2022 මැයි 08 වන ඉරිදා

අයියට වඩා මල්ලි හොඳයි

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:01 1015

මම එයාට ගොඩාක් ඇබ්බැහිවෙලා

මට අවුරුදු 23ක්. අවුරුදු දෙකක ප්‍රේම සම්බන්ධයක් තිබුණා. එයා නැතුව මට ජීවිතයක් නෑ කියලා හිතෙන තරමටම මම ඒ කෙනාට ගොඩාක් ඇබ්බැහිවෙලා. එයා අද කතා කරයි, හෙට කතා කරයි කියලා බලාපොරොත්තුවෙන් ඉඳලාම මට දැන් ඇතිවෙලා. ඒත් දැන් ඒ කෙනා මාව ගණන් ගන්නේ නෑ. බොරු හේතු කිය කියා ටික ටික මාව ඈත් කරන්නයි එයාට ඕන වුණේ. මේ වෙනකොට එයා කොහොමටවත් මට කතා කරන්නේ නෑ. ජීවත් වෙන්න හිතෙන්නේ නෑ. මට හිත හදාගන්න උදව් කරන්න. 

හංසි - කළුතර 

පිළිතුර

ප්‍රේමය පිළිබඳ සංකල්පයේදී ඒ සම්බන්ධයෙන් වැඩි අත්දැකීම් නොලබපු කෙනකු නම් ඔහු හෝ ඇය බොහෝ අවස්ථාවල යථාර්ථවාදී ආකාරයට පිළිනොගනී. එවන් අවස්ථාවලදී අවිචාරශීලීව එම අත්දැකීම් විඳගැනීමට උත්සාහ දරයි. මිනිසුන් ජීවිතයේ විවිධ අත්දැකීම්වලට මුහුණ දෙන්නේ සිතිවිලි, හැඟීම් සහ හැසිරීම් යන කරුණු ත්‍රිත්වය යටතේයි. බොහෝ අය ජීවත් වන්නේ හැඟීම් මතයි. අවිචාරවත් සිතිවිලි ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයා යථාර්ථයෙන් ඈත්වූ විට හැඟීම්වලට වහල් වෙයි. ඔබ යොමු කර ඇති ප්‍රශ්නය අනුවත් පැහැදිලි වන්නේ ප්‍රේම සම්බන්ධතා ඇතිවීම සාමාන්‍ය දෙයක්. ඒ ඇතිවන හැඟීම විචාරශීලීව අවබෝධ කරගත යුතුයි. ඕනෑම සම්බන්ධයක් පැවතීම සහ කඩවීම සමාජ යථාර්ථයයි. එය අවබෝධ කරගත යුතුයි. එසේ නොවුණු කල මානසික පීඩනයකට ලක්වීමට සිදුවෙයි. තමන් ආශ්‍රය කළ කෙනා කෙටිකාලීනව වෙනස්වීම හේතුවෙන් ඔබ කලකිරීමට ලක් වී සිටී. යම් අවස්ථාවක මෙවැනි වෙනස්වීමකදී තමන් පිළිබඳ තමන් විචාරශීලී විය යුතුයි. තමන් පිළිබඳ, තමන්ගේ ජීවිතය පිළිබඳ ධනාත්මකව සිතීමට හැකි නම්, එයයි නිවැරදි අවබෝධය. මෙම මායාත්මක තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක් වුවත් ගැඹුරට ගියාම රෝගී තත්ත්වයක් වීමට පුළුවන්. ජීවිතය තේරුම් ගැනීමෙන් ප්‍රශ්න විශාල ප්‍රමාණයකට පිළිතුරු තිබෙනවා.

තනියෙන් ඉන්න ආසයි

කිසිම දෙයක් හිත හදන් කරන්න බෑ. මිනිස්සු ඉන්න තැන්වලට යන්න බයයි. හැමතිස්සේම තනියෙන් ඉන්න තමයි බලන්නේ. කොටින්ම කිව්වොත් දැන් ජීවත් වෙන්නේ නොමැරී මැරි මැරි. මොකක්දෝ හිතේ හැංගිච්ච ලොකු දෙයක් තියෙනවා. මොන දේ කරන්න හැදුවත් හැමතිස්සේම ඒ දේ කල්පනා වෙනවා. හරියට නිකම් බයක් වගේ හැඟීමක් තියෙන්නේ. වෙන කියන්න දෙයක් නෑ. මට උදව් කරන්න.

කසුන් - නුගේගොඩ 

පිළිතුර

තනියම සිටීමට යමකු උත්සාහ කරන්නේ නම් එය පෞරුෂය සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයකි. අන්තර්වර්තී පෞරුෂ ලක්ෂණ සහිත අය සිටිනවා. මෙවැනි අය තනියම සිටීමට ප්‍රිය කරනවා. සමාජ සබඳතා මඟහරිනවා. ඇතැම් අවස්ථාවල සමාජ සබඳතා පවත්වා කෙටිකාලීනව යමකු වෙනස් වීමටද පුළුවන. තනිවෙනවා නම්, හුදෙකලාව සිටිනවා නම්, මිනිසුන් සමඟ කතා නොකරන්නේ නම්, රැකියාවට නොයන්නේ නම්, පාසලට නොයන්නේ නම් එවන් අවස්ථාවල ඒ වෙනස්කම ගැන විශේෂයෙන් සෙවිය යුතුයි. විශාද තත්ත්වයට පත්වූ අයත් ඇතිවූ වේදනාව නිසා සමාජයෙන් හුදෙකලා වීමට පුළුවන්. පරාජිතවීමට පුළුවන්. අක්‍රීයවීමට පුළුවන්. අධික වේදනාවෙන් ජීවත්වීමෙන් ද විශාද තත්ත්වය ඇතිවෙයි. මේ සියල්ල තීරණය කිරීමට හැකිවන්නේ මෙවැනි අයකු පිළිබඳ නිසි පරික්ෂාවකින් පසුවයි. ඒ වගේම මනෝ විද්‍යාත්මක ශ්‍රේණිගත පරිමාණයන්ගෙන් පිරික්සා නිසි තක්සේරුවක් කිරීමට හැකිවෙයි. සමාජය පිළිබඳ වැඩ කිරීමට ඉලක්කයක් ලබාගන්න. සමාජය පිළිබඳ සෘණාත්මක ආකල්ප දැරීම තුළින් කාංසා තත්ත්වයක් ඇතිවෙයි. සමාජ භීතිකාව ඇතිවෙයි. එහෙයින් සමාජය පිළිබඳ ධනාත්මකව සිතිය යුතුයි. තමන් පිළිබඳ සුබවාදී ආකල්ප දැරිය යුතුයි. බය කියන දෙය සමාජය විසින් දෙන ලද්දක් නොව, තමන් විසින් ඇතිකර ගත්තකි. මෙයට සාර්ථක පිළිතුරක් සොයාගත හැකිවන්නේ තමන් විසින්ම තමන් පිළිබඳ විශ්වාස කිරීම මතයි. තමන්ගේ සිතිවිලි තේරුම් ගැනීමෙන් මෙම තත්ත්වය මඟහරවාගත හැකියි. ඕනෑම අවස්ථාවක වගකීම් දැරීමෙන්, නායකත්වය දැරීමෙන් බය නැතිකර ගැනීමට හැකියි.

බබාට ඔටිසම්ද?

මම 28 හැවිරිදි එක්දරු මවක් වෙමි. මගේ බබාට දැන් අවුරුද්දයි. බබා ඉඳගන්න මාස 9ක් විතර ගියා. හිටගන්න උත්සාහ කළත් තවම හැකියාවක් නෑ. මව්කිරි බොනකොට අහක බලාගෙන ඉන්නේ. තවම මුකුත් කතා කරන්නේ නෑ. බබාට අපි කතා කළත් එයාට ගාණක් නෑ. ඇඳුම් අන්දවනවාට කැමතිම නෑ. කෑගහලා අඬනවා. සෙල්ලම් බඩු දුන්නත් එයා ඒවා ගාණකටවත් ගන්නේ නෑ. බබාගේ මේ හැසිරීම් නිසා මම ගොඩාක් පීඩනයක ඉන්නේ. පවුල් සෞඛ්‍ය සේවිකාවට කිව්වාම එයා කියන්නේ දරුවාගේ වර්ධනය වෙන නිසා තව බලමු කියායි. මට වෙලාවකට බබාට ඔටිසම් තත්ත්වයක්ද බයයි. මේක කියන හැමෝම කියන්නේ බබාට ඔටිසම් කියලා. හැමෝම කියන දේ අහලා මගේ මනස අවුල්වෙලා. මේ ප්‍රශ්න එන්නේ අපේ නරක කාලයට වෙන්න ඇති කියලා හිතෙනවා. වෛද්‍යතුමනි, මට ඇත්ත තත්ත්වය පහදා දෙන්න. ඔටිසම් රෝගී තත්ත්වය කියන්නේ මොකක්ද?

නිමාලි - කහවත්ත 

පිළිතුර

ළමා සංවර්ධනයට කාලයක් ගත වෙනවා. මනෝ වික්ෂිප්තභාවය හෙවත් ඔටිසම් තත්ත්වය කියන්නේ නිසි ප්‍රතිචාර දැක්වීමට ඇති දුර්වලතාවකි. මෙවැනි ප්‍රශ්නයකදී කළ යුතු සුදුසුම දේ වනුයේ සුදුසුකම්ලත් විශේෂඥ මනෝ වෛද්‍යවරයකු හමුවී උපදෙස් ලබාගත යුතුයි. විශේෂයෙන් ළමා රෝග පිළිබඳ මනෝ වෛද්‍යවරයකු හමුවිය යුතුයි. ළමා රෝහල්වල ළමා මනෝ වෛද්‍ය ඒකකයකට දරුවා රැගෙන ගියාම එම ස්ථානයේදී නිසි පරික්ෂා කිරීම් සිදුකර අවශ්‍ය උපදෙස් ලබා දෙයි. මෙම තත්ත්වය ඔටිසම්ද එසේ නැතිනම් වර්ධනය පිළිබඳ ගැටලුවක් දැයි හඳුනාගැනීමට හැකිවෙයි. මේ ඕනෑම අවස්ථාවකට අද කාලයේ ඕනෑ තරම් ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. ඕනෑම මවක් පියෙක් තම දරුවා කොයි තත්ත්වයක සිටියත් සුබවාදීව පිළිගත යුතුයි. මව පියා ශක්තිමත් විය යුතුයි. එසේ නොවුණහොත් දරුවාගේ සංවර්ධනයට එය බාධා ගෙන දෙයි. කාලය පිළිබඳ අවතක්සේරු කිරීමෙන් වැළකී වර්තමානය හොඳම කාලය යැයි සිතා කටයුතු කිරීම සුදුසුයි.

අයියාගේ වැඩවලින් මල්ලිට හිත ගිහින්

මම 30 හැවිරිදි එක්දරු මවක් වෙමි. බබාට තවම මාස 8කි. සැමියා අලෙවි නියෝජිතයකු ලෙස සේවය කරයි. අපි විවාහ වී ගෙවී ඇත්තේ වසර තුනක් වැනි කෙටි කාලයක්. අපි ජීවත් වෙන්නේ අපේම නිවෙසකයි. සැමියාගේ මව පියා දෙදෙනාම ජීවතුන් අතර නොමැති නිසා සැමියාගේ මල්ලිද අපේ නිවසේ සිටී. ඔහු තවම උසස් අධ්‍යාපනය ලබයි. සැමියා සැරපරුෂය. ඔහු දිගින් දිගටම මත්පැන් පානය කර පැමිණ බැණ වැදීම් මා ඉවසා සිටින්නේ වෙන කිරීමට දෙයක් නොමැති නිසායි. මගේ වැඩ කටයුතු ගැන ඔහුට වගේවගක් නැත. සැමියාට මාගේ වුවමනා එපාකම් කීවාම ඔහු හැමවෙලාවෙම කරනුයේ කාගේ හෝ ඇඟේ ගසා අත පිහදා ගැනීමය. ගමනක් යන්න තියෙනවා කිව්වොත් කියන්නේ එයා කාර්යබහුලයි කියලා මල්ලි සමඟ යන ලෙසයි. මට හැමදේම මල්ලිට කීමට නොහැකිය. මගෙයි සැමියායි අතර තිබෙන ප්‍රශ්නය විසඳා සතුටෙන් ඉවසීමෙන් ජීවත් වන ලෙස මල්ලි නිතරම මට කියයි. මට දැන් සැමියා වහකදුරු වගේයි. ජීවත් වෙන්නේ බබා නිසායි. එහෙත් මට දැන් දැන් හිතෙන්නේ අයියාට වඩා මල්ලි හොඳ බවයි. සැමියාට වඩා ආදරණීය බවක් මානුෂික බවක් මල්ලිට තියෙනවා. සැමියා දුර පළාතක ගිය විට මගේත් බබාගේත් ආරක්ෂකයා මල්ලියි. ඔහුත් මට ඔහුගේම අක්කකුට මෙන් ආදරණීයයි. මට මල්ලි ගැන ආදර හැඟීම් පවා දැනෙමින් තිබෙනවා. කිසිවකු නොසිතන තරමේ සම්බන්ධතාවක් අප දෙදෙනා අතර තිබෙනවා. සැමියා නොමැති අවස්ථාවල අප දෙදෙනා එක ඇඳේ නිදාගෙන පවා තිබෙනවා. මට දැන් දැන් සැමියා එපා වී තිබෙනවා. මට නිතරම මතක් වෙන්නේ මල්ලි ගැනයි. එක වෙලාවකට මට මේක හිසරදයක්. මා කුමක් කළ යුතුද? උපදෙසක් අවශ්‍යයි. 

මල්ශානි - කොළඹ

පිළිතුර

මෙවැනි දෙයකදී උත්තර කිහිපයක් තිබෙනවා. අවුරුදු පහක් ආදරය කර විවාහ වීමේදී විවාහයට පෙර සහ විවාහයෙන් පසු දරුවන් බිහිවූ පසු දෙදෙනාගේ අන්‍යෝන්‍ය සම්බන්ධය ටිකෙන් ටික ගිලිහෙනවා. විවාහයට පූර්වයෙහි නිතර සොයා බැලුවද විවාහයෙන් පසු ජීවත්වීමේ සටනට මුල් තැන දීමට සිදුවෙනවා. මනෝ විද්‍යාවේ මෙයට කරුණු තුනක් තිබෙනවා. පළමුවැන්න තමන් පිළිබඳ අවබෝධයයි. දෙවැන්න අනෙකා පිළිබඳ අවබෝධයයි. තෙවැන්න සමාජ අවබෝධයයි. මේ ත්‍රිත්වය පවුල් ඒකකය තුළ නොමැතිවිට එය අවිචාරවත් ගැටලුවකට මුහුණ දෙද්දී අනවබෝධය ක්‍රියාත්මක වෙනවා. තරගකාරී ජීවන රටාවේදී පවුල් ඒකකවල අවිවේකී බව බොහෝ ප්‍රශ්නවලට හේතු වෙනවා. ගමනක් බිමනක් යන්න, නිදහසේ ඇවිදින්න, චිත්‍රපටයක් නරඹන්න වේලාවක් නොමැතිකම බොහෝමයක් පවුල්වල දකින්නට තිබෙනවා. මෙවැනි අවස්ථාවකදී කාන්තාව යථාර්ථවාදීව මෙම ප්‍රශ්නය දෙස බැලිය යුතුයි. සැමියාගේ මෙම ක්‍රියාදාමයට හේතුව සැබෑ ආදරයක් නොමැති නිසාද, එසේත් නැතිනම් වේලාවක් නොමැති නිසාද, එසේත් නැතිනම් වෙනත් හේතුවක්ද යන්න විචාරශීලී බුද්ධියකින් විමසා බැලිය යුතුයි. එහෙත් සිදුවන්නේ වැඩිපුරම තමන්ට ළංවන කෙනා සමඟ එක්වෙයි. මෙසේ පටු තීන්දු ගැනීම යථාර්ථවාදී පිළිතුරක් නොවෙයි. මෙහිදී කිව යුතු වැදගත්ම කාරණය දෙදෙනා අතර අන්‍යෝන්‍ය අවබෝධය ඇතිකරගත යුතුයි. සැමියා තේරුම් ගත යුතුයි. සැමියාගේ රුකියා ස්වභාවය තේරුම් ගත යුතුයි. දෙවැනි කාරණය දුරස්වීමට හේතු සොයා නැවත සමීප වීමට ක්‍රමයක් සොයාගත යුතුයි. අප්‍රිය වූ තැන නව සබඳතාවලට යාම සුදුසු ක්‍රියාවක් නොවෙයි. මේ පිළිබඳව මරේ බෝවන් නමැති මනෝ විද්‍යාඥයා පවුල් ප්‍රතිකාර පද්ධතියක් හඳුන්වා දුන්නා. පවුලේ සුහදත්වය පවත්වා ගැනීමට වගකීමක් සැමියාටත් තිබෙනවා. ජීවිතය කියන්නේ රුකියාව කර මුදල් සොයා දීම පමණක් නොවෙයි. බිරියකට සැමියකුගෙන් ලැබිය යුතු රුකවරණය, ආරක්ෂාව, සුහදත්වය ලබා දිය යුතුයි. මේ ආකාරයට පවුලේ සබඳතා ශක්තිමත්ව ගොඩනැගිය යුතුයි. නොමිලයේ පවත්වන පවුල් චිකිත්සන උපදේශන සේවාවලින් මෙවැනි ගැටලුවලින් පීඩා විඳින්නන්ට සාර්ථක විසඳුම් ලබාගැනීමට හැකියි.

(මෙහි එන පෞද්ගලික අත්දැකීම්වල නම් ගම් මනඃකල්පිත බව සලකන්න)  
ලබන සතියේ ඔබේ ප්‍රශ්නයෙන් හමුවෙමු.

ආදරය , විවාහය , ජීවිතය ගැන තරුණ ඔබ විඳවන ප්‍රශ්නය ඔබ කැමැති නමකින් කෙටියෙන් අපට කියන්න. ඔබේ නම, රුකියාව කුමක් වුවත් හිතේ විඳවන ප්‍රශ්නයට හොඳම උත්තරය හදසරෙන්. 

‍ෆේස්බුක් ෆෑන් පේජ් මැසේජ්
ජීවිතේ  රිදෙන තැන් (Jeewithe ridena then)
ෆේස්බුක් නැත්නම් මෙහෙම ලියන්න.
Email - Jeewitheridenathen@gmail.com

සංස්කාරක, 
“ජීවිතේ රිදෙන තැන්”
හදසර අතිරේකය, දේශය පුවත්පත
නො 08, හුණුපිටිය හරස් පාර, කොළඹ 02.

I සසංක චලන ගිම්හාන