2019 ජුලි 27 වන සෙනසුරාදා

පිටු හැටදාහක්! වචන නවසිය පනස් දෙකක වාක්‍යයක්

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 94

මංජුල සමඟ ඉරිදාවක්... 
ආයුබෝවන් මංජුල.... 
ආයුබෝවන්...

හරි අමාරුවෙන් තමයි මංජුලව ඉරිදාවක අල්ලගත්තේ.. මොකද මෙයා ලංකාවට ආවේ  දවස් තුන හතරක නිවාඩුවකට... ඒ එයාගේ අලුත් පොතේ මුහුරත් උළෙල වැඩ ටික කරගන්න... ඒ අස්සේ තමයි මම මෙයාව විනාඩි කිහිපයකට අල්ලා ගත්තේ... කොච්චර වැඩ තිබුණත් මම කරපු ආරාධනාවට බෑ නොකියා හිනාවෙලා ආරාධනාව පිළිගත්තා...

මංජුල සේනාරත්න... අද අපේ චරිතය...
මංජුල ලේඛන කලාවට අත්පොත් තබන්නේ වයස අවුරුදු 18 දී තරුණයා පුවත්පතේ විශේෂාංග ලේඛකයකු විදියට... ඔහු මව්බිමෙන් පිටව පැරිස් නගරයේ පදිංචියට පැමිණයද ලේඛන කලාව අත්හැරියේ නෑ... ප්‍රියා සමඟ ඉරිදාවක්, සේන් ගඟේ රැලිත් එකක්, ජීවිතයෙන් මාස හයක්... එයා ලියපු ලස්සන පොත්වලින් කීපයක් විතරයි.. 

හරි අපි එයාව අඳුන ගත්තනේ... දැන් එයාගේ තොරතුරු ටිකක් අහලා ඉමුද?
පහුගිය දවස්වල මගේ අලුත් පොත 12.12.12. ජනගත කළා... ඒකට හොඳ ප්‍රතිචාර ලැබුණා.. තාමත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා... පළමු මුද්‍රණය ඉවර වුණා.. ඒ නිසාම මේ දවස්වල ගොඩක් සතුටින් තමයි ඉන්නේ...
ඒ තමයි මංජුලගේ කෙටි උත්තරය.. 

මංජුලට දැනිච්ච, මංජුලව පුදුම කරපු නිර්මාණයක් ගැන අපි මංජුලගෙන් ඇහුවා.... එයා කලින්ම දන්නවා ඒක එයා කරපු නිර්මාණයක් වෙන්න බෑ කියලා.. මොහොතක් කල්පනා ලෝකයේ තනිවෙලා ඉඳලා... එකපාරට ගිහින් නැවතුනේ ප්‍රංශයේ...
විශේෂ හේතුවක් ඇති එහෙම වෙන්න... අපි අහලා බලමු...

මෙහෙමයි.. මට දැනිච්ච නිර්මාණ ගණනාවක්ම තියෙනවා.. ඒ අතරින් මාව පුදුම කරවපු, මගේ ලේඛන ජීවිතය වෙනස් කරපු නිර්මාණයක් තමයි වික්ටර් හියුගෝගේ ලෙස් මිසරබල්ස් පොත..  මටත් සෑහෙන කාලයක ඉඳන් පොතක් ලිවීමේ ආසාවක් තිබුණා.... නමුත් මට ලොකු කම්මැලිකමකුත් තිබුණා.. 2000 අවුරුද්දේ වික්ටර් හියුගෝගේ මේ පොත මට මුණගැහුණා.... ඊට පස්සේ මගේ කම්මැලිකම නැති වුණා..  මේ පොතේ පිටු 1200 තිබුණා... ප්‍රංශ භාෂාවෙන් තමයි මේ පොත ලියලා තිබුණේ... මට මේ පොත කියෙව්වට පස්සේ ලොකු කලකිරීමක්  ඇති වුණා.. හේතුව තමයි ඇයි මේ වගේ පොතක් මට ලියන්න බැරි කියලා... ලෙස් මිසරබල්ස් පොත පරිපූර්ණ පොතක්.. මේ පොතේ නැති දෙයක් නෑ... ආදරය, වෛරය, විශ්වාසය කඩකිරීම, යුද්ධය, දුප්පත්කම, ධනවත්කම, සමාජ විෂමතාව වගේ තව ගොඩක් දේවල්... මට පුදුම හිතුණා මේ වගේ පරිපූර්ණ පොතක් කොහොමද ලිව්වේ කියලා.. මේ පොතෙන් ලබපු උත්තේජනය තමයි මට පොත් ලියන්න හේතු වුණේ.. 

1862 තමයි වික්ටර් හියුගෝ මුලින්ම මේ පොත ලිව්වේ... ඒ කාලේ ඔහුව රටින් පිටමන් කරලා හිටියේ... ඒකට හේතුව තමයි එවකට පැවති පාලනයට විරුද්ධව මිනිසුන්ව අරගලවලට යොමු කරපු නිසා වික්ටර් මේ පොත ලිව්වේ... ප්‍රංශයට කිට්ටුව තිබුණු ගිනටි කියන දූපතේ ඉඳන්... අවුරුදු දහයක් තිස්සේ ඉඳන් ඔහු මේ පොත ලියලා තියෙනවා.. වික්ටර්ගේ මේ පොතේ අත්පිටපතේ පිටු ගණන පිටු 6000ක්... ඒ කාලේ පරිගණක පහසුකම් තිබුණු නැති නිසා... තනිකර අතින් තමයි මේ පොත ලිව්වේ.. ඔහු දහවතාවක් මේ පොත ඔහුගේම අත්අකුරෙන් ලියලා තියෙනවා... ඒ කියන්නෙ පිටු 60,000ක්...  මිනිහෙකුට පුදුම ඉවසීමක් තිබිය යුතුයි දහවතාවක් මේ පොත ලියන්න...  අදටත් ලෝක සාහිත්‍ය ඉතිහාසයේ ප්‍රකාශකයෙක් විසින් වැඩිම මුදලක් ගෙව්ව පොත තමයි වික්ටර් හියුගෝගේ ලෙස් මිසරබල්ස් කෘතිය... පසුකලෙක මේ කෘතිය සිංහලට පරිවර්තනය කරනවා අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහත්තයා මනුතාපය ලෙස... නමුත් ඒක සංක්ෂිප්ත පරිවර්ථනයක්.. මොකද ලෙස් මිසරබල්ස් කෘතියේ පිටු 1200 තියෙනවා.. නමුත් ඊරියගොල්ල මහත්තයා පරිවර්ථනය කරපු මනුතාපයේ තියෙන්නෙ පිටු තුන්සිය ගාණක්... ඉස්කොලෙ යන කාලේ මම මනුතාපය පොත කි‍යෙව්වා... මට හිතෙන්නෙ මනුතාපයෙන් ලෙස් මිසර්බල්ස්  කෘතිය හඳුනගන්න හරි අමාරුයි...  ලෙස් මිසර්බල්ස් කෘතියේ අසංක්ෂිප්ත පරිවර්තානයක් තාම වෙලා නෑ කියලා මගේ අදහස...  

මේ කෘතිය ලියැවිලා තියෙන්නෙ සත්‍ය කතාවක් ඇසුරෙන්... ජෝන් වැල්ජෝන් කියන පුද්ගලයා හිරේට ගන්නවා පාන්ගෙඩියක් සොරාගත් වරදට.. පසුව ඔහු හිරෙන් නිදහස්වෙලා සමාජය හරහා කරන ගමන තමයි මේ පොතේ ප්‍රධාන වශයෙන්ම ගැබ්වෙලා තියෙන්නෙ... ඔහුට හමුවෙනවා විවිධාකාර චරිත, ඔහු පසුපස එනවා පොලිස් පරීක්ෂකවරයෙක්... මේ දෙදෙනා අතර හොරා පොලිස් සෙල්ලමක් තියෙනවා... වෛරයක් තියෙනවා... නමුත් මට මේ පොත කියවගෙන යනකොට තේරුණ එක දෙයක් තමයි.. එකිනෙකාගේ ධෛර්යවන්තභාවය වෙනුවෙන් දෙදෙනා අතර ගෞරවයකුත් තියෙනවා.. මේ චරිත දෙක ලෝක සාහිත්‍ය විශේෂ චරිත දෙකක්... ජෝන් වැල්ජෝන්ගේ ජීවිත ගමන තමයි මේ පොත ප්‍රධාන වශයෙන් ගැබ්වෙලා තියෙන්නෙ.. 

මට හිතෙනවා මේ කෘතිය මේ තරම්ම මංජුලට සමීපවෙන්න... මේ කෘතියත් එක්ක බැඳිච්ච ජීවිත අත්දැකීමකුත් ඇති කියලා...
ඇත්ත වශයෙන්ම ඔව්... ලේඛකයෙක් වශයෙන් සෑහෙන ලංවෙච්ච නිර්මාණයක් තමයි මේ පොත. ජීවීතේ හැමදෙයක්ම ගැබ්වෙලා තිබෙන පොතක් මේක.. අනිත් එක තමයි වික්ටර් හියුගෝගේ සූක්ෂම භාෂා ශෛලිය.. ඔහු භාෂාවෙන් හරඹ කරපු කෙනෙක්... මේ පොතේ එක වාක්‍යයක් තියෙනවා ඒ වාක්‍යයේ වචන නමසිය පනස් දෙකක් තියෙනවා.. කෝමා විතරක් තියෙනවා අසූ ගාණක්.. එක නැවතීමේ ලකුණයි තියෙන්නෙ... ලෝක සාහිත්‍යයේ දීර්ඝ වාක්‍ය අතර මේකත් ඉදිරියෙන්ම තියෙනවා. ප්‍රංශ ජාතිකයන් අතරත් ලෝක සාහිත්‍ය ලෝලීන් අතර ඔවුන්ගේ ජීවත වෙනස් කරපු කෘතියක් තමයි මේ පොත..

මේ කෘතියේ විශේෂ චරිත කීපයක්ම තියෙනවා.. ඒ අතරින් මංජුල වැඩියෙන්ම කැමති චරිතය කවුද?
මේ කෘතිගේ මම කැමති චරිත කීපයක්ම තියෙනවා ඒක ඇත්ත.. නමුත් මම වාඩාත්ම කැමති චරිත තමයි ජෝන් වැල්ජෝන්ගේ චරිතයට.. හේතුව තමයි ජෝන් වැල්ජෝන් මතින් තමයි අනිත් සෑම චරිතයක්ම ගොඩනැගෙන්නේ.. තව මම ගොඩක් ආසම චරිතයක් තමයි පොලිස් පරීක්ෂකගේ චරිතය... මේ චරිත දෙක තමයි මට ගොඩාක්ම සමීප වුණ චරිත දෙක.. 

හරි මංජුල... මම මෙහෙම ඇහුවොත්... වර්ථමානයේ ඔබට ජෝන් වැල්ජෝන්ගේ ජීවිත අද්දැකීම්වලට මුහුණ දෙන්න වුණොත්... කොහොම වෙයිද? 
ඔහුගේ මුවගේ සිනහ රැල්ලක්....
මං හිතන්නේ නෑ... වර්ථමානයේ ඒ වගේ චරිත ඇති කියලා.. ඇත්තට ඒක සුවිශේෂ චරිතයක්. ඒ වගේ අත්දැකීම්වලට මුහුණදෙන්න ආත්මක ශක්තියක්, ධෛර්යය පෞද්ගලිකව මට නෑ... අනිත් එක ඒ කාලේ තිබුණු වාතාවරණය නෙමේ අද තියෙන්නේ.. හැම අතින්ම යුද්ධය දළුදාන සමාජයක තමයි ඔහු ජීවත් වුණේ.. දුප්පත්කම සමාජය වෙලා ගත්ත යුගයක් ඒක... 

මේ නිර්මාණය නරඹද්දි වැඩියෙන් සංවේදී වෙච්ච තැන් එහෙම ඇති නේද?
මේ කෘතියේ පුංචි දැරියක් ඉන්නවා.. ඇය ඉතාමත් දුප්පත්.. කොණ්ඩය විකුණලා තමයි ඇයි ජීවත් වෙන්නෙ.. වික්ටර් හියුගෝ මේ පුංචි දැරියගේ දුගීභාවය ගැන පිටු 40 විතර විස්තර කරනවා... කෙනෙක් දුගීභාවයෙන් අන්ත අසරණ වුණාම මොනතරම් අපහසුතාවයට ලක්වෙනවද කියන එක ඒ පිටු කිහිපයෙන් පාඨකයාගේ හදවතටම දනවනවා.. මාව අතිශය සංවේදී කළේ ඒ අවස්ථාව... 

මේ නිර්මාණය... මංජුලට හම්බවුණේ අහම්බෙන් වෙන්න බෑනේ... කොහොමද මෙච්චර ලස්සන නිර්මාණය මුණගැහුණේ...
මම ප්‍රංශෙට ගියේ 1992කේ. නමුත් මට 2000 වසර වෙනකම් මේ පොත මට කියවන්න අවස්ථාව තිබුණේ නෑ... හේතුව තමයි මම ප්‍රංශ භාෂාව හරිහැටි දැනගෙන හිටපු නැති නිසා.. හැමෝම කිව්වා... ඔබ ප්‍රංශයේ ජීවත්වෙනවා නම් මේ පොත කියවන්නම කියලා.. ඊට පස්සේ මම පොත් සාප්පුවකට ගිහින් මේ පොත මිලදී ගත්තා... ගොඩක් අමාරුවෙන් තමයි මුලින්ම මේ පොත කියෙව්වේ.. මාස 6 විතර ගියා කියවලා ඉවර කරන්න. ප්‍රංශයේ පාසල් සිසුන්ගේ විෂය නිර්දේශයට පවා ඇතුළත් කරලා තියෙනවා මේ පොත අනිවාර්යයෙන් කියවන්න... ජීවිතය කියලා දෙන අත්පොත් විදියට තමයි ප්‍රංශ ජාතිකයන් මේ පොත සලකන්නෙ.. 

දැනට කීවතාවක් ඔබ මේ පොත කියවලා තියෙනවාද?
දැනට මම තුන්වතාවක් කියවලා තියෙනවා.. දැනටත් මට විවේකයන් ලැබුණාම තැන් තැන්වලින් මම කියවගෙන යනවා... 

ලේඛකයෙක් විදියට ඔබ මේ පොත කියවලා ජීවිතයට ලබාගත්තෙ මොනවගේ දෙයක්ද?
ලේඛකයෙකුට තියෙන්න ඕන සංයමය තමයි මම ඉගෙන ගත්තේ.. පිටු හැටදාහක් ලේඛකයෙක්ට ලියන්න මොනතරම් සංයමයක් තියෙන්න ඕනෙද? ඒ සංයමයි තමයි මම ඉගෙන ගත්තේ..  සමාජය විවරණය කරන පොතක් ලියන්න ලේඛකයෙකුට මොනතරම් ජීවිත අද්දැකීම් එකතුකර ගන්න ඔනෙද කියලා අදහසක් ලබාගන්න මේ කෘතිය මට උපයෝගී වුණා.. මගේ ජීවිතේ කියවපු වටිනාම පොත තමයි මේක... පොත කියෙව්වට පස්සෙ මට ලොකු ධෛර්යයක් ලැබුණා හොඳ නිර්මාණ කරන්න... 

► Text - Danushka Wijesiri   /   Pic - Internet