2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

මම පටන් ගත්තේ පේමන්ට් එකෙන්

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:01 310

- ලලිත් පැරකුම්

ලලිත්.. කොහොමද ජීවිතේ?
ජීවිතේ හොඳින් ගෙවෙනවා. මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. මගේ අලුත් නර්තන පන්ති ලංකාව වටේම පටන් ගත්තා. මීට පෙර සාම්ප්‍රදායික නර්තන ශෛලියේ පන්ති මම කළේ නැහැ. නමුත් මේ වෙද්දි මම ලංකාවේ දක්ෂතම සාම්ප්‍රදායික නර්තන ගුරුවරුන් එකතු කරගෙන සාම්ප්‍රදායික නර්තන ශෛලියේ පන්ති ලංකාව වටේම ආරම්භ කරන්න ලක ලෑස්ති වෙනවා. ඒ වගේම ලංකාවේ අති දක්ෂ dancing fitness ශෛලියත් පටන් අරගෙන තියෙනවා. ඒ නිසා ටිකක් විතර කාර්යබහුලයි.

නර්තන ශිල්පියෙක් වීම ලලිත් කුඩා කාලෙදි දැකපු හීනයක්ද?
නැහැ. කවදාවත් පුංචි කාලෙදි නර්තන ශිල්පියෙක් වීමේ හීනයක් තිබුණේ නැහැ. අඩුම තරමේ ලොකුවෙලා මොනවද මම කරන්නේ? කියන හීනයක්වත් මට තිබුණේ නැහැ. එහෙම හීන එකතු කර ගන්න පවා මම බය වුණා. පවුලේ තිබුණු ආර්ථික ප්‍රශ්න, හිතට දැනිච්ච කටුක බව නිසාම එහෙම හීනයක් ජීවිතේ තිබුණේ නැහැ. ටික කාලයක් කමාන්ඩෝ කෙනෙක් වෙනවා කියලත් හිතේ තිබුණා. ඒකත් ලොකුවට තිබුණේ නැහැ. දුප්පත්කම උපරිමයෙන්ම විඳපු මට බඩගින්න නිවාගන්න එදා වේල හොයාගන්න ඕනෙ කියන හීනය විතරක් හිතේ තිබුණා.

ලලිත් කියන්නේ කුසගින්න උපරිමයෙන්ම විඳපු කෙනෙක්. එහෙමද?
ඔව්.. ඒක මගේ කුස දන්නවා. මට කුසගින්න හොඳට හුරුයි. ලංකාවේ මම තරම් දුක් විඳලා, මම තරම් කට්ට කාලා මේ වගේ තැනකට ආපු නර්තන ශිල්පියෙක් නැති තරම්. මට දුක හොඳට හුරුයි. මට බඩගින්න හොඳට හුරුයි. ඒ නිසාම අද මට කෙනෙක්ට උදව් කරන්න පුළුවන් වටපිටාවක් හැදිලා නිසා මම මට පුළුවන් විදිහට සමාජ සත්කාර කරනවා. ඒවා කරන්නේ ජනප්‍රිය වෙන්නවත්, ලෝකයට පේන්නවත් නෙමෙයි. මම ජීවිතේ පුදුම විදිහට තැලිලා ආපු කෙනෙක්. ඒ ජීවිතේ වින්ඳ වේදනාව නිසාම අද මට නර්තනයෙදි වෙන අනතුරුවලදිවත් රිදීම් ඇතිවෙන්නෙ නැහැ. අද මම හරිම සතුටින් ඉන්න කෙනෙක්. මම හිතන්නේ මම හරි වාසනාවන්ත කෙනෙක්. හෙට වුණත් මට මැරෙන්න පුළුවන්. මම ළමයි ගණනාවකගේ ඇස් පාදලා තියෙනවා. ඒ ළමයින්ට යන්න ඕන පාර මම පෙන්නලා දුන්නා. අදටත් මගේ යටතේ ගුරුවරුන් එකොළොස් දෙනෙක් හොඳ වැටුපක් ලබමින් සේවය කරනවා. ලංකාවේ නාලිකාවල තිබුණු නර්තන තරගවලින් ජයග්‍රහණය කළේ මගේ ළමයි. විදෙස් තරග පවා ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ නිසා විඳපු දුක හැටියට අද මම ඉන්න තැන වගේම සමාජයට කරලා තියෙන වැඩ ගැන හිතුවාම මට ගොඩක් සතුටුයි.

ලලිත්.. මුලින්ම කළ රුකියාව මොකක්ද?
මම මුලින්ම නුගේගොඩ පේමන්ට් එකේ කපුරු බෝල විකිණුවා. එතකොට වයස අවුරුදු හයක් විතර ඇති. අපේ තාත්තාට ඉස්සර හොඳට සල්ලි තිබුණා. නමුත් බීමට ඇබ්බැහිවෙලා එයා ඒ සියල්ලම නැතිකර ගත්තා. අපේ පවුලේ හැමෝම නුගේගොඩ පේමන්ට් එකේ බඩු විකිණුවා. මට තාම මතකයි මම කපුරු බෝල පැකට් නුගේගොඩ පාරේ යන අයට විකිණුවා. කපුරු බෝල විතරක් නෙමෙයි. මම හැඳි විකිණුවා. ටුලිප් බෑග් විකිණුවා. සෙල්ලම් බඩු විකිණුවා. ඒ හැමදේම පටන් ගත්තේ කපුරු බෝල විකුණලයි.

නුගේගොඩ හන්දියේ කපුරු බෝල පැකට් එකක් අතේ තියාගෙන හිටපු ලලිත්ට හීනයක් තිබුණේ නැද්ද?
නැහැ. නුගේගොඩ හන්දියේ කපුරු බෝල තියාගෙන ඉඳිද්දි ඉතා වටිනා වාහනවලින් මාව පහුකරගෙන කොයි තරම් මිනිස්සු ගියාද? වාහනයක් නවත්තපු ගමන් ඒක ළඟට ගිහින් කපුරු පැකට් එක දිගු කරපු කාලයක් මට තිබුණා. හැබැයි ඒ කිසිම දවසක ඒ වගේ වාහනයක් ගන්න, ඒ වගේ ජීවිතයක් ගත කරන්න හීනයක් මට තිබුණේ නැහැ. ඒ කාලේ අපි දවසකට එක වේලක් කාපු කාලයක් තිබුණා. ඒ නිසා වාහන ගන්න හීනවලට වඩා ඒ දවසේ එක වේලක් හරි කන්න තිබුණොත් ඇති කියන හීනය විතරයි අපිට තිබුණේ. නුගේගොඩ පාරේ කොයි තරම් වාහන දැක්කත් ඒ ගැන කිසිම ආසාවක් ඇතිවෙලා නැහැ. ඇත්තටම ආසා වුණේ කෑමවලට විතරයි.

අද තරුපහේ හෝටල්වලින්, විදෙස් රටවල හෝටල්වලින් ලලිත් ආහාර ගන්නවා. පුංචි කාලේ ඒ වගේ හෝටලයකින් රස ආහාරවේලක් කන්න ආසාවක් තිබුණේ නැද්ද?
අම්මෝ තිබුණා. ඉස්සර මට කොළඹ ගලදාරි හෝටලයට යන්න ලොකු හීනයක් තිබුණා. මම ඒ කාලේ දැනගෙන හිටියේ ගලදාරි හෝටලයේ නම විතරයි. ඉස්සර කොළඹට බඩු ගේන්න බස් එකේ යද්දි ගලදාරි හෝටලය දිහා බලාගෙන ගියා. &කවදා හරි මේකට යන්න ලැබෙයිද?* කියන ආසාව මගේ හිතේ තිබුණා. අද ඒක ඇති තරම් සඵල කරගෙන තියෙනවා. මට මතකයි නර්තන කණ්ඩායමක වැඩ කරද්දි මම මුලින්ම ගලදාරි හෝටලයට ගිය දවස. එදා ගලදාරි හෝටලයට ඇතුළු වන තැනදි මම බිමට අත තියලා වැන්ඳා. මට තාම මතකයි එදා ඒ තැන හිටපු ආරක්ෂක නිලධාරියා පවා මා දිහා අමුතු විදිහට බැලුවා. ගලදාරි හෝටලයේ කැමරාවෙන් ආපස්සට බලන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක බලන්න පුළුවන් වේවි.

නුගේගොඩ පදික වේදිකාවේ වෙළෙඳාම් කරලා ලැබුණු මුදල් ගෙදරට දුන්නද?
අපේ පවුලේ හය දෙනෙක් ඉන්නවා. අපි හැමෝම පුංචි කාලේ ඉඳන් පවුලේ බර කරට ගත්තා. අපි හැමෝම ප්‍රශ්න මැද ජීවත් වුණු අයයි. මගේ ඉස්කෝලෙ පොත්පත් මම වෙළෙඳාම් කරපු සල්ලිවලින් මිලදී ගත්තා. අක්කා එයාලගේ පොත්පත්වලට සල්ලි හොයාගත්තා. අපේ තාත්තා ණය නිසාම අපේ පවුලෙන් අයින්වෙලයි හිටියේ. ඒ නිසා තේ දලු කඩලා, අත්උදව් දීලා අපේ අම්මා අපේ බර තනියම කරට ගත්තා. බඩගින්න නිසා ජීවිතේ අනන්තවත් මම කෑගහලා අඬලා තියෙනවා. හැබැයි අද මට බඩගින්න කියන දේ දැනෙන්නෙ නැහැ. මගේ ජීවිතේ ඇති තරම් බඩගින්න ඉවසපු කුසට මම දැන් කුසගින්න කියන දේ දැනෙන්න දෙන්නෙ නැහැ. ඒක මම වගේම මගේ ළඟින් ඉන්න අයටත් පොදුයි. මගේ ජීවිතේ මම කෑමට සහ නින්දට මුල්තැන දෙන කෙනෙක්.

ලලිත් වෙනස්ම නර්තන ශෛලියක් වේදිකාවට ආ නර්තන ශිල්පියෙක්. මේ ආරම්භය ඇතිවුණේ කොතනින්ද?
මේ කලාවට මම යොමු වුණේ මගේ අයියා නිසයි. අයියා මුලින්ම නර්තනය කළා. ඉස්සර අපේ ගෙදර පොඩි රේඩියෝවක් තිබුණා. අපි හැමෝම ගෙදර ඉන්න වෙලාවට ඒක දාගෙන නැටුවා. අයියා ආමි එකේ හිටියා. නිවාඩුවට ගෙදර ආවාමත් යාළුවො එක්කන් ගෙදර ඇවිත් අපි එකතුවෙලා නැටුවා. අයියා නර්තන පන්තියකට ගියා. අයියා මාවත් ඒ ක්ෂේත්‍රයට යොමු කළා. ලංකාවේ නර්තනයට භයානක බව එකතු කළේ මමයි. ඒ දේවල් එකතු කරන්නත් මට ආපු කැපිලි කෙටිලි හේතු වුණා. ඉස්සර විලාසිතා කරන්නවත් මට සල්ලි තිබුණේ නැහැ. හොඳ ඇඳුමක් ගන්නවත් සල්ලි තිබුණේ නැහැ. ඒ නිසා පරණ ඇඳුම් ඇඳගෙන, යාළුවෙක්ගේ ඇඳුමක් ඇඳගෙන ගියපු තැන් අනන්තයි. සමහර ඇඳුම් මට ලොකුයි. ඒත් ඒවා ඇඳගෙන ගියා. හැමවෙලේම ජීවිතයට කැපිලි කෙටිලි ආවා. ඒවාත් එක්ක මගේ ඇඟේ තිබුණු ජවය, ශක්තිය මට වාසනාව ගෙනාවා. මම හොඳට හයියෙන් නටද්දි නර්තන කණ්ඩායම්වලින් මාව කැපුවා. මාව කවදාවත් ඉස්සරහට ගත්තේ නැහැ. මූ.. නටනවා වැඩියි. මූ කළුයි.. කියලා මාව කපලා දැම්මා.

ඒවායින් හිතට ලැබුණු හයිය කොහොමද?
ඒ කැපිලි කෙටිලි නිසාම වෙනස් දෙයක් කරන්න ඕනෙ කියලා මටම හිතුණා. එක්තරා නාලිකාවක ගිය තරගයකින් මාව පළමු වටයේදිම කපලා දැම්මා. ඒ නිසා පුහුණුවීම් කරලා වෙනසක් කරන්න ඕනෙ කියලා මට හිතුණා. ඒ කාලේ අන්තර්ජාලයෙන් බලන්නවත් මට හරිහමන් ෆෝන් එකක් තිබුණෙත් නැහැ. ඒ නිසා කවුරුවත් කරන්නෙ නැති දෙයක් කරන්න ඕනෙ කියලා හිතුණා. ටියුබ් ලයිට් උඩට පැනලා, කළුගල්වලට ගහලා වෙනසක් කරන්න පටන් ගනිද්දි &ලලිත් කියලා පොරක් ඉන්නවා* කියලා මිනිස්සු ටිකක් හොයන්න පටන් ගත්තා. ඊට පස්සේ මේකෙ ඇතුළෙ තවත් වෙනසක් කරන්න ඕනෙ කියලා මම ළමයින් උඩ දාලා කරකවමින් වෙනස් දෙයක් කළා. ඊටපස්සෙ මම ගැන තවත් හොයන්න පටන් ගත්තා. කේබල් පිටරටින් ගෙනත් තවත් නර්තන ශෛලියක් ලංකාවට හඳුන්වලා දෙන්න මට පුළුවන් වුණා. මේ හැමදේම කළේ බොහෝ දෙනාගේ කැපිලි කෙටිලිත් එක්කයි. ජීවිතේ මට තරම් කැපිලි කෙටිලි වෙන කිසිම කෙනෙකුට වෙලා නැතිව ඇති. දක්ෂතාවය, උනන්දුව, උත්සාහය තියෙන කෙනාව කවදාවත් නවත්තන්න බැහැ කියලා මම විශ්වාස කරනවා. මම කාටවත් වැරදි කරන්නෙ නැහැ. ඒ නිසා මට වැරදි කරපු අයට මේ සොබාදහම දඬුවම් දෙන බවත් මම දන්නවා.

ඔය නර්තනයන් පුරුදු පුහුණු වෙද්දි අකරතැබ්බ වෙලා නැද්ද?
වෙලා තියෙනවා. මගේ ඇඟේ කැඩිච්ච තැන් දෙසීයකටත් වඩා තියෙනවා. තුවාලවීම් සීරීම් වෙලා තියෙනවා. හැබැයි මගේ දරුවෙක්ට කිසිම අනතුරක් වෙලා නැහැ. මම යටතේ හොඳ දක්ෂ ගුරුවරු පිරිසක් ඉන්නවා. මම මුලින්ම පුහුණු කරන්නෙ මාවමයි. දෙවැනියට පුහුණු කරන්නෙ මගේ ගුරුවරු පිරිසයි. ඊළඟට තමයි දරුවන්ව පුරුදු පුහුණු කරන්නේ. අපි මෙට්ට, කේබල්, මැෂින් එක්ක පුරුදු පුහුණුවීම් කරන නිසා දැන් අනතුරු වෙන්නෙ නැහැ.

ඔබ හරි අපූරු විලාසිතා කරනවා. ඒ විලාසිතාවලට නැඹුරු වුණේ කොහොමද?
මම සල්ලි හම්බ කරන්න පටන් ගත්තා. මම මගේ පවුලේ හැමෝම ගොඩදා ගත්තා. පුංචි කාලේ මම දැකපු හොඳ කාර්වල යන, ෆැෂන් කරන, හොඳට සතුටින් ඉන්න අයව මට මතක් වුණේ අපේ ජීවිත ගොඩ ගියාට පස්සෙයි. මම ඇයි ලස්සනට ඉන්නෙ නැත්තෙ? කියලා මම හිතන්න ගත්තා. මම ලෝකෙ තියෙන හැම රටකටම යන්න හිතාගෙන ඉන්නෙ. මම ලංකාවේ අලුතින් රෙස්ටුරන්ට් එකක් හරි හොටෙල් එකක් හරි දැම්මොත් අනිවාර්යෙන්ම ගිහින් ඒකෙන් කෑමවේලක් කාලා ඒ වෙනස බලනවා. මම ෆැෂන් කරනවා. මම අද සාප්පුවකට ගිහින් බිල බලන්නේ නැතිව ඒ ඇඳුම ගන්නවා. කනකොට මම ගාන බල බල ඉන්නෙ නැතිව ඒ කෑම කනවා.

ළඟදි ඉතාලි යන්නෙ නැද්ද?
යන්න ඕනෙ. මට ලැබුණු බිරිඳ හරිම හොඳ කෙනෙක්. මධූෂා ගුණරත්න තමයි මගේ ජීවිතේ අදටත් ඉන්න ලොකුම ශක්තිය. එයා ඉන්නෙ ඉතාලියේ. මේ දවස්වලත් එයා ඉන්නෙ ඉතාලියේ. එහේ ඉඳන් ඊමේල් හරහා මගේ ක්ලාස්වල තත්ත්වය හොයලා බලලා හැම සහයෝගයක්ම මට දෙන්නෙ එයයි. මගේ රැකියාව එයා හොඳට තේරුම් අරගෙනයි ඉන්නෙ. මට කිසිමදේකට එයා නීතිරීති දාලා නැහැ. අද හැමදේකින්ම මම මගේ ජීවිතේ සතුටින් ඉන්න කෙනෙක්. හැබැයි මම මගේ මුල අමතක නැහැ. අදට වගේම ඒ අතීතයටත් මම හරි ආදරෙයි.

 

                     සේයාරූ I සුමුදු හේවාපතිරණ