2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා

සජිත්ලා සම්පන්දන්ලා ආණ්ඩුවට තුනෙන් දෙක දෙන්න සූදානම්ලු

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 389

  • මහින්දගෙන් ස්ටාලින්ට සේප්පුවක්
  • දයාසිරිගේ අභියෝගය
  • මෛත්‍රීපාලට යූඇන්පියෙන් අභියෝගයක්
  • මහින්දානන්දගේ ජනප්‍රිය කතාව
  • දෙමව්පියන්ගෙන් ගුරු සංගම්වලට විරෝධය
  • පසුපෙළ මන්ත්‍රීන්ට වාහන සහ මාසෙකට ලක්ෂ 3ක්: සජබ චෝදනා කරයි
  • රිෂාඩ් බදියුදීන්ට ඇප ලැබෙයි

 

 

පළමුව කොවිඩ් වසංගතය අමතක විය. දෙවනුව පැන්ඩෝරාවද අමතක විය. ශ්‍රී ලංකා දේශපාලන නාටකයේ නව ජවනිකාවක් වේදිකා ගතවිය. එහෙත් ඊටද දායක වූයේ පරණ නළුවෝමය. බඩු මිල සහ පොහොර ප්‍රධානම භූමිකාවට පණ පොවන්නට සැරසී සිටියේය. ගුරු වර්ජනය කටෝර පසුබිම් සංගීතයක් ලෙස නොනවත්වා වාදනය වුණි.

පසුගිය සතිය ආරම්භයේදී කැබිනට් හමුවේදී සිදුවූ සුවිශේෂී කතාබහක් පිළිබඳ දේශපාලන ආරංචියක් ලැබුණි. කැබිනට් හමුවේ ප්‍රධාන මාතෘකාවක් වූයේ පොහොර සම්බන්ධව රට තුළ උද්ගතව ඇති තත්ත්වයයි. එළඹෙන මහ කන්නයේදී වී ගොවීන්ට මෙන්ම සෙසු භෝග වගාකරන ගොවීන්ටද පොහොර පිළිබඳ ගැටලු මතුවිය හැකි බවට කතිකාවක් නිර්මාණය විය. බොහෝ ඇමැතිවරු පොහොර ප්‍රශ්නයේ බරපතළ බව ජනාධිපතිට අවධාරණය කරන්නට වූහ. මෙම විෂයට අදාළ නොවෙතත් අධිකරණ ඇමති අලි සබ්රි මහතා පවා ජනපතිට කියා සිටියේ මේක ලොකු ප්‍රශ්නයක් ජනාධිපතිතුමනි, දැනට අපි විසඳුමක් දෙමු. තාවකාලිකව හරි පොහොර ගේන්න යනුවෙනි. අමාත්‍ය මණ්ඩලයේ සැලකිය යුතු පිරිසක් එම මතයට එකඟ වන බව පෙනෙන්නට තිබුණි.

එහෙත් ජනාධිපතිගේ ස්ථාවරය වූයේ රසායනික පොහොර තහනම ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සලකා ඉදිරියටත් ක්‍රියාත්මක කළ යුතු බවය. එහෙත් අමාත්‍ය මණ්ඩලයේ බොහෝ දෙනකුගේ ප්‍රතිචාර මත ජනාධිපති කියා සිටියේ එහෙනම් ඕක අතහැරලා දාලා නිකන් ඉමු. ඕගොල්ලෝ ඔක්කොම කියනවා නම්. මට මේක කරන්නම ඕනෑ කියලා දෙයක් නෑ. ඕක අල්ලා දාමු වැනි කතාවකි. ජනාධිපතිගේ ප්‍රතිචාර තුළ බොහෝ අදහස් ගැබ්වී තිබුණි. එහෙත් ජනපතිත් කැමැති වූ නිසාවෙන් නැවත තවකාලිකව පොහොර ගෙන්වීමට කැබිනට්ටුව තීරණය කළ සෙයක් පෙනී ගියේය.

එහෙත් මෙහිදී නැගී සිටියේ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාය. ඔහු වෙනත් අදහසක් ඉදිරිපත් කළේය. ජනාධිපතිතුමනි, මේ වෙලාවේ ඔය තීරණය ගන්න එපා. ඒක ජනතාව ආණ්ඩුවේ පසුබෑමක් විදිහට භාරගනීවි* යනුවෙන් පවසමින් ඔහු අදහස් දක්වන්නට විය. පොහොර තීරණය ගැන සිතා බලා එම තීරණයේම තවදුරටත් සිටීම යහපත් බවක් ඔහු පවසන බවක් පෙනී ගියේය. කෘෂිකාර්මික දිස්ත්‍රික්කයකින් පැමිණි ඇමැතිවරයෙක් වූ චන්ද්‍රසේන මහතාගේ අදහස් දැක්වීම නොසලකා හැරීමට කිසිවකුට නොහැකි විය. ජනාධිපතිද අවසාන තීරණයක් ප්‍රකාශයට පත් නොකළේය. කැබිනට්ටුව අවසන් වනවිටත් පොහොර පිළිබඳ අවසන් එකඟතාවක් නොවුණි.

මේ අතර ගෙවුණු සතියේ කාබනික පොහොර බෙදාදීම ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කටයුතු කළේය. ඔහු ප්‍රසිද්ධියේ කියා සිටියේ රසායනික පොහොර තහනම හේතුවෙන් සිය ජනප්‍රියත්වය හානි සිදුවී ඇති නමුත් මෙම තීරණය මහජන යහපත පිණිස ලබාගත් තීන්දුවක් නිසාවෙන් එය ආපසු හැරවීම කළයුතු නොවන බවයි. මේ අතර චීනයෙන් ආනයනය කළ කාබනික පොහොර භාවිතයට නුසුදුසු බව මෙරට පරීක්ෂණවලින් තහවුරු වී තිබුණි. චීන තානාපති කාර්යාලය කියා සිටියේ මෙම පරීක්ෂණ වාර්තා පිළිගත නොහැකි බවයි. මෙරට විද්වතුන් එය ප්‍රතික්ෂේප කළ අතර චීනය වෙනුවට ඉන්දියාව කාබනික පොහොර ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟවිය.

පොහොර ප්‍රශ්නය හේතුවෙන් නැගී එන ගොවි විරෝධතා සමනය කරන්නට යළිත් හොර පාරෙන්ම ආණ්ඩුව රසායනික පොහොර ගෙන්වමින් සිටින බව සමගි ජනබලවේගය චෝදනා කළේය. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා මේ චෝදනාව එල්ල කළ අතර ඔහු වැඩිදුරටත් කියා සිටියේ ආණ්ඩුවේ සිටින පසුපෙළ මන්ත්‍රීවරුන් නැගී සිටීම පාලනය කිරීම සඳහා ඔවුන්ට වාහන සහ මාසිකව ලක්ෂ තුන බැගින් විශේෂ දීමනාවක් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බවකි.

පසුගිය සති කිහිපය තුළ ඉන්දීය විදේශ කටයුතු ලේකම්වරයා, හමුදා ප්‍රධානියා ඇතුළු නියෝජිතයන් ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධව විවිධ මත පළවිය. සමගි ජනබලවේගයද මේ හා සම්බන්ධව විශේෂ චෝදනාවක් එල්ල කළේය. ඔවුන් කීවේ ඉන්දියාවේ අවශ්‍යතාව අනුව මෙරට තුළ මැතිවරණ පැවැත්වීමට කිසිලෙසකත් ඉඩ ලබා නොදෙන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙම චෝදනා එල්ල කරමින් කියා සිටියේ ඉන්දීය නියෝජිතයන් පැමිණ පිටව යනවිට ආණ්ඩුව මැතිවරණ පැවැත්වීමට සූදානම් වන බවයි. එය ඉන්දීය වුවමනාවක් බවත් ඔහු කියා සිටියේය. මේ මොහොතේදී ඕනෑම මැතිවරණයක් ජයග්‍රණය කිරීමේ හැකියාව සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය සතු වුවද වෙනත් රටක අවශ්‍යතා ඉටුකිරීම සඳහා මැතිවරණයකට ඉදිරිපත් වීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

පෙනෙන නොපෙනන මානයක තිබෙන වයඹ පළාත් සභා මැතිවරණ සම්බන්ධවද පසුගිය සතියේ ගැටලුවක් නිර්මාණය විය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කනිටු පුත් රෝහිත රාජපක්ෂ මහතා වයඹ මහ ඇමැති පුටුවට තරග කරන බවට වූ ආරංචි පසුගිය සතිය තුළ තරමක් තදින් පැතිර යන්නට විය. මීට හේතුව වූයේ යෝෂිත රාජපක්ෂ මහතා වයඹ පළාත තුළ සමාජ සත්කාරවල නියැලීමයි. කෙසේ වෙතත් මෙම රාවය පැතිර ගියේ ශ්‍රීලනිපය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර වයඹ මහ ඇමැති පුටුවට තරග කරන බව පවසා තිබූ පසුබිමකය. පක්ෂය අවසර දෙනවා නම් වයඹ මහ ඇමති අපේක්ෂකයා ලෙස තමා ඉදිරිපත් වන බව ඔහු අවස්ථා කිහිපයකදීම පවසා තිබුණි.

කුරුණෑගල පැවති රුස්වීමකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීහු රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර හමුවේ මේ ප්‍රශ්නය තැබූහ. රෝහිත රාජපක්ෂ පිළිබඳ ඇත්තේ රාවයක් පමණක් බව පැවසූ ඔහු මෙසේ සඳහන් කළේය. “ඔය කියන කවුරුත් වයඹ පළාතේ ඉපදුණු මට අභියෝගයක් නොවෙයි. වයඹ පළාතේ ජනතාව එදා වගේම අදටත් මට හොඳින් සලකනවා. ඒ නිසා මේ පළාත් සභා මැතිවරණයේදීත් වයඹ ජනතාව මට හොඳින් සලකයි කියලා මම විශ්වාස කරනවා.* මේ අතර තමන්ට දේශපාලන අරමුණක් නොමැති බව රෝහිත රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බවද ඇතැම් මාධ්‍ය වාර්තාකොට තිබුණි.

මේ අතර විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා බදාදා පළමු වතාවට සියලුම විදෙස් තානාපතිවරුන් හමුවීමට පියවර ගෙන තිබිණ. මෙය මෙරට විදේශ සබඳතා සම්බන්ධව සුවිශේෂී සිදුවීමක් විය. විශේෂයෙන්ම මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධවත් මේ මොහොතේ ආර්ථික සහාය ලබාගැනීම සම්බන්ධවත් මෙම සාකච්ඡාව තීරණාත්මක විය. එහිදී විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේ මානව හිමිකම් ආරක්ෂා කරමින් සියලුම ජාත්‍යන්තර සංවිධාන සහ සිවිල් සංවිධාන සමග සුහදව කටයුතු කිරීමට සූදානම් බවකි. ඊට අමතරව ජී.එල්. පීරිස් මහතා ජී.එස්.පී. ප්ලස් සහනය මේ අවස්ථාවේ රටට අත්‍යවශ්‍ය බවද තානාපතිවරුන්ට පෙන්වා දුන්නේය.

රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනු ලැබ සිටින රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා මොනවාදැයි මැතිසබයට වහාම දැනුම් දෙන්නැයි ඉල්ලමින් සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු හතළිස් දෙනෙකුගේ අත්සන් සහිත ලිපියක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ගෙවුණු සතියේ බාරදුන්නේය. ඔහුට විරුද්ධව චෝදනා ඇතිනම් වහාම නඩු පවරන්නැයිද එසේ නැතිනම් වහාම නිදහස් කිරීමට කටයුතු කරන්නැයිද එම ලිපිය මගින් ඔවුන් ඉල්ලා තිබුණි.
අවසානයේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට බ්‍රහස්පතින්දා (14) ඇප ලැබුණි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන්ද, සිය නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කාර දැරියක් පිළිස්සී මියයෑම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට මෙලෙස ඇප නියම ලැබුණි. තම නිවසේ සේවය කළ ජූඩ් කුමාර් ඉශාලිනි නැමැති 16 හැවිරිදි දැරියක් පිළිස්සී මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කළාය. ඒ අනුව අනතුරුව එම පැමිණිල්ල ලබන වසරේ පෙබරවාරි මස 18 වැනිදා කැඳවීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කර සිටියාය.

ගුරු විදුහල්පති වර්ජනය ගෙවුණු සතියේ නිමාවේ යැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූහ. ගුරු විදුහල්පති විරෝධතා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එම ගුරු විදුහල්පති සංගම් නියෝජිතයන් අතර අරලියගහ මන්දිරයේදී පැවති විශේෂ සාකච්ඡා ඊට හේතුව විය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රටේ වර්තමාන ආර්ථික තත්ත්වය පැහැදිලි කරමින් අදියර තුනක් යටතේ වැටුප් වර්ධක ලබාදීමට රජයේ එකඟත්වය පළ කළේය.

මෙම හමුව අවසානයේ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සමීප කතාබහක් සිදුවිය. මෙම අවස්ථාවේදී  අග්‍රාමාත්‍යවරයා සුහදව පිටට තට්ටුවක් දමා ස්ටාලින් මහතාව අමතන ඡායාරෑපයක් සමාජ මාධ්‍යයේ පළ විය. එම පින්තූරය පිළිබඳ  විචාර පවා ලියන්නෝ වූහ. ඇගයුම් ගැරහුම් සේම උපහාස අපහාස ඊට ඇතුළත් විය. කෙසේ වෙතත් මේ මොහොතේ සිදුවී තිබුණේ බරපතළ දේශපාලන සංවාදයක් නොව සිනහ ගෙන දෙන සුහද සංවාදයකි. දේශපාලන ආරංචි අනුව එය මෙසේ සිදුවී තිබිණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ස්ටාලින් මහතා අසලින් යන විට  ශ‍්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය ඒ අසල සිටියාය. ඒ අවස්ථාවේදී  “සර් මම ජෝසප් ස්ටාලින්. මෙයාල මට මඩ ගහනවා. කෝටි 85ක් ආවා කියලා." යනුවෙන් හඳපාන්ගොඩ මහත්මිය පෙන්වා ජෝසප්  ස්ටාලින් මහතා අග්‍රාමාත්‍යවරයාට පවසා තිබේ. එවිට හඳපාන්ගොඩ මහත්මිය "ඔව් සර් ඒ ගැන හොයන්න"  යනුවෙන් පවසා ඇත. මෙම දෙබසට මැදිවූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජෝසප් ස්ටාලින් මහතාගේ කරට අත තබා සිනහ මුසු මුහුණින් මෙසේ පවසා තිබේ. "අපි සේප්පුවක් හදලා දෙමු ඒක දාන්න." 

කොතරම් සාකච්ඡා කළද අවසානයේ ගුරු වර්ජනය අතහැරීමට ගුරු වෘත්තීය සමීති එකඟ නොවීය. සමස්ත වැටුපම ඔවුහු එකවර ඉල්ලා සිටියහ. "ගුරු සේවයේ 3(II) ගුරුවරයකුට ලැබෙන්නේ රුපියල් 1,250ක්. අරගලය රුපියල් 1,250ක් වෙනුවෙන්ද කියලා හිතයි." යනුවෙන් සඳහන් කරමින් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු ගුරු සංගම් 31ක නියෝජිතයෝ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යෑමට තීරණය කළහ. මේ අතර එළඹෙන 21 වැනිදා පාසල් ආරම්භ කිරීමේ තීරණය ද එලෙස ඉදිරියට ගෙන යෑමට අධ්‍යාපන බලධාරීහු කටයුතු කළහ. දෙමාපියෝ රුසක් මෙවර ගුරු සංගම් නියෝජිතයන්ව එළිපිටම විවේචනය කරමින් විරෝධය පළ කිරීම කැපී පෙනුණි.

මාධ්‍ය එකිනෙකට වෙනස් වූ පරිද්දෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා ආණ්ඩුව පිළිබඳ කැබිනට්ටුවේ දී කළ කතාවක් වාර්තා කළේය. "ආණ්ඩුව කෙරෙහි විශ්වාසය පළුදු වී ඇත්තේ ආණ්ඩුව අපේක්ෂා කළ දේවල් නොකළ නිසා" බව වීරවංශ මහතා කී බවක් වාර්තා අනුව කියවිණි. මේ හේතුවෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ ද යම් සංවාදයක් ඇතිවිය. අනතුරුව අමාත්‍ය වීරවංශ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ "ආණ්ඩුව කෙරෙහි විශ්වාස පළුදු වී ඇත්තේ ආණ්ඩුව අපේක්ෂා කළ දේවල් නොකළ නිසා නොව, බලාපොරොත්තු නොවූ දේවල් කරන නිසා" බව තමා සඳහන් කළ බවයි. මේ සටහනින් ඔහු කැබිනට් තීරණ ගන්නා ක්‍රමවේදය ද ප්‍රශ්නය කර සිටියේය.

මේ අතර පසුගිය සතියේ අමාත්‍ය විමල් වීරවංශ සතියේ කැබිනට් මණ්ඩල තීරණ පිළිබඳ මාධ්‍ය ඉදිරියේ ද ප්‍රබල විවේචනයක් ඉදිරිපත් කළේය. රසායනික පොහොර තහනම ඇතුළු කැබිනට් තීරණ මෙම විවේචනයට හේතු විය. කැබිනට්ටුවට ඉදිරිපත් වන ඇතැම් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කළ වහාම සම්මත කර ගන්නා බව ඔහු කීය. ඒවා ප්‍රමාණවත් සාකච්ඡාවක් සඳහා විවෘත නොවන්නේ යැයි ද කොතරම්  හොඳ දෙයක් වුවත් ක්‍රියාවට නංවද්දී මේ මොහොතේ බොහෝ සැලසුම් සහගතව කටයුතු කළ යුතුව ඇති බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේය. පොහොර තහනම උදාහරණ කොට දැක්වූ ඔහු ඇතැම් දේවල් පිළිබඳව ප්‍රමාණවත් සාකච්ඡාවක් ආණ්ඩුව තුළ සිදුවූයේ නම් බොහෝ දේ මීට වඩා නිවැරදිව කළ හැකිව තිබූ බවද පැවසීය. තමන් මේ බව අමාත්‍ය මණ්ඩලය තුළදීත් පිටතදීත් සඳහන් කර ඇතැයි ඔහු තවදුරටත් කියා සිටියේය.

පළාත් සභා මැතිවරණය පිළිබඳ කතාව ද ගෙවුණු සතියේ දිගින් දිගටම කරළියේ සංවාදයට ලක්විය. මේ මොහොතේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට යෑම කොතරම් ප්‍රඥාවන්ත දැයි ආණ්ඩුව කල්පනා කර බලන්නේ නම් වඩා හොඳ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා ද පවසා තිබිණි. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුවට අවශ්‍ය තුනෙන් දෙකක විශේෂ බහුතර බලය ලබා දීමට තමන් සූදානම් බව සමගි ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය නිල වශයෙන් ආණ්ඩුවට දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ වෙතත් ආණ්ඩුව ලබන අප්‍රේල් මාසයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සැලසුම් කරමින් සිටින බවක් ද දේශපාලන ආරංචි මාර්ග අනුව කියැවිණි. ඊට පෙර ආණ්ඩුවේ ප්‍රතිරෑපය ගොඩනගා ගැනීම සඳහා  සංවර්ධන කටයුතු වෙනුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩුවේ සියලුම මහජන නියෝජිතයන්ට විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කරන බවද කියැවිණි.
කෙසේ වෙතත් ආණ්ඩුව ලබන අප්‍රේල් මාසයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සැලසුම් කළ ද යහපාලන රජය විසින් සම්මත කළ නීති ඒ සදහා බාධකයක් වී තිබිණි.  තත්ත්වය සංකීර්ණ වීමට හේතු වූයේ  ආණ්ඩුවේ සුළු පක්ෂ රුසක් මේ වන විට පළාත් සභා මැතිවරණ ක්‍රමයට විරෝධය පළ කිරීමයි. මේ සම්බන්ධව පසුගිය දිනවලදී නිර්මාණය වූ  ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය තාවකාලිකව සංවාදයට ලක් නොවුණ ද එම ගැටලුව ආණ්ඩුව තුළ විසඳී නොමැත. සමගි ජන බලවේගය සහ දෙමළ සන්ධානය ආණ්ඩුවට සහයෝගය පළ කරන්නට සැරසෙන්නේ මෙවන් තත්ත්වයක් තුළය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කනිටු පුත් රෝහිත රාජපක්ෂ මහතා ක්‍රිකට් ක්‍රීඩා කරන ආකාරය දැක්වෙන පින්තූර කිහිපයක් සමාජ ජාල ඔස්සේ හුවමාරු වීම ද ගෙවුණු සතියේ විශාල සංවාදයකට කරුණු සැපයුවේය. ඔහු  කළුතර නාගරික ක්‍රීඩා සමාජයට සම්බන්ධ වී ඇති බවක් ද කියැවිණි. ඊට අමතරව රෝහිත රාජපක්ෂ මහතා ක්‍රිකට් ක්‍රීඩා නිලවරණයට පැමිණීමට සූදානම් වන බව ද ඇතැමුන් කියන්නට වූ අතර ලංකා ප්‍රීමියර් ලීග් සඳහා ඔහු ඉදිරිපත් වීමට සැරසෙන්නේ යැයි ද තවත් පිරිසක් කීහ. කෙසේ නමුත් රෝහිත රාජපක්ෂ මහතා එම වාර්තා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ තමන් හට ක්‍රිකට් පරිපාලනය සමඟ සම්බන්ධ වීමට හෝ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගවලට ක්‍රීඩා කිරීමේ කිසිදු අදහසක් නොමැති බවයි. එහෙත් දැනටමත් තමන් ශාන්ත තෝමස් ආදි ශිෂ්‍ය ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩා කරන බවද ඔහු සඳහන් කර තිබිණි. කළුතර නාගරික ක්‍රීඩා සමාජයේ නම මේ සිදුවීමට ඈඳීමත් සමඟ එම සංගමයේ සභාපතිවරයා සඳහන් කොට තිබුණේ රෝහිත රාජපක්ෂ මහතා තම කණ්ඩායම සමඟ පුහුණුවීම් කටයුතු කළද තවමත් කණ්ඩායම වෙනුවෙන් ලියාපදිංචි වී නැති බවයි.

ගෙවුණු සතියේ එක්සත් ජාතික පක්ෂය අලුත් චෝදනාවක් සමඟ කරළියට පැමිණියේය. යහපාලන ආණ්ඩුවට රට ඉදිරියට ගෙන යෑමේදී බාධා කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔවුහු චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළහ. සිව් වැදෑරුම් මෙම චෝදනා සම්බන්ධව ඕනෑම ප්‍රසිද්ධ මාධ්‍යයක මුහුණට මුහුණ සංවාදයකට තමා සූදානම් බව ද එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අභියෝග කළේය. මෙහිදී එජාපය ඉදිරිපත් කළ  ප්‍රධාන චෝදනාව වූයේ, ශ්‍රී ලංකේය පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම වෙනුවෙන් දරු දැරියන්ට ටැබ් පරිගණක ලබා දෙන්නට උත්සාහ කරන විට එය නතර කිරීම, ගුරු වැටුප් ප්‍රශ්නය විසඳීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබියදී දින 52ක කුමන්ත්‍රණයක් නිර්මාණය කොට එම ප්‍රශ්නය විසඳීම කඩාකප්පල් කිරීම, පාස්කු ප්‍රහාරය අවස්ථාවේදී ආරක්ෂාව පිළිබඳ වගකීම කිසිවකුටත් පවරන්නේ නැතිව විදේශගත වී සිටීම සහ මරදගහමුල සහල් වෙළෙඳපොළ බිඳවට්ටවා පොළොන්නරුවේ සහල් ඒකාධිකාරියක් නිර්මාණය කිරීම යන්නයි.

චමිදු නිසල්