2022 ජනවාරි 01 වන සෙනසුරාදා

ඇය කුසුමක් සේම මහ පොළොවක්...

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 49

හෝඩි පොත කියන්නේ සරසවියට පාර කියන මහ පාරේ පටන් ගැනීම කියලා මට හිතෙන්නේ. හෝඩි පොත වගේම හෝඩියේ පන්තියත් ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. හෝඩියේ පන්තියේ ඉගෙන ගන්න පුංචි දුවක්ගේ පොතක් ළඟ මගේ ඇස් දෙක නතර වුණා මේ ඊයේ පෙරේදා දවසක. ඒ පුංචි දුවගේ පොතේ ඒ දුවගෙ ගුරුතුමිය ඇගයීමක් දීලා තිබුණේ රත්තරන් පුතා කියලා ලියමින්. සාදු සිතින් ඒ ගුරුවරිය රත්තරන් පුතා නමින් දුන්නා වූ ආශිර්වාදය මහ මෙරක් තරම් වටිනවා. ඒ ගැන තර්කයක් නැහැ. පුතා කියලා ඒ ගුරුතුමිය ලියන්න ඇත්තේ අප්‍රමාණ ස්නේහයකින්. ඒත් පුංචි දරුවෙක්ගේ හදගැස්ම කොයි තරම් සංවේදී ද තාර්කික ද කියන කාරණය සැබැවින්ම ඉතා ඉසියුම්. ගුරුතුමිය රත්තරන් පුතා කියලා ලියලා තිබුණු වදන් පෙළට යටින් ඒ පුංචි දුව පැන්සලකින් දුව කියලා ලියලා. ඇයි ඒ කියලා අහපු ප්‍රශ්නයට ඒ පුංචි දුව දුන්නෙ  මෙහෙම උත්තරයක්. මම පුතෙක් නෙමෙයි මම දුවක්නේ. මට දුව කියලා කතා කරන්න. මම කැමතියි මට එහෙම කතා කරනවාට. පුංචි දුවගේ උත්තරය ඇතුළේ තියෙන ගැඹුර වගේම සමාජ විද්‍යාත්මක සත්‍ය ඇත්තටම මේ සමාජය කියවිය යුතු දෙයක් කියලයි මට හිතෙන්නේ. ඒ ගැඹුර මාතෘත්වය කියන මානව ප්‍රේමයේ උත්තරීතරම කඩඉම තෙක් ඈතට දිව යන අසංවාදී සංවාදයක් කියලා මම විශ්වාස කරනවා.

වැඩවසම් පුරුෂෝත්තමවාදී බ්‍රාහ්මණ චින්තනය තුළ ගැහැනිය තරම් ගැරහුමට ලක් වූ සමාජමය ප්‍රපංචයක් මේ ලෝකේ නැති තරම්. පිරිමින් ශුද්ධවන්ත දේවත්වයක වඩා හිඳවූ ඒ බ්‍රාහ්මණ චින්තනය ගැහැනිය පයට පෑගෙන පාපිස්නයක තත්ත්වයට ඇද දාලා තිබුණා. අඳුරු අගාධයෙන් ගැහැනිය එළියට ඇදලා ගත්තෙ බුදුන් වහන්සේගේ දර්ශනය තුළ. එහෙව් සමානාත්මතාවයක් කතා කතා කළ බෞද්ධ දර්ශනය තුළ නොතිබුණු  වාරණයන් පසුකාලීනව ගැහැනිය විෂයෙහි පැනවුණේ කවර සිද්ධාන්ත මූලිකව දැයි  වෙනම විමසිය යුතු කාරණාවක්. එහෙත් කවදාවත් ඉතිහාසය බොරු කරන්න බැහැ. දන්ත ධාතූන් වහන්සේ මේ බිමට වැඩම කෙරෙව්වේ හේමමාලා කුමරිය තම කෙස්වැටියේ සඟවාගෙන බවත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාව මෙරටට වැඩමෙව්වේ සංඝමිත්තා තෙරණින් වහන්සේ බවත් ඉතිහාසය කියනවා. එහෙත් පිරිමියෙක් වෙන්න නම් සංසාරයේ පින් කරන්න කියන මැතිරිල්ල අදටත් මතුරන වැඩවසම්වාදී පුරුෂෝත්තමවාදී සමාජයකින් අහන්න තියෙන්නෙ එකම එක ප්‍රශ්නයක් විතරයි. මේ ලෝකයේ බිහි දොර කියන්නේ මාතෘත්වය කියන උත්තරීතර වටිනාකමට නේද?

අර මම කිව්ව පුංචි දුව රත්තරන් පුතා කියන සටහනට පහළින් දුව කියලා ලියලා මම පුතෙක් නෙමෙයිනේ, මට දුව කියලා කතා කරන්න කියලා කියන්න කීවම මගේ මතකය ගිහින් නැවතුණේ රන්ජිත් කුරුප්පු පරිවර්තනය කළ කාන්තාරයේ කුසුම අබියස. අන්තවාදී ධර්මයක අන්තවාදී සංස්කෘතියක තවත් එක් ගොදුරක් බවට පත්වන යුවතියක් ඒ අන්තවාදී මූලධර්ම හේතුවෙන්ම අහිමිවන ජීවිතයේ යම් වටිනාකම් ද සමඟින් ජීවිතය හොයාගෙන ගිය දුෂ්කර ගමනක් ගැන තමයි කාන්තාරයේ කුසුම නවකතාව තුළින් කතා කරන්නේ. ඒ ගිය ගමනෙදි ඇය මුහුණ දුන් වද වේදනාවන් අපමණයි. ඒත් ඒ කිසිම තැනකදි එකම මොහොතකටවත් ඇය ජීවිතය අත්හරින්න හිතන්නේ නැහැ. ඒ පුදුමාකාර ශක්තිය මහ පොළොවක් සේ අකම්පිතව ස්වභාවිකව දරුවකු බිහිකිරීමේදී දැනෙන වේදනාව දරාගන්නා ගැහැනියකට උපතින්ම උරුමයි කියලා මට හිතෙන්නේ.

අන්තවාදයක අක් මුල් අතික්‍රමණය කරද්දී විඳින්නට වන ගැරහුම් අවලාද සේම මුහුණ දෙන්නට සිදුවන අභියෝග ද හරිම තීරණාත්මකයි. මක් නිසාද යත් අන්තවාදය ඒ සොඳුරු අතික්‍රමණයන් දකින්නේ මහා අසුන්දර ආක්‍රමණ ලෙස පමණයි. එහෙයින් ඇය ඇයට අවැසි ජීවිතය හොයාගෙන ජීවිතේ දැනෙන තැනක නවතින්න ඇය උපන් භූමියෙන් පලා යනවා.

දිව්‍ය විමානයක් සේ දැනෙන තැනක් වුව නිදහස අහිමි නම් කුමකටදැයි සිතෙන තරම්. මට හිතෙන්නේ මිනිස්සු නිදහස තරම් ජීවිතයේ ඉල්ලන තවත් දෙයක් නැහැ කියලා. සංස්කෘතිය කියන ප්‍රකෘතියේ විකරණ අවකාශය තුළින් මානවවාදී අවශ්‍යතාවයන් ස්වභාවිකත්වයේ නිර්ණායකවලින් මෑත්කොට ඇණ ගසා සිර කළත් ඇතුළු හදවත්වලින් මේ මහා විශ්වයේම මිනිසුන් යදින්නේ නිදහස කියලයි මට හිතෙන්නේ. අන්තවාදී ආගම් සංස්කෘතීන් විසින් මානව නිදහස බැඳි යදම් ලා සිර කළත් නිදහසේ හුස්ම ගන්න ජීවිතයක් නොඉල්ලන පිරිමියෙකු හෝ ගැහැනියක මේ ලෝකයේ නොසිටින්න විදිහක් නෑ. කාන්තාරයේ කුසුම තුළින් ඇය කතා කරන්නෙත් ඇයට අවැසි ජීවිතය ගැන. ජීවිතය යදමින් බැඳ විලංගු ලෑ ආගමික හා සංස්කෘතික අන්තවාදයන් ගැන.

මට හිතෙන්නෙ ලස්සන ලෝකයක් වෙනුවෙන් ගැහැනුන් සහ පිරිමින් මේ ලෝකෙට අවශ්‍යයි. මේ ලෝකය නිර්මාණය වීම කියන්නේ ගැහැනු පිරිමි දෙපාර්ශ්වයේ මනා වූ සුසංයෝගයක්. ඒ නිසා වඩා උත්තරීතර වන්නේ ගැහැනියද පිරිමියාද කියන තර්කයක් ලෝකයේ පවතින්න මොනම හේතුවක්වත් තියෙන්න බැහැ. මේ ලෝකේ ජීවය පවතින්නේ ඒ ගැහැනිය සහ පිරිමියාගේ ශාරීරික සහ මානසික ඒකාත්මික වීම තුළයි. එහෙයින් තවදුරටත් පුරාණ වැඩවසම් බ්‍රාහ්මණ චින්තනයේ සේයාවන් ලෝකයේ කොතැනකවත් පවතින්න බැහැ.

ගැහැනිය කියන්නේ සුවඳවත් කුසුමකට විතරක් නෙමේ. ඇය අකම්පාව මහා විශ්වයක් ඉවසිලිවන්තව දරාගන්නා මහ පොළොවක් සේමැයි. ඒ සත්‍ය වෙනුවෙන් සැපයිය හැකි සංනිදර්ශන කොතෙකුත් මේ ලෝකය පවතිනවා.
සොබාදහම ගැහැනියකට පමණක් අනන්‍ය වේදනාවන් විඳින අවකාශයන් නිර්මාණය කරන්න ඇත්තෙත් ඒ නිසා කියලයි මට හිතෙන්නේ.

► සංජු