2022 ජනවාරි 01 වන සෙනසුරාදා

අකුරු වචන රළු නැති තැන් හරිම සුන්දරයි...

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 57

පරණ ලදරන් සී.ටී.බී. බස් කට්ටක... කොන්දොස්තර ඩ්‍රයිවර් එක්ක බස් එකටම තුන් දෙනයි... මහ වැස්ස.. කොල්ලුපිටියේ ඉන්නේ තාම... පට්ට ට්‍රුපික්... වැස්සට ඉස්සෙල්ලා ආපු බස් එකේ නැග්ගා... වෙන මොනවා කරන්නද...? පත්තර කන්තෝරුවෙන් එළියට බහිනකොට මහජන පුස්තකාලේ පැත්තේ අහස තද දම් පාටට තිබ්බේ... ටග්ගාලා මීටරයකට අතදාලා... කොල්ලුපිටියට දා ගත්තා. වැස්සට තත්ත්පර ගාණක් තියලා ආපු මේ අලුත්ගම බස් එකේ නැග්ගේ. දැන් ඉතින් ගෙදර යනකොට අට පහුවෙයි. මනෝ පාරක් ගහගෙන යනවා. ඔන්න විදුලිත් කොටනවා ලාවට... ආන් එක එකා බස් එකට නගින්න අරන්. මේ ලියන්න ගත්ත ඩිංගට... ඔන්න ඔහොමයි ජීවිතේ ඔන්න මං ආයේ ජංගමේ කෙටුම පටන් ගත්තා.

තාම ටිකට් එක ගත්තේ නෑ. කොන්දොස්තර පස්සට එන පාටක් නම් නෑ. මොහොතකට ඇස් වහ ගත්තොත් කිසිම මනුස්ස ප්‍රාණියකුගේ සද්දයක් නම් ඇහෙන්නේ නෑ. වැස්ස, බස්එකේ ගැස්ම, පාරේ වාහනවල සද්ද... ඇයි බස් එකට නැග්ගම මිනිස්සු ගොළු වෙන්නේ. ඇයි කවුරුත් කාත් එක්කවත් හිනාවෙන්නෙ නැත්තේ. කවුරුහරි කාත් එක්ක හරි කතා කළොත් ඒක හරි අමුතු විදිහට මිනිස්සු බලන්නේ. කවුරුහරි කතා කළාම බස් එකේදී ඒ මනුස්සයාගේ කතා මඟහරින්න තමයි අනික් අය උත්සාහ කරන්නේ.

ඇයි මේ ? මගේ හිත වෙන කොහේදෝ දුවන්න පටන් අරගෙන. මොහොතකට අල්ලලා නතර කරගත්තා. මට ඕනෑ මේ මොහොත විඳින්න. අද නම් නැකත හරි නෑ වගේ. හිත දුවනවා හතර අතේ. මමත් බස්වලදී මිනිස්සු කතා කරන්න උත්සාහ කළාම වචනයක් දෙකක් දාලා මඟහැරලා තියෙනවා... ඔන්න ඒ ගමන මහා වරදකාරී හැඟීමක් දලුදාන්න අරගෙන. ඇයි මේ? හිත නතර වෙන්නේ නැත්තේ. සමහරවිට එයාට කාත් එක්ක හරි කතා කරන්න ඕනෑවෙලා ඇති. ඒත් කාත් එක කතා කරන්නද ? බස් එකනම් දැන් ටිකක් පිරිලා. වැල්ලවත්ත පහුවෙනවා. කෝ මේ කොන්දොස්තර අද ටිකට් ගන්නේ නැද්ද? හැල හොල්මනක් නෑ. ඒ මනුස්සයා මේ රෝද තියෙන නිහඬ මන්දිරයේ ඉස්සරා පියගැට පෙළ ළඟ.

යුරේකා යුරේකා සොයා ගැනීමක් කරලා...  වෙන කවුද ඉතින් මගේ හිතම තමා. දන්නවාද? හැමදාම හැමෝම බස් එකේදී කටින් ගොලුවුණාට හිතෙන් කතා කරනවා. හිතින් කතාකරන වචන අකුරු වුණොත් ගෙදර යද්දී පොඩි පුස්තකාලයකට හරි යන්න අකුරු වචන තියෙයි. සිතුවිලි මිලියන බිලියන ගාණක් මේ බස් එකේ වාඩිවෙලා ඉන්න හැමෝගෙම ඇතුළේ මේ වගේ කතා කරනවා. හිත දුවන්නෙම එකම පැත්තකට. බෑ බෑ මම පොඩ්ඩක් නතර වෙනවා. හ්ම්ම්... වහලා තියන වීදුරු කවුළුවේ බේරෙන වතුර බින්දු අතරින් එළිය බලන් ඉන්නවා.

විරාමයක්... !

''මහත්තයා ටිකට් ගන්න කොහෙන්ද නැග්ගෙ...''

''කොල්ලුපිටියෙන් නැග්ගේ'' දෙහිවල ගල්කිස්සේ ගාළුපාරේ වැස්සට බොඳවුණ ලයිට් අතරින් මම පියවි සිහිහට ආවා. කොන්දොස්තර ළඟට එනකම් දැක්කේ නෑ ඇහුනේත් නෑ. පොඩි නිදිමත ගතියකුත් අල්ලලා. අහා... මම ගමනාන්තය කියලා ටිකට් ගත්තා. කවුළුව අද්දර මැරුණු ඉපදුනු සිතුවිලි ගැන නොලියා ඉමු. ම්ම්ම්... මම මේ ජංගමයට කොටන්න ගත්තා ආයේ. සීටීබී කොන්දොස්තරලා හරි හොඳයි නේද? මේ ලදරන් සීටීබියේ කොන්දොස්තර මැදිවියටත් සමුදුන්න කෙනෙක්. කෝ හරියට මූණ බලාගන්න බැරි වුණානේ මේ මනුස්සයගේ.

ආ...ආ... මේ ඒ කොන්දොස්තරද හිත දිව්වේ පරණ මතකයක් ළඟට. නොස්ටැජියානුවෙක් අවදිවෙලා. ඇඟිලි තුඩු හනිකට ගියා ඒ මතක හොයාගෙන ජංගමේ පතුලය. කවියක් ම්ම්ම්... නෑ නෑ ඒක කතාවක්. ආ ම්ම්... හ්ම්... මේ හම්බ වුණා. කියවන්නද එහෙනම් අහගෙන ඉන්න.

සෙනඟ අතර හිටගෙන
තුනේ දෙකේ ෂිට් අතර
කොන්දා: කෝ දැන් නැග්ග කට්ටිය සල්ලි ගන්න...
කියා කියා...
දෙපසට විසිකර බොහෝ දන
ආවේය මා ඉදිරියට
කොන්දා: කෝ ඔය මහත්තයා සල්ලි ගන්න...
ඇද පසුම්බියෙන් රු.100ක්
තැබුවෙමි මා ඔහු අත...
කොන්දා: කොහෙටද?
මම ගමේ නම බහින්න තැන කීවෙමි
කොන්දා: මාරු නැද්ද 65ක්...
නෑ මාරු අත...
අරන් මගේ 100ය
නොදී ටිකට් මට
ඔහු කඩයි ටිකට් අනික් උන්ට...
සිතුවිලි ඇදුණි මා මන
නොදිවී ඉතුරු මූ නම් අයේ මට
මතක් කරලා ඉල්ලන්න ඕනෑ
තව ටිකක් දුර යද්දී
බහින්නට ළං වෙද්දී...
රතුපාට බස් දුර යනකොට
කොහොමත් පියාඹයි
පූරුවේ පිනක්
ලැබුණි මට අසුනක්
තිබුණි ළඟ ජනේලයක්
නින්ද උඹ ආවේ කොහෙන්ද
සුළං සැප බැන්ද
මම කිරයි ඔන්න
කන ළඟ මොකෙද්ද කෑ ගහන්නේ
බැලුවා වටපිට ආහා බස් එකේ...
කොන්දා: රු. 5ක් නැද්ද....
අනේ මට අමතකයි ඔන්න
ආ..ආ...ආ... මතක් වුණා ඔන්න
65 ඉතුරු....
''ඉන්න බලන්න... ම්ම්.. මාරු නෑ...''
කොන්දා: හා කමක් නෑ ඉන්න මෙන්න මහත්තයා ඉතුරු
මූ අනික් උන්ට වඩා වෙනස්
හිතුණා මට...
බැලුවා මං ඔහු දෙස...
ළඟයි පැන්ෂන් යන්න
හිසකෙස් නම් වෙලා සුදුම සුදු...
ම්ම්.. හොඳ කොන්දොස්තර අන්කල් කෙනෙක්
ඔන්න ඔහොමත් හිතුණි මට...
ළං වෙද්දී බහින්න....
නැග්ග පංති ගිහින් ගෙදර යන ළමෝ බසයට
සිහිවුණා අතීතය...
ආවා කොන්දොස්තර අන්කල්...
ඉස්සරහා හිටපු චුටි ගෑනු ළමයාගෙන් ඔහු...
''ඔය පුතා කොහෙටද...''
ඒ ස්වර මගේ හදපුරා නැගුණි
පියෙකුගේ ආදරණීය හඬ මිස එය නොවේ අනෙකක්...
මා නැවතුමෙන් බැස ආවෙමි...
ගැහැනු පිරිමි සියලු දරුවෝ...
ඔහුට පුතාලය...
ඔය පුතා....
ඔය පුතා...
ඔය පුතා...
කියා ටිකට් දුන් සැටි තවම ඇසේ මට
කොන්දොස්තර තාත්තා...

ම්ම්ම්... අදට ඇති නවතිනවා. තව පැයක්වත් යයි. වැස්ස නිසා බස් එක හිමීට යන්නේ.

♦ නිසල්