2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

සිගරට් දුම වැදි වැදී එළිවෙනකම් රාත්‍රී සමාජ ශාලාවල වයලීනය ගැහුවා

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:02 163

රුපියල් සියයකින් ගමන පටන්ගෙන සම්මාන විසි එකක් දිනූ ගමන් මඟක මතක දිගහැරුම

මට දැනෙන්නේ දිනේෂ් වයලීනය වයන සෙයක් නොවෙයි. ආත්මීය ප්‍රේමයකින් වයලීනයේ තත් ළයාන්විතව සිපගන්න සෙයක්. කොහොමද ඒ තරම් ඉසියුම් ලෙසින් ස්වර අතර සැරිසරමින් නාද මුහු කරන්නේ... රස මවන්නේ.. එහෙම හිතුණේ මට විතරක් නොවෙන බව මම දන්නවා...

සිහින තිබෙන්නේ දකින්න. ඒ වගේම හැබෑ කරගන්න. සැබෑ ලෝකය තුළ අප වෙත ළඟා කරගත හැකි මෙන්ම නොහැකි දේ පිළිබඳවත් අප සිහින දකිනවා. සිහින සැබෑ වී විඳින සතුටත් සැබෑ නොවීම නිසා විඳින වේදනාවත් දරාගෙන ඉදිරියට යාම තමයි ජීවිතය කියන්නේ. බොහෝ විට කුඩා සන්දියේ පටන් අප දකින විවිධ සිහින සැබෑ කර ගැනීමට කිසිදු උත්සාහයක් නොදරාම අත්හැර දමන අවස්ථාද නැතුවා නොවේ. තවත් විටෙක අපේ සිහින පසෙක ලා තවත් කෙනකුගේ සිහින සැබෑ කරන්නට යාම තුළත් අපට අප අහිමි වීමට තිබෙන අවස්ථා වැඩියි. දරුවකු කුඩා කාලයේදී දෙමව්පියන් ඔවුන් යා යුතු මඟ තීරණය කරන්නට යාමේදීත් ඇතිවන්නේ මෙවන් තත්ත්වයක්. එහෙත් එය බොහෝ විට සාපේක්ෂ තත්ත්වයක්. අප රට තුළදී බොහෝ මව්පියන් උත්සාහ කරන්නේ දරුවන් වෛද්‍යවරයකු, ඉංජිනේරුවකු කරන්නටයි. සංගීතයෙන්, නර්තනයෙන්, චිත්‍ර කලාවෙන් සාහිත්‍ය අංශයෙන් දරුවන් ඉදිරියට යවන්නට දෙමව්පියන් තුළ කැමැත්ත දැකිය හැක්කේ ඉතා අඩුවෙන්.

''ඔව්, අපේ ගෙදරිනුත් මම සංගීතය පැත්තට යොමුවනවාට කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. යුද්ධයක් පැවැති රටක සංගීතඥයකුගේ පැවැත්ම පිළිබඳ ඔවුන්ට තිබුණේ බයක්. විශේෂයෙන්ම මීගමුව මාරිස්ටෙලා හා කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේදී කථිකත්වයට දක්ෂතා තිබූ මාව නීති වෘත්තියට යොමු කරන්නයි මගේ අම්මාට ඕන වුණේ. ඒත් මාව මේ ලෝකයට එවලා තියෙන්නේ සංගීතඥයකු ලෙස කලාවට සුන්දර සංගීත කෘති නිර්මාණය කරන්න කියලා සාමාන්‍ය පෙළ පන්තියේ ප්‍රායෝගික පරීක්ෂණයට සර්පිනාව පුහුණු වෙද්දී මම අවබෝධ කර ගත්තා.''

මෙහෙම අද අපේ කතාබහට එක්වන්නේ ප්‍රවීණ සංගීතවේදී දිනේෂ් සුබසිංහ.

දිනේෂ්ගේ ආදරණීය පියා ඇන්ටන් සුබසිංහ නාවික හමුදා වාදක කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළා. ඒ වගේම ඔහුගේ ඥාති සොහොයුරන් වන ජය ශ්‍රී රෝහිත සහ රොහාන් ඒ වනවිටත් සංගීත කලාවට යොමුව සිටීම තුළ ඔහුගේ පවුලේ සංගීතමය වටපිටාවක් තිබුණා. සංගීත භාණ්ඩ ඔහුගේ ඇස ගැටුණා. ඒත් දිනේෂ් පාසලේදී හැදෑරුවේ චිත්‍ර. 

''චිත්‍ර සර් ටිකක් සැරයි. ඒ වගේම හොඳ සංයමයකින් චිත්‍ර අඳින්න වීම මට පොඩි කරදරයක් වගෙයි දැනුණේ. ඔහොම ටිකක් වේදනාවෙන් ඉන්නකොට මගේ සංගීතය කරන යාළුවෝ මට අපූරු අදහසක් දුන්නා සංගීතයට ඉන්නෙ ලස්සන මිස් කෙනෙක්. ස්වර ටිකක් පාඩම් කරන්න තියෙන්නේ කියලා. ඉතින් මම සංගීතයට ගියා. එතැනින් තමයි මම කවදා හරි වෘත්තීය සංගීතඥයෙක් වෙනවා කියලා හිතා ගත්තේ. මම මීගමුව මාරිස්ටෙලා සහ කොළඹ ශාන්ත පීතර විද්‍යාලවලින් තමයි අධ්‍යාපනය ලැබුවේ. පාසලේදී මම දක්ෂ කථිකයෙක්. ඉතින් මේ නිසාම මගේ අම්මාට ඕන වුණේ මම නීතිය හදාරණවා දකින්න. ඒත් මම තේරුම් අරන් තිබුණා මට සංගීතය පැත්තෙන් යමක් කරන්න පුළුවන් කියලා. 

 සංගීතකාරයෙකුට දුවව දෙන්න බෑ කියද්දී මම හදවතින්ම කඩා වැටුණා 

වසර දෙදාහේදී විතර උසස් පෙළින් පස්සේ මම හෝටල්, රාත්‍රී සමාජ ශාලාවල කැලිප්සෝ වාදකයෙක් විදියට වැඩ කරන්න ගත්තා. ඒ වෙද්දී මම ශක්ති සංගීත කණ්ඩායමේ පුහුණුවීම් දැකලා ආනන්ද පෙරේරා, ඇන්තනි සුරේන්ද්‍ර වාගේ ප්‍රවීණයින් යටතේ පුහුණු වුණා. සිගරට් දුම් වැදි වැදී එළිවෙනකල් රාත්‍රී සමාජ ශාලාවල ගිටාරය, වයලීනය, මැන්ඩලීනය, බටනලාව වාදනය කළා. හැබැයි කොච්චර මහන්සි වුණත් පහුවදා උදේට ආයේ පන්තිවලට සහභාගි වුණා. පාසලේදී කළ යොමු කිරීමත් එක්ක වික්ටර් පෙරේරා මහතාගෙන් මම සංගීතය හැදෑරුවා. එතුමාගේ අවසන් ගෝලයා තමයි මම. මුලින්ම හොටෙල් එකක ''ප්ලේ'' කරලා මට ලැබුණ ගණන කීයද දන්නවාද? සමහර අය මාව හඳුන්වලා තිබුණේ පිස්සෙක් විදියට. මගේ ප්‍රථම ප්‍රේමය මට අහිමි වුණොත් සංගීතය නිසා'' ඔහු අතීතය සිහිපත් කළේ එලෙසය.

 කේමදාස මාස්ටර්ට කතා කරලා මාස්ටර් මමත් එන්නද කියලා මම ඇහුවා.. මාස්ටර් මට හා කීවා 

''එතකොට මගෙ වයස 21යි. ඒ දවස්වල බෝලවලාන දේවස්ථානයේ පාස්කු නාට්‍යයක සංගීත වැඩකටයුතු කරන අතරේ මගේ පළමු පෙම්වතිය හමුවෙලා අපි ආදරය කරන්න අරන්. එයාලා එහෙ ධනවත් පවුලක්. ඇයගේ පියාව හමුවුණාම ඔහු මට කිව්වා සංගීතකාරයකුට අපිට දුවව දෙන්න බැහැ. ස්ථීර රැකියාවක් සොයාගෙන ඇවිත් යෝජනාව ඉදිරිපත් කරන්න කියලා. මම විශාල කඩා වැටීමකට ලක්වුණා. මොකද මම ඒ වෙද්දී සංගීතයම තෝරාගෙන ඉවරයි. මම ගොඩක් හිත් වේදනාවෙන් ඉන්නකොට ''කුරුසිය මත මියැදුණෙමි'' කියන නාට්‍ය අධ්‍යක්ෂ පීටර් වෙළඹගේ මට අපූරු උපදෙසක් දුන්නා. දිනේෂ් ඔයා දැන්ම මේවට යන්න එපා. ඔයා කලාව තෝරගෙන ඉවරයි. ඒකෙන් ඔයා ඉස්සරහට යන්න. පෙම්වතිය මත්තේ හඬා වැළපිලා ඔයාගේ ජීවිතය වගේ වටිනා සංගීතය අත්හරින්න එපා. කවදා හරි ඔයාට මේ තීරණය ගැන සතුටු වෙන දවසක් එයි කියලා. මගේ පළමු පෙම්වතියත් දෙමව්පිය මතයට ගරු කරලා මාව අතහැරියා. මම ආදරයේ පරාජය දරාගෙන ඉදිරියටම ආවා.''

සැබෑය. රුපියල් සියයක ගෙවීමකින් ඇරඹි සංගීත ගමනේ අද ඔහු ලංකාවේ වැඩිම අයකිරීමක් ලබන සංගීතඥයෙකි. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රධාන පෙළේ සම්මාන විසි එකක් දිනූ විශිෂ්ඨයෙකි.

දිනේෂ් අද ඔබ සිටින තැන සිට ආපසු හැරී බලන විට මොකද හිතෙන්නේ?

''සතුටක්, ආඩම්බරයක් දැනෙනවා. අනික තමයි, අවස්ථා අපිට ලැබෙනකම් අපි බලා සිටිය යුතු නැහැ. අප ඒවා සොයා යා යුතුයි. මම කිව්වනෙ මම ''නයිට් ක්ලබ්වල ප්ලේ'' කළා කියලා. එළිවෙනකම් පුදුම කට්ටක් කාගෙන තමයි වැඩ කළේ. මෙතනද මගේ උරුමය කියලා මම හැමදාම හිතුවා. හැබැයි මහන්සියි කියලා පුහුණුවීම්, පන්ති මඟහැරියේ නැහැ. එහෙම තැනකදී තමයි ස්ටැන්ලි පීරිස් කියන මහා දැවැන්ත මිනිසා මට හමුවන්නේ. ප්‍රධාන පෙළේ වාදකයින් සමඟ පුහුණුවීම්වලට මම සහභාගි වුණේ ඔහු නිසා. ඔහොම ඉද්දි තමයි මට කේමදාස මාස්ටර්ව හමුවන්නේත්. මමමයි එතුමාට කතා කරලා මාස්ටර් මමත් එන්නද කියලා ඇහුවේ. එතුමා යටතේ හිටිය බොහෝ අය මේ වෙද්දි මාව දන්නවා. ඔවුනුත් එතුමාට මාව නිර්දේශ කරලා තිබුණා.  මාස්ටර් මට කිව්වේ දිනේෂ් දිගටම පුහුණුවීම් කරන්න කියලා. දිගටම ඉගෙන ගන්න කියලා.

2003 දී මම චන්ද්‍රරත්න මාපිටිගමගේ ''හුම්මානේ'' ටෙලිනාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කළා. ප්‍රවීණ රංගන ශිල්පි ක්ලීටස් මෙන්ඩිස් මහතා මගේ අසල්වැසියෙක්. ඔහු ''හුම්මානේ'' ටෙලි නාට්‍යයේ සංගීතය ඇතුළත් සංයුක්ත තැටියක් සුනිල් කොස්තා මහතාට ලබාදීලා තිබුණා. ඉන්පසු සුනිල් මහත්මයාගේ පින්සර දොස්තර, සිරි සිරිමල් වගේ නාට්‍යවල සංගීත අධ්‍යක්ෂණය කළා. මේ වෙද්දී ටෙලිනාට්‍ය 95ක් සහ චිත්‍රපට 17ක සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙනවා.''

මේ දවස්වල මොකද කරන්නේ කියලත් අහන්න මම අමතක කළේ නෑ.

''මා සංගීත අධ්‍යක්ෂණය කළ ගුත්තිල චිත්‍රපටය ඉදිරියේදී තිරගත වෙන්න නියමිතයි. තව මම වසර 16ක් තිස්සේ කරන පර් යේෂණ කෘතිය මේ දවස්වල සකස් කරනවා. ඒක තමයි ''තත් වාද්‍ය භාණ්ඩ ඉතිහාසය'' අතීතයේ සිට මේ දක්වා මුළු ලෝකය පුරාම දියුණු වෙමින් එන වීණාව, වයලීනය, ගිටාරය වැනි වාද්‍ය භාණ්ඩ පිළිබඳව අපූරු කෘතියක් වේවි එය.'' ඔහු පැවසුවේ ආඩම්බරයෙන්.

මෑතකදී විවාහ ජීවිතයට ඇතුළත් වූ දිනේෂ්, දුලානි දෙදෙනාට සුබපැතුම් එක් කරන්නත් අපි මේක අවස්ථාවක් කර ගතිමු. සොබාදහමට ආදරය කරන ගෞරව කරන දිනේෂ්ට රටේ හෙට දවස වෙනුවෙන් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ සංගීතය ඉගෙන ගන්න විදේශයට යා නොහැකි දරුවන් වෙනුවෙන් ශාන්ති නිකේතනය වැනි අධ්‍යාපනික ආයතනයක් ආරම්භ කරන්න. සුදුසුකම් ලත් විදේශ ගුරුවරුන් පවා සම්බන්ධ කරගනිමින් සිදු කරන්නට යන මේ සද්කාර්යය වෙනුවෙන් ඔබටත් සද්භාවයෙන් එක්වන්නට ඔහු ආරාධනා කරනවා. සංගීතයට ආදරය කරන සංගීතඥයකු ලෙස ආ මේ මඟ තුළ ඔහු කිසිදා වෙළඳ දැන්වීම් වෙනුවෙන් පෙනී ඉඳලා නැහැ. ආරාධනා ලැබුණද තම ප්‍රතිපත්ති නොකඩා ඒ වෙනුවෙන් සම්බන්ධ නොවී සිටිය බවයි ඔහු පවසන්නේ.

ඉතින් දිනේෂ් හදසර වෙනුවෙන් ඔබේ හදේ ස්වරය අලුත් කළාට බෙහෙවින් ස්තූතියි. තමා හඳුනාගෙන තමා අවබෝධ කරගෙන නොසැලෙන විශ්වාසයෙන් ඉදිරියට යන ගමනක සාර්ථක ගමනාන්තයක් සටහන්ව ඇති මඟ ඔබේ කතාව ලොවට කියාදෙනවා. සිහින දකින්න. එමෙන්ම ඒවා හැබෑ කරගන්න කැපවෙන්න. ජීවිතය ඔබට සිනාවක් තිළිණ කරනු නොඅනුමානයි.

 මොනිකා සේරසිංහ