2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

විපක්ෂය කොළඹදී ලොකු විරෝධයකට සැරසෙයි

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 189

  • ජනපති වැය ශීර්ෂයෙන් කොටසක් අධ්‍යාපනයට
  • පුංචි පක්ෂ 31ක් එක්ක මෛත්‍රී අලුත් ගමනක
  • ඥානසාර හිමිගේ බලතල කප්පාදු කෙරේ
  • සටන ජයගත් ගුරු සංගම් ගෝරියක පැටලෙයි
  • සහරාන් නිසා මන්ත්‍රී හරීන් ඇමැති සරත් ඇවිලෙති
  • චම්පිකගෙන් මහින්දානන්දට චෝදනා. මහින්දානන්ද සී.අයි.ඩී. යයි
  • ද්‍රවිඩ සන්ධානය ආණ්ඩුවේ කෙරුවාව ගැන කියන්න ඇමෙරිකාවට

 

 

 

තවත් උණුසුම් දේශපාලන සතියක් ගෙවී ගියේය. පක්ෂ විපක්ෂ අභ්‍යන්තර මත ගැටුම් නොනැවතී ඉදිරියට ඇදුණි. සහන පැතූ අයවැය ද ඉදිරිපත් විය. ගොවි උද්ඝෝෂණ රටපුරා නොනැවතී තවදුරටත් සංවිධානය වූයේය. ඒ අතර ඉන්දියානු පොහොර ආනයනයේදී මූල්‍ය වංචාවක් සිදුව ඇතැයි විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා කළේය. සහනදායී යමක් වූයේ නම් ඒ ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට බලාපොරොත්තු සහගත සුබවාදී විසඳුමක් ලැබීමයි. එහෙත් පාලනයකින් තොරව වැඩිවූ බඩු මිල තවදුරටත් පාරිභෝගික ජනතාව අසහනයට පත් කළේය.

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා සිය මංගල අයවැය ඉදිරිපත් කළේ ඉකුත් සිකුරාදාය. මුළු රටම ඓතිහාසික ආර්ථික අර්බුදයකට මැදිව සිටියදී ඉදිරිපත් වූ මෙම අයවැය ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද අවධානය දිනාගත්තේය. මෙවර අයවැය සකස් කිරීම වෙනුවෙන් පසුගිය මාස දෙකක පමණ කාලය කැප කළ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සියලු රාජ්‍ය ආයතන ඇතුළුව තවත් සංවිධාන රුසක අදහස් ලබාගෙන තිබුණි. විශේෂයෙන්ම පසුගියදා පත්වීම ලැබූ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්  එස්.ආර්. ආටිගල යන මහත්වරු අයවැය සැකසීම සඳහා බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාට සහාය ලබා දුන්හ.

රට තුළ පවතින ආර්ථික වටපිටාව මත සුළුවෙන් හෝ ජනතාවට සහන ලබාදීමට සම්පත් සපයා ගැනීම අයවැය සම්පාදකයන්ට විශාල අභියෝගයක් විය. මෙවර අයවැය සැකසීමේ කටයුතු අවසන් කිරීමට සහ පැය තුනක අයවැය කතාව සැකසීමට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට රාත්‍රී කීපයක් කැපකරන්නට සිදු වූ බවද දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. මේ අතර ගුරු විදුහල්පති ගැටලුවට විසඳුම් ලබාදීමත් සමඟ ලංකා ඉතිහාසයේ අයවැය වියදමින් සියයට 7.51 අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීම සිදුවිය. මෙහිදී ගුරු විදුහල්පති ගැටලුව විසඳීමට රුපියල් බිලියන 30ක් අවශ්‍ය වූ අතර එම මුදල සොයාගැනීම දුෂ්කර වූයේය. එහිදී ඉදිරියට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වෙනුවෙන් වෙන්වූ රුපියල් බිලියන 11න් රුපියල් බිලියන 7ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමට තීරණය කළේය. ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවන සියලු කටයුතු සඳහා මේ වසරේ වෙන්ව ඇත්තේ රුපියල් බිලියන හතරක් පමණි. මෙය ඓතිහාසික සිදුවීමකි.
පසුගිය බදාදා ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමග ආණ්ඩුව තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වූයේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය වූ මෙම සාකච්ඡාවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද සහභාගී විය. මෙම සාකච්ඡාවට ගුරු විදුහල්පති වෘත්තීය සමිති වෙත ආරාධනා ලැබුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනුදැනුම පරිදිය. ආරම්භයේදීම ගැටලුවක් ඇතිවිය. ගුරු සංගම් නායකයකු වූ උලපනේ සුමංගල හිමියන් මෙම සාකච්ඡාවට සහභාගි වේ නම් ඊට නොපැමිණෙන බව තවත් ගුරු සංගම් නායකයෙකු වූ මහින්ද ජයසිංහ මහතා ඇතුළු පිරිසක් පවසා ඇතැයි කියැවුණි.

ඒ අනුව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා අදාළ පාර්ශව වෙත පණිවිඩයක් යවා තිබුණි. &මේ සාකච්ඡාව කැඳවන්නේ මමයි. ඒකට ආරාධනා කරන්නේ කාටද කියලා තීරණය කරන්නෙත් මම. ඒ නිසා ඔයගොල්ලෝ ඒ පිළිබඳ ප්‍රශ්න ඇතිකරගන්න එපා. මේ ප්‍රශ්න විසඳාගන්න ඕන නම් කරුණාකරලා එන්න* දේශපාලන ආරංචි මාර්ග අනුව අග්‍රාමාත්‍යවරයා යවා තිබුණේ මෙවන් අදහසක් ඇති පණිවිඩයකි. කෙසේ හෝ අවසානයේ සියල්ලෝම සාකච්ඡාවට සහභාගී වූහ. අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට පෙර සාකච්ඡාවක් ලබානොදීම සම්බන්ධව වෘත්තීය සමිති සමිති නායකයන් අමනාපයෙන් කතාකොට තිබුණි.

කෙසේ නමුත් අවසානයේදී බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාගේ ප්‍රකාශයකින්ම ගුරු විදුහල්පති අර්බුදය නිමාවට පත්විය. බොහොම අමාරුවෙන් වුණත් මේ නිර්දේශිත සම්පූර්ණ මුදල මේ අයවැයෙන් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දැනට වෙන්කරලා තියෙන මුදලට අමතරව ඒ කියන්නේ බිලියන 30ක් අපි ලබන අයවැයෙන් ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා දුරු කිරීමට වෙන්කරන බව, ඉතිහසයේ පළමු වතාවට අධ්‍යාපනය සඳහා සමස්ත අයවැයෙන් 6෴ ඉක්මවන පළමු අවස්ථාව. මේ පාර අයවැයෙන් සම්පූර්ණ වියදමෙන් 7.51%ක් අධ්‍යාපනයට අපි වෙන්කරනවා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති හමුවෙන් පසු ගුරු විදුහල්පති වෘත්තීය සමිති නායකයන් එකිනෙකට පරස්පර මත දක්වන්නට වූහ. විසඳුම් ලබාදුන්නද ඒවා ක්‍රියාත්මක වනතුරු අවධානයෙන් සිටින බව ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේය. වසන්තා හඳපාන්ගොඩ මහත්මිය පැවසුවේ සිය සංගමයේ යෝජනාවන්ට අනුව ගැටලුව විසඳුණු බවයි. මේ අතර මහින්ද ජයසිංහ මහතා සහ තවත් ගුරු සංගමයක පිරිසක් අතර පාර්ලිමේන්තුව ඉදිරියේදී තරමක උණුසුම් මතගැටුමක්ද ඇති විය. උලපනේ හිමියන්ට සම්බන්ධ පිරිසක් සටන පාවා දුන් බවට චෝදනා කිරීමත් සමඟ මෙම ගැටුම ඇතිවිය. ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් මෙය සමනය කිරීමට උත්සාහ කරන අයුරු දක්නට ලැබේ. කෙසේ වෙතත් මෙම සිදුවීම අවසානයේදී සිය මුහුණු පොත ඔස්සේ මහින්ද ජයසිංහ මහතා සිය සංයමය බිඳීම සම්බන්ධව සමාව ඉල්ලා තිබුණි.

සිය හදවත් සැත්කමට පසු නැවතත් දේශපාලන කරළියට අවතීර්ණ වූ හරීන් ප්‍රනාන්දු මහතා ගෙවුණු සතියේ පුවත් මවන්නකු බවට පත්විය. රන්ජන් රාමනායක මහතාට නිදහස දෙනවා නම් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ඔහු පැවසීය.

අප ධනාත්මක විවේචන කරන්නේ ආණ්ඩුවේ වැරදි පෙන්වන්නයි. මුතුරාජවෙල සිදුවීම ගැන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දෙන්නෙක්ද කතා කරනු මා දුටුවා. ඒ ගැන මගේ හිතේ ගෞරවයක් තිබෙනවා. රන්ජන් රාමනායක මහතාට නිදහස දෙනවා නම් මා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්. මා මේ කතා කියන්නේ ගම්පහින් ඡන්ද ගන්න නොවේ. සහරාන්ගේ නෝනා කළ ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ලංකාවේ බුද්ධි අංශ නිලධාරීන් සහරාන් සමඟ ගෙදර දී හමු වූ අවස්ථා තිබෙන බව සාදියා නැමැති සහරාන්ගේ නෝනා ප්‍රකාශ කර තිබෙනවා.

මෙම ප්‍රකාශය තවත් ගැටුමකට මුල විය. එවර ඇවිලී ගියේ අමාත්‍ය සරත් වීරසේකර මහතා සහ හරීන් ප්‍රනාන්දු මහතාය. බුද්ධි අංශ නිලධාරීන් සහරාන් හෂීම් හමුවී ඇති බවට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිදුකළ  ප්‍රකාශය බොරුවක් බව මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා පසුව පාර්ලිමේන්තුවේදී පැවසීය. හැකි නම් එම ප්‍රකාශය පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා නොවී එළියට පැමිණ කියන ලෙසටත් අමාත්‍යවරයා මන්ත්‍රීවරයාට අභියෝග කළේය. අනතුරුව පාර්ලිමේන්තුව ඇමතූ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තව කරුණු සත්‍ය බව සනාථ කරන්නට ලියකියවිලිද සභාගත කළේය. අමාත්‍යවරයාට ප්‍රසිද්ධ විවාදයකටද අභියෝගය කරන බව හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කීය. මෙය තවත් විශාල මත ගැටුමක ආරම්භය බව පෙනී ගියේය.
ගෙවුණු සතිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද තීරණාත්මක සතියක් විය. ඉකුත් බ්‍රහස්පතින්දා ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී මෙම සුවිශේෂී හමුව පැවැත්වුණි. මෙය එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ තිස් එකත් අතර වූ සාකච්ඡාවකි. මෙම සාකච්ඡාව පිළිබඳ තොරතුරු ආරංචි වීමත් සමගම මාධ්‍ය මෙම ස්ථානයට ගියේය. එහිදී මාධ්‍ය විමසීමකට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එකතුවීමට කැමැත්තෙන් සිටින සහෝදර දේශපාලන පක්ෂ කිහිපයකට මෙම සාකච්ඡාව සඳහා ආරාධනා කළ බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී අදහස් දැක්වූයේය. සාකච්ඡාවට සම්බන්ධ වන පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්‍ෂ සමඟ ඉදිරියේදී කටයුතු කිරීමට අප බලාපොරොත්තු වන බව ඔහු පැවසීය. එසේම ඉදිරි මැතිවරණයකදී අපි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස ගන්නා තීන්දු අනුව කටයුතු කරන බව අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය. තම කණ්ඩායම ඕනෑම මැතිවරණයක් සඳහා සූදානම් යැයි ද පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන කුමාර වෙල්ගම මහතාද ඉකුත් සතියේ විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. ඉහළ තනතුරු දරන පුද්ගලයන්ගේ දුර්වලතා හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් පවතින ජනතා විශ්වාසය බිඳීගොස් ඇතැයි ඔහු කීය. නිදහස් පක්ෂයේ වත්මන් නිලධාරී මණ්ඩලය වෙනස් නොවන්නේ නම් පක්ෂයට අනාගතයක් නැතැයිද ඔහු පවසා තිබුණි. &ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොඳ පක්ෂයක් මේ නිලධාරීන් සිටිනතුරු කවදාවත් ගොඩ එන්න බැහැ. මිනිස්සුන්ගේ විශ්වාසයක් නැහැ. නව ලංකා නිදහස් පක්ෂය අපි ශ්‍රී ලංකා කියන තේමාව යටතේ තමයි අලුත් පක්ෂයක් ලෙස මේ යන්නේ. හොඳ ව්‍යුහයක් හදන්න තමයි අපි කල්පනා කරන්නේ. නැතුව ජනාධිපති මැතිවරණයක්වත්, අගමැතිකම්වත් ගන්න නෙමෙයි ඒවා තියෙන්නේ 2024 දැන් කොච්චර කෑගැහුවත් ජනාධිපතිවරණයක් නැහැ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට පොහොර මූල්‍ය වංචාවක් පිළිබඳ චෝදනා නැගීම ගෙවුණු සතියේ ආන්දෝලනාත්මක සිදුවීමක් විය. ඉන්දියාවෙන් දියර නයිට්‍රජන් පොහොර ගෙන්වීමේ ගනුදෙනුවේදී කෝටි 800ක පමණ වංචාවක් සිදුව ඇතැයි ඔහු චෝදනා කළේය. නැනෝ යූරියා නමින් හඳුන්වන IFFCO ලීටරයක නියම මිල ඩොලර් 7.74 ක් බවත් එහෙත් මෙරටින් මිලදී ගෙන ඇත්තේ ලීටරයක් ඩොලර් 25කට බවත් ඔහු පැවසීය. මෙම චෝදනාව අසත්‍ය බව මහින්දානන්ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මෙන්ම ඉන් පිටත දී ද කියා සිටියේය. තමන් මේ සම්බන්ධව සී.අයි.ඩි.යට පැමිණිලි කරන බවද ඔහු කීවේය.

පාඨලීගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ දිනයේදීම ඔවුන් දෙදෙනා පාර්ලිමේන්තු ආපන ශාලාවේ දී එකිනෙකා හමුවූහ. දේශපාලන ආරංචි මාර්ග අනුව මෙහිදී ඔවුන් දෙදෙනා අතර සංවාදයක් ඇතිවී තිබේ. කරුණාකරලා ඇතුළට එන්න. ඔබතුමා මට චෝදනා කළා. පාර්ලිමේන්තුවේ ඇතුළේ දී මං ඒවාට උත්තර දෙනවා,* පාඨලී චම්පික මහතා පවසා තිබේ, මට කරපු බොරු චෝදනාවලට විරුද්ධව මම දැන් සී.අයි.ඩී. එකට යනවා. ආදී වශයෙන් අලුත්ගමගේ මහතා මෙහීදී පවසා ඇත්තේ උණුසුම් ස්වරයෙනි. කෙසේ වෙතත් පාඨලී පාර්ශ්වය හරහා දැනගන්නට ලැබෙන්නේ මෙහිදී අලුත්ගමගේ අමාත්‍යවරයා තමාට දේශපාලනය එපා වී ඇති බවත් නැවත ඡන්දය නොඉල්ලන බවත් කී බවකි.
මෙම සිදුවීමෙන් පසු කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉකුත් බදාදා  (10දා) පෙරවරුවේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය. මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සිදුකර ඇති ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය. අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ තමා වංචාවක් කර ඇති බවට අබමල් රේණුවක තරමේ සාක්ෂියක් තිබේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙසය. එසේ නොහැකි වුවහොත් පාඨලී චම්පික රණවක මන්තී‍්‍රවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් තමා සී.අයි.ඩියෙන් ඉල්ලා සිටි බව ද ඔහු මාධ්‍යයට පැවසීය.

මේ අතර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුතු එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ බලතල :කාර්යභාරය සීමා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අති විශේෂ ගැසට් නිවේදනයක් පසුගිය සතියේ දී නිකුත් කළේය. අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා ජනපති හමුවීමත් සමඟ මෙම නව ගැසට්ටුව නිකුත් විය. සිය ඉල්ලා අස්වීමට අදාළ සියලු කටයුතු සූදානම් කොට තබා අලි සබ්‍රි අමාත්‍යවරයා ජනපති හමුවූ බව වාර්තා විය. එහිදී රටේ නීති සකස් කිරීමට නිශ්චිත ආයතන තිබියදී මෙවන් කාර්යසාධක බලකා හරහා නීති සකස් කිරීමට යාම අනවශ්‍ය ගැටලු ඇතිකරන්නක් බව අධිකරණ අමාත්‍යවරයා ජනපතිට පෙන්වා දී තිබේ. දේශපාලන ආරංචි අනුව එහිදී ජනපති පවසා ඇත්තේ මෙම බලකාය පත් කරන ලද්දේ තමාට උපදෙස් ලබාගැනීමට මිස රටේ නීති සෑදීමට නොවන බවය.

මෙම සාකච්ඡාව අවසානයේ අලි සබ්‍රි අමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ තීරණය හකුලාගෙන තිබුණි. ජනපති ද ගැසට්ටුව වෙනස් කළේය. මුලදී ඥානසාර හිමිගේ කාර්යසාධන බලකායට හිමි වූ අධිකරණ අමාත්‍යාංශයේ පනත් කෙටුම්පත් පිළිබඳව සලකා බැලීම යනාදී වූ බලතලද නව ගැසට්ටු හරහා අහිමි විය. දමිළ ජනතා නියෝජනය සඳහා නව සාමාජිකයන් තිදෙනකු අදාළ කමිටුවට ඇතුළත් විය. නව ගැසට් නිවේදනය අනුව එම කාර්යසාධක බලකායට මින් ඉදිරියට පැවරෙන්නේ ශ්‍රී ලංකාවේ %එක රටක් - එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් හා මතවාද සැලකිල්ලට ගනිමින් සහ එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේණික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීමය.

මේ අතර තවත් ගැසට්ටුවක් හේතුවෙන් විපක්ෂය කලබල විය. ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණයම කොරෝනා රෝගී ප්‍රදේශයක් ලෙස නම් කරමින් මෙම ගැසට්ටුව නිකුත් විය. කොවිඩ් ව්‍යාප්තිය නැවත ඉහළ යාමත් සමඟ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතිගත කර තිබේ. ඒ අනුව නව රෙගුලාසි යටතේ නිසි බලධාරියාගේ අවසරයකින් තොරව ජනතා ඒකරාශී රුස්වීම් පැවැත්වීම තහනම් කොට තිබුණි. විපක්ෂය කලබල වූයේ රුස්වීම් පැවැත්වීම සීමාවීම හේතු කොටගෙනය.

සමගි ජන බලවේගය නොවැම්බර් 16 වැනිදා පොහොර හිඟය ආර්ථික ගැටලු ආදියට එරෙහි දැවැන්ත විරෝධතාවක් සංවිධානය කිරීමට සැලසුම් කර තිබුණි. එම නිසාවෙන්ම මෙම ගැසට් නිවේදනය නිකුත් වීමත් සමඟ ප්‍රේමදාස මහතා වෙත ස.ජ.බ. මන්ත්‍රීවරුන් රුසක් දුරකථන ඇමතුම් ලබාගෙන ඇතැයි කියවේ. දේශපාලන ආරංචි මාර්ග අනුව ඔවුන් පෙන්වා දී ඇත්තේ කලින් තීන්දු කරගත් පරිදි ආණ්ඩුවට එරෙහි විරෝධතාවය 16 වැනිදා නියත වශයෙන්ම පැවැත්විය යුතු බවකි. ඒ අනුව මේ පිළිබඳ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා විසින් හදිසි මන්ත්‍රී කණ්ඩායම් රුස්වීමක් පැවැත්වීමට තීරණය කොට තිබේ. 

මේ අතර ගෙවුණු සතියේ උතුරේ දෙමළ සන්ධානය දෙසින් ද විශේෂිත ආරංචියක් ලැබුණි. දෙමළ ජාතික සන්ධානය ඇමෙරිකාව වෙත ඉදිරිපත් කර ඇති දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට එම පක්ෂයේ නියෝජිතයන් තුන්දෙනකුට එරටට පැමිණෙන ලෙස ඇමෙරිකාව දැනුම් දී ඇතැයි ඒ අනුව කියවිණි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, වෛද්‍ය නිර්මලා චන්ද්‍රහසන්, කේ. කනගීෂ්වරන් යන තිදෙනා ඇමෙරිකාව බලා පසුගිය සතියේ පිටත්ව යනු ඇති බව කියැවිණි. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඇරියුමකින් මෙම සාකච්ඡාව සිදුවන බව ද සඳහන් විය.

මේ අතර ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් අතර දෙසතියකට ඉහත දී සාකච්ඡාවක් පවත්වා ඇති බව කියැවේ. ආණ්ඩුව ගෙන ඒමට සැලසුම් කර ඇති නව ව්‍යවස්ථාව සඳහා දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට යන බලය බෙදීමක් වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය ජාත්‍යන්තර ප්‍රජාව සමඟ මෙලෙස සාකච්ඡා අරඹා තිබේ. 

 චමිදු නිසල්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00