2021 ජුලි 24 වන සෙනසුරාදා

බැසිල්ගෙන් ගම්මන්පිලට ස්තූතියක්

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 272

කොතලාවල පනත ගැන ජනපති මන්ත්‍රීන් දැනුම්වත් කරයි

මරික්කාර්ට වෙච්ච ඇබැද්දිය

සජිත්ගේ පිල හිස් බෙරයක් බවට ආණ්ඩුවෙන් චෝදනා

ඇමැති සරත් මන්ත්‍රී මනූෂ ලොකු ගැටුමක

ඡන්දෙට නොපැමිණි වෙල්ගමගෙන් අපූරු කතාවක්

සහල් මාෆියාව ඩොලර් මගඩිය නව මුදල් ඇමැතිගේ අවධානයට

සජබට අලුත් සටන්පාඨ දෙකක්

හරීන් වෙනුවෙන් රනිල් කතා කරයි එජාප මහලේකම්ගෙන් සී.අයි.ඩී.යට පැමිණිල්ලක්

 

විශ්වාසභංග උණුසුම මැද ගෙවීගිය සතියේ දේශපාලනය නාටකීය ස්වරූපයක් ඉසිලුවේය. ඒ අතරට මැති ඇමති ගැටුම්, පක්ෂ අභ්‍යන්තර අර්බුද මෙන්ම උද්ඝෝෂණ විරෝධතාද විය. සතිය අවසන් වනවිට විපක්ෂය මෙන්ම ආණ්ඩුවද අලුත් දේශපාලන සටන් පාඨ සොයන්නට විය. ඊට හේතුව වූයේ දේශපාලන කාලගුණ තත්ත්වයේ සිදුවූ පරිවර්තනයයි.

සතියේ දේශපාලන උත්කර්ෂයට හේතු වූ විශ්වාසභංග ඡන්ද විමසීම පැවැතියේ අඟහරුවාදා (20) දාය. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජනබලවේගය පාර්ලිමේන්තුවට මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේය. විශ්වාසභංගයට එරෙහිව මන්‍ත්‍රීවරු 152 දෙනකු ඡන්දය භාවිත කර තිබූ අතර, එම යෝජනාවට පක්ෂව ලැබුණේ ඡන්ද 61ක් පමණි. ඒ අනුව වැඩි ඡන්ද 91කින් විශ්වාසභංග යෝජනාව පරාජය වූයේය. සමගි ජනබලවේගය, ද්‍රවිඩ ජාතික සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. කෙසේ වෙතත් විපක්ෂයේ හරීන් ප්‍රනාන්දු සහ කුමාර වෙල්ගම යන මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේ සභාගැබේ නොසිටීම කාගේත් අවධානයට ලක්විය. ආණ්ඩු පක්ෂයේ විජයදාස රාජපක්ෂ මහතාද විශ්වාසභංග ඡන්ද විමසීමට නොපැමිණියේය. ඊට හේතු වූයේ ඔහු කලක පටන් ආණ්ඩුව සමඟ අමනාපව සිටීමයි.

විශ්වාසභංගයට පෙර සහ පසු සිදුවූ අපූරු දේශපාලන සිදුවීම් රැසකි. රසවත්ම සිදුවීම් සිදුවූයේ විශ්වාසභංග ඡන්දය විමසීම අතරතුර සහ ඊට පසුවයි. ඡන්ද විමසීම නිමාවී ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු සතුටු සාමීචියේ නිරතවෙමින් සිටියහ. ඒ අතර ආණ්ඩුවේ මහජන නියෝජිතයෙක් උස් හඬින් කාටත් ඇසෙන්නට අපූරු කතාවක් කීවේය. විපක්ෂයේ සජිත් පිල කියන්නේ හිස් බෙරයක්. සද්දේ විතරයි ඇතුළ හිස්* යනුවෙන් ඔහු කීවේය. අනතුරුව විශ්වාසභංග යෝජනාව සම්බන්ධව විවාදය ආරම්භ කිරීමට ගොස් සමගි ජනබලවේගයේ මරික්කාර් මන්ත්‍රීවරයාට සිදුවූ අකරතැබ්බය පිළිබඳව පිරිස කතාබහ කරන්න වූහ. මරික්කාර් පැනලා කතාව ඉල්ලගත්තට වැඩේ හරියට කරගන්න බැරිවුණානේ යැයි පවසමින් ආණ්ඩුවේ මැති ඇමතිවරු සිය අදහස් බෙදාගන්ට වූහ.

විපක්ෂය වෙනුවෙන් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් විවාදය ආරම්භ කිරීමේ වගකීම එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා භාරගෙන තිබුණි. එහෙත් විවාදය ආරම්භ කරමින් කතාකළ මන්ත්‍රීවරයාට යෝජනාව කියවා ඉදිරිපත් කිරීමට අමතක විය. ඔහුගේ කතාව නිමාවේදී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා යෝජනාව ස්ථීර කිරීමට ඉදිරිපත් වූයේය. නමුත් සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන රීති ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සභාවට ඉදිරිපත් නොකළ යෝජනාවක් ස්ථීර කළ නොහැකි බවයි. ඒ අනුව විවාදයේ අරම්භයේදීම පාර්ලිමේන්තුව උණුසුම් විය. කථානායකවරයා මරික්කාර් මන්ත්‍රීවරයාට නැවත යෝජනාව කියවීමට අවකාශය ලබාදුන් නමුත් එවර නැගී සිටි විමල් වීරවංශ මහතා කියා සිටියේ එකම මන්ත්‍රීවරයකුට කතා දෙකක් ලබාදීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට විරුද්ධ බවයි. ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා එය අනුමත කරමින් කතා කළේය.

සභාව ඝෝෂාකාරී වූ අතර මරික්කාර් මන්ත්‍රීවරයාට සිදුවූ වරදට ආණ්ඩුවෙන් දැඩි ප්‍රහාරයක් දියත් කිරීමට සූදනම් වූයේය. ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා මරික්කාර් මන්ත්‍රීවරයා බේරා ගැනීමට උත්සාහ දැරෑ නමුත් එය සාර්ථක නොවුණි. ආණ්ඩුවෙන් කීවේ විපක්ෂයට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමටවත් දැනුමක් නොමැති බවයි. අවසානයේ නැගී සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගැටුම සමනය කළේය. ආණ්ඩුවේ පිරිස සිනාසුණි. මරික්කාර් මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයාට ස්තූති කරමින් යෝජනාව කියවන්නට විය. ගැටුම සමනය කරන්නට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිනහමුසු මුහුණෙන් කීවේ මේ වදන් පෙළ පමණි.

ගරු කතානායකතුමනි අපි විවාදයට සූදානම්. ඒක හින්දා කරුණාකරලා ඕක කියවන්න අපි ඉඩදෙමු.

විශ්වාසභංගය අවසානයේ ආණ්ඩුවේ ප්‍රීති ප්‍රමෝදය අතරේ තවත් සුවිශේෂී හමුවක් සිදුවිය. මෙම හමුව සිදුවූයේ පසුගිය කාලේ නොහොඳ නෝක්කාඩු වී සිටි බැසිල් රාජපක්ෂ සහ උදය ගම්මන්පිල අතරයි. මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අසලට විත් ඉතා සුහදව කරට අත දමාගෙන කතාබහ කරන්නට විය. දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරන පරිදි බැසිල් ගම්මන්පිලට කියා තිබුණේ මෙවැන්නකි.
ඇමතිතුමා, අපිට ටික කාලෙකින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක පෙන්නගන්න බැරිව හිටියේ. තුනෙන් දෙක පෙන්නන්න අවස්ථාවක් සලසලා දුන්නට ඔබතුමාට බොහොම ස්තූතියි.* බැසිල් එසේ කියමින් සුභපැතුම් එකතු කරනවිට ගම්මන්පිල මෙසේ කීවේය.

මගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබතුමා කරපු කැපවීම්වලට උදව් පදව්වලට බොහොම පිං.
ඇත්තෙන්ම විශ්වාසභංග විවාදයේදී රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක යන විපක්ෂයේ පක්ෂ නායකයන් කී පරිද්දෙන් එම විශ්වාසභංග යෝජනාව හේතුවෙන් යම් පමණකට ආණ්ඩුවේ වූ ඉරිතැලීම් බෙදුම් රේඛාවන් සමනය වී මැකී ගිය බවක් මේ අනුව ගෙවුණු සතිය පුරා පෙන්නට තිබුණි.

නිදහසෙන් පසුව ගෙවුණු වසර හැත්තෑ තුනක කාලය තුළ විශ්වාසභංග හතළිස් අටක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇතිමුත් ඒ කිසිවක් ජයගැනීමට ඒවා ඉදිරිපත් කළ පාර්ශ්වවලට නොහැකි විය. විශ්වාසභංග හමුවේ ආණ්ඩු විසුරුවා හැරීම්, ඇමැති ඉල්ලා අස්වීම් සහ කලබගෑනි සිදුව ඇතිමුත් ඒවා ජයග්‍රහණය කරා මෙහෙයවීමට අද මෙන්ම එදාද හැකියාවක් ලැබී නොමැත. එය මෙරට දේශපාලනය සම්බන්ධ තවත් අතුරු කතාවකි. මෙවර විශ්වාසභංග ඡන්දයට නොපැමිණි කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කී අපූරු කතාවක් අපට දැනගන්නට ලැබුණි. ඉන්ධන මිල වැඩිකිරීම විශේෂ කමිටුවක් විසින් සිදුකරන්නේ යැයි චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ බලශක්ති නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ තමා දන්නා බව ඔහු කීවේය. ඒ හේතුවෙන් මුලසිටම මෙම යෝජනාවට තමා විරුද්ධ වූ බවද පාර්ලිමේන්තු කුමාර වෙල්ගම පැහැදිලි කරන්නට විය. එසේම මේ හරහා ආණ්ඩුව ශක්තිමත් වූ අයුරුද පසුව ඔහු පැහැදිලි කර තිබුණි.

විශ්වාසභංගයට පෙර ගෙවුණු සතියේ දේශපාලන සිදුවීම් අතර සුවිශේෂීම සිදුවීම වූයේ ජනාධිපති කැඳවා තිබූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව සහ රාත්‍රී භෝජන සංග්‍රහයයි. මෙහිදී උදය ගම්මන්පිල මහතා විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර තිබුණි. එසේම මෙහිදී විශ්වාසභංගය සම්බන්ධ විවාදය පුරාවට පාර්ලිමේන්තුවේ රුඳී සිටින ලෙසත්, විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දෙන ලෙසත්, ජනාධිපතිවරයාද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් ඉල්ලා තිබිණි. එසේම මෙම හමුවේදී මතභේදාත්මක කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල (කේ.ඩී.යූ) පනත් කෙටුම්පත පිළිබඳවද ජනාධිපති මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කර ඇත. ඒ සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩමුළුවක් අගෝස්තු 2 වැනි දින මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී දැනුම් දී තිබේ. තවද යෝජිත පනත් කෙටුම්පත අගෝස්තු 3 වැනිදා පාර්ලිමේන්තුවේදී අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා පවසා ඇති බව කියැවේ. යෝජිත පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කරන ලෙසටද ජනාධිපතිවරයා මෙහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

මේ අතර, රටේ පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට කරුණ පැහැදිලි කළ බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. ඒ අනුව මහා භාණ්ඩාගාරයෙන් අමතර මුදල් ප්‍රතිපාදන ඉල්ලීමෙන් වළකින්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. පසුගිය කාලයේදී රාජ්‍ය අංශයේ රුකියා විශාල ප්‍රමාණයක් ලබාදී ඇති බැවින් අලුතින් කාර්ය මණ්ඩල බඳවා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත. එසේම මුදල් අමාත්‍යවරයා මෙහිදී රට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය පිළිබඳවද කරුණු පැහැදිලි කර ඇති අතර විදේශ සංචිතවල යම් අඩුවීමක් තිබෙන නමුත් එය කළමනාකරණය කරගත හැකි මට්ටමක පවතින බව ඔහු පවසා ඇත. මේ අතර සහල් මාෆියාව පිළිබඳ මෙන්ම රටතුළ සිදුවන ඩොලර් වැඩි මිලට මිලදී ගැනීමේ මගඩියක් පිළිබඳවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානය යොමුවී ඇති බව දැනගන්නට ලැබේ. කෙසේ වෙතත් මෙම කණ්ඩායම් හමුව ඉතා සුහදව පැවැති බවත් එහිදී මන්ත්‍රීවරුන්ට කතාබහ කිරීමට සතුටු වීමට නිදහස ලැබී ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. මහින්දානන්ද අමාත්‍යවරයාගේ ඉල්ලීමක් මත පිරිසට ගී ගයා විනෝද වන්නටද අවසර ලැබී තිබේ.

විශ්වාසභංග අවසන් වනවිට සමගි ජනබලවේගය සොයාගත් අලුත්ම සටන් පාඨය වූයේ මන්ත්‍රී දඩයමයි. එය ආරම්භ වූයේ විශ්වාසභංග විවාදයේදී මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයක් මූලික කොටගෙනය. පොලිස් ට‍්‍රුෆික් පද්ධතිය නවීකරණය කිරීමට අදාළ උපකරණය ලබාගැනීමට යාමේදී සිදුවන වංචාවක් පිළිබඳ ඔහු හෙහෙළිදරව් කළේය. පොලීසිය භාර සරත් වීරසේකර ඇමතිවරයාගේ උපදේශකයකු සේවය කරන ආයතනයකින් මෙම මිලදී ගැනීමට සිදුකිරීමට යන බවද ඔහු කීවේය. ඊට අදාළ හඬපටද තමා සතුව ඇතැයි මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා කීය. එසේම ඒ සියල්ල සභාගත කරන බවත් අදාළ අංශවලට පැමිණිලි කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කෙසේ වුවද මීට ප්‍රතිචාර දැක්වූ මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකර මහතා වරප්‍රසාදවලට මුවා වී එවැනි කතා නොකියන ලෙසත් මෙම චෝදනාව පාර්ලිමේන්තුවෙන් පිටතදී කළේ නම් තමන් වන්දි ඉල්ලා නඩුදමන බවත් ප්‍රකාශ කළේය. ආරම්භයේදී මෙම ප්‍රකාශ සිදුවීම් කිසිවෙකුගේ එතරම් අවධානයකට ලක් නොවුණි. එහෙත් එය නව දේශපාලන සටහන් පාඨයක් බවට පරිවර්තනය වූයේ සමගි ජන බලවේගය දිවුලපිටිය ප්‍රදේශයේ පැවැත්වූ විරෝධතාවකදීය. එහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා පොලිසියේ අයථා ක්‍රියා හෙළිදරව් කිරීම හේතුවෙන් දේශපාලන පළිගැනීම් සිදුකිරිමට ආණ්ඩුව සූදානම් වන බව කීවේය. අහංගම, හබරාදුව පොලීසිවලට මනූෂ ගැන හොයන්න ඇති සියල්ල සොයාගන්නා ලෙසට නියෝග ලැබී ඇති බවත් ඔහු කීවේය. එය මන්ත්‍රී දඩයමේ ආරම්භය යැයිද විපක්ෂ නායකවරයා කියා සිටියේය. ඒ අනුව විපක්ෂයේ &මන්ත්‍රී දඩයම* සහ &පොලිස් ට්‍රුෆික් වංචා* යන සටන් නව පාඨය ගෙවුණු සතියේ කලඑළි දුටුවේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අතර වූ මත ගැටුම විශ්වාසභංගයට පසු තවදුරටත් වර්ධනය වන ලකුණු පෙන්නුම් කළේය. ඔවුහු එකිනෙකා චෝදනා කරගන්නට වූහ. එක්සත් ජාතික පක්ෂය යළි නැගී සිටීම ගැන බිය වී සිටින සමගි ජනබලවේගය සමාජ මාධ්‍ය ජාලා මඟින් පක්ෂයටත් තමන්ටත් එරෙහිව මඩ ප්‍රහාර සිදුකරන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. ඔහු ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළේය. එසේ නමුත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට අපහස නොකරන ලෙස එජාප ප්‍රබලයන්ට එජාප පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී ඇති බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබුණි.

මේ අතර වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී රිෂාඩ් බදියුදීන් සහ හරීන් ප්‍රනාන්දු යන සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් හඬ අවදි කළේය. අත්අඩංගුවට ගැනීමට හේතුවක් පාර්ලිමේන්තුවට දැනුම් නොදී බදියුදීන් මන්ත්‍රීවරයා රඳවා තබා ගැනීම සිදුකර තිබෙන බව වික්‍රමසිංහ මහතා කියා සිටියේය. එසේම එය සභාවේ අයිතිවාසිකම්වලට පටහැනි බවත්, සාමාජිකයකු රඳවා තබා ගැනීමට හේතුව සභාවට ඉදිරිපත් කළ යුතු බවත් ඔහු කීවේය. හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරය වෙනුවෙන් වික්‍රමසිංහ මහතා කියා සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහු අත්ඩංගුවට ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන බවයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් විසින් විසඳා අවසන් කර ඇතැයිද රනිල් වික්‍රමසිංහ මෙහිදී ප්‍රකාශ කළේය. ඒ ආදී වූ ප්‍රකාශ සිදුකරමින් සජබ මන්ත්‍රී පිරිසකගේ ප්‍රසාදය නැවත තහවුරු කරගැනීමට වික්‍රමසිංහ මහතා වෙහෙසෙන බවත් ඔහු ඊට සිය සියුම් දේශපාලන උපායන් නැවත භාවිතා කරමින් සිටින බවත් තිරය පිටුපස සාකච්ඡා ඇතිවිය.

මේ අතර භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධි සම්බන්ධ මරණ දඬුවම් නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට ජනාධිපති සමාව ලබා දී නිදහස් කිරීම ව්‍යවස්ථා විරෝධී බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. ජනාධිපතිවරයා කළ නියෝගය බල රහිත කරන්නැයිද ඇය සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙම පෙත්සමේ වගඋත්තරකරැවන් ලෙස ජනාධිපති වෙනුවෙන් නීතිපතිවරයා, අධිකරණ ඇමති අලි සබ්රි, නීතිපති නම් කරනු ලැබ සිටිති. කෙසේ වෙතත් මේ වනවිට හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස ජනාධිපති විසින් පත්කර තිබේ.

විශ්වාසභංගයෙන් සමනය වනු ඇතැයි සිතූ ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය අළුයට ගිනි පුපුරැ මෙන් සතිය අවසානයේ නැවත මතුවෙමින් තිබුණි. කොතලාවල පනත ගිනි පුළිඟුවක් වනු ලකුණු පහළ විය. රජයේ විසින් යෝජනා කර ඇති කොතලාවල විශ්වවිද්‍යාල පනත එයාකාරයෙන්ම සම්මත කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය. එය ඔහුගේ ආන්දෝලනාත්මක කතා පෙළේ අලුත් කතාවක් විය. ඔහු සඳහන් කළේ එම පනතට සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සංශෝධන ඉදිරිපත් කරන බවයි. එම සංශෝධන සහිතව පනත ඉදිරිපත් වනවා නම් ඊට එකඟ වන බවත් එසේ නොමැතිව එය සම්මත කරන්න උත්සාහ දරන්නේ නම් ඊට විරැද්ධ වන බවත් ඔහු පැවසීය. ආණ්ඩුවේ ඇමතිවරුන් වුවත් පවතින ආකාරයෙන්ම පනතට එකඟ විය නොහැකි යැයිද පැවසූ දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පනත සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් ලබාදෙන්නැයි පක්ෂයේ තරැණ පෙරමුණට සහ උපාධිධාරී සංගමයට දැනුම් දී ඇති බවත් ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය සම්බන්ධව දිගින් දිගටම පුවත් මවන්නෙක් වී සිටින දයාසිරි ජයසේකර මහතා ගෙවුණු සතියේ කුඩා අනතුරකටද මුහුණ දුන්නේය. කොළඹ සාන්ත බ්‍රිජ්ට් කන්‍යාරාමය අසලදී මෙම මාර්ග අනතුර සිදුව තිබුණි. දෛනික ව්‍යායාම කටයුතු වෙනුවෙන් පාපැදියකින් ගමන් කරමින් සිටි අතරතුර වේගයෙන් ආ යතුරු පැදියක් ජයසේකර මහතාගේ පා පැදියේ ගැටී තිබේ. එය සාමාන්‍ය රිය අනතුරක් බවත් තමන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් අමාත්‍යවරයා පසුව මාධ්‍යයට කියා තිබුණි. කෙසේ වෙතත් මෙම සුළු අනතුර දයාසිරි ජයසේකර අමාත්‍යවරයාගේ වර්තමාන දේශපාලනයට සහ ආණ්ඩුව සමඟ ගැටීමට සමන කරමින් අපූරැ අදහස් සමාජ මාධ්‍යයේ හුවමාරු විය.

ගෙවුණු සතියේ පෙරටුගාමී පක්ෂ අලුත් වැඩකඩ අත ගැසීමට සූදනම් විය. ඇතැමෙක් එය පෙරටුගාමීන් සහ ජවිපෙ නැවත එක්වීමට යාමක් ලෙසද අර්ථකථනය කර තිබුණි. මාධ්‍ය හමුවක් පවත්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සහ සමසමාජ පක්ෂය යන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට තම පක්ෂය අදහස් කරන බවයි. ජනතාව මුහුණ දෙන ගැටලු වෙනුවෙන් විසඳුම් ලබාදීමට ආණ්ඩුවට අවධානයක් නැති තත්ත්වය තුළ සිදුවන්නේ ජනතාවගේ විරෝධතා රුල්ල විපක්ෂයේ බලලෝභී අරමුණුවලට පමණක් භාවිත වීම බව ඔහු මෙහිදී පැවසුවේය. එම නිසාවෙන්ම ජනතා ගැටලු සම්බන්ධ විසඳුම් වෙනුවෙන් දේශපාලන ව්‍යාපාර විසින් ගෙන එන යෝජනාවක් සම්බන්ධව අවධානය යොමුකර යුතුව තිබෙන බව ගුණරත්නම් මහතා පැවසුවේ ඒ වෙනුවෙන් මෙම සාකච්ඡා පවත්වන බවද ඔහු කියා සිටියේය. කෙසේ වෙතත් දේශපාලන කරළියේ ප්‍රචාරක වූයේ පෙරටුගාමීන් සහ ජවිපෙය නැවත එක්වීමට යන බවයි.

මේ අතර රටපුරා පැතිරගිය ගුරු විරෝධතාව ජනාධිපති කාර්යාලය අසලටම විත් උණුසුම් විය. ක්‍රමයෙන් මෙය දැවැන්ත ජාතික අර්බුදයක් බවට පරිවර්තනය වූයේය. ඒ අතර සිකුරාදා ජනාධිපති සුවිශේෂී තීන්දුවක් ගෙන තිබුණි. ඒ අනුව වැඩවර්ජනයේ නිරත ගුරු සංගම් ප්‍රධානීන් සමග සාකච්ජා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දු කළේය. මෙම සාකච්ජා ලබන 30 වැනිදාට පෙර පැවැත්වීමට නියමිතය. ඊට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් හා මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් සහභාගී වීමට නියමිතව බව කියැවේ. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා හා ගුරු සංගම් අතර තවත් සාකච්ජාවක් මීට පෙරාතුව පැවැත්වෙනු ඇත. මෙම ගුරු වර්ජනයට මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණ සමගි ජනබලවේගය ඇතුළු කණ්ඩායම් සහයෝගය පළකර තිබේ.

 

 චමිඳු නිසල්