසිවාරය කල් දැම්මාට විපක්ෂයෙන් චෝදනා
  • මෛත්‍රීපාලගෙන් ආණ්ඩුවට දෝස්මුරයක්
  • පළාත් සභාවත් ආණ්ඩුව උදුරාගත් බව දෙමළ මුස්ලිම් පක්ෂ කියයි
  • ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට බැසිල් කිව්ව දේ
  • ජවිපෙන් බිඳවැටුණු මව්බිම ගොඩනඟන විසඳුම
  • චීන තානාපති නල්ලූර් කෝවිලේ

තවත් අර්බුදකාරී දේශපාලන සතියක නිමාව සනිටුහන් වූයේය. පාර්ලිමේන්තුවද වාර අවසාන කරනු ලැබූ අතර දේශපාලනඥයන් යම් විවේකයක් ලබන්න සූදානම් වන බවක් පෙනෙන්නට තිබුණි. ඒ අතර ණය, නැව් සහ තනතුරු මාරු පිළිබඳ විවිධ කතාද පැතිර ගියේය. අර්බුද ගහණ වූ තවත් වසරක අවසානයේ සුපුරුදු පරිදි ජනතාව තුළ වූයේ බලාපොරොත්තු රැසකි.

පසුගිය සතිය ආරම්භ වූයේ ජනපතිගේ සිංගප්පූරු සංචාරය පිළිබඳ පුවත් මවමිනි. ඒ පිළිබඳ විවිධ කතා පැතිර ගිය නමුත් දේශපාලන ආරංචි මාර්ග අනුව කියැවුණේ මෙම සංචාර මාස කිහිපයකට පෙර සැලසුම් කර තිබූ සංචාරයක් බවයි. පෙර අවස්ථාවකදී සිදුකරනු ලැබූ හදවත් සැත්කමක් හේතුවෙන් මාස හයකට වරක් ජනපති සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ පරීක්ෂණයක් සඳහා සහභාගී විය යුතුව තිබුණි. එහෙත් ඉකුත් වකවානුවේ මාස දෙකක පමණ කාලයක් අදාළ කටයුත්තට ජනපති විසින් අතපසු කොට තිබුණේ රාජකාරි අධික වීම හේතුවෙනි. එහෙත් මෙවර ජනපති වෙනුවෙන් මවුන්ට් එළිසබෙත් රෝහලේ වේලාවක් වෙන්කර ගැනීමට ජනපතිගේ පෞද්ගලික වෛද්‍යවරයා කටයුතු කළේය.

ඒ අනුව පසුගිය සඳුදා (13) අලුයම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. මෙම සංචාරය පිළිබඳ තතු මාධ්‍ය ඇතුළු බොහෝ පාර්ශව දැන සිටියේ නැත. ඒ නිසාම විවිධ කතා පැතිර ගියේය. එම ප්‍රචාර වළකා ගන්නට ආණ්ඩුවේ ඇතැම් පාර්ශවද විවිධ කතා කියන්නට විය. කෙසේ වෙතත් ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ මෙම සංචාරය පිළිබඳ තතු පසුව කරළියට පැමිණියේය. ඒ අනුව අදාළ කටයුතු වෙනුවෙන් දින හතරක් ජනපති වෙන්කොට තිබුණ බවද දින තුනකින් එම කටයුතු නිමාවීම හේතු කොටගෙන කඩනමින් ශ්‍රී ලංකාවට පැමිණි බවද දැනගන්නට ලැබුණි.

මෙම සංචාරයට පෙර ඉකුත් ඉරිදා (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමටද ජනාධිපති කටයුතු කළේය. ඒ සම්බන්ධයෙන් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ආරම්භ වන්නේ 2022 ජනවාරි මස 18 වැනිදාය. කෙසේ වෙතත් මෙම වාර අවසාන කිරීම පිළිබඳ විපක්ෂ කණ්ඩායම් ඉදිරිපත් කළ චෝදනා කිහිපයකි. මෙම තීරණය පිටුපස සැඟවුණු න්‍යාය පත්‍රයක් ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. පාර්ලිමේන්තුව කල් තැබීම පිටුපස සීනි බදු වංචාවේ තොරතුරු හෙළිදරව් වීම වැළැක්වීමේ තැතක් ඇති බවයි ඔහු සඳහන් කළේ.

පාර්ලිමේන්තු වාර අවසාන කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභා අක්‍රීය වීම හේතුවෙන් මෙම චෝදනාව ආණ්ඩුව වෙත එල්ල විය. එහිදී සීනි බදු වංචාව සම්බන්ධ විමර්ශන කරමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතීත්වයෙන් යුතු රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අහෝසි වීම විශේෂිත විය. අදාළ විමර්ශන වළකාලීම අරමුණින් යුතුව පාර්ලිමේන්තු වාර අවසාන කළ බවට සජබ මන්ත්‍රී කණ්ඩායම චෝදනා කළෝය.
යුගදනවි ගිවිසුවම හෙළිදරව් වීම සහ ඊට ප්‍රතිචාර දැක්වීමට ආණ්ඩුව අසමත් වීමද මෙම වාර අවසාන කිරීමට හේතුවක් බව විපක්ෂ කණ්ඩායම් කියා සිටියේය. තවද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මේ දක්වා සිදුකරන ලද ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වැනි ආයතනවලට අදාළ විමර්ශනවලටද මේ හරහා බාධා එල්ල වී ඇති බව කියැවුණි.

විපක්ෂයෙන් එල්ල වූ චෝදනා සම්බන්ධව මාධ්‍යවේදියකු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගෙන් ප්‍රශ්න කළේ මේ අතරය. ආණ්ඩුව වෙනුවෙන් ඔහු ඊට පිළිතුරු ලබාදී තිබුණි. මෙය හදිසියේ ගත් තීරණයක් නොවන බව සඳහන් කළ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත බලය පැවරී ඇති බවය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බදාදා (15) අලුයම මෙරටින් පිටව යෑම ගෙවුණු සතියේ සිදුවූ තවත් සුවිශේෂී සිදුවීමක් විය. වාර්තා වූ පරිදි බදාදා අලුයම 02.55ට පමණ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. 649 දරන ගුවන් යානයෙන් ඔහු ඩුබායි පිටත්ව ගොස් තිබුණි. මෙය පෞද්ගලික සංචාරයක් වූ අතර ඔහුගේ බිරිඳද මේ ගමනට එක්වූවාය. ඔවුන්ගේ ගමනාන්තය වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය. පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟ ජනවාරි 18 වැනිදා දක්වා ලැබුණු නිවාඩුව භුක්ති විඳීමට බැසිල් රාජපක්ෂ මෙලෙස රටින් පිටව ගිය බව මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මහතා මෙරටින් පිටව යාමට පෙර ඉකුත් අඟහරුවාදා (14) අරලියගහ මන්දිරයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සමඟ සාකච්ඡාවකට සහභාගී වී ඇති බවද දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ තහවුරු කර ගැනීමට හැකිවිය. එහිදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධ ඔහු මන්ත්‍රීවරුන් දැනුවත් කර ඇති බව කියැවේ. මේ අතර බැසිල් රාජපක්ෂ මහතා ආපසු මෙරටට පැමිණෙන්නේ ලබන වසරේ මුල සිදුකෙරෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයකින් පසුව යැයි දේශපාලන කරළියේ රාවයක් පැතිර යමින් තිබේ.

මේ සියල්ල අතරේ පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීමට රජය සැලසුම් කර ඇති බවට තොරතුරක්ද ගෙවුණු සතියේ මාධ්‍ය වෙත වාර්තා වී තිබුණි. ඒ අනුව පළාත් පාලන පනතේ බලතල භාවිතා කරමින් පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව කියැවුණි. ආරංචි මාර්ග අනුව ඊට අදාළ කැබිනට් පත්‍රිකාව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් කැබිනට් මණ්ඩලයට සඳුදා (13) ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත් එදින එය සාකච්ඡාවට ගෙන නැති බවද වාර්තා වේ. පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාද මීට ඉහත දී පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දමන බවට ප්‍රකාශයක් සිදුකර තිබුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ගෙවුණු සතියේ සුපුරුදු පරිදි ආණ්ඩුව කොනිත්තමින් සිටියේය. ඉකුත් සඳුදා හිටපු ජනාධිපති ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතා තරමක් බරපතළ ප්‍රකාශයක් සිදුකර තිබුණි. ආණ්ඩුව තොරතුරු දැනගැනීමේ පනත අකර්මණ්‍ය කිරීමට කටයුතු කරමින් සිටින බව කී ඔහු එය වේදනාකාරී සිදුවීමක් බව පෙන්වා දී තිබුණි. එසේම ඉකුත් ආණ්ඩුව සමයේ ගත් ජනතාවාදී තීන්දු තීරණ රුසක් වත්මන් ආණ්ඩුව ආපසු හරවමින් සිටින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
පසුගිය සති කිහිප තුළ ආණ්ඩුවට සම්බන්ධ විවේචනාත්ම ප්‍රකාශ කිහිපයක්ම සිදුකළ අමාත්‍ය මහින්ද අමරවීර මහතාද පසුගිය අඟහරුවාදා විශේෂිත කතාවක් කීවේය. අර්බුදයේ බරපතළ බව එම ප්‍රකාශය හරහා තවදුරටත් පැහැදිලි වූයේය. ආණ්ඩුව පිපිරීමකින් තොරව එකමුතුව තබාගැනීමේ වගකීම ඇත්තේ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බව ඔහු සඳහන් කළේය.

ඒ ගොල්ලො දැනගන්න ඕනෙ ප්‍රධාන පක්ෂය අනෙකුත් කණ්ඩායම් එකතු කරගෙන පිපිරෙන්නෙ නැති මට්ටමකට ගෙනියන්න. ජනතාවගෙ ප්‍රශ්න විසඳෙනවා නම් රටේ හොඳ තත්ත්වයක් නම් තියෙන්නෙ ඉතින් ආණ්ඩුව පිපිරෙන්න ඕනෙ නෑ. රටේ මේ ප්‍රශ්න නිසානෙ ඔව්වා ගැන කතාවෙන්නෙ.

එක්සත් ජාතික පක්ෂයද මේ දිනවල සිය පක්ෂ ප්‍රතිසංවිධාන සම්බන්ධ විවිධ කටයුතු නිරත වී සිටින බව පෙනී ගියේය. කොට්ඨාස මට්ටමින් කමිටු පිහිටුවීම හා නව සාමාජිකයන් බඳවා ගැනීම පිළිබඳව දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරීන් වෙත පවරා තිබෙන වැඩකටයුතු සම්බන්ධව අදාළ ප්‍රදේශවලට ගොස් ඔවුන් සමග සාකච්ඡා කිරීමට පක්ෂ නායකයෝ කටයුතු කරමින් සිටියෝය. ඒ අතර වජිර අබේවර්ධන මහතා සහ වෘත්තීයවේදීන් අතර විශේෂ හමුවක්ද පසුගිය බදාදා දහවල් කොළඹදී පවත්වා තිබුණි.
ජාතික ජනබලවේගයද ඉදිරි සතියේ සුවිශේෂී කටයුත්තකට සූදානම් වෙමින් සිටියේය. දෙසැම්බර් 20 වැනිදා සිය ජාතික ජනබලවේගයේ නියෝජිත සමුළුව පැවැත්වීම ඔවුන්ගේ අරමුණ විය. දැනට ඇති ආරංචි මාර්ග අනුව ‘බිඳවැටුණු මව්බිම ගොඩනඟන විසඳුම’ යන තේමාව යටතේ පැවැත්වෙන මෙම නියෝජිත සම්මේලනයේදී රටේ අනාගත අභියෝග ජයගැනීම සඳහා වගකීම් භාරගැනීමට සූදානම් ජාතික විධායක සභාවක් පත්කර ගැනීමට සහ රටට හඳුන්වාදීමට නියමිත බව කියැවේ.
ගෙවුණු සතියේ තවත් පුවත් මවන චරිතයක් බවට පත්ව සිටියේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාය. ඔහු පිළිබඳ විවිධ කතා පැතිර යමින් තිබූ අතර ප්‍රසිද්ධියේ ජයසුන්දර මහතාව විවේනය කිරීමට ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු කටයුතු කොට තිබුණි. ඒ අතර ජනාධිපති ලේකම් ධුරයේ වෙනසක් සිදුවන බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. පසුගිය සතියේ එක්තරා අවස්ථාවක ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ඉල්ලා අස්වෙයි මැයින් පුවත්ද සමාජ මාධ්‍ය සහ වෙබ් මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබුණි.

ජනාධිපති ලේකම් ධුරය සඳහා විවිධ යෝජනා ගලා ආවේ ඒ අනුවය. හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට නැවත ජනාධිපති ලේකම් ධුරය ලබාදිය යුතු බව පිරිසක් කීවේය. තවත් පිරිසක් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා යෝජනා කළේය. ඒ අතර ජ්‍යෙෂ්ඨ ඇමතිවරු දෙදෙනෙක් විශේෂ යෝජනාවක් ගෙනැවිත් තිබුණි. කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්ත මහතා මෙම තනතුර වෙනුවෙන් යෝජනා කිරීමට එම ඇමැතිවරු දෙදෙනා ඉදිරිපත් විය.
මේ අතර එකිනෙකට පරස්පර යෝජනා තවදුරටත් ආණ්ඩුවේ ඉහළ නායකත්වය වෙත ගලා එමින් තිබුණි. වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානයක මහතාගේ නමද මෙම යෝජනා අතර කැපී පෙනෙන නමකි. මෙම ලේකම් ධූර පිළිබඳ මැති ඇමතිවරු සේම රාජ්‍ය පරිපාලනය සේවයේ ඉහළ නිලධාරීන්ද ඉතා සංවේදී වන බව පෙනෙන්නට තිබුණි. කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලේකම් හබය පිළිබඳ කිසිදු මතයක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව දේශපාලන ආරංචි මාර්ග අනුව කියැවුණි. ඔහු ගිය බ්‍රහස්පතින්දා ජනාධිපති ලේකම්වරයා සමඟ සුහද සාකච්ඡාවක්ද පවත්වා තිබිණි.

නැවත දේශපාලන කරළියේ සතිපතා අවධානය දිනා ගැනීමට හිටපු කතානායක කරු ජයසූරිය මහතා සමත්වන බව ගෙවුණු සතිය වනවිට පැහැදිලිව පෙනී ගියේය. ඔහු සංවිධාන කිහිපයකට නායකත්වය ලබාදෙමින් ජයසූරිය මහතා විවිධ ප්‍රකාශය සිදුකරමින් දේශපාලන කරළියේ සජීවීව සිටීමට අවකාශ සකසා ගෙන තිබුණි. &ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සංහිඳියාව උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජාතික හා ආගමික සංහිඳියාව සඳහා වූ එකමුතුව* සංවිධාන හරහා කරු ජයසූරිය මහතා අලුත් වැඩක් ඇරඹුවේය. ඒ අනුව  &සම්මුතිය* නමින් ප්‍රකාශයක් මෙම සංවිධානය විසින් එළිදක්වනට යෙදුණි. මෙහි විශේෂිත කරුණු පිළිබඳව කරු ජයසූරිය මහතා පැහැදිලි කිරීමක්ද සිදුකළේය.

ආණ්ඩුව පත්කරන කමිටුවක සීමිත සාමාජිකයන් පිරිසක් විසින් එවැනි ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම වෙනුවට, ජනතාව විසින් සකස් කරන ලද ව්‍යවස්ථාවක් එළි දැක්වීම අත්‍යාවශ වන බව අපගේ බලවත් විශ්වාසයයි. අද ඉදිරිපත් කරන යෝජිත ව්‍යවස්ථාව එවැනි ආකාරයට සැකසුනු වැදගත් යෝජනාවලියකි. එය පරිපූර්ණ ව්‍යවස්ථා ආකෘතියක් නොවන බවද මේ අවස්ථාවේ සඳහන් කළ යුතුය. එහෙත් අපේ රටට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලික මූලධර්ම හා ප්‍රමුඛ අංශ ගණනාවක් ඒ මඟින් නිරෑපණය වේ. අපගේ ඒකායන අපේක්ෂාව වන්නේ එය මේ රටේ සියලු කොටස්වල සහභාගීත්වයෙන් පෝෂණය වනු දැකීමය. අද මෙවැනි සමුළුවක් කැඳවීමෙන්ද අප අපේක්ෂා කරන්නේ එයයි. මෙය සැකසීමේදී ලෝකයේ විවිධ රටවල ජීවත්වන ශ්‍රී ලාංකික විද්වතුන් හා ශ්‍රී ලංකාවේ ජීවත්වන කීර්තිමත් නීතිවේදීන්ද ඇතුළු බොහෝ දෙනෙක් දායකත්වය ලබා දී තිබේ.

බොහෝ දෙනකුගේ අවධානය යොමුවී තිබුණු යුගදනවි පෙත්සම් විභාගය පසුගිය බ්‍රහස්පතින්දා (16) ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ විය. යුගදනවි බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස්වලින් සියයට 40ක් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මෙම පෙත්සම පංචපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනුණි. මෙම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතිපති සංජය රාජරත්නම් මහතා මෙම පෙත්සම් සියල්ල විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස දන්වමින් මූලික විරෝධතා කිහිපයක් මතුකර සිටියේය. මෙම පෙත්සම් ගොනුකර තිබෙන්නේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියමකර තිබෙන නිසි කාලසීමාව ඉක්මවා ගිය පසුව බව හෙතෙම පෙන්වා දී තිබුණු අතර පෙත්සම තුළ පවතින තවත් දෝෂ පිළිබඳ අධිකරණයට කරුණු දක්වා තිබුණි.

මෙම අතර පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හා අගරදගුරු කාදිනල්  මැල්කම් රංජිත් හිමියන්, සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ, වෘත්තීය සමිති ඇතුළු මෙම පෙත්සම ඉදිරිපත් කළ පාර්ශ්ව වෙනුවෙන් නීතීඥවරු කිහිප දෙනෙකු ඉදිරිපත් විය. ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් යන අය ඒ අතරින් කැපී පෙනුණි.
ඉකුත් සැප්තැම්බර් මස 06 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රුස්වීමේදී මෙම නඩුකරයට පාදක වන ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් නොවු බවත් ඒ පිළිබඳව සාකච්ඡා නොවූ බවත් අමාත්‍යවරුන් තුන්දෙනෙකු දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇතැයි එම පාර්ශවය වෙනුවෙන් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය. මෙම ගිවිසුම හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය වන බවට තීන්දු කොට එම ගිවිසුම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. මේ අතර පෙත්සම් විභාගය සිකුරාදා දින දක්වා කල් ගියේය.

දෙසැම්බර් (21) විසි එක්වැනිදා දෙමළ භාෂාව කතා කරන ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂ විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා විය. පසුගිය සඳුදා පැවැති දෙමළ හා මුස්ලිම් පක්ෂවල නියෝජිතයන්ගේ සාකච්ඡාවෙන් පසුව මේ පිළිබඳ තොරතුරු හෙළිදරව් වූයේය. පළාත් සභා ඡන්දය අනිවාර්යෙන්ම පවත්වන ලෙසත් 13 වැනි සංශෝධනයට එහා ගිය බලය බෙදීමක් ලබාදෙන ලෙසත් රජයට බල කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් මහතා මෙම සාකච්ඡාව අවසානයේ ප්‍රකාශයක් සිදුකරමින් සිදුකරමින් පැවසීය.

මීට අමතරව අමතරව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන පරිදි ආණ්ඩුව විසින් පළාත් සභාවලට අයත් බලතල එකිනෙක උදුරා ගන්නා ගැනීම පිළිබඳව දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතු බව මෙහිදී පක්ෂ නායකයන් අතර සාකච්ඡාවක් ඇතිව තිබේ. ඒ අනුව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට ඉන්දියාවේ සහයෝගය ඉල්ලා ඒකාබද්ධ ලියවිල්ලක් බාරදිය යුතු බවට මෙම දෙමළ මුස්ලිම් දේශපාලන පක්‍ෂ නායකයන් එකඟ වී ඇතැයි කියැවේ. ආරංචි මාර්ග අනුව අදාළ කටයුත්ත නුදුරේදීම සිදුවනු ඇත.

ජාතික ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාගන්නා තෙක් බලය බෙදාහැරීමක් ලෙස 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආරක්ෂා කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබුණි. කොළඹදී පැවැති මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ නායක මනෝ ගනේෂන්, දෙමළ ජාතික මහජන සංසදයේ නායක සී.වී. විග්නේශ්වරන් ඇතුළු පක්ෂ නායකයන් රුසක් සහභාගි වී තිබේ.

ඩොලර් හිඟය හේතුවෙන් නිදහස් කරගැනීමට නොහැකිව වරාය තුළ සිරවී තිබෙන ආනයනික අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දිගින් දිගටම ගත් උත්සාහ මෙවර යම් පමණකට සාර්ථකව වූයේය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විදෙස්ගත වී ඇති පසුබිමක අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා ඩොලර් මිලියන 25ක් ලබාදීමට මහ බැංකු අධිපතිවරයා එකඟ කරවා ගැනීමට බන්දුල ගුණවර්ධන මහතා සමත්ව ඇති ඇති බව කියැවේ.

අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන් සහ වෙළඳ අමාත්‍යවරයා අතර ඉකුත් බ්‍රහස්පතින්දා පැවති පැවැති සාකච්ඡාව අතරතුරදී අමාත්‍යවරයා මහ බැංකු අධිපතිවරයා සම්බන්ධ කරගනිමින් ඩොලර් මිලියන 25 ලබාගැනීමට ගුණවර්ධන මහතා සමත්ව ඇති ඇති බව කියැවේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන සහල්, පරිප්පු, සීනි, අර්තාපල් සහ ලොකු ලූනු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් දහසකට අධික ප්‍රමාණයක් කොළඹ වරාය තුළ සිර වී ඇති බව ආනයනකරුවන් විසින් මෙම සාකච්ඡාවේදී සාකච්ඡාවේදී හෙළිදරව් කර ඇතැයිද මාධ්‍ය වාර්තා පළ වේ.

සතිඅන්තයේ එළඹෙන විට බොහෝ මැති ඇමතිවරු නිවාඩු ගත කිරීමට පිටත්ව යමින් සිටියහ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද විශේෂ කටයුතු කිහිපයක් වෙනුවෙන් කොළඹින් බැහැර ගොස් තිබුණි. දින කිහිපයකින් සිංගප්පූරු සංචාරය නිමවා මෙරට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වර්ෂ අවසානයේ රාජකාරි කටයුතුවල නිරත වී සිටියේය.

මේ අතර සංවර්ධන කටයුත්තක් නිරීක්ෂණය කිරීමට යාපනයට ගොස් සිටි චීන තානාපතිවරයා ඇතුළු කණ්ඩායමක් කළ කී දෑ පිළිබඳ අපූරු තතු විත්ති වාර්තා වූයේය. පසුගියදාක ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස පත්වීම් ලැබූ කී සෙන් හොං මහතා ඇතුළු කණ්ඩායමක් ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා සමග උතුරේ සංචාරයේ නිරත විය. මෙහිදී තානාපතිවරයාට නල්ලූර් කෝවිල වැඳපුදා ගැනීමටද උවමනා වී තිබුණි. නල්ලූර් කෝවිලට ගිය චීන තානාපතිවරයා ඇතුළු පිරිසට හින්දු සම්ප්‍රදායට අනුව යමින් උඩුකය නිරුවත් කොට වේට්ටිය හැඳ පුදපූජා දෑතට ගෙන කෝවිලට ඇතුළු වීමට සිදුවූයේය. චීන තානාපතිවරයා ඇතුළු පිරිස යාපනය සංස්කෘතියට අනුව යමින් නල්ලූර් වැඳපුදා ගැනීම උතුරේ මෙන්ම දකුණේද බොහෝ දෙනකුගේ අවධානය දිනා ගත්තේය.

මේ අතර මෙම යාපනය ගමනේදී තවත් අපූරු සිදුවීමක් සිදුව තිබුණි.  මුහුදු කූඩැල්ලන් අභිජනනය කරන මධ්‍යස්ථානයක් නිරීක්ෂණ චාරිකාවක චීන තානාපතිවරයා ඇතුළු කණ්ඩායම සහභාගී වූ මොහොතේ මෙම සිදුවිය. යාපනය කලපුව ආසන්නයේ පිහිටි මෙම මධ්‍යස්ථානය දැක බලා ගැනීමට චීන දූත පිරිස රැගෙන ගියේ ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා විසිනි. තල්ගස් මණ්ඩියක් ආසන්නයේ මෙම මධ්‍යස්ථානය පැවතියේය. මල් මැදීම වෙනුවෙන් හැර බැඳ ඇති තල්ගස් දුටු තානාපතිවරයා මේ ගස කුමක්දැයි ඩග්ලස් දේවානන්ද මහතා ඇතුළු පිරිසෙන් විමසා ඇත.

එවිට මෙය තල් නමින් හඳුන්වන ගසක් බව ඩග්ලස් දේවානන්ද මහතා තානාපතිවරයාට කියා තිබේ. පසුව ගසට නැගීමට බැඳ ඇති හැරලා දෙස බලා මේ ගසින් ඇති ප්‍රයෝජනය පිළිබඳවද චීන තානාපතිවරයා දේවානන්ද මහතාගෙන් විමසා ඇත. එවිට දේවානන්ද මහතා පවසා ඇත්තේ මෙහි මලින් ගන්නා පැණිවලින් ඉතා ප්‍රණීත පානයක් සකසන බවයි. චීන තානාපතිවරයා එවිට එම පානය බීමට සූදානම් වී තිබේ. එවිට ඩග්ලස් දේවානන්ද මහතා ඔහුට වැඩිදුරටත් පවසා ඇත්තේ එය මත්වන සුළු පානයක් බවයි. එසේම තල් රා සෞඛ්‍යයට අහිතකර පානයක් නොවන බවද හෙතෙම තානාපතිවරයාට පැහැදිලි කර තිබේ. මෙම පැහැදිලි කිරීමෙන් රස වැටුණු තානාපතිවරයා පසුව යාපනයේදී තමන්ට තල් රා බීමට අවැසි බව දේවානන්ද මහතාට පවසා ඇතැයි කියැවේ.

 චමිදු නිසල්