2022 ජුනි 05 වන ඉරිදා

අපි එකට ඉන්නවා දැක්ක දවසේ ඉඳන් එයා හරි අවුල්

 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00 1836

අම්මාගේ වෙනස්කම් උහුලන්න අමාරුයි

පෞද්ගලික රැකියාවක නිරත වෙන මා තවමත් අවිවාහකයි. වයස අවුරුදු 36ක කාන්තාවක්. වසර ගණනාවක් ඉඳලා මට ගෙදර ඉන්න එපාවෙලා තියෙන්නේ. එයට හේතුව මගේ මවගේ හැසිරීම. අම්මා මට පුදුම විදියට බනිනවා. මට බාල සහෝදරයෙක් ඉන්නවා. මල්ලිට බනින්නෙම නැති තරම්. මා මොන දේ කළත් වැරදියි. මම යාළුවෙලා හිටිය පිරිමි ළමයටත් අම්මා අකැමැති නිසා මම අම්මාගේ කීමට ඒ සම්බන්ධයත් නැවැත්තුවා. මට බඳින්න හොඳ කෙනෙක් හොයලා දෙනවා කියලා අම්මා කිව්වත් අම්මා මට යෝජනා කළේම එක්කෝ මට වඩා වයසින් ගොඩක් වැඩිමල් කෙනෙක්. නැත්නම් විවාහවෙලා දික්කසාද වුණ කෙනෙක්වයි. මා ඒ කිසිම කෙනෙකුට කැමැති වුණේ නැහැ. ඒ නිසාත් අම්මා මාත් එක්ක තරහෙන් ඉන්නේ. ගෙදර වැඩ පවා හැමදෙයක්ම මම කරලයි වැඩට යන්නේ. පොඩි දෙයක් අතපසු වුණත් අම්මා මට බනිනවා. මට දැන් ගෙදර ඉන්න තිත්ත වෙලා. මට කියලා මේ ලෝකේ කවුරුවත් නැහැ කියලා හිතෙනවා. ජීවත්වෙලා වැඩක් නැහැ කියලා හිතෙනවා. ප්‍රශ්න ගැන හිතද්දී ඔළුව පැලෙන්න වගේ රිදෙනවා. ගෙදරින් පිටවෙලා යන්න හිතුණත් එහෙම යන්නවත් මට තැනක් නැහැ. වෛද්‍යතුමනි මට මා කුමක් කළ යුතුද?

උදේශිකා - හම්බන්තොට

පිළිතුර:

ඔබ මේ වනවිට රැකියාවක් සිදුකරන වගකීමක් දැරිය හැකි 36 හැවිරිදි කාන්තාවක්. සමහර අවස්ථාවලදී දරුවන් අතරින් ඇතැම් දරුවන්ට මවුපියන්ගෙන් විශේෂත්වයක් හිමිවන අවස්ථා තිබෙනවා. ඔබට විශේෂ වගකීම් රාශියක් තිබෙනවා. ඔබ මෙම අවස්ථාවේ මව නිවැරදි කිරීමට යාමට වඩා ඔබ විසින් ගත යුතු තීන්දු තීරණ තිබෙනවා. ඔබ වැඩිහිටි කාන්තාවක් නිසා ඔබට සුදුසු විවාහයක් සිදුකර ගැනීමට ඔබ උනන්දුවක් ඇති කරගත යුතුයි. ඒ සඳහා ඔබට ඔබගේ වැඩිහිටි ඥාතියකුගේ උදවු ලබාගැනීම හෝ විද්වත් උපදේශන සේවාවල උපකාර ලබාගැනීමට හැකියි. ඔබ දැනට රැකියාවක නිරත වන නිසා නිවෙසේ කලබගෑනියත් සමඟ සිටීමට අපහසු නම් ඔබට සුදුසු තාවකාලික ආරක්ෂිත නේවාසිකාගාරයක් සොයාගැනීම සුදුසුයි. මේ සම්බන්ධයෙන් ඔබේ සහෝදරයා හෝ ඔබව තේරුම්ගත හැකි අයකු දැනුවත් කරන්න. එසේම ඔබ ඔබේ මවට ඔබෙන් ඉටුවිය යුතු යුතුකම් වගකීම් නොපිරිහෙලා ඉටු කරන්න සිහි තබාගන්න. ඔබට 1938 යන කාන්තා උපකාරක දුරකතන සේවාව ඔස්සේ වැඩිදුර උපදෙස් ලබාගත හැකිය. 

මගේ සැමියා සමලිංගකයෙක්

එක්දරු මවක් වන මගේ වසය අවුරුදු 28යි. සැමියා පෞද්ගලික අංශයේ පිළිගත් රුකියාවක නිරත වෙනවා. අපි දෙදෙනා අතර වයස පරතරය අවුරුදු 12ක්. මම විවාහ වුණේ වයස අවුරුදු 19න් මවුපියන්ගේ බලකිරීම නිසා. විවාහ වී වසරකින් පමණ අපිට පුතෙක් ලැබුණා. පුතා ලැබිලා වසර 4ක් පමණ වනතුරු අපි තුන්දෙනා සාමාන්‍ය පරිදි සතුටෙන් ජීවිතය ගතකළා. නමුත් පසුව මම දැනගත්තා මගේ සැමියාට වෙනත් පිරිමියකු සමඟ සම්බන්ධතාවක් තිබෙනවා කියලා. මම නොදැන සිටියත් සැමියා ඔහු හමුවීමට  විවාහ වුණාට පසුවත් දිගින් දිගටම ගිහින් තිබුණා. ඔහුට පිරිමි අය සමඟ සම්බන්ධතා තියෙනවා කියලා මම විවාහ වෙන්න කලින් දැනගෙන හිටියෙ නැහැ. කොච්චර කිව්වත් සැමියා ඔහුත් එක්ක තිබෙන සම්බන්ධතාව නතර කරන්නේ නැහැ. මට මෙය මහත් හිසරදයක්. මට නොදන්වා ඔහුට තෑගිබෝග පවා ලබා දී තිබුණා. මේ ප්‍රශ්නය ගැන අපි රණ්ඩු වුණාම සැමියා ගෙදරින් ගිහින් පවා ඉන්නවා. ඔහුගේ මේ පුරුද්ද මට නැති කරගන්න ඕනෑ. මා මොකක්ද කරන්න ඕනෑ?

අනූෂි - මීගමුව

පිළිතුර:

ඔබ පවසන ආකාරයට ඔබේ සැමියාට ස්ත්‍රියක හෝ පුරුෂයකු සමඟ ඇති බව කියන විවාහයෙන් පිට සබඳතාව සංස්කෘතික රාමුව තුළ අනුමත නොවන බව කිව යුතුයි. ඒ වගේම මෙවැනි සබඳතාවලදී විවාහ ජීවිතයට එල්ල වන කායික සහ මානසික බලපෑම් සහ ලිංගාශ්‍රිතව ඇතිවන ලෙඩ රෝග වැළඳීමේ අවදානම තිබිය හැකිය. මේ පිළිබඳව ඔබ සහ සැමියා සුහද සාකච්ඡාවක නිරතවීම සුදුසුයි. ඔහුට යම් ආකාරයක ලිංගික වශයෙන් ඇතිවන ගැටලු හෝ ලිංගික යොමුවක් තිබේ නම් ඒ පිළිබඳ ඔබ අතර අව‍බෝධයෙන් යුතුව සුදුසු ලිංගික ක්‍රියාවන්ට යොමුවිය හැකිය. වෙනත් අය ගැන අදහස් ඇතිවීම සිදුවිය හැකි නමුත් විවාහ සබඳතාවට පමණක් සීමාවීමට මනස ශක්තිමත් කරගැනීම සඳහා හැඟීම් පාලනය කරගැනීම සඳහා නිසි ම‍නෝ උපදේශනයකට සහ අවශ්‍යතාව අනුව මනෝ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවීම සුදුසුයි. මේ සඳහා ඔබ ආරවුල් ඇතිකර ගැනීමෙන් තොරව සැමියා සමඟ මනෝ වෛද්‍ය සායනයකට සහභාගිවීම ඉතා වැදගත්.

ලොකු දුවට මුහුණ දෙන්න බෑ

අපි අපේ බරපතළ අතපසුවීමක් නිසා දැඩි සිත් තැවුලෙන් පෙලෙන යුවළක්. අපේ අතපසුවීමෙන් ලොකු දුව සහ අපි අතර සම්බන්ධය කැඩී සුණු විසුණු වී ගියා. අපේ සිත්තැවුලට හේතුව මෙසේ ලියමි. මගේ වයස අවුරුදු 36යි. සැමියාගේ වයස අවුරුදු 39යි. අවුරුදු 14 ක සහ 11 ක දුවලා දෙදෙනෙක් සිටිති. අගනුවර සේවය කරන සැමියා නිවෙසට එන්නේ සති දෙකකට සැරයකි. මේ නිසා සැමියාට මා සමඟ ඉන්න ලැබෙන කාලය අඩුයි. ඒ නිසා ගෙදර එන සති අන්තයේ එකට ඉන්න උත්සාහ කරනවා. එහෙත් ගේ පොඩි නිසාත් දුවලා ලොකු නිසාත් දුවලාට හොරෙන් එකට ඉන්න වෙලාව හදාගන්න අමාරුයි. සමහරදාට ඉන්නම බැරිවෙනවා. සැමියා ගෙදර ආපු දවසට දුවලා දෙන්නාව ආච්චිගේ ගෙදරට මුදල් දී එන්නයි යැව්වා. එය සුළු මොහොතකට සැමියා යෙදූ උපක්‍රමයක් බව පසුව වැටහුණා. දුවලා ගෙදරින් ගියාම අපි දෙදෙනා සතුටෙන් එකතු වුණා.ඒ සතුටට වේලාව යනවා නොදැනීමත් සමඟ නොදැනුවත්වම දුවලා ගෙදර ඇවිත් අඩවල් කළ දොර ඇරගෙන ඇතුළට එන්න ආවා. ටික වෙලාවකින් ලොකු දුව ආපසු හැරී ආච්චිගේ ගෙවල් පැත්තට දිව්වා. මටත් සිදු වූ දේ හිතාගත නොහැකිව ලජ්ජාවෙන් හිටියා. එදා දුවලා හැන්දෑ වෙනකම් ගෙදර ආවේ නෑ. එදා ඉඳලා ලොකු දුව අපේ මුහුණ බලන්නේ නෑ. කාමරේටම වෙලා ඉන්නේ. එළියට එන්නේ නෑ. චූටි දුවට මේවා තේරෙන්නේ නෑ. එම සිදුවීම වූදා සිට අද දක්වා මාස 2ක් පමණ කාලයක්  දුව අපිට මුහුණ දෙන්නේ නෑ. දුවට නිතරම කේන්ති යනවා. අපි දෙන්නාව රුස්සන්නේ නෑ. අපිටත් දුවට මුහුණ දෙන්න ලජ්ජයි. ලොකු දුවට මොනාහරි කියන්න ඕනෑ වුණොත් කොළ කෑල්ලක ලියලා නංගී අතේ යවනවා. දුව පාසල් වැඩ නවතී කියලා අපිට බයක් තියෙනවා. මේ සිදුවීම දුවට මානසිකව බලපායිද? චූටි දුව අහන ප්‍රශ්නවලට අපිට දෙන්න උත්තර නෑ. දුව මේ දේවල් එයාගේ හොඳම යාළුවාට කියයිද? මේ දේවල් පිරිමි ළමයෙක් සමඟ කතා කරන්න පෙළඹෙයිද? එහෙම හිතනකොට මගේ ඔළුව ගිනි ගන්නවා වගේ දැනෙනවා. අපිත් ලොකු මානසික පීඩනයක ඉන්නේ මේ සිදුවීම නිසා. අපි කළේ වරදක්ද? ඒ සිදුවීමෙන් පස්සේ ආයෙ මට සැමියා සමඟ ඉන්න බැරිවුණා. සැමියාට මාව එපා වෙයිද කියලත් දැන් මට බයක් දැනෙනවා. මා ඔහු සමඟ නොසිටින නිසා සැමියා වෙන කාන්තාවක් සොයාගනීද කියලත් බයයි. හැමදාම මම රූට තනියම අඬනවා. වෛද්‍යතුමනි මගේ ප්‍රශ්නවලට උපදෙසක් දෙන්න.

මධුෂානිකා - කළුතර

පිළිතුර:

අවුරුදු 11 දැරියක් යනු නොතේරුම්කම් ඇති කුඩා දැරියක් නොවන බව පළමුව වටහා ගත යුතුයි. දරුවන් මවුපියන්ගේ ලිංගික හැසිරීම් ‍නොදැකීම වඩා සුදුසු වන අතර ඔබ දෙපළ මීට වඩා වගකීමෙන් සහ කල්පනාකාරීව එම කටයුතුවල නිරත වීම අවශ්‍යයි. එසේම ඔබ දෙදෙනා අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව ජීවත්වීම වැදගත්. එහිදී ඔබට නිවෙසේ කාම‍රයේ දොර අගුලු ලා තබා ගැනීමේ වගකීම තිබේ. ඒ වගේම දරුවන් රුවටීමෙන් තොරව අදාළ ඥාතිවරයකුගේ නිවෙසෙක යම් නිශ්චිත කාලයකට නවතා තැබීම හෝ දරුවන් සිටින කාමරවල නොව වෙනත් දොර වසා තැබිය හැකි කාමරයක ඔබට කාලය ගත කළ හැකිය. දරුවන් පාසල් යාම උපකාරක පන්තිවලට යාම ආදී නිශ්චිත කාලවලදී ඔබ දෙදෙනාට ඔබේ නිදහස භුක්ති විඳිය හැකිය. එසේම ඔබේ නිවෙසේ භෞතික දියුණුව උදෙසා කටයුතු කිරීමට හැකි නම් එයත් වටී. මෙහිදී කිවයුතු තවත් කරුණක් තිබේ. එනම්  මවුපියන්ගේ ලිංගික චර්යා දැකීමෙන් තොරව නිවෙසේ මව සහ පියා නිවෙසේ තනි කාමරයක රාත්‍රිය ගත කරන බව පමණක් දරුවන් දැනගැනීමේ කිසිදු වරදක් නැති බව මගේ අදහසයි. එසේම මවුපියන්ගේ හෝ තමන්ගේ නොවන වෙනත් කාමරවලට ඇතුළුවීමේදී ඊට පෙර කතා කර, දොරට තට්ටු කර අවසර ගෙන ඇතුළු වීමට දරුවන්ගේ විනයක් නිර්මාණය කිරීමේ පරම වගකීමද මවුපියන් සතුයි.

ලබන සතියේ ඔබේ ප්‍රශ්නයෙන් හමුවෙමු.

ආදරය , විවාහය , ජීවිතය ගැන තරුණ ඔබ විඳවන ප්‍රශ්නය ඔබ කැමැති නමකින් කෙටියෙන් අපට කියන්න. ඔබේ නම, රුකියාව කුමක් වුවත් හිතේ විඳවන ප්‍රශ්නයට හොඳම උත්තරය හදසරෙන්. 

‍ෆේස්බුක් ෆෑන් පේජ් මැසේජ්
ජීවිතේ  රිදෙන තැන් (Jeewithe ridena then)
ෆේස්බුක් නැත්නම් මෙහෙම ලියන්න.
Email - Jeewitheridenathen@gmail.com

සංස්කාරක, 
“ජීවිතේ රිදෙන තැන්”
හදසර අතිරේකය, දේශය පුවත්පත
නො 08, හුණුපිටිය හරස් පාර, කොළඹ 02.

I සසංක චලන ගිම්හාන