2023 මාර්තු 05 වන ඉරිදා

භාෂා දෙකක් ඉස්සරහා එකම නමක් - නිරංජනී ශන්මුගරාජා

 2023 මාර්තු 05 වන ඉරිදා, පෙ.ව. 06:00 171


නිරංජනී ශන්මුගරාජාගේ ජීවිතේ හරි අපූරු 'සප්‍රයිස්' තියෙනවා කියලා එයා එක්ක කතා කරද්දි අපිට හිතුණා. මෑතකදී නිරංජනීගේ ජීවිතේ ලැබුණු 'සප්‍රයිස්' එක තමයි හොඳම නිවේදිකාව ලෙසින් දමිළ භාෂාවෙන් වගේම සිංහල භාෂාවෙන් අංශ දෙකෙන්ම ඇයගේ නම නිර්දේශ වීම. ඇත්තටම ඇය කියනවා වගේම ඒක 'සප්‍රයිස්' එකක් තමයි.

''මම ජාතික රෑපවාහිනියේ නිවේදිකාවක් විදිහට එකතු වුණු මුල් කාලයේදී මට මේ තරම් සිංහල භාෂාවෙන් නිවේදන කටයුතු කිරීමේ හැකියාවක් තිබුණෙ නැහැ. මාත් එක්ක ජාතික රෑපවාහිනියේ හිටපු මගේම සිංහල යාළුවන් වන සිංහල වැඩසටහන් නිෂ්පාදකවරුන් මාව විශ්වාස කරලා මාව ඒ වැඩසටහන්වලට සම්බන්ධ කර ගත්තට මම ණයගැතියි. මම සිංහල භාෂාව වරද්දමින් කතා කරද්දි ඒ කිසිම කෙනෙක් මට හිනා වුණේ නැහැ. එයාලා මාව නිවැරදි කළා. එකම සම්මාන උළෙලකදි භාෂා දෙකටම හොඳම නිවේදිකාව විදිහට නිර්දේශ වීමම මට 'සප්‍රයිස්' එකක්. දෙමළ වෙලා සිංහල භාෂාව ඉගෙනගෙන, ලංකාවේ හොඳම සිංහල නිවේදිකාව විදිහට නිර්දේශ වෙන්න මට පුළුවන් වුණා නම් සිංහල නිවේදිකාවකට, නිවේදකයකුට දෙමළ භාෂාව ඉගෙනගෙන දමිළ නිවේදිකාවක් නිවේදකයෙක් වෙන්න බැරි නැහැ. මේ අංශයට මම ඉල්ලුම් කළත් මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. හැබැයි මට මේ වැඩසටහන ගැන යමක් කියන්න ඕනෑ වුණා. මේ වැඩසටහන දමිළ උගන්වන වැඩසටහනක්. ඒ දමිළ උගන්වන්නෙ සිංහල ගුරුවරියක්. දෙමළ කෙල්ලෙක් තමයි සිංහලෙන් නිවේදනය කරන්නෙ. 'Afterschool Tamil' කියන ඒ වැඩසටහන වෙනුවෙන් තමයි මම මෙවර සම්මාන උළෙලේ හොඳම සිංහල නිවේදිකාවට හිමි සම්මානයට නිර්දේශ වුණේ. නිර්දේශ වෙලා කියලා දුරකතනයෙන් කියද්දි මම ඒ උත්සවයට සහභාගි වුණේ දමිළ නිවේදන අංශයෙන් මාව නිර්දේශ වෙන්න ඇති කියලයි. කොහොම හරි වසරේ හොඳම සිංහල සම්ප්‍රවේශක කොටසට වගේම වසරේ හොඳම දමිළ සම්ප්‍රවේශක නිර්දේශ අංශ දෙකේම මගේ නම තිබුණා. ඇත්තටම ඒක මට 'සප්‍රයිස්' එකක්ම තමයි. ලංකාවේ මිනිස්සු ජාති භේදයකින් තොරව මට ආදරේ කරනවා කියලා කියන්න මීට වඩා උදාහරණයක් නැහැ.''

මගේ කැත මූණට වටිනාකමක්

''සිනමා පටයකින් මාව මුලින්ම 'ඉනිඅවන්' චිත්‍රපටයෙන් තමයි දකින්න ලැබුණෙ. ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ අශෝක හඳගම මහතායි. ඇත්තම කියන්නද.. ඉස්සර මගේ මූණ පුරා කුරුලෑ ඇවිත් මම හරිම කැතයි. මම හරි කළුයි. මාව මුලින්ම රිදී තිරයෙන් නිළියක් විදිහට දකිද්දි මගේ ඒ කැතවත්, මගේ පාට අඩුවීමවත්, දතේ කැතවත් ඔහු නිර්මාණයට අදාළ කර ගත්තෙ නැහැ. ඒ නිර්මාණවේදියා මගේ දක්ෂතාවයයි අදාළ කර ගත්තෙ. ඒ නිසා මුලින්ම 'ඉනිඅවන්' චිත්‍රපටයේ රඟපාපු මාව විශාල තිරයෙන් දකිද්දි මට පුදුම හිතුණා. ඒක මාව 'සප්‍රයිස්' කළා. මේ සමාජයේ අදටත් ලස්සනට වඩා දක්ෂතාවයට තැනක් තියෙනවා කියලා මම දන්නවා. ඒක මට සහතික කරන්න පුළුවන් හොඳම අවස්ථාව 'ඉනිඅවන්' චිත්‍රපටයයි. නිළියකගේ සුදු, ලස්සන, පැහැපත්, ප්‍රියමනාප බව එදා මගෙන් ලැබුණෙ නැති වුණත් මට ඒ චිත්‍රපටය ලැබුණා. ඒ කාලේ තිබුණු මගේ කැතවත්, පාට අඩුවීමවත්, කුරුළෑවත් සිංහල සිනමාවට අදාළ වුණේ නැහැ. ඒ දැක්ම මාව පුදුම විදිහට 'සප්‍රයිස්' කළා වගේම මාව ධෛර්යමත් කළා.''

දමිළ කෙල්ලෙක්ට ලැබුණු පළවෙනි සම්මානය ඒක

''ඉනිඅවන් චිත්‍රපටය මගේ මුල්ම සිනමා පටය වුණාට මම මුලින්ම සිංහල වේදිකා නාට්‍යවල රඟපාපු නිළියක්. යෞවන නාට්‍ය උළෙලේ පළාත් මට්ටමේ නාට්‍ය තරගයට මම දකුණු පළාත නියෝජනය කරමින් වේදිකා නාට්‍යයක රඟපෑවා. මට පළවෙනි වතාවට සිංහල නාට්‍යයක රඟපාන්න ලැබුණා. එදා මේ දෙමළ කෙල්ලට ලැබුණු අත්පොළසන් හඬ මාරයි. දකුණු පළාතේ හොඳම නිළියට සම්මානය ලැබුණෙ දෙමළ කෙල්ලකුටයි. ඒ මටයි. ඒකෙන් පස්සෙ තමයි 'ඉනිඅවන්' චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ. දකුණු පළාතේ තරගය දිනලා අවසන් තරගයේ වේදිකා නාට්‍ය රඟපාලා අපි ප්‍රතිඵල ලැබෙන තුරු වාඩිවෙලා බලාගෙන හිටියා. 2011 වසරේ වේදිකා නාට්‍ය හොඳම නිළිය වුණේ මමයි. අවුරුදු තිස් ගාණක යෞවන නාට්‍ය ඉතිහාසයේ සිංහල වේදිකා නාට්‍යයකට දමිළ කෙල්ලෙක්ට පළවෙනි වතාවට හොඳම නිළිය සම්මානය ලැබුණා. ඒ කෙල්ල මමයි. මහරගම තරුණ සේවා රඟහලේදි එදා මම සම්මාන ගනිද්දි ලැබුණු ප්‍රතිචාරය නම් මාරයි. මේ රටයි මේ සොබාදහමයි මේ රටේ ජනතාවයි මාව මේ තරම් අගය කිරීම මට පුදුම සතුටක්. දවසින් දවස ඒ ලැබෙන ආදරය වැඩි වෙනවා.''

පුබුදු නම කියද්දි හිතාගන්න බැරිවුණා...

මට මුලින්ම ආරාධනා ලැබුණු සිනමා සම්මාන උළෙලට මම සහභාගි වුණා. ඒ 2013 වසරෙදියි. තරු පිරිසක් මැද ආධුනික සිනමා නිළියක් විදිහට එදා මම මුලින්ම සම්මාන උළෙලට සහභාගි වුණා. ශ්‍රේෂ්ඨ කලාකරුවන් පිරිසක් මැද මේ දෙමළ කෙල්ල ගිහින් වාඩි වුණා. එදා 'ඉනිඅවන්' චිත්‍රපටයේ චරිතය වෙනුවෙන් හොඳම නිළිය විදිහට මමත් නිර්දේශ වෙලා හිටියා. ඒ අවුරුද්දෙ හොඳම නිළියට විදිහට නිර්දේශ වුණෙත් දමිළ නිළියන් තුන්දෙනෙක්. ඒ පූජා උමාශංකර්, යශෝධා රාධාක්‍රිෂ්ණන් සහ නිරංජනී ශන්මුගරාජා. නිර්දේශ නාම තුන නිවේදනය කරද්දි මම පූජා අක්කා දිහා බැලුවා. එදා නිවේදන කටයුතු කරපු පුබුදු අවසානයේදි මෙම වසරේ හොඳම නිළිය 'ඉනිඅවන්' චිත්‍රපටයේ නිරංජනී ශන්මුගරාජා කියද්දි මම 'සප්‍රයිස්' වුණා. මට හිතාගන්න බැරි වුණා දර්ශන් අයියා මගේ අතට ගහලා ''නැගිටපං උඹ තමයි හොඳම නිළිය.. පලයං'' කිව්වා. මගේ ජීවිතේ මේ හැම මොහොතක්ම ආශිර්වාදයක් කියලයි මට හිතෙන්නෙ.''

I දිශානි