2021 මාර්තු 13 වන සෙනසුරාදා

උපන්දිනයදා හිරගෙදර සිට රන්ජන් ලියූ ලියුම

 2021 මාර්තු 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 570

  • ආණ්ඩුවේ මීළඟ ජනපති අපේක්ෂකයා කව්දැයි ජවිපෙ නායකයා කියයි
  • කථානායකගේ අපක්ෂපාතීකම විපක්ෂ නායක ප්‍රශ්න කරයි
  • විමල්ට එරෙහිව ගතු කිවූ කට්ටිය
  • පළාත් සභා ඡන්දයේදී ශ්‍රීලනිපයෙන් තීන්දුවක්
  • අධිකරණ ඇමැතිට හිරුණිකා ලියූ සටහන
  • ගෝඨාභය හෝ මහින්ද නැත්නම් සුදුස්සා බැසිල්ලු

ගෙවුණු සතියේ දේශපාලන කරළිය එකම සැණකෙළියක් වූයේය. සැණකෙළියේ මල් වෙඩි නොවුණත් පුපුරා යාම් නම් සෑමතැනකම විය. විනෝදයට වඩා මෙම දේශපාලන සැණකෙළියේ වූයේ කුතුහලය, ආවේගය සහ වේදනාවන්ය. පාස්කු මතක අංක එකේ රැඳුණු අතර සියල්ල ඒ වටා භ්‍රමණය වන බව පෙනී ගියේය.

ගෙවුණු සතිය ආරම්භයේදීම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අකරතැබ්බයකට මුහුණ දුන්නේය. නාමල් රාජපක්ෂ මහතා මාර්තු 7 වැනිදා ඩුබායි බලා පිටත්ව යෑමේ අරමුණින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක සහ තවත් 07 දෙනෙකු සමඟයි. උදෑසන 10.00 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.-651 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව යෑම ඔවුන්ගේ අරමුණ විය. එහෙත් නාමල් රාජපක්ෂ මහතාට විදේශ ගතවීමට අවසර දීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු ප්‍රතික්ෂේප කළහ. ඔහුට එරෙහිව අධිකරණය විසින් පනවා තිබූ ගුවන් ගමන් තහනම් නියෝගයක් ඉවත් කිරීම පිළිබඳ තොරතුරු ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත නොලැබී තිබීම ඊට හේතුව විය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නාමල් රාජපක්ෂ මහතා වෙත පනවා තිබූ විදේශ ගුවන් ගමන් තහනම් නියෝගය ඉකුත් හතර වැනිදා ඉවත්කරන ලදී. ඒ බව තැපැල් මගින් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත දැනුම් දීමට එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා පියවර ගෙන තිබුණි. කෙසේ නමුත් මේ අර්බුදයට මුල වූයේ ඒ වනතුරුත් අදාළ නියෝග ගුවන් තොටුපළ බලධාරීන් අතට නොලැබීමයි. මේ හේතුවෙන් නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස ගමන් ගැනීමට නියමිතව තිබූ ගුවන් යානය පිටත්වීමද විනාඩි 45 කින් පමණ ප්‍රමාද විය. අවසානයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා මෙම විදේශ ගුවන් ගමන් තහනම ඉවත්කළ බවට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත දැනුම් දුන්නේය.

අවසානයේ මෙරට ක්‍රීඩා ඇමතිවරයා පමාවී ගුවන් ගතවිය. ඩුබායි ගිය ඇමති නාමල් විවිධ දුෂ්කරතා හේතුවෙන් මව්බිමට යෑමට නොහැකිව ඩුබායිහි අවතැන්ව සිටින ලාංකිකයන් පිරිසක් මුණගැසුණි. ඔවුන්ට ලංකාවට පැමිණීමට අවශ්‍ය පහසුකම් සපයාදීමට පියවර ගන්නා බවට ඔහු පොරොන්දු විය. මෙම අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග හා රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක දිනූෂාන් යන අමාත්‍යවරුද එක්වූහ.

මාර්තු 8 වැනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ හමුවක් පැවැත්විණි. මේ විශේෂ සාකච්ඡාව සිදුවූයේ පාර්ලිමේන්තුවේ කතානායක නිල කාර්යාලයේදීය. එය නීතිපති දප්පුල ද ලිවේරා මහතා සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර වූ විශේෂ සාකච්ජාවකි. සාමාන්‍යයෙන් නීතිපතිවරයා පාර්ලිමේන්තුවට නොපැමිණෙන අතර එසේ පැමිණෙන්නේ අත්‍යවශ්‍ය කටයුත්තකට හෝ අත්‍යවශ්‍ය නීති උපදෙසක් ලබාදීමට ඇත්නම් පමණක් වන නිසාවෙන් විපක්ෂයේ බොහෝදෙනාගේ අවධානය මීට යොමුවිය.

මේ අතර මෙම සිදුවීමට ඈඳුණ බව කියන සිදුවීමක් ඉකුත් 10 වැනිදා පාර්ලිමේන්තුවේ දී සිදුවිය. රන්ජන් රාමනායක සඳහා පාර්ලිමේන්තුවෙන් මාස තුනකට නිවාඩු ඉල්ලීමේ යෝජනාවක් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළේය. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම් ලබාදී ඇති මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවට කැඳවීමට තමාට හැකියාවක් නැති බවයි. එනිසා ඔහු වෙනුවෙන් නිවාඩු යෝජනා භාරගත නොහැකි බවද කතානායකවරයා පැවසීය. ඒ අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අපක්ෂපාතීත්වය සම්බන්ධයෙන් තමන්ට බරපතළ සැකයක් මතුවන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එදිනම පාර්ලිමේන්තුවේදී පැවසුවේය. රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට කැඳවීමට සියලු ව්‍යවස්ථාපිත නීතිරීති පැවතියදී කතානායකවරයා එසේ නොකිරීම බරපතළ ප්‍රශ්නයක් බව ඔහු කීවේය.

ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේදී බදාදා (10) පස්වරුවේ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රුස්වීමක් පැවැත්වුණි. අභිනවයෙන් පත්වූ නව නිලධාරී මණ්ඩලය මෙලෙස රුස්වූහ. නව නිලධාරී මණ්ඩලයට වගකීම් පැවරීම මෙහිදී ප්‍රධාන වශයෙන් සිදුවිය. මෙහිදී එළඹෙන පළාත් සභා මැතිවරණ සම්බන්ධවද සාකච්ඡා වී තිබුණි.

රැස්වීමෙන් අනතුරුව පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අදහස් දැක්වූයේය. ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තරග කිරීමට කැමැත්තක් දක්වන පුද්ගලයන්ට මාර්තු 31 වැනිදාට පෙර ඉල්ලුම්පත් යොමුකළ හැකි බව ඔහු කීවේය. එසේම පළාත් සභා මැතිවරණයේ අපේක්ෂකත්වය ඉල්ලා මේ වනවිටත් සෑහෙන පිරිසක් අයදුම්පත් යොමුකර ඇතැයිද ලේකම්වරයා පැවසීය. මෛත්‍රීපාල සිරිසේන මහතා පිටව යන අතර කෙටියෙන් මාධ්‍ය ඇමතූ අතර පළාත් සභා තරග කිරීම සඳහා අයැදුම්පත් යොමුකරන ලෙස ඔහුද කීවේය.

පොහොට්ටු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් බදාදා (10) අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ. බැසිල් රාජපක්ෂ මහතාද මෙම හමුවට සභභාගී විය. දේශපාලන ආරංචි අනුව අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නැයි පසුපෙළ මන්ත්‍රීවරුන් මෙහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ. විමල් විරවංශ අමාත්‍යවරයා සිදුකරන ලැබූ ඇතැම් ප්‍රකාශ සිය ජංගම දුරකථන මගින් අගමැතිවරයාට පෙන්වමින් මන්ත්‍රීවරු මෙහිදී අදහස් දක්වා තිබේ. විමල් විරවංශ අමාත්‍යවරයා සිදුකරන ඇතැම් ප්‍රකාශ හා ඔහුගේ ඇතැම් ක්‍රියාමාර්ගවලින් ආණ්ඩුවට බරපතළ හානියක් සිදුවෙමින් පවතින බවත් නන්නත්තාර වී සිටින විපක්ෂයට එයින් විශාල වාසියක් වී ඇති බව ඔවුන් කියා ඇති බවත් දැනගන්නට ලැබේ.

මෙහිදී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, සංජිව එදිරිමාන්න ආදී පිරිස දැඩිව අදහස් දක්වා ඇති බව කියැවේ. ඔබතුමාගේ හොඳකමට ඔබතුමා තමයි විමල් ඇමතිතුමාව රකින්නේ. ඒත්, මේ විදියට ගියොත් නම් ඔබතුමාටත් විශාල කැළලක් වෙනවා. ආණ්ඩුවත් ඉවරයි. පක්ෂයත් ඉවරයි. යයි මන්ත්‍රීවරයකු මෙහිදී කියා ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂ රුස්වීමේදී මේ කාරණා සාකච්ජා නොකරන්නේ ඇයිදැයි අගමැතිවරයා මෙහිදී විමසා ඇති බව කියැවේ. ලැබී ඇති තොරතුරු අනුව එවිට පොදුජන පෙරමුණ ලේකම් සාගර කාරියවසම්, %ඒ පිරිස ගෘප් මීටින් වලට නොඑන^ බව කියා තිබේ.

මේ අතර ආණ්ඩුවේ අර්බුදයට පොහොර පස් දැමීමට ජවිපෙද එක්විය. මීළඟ ජනාධිපතිවරණය සඳහා තමන් තරග නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සන්ධානයේ සෙසු පක්ෂ නායකයන්ට දන්වා ඇති බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ගෙවුණු සතියේ ජන හමුවකදී පැවසීය. එනිසා එම ජනාධිපතිවරණය සඳහා සුළු පක්ෂවල සහාය ලබාගත හැකි අපේක්ෂකයකු සොයාගන්න යයි ජනාධිපතිවරයා පවසා ඇතැයිද ඔහු කියා සිටියේය. ඒ අනුව මීළඟ ජනාධිපතිවරණය සඳහා ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වන්නේ බැසිල් රාජපක්ෂ බවද ජවිපෙ නායකයා පැවැසුවේය.

බදාදා පැවැත්වීමට නියමිත වූ  ජනාධිපතිවරයා හා කාදිනල් හිමිපාණන් අතර හමුවක්ද හදිසියේ අවලංගු වූ පුවතක් වාර්තා විය. අගරදගුරු නිවෙසේදී පැවැත්වීමට නියමිතව තිබූ හමුව අවසන් මොහොතේ අවලංගු වී ඇති බව කියැවුණි. මෙම හමුවට කාදිනල් හිමිපාණන් විසින් සියලුම බිෂොප්වරුන්ට අමතරව ක‌ටුවාපිටිය සහ කොච්චිකඩේ දේවස්ථානවලදී බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයගේ පවුලේ ඥාතීන්ටද පැමිණෙන ලෙසට ආරාධනා කර ඇති බව කියැවේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් කාදිනල් හිමිපාණන්ට ඇමතුමක් දී සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව දැනගන්නට ලැබේ. නමුත් වාර්තා වූ පරිදි කාදිනල් හිමිපාණන් ඊට එකඟතාව පළකොට නැත.

පාස්කු ප්‍රහාරයට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ වගකිව යුතු බවට අශෝක අබේසිංහ මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයක් නිසා දේශපාලන කරළියේ උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 06 දෙනෙක් පසුගිය 07දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අශෝක අබේසිංහ මහතාව දින දෙකකදී ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කැඳෙව්වේය. එහෙත් ඔහු ඊට නොපැමිණි අතර අවසානයේ සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් සමඟ හෙතෙම බ්‍රහස්පතින්දා (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රද පසුගිය සතියේ ඇබැද්දියකට මුහුණ පෑවේය. දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගියේ යැයි කියන සිද්ධියට චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කරන ලදී. ඊට හේතුව වූයේ ඇයට එරෙහිව පවරා ඇති නඩුව අධිකරණයේ කැඳවූ අවස්ථාවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ පෙනී නොසිටීමයි. කෙසේ නමුත් එම වරෙන්තුව පසුව අවලංගු විය. ඇය ඒ පිළිබඳ සමාජ මාධ්‍යයේ මෙසේ සටහනක් තබා තිබුණි.

අද දින මහාධිකරණයේ මා සම්බන්ධයෙන් නඩු නිමිත්තක් පැවැති අතර ගරු විනිසුරුතුමන් නඩුව කැඳවන අවස්ථාවේදී මා අධිකරණ භූමියේ මාගේ රථය තුළ මගේ මාස 1 1/2 ක කුඩා බිළිඳියට කිරි ලබාදෙමින් සිටිය අතර එම අවස්ථාවේ අධිකරණය තුළ නොසිටි නිසා ගරු විනිසුරුතුමන් මා හට වරෙන්තු නිකුත්කර ඇත. පසුව මාගේ නීතිඥතුමිය, නඩුව කැඳවන අවස්ථාවේ අධිකරණය තුළ නොසිටීමට හේතු පැහැදිලි කළ පසු ගරු විනිසුරුතුමන් මා හට නිකුත් කළ වරෙන්තුව අවලංගු කරන ලදී. එහිදී ගරු විනිසුරුතුමන් ප්‍රකාශ කළේ මින් පෙර කෙදිනකවත් උසාවිය මගහැර නොමැති බැවිනුත් අද දින අධිකරණ තුළ නොසිටි හේතුවද සැලකිල්ලට ගනිමින් වරෙන්තුව අවලංගු කරන බවය.

මෙහිදී ඇය සඳහන් කර ඇත්තේ තමන්ට එම ප්‍රමාදය සිදුවූයේ තම මාස එකහමාරක් වයසැති දරුවාට මවුකිරි දීම සඳහා තමා වාහනයේ රුඳී සිටීම නිසා බවයි. එනිසා කිරි දෙන මව්වරුන්ට අධිකරණය තුළ එම කටයුතු සිදුකර ගැනීමට අවශ්‍ය ඉඩ පහසුකම් සලසා දෙන්නැයි අධිකරණ අමාත්‍යවරයාගෙන් මෙම සටහන හරහා ඇය ඉල්ලා තිබේ.

හිරුණිකාගේ ඉල්ලීමට අමාත්‍ය අලි සබ්‍රි සංවේදී විය. ඔහු ද පෙරළා සටහනක් තැබුවේය. මව්කිරි දෙන මව්වරුන් මුහුණදෙන දුෂ්කරතා මගේ අවධානයට යොමුකිරීම ගැන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට  ස්තූතිවන්ත වන බව ඔහු කියා තිබුණි. මෙතරම් වැදගත් කරුණක් සඳහා අධිකරණ පද්ධතිය තුළ විධිවිධාන සලසා නොමැති බව ඔහු එහිදී සඳහන් කළේය. "මෙම කර්තව්‍යයට මම කැපවී සිටින අතර, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය සඳහා වූ කර්තව්‍යයේදී මේ සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන බවට මම සහතික වෙමි." යනුවෙන් පවසා තිබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ 58 වැනි උපන් දිනය මාර්තු 11 වැනිදාට යෙදී තිබුණි. සිරගතව සිටින ඔහු අපූරු ලිපියක් ලියා තිබුණි. එයින් කොටසක් මෙසේ උපුටා දක්වමු.

“ගල් බිත්ති 4කට වටවුණු ජීවිතේ පළමුවැනි උපන් දිනය මේක. ගිය අවුරුද්දේත් එක එක චෝදනා දාලා රිමාන්ඩ් එකට ගිහින් උපන් දිනයට දවස් දෙක තුනකට කලින් තමයි මම ගෙදර ආවේ. ආවට පස්සේ මගේ හිතවත්තු දාපු පාටියත් ලොකු එකක්. මටත් මේ හිරගෙදර ඇතුළේ පාටි තියෙනවා. කුස්සි පාටි, කම්කරු පාටි.. ඒ පාටි නම් මාර්තු 11 කියලා වෙනසක් නෑ. මම හිරේට ආවේ බරපතළ වැඩ ඇතුවනේ. දැන් මට කොයි පාටියත් එකයි.

මේ අවුරුදු ගාණටම මම ලස්සන උපන් දින ගොඩක් පහු කළා. විජය මාමා හිටපු කාලේ ගත කරපු දවස් වගේම මගේ අම්මා ජීවත්වෙලා හිටපු කාලේ ගත කරපු උපන් දිනත් මට සුවිශේෂීයි. ඒ දවස්වල ෆුල් ටයිම් ප්‍රේමවන්තයෙක් වෙච්ච කාලෙකුත් තිබුණනේ. ඒ කාලේ ඉතින් මාර්තු 11 කියන්නේ මල් වැහි වහින දවසක් මට. මේවා ඔක්කොම මට මේ ලියුමේ ලියන්න අමාරුයි. මම ඒවා වෙනම කාලෙක ලියලා ඔබතුමන්ලාට දෙන්නම්."

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ පසුගිය සමයේ පොහොට්ටුව පාර්ශ්වයෙන් විවිධ කතා ආරංචි විය. ඒ කතා අතර මුලින්ම පළමුව බැසිල් රාජපක්ෂ සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කතා කළේය. බත්තරමුල්ලේ පිහිටි පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා මෙම ප්‍රකාශය සිදු කළේය. 2024 ජනාධිපතිවරණයේදී රට ගොඩනැගීමට දැක්මක් ඇති එකම නායකයා බැසිල් රාජපක්ෂ මහතා පමණක් බව ඔහු කියා තිබුණි.  කිහිප දෙනකු විරුද්ධ වුවත් ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් ඒ සඳහා නියම සුදුස්සා බැසිල් රාජපක්ෂ බව මෙහිදී කියැවුණි

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අන්දෝලනාත්මක ප්‍රකාශයක් හරහා නැවත කරළියට පැමිණියේය. මුස්ලිම් නීතිය වෙනස් කිරීමට කිසිවකුටත් නොහැකි බව ඔහු කියා සිටියේය. "මුස්ලිම් නීතිය කවුරු වෙනස් කළත් අපි වෙනස් කරන්නෙ නැහැ. අපේ නීතිය අපිට. ඔයගොල්ලන්ගෙ නීතිය ඔයගොල්ලන්ට. ඒවායේ හරි වැරදි බලන්නෙ අපි. අපිට කුරානයයි, හදීෂයයි, ශරියායි තමයි. අපේ නීති රීති නම් අපි ඒකට ගරු කරනවා මිසක් රජයේ නීතිය බලන්නෙ නෑ. රජයේ නීතිය රජයට, රටට. ඒ හැරෙන්න අපිට වෙන නීතියක් නැහැ. අපි ඒකට තමයි ගරු කරන්නේ. අපි ඒක පිට තමයි ජීවත් වෙන්නෙ. මෙච්චර කල් අවුරුදු 73ක් නිදහස හම්බවෙලා තිබිච්ච නීතිය ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආවා කියලා වෙනස් කළා කියලා අපිව වෙනස් කරන්න බැහැ. අපේ නීතිය අපිට. උඩරට නීතිය නුවර කට්ටියට. කේසවලාමේ නීතිය යාපනේ අයට. ඒ නීති රීති එහෙම්මම තියෙනවා. ඒවා වෙනස් කරන්න බැහැ. වෙනස් කෙරුවා කියලා අපිව වෙනස් කරන්න පුළුවන්ද? බෑ. අර සල්ලි තියෙන මිනිහ 4ක් බැන්දාම තියෙන ප්‍රශ්නෙ මොකද්ද?. හතරක් බඳින්නෙ හතරම එක විදිහට තියාගන්න පුළුවන් මිනිහ. ඒකට පිටින් නීති ගෙනල්ලා අලි සබ්‍රි බිලිබෝයි කරන්න එපා.”

මෙම ප්‍රකාශයට විශාල විරෝධයක් එල්ල විය. ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස තමන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා කියා සිටියේය. "අසාද් සාලිලාට තමන්ගේ පටු දේශපාලන වුවමනා ඉටුකර ගන්න සහරාන්ලාට තවත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කර ගැනීමට තමයි මේ වෙනම නීති ඉල්ලන්නේ. රටේ නීතියට අභියෝග කරන අසාද් සාලිලාට විරුද්ධව අපි විශ්වාස කරනවා නීතිපතිතුමාත් පොලිස් දෙපාර්තමේන්තුවත් ක්‍රියාත්මක වෙයි කියලා"  යනුවෙන් ඔහු පවසා තිබුණි. එසේම බෙංගමුවේ නාලක හිමියෝ ඇතුළු ජාතික සංවිධාන රැසක් මේ අනුව යමින් විරෝධය එල්ල කළහ.

 චමිඳු නිසල්