2023 මාර්තු 26 වන ඉරිදා

බුද්ධියට නිගා කරන ටෙලිනාට්‍ය කරන්න එපා! - ධනුෂ්ක රත්නායක

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:00 146

ධනුෂ්ක... අධ්‍යක්ෂණයෙන් මඳක් ඈත්වෙලා ආයෙත් රංගනයට එකතු වෙලාද?

රංගනය කියන්නෙ මම කොහොමත් බොහොම ආසාවෙන් සිදු කරන කර්තව්‍යයක්. රංගන ශිල්පියෙකු ලෙස තවදුරටත් වර්ධනය වෙන්න අවශ්‍ය පුහුණුව සහ අධ්‍යයනය ලබාගැනීම තමයි මේ කාලයේ රංගනය පැත්තෙන් මගේ අරමුණ වෙලා තියෙන්නෙ. නමුත් අධ්‍යක්ෂණය අඩු කරලා රංගනය වැඩි කරලා නම් නැහැ. මේ දිනවල Bio සහ තවත් ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරමින් ඉන්නවා. ඉදිරියේදිත් තව වැඩ කිහිපයක්ම අධ්‍යක්ෂණය කරන්න සැලසුම් කරලා තියෙනවා.

ශාන් ජයරත්න කියන්නෙ කාලයක් ඔබ යටතේ සහාය අධ්‍යක්ෂණයෙන් සම්බන්ධවෙලා හිටිය කෙනෙක්. ඔහුගේ කුළුඳුල් අධ්‍යක්ෂණයේදි ඔබත් රංගනයෙන් සම්බන්ධ වුණා. ඔහු ගැන මොකද හිතෙන්නෙ? 

ශාන් ජයරත්න කියන්නෙ ඒ කාලේ ඉඳන්ම ඉතාම පැහැදිලි අරමුණක් එක්ක ක්ෂේත්‍රයට ආපු කෙනෙක්. ඒ වගේම බොහොම උනන්දුවෙන් දේවල් ඉගෙන ගන්න කෙනෙක්. ඒ නිසාම තමයි මේ තරම් පොඩි වයසකදි ඔහුට පළවෙනි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරන්න පුළුවන් වෙන්නෙ. මම ඇත්තටම සතුටු වෙනවා ශාන්ගේ 'අක්ෂි' ටෙලිනාට්‍යයට මගේ රංගනය ලබා දීමට හැකිවීම ගැන. ඒ වගේම මම විශ්වාස කරනවා ඔහු අධ්‍යක්ෂවරයෙක් විදියට තව බොහෝ දුර යයි කියලා. 

නාට්‍ය පාසලක් පවත්වාගෙන යන ධනුෂ්කගේ එහි අලුත් වැඩ මොනවාද?

'විණාවි' නාට්‍ය පාසල ඇත්තෙන්ම තිර මාධ්‍ය රංගනයට එන්න  බලාපොරොත්තුවෙන් ඉන්න බොහොමයක් ආධුනික ශිල්පීන්ට හොඳ තෝතැන්නක්. ලංකාවේ ඉන්න ප්‍රවීණ දක්ෂ රංගන ශිල්පීන් ඇසුරේ රංගනය හැදෑරීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. මම හිතන්නෙ අංකුර රංගන ශිල්පීන්ට එය හොඳ පදනමක් සකසනවා කියලා.

ඔබ දක්ෂ ඡායාරූප ශිල්පියෙක්. ඒ ඡායාරූප ශිල්පියාව ඔබ තුළින් මඟහැරිලද?

ඇත්තටම  ඒ ඡායාරූප ශිල්පියා  තරමක් මඟහැරිලා තියෙනවා කිව්වොත් නිවැරදියි. ටෙලිනාට්‍යවල වැඩ කටයුතුත් එක්ක ඡායාරූප ශිල්පයේ නියැලෙන්න තියෙන වෙලාව සෑහෙන්න දුරට අඩුවෙලා තියෙනවා. නමුත් තාමත් මම ඡායාරූපකරණයට හරිම කැමතියි. 

සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන්න බලාපොරොත්තුවක් නැද්ද? 

සිනමා අධ්‍යක්ෂණය මගේ හීනයක්. චිත්‍රපට සඳහා තිර පිටපත් කිහිපයක්ම ලෑස්ති කරගෙන ඉන්නවා. බලාපොරොත්තු වෙනවා හැකි ඉක්මනින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න. 

නවක මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පීන් පවා අධ්‍යක්ෂණය කරන ඔබට ඒ සැමගෙන් ලැබෙන සහයෝගය කොහොමද? 

Bio කියන්නෙ මගේ ජීවිතයේ සුවිශේෂී ටෙලිනාට්‍යයක්. ප්‍රියනාත් විදානපතිරණ මෙම ටෙලිනාට්‍යයේ තිර පිටපත මට යොමු කළාම මට තේරුම් ගිය කාරණාව තමයි මේක ලංකාවට අලුත් ආකෘතියක ටෙලිනාට්‍ය කලාවක් හඳුන්වා දෙන්න පුළුවන් විදිහෙ වැඩක් කියන එක. ඉතාම දක්ෂ රංගන ශිල්පීන් පිරිසක්, ඉතාම දක්ෂ තාක්ෂණික ශිල්පීන් පිරිසක් Bio ටෙලිනාට්‍යයත් එක්ක එකතු වෙනවා. මෙහි විශේෂත්වය තමයි 'ටීවී සීරීස්' ආකෘතියෙන් යුතුව ලංකාවේ පළවෙනි වතාවට මෙම ටෙලිනාට්‍ය ඉදිරිපත් කිරීම. මේක කොටස් හැටකින් යුතු ටෙලිනාට්‍යයක්. ඒ වගේම මෙහි කතා ශරීරයන් එකිනෙකට වෙනස් වෙනවා. මම හිතන්නෙ මේක ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ටත් වෙනස්ම වෙනස් අත්දැකීමක් වෙයි.

හැම රංගන ශිල්පියෙක්ගෙන්ම ඉතාම හොඳ සහයෝගයක් හම්බවෙනවා. අපිට තියෙන්නෙ කුඩා කර්මාන්තයක් නිසා ඒ කර්මාන්තය විසින්ම යම්කිසි සීමාවන් ඇති කරලා තියෙනවා. එකී සීමාවන් තේරුම් අරගෙන තමන්ට පුළුවන් උපරිමය ලබා දෙන්න මා සමඟ වැඩ කරපු සියලු රංගන ශිල්පීන් ක්‍රියා කරලා තියෙනවා.

මේ දිනවල Bio season 3 හි රූගත කිරීම් සැලසුම් කෙරෙනවා. ඒ වගේම C.U නමින් අලුත් ටෙලිනාට්‍යයක් රූගත කරමින් පවතිනවා. ඉදිරියේදී රංගන ශිල්පියෙක් ලෙස අලුත් චරිතයක් කිරීමට සූදානම් වෙමින් ඉන්නවා.

තරුණ පරපුර ආකර්ෂණය කර ගැනීම සඳහා ලංකාවේ ටෙලිනාට්‍ය කලාව කුමන ආකාරයෙන් වෙනස් විය යුතුයි කියලද ඔබ හිතන්නෙ? 

මේ වෙද්දි ලංකාවේ තරුණ පරම්පරාව මුළු ලෝකයේම content වලට විවෘතයි. Netflix, Hulu, Amazon prime වගේ OTT platforms හරහා වගේම වෙනත් විවිධ ක්‍රම ඔස්සේ ඔවුන් ලෝකයේ හැදෙන චිත්‍රපට, ටීවී සීරිස් නරඹනවා. සාම්ප්‍රදායික වට්ටෝරුගත ටෙලිනාට්‍ය හරහා ඔවුන් ආකර්ෂණය කර ගන්න පුළුවන් කියලා මම හිතන්නෙ නැහැ. මම හිතන්නෙ අපි genre television වලට යා යුතුයි. අපි අපේ ප්‍රේක්ෂකයන්ට, ඔවුන්ගේ බුද්ධියට නිගා නොකරන ආකාරයේ නිර්මාණ ලබා දිය යුතුයි. එහෙම නොකළොත් ප්‍රේක්ෂකාගාරය ටෙලිනාට්‍යයෙන් ඈත් වේවි.

♦ දිශානි ජයමාලි
සේයාරූ I සුමුදු හේවාපතිරණ