2021 මැයි 29 වන සෙනසුරාදා

මහින්දට දුක කී මොරටු පුරපතිට ගෝරනාඩුවක්

 2021 මැයි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1203

අනුර කුමාරගෙන් එන්නත් චෝදනාවක්

සජබ සියලු මන්ත්‍රීවරුන්ට පී.සී.ආර්.

කැබිනට් රැස්වීම සිනාගැන්වූ සරත් වීරසේකරගේ කඩු කතාව

සජිත්ට ජනපතිගෙන් පණිවුඩයක්

කොළොන්නාවේ හිමියන්ගේ දම් දෙසුම ගැන වැරදි අර්ථකථන

විමල් වීරවංශ මහින්ද අමරවීර මත ගැටුමක

බැසිල් අමෙරිකාවේ ඉඳන් සූම් රැස්වීම්වල

පෝට් සිටි පනතට ඡන්දය නුදුන් විදුරට උපහාර

ගෙවුණු සතියේ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේදී ප්‍රදේශ කීපයකම ගැටලුව ඇතිවිය. මොරටුවේ නගරාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන් සමග ඇතිකරගත් මත ගැටුම ඉන් ප්‍රධානම සිදුවීම වූයේය. මොරටුව ප්‍රදේශයේ ජනතාවට කොරෝනා එන්නත ලබා දීමේදී තමන් නිකුත් කළ තුණ්ඩු අනුව එන්නත් ලබාදිය යුතු බවට ‌මොරටු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කිරීමත් සමඟ මෙම ගැටලුව ඇතිවිය. මෙහිදී සෞඛ්‍ය අංශ ප්‍රධානීන් පැමිණ එන්නත ජනතාවට ලබාදීමට සූදානම් වුවද නගරාධිපතිවරයා එම ස්ථානයට පැමිණ තමන් නිකුත් කළ තුණ්ඩුවලට අනුව එන්නත ලබාදිය යුතු බව ප්‍රකාශ කරන්නට වූයේය. කාර්යභාර වෛද්‍යවරිය ඊට විරෝධය පළ කළ අතර එහිදී උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවිණි. එහිදී සෞඛ්‍ය බලධාරීන් මෙම බාධා කිරීම සම්බන්ධව පොලීසියට පැමිණිලි කළේය. ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලීසියට පැමිණෙන ලෙස පොලීසියෙන් නගරාධිපතිවරයාට දන්වනු ලැබුවේ ඒ අනුවය. කෙසේ වෙතත් මුලදී නගරාධිපතිවරයා පොලිසියට නොපැමිණි අතර ඔහු ආගිය අතක් නොමැති බව කියැවුණි.

මෙම සිදුවීම රජයේ ඉහළ ඉහළ සිට පහළට බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන ගත්තේය. මේ අතර නගරාධිපතිවරයාගේ ඇමතුම් කිහිපයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දුරකථනයට ලැබෙමින් තිබුණි. අග්‍රාමාත්‍යවරයා එම ඇමතුම්වලට මුලදී ප්‍රතිචාර නොදැක්වූයේ ඔහුගේ ඉල්ලීම කවරක්දැයි දන්නා බැවිනි. එහෙත් අවසානයේදී නොනවතින ඇමතුම්වලට ප්‍රතිචාර දක්වන්නට අග්‍රාමාත්‍යවරයා තීරණය කළේය. නගරාධිපතිවරයාගේ එකම ඉල්ලීම වූයේ තමන් කෙසේ හෝ බේරාදෙන ලෙසයි. එහෙත් ඔහුගේ මෙම ක්‍රියා කලාපය මාධ්‍ය ඔස්සේ මේ වනවිටත් නරඹා තිබුණු මහින්ද රාජපක්ෂ මහතා සිටියේ දැඩි කලකිරීමෙන් සහ කෝපයෙනි. නගරාධිපතිවරයාට දොස් කියමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ඔහු කළේ සම්පූර්ණ වරදක් බවයි. නගරාධිපතිවරයා තම නිදහසට නොයෙක් කරුණු කියන්නට විය. එහෙත් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිචාරය වූයේ ඉන්න තැනෙකින් පොලීසියට ගොස් අදාළ නීතිමය කටයුතුවලට සහයෝගය දෙන ලෙසයි. අවසානයේදී නගරාධිපතිවරයාගේ මෙම කියවීම නතර කර ගැනීමට බැරි තැන අග්‍රාමාත්‍යවරයා සිය දුරකථනය විසන්ධි කර දැම්මේය.

මේ අතර ජනාධිපතිවරයාටද මෙම සිදුවීම සම්බන්ධව දැනගන්නට ලැබී තිබුණි. ඊට අදාළව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කළයුතු බව ජනපති බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව පොලිස්පතිවරයා ගල්කිස්ස ප්‍රදේශය බාර පොලිස් අධිකාරිවරයාට උපදෙස් ලබා දුන්නේ නගරාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙසයි. මේ තත්ත්වය මත නගරාධිපතිවරයාගේ ඊළඟ ඇමතුම ලැබුණේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙතයි. සිදු වූදේ පවසමින් තමාව බේරාදෙන ලෙස නගරාධිපතිවරයා නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය. නාමල් රාජපක්ෂගේද ප්‍රතිචාරය එතරම් යහපත් නොවුණි. කර ඇත්තේ වරදක් බවත් බේරාගැනීම අපහසු බවත් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා නගරාධිපතිවරයාට කියා සිටියේය. කෙසේ හෝ අවසානයේ සිකුරාදා උදෑසන නගරාධිපති සමන් ලාල් ගල්කිස්ස පොලිස් අධිකාරිවරයා හමුවේ භාරවිය. අනතුරුව අත්අඩංගුවට ගනු ලැබීය.

මීට අමතරව කුරුණෑගල මහ නගර සභා බල ප්‍රදේශයට අයත් පුද්ගලයින්ට සයිනොෆාම් එන්නත ලබාදීමේදීද උණුසුම් තත්ත්වයක් ඇති විය. දිගු පෝලිම්වල රුඳී සිටි ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකිරීම හේතුවෙන් මෙලෙස උණුසුම් තත්ත්වයක් හටගත් අතර කුරුණෑගල එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වූ මධ්‍යස්ථාන තුනකදී නිසි පරිදි එන්නත්කරණය සිදුනොවන බවට ජනතාව චෝදනා කිරීමත් සමඟ එම ස්ථාන උණුසුම් වූයේය. ජනතාව චෝදනා කළේ පෝලිම්වලට අමතරව පිටතින් පුද්ගලයින් රුගෙන එන්නත්කරණය සිදුකරන බවය. ඉන්පසුව කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සෞඛ්‍ය බලධාරීන් සමග එකඟව යම් ක්‍රමවේදයක් සාර්ථකව අනුගමනය කර ඇති බවද අසන්නට ලැබුණි.
මාතර ප්‍රදේශයෙන් ද එන්නත් ලබාදීම සම්බන්ධව ගැටලු වාර්තා වන්නට විය. මාතර නගරාධිපතිවරයා සිය හිත්තැටිය ග්‍රාමයේදී එන්නත් ලබාදීමේදී යම් විශේෂතාවක් දක්වන්නට උත්සාහ කර බව ඒ අනුව කියැවිණි. කෙසේ වෙතත් සමස්තයක් ලෙස මෙම ස්ථාන කිහිපය හැරුණුකොට දිවයිනේ අනෙක් ස්ථානවල එන්නත් ලබාදීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක විය. නිරෝධායන නීති කඩ කිරීමේ සිද්ධීන් කිහිපයක් පමණක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූයේය. ඒ අනුව හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ පුත්තලම නගරාධිපති කේ.ඒ. බායිස් මහතාගේ අවසන් කටයුතු සඳහා නිරෝධායන නීති නොතකමින් දහස් ගණනක් සහභාගී වී සිටි බව වාර්තා විය.

වසංගතයෙන්ද කාලගුණයෙන්ද රට දැඩි ලෙස බැටකමින් සිටියේය. විපක්ෂ නායකවරයා පවා වසංගතයට හසුවිය. දේශපාලන උණුසුම ක්‍රමිකව මැකී ගිය අතර සංචරණ සීමා හමුවේ බොහෝදෙනා නිවාස ගත වූහ. මිනිසුන් තුළ අපේක්ෂාවක් වූවා නම් මෙම කැප කිරීමේ ප්‍රතිඵලය පිළිබඳවයි.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූයේ 24 වැනිදාය. ජනතාවට දෙන තෙක් තමන් එන්නත විදගන්නේ නැති බව කී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හට කොරෝනා ආසාදනය වීම පිළිබඳ විශාල සංවාදයක් හට ගත්තේය. සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් විපක්ෂනායකවරයා දැනුම් දුන්නේ තම බිරිය මෙන්ම තමන්ද මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි. ඒ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා රෝහල් ගතවී ප්‍රතිකාර ලබන විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඒ මහතාගේ බිරිඳට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩක් නිකුත් කරමින් කියා සිටියේය.

මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔහුගේ ආශ්‍රිතයන් වූ විපක්ෂයේ මන්ත්‍රීන් රුසක් ස්වයං නිරෝධනයට යොමුකිරීමට සිදුවිය. විපක්ෂනායකවරයාව සමීපව ඇසුරු කළ අය පිළිබඳව සොයන්නට පාර්ලිමේන්තුවේ සීසීටීවී දර්ශන පවා පරීක්ෂා කෙරිණි. එහෙත් පසුව අනාවරණය වී තිබුණේ විපක්ෂනායකවරයාට වෛරසය ආසාදනය වී ඇත්තේ පාර්ලිමේන්තුව තුළින් නොවන බවයි. කෙසේ වෙතත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතම ආශ්‍රිතයකු බවට පත්වූ නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා සහ ඔහුගේ බිරිඳටත් වෛරසය ආසාදනය විය. මේ අතර විපක්ෂනායක කාර්යාලයේ එකොළොස් දෙනකු පමණ පිරිසකටද වෛරසය ආසාදනය වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. මේ අතර ගෙවුණු සතියේ සමගි ජනබලවේගය කණ්ඩායම් රුස්වීම ද පවත්වා ඇත්තේ සූම් තාක්ෂණය ඔස්සේ බව දැනගන්නට ලැබේ. එහිදී සමගි ජනබලවේගයේ සියලු මන්ත්‍රීවරුන් පරීක්ෂණ සිදුකර ගැනීමට එකඟ වී ඇත.
වෙසක් පොහොය දිනයේදී අරලිය ගහ මන්දිරයේ පැවැති දම්දෙසුම අතර සිදු වූ සිදුවීමක් දේශපාලන කරළියේ අතිශයෝක්තියට නැගුණි. කොලොන්නාව සිරි සුමංගල හිමියන් විසින් සිදුකළ දහම් දෙසුමේදී උන්වහන්සේ අමිහිරි මතක මතක් කරමින් යුද්ධයෙන් රට මුදාගත් හැටි සිහිපත් කර සිටියේය. එසේම කොරෝනා වසංගතයෙන් රට බේරාගත හැක්කේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට බවද හිමියෝ මෙහිදී සඳහන් කළහ. ඉතා සංවේදී ස්වරයෙන් සිදු වූ මේ දහම් දෙසුම අතරේදී මහින්ද රාජපක්ෂ මහතා දෑස් පිස දමන අයුරු කැමරා කාචයේ සටහන් වී තිබුණි. ඒ අනුව මෙම දහම් දෙසුම අතරේදී සංවේදී වූ රාජපක්ෂ මහතා කඳුළු සැලූ බව ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නට විය.

මේ අතර එතෙර ගිය බැසිල් රාජපක්ෂ මහතාට මෙතෙර කටයුතු අමතකව නොතිබුණි. පසුගිය සතියේ අමෙරිකාවේ කාලය ගතකරන බැසිල් රාජපක්ෂ මහතා ‘^සූම්’ තාක්ෂණය ඔස්සේ දිනපතාම ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් රුස්වීම් පවත්වමින් කළයුතු කාර්යයන් සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙන බව වාර්තා විය. මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට සිව්වැනි මට්ටමේ සංචාරක තහනමක් පනවා තිබුණි. මෙම තහනම පදනම් කරගෙන ඇමරිකාවට ගිය ඇමෙරිකානු පුරවැසිභාවය හිමි බැසිල් රාජපක්ෂට නැවත මෙරට පැමිණීමට කලක් ගත විය හැකි බව ඇතැම්හු කියන්නට වූහ. කෙසේ වෙතත් වසංගතයේ ව්‍යාප්තිය සලකා බලමින් පනවා තිබෙන මෙම සංචාරක තහනම පිළිබඳව රමේෂ් පතිරණ මහතාගෙන් විමසූ අවස්ථාවකදී ඔහු කියා තිබුණේ මෙය දීර්ඝ කාලයක් පවතින එකක් නොවන බවයි.

බැසිල් රාජපක්ෂ මහතා රටගිය පසුව තරමක් නිහඬ වී සිටි අමාත්‍ය විමල් වීරවංශ මහතා නැවතත් දේශපාලන කරලියේ රුඟුම් පාන බව ගෙවුණු සතියේදී දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබුණි. අනුව වාර්තා වූ පුවතක් වූයේ පුල්මුඩේ ඛනිජ වැලි පර්යන්තය මුල් කොටගෙන යම් මතභේදයක් කැබිනට්ටුව තුළදී මතු වී ඇති බවයි. මෙය විමල් වීරවංශ මහතා සහ පරිසර ඇමති මහින්ද අමරවීර මහතා අතර ඇති වූ මත ගැටුමක් බව කියැවේ. එසේ වෙතත් මේ පිළිබඳ පුළුල් වාර්තාවක් හමු නොවේ. කෙසේ වෙතත් දැනට වාර්තා වී ඇති තොරතුරු අනුව මේ හා සම්බන්ධව තරමක් තද වාග් සංග්‍රාමයක් දෙදෙනා අතර වී ඇති බව කියැවේ. ඇතැමුන් මෙය ශ්‍රීලනිපය පොහොට්ටුවට බාර කිරීමේ අමරවීරගේ ව්‍යාපෘතියට විමල්ගේ විරෝධය දැක්වීමක් ලෙසද අර්ථකථනය කොට තිබිණි. කෙසේ වෙතත් මෙම මත ගැටුම සම්බන්ධව තහවුරු කරගත හැකි නිශ්චිත තොරතුරු නොමැත.

මේ අතර කැබිනට්ටුවේදී සිදු වූ තවත් අපූරු සිදුවීමක් වාර්තා විය. අමාත්‍ය සරත් වීරසේකර මහතා පාස්කු ප්‍රහාරය සමයේ මෙරටට ගෙන්වූ කඩු පිළිබඳව පැහැදිලි කිරීම සමඟ මෙය සිදුවී තිබුණි. කඩු ගැන වාර්තාවක් නීතිපතිටද ලැබී නොමැති බව නීතිපති කියා ඇතැයි සෙසු අමාත්‍යවරු අමාත්‍යවරයාට සිහිපත් කළහ. එය එසේ නොවන බව කී අමාත්‍යවරයා පොලීසිය සතුව වාර්තා ඇතැයිද කියා තිබුණි. කෙසේ වෙතත් ජනපති මෙම කතාවට සම්බන්ධ වීමත් සමඟ යම් පැටලිලි සහගත තත්ත්වයක් ඇතිවී ඇතැයි කියැවේ. කෙසේවෙතත් අවසානයේ මෙම වචන පැටලීම අමාත්‍ය මණ්ඩලයේ සිනහව තර කරන කරුණක් බවට පත් වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක සම්බන්ධයෙන් ද අපූරු පුවතක් වාර්තා විය. ඒ අනුව කියැවුණේ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට ඡන්දය ලබා නොදීමට රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කටයුතු කිරීම අගය කරමින් ඔහුගේ මැතිවරණ කොට්ඨාසය වූ හොරණ ප්‍රාදේශීය සභාව යෝජනාවක් සම්මත කරගෙන ඇති බවයි. කෙසේ වෙතත් විදුර වික්‍රමනායක මහතා අසනීප තත්ත්වයක් යැයි දන්වමින් ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ රුඳී නොසිටියේය. පොදුජන පෙරමුණද සඳහන් කර තිබුණේ විදුර වික්‍රමනායක අසනීප තත්ත්වයක් නිසාවෙන් මෙම අවස්ථාවට සහභාගී නොවූ බවයි. එහෙත් විදුර වික්‍රමනායක හිතාමතාම මෙම අවස්ථාව මඟහැර ගිය බව දක්වමින් ඔහුගේ ආධාරකරුවන් ඔහුව වීරත්වයට නගනු දක්නට ලැබුණි. ප්‍රාදේශීය සභාව තුළට ගෙන ආ යෝජනාව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු විසින් රුගෙන එනු ලැබීම සහ පසුව ඊට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සහාය දැක්වීම විශේෂයකි. මේ කෙසේ වෙතත් තවමත් විදුර වික්‍රමනායක මහතා පෝට් සිටි පනත එළිපිට විවේචනය කර නොමැත.

නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා බදාදා (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඒ අනුව සංජය රාජරත්නම් මහතා මෙරට 48 වැනි නීතිපතිවරයා බවට පත්විය. නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 34ක සේවා කාලයක් සපුරා ඇති රාජරත්නම් මහතා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, අතිරේක සොලිසිටර් ජනරාල්, ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සහ වැඩබලන සොලිසිටර් ජනරාල් යන ධුරයන් හොබවා ඇත්තෙකි. මේ අතර සේවයෙන් විශ්‍රාම යාමට පෙර හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අග්‍රාමාත්‍යවරයා හමු වී තිබුණි. තම සේවා කාලය තුළ සිදුකළ දෑ ඔහු අග්‍රාමාත්‍යවරයාට සිහිකොට තිබුණු බවත් අග්‍රාමාත්‍යවරයා ඔහුගේ විශ්‍රාම දිවියට සුභාශිංසන පිරිනැමූ බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ගෙවුණු සතියේ ජනතා විමුක්ති පෙරමුණ කරළියට අලුත් චෝදනාවක් ගෙනාවේය. ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ කොරෝනා එන්නත් ලබාදීමක් සිදුකර ඇතැයි ආණ්ඩුවට චෝදනා කළේය. එය සිදුවූයේ කුමන පදනමකින් දැයි ප්‍රශ්න කළ හෙතෙම අද වනවිට මෙරට කොරෝනා දේශපාලනයක් සිදුවන බවද එමඟින් විද්‍යාත්මක පදනමකින් එන්නත්කරණය සිදු නොවන බවත් පැවසීය. එසේම රටේ ජනතාවටද ඇතිව තිබෙන මෙම අවිනිශ්චිත තත්ත්වය නිසාම ජනතාව තමන්ට ඇති දේශපාලන හිතවත්කම් පාවිච්චි කරමින් එන්නත ලබාගැනීම සඳහා පොරකමින් සිටින තත්ත්වයක් ඇතිව තිබෙන බවත් ඔහු කියා සිටියේය.

මේ අතර ගෙවුණු සතියේ දේශපාලනයට ඈඳුණු කාගේත් අවධනයක් දිනාගත් ප්‍රධානතම සිදුවීම වූයේ කොළඹ වරාය හා ආසන්නයේ නෞකාවේ ඇති වූ ගින්නයි. මෙම ගින්න පළමුවරට වාර්තා වන රාත්‍රියේ වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා වරායට ගොස් ගින්න නිවීමට උපදෙස් ලබාදුන් බව සිය මුහුණු පොතේ සටහනක් තැබුවේය. කෙසේ නමුත් පළමු අවස්ථාවේදී එය යම් ප්‍රමාණයකට පාලනය වුවද අධික උෂ්ණත්වය හේතුවෙන් නැව නැවත මුළුමනින්ම පාහේ ගිනි ගත්තේය. ඒ අවස්ථාවේදී රෝහිත අබේගුණවර්ධන මහතාට සමාජ මාධ්‍ය තුළින් එල්ල වූයේ දැඩි ප්‍රහාරයකි. අමාත්‍යවරයාගේ ගිනි උෂ්ණත්වය සම්බන්ධ කතාවක්ද මෙයට හේතු විය.

කෙසේ වෙතත් මෙම නෞකාවේ බහාලුම් මුහුදට වැටී වෙරළට ගොඩගැසීමත් සමඟ විශාල පරිසර හානියක් මෙරට සිදුවිය. මිනිසුන් මෙම ද්‍රව්‍ය සිය නිවෙස් කරා රුගෙන යාමට උත්සාහ දැරීමෙන්ද ඇතිවූයේ මහත් කලබගෑනියකි. මේ අතර වෙරළ පිරිසිදු කිරීමේ අවස්ථාවට එක් වූ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සහ මාධ්‍යවේදීන් අතරද උණුසුම් කතාබහක් සිදු වී තිබුණි. මෙම නැව බාරගැනීමට පෙරදී වරායන් කිහිපයක් ප්‍රතික්ෂේප කර ඇති බවට වූ වාර්තා මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේය. අමාත්‍යවරයා කියා සිටියේ, මෙය නිත්‍යනුකූල ගමනක් ගිය නැවක් බවත් සමාජ මාධ්‍යයන්හි පළවන වාර්තා එකවර විශ්වාස කළ නොහැකි බවත්ය. එසේම හැම තිස්සේම ප්‍රශ්න ඇති නොකර ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට කියා තිබුණි.

ජනපතිවරයාගේ අත්‍යවශ්‍ය සේවා ගැසට්ටුවද ගෙවුණු සතියේ විශේෂ අවධානයක් දිනා ගත්තේය. ඒ හරහා පවතින තත්ත්වය යටතේ වරාය, ඉන්ධන පොදු ප්‍රවාහන, මහ බැංකුව, රාජ්‍ය බැංකු ඇතුළු ආයතනවල සේවා සහ ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සේවා අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත්විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා මෙම ගැසට් නිවේදනය 27 වැනිදා නිකුත්කර තිබුණි. මේ අතර ඉකුත් 26 වැනිදා කොවිඩ් මර්දන එන්නත ලබා නොදුන්නැයි විරෝධය දක්වමින් රටපුරා සියලුම ග්‍රාම නිලධාරීවරු සංකේත වැඩ වර්ජනයකද නිරත විය. පාර්ශව ගණනාවක් එන්නත ඉල්ලමින් වර්ජනය කරන්නට යන බවට වූ ප්‍රචාරණයන් මෙම ගැසට්ටුව ගෙන ඒමට හේතුවන්නට ඇතැයි බොහෝ දෙනා පැවසූහ.

මේ අතර මෙවර වෙසක් පොහොය දිනය නිමිත්තෙන් වාර්ෂිකව සිදුකරනු ලබන බන්ධනාගාරගත රුඳවියන් නිදහස් කිරීමේ විශේෂ ජනාධිපති සමාව දීමේ ක්‍රියාවලිය යම් සංශෝධනයකට ලක්කර ඇති බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. රංජන් රාමනායක සහ දුමින්ද සිල්වා පිළිබඳව වූ දේශපාලන කතිකාව නිසාම මෙම ආරංචිය සුවිශේෂී විය. ඒ අනුව නිවේදනය තුළින් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පෙන්වා දී තිබුණේ මෙතෙක් පැවති ජනාධිපති සමාව දීමේ ක්‍රියාවලිය යටතේ ජීවිතාන්තය දක්වා සිරගත වූ සිරකරුවන් හට කිසිදු සමාවක් හිමිනොවූ බවය. එහෙත් මෙවර වෙසක් දිනය වෙනුවෙන් ප්‍රදානය කරන ලද විශේෂ ජනාධිපති සමාව දීමේ වැඩපිළිවෙළ යටතේ ජීවිතාන්ත සිරකරුවන්ගේ දඬුවම වසර 25ක් දක්වා අඩුකර ඇති බව කියැවුණි. මීට අමතරව ඉදිරියේදී මරණ දඬුවම හිමිවූ බන්ධනාගාර තුළ පුනරුත්ථාපනය වූ සමාජගත කළ හැකි රුඳවියන්ට සමාව ලබාදීමේ ක්‍රියාවලියක් සකස් කරමින් පවතින බවත් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් විය.

 චමිඳු නිසල්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00