2023 මාර්තු 26 වන ඉරිදා

විශිෂ්ටයන් ඇගයූ ඒ සොඳුරු රෑ

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:00 105

සුබම සුබ සිනමාස්වාදනීය සන්ධ්‍යාවක් 

ඔබ සැමට...

දියුණු ජාතික සිනමාවක් මෙන්ම දේශීය සිනමාවක් සතු ඕනෑම රටක ඒ රටේ සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයක් තිබෙනවා. තම රටේ සිනමාවේ - කලාව සහ කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඒ අය එකතුවෙලා වැඩ කරනවා. ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ - සමාරම්භය යන්න 2012 තරම් වසර 10ක අතීතයකට දිව යනවා. එය ආරම්භ කළේ අරමුණු 3ක් මුල් කරගෙන.

පළමුවෙන් ශ්‍රී ලාංකේය සිනමාව සුරක්ෂා කරගනු පිණිස ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කරගැනීම තුළ නියාමන කොමිසමක් සකස් කර ගැනීමයි. දෙවනුව ශ්‍රී ලාංකේය සිනමා නිෂ්පාදනයට සම්බන්ධ වන ආයෝජකයන්ට හිතකාමී බෙදාහැරීමේ ක්‍රමවේදයක් ස්ථාපනය කර ගැනීමත් තුන්වෙනුව ඒ වනවිට රජයේ අවධානයෙන් මිදී ගොස් තිබුණු ශ්‍රී ලාංකේය සිනමා ප්‍රදර්ශනය සඳහා ඩිජිටල් තාක්ෂණවේදය හඳුන්වාදීම කඩිනම් කරගැනිමත් ඒ අරමුණු 3යි.

ඒ වගේම, ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයට පාදක වන ප්‍රමුඛ පරමාර්ථයක් තිබෙනවා. ඒ තමයි, ශ්‍රී ලාංකේය සිනමා අධ්‍යක්ෂවරයා සතු වන වෘත්තීයභාවය සහ එහි ප්‍රමිතිගත සම්මත සුරක්ෂිත කිරීම.

ශ්‍රී ලාංකේය සිනමාවේ සැබෑ කොටස්කරුවන් වශයෙන් දේශීය සිනමාවේ උන්නතිය අපේක්ෂා කරන ඔබ සැම ''DGSL සිනමාභිමාන 2023- අභිමංගල උළෙලට'' ආරාධනා ලබා සපැමිණ මේ ශාලාව සිසාරා කිසිදු තරාතිරමකින් තොරව සැබෑ කලාකාමී නිහතමානිත්වයෙන් අසුන්ගෙන තිබෙනවා.

ඒ අප්‍රමාණ නිහතමානීත්වයට හදවතින් ගෞරව දක්වමින් ඔබ සියලුදෙනාම හදවතට ළං කරගත් සැබැ සුහදත්වයෙන් යුතුව ''DGSL සිනමාභිමාන 2023- අභිමංගල උළෙලට'' ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය වෙනුවෙන්, ලේකම්වරයා වශයෙන් මම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. සුබම සුබ සිනමාස්වාදනීය උළෙලක එනම් ''DGSL සිනමාභිමාන 2023- අභිමංගල උළෙලට'' සමාරම්භයට අප සැම දැන් පැමිණ තිබෙනවා.

නික්ම ගිය මාර්තුවේ 17 වැනි සිකුරාදාවේ වර්ණවත් සන්ධ්‍යාවේ සමාරම්භය සනිටුහන් කරමින් සිනමාවේදී ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ ලේකම් ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර කළ කතාවේ උපුටාගත් තැන් කිහිපයක් එසේ සටහන් කර තබමි. මක්නිසාදයත් පැමිණි යම් දුර ගමනකත් එහෙත් යා යුතු වඩා දුර ගමනකත් අරමුණු බලාපොරොත්තු සියල්ල ඒ වචන තුළ හුස්මක් ගනිතැයි මට සිතුණ හෙයිනි.

සිනමාභිමාන සම්මාන උළෙලේදී ගෞරව සම්මානයේ පිදුම් ලැබූ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරුන් වන තිස්ස ලියනසූරිය, මහාචාර්ය සුනිල් ආරියරත්න, මාලිනී ෆොන්සේකා, සුගතපාල සෙනරත් යාපා, චන්ද්‍රන් රත්නම්, නීල් රුපසිංහ, සේන සමරසිංහ, හේමසිරි සෙල්ලප්පෙරුම, සුමිත්‍රා පීරිස්, ධර්මසිරි බණ්ඩාරනායක යන සිනමාවේදීන්ට සුබපැතුම් එක්කරමින් මෙවැනි සුවිසල් කර්තව්‍යයක ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය දෙවුර දැරු රන්ජිත් තාඹුගල මැතිඳුන් ඇතුළු අනුග්‍රාහකත්වය වෙනුවෙන් වගවූ සියලු පාර්ශ්වවලටත් ස්තූතියි...

මේ ඒ රාත්‍රිය වර්ණවත් කළ සිද්ධිදාමයේ දසුන් කිහිපයක්...

I සංජීවිකා
සේයා රු: චේතිය ළහිරු, ප්‍රවීන් ලෝචන සහ 
AMAAL ROSH PHOTOGRAPHY
(මාධ්‍ය සම්බන්ධීකරණය - උපුල් නිශාන්ත)