2021 ජුලි 31 වන සෙනසුරාදා

සී.අයි.ඩියට යද්දි හරීන්ට රනිල්ගෙන් ඇමතුමක්

 2021 ජුලි 31 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 246

ශ්‍රීලනිපයට ජනපතිගෙන් සුබවාදි ප්‍රතිචාර

මනමාලි නැතුව මොන මඟුල්ද? ඩග්ලස් දේවානන්දගෙන් බන්දුල අසයි

ඇමැති සරත් වීරසේකරට අභියෝගයක්

කෙහෙළියගේ පිළිතුරට රොෂාන් රණසිංහගෙන් කොක්කක්

නිදහස් වන දිනය ගැන රන්ජන් කියන කතාව

රිෂාඩ්  ගැන නීතිපති කළ හෙළිදරව්ව

ආණ්ඩුව චීනෙට ඉඩම් දෙනවායැයි විපක්ෂයෙන් චෝදනා

 

දේශපාලන සාකච්ඡා සංවාද විසංවාද සපිරි තවත් සතියක් ගෙවී ගියේය. කොවිඩ් රකුසා නැවත බැටදීම අරඹා තිබූ අතර තත්ත්වය බරපතළ වන ලකුණු පහළ විය. වර්ජන රැල්ල ද අලුත් අදියරකට පැමිණියේය. සියලු තැන්හි වූයේ අපැහැදිලි ගතියකි. දේශපාලනයට අරක් ගත් කළු වලාව පහව නොයන බව පෙනෙන්නට තිබුණි.

ගෙවුණු සතියේ ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන අර්බුදය විෂයේ ඉතා වැදගත් සාකච්ඡාවක් පැවැත්විණි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී අඟහරුවාදා (27) පැවැති මෙම සාකච්ඡාවට එක්වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රීලනිප නියෝජිත පිරිසකි. එම විශේෂ සාකච්ඡාව සඳහා ජනාධිපතිවරයා විසින් පෙරවරු 11.00ට වේලාව ලබා දී තිබුණි. කෙසේ වෙතත්  නිදහස් පක්ෂ ශ්‍රීලනිප නියෝජිතයන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවෙසේදී අභ්‍යන්තර පක්ෂ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුවයි.

මෙම සාකච්ඡාවට වෙන්කොට තිබුණේ පැයක පමණ කාලයකි. එහෙත් එය පැය දෙකහමාරක් පමණ දිගුවිය. ශ්‍රීලනිප දුක් ගැනවිලි සියල්ල ජනාධිපති හමුවේ පැවසීමට පිරිස කටයුතු කළ බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. මැතිවරණයට එකට තරග කිරීම වෙනුවෙන් ගැසූ ගිවිසුම්වලට අදාළව තම පක්ෂය ලැබිය යුතු එහෙත් මෙතෙක් ලැබී නැති තනතුරු වරප්‍රසාද පිළිබඳ පිරිස ජනාධිපතිවරයාට පැවසූහ. ආණ්ඩුවේ ඇතැමුන් ශ්‍රීලනිප මහජන නියෝජිතයන් සහ සංවිධායකවරුන් බැහැර කරමින් කටයුතු සිදුකිරීම සම්බන්ධව මෙහිදී සාකච්ඡා ඇතිවිය. මීට අමතරව ඡන්ද ක්‍රමය සංශෝධනය කිරීම, ගුරු වැටුප් විෂමතා, පොහොර ගැටලුව ඇතුළු කරුණු පිළිබඳවද කාලීන සමාජ ප්‍රශ්න පිළිබඳවද හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡා ඇතිව තිබුණි. මේ අනුව සියලු ප්‍රශ්න සම්බන්ධව සාවධානව අසා සිටි ජනාධිපතිවරයා ශ්‍රීලනිප කණ්ඩායමට දැක්වූයේ සුභවාදී ප්‍රතිචාරයකි. ඇතැම් තීරණ ගැනීමට හේතු වූ කරුණු කාරණා ජනාධිපති පිරිසට පහදා දුන්නේය.

බොහෝ සුහදව සිදුවූ මෙම සාකච්ඡා අවසානයේ මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රීලනිප නියෝජිතයන් තුළ යම් ප්‍රසාදයක් සහ බලාපොරොත්තුවක් ඇතිවී තිබුණි. එය ආණ්ඩුවේ  දේශපාලනය සම්බන්ධව සුභවාදී ප්‍රවේශයක් ලෙස ආණ්ඩු හිතෛෂින්ට පෙනී ගියේය. එහෙත් මෙම සාකච්ඡා සාර්ථක වීම පිළිබඳ සිත් තැවුල් ඇතිකරගත් අයද ආණ්ඩුවේ අභ්‍යන්තරයේ සිටින බව දැනගන්නට ලබුණි. මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අමතරව නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක යන මහත්වරුන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සහභාගී වූ අතර ජනාධිපතිවරයා සමඟ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සහභාගී විය.

ගෙවුණු සතියේ දේශපාලන කරළියේ රුඟුම් පෑ දේශපාලන චරිත අතර පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රධාන විය. ඔහුව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි. තම පියා පාස්කු ප්‍රහාරය දැන සිටි බවට ඔහු පාස්කු ප්‍රහාරයෙන් පසුව පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම තොරතුරු විමසීම සිදුවිය. පසුගිය දිනවල ඔහුව අත්අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා අධිකරණයට දන්වා තිබුණත් මෙදින ඔහු ප්‍රකාශය ලබාදීමට පැමිණියේ පරිවාරය ද සමඟිනි. ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සජබ මහජන නියෝජිතයෝ මෙම ගමනට සහභාගි වූහ.

හරින් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන අතරේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඔහුට දුරකථන ඇමතුමක් ලැබී තිබුණි. හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පසුව හෙළි කළ පරිදි වික්‍රමසිංහ මහතා ඔහුට කියා තිබුණේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව තමා දැනගත් කරුණු එදිනම තමා අග්‍රාමාත්‍යවරයාට දැන්වූ බව පවසන ලෙසයි. "අද ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහත්තයත් මට උදේ කතා කළා. එතුමා කිව්වෙත් ඕනේම තැනක කියන්න කියලා මට දුරකථන ඇමැතුම් ආව ගමන් මම එතුමාව දැනුවත් කළා. ඒ නිසා එතුමාව ගෙන්නලා කටඋත්තරය ගන්න කියලා එතුමා දැනගෙන හිටිය දේවල් ගැන."

පසුගිය මාස කිහිපය පුරා හරීන් වෙනුවෙන් රනිල් ද රනිල් වෙනුවෙන් හරීන් ද පෙනී සිටීම හේතුවෙන් දේශපාලන කරළියේ තිරය පිටුපස විවිධ කතා ඇතිවිය. එජාපය සමඟ හිතවත් වීම සම්බන්ධව හරීන් පිළිබඳ සැකයෙන් බලන පක්ෂයේ පිරිසක් සිටින බවට ද දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ අසන්නට ලැබුණි. මේ අතර හරීන් ප්‍රනාන්දු සහ ඇමැති සරත් වීරසේකර ගැටුමක් ද කරළියට ආවේය. ඊට හේතුව වූයේ පාර්ලිමේන්තුවේ දී සිදුවූ මතගැටුමකි.  පාස්කු ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව එළියට ආ හරීන් ප්‍රනාන්දු ඇමැති සරත් වීරසේකරට අභියෝග කළේය. 

“සරත් වීරසේකරටයි මටයි ආරාධනා කරන්න පාස්කුව ගැන පාර්ලිමේන්තුවේ කියපු කතා ගැන සාකච්ඡා කරන්න. මම එතුමාට විවෘතව වේදිකාවකට ආරාධනා කරනවා. කරුණු සාකච්ජා කරමු. පොලීසිවල දාලා මාව නිකම් රස්තියාදු කරනවාට වඩා නිකම් පාර්ලිමේන්තුවේ කරන චණ්ඩි කතාවලට වඩා එන්න ඕනම නාලිකාවකට ප්‍රසිද්ධ විවාදයකට එන්න. ඔබතුමා කැමැති කෙනෙක් අරන් එන්න. අපිට තියෙන කරුණුත් එක්ක අපි සාකච්ඡා කරමු. අපි රටක් හැටියට බුද්ධිමත් සංවාදයක් කරමු."
ජපානයේ ටෝකියෝ ඔලිම්පික් නැරඹීමට ගිය ඇමැතිවරුන් පිරිසක් සම්බන්ධව ද ගෙවුණු සතියේ දේශපාලන කලබගෑනියක් ඇති විය. අමාත්‍ය නාමල් රාජපක්‍ෂ, අමාත්‍ය රොෂාන් රණසිංහ, රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක යන අමාත්‍යවරුන් රජයේ වියදමින් ඔලිම්පික් ගොස් ඇති බව විපක්ෂ කණ්ඩායම් චෝදනා කරන්නට විය. එහි කූඨප්‍රාප්තිය වූයේ කැබිනට් මාධ්‍ය හමුවයි. එහිදී මාධ්‍යවේදියෙක් ඇමැතිවරුන්ගෙන් ඔලිම්පික් ගමන පිළිබඳ විමසා සිටියේය. එහිදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීවේ ඇමැතිවරුන් ඔලිම්පික් ගොස් ඇත්තේ පෞද්ගලික ආයතනවල අනුග්‍රහයෙන් බවයි. ඒ අනුව මේ ගමනින් මහා භාණ්ඩාගාරයට පාඩුවක් නොවන බවත් ඔහු කීවේය.

ගතවූයේ දිනයක් පමණි. එම කාරණය එසේ නොවන බවත් විදේශගත වීමට අවශ්‍ය ගුවන් ටිකට්පත් හා ජපානයේ රුඳී සිටින කාලය තුළදී වැයවන වියදම් තමා පෞද්ගලිකව දරාගන්නා බවත් කිසිදු මොහොතක රජයේ මුදල් හෝ පෞද්ගලික ආයතනයක අනුග්‍රාහක මුදල් වියදම් නොකළ බවත් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. ඒ අනුව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී පැවසූ කරුණ නිවැරදි නොවන බව ඔහු සිය නිවේදනයේ දක්වා තිබුණි. මේ අතර ක්‍රීඩා අමාත්‍යවරයාගේ හෝ රාජ්‍ය අමාත්‍යවරයාගේ ඔලිම්පික් ගමනට තමන් මුදල් වෙන් නොකළ බව ක්‍රීඩා සංවර්ධන අධිකාරියද සඳහන් කළේය. කෙසේ වෙතත් ජපානයේ සිටින නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඔලිම්පික් කාර්යබහුලතා මැද ජපන් ක්‍රීඩා ඇමැතිවරයා ඇතුළු රාජතාන්ත්‍රිකයන් රුසක් හමුවීමට සමත් විය.

ගෙවුණු සතියේ  කැබිනට් හමුව පැවැත්වූයේ මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේය. කොවිඩ් අවදානම යළි වර්ධනය වීමත් ආණ්ඩුවේ ඉහළම තනතුරු දරන්නන් කිහිප දෙනෙකුගේ ආරක්ෂකයන්ට කොවිඩ් වැළදී තිබීමත් මීට හේතුව බව කියවුණි. කෙසේ නමුත් කැබිනට්ටුවේ  දී මෙදින වැඩි බරක් ගුරු වැටුප් විෂමතා සම්බන්ධව සිදුවූ  සාකච්ඡාවට වෙන් වූයේය. අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ නමුත් මෙම ගැටලු විසඳීමට මුදල් වෙන්කිරීම සම්බන්ධව ගැටලුවක් පැනනැගුණි. අවසානයේ ගැටලුව විසඳීම අමාත්‍ය මණ්ඩල අනු කමිටුවකට භාර විය. මේ අතර ගෙවුණු සතියේ කැපීපෙනන තවත් කැබිනට් තීරණ දෙකක් තිබුණි.  රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවට මෙරට පෞද්ගලික ආයතනයක් සමඟ එක්වී සේලයින් නිෂ්පාදනය සිදුකිරීමට අනුමැතිය හිමිවීම ඉන් එකක් විය. කොළඹ වරායේ එස්.ඒ.ජී.ටී, සී.අයි.සී.ටී හා නැගෙනහිර පර්යන්තයට යාබදව ඇති  ඉඩමක් වරායේ සේවා සැපයුම් මධ්‍යස්ථානයක් සඳහා ලබාදීම අනෙක විය. මේ සම්බන්ධව දේශපාලන කතිකාවක් ද නිර්මාණය වූ අතර චීනයට ඉඩම් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන බවට විපක්ෂයෙන් චෝදනා එල්ල විය.

මෙදින මාර්ග කැබිනට් හමුවට පෙරාතුව අපූරු සිදුවීමක් සිදුවිය. වෙළෙඳ අමාත්‍ය  බන්දුල ගුණවර්ධන මහතා  ඔන්ලයින් කැබිනට් රුස්වීම පටන් ගන්න කලියෙන්ම ඊට සම්බන්ධ වී සිටියේය.  එදිනට නියමිත කැබිනට් පත්‍රිකා අධ්‍යයනය කිරීම ඔහුගේ අරමුණ වී තිබුණි. ඔහු මෙලෙස කැබිනට් පත්‍රිකාව අධ්‍යයන කරමින් සිටියදී  ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ඇමැති ද ඔන්ලයින් රැස්වීමට සම්බන්ධ විය. "බන්දුල ශූරීන් ආයුබෝවන්. පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ යාපනේ ගමනට. කලින් යොදා ගත්තු විදියට 28 වෙනිදා මට ඔබතුමා එක්ක මේ සංචාරයට සම්බන්ධ වෙන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නෙ. ගරු ජනාධිපතිතුමා එදාට විශේෂ රැස්වීමක් යොදලා තියෙනවා. ඒ නිසා මම ඔබතුමාලට ඕනෙකරන හැමදේම සූදානම් කරලා තියන්නම්."

ඇමති බන්දුල ගුණවර්ධන මහතා කල්ඇතිව රැස්වීමට පැමිණ සිටින බව දුටු ඇමති ඩග්ලස් දේවානන්ද මහතා මෙසේ කීවේ පෙර ඔවුන් යොදාගෙන තිබූ ගමනක් පිළිබඳ සිහිකරමිනි. කෙසේ වෙතත් මේ කතාව ඇසූ සැනකින් බන්දුල ගුණවර්ධන මහතා කීවේ අපූරූ කතාවකි. "අම්මෝ, මනමාලි නැතුව මොන මඟුල් ගෙවල් ද? ඒක නිසා ඔබතුමා නැතුව මට නම් යාපනේ යන්න බෑ. ඔබතුමාටත් පුළුවන් දවසක අපි යාපනේ යමු". 

මේ වනවිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද කැබිනට් රැස්වීමට පැමිණ සිටියේය. සංවාද අසා සිටි අග්‍රාමාත්‍යවරයා  ඒ මොහොතෙම ඩග්ලස් දේවානන්ද මහතා ඇමතුවේය.  “ඔව් ඔව් ඒ කතාව නම් ඇත්ත. ධීවර ඇමතිතුමා නැතුව මොන මඟුල් ගෙවල් ද? මාත් මගේ යාපනේ සංචාරය කල් දානවා. මනමාලි ඉන්න දවසක මාත් බන්දුල ඇමතිතුමත් දෙන්නම යාපනේ එන්නම්." 

ගෙවුණු සතිය වනවිට කරු ජයසූරිය දේශපාලනය ද නැවත දලුලා වැඩෙන්නට පටන්ගෙන තිබුණි. විපක්ෂයේ දේශපාලන බලවේග සම්බන්ධ කරගනිමින් කරු ජයසූරිය මහතා පැවැත්වූ සමුළුවෙන් අනතුරුව ආණ්ඩුවට එරෙහි පොදු බලවේගයක් නිර්මාණය කිරීමේ කටයුත්ත ඔහු තමා වෙත පවරාගනු ලැබුවේය. ඒ අනුව ගෙවුණු සතියේදී සාධාරණ සමාජයක් උදෙසා වන ව්‍යාපාර පුළුල් කිරීමේ අරමුණින් සාකච්ඡාවට කිහිපයක්ම පැවැත්වුණි. සිවිල් සංවිධනය සහ වෘත්තීය සංගම් එකතු කර ගනිමිනි. පැවැත් වූ සාකච්ඡා එයින් ප්‍රධන තැනක් ගත්තේය. මේ අතර කරුගේ සූදානම ඊළඟ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වීම බවත් එම නිසා ප්‍රවේසමෙන් කටයුතු කරන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතාට සිය හිතවතුන්ගෙන් උපදෙස් ලැබී ඇති බව දේශපාලන ආරංචි ඔස්සේ දැනගන්නට ලැබුණි.

මේ අතර කාටත් අමතක වී තිබුණු රංජන් රාමනායක මහතාව කලාකරුවන් පිරිසකට මතක් විය.  සිරගතව සිටින රංජන් රාමනායක මහතාට සමාව දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් කලාකරුවෝ  ප්‍රවෘත්ති සාකච්ජාවක් පැවැත්වූහ. ජීවන් කුමාරණතුංග, උදයකාන්ත වර්ණකුලසූරිය, දිල්හානි අශෝකමාලා, අර්ජුන් කමලනාත් ඇතුළු විශාල පිරිසක් ඊට එක්වූහ. එම පිරිස අතරට ආණ්ඩුවට හිතවත් අනූෂා දයමයන්ති, අර්ජුන් කමලනාත් වැනි කලාකරුවන් පිරිසක් ද එකව සිටීම විශේෂත්වයක් විය. රංජන් රාමනායක මහතා සමාජ සාධාරණත්වය වෙනුවෙන් අයුක්තියට එරෙහිව විශාල හඬක් නැගූ බවත් එය සැලකිල්ලට ගනිමින් රංජන් රාමනායක මහතාට සමාව දෙන ලෙසටත් ඔවුහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියෝය.

මේ අතර රංජන් රාමනායක මහතා සම්බන්ධව ගෙවුණු සතියේ ආණ්ඩුව ද යම් ප්‍රතිචාර දැක්වූයේය. රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීමට තරම් හේතුවක් මෙතෙක් කිසිවකුත් විසින් ඉදිරිපත් කර නැති බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ප්‍රකාශ කළේය. මෙහිදී අමාත්‍යවරයා තවත් විශේෂ හෙළිදරව් සිදුකළේය. රංජන්ට පොදු සමාව යටතේ නිදහස් ලබා දෙන්නැයි සමගි ජන බලවේගය විසින් කර ඇති ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා විසින් පවසා ඇත්තේ නිදහස ලබාදීම සඳහා සාධාරණ හේතුවක් තිබේ නම් ඉදිරිපත් කරන ලෙස යැයි ඔහු කියා සිටියේය.

අගුණකොළපැලැස්සෙ බන්ධනාගාරයේ වයි කොටසේ බරපතළ වැඩ සහිතව දඩුවම් ලබා සිටින රංජන් රාමනායක සිය රසිකයන් ආමන්ත්‍රණය කරමින් එවූ ලිපියක් ද ගෙවුණු සතියේ ප්‍රසිද්ධ පවත්විය. පිටු හතරක් පුරා ලියවුණු එම ලිපියේ තමා දැන් ගතකරන ජීවිතය පිළිබඳ සඳහන් කොට තිබුණි. ප්‍රභාකරන් කී පරිද්දෙන් දකුණේ  මිනිසුන්ට සතියක් දෙකක් තුළ ඕනෑම දෙයක් අමතක නොවූ බවත් අදත් මිනිසුන් තමාට ආදරය කරන බවත් ඔහු එම ලිපියේ ලියා තිබුණි. එම ලිපියේ කොටසක් අපි මෙසේ උපුටා දක්වමු. "අසාධාරණ ලෙස ඔබෙන් මා වෙන් කොට අදට දින 200 කි. අගුණකොළපැලස්සේ සිරගෙදර පැදුර උඩ නිදාගන සිටියදී සෑම දිනකම මට ඔබ සිහිවන එක වළක්වා ලිය නොහැකිය. මා නිදහස් වන දිනය කවදා දැයි මම නොදනිමි. එතෙක් ඔබලා සමඟ ගත කළ සුන්දර අතීතය මෙනෙහි කර සැනසෙමි. 

මෙහෙකාර සේවයේ යොදවා සිටියදී මියගිය දැරියගේ සිදුවීම හේතුවෙන් තවදුරටත්  රිෂාඩ් බදියුදීන් සතියේ ප්‍රමුඛ මාතෘකාව විය. දිගින් දිගටම රිෂාඩ් වෙනුවෙන් පෙනී සිටි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙවර ඔහුව තනි කළේය. එය සිදුවූයේ  දිගින් දිගටම රිෂාඩ් සම්බන්ධව පළවූ පුවත්වල පීඩනය ඔහුවෙත එල්ලවීම හේතු කොටගෙනය. විසිවැනි සංශෝධනයට අත එසවූ මන්ත්‍රීවරුන් රිෂාඩ්ගේ පක්ෂයේ සිටිනතුරු මෙන්ම දැන් පවතින විවිධ ගැටලු නිරාකරණය වනතුරු එම පක්ෂය සමඟ සන්ධාන ගත වෙන්නට තීන්දුවක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය. රිෂාඩ්ගේ පක්ෂය මහ මැතිවරණයේ දී සන්ධානගත වී තමන් සමඟ මැතිවරණයට ඉදිරිපත් වුවද දැන් තමන් අලුත් සන්ධානයක් හදමින් සිටින බව ඔහු පැවසීය. ඒ අනුව විපක්ෂ නායකවරයා පැහැදිලි කළේ රිෂාඩ්ගේ පක්ෂය තවම සමගි ජන බලවේගය සමඟ සන්ධානගත වී නැති බවයි.

මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව  මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ ඔහුගේ සොහොයුරු රියාද් බදියුදීන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් කැඳවීම ගෙවුණු සතියේ සිදුවිය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණ හමුවේ විශේෂ හෙළිදරව් සිදු කළේය. පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවකුට අයත් තඹ කර්මාන්ත සමාගමක් වෙත එවක කර්මාන්ත ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ වත්මන් පාලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විශේෂ අනුග්‍රහයක් සලසා දී තිබූ ආකාරය පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇතැයි ඔහු පැවසීය. ඒ අනුව රිෂාඩ්ට සහ සහෝදරයාට අධිකරණයෙන් සහනයක් නොලැබුණි.  

 චමිදු නිසල්