2021 අප්‍රේල් 11 වන ඉරිදා

දයාසිරිට කටුවගහන්න හදන පක්ෂ ප්‍රබලයෝ

 2021 අප්‍රේල් 11 වන ඉරිදා, පෙ.ව. 11:04 422

  • ගැටඹේ නාහිමි සමඟ ජනපති දොරවසාගෙන සාකච්ඡාවක
  • විමල්-උදය පක්ෂනායක රැස්වීම් මඟහරිති
  • සජබ මන්ත්‍රීන්ගේ කනස්සල්ලට හේතු වූ සජිත්ගේ ප්‍රමාදය
  • ඇමැති චමල් කෝපගැන්වූ ෆොන්සේ්කාගේ චෝදනා
  • පළාත් සභා ඡන්දයට ආණ්ඩු ඇතුළේ මතභේද
  • ආණ්ඩුවේ වැඩට ප්‍රචාරය මදිලු

සංවාද විසංවාදය ගැටුම් ආරවුල් නොඅඩුව තිබුණු තවත් දේශපාලන සතියක් ගෙවී ගියේය. අවුරුදු බඩු මිලද රංජන් රාමනායකද පළාත් සභා මැතිවරණයද කරළියේ ප්‍රමුඛ මාතෘකා වූයේය. තිරය පිටුපසද විවිධ කතා වූ අතර පාර්ලිමේන්තුවද උණුසුම් විය.
පළාත් සභා ඡන්දය පිළිබඳ තීන්දුවක් ගැනීමට ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීම, පසුගිය සඳුදා (5) වැනිදා පැවැත්විණි. ඊට අග්‍රාමාත්‍යවරයා නොපැමිණි අතර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම හමුවේ මුලසුන දැරුවේය. පක්ෂ 12ක පමණ නායකයෝ මීට සභභාගී වූහ. වාසුදේව නානායක්කාර, ජී.එල්. පීරිස්, තිස්ස විතාරණ, වීරසුමන වීරසිංහ, රමේෂ් පතිරණ, මුසම්මිල්, ඩග්ලස් දේවානන්ද, ගෙවිඳු කුමාරතුංග ආදී මැති ඇමැතිවරු මීට සහභාගී වී සිටියහ. රැස්වීමට විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන පක්ෂ නායකයන් සහභාගී නොවීමද විශේෂිත විය. පළාත් සභා ඡන්ද විමසීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉදිරිපත්කර තිබූ කැබිනට්ටුවේදී මතභේදයට තුඩුදුන් පත්‍රිකාව පිළිබඳ මෙහිදී සාකච්ඡා විය.

ප්‍රධාන වශයෙන්ම පළාත් මැතිවරණයේ සභිකයන් තෝරාගන්නා අනුපාතය සාකච්ඡාවට ලක්විය. පෙර සාකච්ඡා වී තිබුණේ මැතිවරණ කොට්ඨාස හරහා සභිකයන් සියයට හැත්තෑවක්ද සමානුපාතික ක්‍රමය යටතේ සභිකයන් සීයට තිහක්ද තෝරා ගැනීමටයි. එහෙත් මෙම පක්ෂනායක සාකච්ඡාවේදී යෝජනා වූයේ එම අනුපාතය සියයට හැටත් හතළිහත් අතර සංඛ්‍යාවක් බවට පත් කිරීමටයි. මෙහිදී නැගී සිටි ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා කීවේ &නෑ නෑ එකක්වත් හරියන්නේ නෑ. මගේ නම් කැමැත්ත පැරුණි මනාප ක්‍රමයට මැතිවරණ තියන්න. එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ* යනුවෙනි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග වෙනත් කතාවක් කීවේය. &මම නම් පළාත් සභා ක්‍රමයටම විරුද්ධයි. පළාත් සභා අහෝසි කරන්න කියන එකයි මගේ යෝජනාව.

එක් මැතිවරණ කොඨාසයකට එක් පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනෙකු මැතිවරණයට ඉදිරිපත් කිරීමට ඉදිරිපත්ව තිබූ යෝජනාවද මෙහිදී ප්‍රධාන වශයෙන් සංවාදයට ලක්වූයේය. බහුතර පක්ෂ මෙම යෝජනාවට විරුද්ධ වූහ. ඔවුන් කියා සිටියේ මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමට ගියහොත් ජාති, කුල, ආගම් බේද මතුවී මැතිවරණය සාර්ථකව පැවැත්වීමට පවා නොහැකි වනු ඇති බවයි. එම නිසා එක් කොඨාසයක අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරිපත් නොකළ යුතු බව ඔවුහු තරයේ කියා සිටියහ. මේ සම්බන්ධව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමටද ඔවුහු තීන්දු කළහ. කෙසේ නමුත් අවසානයේ පළාත් සභා පිළිබඳ තීරණයක් නොමැතිව මෙම පක්ෂනායක හමුව හමාර විය. ජනපති අගමැති ප්‍රධානත්වයෙන් අප්‍රේල් 19 වැනිදා තවත් පක්ෂනායක රැස්වීමකට දින නියම වූයේය. එහිදී පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධව අවසාන තීරණය ලැබෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටියි.

ආණ්ඩුව සම්බන්ධව විවේචන සුලභ වෙමින් පැවතුණි. ඒ අතර තරමක් බරපතළ විවේචනයක් දේශපාලන කරළිය උණුසුම් කළේය. එස්.බී. දිසානායක අමාත්‍යවරයා ගැටඹේ රාජෝපවනාරාම විහාරය ගොස් ගැටඹේ නාහිමියන් හමුවූ අවස්ථාවක නාහිමියෝ මෙම විවේචන සිදුකළහ. මෙම විවේචන ආණ්ඩුවේ ඉහළ තනතුරුවලට තදින් දැනුණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙය දැනගෙන පසුදින දහවල් ගැටඹේ නාහිමියන්ට දුරකථන ඇමතුමක් දුන්නේය. ඇයි හාමුදුරුවනේ ආණ්ඩුවට බණින්නේ? මොකක්ද අපි කරපු වැරැද්ද? අපි කරන්නේ පොදු වැඩ. පෞද්ගලික වැඩ නොකිරීම තමයි අපිට තිබෙන චෝදනාව. ආදී වශයෙන් ජනාධිපති ගෝඨාභය මහතා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරන්නට විය. ගැටඹේ නාහිමියෝ කිසිත් නොකියා සියල්ල අසා සිටියහ. ජනාධිපති අවසානයේ කීවේ &මම හෙට අනිද්දා නුවර එනවා අපේ හාමුදුරුවනේ... ඔබවහන්සේව බැහැදකින්න මම එන්නම්...යනුවෙනි.

ඒ අනුව පසුගිය බදාදා (7) ජනාධිපති මහනුවර බලා පිටත්විය. දළදා මාලිගාව වැඳ පුදාගත් ජනාධිපති මල්වතු පාර්ශ්වයේ මහනායක අනුනායක හිමිවරුද බැහැදැක්කේය. එහිදී ජනාධිපතිගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයෑමට ආශිර්වාද හිමිවූවා මිස විවේචන එල්ල නොවිණි. අනතුරුව මහනුවර ඓතිහාසික ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටිපොළ සිරිවිමල නා හිමියන් හමුවට ජනාධිපති ගියේය. නාහිමියෝ සහ ජනාධිපති පැය දෙකකට ආසන්න කාලය සාකච්ඡා කළහ. මෙම සාකච්ඡාව සිදුවන අවස්ථාව සඳහා මාධ්‍ය හෝ බාහිර කිසිදු පුද්ගලයකුට සහභාගි වීමට නොහැකි විය. මෙය ගැටඹේ නාහිමි සහ ජනපති අතර පැවති පෞද්ගලික සාකච්ඡාවක් වූ අතර එහි සාකච්ඡා වූ කරුණු අනාවරණය නොවුණේය. ආණ්ඩුවේ අභ්‍යන්තර ප්‍රශ්න ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා වන්නට ඇතැයි බොහෝ දෙනෙක් මත පළ කළහ.

සතිය පුරා සිදුවූ බොහෝ දේශපාලන කලබගෑනිවලට හේතුවූයේ රන්ජන් රාමනායක පාර්ලිමේන්තු අසුන පිළිබඳ වූ මත ගැටුමයි. රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී බදාදා (7) පැවසීය. කතානායකවරයා මේ තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු කර තිබිණි. කෙසේ වෙතත් මෙම තීන්දුව ප්‍රකාශයට පත්වීමත් සමඟ සමගි ජන බලවේගය ගොනු කරමින් සිටි විරෝධය දෙගුණ තෙගුණ විය.

ඒ අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව හරහාද මන්ත්‍රී ධූරය සම්බන්ධව රන්ජන් පාර්ශ්වයෙන් එල්ල වූ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණි. බදාදා පාර්ලිමේන්තුවේදී මාස තුනක නිවාඩු යෝජනාව ප්‍රතික්ෂේප කළ කථානායකවරයා රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කර ඇත්තේද මාස තුනක් පාර්ලිමේන්තු නොපැමිණි බව පවසමින් යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කීය. අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා* යැයි ද විපක්ෂ නායකවරයා කීවේය. &ඒක කරගන්න කියන්න. මැතිවරණ කොමිසමට විරුද්ධව දැනුත් යා හැකියි. දැන් මම තීන්දුව දීලා ඉවරයි* කතානායකවරයා කීය. ඒ සමඟ පළමුවරට රන්ජන් නිසා පාර්ලිමේන්තුවේ කාලගෝට්ටියක් ඇතිවිය. මේ අතර රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය හිස්වීමෙන් වූ පුරප්පාඩුව සඳහා සුදුස්සකු නම්කර එවන්නැයි මැතිවරණ කොමිසම ගම්පහ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියාට දැනුම් දී ඇති බවද වර්තාවිය.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව අධ්‍යයනය කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටු අවසන් වාර්තාව 5 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දුන්නේය. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තා දීර්ඝ ලෙස අධ්‍යයනය කළ කමිටුව නිර්දේශ 78ක් හඳුනාගෙන තිබිණි. මුලදී අන්දෝලනයට තුඩුදුන් බොදුබල සේනා සංවිධානය තහනම් කිරීම ආදී නිර්දේශ ඔවුහු අනුමත නොකළහ. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු 12 දෙනෙකු වෙත එන්තරවාසියක් යැවීමට නීතීඥවරයෙක් කටයුතු කර තිබුණි. ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් තමන්ට සිදුවූ බරපතළ මානසික සහ ශාරීරික හානි වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඔහු ඒ හරහා ඉල්ලා තිබුණි.

ඉකුත් සතියේ සමගි ජනබලවේගයේ කණ්ඩායම් රැස්වීම පිළිබඳ දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගත හැකිවූයේ වෙනස්ම තොරතුරකි. ඒ අනුව කියැවුණේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පස්වැනිදා සවස 3ට ආරම්භ වීමට නියමිතව තිබූ සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සජිත් ප්‍රේමදාස මහතා පැමිණ ඇත්තේ පැය එකහමාරකටත් වඩා කාලයක් ප්‍රමාද වී බවයි. මෙම ප්‍රමාදය හේතුවෙන් ඇතැම් මන්ත්‍රීවරු රැස්වීමෙන් නැගිට යන්නටද සැරසුණු බව කියැවිණි. සමගි ජනබලවේග මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට අවස්ථා කිහිපයකදී විපක්ෂ නායකවරයා මෙසේ ප්‍රමාද වී පැමිණීම නිසාවෙන් සජබ මන්ත්‍රීවරුන් යම් කළකිරීමක සිටින බව මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකරට එරෙහි විරෝධයක් අභ්‍යන්තරයේ පවතින බවට ගෙවුණු සතියේ ආරංචි පැතිර ගියේය. ඔහු ඒ සම්බන්ධව ප්‍රකාශයක් කර ඇති බව කියැවිණි. කෙසේ වෙතත් දයාසිරි ජයසේකර මහතා මහලේකම් ධූරයෙන් ඉවත් කිරීමේ වුවමනාවක් පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුට ඇති බවද ඒ අනුව කියැවේ. ඔහුව ශ්‍රීලනිප මහලේකම් ධුරයෙන් ඉවත්කරන ලෙස පක්ෂ සභාපති වන හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඇතැමුන් සෘජුව ඉල්ලා ඇති ඉල්ලා ඇති බවද දැනගන්නට ලැබෙයි.

මේ අතර කාදිනල් හිමියන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉලක්ක කර ගනිමින් ප්‍රබල වාග් ප්‍රහාරක් එල්ල කළේය. පාස්කු ප්‍රහාරයට අදාළ ඔහු වගකීම් පැහැර හැරීම සම්බන්ධව ඒ හරහා කියැවිණි. මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා අගරදගුරුතුමන් තමා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ගැන කනගාටු වන බව කියා සිටියේය. මෙම අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන මහතාට ආවරණයක් සපයමින් ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා මාධ්‍යයට කියා සිටියේ කාදිනල්තුමන්ගේ ප්‍රකාශ පිටුපස කිසියම් දේශපාලන හස්තයක් තිබේදැයි සැක මතුවන බවයි.

එක්සත් ජාතික පක්ෂය ද සිය දේශපාලන ක්‍රියාකාරකම් වර්ධනය කරන අයුරු ගෙවුණු සතියේ දැකගත හැකිවිය. ඉකුත් 6 වැනිදා තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශීය නියෝජිත කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට ඔවුහු කටයුතු කළහ. වත්මන් ආණ්ඩුව යටතේ සිදුව ඇතැයි කියන පරිසර විනාශයට එරෙහිව මෙම විරෝධතාව පැවැත්විණි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයට ඔවුහු ලිපියක් ද භාරදුන්හ. රවී කරුණානායක, නවීන් දිසානායක, අර්ජුන රණතුංග, සාගල රත්නායක යන එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් මෙම කටයුත්ත මගහැර තිබුණි.  ඊට හේතුව පක්ෂයේ තනතුරු විරෝධය බව කියවුණි. කෙසේ වෙතත් මෙය එජාපය මැතිවරණ පරාජයෙන් පසු දියත් කළ විශාලතම විරෝධතාව විය.
අප්‍රේල් 8 වැනිදා, බ්‍රහස්පතින්දා සතිය පුරා දිගින් දිගටම තිබූ දේශපාලන අවපීඩනය කැළඹිලි ස්වභාවයක් දක්වා වර්ධනය විය. එහි අපිකේන්ද්‍රය වූයේ පාර්ලිමේන්තුවයි. පළමු කැළඹීම ඇතිවූයේ පක්ෂ නායක රැස්වීමේදීය. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක දෙකෙහි පැවති මෙම රැස්වීමට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂය නියෝජනය කරන සියලුම පක්ෂ නායකයෝ සහභාගී වූහ. මතභේදයට තුඩු දුන්නේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය පිළිබඳ ගැටලුවකි. දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසන් සභා වාර්තාව සම්බන්ධයෙන් දෙදින විවාදයක් ඉල්ලා සිටීම සහ න්‍යාය පත්‍රය ප්‍රමාද වීම හේතුවෙන් පක්ෂ නායක රැස්වීම ඝෝෂාකාරී විය. 

කෙසේ වෙතත් මෙම ගැටලුව දින කිහිපයක සිට විපක්ෂ කණ්ඩායම් විසින් නිරන්තරව මතුකරමින් සිටි ගැටලුවකි. හත්වැනිදා මෙම ගැටලුව සංවාදයට ලක්විය. එහිදී  ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතාගේ විරෝධය කැපී පෙනුණි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහත්වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව දැනගන්නට ලැබෙයි.

බ්‍රහස්පතින්දා මුළු රටේම අවධානය දිනාගත්තේ අමාත්‍ය චමල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා අතර ඇතිවූ ගැටුමයි. රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීම මුල්කරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් මෙම ගැටුම හටගත්තේය. මන්ත්‍රීධූරය අහෝසි කිරීමට එවක පැවැති ආණ්ඩුව කටයුතු කළ ආකාරයත්, එවක කතානායකවරයා ඊට සම්බන්ධ වූ ආකාරයත් පිළිබඳ ඔහු පැහැදිලි කරන්නට විය. එහිදී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා පෙන්වමින් ඔහු ඍජුවම චෝදනා කළේය. ඊට පිළිතුරු දීමට නැගී සිටි චමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකෝප විය. අවසානයේ මෝඩයා බූරුවා බල්ලා පරයා වැනි වචන පවා සභාවේ හුවමාරු විය. චමල් ෆොන්සේකා දෙදෙනා එකිනෙකාට ගුටිබැට හුවමාරුවකට අභියෝග කර ගැනීම විශේෂිත විය. 

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සිදුවීම විඩියෝගත කළේය.  විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සජබ මන්ත්‍රීවරු රංජන් වෙනුවෙන් "දඟ ගෙයි දඬුවම් සියුමැලි වැඩි නම් අලුගෝසුවනේ එල්ලාපන්" ගීය ගායනා කළේය. කෙසේ වෙතත් විරෝධතාවලින් අනතුරුව පාර්ලිමේන්තුව නැවත රැස්වූ විට තමන් අතින් පාර්ලිමේන්තුවේදී කිසිවකුගේ හෝ සිත් රිදුණේ නම් තමන් ඒ ගැන කනගාටු වන බවත් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. මේ අතර රංජන් මන්ත්‍රීධූරය සම්බන්ධව දිගින් දිගටම එල්ල වන විරෝධතා හමුවේ කරුණු පැහැදිලි කරමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිල නිවේදනයක් ද නිකුත් කරන ලදී.

බ්‍රහස්පතින්දා දේශපාලන කැළඹීම තවත් වර්ධනය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.  වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොවන සෙසු පක්ෂ 11ක නියෝජිතයෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී රැස්වූහ. මෙම කණ්ඩායම පක්ෂ නායකයන්ගේ නිවෙස්වල දිගින් දිගටම හමුවුවත් ශ්‍රීලනිප මූලස්ථානයේ සෙවණෙහි රැස්වූයේ පළමු වතාවටයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ශ‍්‍රීලනිප නායකයා  ලෙස මෙම රැස්වීමට සහභාගී වීමද විශේෂිත විය. මෙතෙක් මෙම කණ්ඩායම තුළ ශ්‍රීලනිප නියෝජනය දයාසිරි ජයසේකර මහතා විසින් සිදු කළේය. තවද සඳුදා ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමට සහභාගී නොවූ අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිලද මෙම හමුවට සහභාගී වී සිටියහ. හමුව අවසානයේ උදය ගම්මන්පිල මහතා කියා සිටියේ කාලීන දේශපාලනය සම්බන්ධව සාකච්ඡා කරන බවයි. එසේම මැයි දිනය එකට පැවැත්වීම සම්බන්ධව සාකච්ඡා කළේ ද යන්න මාධ්‍යවේදීන් ඇසූවිට ඔහු එය ප්‍රතික්ෂේප කළේය. එහෙත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැයි දිනය සම්බන්ධව සාකච්ඡා පැවැත්වෙන බව කියා තිබුණි. මේ අතර ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා මෙදින මාධ්‍ය මඟහැර යාම ද සුවිශේෂී විය.

මේ අතර ක්‍රමයෙන් දේශපාලන කරළියට අවතීර්ණ වෙමින් සිටින මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ සිදු කළ ප්‍රකාශයක් ද ගෙවුණු සතියේ කාගේත් අවධනය දිනා ගත්තේය. රජයක් ලෙස රටේ කිසිදු වැඩක් නොකරන බවට මේ වන විට මාධ්‍ය තුළින් සහ සමාජ මාධ්‍ය තුළින් සෑහෙන්න බැණුම් ඇසීමට සිදුව ඇති බව පිළිගත්තේය. එහෙත් එයට ප්‍රධාන හේතුව රජයක් ලෙස ඔවුන් කරන සේවය ගම්මාන තුළ කතාබහට ලක්වුවත් රට තුළ ප්‍රසිද්ධ නොවීම බවද ඔහු කීවේය. මෙහිදී ඔහුගේ දේශපාලන අභිප්‍රාය පිළිබඳ ඉඟි පළ කරමින් මෙහිදී රෝහිත රාජපක්ෂ සිදු කළ කතාවක් මාධ්‍ය උපුටා දක්වා තිබුණි. සිය බිරිඳට දෙවැනි දරු උපත සිදුකිරීමට ඉතාමත් ආසන්න බවත්, පෞද්ගලික ජීවිතයේ කොපමණ වැඩ කටයුතු තිබුණත් ජනතාවට සේවය කිරීමේ අවශ්‍යතාව ඇති නිසා එම කටයුතු පසෙක දමා මෙයාකාරයෙන් ගම්මානවලට පැමිණෙන බවට ඔහු කී කතාව මෙසේ අවධානය දිනාගත්තේය.  මේ අතර රංජන් රාමනායක මහතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා අජිත් මාන්නප්පෙරුම මහතා කතානායකවරයා ඉදිරියේ සිකුරාදා (9)  පාර්ලිමේන්තු දී දිවුරුම් දුන්නේය. ඒ අනුව රංජන්ගේ කතාව යම් කෙළවරකට පැමිණියේය. 

 චමිදු නිසල්

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00