2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

කවුරු එපා කීවත් මම දිව්වෙම හීන පස්සේ

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 249

- ත්‍රිකලා ධරණි

ජීවිතේ පටන් ගත්තේ පුංචි පවුලකින්. ඒ පවුලේ විස්තර ටිකක් එක්ක මේ කතාබහ පටන්ගමු?
මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි අක්කයි මල්ලියි. මගේ අක්කා දැන් නීතිඥවරියක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරනවා. මගේ අම්මා තාත්තා සංගීත ගුරුවරුන්. පවුලේ මැද දරුවා වුණත් මට හැමෝම පවුලේ බාලයා විදිහට සැලකුවා. අක්කටයි මල්ලිටයි වඩා පුංචි කාලේ ඉඳන් මට වෙනස් දේවල් ඕන කළා. ඒ ඇයි කියන්න දන්නෙ නැහැ. අම්මා ගෙදර හදන බත අක්කයි මල්ලියි කෑවත් අම්මා මට එළියෙන් ෆ්‍රයිඩ් රයිස් ගෙනත් දුන්නා. චූටි කාලේ අම්මගේ මේක්අප් බඩු අරගෙන මේක්අප් කළා. පුංචි කාලේ ඉඳන් ලස්සනට අඳින්න, ලස්සන විලාසිතා කරන්න මම ආසා කළා. අම්මයි තාත්තයි දෙන්නම අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ ගුරුවරුන්. ඒ නිසා මම පුංචි කාලේ ඉඳන්ම සංගීතයටත් නර්තනයටත් නැඹුරු වුණා.

අක්කා මල්ලි එක්ක ත්‍රිකලාගේ ළමා කාලයේ මතකයන් කොහොමද?
ඒ මතකයන් හරි සුන්දරයි. මගේ ගම හොරණ. අපි තුන්දෙනා අතර වයස පරතරය පවා ටිකක් ළඟයි. ඒ නිසා අපි තුන්දෙනා යාළුවෝ වගේ සෙල්ලම් කළා. ගෙදර අපි හැමෝටම සංගීත භාණ්ඩ වාදනය කරන්න පුළුවන්. ඉතින් ඒ කාලේ විදුලිය කැපුවාම අපි පස්දෙනාම සාලෙට වෙලා වාදන භාණ්ඩ වාදනය කරමින් සිංදු කිව්වා. ඒ කාලේ හරි සුන්දරයි.

පුංචි කාලේ ඉඳන් සංගීතයට නැඹුරැ වුණු ත්‍රිකලා මේ වෙද්දි සංගීත විශාරදවරියක්?
ඔව්.. මගේ අම්මයි තාත්තයි දෙන්නම විශාරද උපාධිධාරීන්. මම අම්මගේ කුසේ ඉඳිද්දිත් ඇහුණේ ඒ සංගීතයයි. ඒ නිසා වෙන්නත් ඇති පුංචි කාලේ ඉඳන් අපි සංගීතයට නැඹුරැ වුණා. මම එකොළහ වසර ඉගෙන ගනිද්දිම සංගීත අංශයෙන් විශාරදවරියක් විදිහට උපාධිය සම්පූර්ණ කළා. මට තාම මතකයි පාසලේ හතර පන්තියේ ඉගෙන ගනිද්දි තාත්තේ මට විශාරද උපාධිය ගන්න ඕනෙ කියලා කිව්වා. එතැන් සිට මට විශාරදවරියක් වෙන්න ඕනෙ කියලා ආසාවක් ඇතිවුණා.

ත්‍රිකලා පාසල් අධ්‍යාපනය ලැබුවේ කොහේද?
මම පාසල් අධ්‍යාපනය ලැබුවේ හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයෙයි. ලංකාවේ තියෙන ප්‍රධාන පෙළේ පාසල් දහය අතරට අපේ පාසලත් තේරැණා. තක්ෂිලාවෙන් ඉගෙන ගැනීම ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා. කලාවට නැඹුරැ පාසලක්. %තක්ෂිලාව^ ඇත්තටම තක්ෂිලාවක්. පාසලේදි පුදුම විදිහට අධ්‍යාපනයට නැඹුරැ වුණා. ක්‍රීඩාවට සම්බන්ධ නොවුණත් පාසලේ කලා කටයුතුවලට සම්බන්ධ වුණා. හැමදාම පන්තියේ පළවෙනියා වෙන්න උත්සාහ කළා. සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ දහයක් එක්ක මම උසස් ලෙස සමත් වුණා. කොළඹ ජනප්‍රිය බාලිකා පාසල්වලට යන්න අවස්ථාව තිබුණත් මම තක්ෂිලාව දාලා ගියේ නැහැ. මම කවදාවත් මගේ පාසලෙන් එළියට යන්න හිතුවෙම නැහැ. වෛද්‍යවරියක් වෙන්න හිතාගෙන උසස් පෙළට ජීව විද්‍යා අංශයෙන් මම ඉගෙන ගත්තා. පුංචි කාලේ වෛද්‍යවරියක් වෙන්න වගේම ගුවන්යානාවලටත් මම පුදුම විදිහට ආසා කළා. ඒ දෙක අතරේ කාලයක් මම දෝලනය වුණා. හැබැයි මම රජයේ පාසලක අධ්‍යාපනය ලැබුව නිසා ගුවන්යානා සම්බන්ධ ක්ෂේත්‍රයකට අඩිය තියන්න බැරි බව තේරැණා. මම ගුවන් නියමුවෙක් වෙන්න ආසා කළේ නැහැ. ප්ලේන් හදන්න, අලුත්වැඩියා කරන්න, ඇණ තද කරන්න ඉගෙන ගන්න, ගුවන්යානා එන්ජිම වැඩ කරන්නේ කොහොමද, ඒක උඩ තියාගන්නේ කොහොමද කියන ගැටලු පුංචි කාලේ මගේ හිතේ තිබුණා.

ගුවන්යානාවල පින්තූර එහෙමත් ත්‍රිකලා එකතු කළාද?
අම්මෝ ඔව්.. එකතු කළා. පුංචි කාලේ මම ගුවන්යානාවලටයි වාහනවලටයි පුදුම ආසයි. මම වාහන පිස්සෙක්. අම්මා වුණත් &ඔයා ගෑනු ළමයෙක් නේද? ඇයි මෙහෙම හැසිරෙන්නේ?* කියලයි කිව්වේ. මගේ කාමරේ බිත්ති පුරාම තිබුණේ වාහනවල පින්තූරයි. පුංචි කාලේ මම හීනත් එක්කමයි ජීවත් වුණේ. ඔයා ඉන්න ඔය ෆැන්ටසියෙන් මිදිලා පොළොවේ පය ගහලා ජීවත් වෙන්න* කියලත් අපේ තාත්තා ඒ කාලේ කියලා තියෙනවා. මම ගොඩක් සල්ලි තිබුණු පවුලක කෙනෙක් නෙමෙයි. අධ්‍යාපනයට නැඹුරැ වුණු පවුලක කෙනෙක්. උසස් පෙළ විභාගයෙන් මම ඉහළින්ම සමත් වුණත් ජීව විද්‍යා අංශයෙන් වෛද්‍ය විද්‍යාලයට යන්න පොඩි දශම ගාණක් අඩු වුණා. ඒ නිසා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තමයි මාව තේරැණේ. මාත් එක්ක එකට ඉගෙන ගත්තු යාළුවන් ඔක්කොම වෛද්‍ය විද්‍යාලයට තේරුණා. ඒ නිසා මම පොඩ්ඩක් පසුතැවුණා. හැබැයි මම ඉතා කෙටි කාලෙකින් ආයෙත් නැගිට්ටා.

ත්‍රිකලා.. අමතර පන්තිවලින් තමන්ගේ වියදම හොයාගත්තා නේද?
ඔව්.. මම සාමාන්‍ය පෙළ අවසන් කරලා ගෙදර ඉන්න කාලෙදි මට වඩා පහළ පන්තියේ ඉන්න නංගිලා මල්ලිලාට ඉගැන්වුවා. ඒකට ඒ දෙමව්පියෝ මට වටිනාකමක් ගෙව්වා. උසස් පෙළ ශිෂ්‍යාවක් විදිහට මම මාසයට පනස් දාහක් හොයපු කාලයක් තිබුණා. සාමාන්‍ය පෙළ අවසන් කරලා මගේ යාළුවෝ පරිගණක පන්ති, කුකරි පන්තිවලට යද්දි මම අමතර පන්ති කරලා මුදල් ගෙව්වා. අපේ ගෙදර පන්ති පවත්වන ආයතනයක් තාත්තා කරගෙන ගියා. ඒකෙ එක පන්තියක මමත් ඉගැන්වුවා. මම සාමාන්‍ය පෙළ විභාගය අවසන් කරලා මගේ මුල්ම ජංගම දුරකතනය ගත්තා. ඒ කාලේ ෆෝන් කියන්නේ මැජික් වගේ. ඒක ගන්නවත් මම දෙමව්පියන්ගෙන් සල්ලි ඉල්ලුවේ නැහැ. උසස් පෙළ කරද්දි මම මට අවශ්‍ය කරන සියලු දේවල් අරගෙනයි තිබුණේ. ඒ කාලේ අපේ ගෙදර හින්දි ෆිල්ම් එකක් බලන්නවත් බැහැ. ඒ හැමදේම තහනම්. අපේ තාත්තා හරි සැරයි. උසස් පෙළ කරන කාලෙදි මම නුගේගොඩ අමතර පන්තියකට ගියා. හැමදාම තාත්තා වාහනයෙන් ගෙනත් බැස්සුවා. තාත්තා අකමැති වුණත් මම එද්දි මගේ සල්ලිවලින් වාහනයට තෙල් පවා ගැහුවා. ඒ හැමදේම මම කළේ හරිම ආසාවෙන්.

තමන්ගේ මහන්සියෙන් හොයාගත්තු සල්ලිවලින් රෝස පාට Range Rover රථයක් ගන්න හීන දැක්කේ කොයි කාලෙදිද?
රෝස පාට වාහනයේ හීනය පුංචි කාලේ ඉඳන්ම තිබුණු හීනයක්. මගේ අම්මා මගේ උපන් දිනයට තෑග්ගක් දුන්නත් වාහනවල පින්තූර කොළවලින් හැඩ කරලයි ඒ තෑගි දුන්නේ. එක උපන් දිනයකට අම්මා තෑග්ගක් එක්ක දීපු උපන් දින සුබ පැතුම් පතේ රෝස පාට ජීප් එකක පින්තූරයක් තිබුණා. මම ඒක පෙනෙන තැනක බිත්තියේ අලවා ගත්තා. අම්මා.. මේ රෝස පාට ජීප් එක ගන්න මට සල්ලි හොයන්න ඕනෙ* කියලයි මම අම්මට හැමවෙලේම කිව්වේ. හැබැයි මට හොඳට ඉගෙන ගන්න ඕන වුණා. ඒ නිසා මම මොන හීනය දැක්කත් වැරදි දෙයක් නොකර සල්ලි හොයන බවට විශ්වාසයක් අම්මටයි තාත්තටයි තිබුණා. පුංචි කාලෙදි අම්මට තාත්තට මම බරක් වුණේ නැහැ.

පුංචි කාලේ ගුවන්යානයක තිබුණු හීනය හෑබකර ගත්තේ කොහොමද?
වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙන්න පුංචි ලකුණු සංඛ්‍යාවක් මදි වෙද්දි මට ගුවන්යානා සම්බන්ධ ඉගෙන ගන්න ඕන වුණා. අම්මා.. මට ගුවන්යානා සම්බන්ධව ඉගෙන ගන්න ඕනෙ* කියද්දි මගේ අම්මා පුදුම වුණා. ඇත්තම කිව්වොත් ඒ සම්බන්ධයෙන් ඉගෙන ගන්න අවශ්‍ය මුදල් මගේ තාත්තයි අම්මයි මට හොයලා දුන්නා. ඒක විශාල මුදලක්. මම පෞද්ගලික ආයතනයකට සම්බන්ධවෙලා ඒ සම්බන්ධයෙන් ඉගෙන ගත්තා. ඒකෙ ඉගෙන ගන්න ගැහැනු ළමයෙක්ට මම විතරයි හිටියේ. ඒකෙදි වැඩ කරන්න මජන් ඇඳුම් ඇඳගත්තා. නට්, ඇණ කරකවමින් මම ගුවන්යානාවල එන්ජිම ගැලෙව්වා. ඒවා හැදුවා. ආසාවෙන් හිටියට ඒක ඒ තරම් අමාරැ වෙයි කියලා මම දැනගෙන හිටියේ නැහැ. අපිට ලොකු පොත් පාඩම් කරන්න තිබුණා.

අතරමඟ නතර කරන්න හිතුණු දවස් තිබුණාද?
එහෙම ඉගෙන ගන්න එක නතර කන්න හිතුණු වාර අනන්තයි. කන්න ගියත්, විභාගයකට ගියත්, වැඩ කළත්, කැන්ටිමට ගියත් මට පිරිමි ළමයි ගොඩේ ඉන්න වුණේ තනියමයි. ඒ තනිකම මහන්සිය සියල්ලම මගේ හීනයට යට වුණා. මට හීනය හැබෑකර ගන්න ඕන වුණා. ඒ නිසා කඩා වැටිච්ච හැම මොහොතකම මම ඒ හීනයට ළඟා වුණා.

පුංචි කාලේ හෑබකර ගන්න හීන පහක් දැකපු ත්‍රිකලා අද වෙද්දි ඒ හීන පහම හැබෑ කරගෙන අවසානයි?
ඔව්.. පුංචි කාලේ මම හීන පහක් දැක්කා. මම ඔටුන්නක් දරාගත්ත රූප රාජිනියක් වෙන්න හීන දැක්කා. කොණ්ඩය බැඳලා ඔසරිය ඇඳලා ගුවන් සේවිකාවක් විදිහට රටින් රට යන්න ආසා කළා. මගේම මුදලින් රෝස පාට Range Rover රථයක් මිලදී ගන්න ආසා කළා. අනිත් හීන දෙක මගේ පෞද්ගලික ජීවිතේ හීන දෙකක්. මේ වෙද්දි ඒ හීන පහම මම හැබෑ කරගෙන අවසානයි. මම මේ ලෝකය දකින්න, ලෝකය විඳින්න ආසා කළා. සල්ලි තියෙන මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? ආසා දේවල් ළඟාකර ගන්නේ කොහොමද කියන කුතුහලය තිබුණා.

ගුවන්යානා සම්බන්ධව ඉගෙන ගත්තු ත්‍රිකලා ගුවන් සේවිකාවක් වුණේ කොහොමද?
මම ගුවන්යානා සම්බන්ධ උපාධිය අවසන් කරලා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පුහුණු කාලසීමාවකට ඇතුළත් වුණා. දවසක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කැන්ටිමේ මම තනියම කෑම ගනිද්දි ගුවන් සේවිකාවන් පිරිසක් මගේ ළඟින් ඉඳගෙන කෑම කෑවා. මමත් මජන් ඇඳුම් ඇඳගෙන කෑම කෑවා. මෙයාලව දැකලා මට ලෝබ හිතුණා. මගේ හීනය මට මතක් වුණා. ඒ නිසාම &ඔයාලගේ Vacancy නැද්ද?* කියලා මම නිකමට ඇහුවා. එදා මගේ වෙලාවට පහුවදා ඉන්ටවිව් එකක් තිබුණා. ඒ නිසා පහුවදාම මම මජන් ඇඳුම් ගලවලා ඔසරිය ඇඳගෙන ගුවන් සේවිකාවක් වීමේ සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වුණා. ඒකෙන් සමත්වෙලා ගුවන් සේවිකාවක් විදිහට මගේ හීනය හැබෑකර ගත්තා. ඒ සම්බන්ධව මම ඉගෙන ගත්තා. මම වැඩි කාලයක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවය කළේ නැහැ. මම ඩුබායි, සාජාවල ගුවන් සේවිකාවක් විදිහට ගුවන් සමාගමක සේවයට එකතු වුණා.

දැකපු හීනවලින් ඔටුනු පළන් රූප රාජිනියක් වීමේ හීනය හැබෑ වුණේ කොහොමද?
මගේ තාත්තා කවදාවත් මම රූප රාජිනියක් වෙනවට කැමති වුණේ නැහැ. ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න ඇතැමුන් ගැන බලද්දි ඒ අකමැති වීම සාධාරණයි. ඔයාට කවදාවත් Miss Sri Lanka වෙන්න බැහැ. ඔයාට ඕන නම් Mrs Sri Lanka වෙන්න* කියලයි තාත්තා කිව්වේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉඳිද්දි මට මගේ ආදරණීය සැමියා මුණගැහුණා. එයා ගුවන් නියමුවෙක්. එයාගේ නම ඉනෝක පෙරේරා. අපි දෙන්නගේ අදහස් හොඳටම ගැලපුණා. ඒ වෙද්දිත් එයත් ඩුබායිවල ගුවන් සමාගමට ඉල්ලුම්පතක් ඉදිරිපත් කරලයි තිබුණේ. මමත් ඉල්ලුම් කරලයි තිබුණේ. කොහොම හරි අපේ දෙමව්පියන්ගේ ආශිර්වාදයෙන් අපි විවාහවෙලා ඩුබායිවල පදිංචියට ගියා. වසර හයක්  තිස්සේ අපි පදිංචිවෙලා යන්නේ ඩුබායි රටෙයි.

රූප රාජිනියක් වීමේ හීනය හැබෑ වුණේ සැමියා නිසයි?
ඔව්.. අනිවාර් යෙන්ම. මගේ ඔළුවේ ඔටුන්නක් දමාගැනීමේ හීනය ගැන මම මගේ සැමියාට කිව්වා. එයා ඒ හීනය හැබෑකර ගන්න දෙපාරක් නොහිතා මට කැමැත්ත දුන්නා. මවක් වීම විවාහක රූ රැජින වීමේ ප්‍රධාන සුදුසුකම වුණා. මම මගේ දුව නිසා ඒ සුදුසුකම ලැබුවා. චූටි දුවට මාස නවයක් වෙද්දි ලෝකයේ තියෙන හොඳම විවාහක රූ රැජින තරගයක් වුණු Mrs Universe තරගය වෙනුවෙන් මගේ මාස නවයක් වුණු චූටි දුවත් අරගෙන මම ලංකාව නියෝජනය කරන්න ලංකාවට ආවා. ඒ තරගය වෙනුවෙන් රටවල් අනූවක් නියෝජනය කළා. පියවරෙන් පියවර ඉදිරියට ගිහින් අවසාන මහා තරගයෙන් ජයග්‍රහණය කරලා ඔටුන්නක් හිමි රෑප රාජිනියක් වෙන හීනයත් මම හැබෑකර ගත්තා.

ඒ හීනය නිසාම අද වෙද්දි ත්‍රිකලා ඩුබායි රටේ නිරූපණ ශිල්පිනියක්. ඒ වටිනාකම ගැන මොකද හිතෙන්නෙ?
ඔව්.. ඒක වුණේ අහම්බෙන්. ඔටුන්න දරාගත්තට පසුව ජීවත් වුණු ඩුබායි රටට අපි තුන්දෙනා ආයෙමත් ගියා. ඩුබායිවලට ගියාට පස්සේ ඒ රටේ ඉන්න ඉහළම නිරූපණ ශිල්පිනියක් එක්ක මට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. එහේ ඉන්න හොඳම ඇඳුම් නිර්මාණ ශිල්පීන්ව, ඡායාරූප ශිල්පීන්ව මට හඳුනා ගන්න ලැබුණා. ඒ හරහා මට හොඳ වටිනාකමක් ලැබුණා. ඒ රටේ නිරූපණ ශිල්පිනියක් කියන්නෙ ගෞරවාන්විත රැකියාවක්. ඒකට ගෞරව කළා. ඒ අය එන්නේ ඉහළ පෙළේ වාහනවලයි. හැමදේටම ඒ අය වටිනාකමක් දුන්නා.

අවසානයේදි රෝස පාට Range Rover හීනයත් හැබෑ වුණා?
ඔව්.. ඡායාරූපකරණයෙන් හොඳ මුදලක් මගේ අතට ලැබුණා. ඒ නිසා මගේ මහන්සියෙන් ලැබුණු මුදල්වලින් මම මීට මාස හයකට කලින් මේ වාහනය ගත්තා. මම මුලින්ම ගත්තේ සුදු පාට Range Rover රථයක්. ඒ හරහා අවසානයේදි රෝස පාට Range Rover රථයේ හීනය හැබෑකර ගත්තා.

හීන පහක් දැක්කා. අද ඒ හීන පහම හැබෑවෙලා තියෙනවා. මොකද හිතෙන්නෙ?
ගොඩක් සතුටුයි. කෙනෙක්ට යකඩ ගොඩක් මත්තේ මැරෙනවා. ඕවා තාවකාලිකයි කියලා කියන්න පුළුවන්. තමන්ගේ හීනවලට යන්න වයසවත්, පවුල් පරිසරයවත් ගැහැනුද පිරිමිද කියලවත් අදාළ වෙන්නේ නැහැ. හැමවෙලේම තමන් වටේ ඉන්න අයට ධනාත්මක සිතුවිල්ලක් තමන් තුළින් දෙන්න. ධනාත්මක දෙයක් විශ්වාසයෙන් පරිසරයට මුදාහැරියොත් ධනාත්මක තීරණයක් ලැබෙන බව මම විශ්වාස කරනවා.

 

                      සේයාරූ I සුමුදු හේවාපතිරණ