2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

කැපී පේන්න කොණ්ඩෙ පාට කළා!

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 35

කැපකිරීම

මට හිතෙන විදිහට මනුස්සයෙක්ගේ මූලික කරුණු දෙකක් තමයි රස්සාවයි පරස්තාවයි කියන්නෙ. ඔය දෙක ඇතුළෙම අපිට කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා. තරුණ වියට පැමිණියාට පසුව ඔය දෙක වෙනුවෙන් කැපකිරීම් බොහොමයක් කරන්න සිදු වෙනවා. මගේ ජීවිතෙත් මම මේ කරුණු දෙක වෙනුවෙන් උපරිමයෙන් කැප වුණා. විවාහවෙලා දරුවන් ලබලා ඒ දරුවන් ලොකු මහත් වෙද්දිත්, කලා ජීවිතේ තුළ අධ්‍යක්ෂණයට යොමුවීමත් කැපකිරීම්වල ප්‍රතිඵලයි. පාසල් යන කාලෙදිත් අනේක විධ කැපකිරීම් කළා. උදේ හයහමාරට පාසලට ගිහින් හතරහමාර වනතුරු නර්තනය පුහුණුවීම් කළා. පාසල් අවසන් කරලා හත විතර වනතුරු නර්තනය පුහුණුවෙලා ඒ කැසට් රෙකෝඩරයම කරේ තියාගෙන ගිහින් තිස්ස සර් එක්ක වේදිකා නාට්‍ය පුහුණුවීම් කරලා රූ නවයහමාරට ගෙදර ගියපු කාලයක් තිබුණා. ඒ හැමදේම කළේ උසස් පෙළ පන්තියේ ඉගෙන ගනිද්දියි.

ඉරිසියාව

මට ඉරිසියාව යම් යම් තැන්වලදී දැනිලා තියෙනවා. හැබැයි මම කවදාවත් මට වඩා උස අයට, මට වඩා ලස්සන, මට වඩා දක්ෂ අයට ඉරිසියාව කළේ නැහැ. මම ඔවුන් හඹා යන්න උත්සාහ කළා. කොණ්ඩයට පාටක් ගාගෙන හෝ කැපිලා පේන්න මම උත්සාහ කළා. මම ආදරය කරපු කෙනෙක් තවත් කෙනෙක් එක්ක වැඩිපුර කතා කරද්දි ඒ කාලෙදිනම් මම පොඩි ඉරිසියාවක් දැනුණා. ඒක හැමෝටම පොදු දෙයක්. මට දැනි දැනී කවුරු හෝ මාව ප්‍රතික්ෂේප කරද්දි මට ඉරිසියාවක් දැනිලා තියෙනවා. ඒක ඉරිසියාවක් එක්ක මුසු වුණු වේදනාවක්. හැබැයි ඒ කිසිම දේකදි මම ආපස්සට අඩිය තියලා නැහැ. ඒ හැමදේම පසු කරලා යන්න උත්සාහ කළා.

කඩාවැටීම

ජීවිතේ නන්නත්තාර වෙන විදිහට කඩාවැටීම් වෙලා තියෙනවා. නර්තන කණ්ඩායම්වලදි උස නැහැ කියලා මාව ප්‍රතික්ෂේප වුණ තැන් බොහොමයක් තිබුණා. ඒ වගේම නර්තන කණ්ඩායමක පුහුණුවීම් කරමින් ඉඳිද්දි ඔයා එන්න එපා යන්න කියලා නර්තන කණ්ඩායමෙන් එලවපු දවසක් තිබුණා. වේදිකා නාට්‍ය පුහුණුවීම් කරද්දි උස නැහැ කියලා කිසිම චරිතයක් දුන්නේ නැති කාලයක් තිබුණා. ඒ හැම තැනකදිම මම කඩා වැටුණා. මම රඟපාපු මුල්ම නාට්‍ය වුණු තට්ටු ගෙවල් රඟපාද්දිත් මම තේ හදන පිරිමි ළමයාගේ ඉඳන් හැමෝගෙන්ම බැණුම් ඇහුවා. ඒ නිසාම ඒ හැමදේම අතහැරලා ගෙදර ආපු දවසුත් තිබුණා. මට හිතෙන විදිහට 2017 අවුරුද්දේ සිට 2019 අවුරුද්ද දක්වා මගේ ජීවිතේ බොහෝ කඩාවැටීම් වුණු අවාසනාවන්ත කාලයක් වුණා. බිරිඳගේ අම්මා නැතිවුණාම බිරිඳගේ රුකියාවත් බේරාගන්න ඕන නිසා මට දරුවන් එක්ක ලොකු සටනක් දෙන්න සිදුවුණා. ඒ නිසාම තමයි මම ඉතාලියට ගියේ. මගේ ජීවිතේ ලොකු නාය යෑම් සිදු වුණා. පස් කඳු කඩාවැටීම් වුණා. ඒ හැම කඩාවැටීමකටම මම මුහුණදීලා හිත හයිය කර ගත්තා.

පසුතැවීම

මට ජීවිතේ ඇතිවුණු ලොකුම පසුතැවීම තමයි අද අපි කරන මේ වෘත්තිය සම්බන්ධයෙන් තියෙන පසුතැවීම. මේ රැකියාව නොකර වෙනත් රැකියාවක් කළා නම් හොඳයි කියලා හිතුණු අවස්ථා බොහොමයක් තියෙනවා. මෙච්චර මහන්සියෙන්, කැපිලි කෙටිලි මැද, තරගකාරීත්වය, කුහකත්වය එක්ක කිසිම පහසුකමක් නැති කර්මාන්තයක් ඇතුළේ වැඩ කිරීම ගැන තියෙන්නෙ එක්තරා පසුතැවීමක්. දේශපාලන වශයෙන්වත් රජයෙන්වත් හයියක් ලැබෙන්නෙ නැති, කර්මාන්තයක් කියලා පිළිගන්නෙ නැති රස්සාවක් කරන්න ලැබීම ගැන පසුතැවීමක් තියෙනවා.

ප්‍රථම ප්‍රේමය

මගේ ප්‍රථම ප්‍රේමය ඇන්ඩ්‍රියාම තමයි. හැබැයි ඊට කලින් දඟකාරකමට කොලුකමට පස්සෙන් ගිය අවස්ථා එකක් දෙකක් තියෙනවා. හැබැයි ඒවා ප්‍රේම කතා වෙන්නෙ නැහැ. අඩුම ගානේ යාළු වෙන්න ඇහුවෙවත් නැහැ. ඒ නිසා ප්‍රථම ප්‍රේමය ඇන්ඩ්‍රියාම තමයි.

ප්‍රේමය

අද ගෙවන ආදරණීය පවුල ඇතුළෙ ලබන ප්‍රේමය ගැන සතුටුයි. චිත්‍රපටයක් කළාට පසුව සම්මාන දෙකක් ලැබුණා වගේ සතුටක් දැනෙනවා. අපේ ලොකු දූ ඇමන්ඩාට දැන් අවුරුදු දොළහයි. පොඩි දූ අරියානාට අවුරුදු හතරයි. අරියානාගේ වැඩ කරන්න අපිට අමාරු වෙද්දි ඇමන්ඩා තමයි ඒවා කරලා දෙන්නෙ. පුංචි පුංචි හිත් රිදීම් තියෙනවා. ඒවා ඕනෑම පවුලක ඇතිවන ගැටලු. ඉතින් කටු තියෙන රෝස ගහක අග ලස්සන රෝස මලක් පිපිලා තියෙනවා වගෙයි. ගෙවන පවුල් ජීවිතය ගැන මම ගොඩක් සතුටු වෙනවා. නිසි කලට විවාහවෙලා නිසි කලට දරුවන් ලබලා සතුටින් ජීවත් වෙන්න ලැබීමත් වාසනාවක්.

අභියෝග

අභියෝග ජීවිතයට එද්දි &මේක අතහැරලා දාලා යන්න ඕනෙ, මේක කරන්න බැහැ* කියලා හිතිලා තියෙනවා. හැබැයි ඒ අභියෝගවලට මුහුණදීලා අභියෝග ජයග්‍රහණය කරද්දි සතුටක් දැනෙනවා. සමහර අභියෝග ජය ගන්න උත්සාහය වගේම වාසනාවත් බලපාන්න ඇතියි කියලා මට හිතෙනවා. සමහර ඉලක්ක ජයගෙන තියෙනවා. සමහර ඉලක්කවලට තවම ගිහින් නැහැ. තවම හතළිහයි.

ජයග්‍රහණ

මේ වෙද්දි මම ලබපු ලොකුම ජයග්‍රහණය වෙන්නෙ සිනමා අධ්‍යක්ෂණයට යොමුවෙන්න අවස්ථාව ලැබීමයි. 2006 අවුරුද්දේ ඉඳන් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න හීන දැක්කා. මේ වෙද්දි මම රයිඩර් නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා. මට සනත් ගුණතිලක වැනි දැවැන්ත සිනමා නළුවෙක් යොදාගෙන චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න ආසාවක් තිබුණා. සටන, දිනුම, නොම්බර 17 හිටපු සනත් ගුණතිලකව ආපසු සිනමාවට ගෙන එන්න මට ඕන වුණා. මේ දිනවල ඒකේ රෑගත කිරීම් කරනවා. මේක නිෂ්පාදනය කරන්නෙ අනුෂ්ක ඉඳුනිල්. මේ අධ්‍යක්ෂණය කිරීමේ සිහිනයත් එක්ක හතළිහේදි මම හරි වෙනස් කියලා කියන්න මට හරි ආසයි.

මම කවුද?

මට දැනෙන විදිහට මම රජිත් හිරාන්. මගේ නම මුතුතන්ත්‍රීගේ රජිත් හිරාන් චාමිකර ප්‍රනාන්දු. ඒ නමින් නම් තුනක්ම මිනිසුන්ට පේන්නෙ නැහැ. රජිත හිරාන් කියලා තමයි මිනිස්සුන්ට පේන්නෙ. ඒ නිසා රජිතව තවම මිනිස්සු හඳුනාගෙන නැහැ. මේ හතළිහේ ඉඳන් ඒ නොදැකපු රජිතව හොයාගන්න මම උත්සාහ කරනවා.