2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

මට ආදරේ කරපු අයට මම ආදරේ කළේ නැහැ......

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:01 84

දැන් වැඩියෙන්ම කැමති බණ්ඩා කියනවටද? කුසල් කියනවටද?

දැන් මට ගොඩක් අය බණ්ඩා කියලා තමයි කතා කරන්නෙ. හැබැයි මම කැමති මගේ නම කියලා කතා කරනවටයි. මගේ නම කුසල් මධුරංගයි.

කුසල්.. එහෙනම් අපි ඔයාගේ සහ පවුලේ විස්තර කතා කරමු?

ඔව්.. මගේ උපන් ගම නාවලපිටිය. නමුත් මම පොඩි කාලේ ඉඳන් හැදුණේ වැඩුණේ හොරණයි. මගේ පවුලේ ඉන්නෙ අම්මයි අප්පච්චියි මමයි විතරයි. මම පවුලේ එකම දරුවා. මගේ අම්මා ගෘහණියක්. අප්පච්චි ප්‍රවාහන අධිකාරියේ සේවය කළා. මේ වන විට අප්පච්චි විශ්‍රාමිකයි.

පවුලේ එකම දරුවා වුණු කුසල්ගේ ළමා කාලය ගැන මතක් කළොත්?

මට හිතෙන්නේ මම හොඳ ළමා කාලයක් ගත කළා. හොරණ මගේ ගේ අවට මට හොඳ යාළුවෝ පිරිසක් හිටියා. ඒ කාලය ඉතා සතුටින් ගත කළා. මම මුලින්ම අධ්‍යාපනය ලැබුවේ ගෝනපල, පලන්නෝරුව මධ්‍ය මහා විදුහලෙයි. ඊට පස්සෙ ශිෂ්‍යත්ව විභාගයෙන් පසුව මම හොරණ විද්‍යාරත්න විදුහලට ඇතුළත් වුණා. උසස් පෙළ දක්වා මම ඉගෙන ගත්තේ හොරණ විද්‍යාරත්න විදුහලෙනුයි.

පාසලේදී කුසල් කලා කටයුතුවලට සම්බන්ධ වුණාද?

ඔව්.. හොරණ විද්‍යාරත්න මහ විදුහල කියන්නෙ කලාවට බොහෝ කලාකරුවන් බිහි කරපු පාසලක්. පාසල් කාලෙදි තමයි මගේ හිතට රංගනය පිළිබඳව ඇල්මක් ඇතිවුණේ. මගේ රංගන ජීවිතය ඇරඹුණේ පාසල් වේදිකාව මතයි.

කුසල් ළමා කාලෙදි ආසාවෙන් හිටියේ කවදාහරි දවසක නළුවෙක් වෙන්නද?

පුංචි කාලෙදි කවදාහරි ලොකු වුණාම ''මම මේ වාගේ කෙනෙක් වෙනවා'' කියලා හීනයක් මට තිබුණේ නැහැ. හැබැයි පාසලේදි ටික කාලයක් වැඩ කරගෙන යද්දි මගේ හිතට ''මම නාට්‍ය ඉස්සරහට කරන්න ඕනේ'' කියන අදහස ඇතිවුණා. ඒකට ප්‍රධාන හේතුව වුණේ මගේ පාසල් වේදිකාවයි. ඒ ඔස්සේ මට යම්කිසි ඇගයීම් කිහිපයක්ම ජීවිතයට එකතු වුණා. 2008 අවුරැද්දේ ළමා නාට්‍ය උළෙලේදි හොඳම සහාය නළුවා සම්මානය හිමිවුණා. ඒ වේදිකා නාට්‍යයේ මම කූඹියෙකුට තමයි රඟපෑවේ. ඒක තමයි මගේ ජීවිතේ මම ලබපු මුල්ම සම්මානය වුණේ. 2010 අවුරුද්දේ සමස්ත ලංකා නාට්‍ය උළෙලේදි ''හොඳම නළුවා'' සම්මානය හිමිවුණා. ඊට පස්සෙ කොළඹ රාජකීය විද්‍යාලය සංවිධානය කරපු ''අභින'' උළෙලේදිත් ඒ නාට්‍ය වෙනුවෙන්ම මට ''හොඳම නළුවා'' සම්මානය හිමිවුණා. මගේ කලා ජීවිතේදි මට ලොකුම හයිය වුණු මගේ පාසල් ගුරුතුමා වුණු පුබුදු සුභාෂණ ගුරුතුමාව ඉතා ආදරයෙන් මතක් කරන්නම ඕනෙ. ඔහු මට හොඳ ගුරුවරයෙක් වුණා. ගුරැතුමා මා තුළ තිබුණු මොකක්දෝ හැකියාවක් ඉස්මතු කරලා ඔප දැම්මා. ඔහු නිසාම මට නළුවෙක් වෙන්න, නාට්‍ය කරන්න ඕන වුණා. මම උසස් පෙළට නාට්‍ය හා රංග කලාව හදාරා වැඩිදුර අධ්‍යාපනය සඳහා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව සම්බන්ධ ඩිප්ලෝමාවක්ද හැදෑරුවා. ඔය අතරේ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල, යෞවන සම්මාන උළෙල ආදී ලංකාවේ ප්‍රසිද්ධ නාට්‍ය උළෙලවලදී මට ඇගයීම් ලැබුණා. 2013, 2014 වසර හොඳම සහාය නළුවාට හිමි සම්මාන ලැබුණා. මමත් වේදිකා නාට්‍ය දෙක තුනක් අධ්‍යක්ෂණය කළා. ඒවාටත් යම් යම් ඇගයීම් ලැබුණා. ඔය අතරේ 2019 අවුරැද්දේ හොඳම සහාය නළුවා හා හොඳම නළුවා කියන සම්මාන දෙකම යෞවන සම්මාන උළෙලේදි ලබාගන්න අවස්ථාව ලැබුණා. ඒකත් මගේ ජීවිතේ කලාවට පිවිසෙන්න ලොකු ශක්තියක් වුණා.

පවුලේ එකම දරුවා කලාවට සම්බන්ධ වෙනවට නාට්‍යකරුවෙක් වෙනවට අම්මගේ අප්පච්චිගේ කැමැත්ත තිබුණද?

මම පවුලේ ඉන්න එකම දරුවා විදිහට මම නාට්‍ය කරද්දි අම්මා අප්පච්චිගෙන් ලැබෙන සහයෝගය ඉතාම වටිනවා. සමහර තැන්වලදි ''උඹ කරන මේ දේවල්වලින් තේරුමක් තියෙනවද?'' කියලා අහපු වෙලාවලුත් තිබුණා. නමුත් සම්මානයක් දෙකක් ගෙදර ගිහින් තිබ්බහම මට මේ වැඩේ කරන්න පුළුවන් වෙයි කියලා අම්මාත් අප්පච්චිත් විශ්වාස කරන්න පටන් ගත්තා. අම්මාගෙන් අප්පච්චිගෙන් වගේම මගේ මාමා පුංචිලා බාප්පලාගෙනුත් මගේ වැඩ කටයුතු කරන්න ලොකු සහයෝගයක් ලැබුණා. අදටත් එහෙමයි.

වේදිකා නාට්‍යවල හිටපු කුසල් පුංචි තිරයට ආපු ගමන මතක් කළොත්?

මම 2015 දි මුලින්ම ස්වර්ණවාහිනිය ආයතනයේ උදෑසන වැඩසටහනක් නිවේදනය කරන්න මට අවස්ථාව ලැබුණා. ඒක තමයි මගේ ටෙලිවිෂන් ආගමනය වුණේ. ඊට පස්සේ මම ප්‍රදීප් රසාංගගේ (බස් එකේ ඉස්කෝලේ) සහ තිළිණ බොරලැස්සගේ (සිහින සමාගම) නාට්‍යයටත් රංගනයෙන් දායක වුණා. ඒ ඔස්සේ ටෙලිනාට්‍ය කලාව ගැන අධ්‍යයනය කරන්න මට අවස්ථාව ලැබුණා.

අද වෙද්දි කුසල් අමතක වෙන තරමටම ''පාර දිගේ'' බණ්ඩා ජනප්‍රිය වෙලා තියෙනවා?

ඔව්නෙ.. දැන් බොහෝ දෙනා මට කතා කරන්නෙ බණ්ඩා කියලාම තමයි. ඒකට මගේ අකමැත්තක් නැහැ. බණ්ඩාව නිර්මාණය කරන්නෙ සද්ධාමංගල සූරියබණ්ඩාර මහතා සහ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා. බණ්ඩාට ආවේණික ලක්ෂණ කිහිපයක් මමත් හොයාගත්තා. හැබැයි බණ්ඩා කියන හැම වචනයක්ම ලියන්නෙ සද්ධාමංගල සූරියබණ්ඩාර මහතායි. බණ්ඩා කතා කරන, ඇවිදින, කරන හැම දෙයක්ම කියලා දුන්නෙ සිවගුරුනාදන් මහතායි. පසුගිය කාලෙදි වෙනත් නිර්මාණයකට මට ඇඹිලිපිටියට යන්න සිදුවුණා. බණ්ඩාගේ (නිශාන්ත බණ්ඩාරගේ) ගම වෙන්නෙත් ඇඹිලිපිටියනෙ. ඉතින් ඒ ගමනෙදි මම හිතුවෙවත් නැති විදිහට ඇඹිලිපිටියේ මිනිස්සු හරිම ආදරයෙන් මාව පිළිගත්තා. ඒ ප්‍රතිචාරය මට කිසිම දවසක අමතක වෙන්නෙ නැහැ.

කුසල් පුංචි තිරයට අලුත් වුණත් හොඳ වේදිකා නාට්‍යකරුවෙක්. කොවිඩ් නිසා වේදිකා නාට්‍යවලටත් ලොකු විරාමයක් ලැබුණා. මේ වෙනකොට වේදිකා නාට්‍ය පුහුණුවීම් කරනවද?

ඔව්.. මේ වෙද්දිනම් වේදිකා නාට්‍ය කිහිපයකම පුහුණුවීම් කටයුතු සිදුවෙනවා. කොවිඩ් වසංගතය නිසා වේදිකා නාට්‍ය පුහුණුවීම්, වේදිකාගතවීම් සියල්ල නතර කරන්න සිදුවුණා. කොවිඩ් නිසා ප්‍රේක්ෂකයන්ට ප්‍රේක්ෂකාගාරවලට එකතු වෙන්න බැරි වුණා. නැවතත් අපිට වේදිකාවට නගින්න පුළුවන් වටපිටාවක් නුදුරේදීම උදාවේවි යැයි අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ වෙනකොට වේදිකා නාට්‍ය දෙකක මම පුහුණුවීම් කරනවා.

කුසල්ගේ ප්‍රථම ප්‍රේමයත් පාසල් ප්‍රේමයක්ද?

මට පාසල් ජීවිතේදි ආදර කතා තිබුණේ නැහැ. ප්‍රථම ප්‍රේමය ගැන කතා කරද්දි මගේ ප්‍රථම ප්‍රේමය කොතනදිද වෙන්නේ කියන එක ප්‍රශ්නයක්. පළමු ප්‍රේමය හිතේ ඇතිවෙලා හිතේම යටපත් වෙලා ගිය දෙයක් කියලයි මටනම් හිතෙන්නෙ. සමහර තැන්වලදී ප්‍රථම ප්‍රේමයට වඩා ප්‍රේම වෘතාන්ත ජීවිතේ ප්‍රථම තැනට එන අවස්ථා තියෙනවා.

බණ්ඩා තවමත් පෙම්වතෙක් නෙමෙයි. සැබෑ ජීවිතේ කුසල් පෙම්වතෙක්ද?

නැහැ. දැනට සැබෑ ජීවිතෙත් මම පෙම්වතෙක් නෙමෙයි. ප්‍රේමය මම ඕනෑතරම් විඳලා තියෙනවා. සමහර මම ආදරේ කරපු අය මට ආදරේ කළේ නැහැ. මට ආදරේ කරපු අයට මම ආදරේ කළේ නැහැ. ඇත්තටම ප්‍රේමය හරි සුන්දරයි. ප්‍රේමය ඇතුළේ අහිමිවීම, විරහව තියෙන්නම ඕනෙ කියලයි මම විශ්වාස කරන්නෙ. අයිති කර ගන්නා ප්‍රේමයට වැඩිය හිතේ තියෙන, හිතේ රිදවන, කවදාවත් නොලැබෙන ප්‍රේමය හරි නැවුම්, හරි රසවත් කියලයි මට හිතෙන්නේ.

ඊළඟට තියෙන බලාපොරොත්තු මොනවද?

ඇත්තටම මට එහෙම ලොකු බලාපොරොත්තු නැහැ. අපි මේ ජීවත් වෙන්නේ එහෙම ලොකු බලාපොරොත්තු තියාගන්න පුළුවන් වටපිටාවක නෙමෙයි. හෙට දවස ගැනත් අපිට අද විශ්වාසය තියන්න අමාරැයි. අද දවස ගැන හිතලා අද කරන දේ හරියට කරලා සතුටින් ජීවත් වෙන්නයි මට ඕනෙ.

කලාකරුවෙක් විදිහට අද මේ ගෙවන්නෙ දුෂ්කරව ආ ගමනක්ද?

ඒක අතිශය දුෂ්කර, හොඳටම කට්ට කාපු ගමනක්. වේදිකා පරිපාලන ශිල්පියෙක් විදිහට මම සෑහෙන කාලයක් වැඩ කළා. ඒ නාට්‍යවල පසුතල නිර්මාණ හදන කටයුතු කළා. ඒවාට උදව් කළා. ඒවා ඇතුළේ කට්ටක් වගේම ලොකු අත්දැකීම් ජීවිතයට එකතු කර ගත්තා. තිරය පිටුපසට වෙලා නළුවන් රඟපානවා බලාගෙන ඉඳලා ඒවා අහලා, ඒවා දැනිලා තමයි මගේ ජීවිතයට අලුත් පන්නරයක් ලබාගත්තෙ. කට්ට කියන දේ ඇතුළේ රසවත් බවක් තිබුණා. ජීවිතේ ආතල් වෙන්න කටු තියෙන්නම ඕනෙ. අදටත් ඒකෙ වෙනසක් නැහැ.

සේයාරූ I සුමුදු හේවාපතිරණ