2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

මැතිසබයේ පුපුරා ගිය බෙහෙත් බෝම්බය

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 303

  • පක්ෂ නායකයන් සමඟ අගමැති තීරණාත්මක හමුවක
  • බඩු හරි ගණං: ඇමැතිවරු බර සාකච්ඡාවක
  • ශ්‍රීලනිප නායකයන්ට චන්ද්‍රිකා දෙහි කපයි
  • අලි ගැසට් ගැන ජවිපෙන් ප්‍රශ්න වැලක්
  • යුගදනවි ගිවිසුම අර්බුදයකට යන ලකුණු
  • සජිත්ගෙන් ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්
  • රන්ජන් ගැන ඩලස් කියූ අමුතු කතාව

වසංගතයේ සැර බාල වෙමින් තිබේ. සංචරණ සීමා ද ලිහිල් වන ලකුණු පහළ වෙයි. දේශපාලන කරළිය ද සුපුරුදු රිද්මයට අවතීර්ණ වෙමින් සිටියි. ආරෝවන්ට හේතු වූ විවිධ ගනුදෙනු, ගිවිසුම්  සහ සිදුවීම් ගහණ විය. අගමැති නිල සංචාරය අවසන් කොට එන විට ජනපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතන්නට අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත් විය. ගෙවී ගියේ බොහෝ දෑ සිදුවුණු දේශපාලන සතියකි.

සතිය පුරා එකින් එක පරයමින් ඉස්මතු වූ දේශපාලන මතගැටුම් අතර ඖෂධ දත්ත මැකී යාම සම්බන්ධව සිදුවීම ද ප්‍රමුඛ විය. සති දෙකකට අධික කාලයක සිට විටින් විට ඉස්මතු වූ මෙම අර්බුදයේ මහා පිපිරීම වූයේ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අඟහරුවාදා  (21) පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයයි. ඔහු කියා සිටියේ මැකී ගොස් ඇත්තේ යහපාලන ආණ්ඩු සමයේ ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධ දත්ත බවය. එසේම ඖෂධ වැඩි මිලට ලබාගැනීම පිළිබඳව ද ඔහු යහපාලන රජයට චෝදනා කළේය.

පසුගිය සමයේ අධික මිලට ලබාගෙන තිබූ ඖෂධ 35ක ලැයිස්තුවක් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා විසින් සභාගත කෙරිණි. යහපාලන රජයේ ඖෂධ මාෆියාවට තිත තැබීමත් සමඟ රුපියල් මිලියන 128ක් රජයට ඉතිරි කර ගැනීමට හැකිවී ඇති බවද ඔහු කීවේය. “හදිසි මිලදී ගැනීම්” යනුවෙන් සඳහන් කර සමහර ඖෂධ අධික මිල ගණන් යටතේ පසුගිය රජය මිලදී ගෙන ඇති බවත් එසේ අධික මිලට ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. එසේම හදිසි මිලදී ගැනීම් ක්‍රමවේදයෙන් මිදී, සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටිය යටතේ ඖෂධ මිලදී ගැනීමෙන් රුපියල් බිලියන 1.14ක් පමණ ඉතිරි කර ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සමත් වී ඇතැයිද  ජයසුමන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා සිදු කළ ප‍්‍රකාශයට පාර්ලිමේන්තු  මන්ත්‍රී හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බදාදා  (22) පාර්ලිමේන්තුවේදී පිළිතුරු බැන්දේය. ඒ සමඟම පාර්ලිමේන්තු සභා ගර්භය තුළ උණුසුම් තත්ත්වයක් ඇතිවිය. රාජ්‍ය ඇමැතිවරයා කී කරුණු අමූලික බොරු බවත් තමා එවකට තිබුණු ඖෂධ මාෆියාව කඩා මිල පාලනය කළ බවත් රාජිත සේනාරත්න මහතා කියා සිටියේය. තමා ඖෂධ මිල පාලනය කරමින් ජනතාවට කෝටි පනහක මුදලක් ඉතිරි කර දී සේනක බිබිලේ ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කිරීමට පියවර ගත් බවද ඔහු කීවේය. රාජ්‍ය ඇමැතිවරයා කී ආකාරයට දත්ත පද්ධතියෙන් මැකුණු බව කී ඖෂධ වර්ග ඇතුළත් ලේඛනය සාමාන්‍ය පරිදි ලිපි ගොනුවල තවමත් ඇතැයි ද ඔහු පැවසීය. තමාට චෝදනා කරන අය මේ වන විට සුපිරි වාහන, මිලියන 200 ක් වටිනා නිවාස, පක්ෂ කාර්යාල මිලදී ගෙන ඇති බව ද හෝටල් මිලදී ගැනීමක් සම්බන්ධව සොයන බවට ද හෙතෙම චෝදනා කළේය.

මෙම අවස්ථාවේ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා රාජිත සේනාරත්න මහතාට පිළිතුරු දීමට ගියේය. ඔහු රාජිත සේනාරත්න මහතාට විරුද්ධව චෝදනා රැසක් ඉදිරිපත් කළේය. තමන් රේන්ජ්රෝවර් වාහනයක්,  මිලියන 200 ක් වටිනා නිවසක්, හෝටල් මිලදී ගෙන ඇත්නම් ඒ බව ඔප්පු කළහොත් ඒවා සේනාරත්න මහතාගේ නමට පවරා දීමට කටයුතු කරමින් රාජ්‍ය ඇමැති ධුරයෙන් මෙන්ම මන්ත්‍රී ධුරයෙන් ද ඉල්ලා අස්වන බව ඔහු කියා සිටියේය. මෙහිදී තවදුරටත් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය. රාජිත සේනාරත්න මහතා පිළිතුරු දීමට උත්සාහ කරද්දී ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු ඊට දැඩි ලෙස බාධා කළහ.

මේ අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඖෂධ දත්ත මැකී යාම සම්බන්ධව ගෙවුණු සතියේ විශේෂ නිවේදනයක් ද නිකුත් කළේය. "ලංකා රජයේ ක්ලවුඩ් දත්ත පද්ධතියේ ගබඩා කර තිබූ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී මේ වන විට මාස 02ක් ඉක්මවා තිබේ. මෙලෙස අතුරුදහන් වී ඇත්තේ රටේ ආරක්ෂාවට බලපාන සංවේදී තොරතුරු සහිත පොදු දේපලකි. මෙම බරපතළ වරද පිළිබඳව ආණ්ඩුව ක්‍රියාත්මක වෙමින් සිටින්නේ අතිශය මන්දගාමී ස්වරෑපයකිනි." යනුවෙන් සඳහන් වූ එම නිවේදනයෙන් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මේ පිළිබඳ තොරතුරු සොයා ගැනීමට සමත්කමක් නැති ආණ්ඩුවකින් බැඳුම්කර හොරුන් හෝ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සොයාගනු ඇතැයි සිතීමත් විහිළුවක් බවය.
ගෙවුණු සතියේ පාර්ලිමේන්තුව රුස්වූයෙන් මේ ආදී වූ තවත් වාද විවාද රුසක් රට තුළ නිර්මාණය විය. ජනතා විමුක්ති පෙරමුණ ද අලි ප්‍රශ්නයක් පාර්ලිමේන්තුට ගෙන ආවේය. එය අලි ඇතුන් ළග තබාගැනීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සිදු කළ හෙළිදරව්වකි. ඔහු මෙහිදී කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අලි පැටවකු පරිත්‍යාග කර ඇති බවයි. එමෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයකු වශයෙන් සිටින නෙවිල් වන්නිනායකට අලි දෙදෙනකු ලැබුණේ කෙසේද යන්න අනුර කුමාර මහතා ප්‍රශ්න කර සිටියේය. 

පසුගිය කාලසීමාවේදී අලි ඇතුන් විවිධ පුද්ගලයන්ට ලබාදීම සදහා ගැසට් පත්‍ර වෙනස් කළ බවද ඔහු කීවේය. මෙම ප්‍රකාශයෙන් අවදි වූ අලි ඇතුන් සම්බන්ධව කටයුතු කරන තවත් සංවිධාන කිහිපයක් ගෙවුණු සතිය පුරා මාධ්‍ය සාකච්ඡා පැවැත්වීය. ආණ්ඩුව තම ගජ මිතුරන්ට අලි පැටවුන් ලබාගැනීම සඳහා පනත් සම්මත කරන්නට සැරසෙන බව ඔවුහු කියා සිටියහ.

ගෙවුණු සතියේ කැබිනට් රුස්වීමේ දී දීර්ඝ වශයෙන් බඩු මිල සම්බන්ධව සාකච්ඡා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රුස්වීම පැවැත්විණි.  ඇතැම් ආහාර ද්‍රව්‍යවලට රජයෙන් පාලන මිලක් නියම කර ඇතත්, ඒවා වැඩි මිල ගණන්වලට අලෙවි කරන බව අමාත්‍යවරු පිරිසක් මෙහිදී ප්‍රකාශ කළහ. එසේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම පාලනය සඳහා වහා පියවරක් ගත යුතුව ඇති බව ඇමැතිවරු ගණනාවක් අවධාරණය කර සිටියහ. දේශපාලන ආරංචි මාර්ග පවසන පරිදි ආචාර්ය බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, මහින්දානන්ද අලුත්ගමගේ, විමල් වීරවංශ යන  ඇමැතිවරුන් ප්‍රමුඛව තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙක් මේ පිළිබඳ දීර්ඝ වශයෙන් අදහස් දැක්වූහ. කිරිපිටි, සිමෙන්ති, ගෑස් ආදී ද්‍රව්‍යවල මිල වැඩි කිරීමට ආනයන සමාගම් ඉල්ලීම් කර ඇති බවද වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා එහි දී පෙන්වා දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර බදාදා (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය ප්‍රශ්න කිරීම් හමුවේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.  ඒ රන්ජන් රාමනායක මහතා පිළිබඳවයි. රන්ජන් රාමනායක මහතාට ලබා දී තිබෙන දඬුවම බරපතළ වැඩි යැයි තමාට සිතෙන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේය. ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම පමණක් ප්‍රමාණවත් බව තම අදහස යැයිද ඔහු පැවසීය. “මගේ පෞද්ගලික මතය රන්ජන් වැරුද්දක් කළා. ඒකට එයාට දඬුවමක් ලැබුණා. ඒ තමයි ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වීම. ඒක පුද්ගලයකුට ලැබෙන්න පුළුවන් විශාල දඬුවමක්. මට දැනෙන විදිහට රන්ජන්ට මේ වගේ දඬුවම් දෙකක් දීම බරපතළ වැඩියි. අපි කවුරුවත් ද්වේශසහගතව ඔහු දිහා බලන්නේ නැහැ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.” යැයි ඔහු පැවසීය.

මේ අතර තරමක් සමනය වෙමින් තිබූ ආණ්ඩුවේ අභ්‍යන්තර පක්ෂ අර්බුදය නැවත දළුලා වැඩෙන්නට විය. යුගදනවි බලාගාරය සම්බන්ධව අමෙරිකානු සමාගමක් සමඟ  ආණ්ඩුව ගිවිසුමකට එළඹීම මෙම අර්බුදයට හේතු විය. පළමුව විපක්ෂය මෙම ගිවිසුම රහසේ අත්සන් කර ඇති බවට ආණ්ඩුවට චෝදනා එල්ල කළේය. ඒ අතර කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කීවේ දැනට පවතින්නේ සංකල්පීය එකඟතාවක් පමණක් බවයි. 
එහෙත් පසුව මෙගාවොට් 310 යුගදනවි විදුලි බලාගාරයේ 40%ක කොටස් සම්බන්ධව සහ කොළඹ වෙරළට ඔබ්බෙන් නව එල්.එන්.ජී. පර්යන්තයක් සංවර්ධනය කිරීමේ ආයෝජනයක් සඳහා නිශ්චිත එකඟතාවක් ඇතිකරගත් බවට නිව් ෆෝට්‍රස් බලශක්ති සමාගම නිවේදනය කළේය. මේ සමඟම විපක්ෂය මෙන්ම වෘත්තීය සමීති ගණනාවක් ඊට දැඩිව විරෝධය පළ කළේය.

මේ සම්බන්ධව සොයා බැලීමේ දී දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ඉහත සතියේ සූම් තාක්ෂණය ඔස්සේ පැවති කැබිනට් මණ්ඩල රුස්වීමේදී ද මෙම ගිවිසුම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවයි.  එහිදී විමල් විරවංශ, වාසුදේව නානායක්කාර හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් මෙම ගිවිසුමේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති බව කියැවේ. තවත් ආරංචියකට අනුව එදින කැබිනට් හමුවට පෙර ඔවුන් තිදෙනා කැබිනට් සාමාජිකයන් වෙත ගොස් වෙන් වෙන් වශයෙන් මෙම ගිවිසුම සම්බන්ධව  දැනුවත් කර ඇති බව කියැවේ. ආරම්භයේ දී යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් ඇමැතිවරුන් තිදෙනා ඉදිරිපත් කළ විවේචන පිළිබඳව ඔවුන් වෙනම කැඳවා දැනුවත් කිරීමට ද මුදල් අමාත්‍යවරයා ජනාධිපතිවරයාට එකඟත්වය පළ කර තිබූ බව පැවසේ. කෙසේ වෙතත් මෙම ඇමැතිවරුන්ගේ යෝජනා ඵල දැරෑ බවක් නම් පෙනෙන්නට නොමැත.

කෙසේ වෙතත් කෙරවළපිටියේ යුගදනවි විදුලි බලාගාරයෙන් 40%ක ප්‍රමාණයක්  ඇතුළත්ව යම් යටිතල පහසුකම් ප්‍රමාණයක් අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට ලබාදීමේ ගිවිසුමට ආණ්ඩුව පසුගිය 17 වැනිදා රාත්‍රී 12.06ට අත්සන් කළ බව ජනතා විමුක්ති පෙරමුණු  නායක අනුර දිසානායක මහතා ගෙවුණු සතියේ අනාවරණය කළේය. මෙම ගිවිසුම සම්බන්ධ සංවාදය උණුසුම් වූයේ එම අනාවරණයත් සමඟයි.

ඒ සමඟම අවස්ථා දෙකක දී මෙම ගිවිසුම සම්බන්ධව ආණ්ඩුවේ පක්ෂ 10 ක් එක්ව සාකච්ඡා කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි. පොදුවේ ඔවුන් සියලු දෙනාම මෙම ගිවිසුමට විරෝධය ගොනු කොට තිබේ. කොළඹ වරාය පර්යන්ත අර්බුදයට මෙන් මීට ද විරෝධය ගොනු කළ යුතු බව ඔවුන් සාකච්ඡා කර ඇති බව කියැවේ. 20 වැනිදා බොරුල්ල කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී පළමු සාකච්ඡාව පවත්වා ඇතැයි දැනගන්නට ලැබේ. එම සාකච්ඡාවේ දී ඇතිකරගත් එකඟතා ප්‍රකාරව පසුව 21 වැනිදා මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවෙසේදී ද මෙම පිරිස සාකච්ඡාවක් පවත්වා තිබේ.

මේ සම්බන්ධව ජනපති සහ අගමැති සමඟ  ඍජුව සාකච්ඡා කිරීමට මෙම කණ්ඩායම තීරණය කර ඇත. එදිනම ඔවුන් අග්‍රාමාත්‍යවරයා වෙත ඉල්ලීමක් ද ඉදිරිපත් කර ඇතැයි කියැවේ. බදාදා දිනයේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත වූ නමුත් එය බ්‍රහස්පතින්දා දිනය දක්වා කල් ගියේය. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවලට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සහභාගී නොවූ බව කියැවේ. ආණ්ඩුවේ බලශක්ති අමාත්‍යවරයා වීම හේතුවෙන් මේ සම්බන්ධව කටයුතු කිරීමේදී ඔහුට ගැටලු රුසකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි කියැවේ. 

ගලගොඩඅත්තේ ඥානසාර හිමියගේ ප්‍රකාශයක් නිසාද දේශපාලන කරළියේ ගිනි ඇවිලුණි. පාස්කු ප්‍රහාරය මෙන් තවත් ප්‍රහාරයකට පිරිසක් සූදානම් බවට තොරතුරු උන්වහන්සේ හෙළිකළහ. එම ප්‍රකාශ සම්බන්ධව පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ගෙන් විවිධ අදහස් ඉදිරිපත් විය. රෑපවාහිනී නාළිකාවකදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කොට තිබේද යන්න පිළිබඳව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රශ්න කර සිටියේය. මීට අමතරව ජාතිවාදය අවුස්සාලීමට ගලගොඩඅත්තේ හිමියන්ට රාජ්‍ය මාධ්‍යයන්හි අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කරමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත ලිපියක් යොමුකොට තිබුණි.

එම ප්‍රසිද්ධ ප්‍රකාශ පිළිබඳ වහාම විමර්ශනයක් ආරම්භ කළයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කළේය. &එහෙම නැත්නම් නැවත ප්‍රහාරයක් සිද්ධවුණායින් පස්සෙ උන්වහන්සෙ අද කාදිනල් උන්නාන්සෙට දික්කරන ඇඟිල්ලම අපට දික් කරයි* යනුවෙන්ද ඔහු පැවසීය.

මේ අතර තරුණ පිරිසකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාර දිය යුතු යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගෙවුණු සතියේ පැවසුවාය. තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මේ බව සඳහන් කළාය. වත්මන් ශ්‍රීලනිප නායකයන් එදා පොහොට්ටුව සමග එක්වූයේ බල පෙරේතකම නිසා බවත්, මේ රජය කරන සෑම වැරදි ක්‍රියාවකටම මේ අයත් කොටස්කරුවන් වන බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එහි සඳහන් කර තිබුණි. බලලෝභී නායකයන්ට වැදගත්කමක් තියෙනවා නම් තමන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වී දූෂ්‍ය නොවූ පක්ෂයට ඇත්තටම ආදරය කරන ප්‍රතිපත්තිගරුක තරුණ පිරිසකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාර දිය යුතු යැයි ඇය වැඩිදුරටත් මෙහිදී සඳහන් කළාය.

මේ අතර ගෙවුණු සතියේ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සතොස ගැටුමද දික්ඇදුණි. පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන විසින් පසුගියදා විද්‍යුත් මාධ්‍යයට හා මුද්‍රිත මාධ්‍යයට සිදුකළ ප්‍රකාශයක් මෙයට නිමිත්ත විය. සතොස ආයතනයේ සිදුව ඇති වංචා සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටියදී අමාත්‍යවරුන් විසින් සිය ධූරයෙන් ඉල්ලා අස්වන මෙන් තමාට බලපෑම් කරන ලද බව ඔහු පැවසීය. ඒ සමඟම මෙම ගැටුම දික්ඇදුණි. චෝදනා කර ඇති ආකාරයට තමා හෝ තම කාර්ය මණ්ඩලයේ කිසිවෙකු හෝ යම් වංචාවක් සිදුකර ඇති නම් එය සාක්ෂි සහිතව සනාථ කිරීමට ඔහු විසින් කටයුතු කළ යුතු බවද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය.

රාජ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයට තමා කිසිසේත්ම මැදිහත්ව නොමැති බවත්, තර්ජනය කිරීමට හෝ බලපෑම් කිරීමට හෝ තමා විසින් මෙම හිටපු අධ්‍යක්ෂකවරයා හමුවී හෝ දුරකථන ඇමතුම් ලබාදීමට කටයුතු කර නොමැති බවත් ගුණවර්ධන මහතා අවධාරණය කළේය. මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් තමා විසින් සිදුකරනු ලබන පැමිණිල්ලට අනුව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකිරීමේ වගකීම පොලිස්පතිතුමා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවට පැවරී ඇති බවත් ඔහු කීවේය.

බ්‍රහස්පතින්දා පස්වරුවේ තීරණාත්මක පක්ෂ නායක හමුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවත්වුණි. ශ්‍රී ලංකා පොදුජන සන්ධානයේ පක්ෂ නායකයෝ මීට සහභාගි වූහ. රැස්වීමේ අරමුණු කිහිපයක් විය. කොවිඩ් - 19 වසංගතය හමුවේ රජයේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම, 2021 අයවැය යෝජනාවලිය ඉදිරිපත්කිරීම සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන පනත් කෙටුම්පත් එලෙස ඉදිරිපත්කිරීමට පෙර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් සැකසීම ආදී කරුණු පිළිබඳ මූලිකවම සාකච්ඡා කෙරිණි. පසුව යුගදනවි බලාගාරය සම්බන්ධව සාකච්ඡා ඇරඹුණි. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එහි වාසි අවධාරණය කර තිබූ අතර මෛත්‍රීපාල සිරිසේන, විමල් වීරවංශ ඇතුළු පක්ෂ නායකන් විසින් එහි සිදුවිය යුතු වෙනස්කම් පෙන්වා දි තිබුණි

පක්ෂ නායකයන්ගේ අදහස් හා යෝජනා සහිතව පැය දෙකකට ආසන්න කාලයක් පැවති රුස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙසේ කියා සිටියේය. &ජනාධිපතිතුමා පැමිණි පසුවත් සාකච්ඡා කරන්න සූදානමින් ඉන්නවා. මොකද අපි දරන මතයත් වෙනත් අය දරන මතයත් අතර වෙනස්කම් තියෙන නිසා. ඒ නිසා අපි පක්ෂ නායකයන් 10ක් හෝ 11ක් අත්සන් කරලා ජනාධිපතිතුමාට ලිපියක් භාරදෙන්න නියමිතව තිබෙනවා. මේ පැවැති සාකච්ඡාවේදී අගමැතිතුමා මධ්‍යස්ථව කටයුතු කළේ. අපි හිතනවා මුදල් ඇමතිතුමා අපි ඉදිරිපත් කරපු කරුණු ගැන විශේෂ සැලකිල්ලක් යොමු කරයි කියලා.

මේ අතර බ්‍රහස්පතින්දා දිනයේදීම පැවති මාධ්‍ය සාකච්ඡාවකදී විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ යුගදනවි බලාගාරයේ ගිවිසුම අස්සන් කළ බවට නිල වශයෙන් පිළිගත්තේය. &අමෙරිකන් සමාගමක් ඉදිරිපත් වෙලා ඉල්ලුවා. ඒගොල්ලන්ට 40%ක් දුන්නා. ඒකේ සම්පූර්ණ ලාභය එන්නේ ආණ්ඩුවට. අවුරුදු 15කට පස්සේ රජයට මේක අයිතිවෙනවා. අත්සන් කරලා තියෙන්නේ. ඒක හංගන්න දෙයක් නෑ” යනුවෙන් අමාත්‍යවරයා මාධ්‍ය කළ විමසීමේදී පැවසීය. මැදියම් රාත්‍රියේ මෙම ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳව ලොකුගේ අමාත්‍යවරයාගේ අදහස වූයේ රජය ගිවිසුමක් අත්සන් කරන්න තීන්දු කළවිට එය අත්සන් කරන්නේද නැද්ද යන්නත් සහ අත්සන් කරනු ලබන වේලාව දෙපාර්ශ්වයේ පහසුව මත තීරණය කරන බවයි. කෙසේ නමුත් යුගදනවි බලාගාරය සම්බන්ධ අර්බුදය ඉදිරි සති කීපයේ ප්‍රමුඛතම දේශපාලන මාතෘකාව වනු ඇති බව පසුගිය සතිය අවසානයේ සියල්ලන්ටම අවබෝධ විය.

 චමිදු නිසල්