2023 මාර්තු 05 වන ඉරිදා

සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා - ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

 2023 මාර්තු 05 වන ඉරිදා, පෙ.ව. 06:00 134

හැම දෙයක්ම එහෙමමය. හැම ගසකම දවසක් දවසක් ගාණේම අලුත් දල්ලක් උපදියි. හැම ගසකම දවසක් දවසක් ගාණේම අලුත් පොහොට්ටුවක් උපදියි... ඒ පොහොට්ටුව මලක් වී පෙති ඇහැරවයි. ඒ ගහ කොළ, ඒ පොළොව, ඒ සුළඟ සියල්ල එදා වාගේමයි... ඒත් ඔයා මම.. ඒ අසිරිමත් ගහ කොළ, දළු, මල් දිහා ඇස් දල්වාගෙන ඒ සියල්ල විඳින්න අද ඔයා මා ගාව නෑ... අපි දෙන්නා හමුවුණු මේ නගරය... අපි දෙන්නා අත් දෙක අල්ලාගෙන හිනා වෙවී ඇවිද්ද... මේ නගරය... 

ජීවිතය කියන මහා පුස්තකයේ එක්තරා චමත්කාරවත් පරිච්ඡේදයක් විතරයි...

සැර වෙද්දි මොහොතකටවත් අකමැති මම ඔයා සැරවෙච්ච හැම මොහොතකම කම්මුල් රතු කරගෙන ඇස් දෙකේ කඳුළු පුරවා ගනිද්දි,

පුංචි පුංචි රණ්ඩු අතරේ ඇස්වල කඳුළු පුරවාගෙන ඇස් දිහා බලාගෙන හිටපු මේ නගරයේ අහුමුළුවල, ඔයාගේ උරහිසට පහළින් වැළමිටට උඩින් ඔයාගේ අතේ මම එල්ලෙන්න ආසම තැන එල්ලීගෙන මේ නගරයේ හැම තැනකම ඇවිදලා ඇති... ඒත් ඔබ මුණගැසුණු නගරයම.. ඔබ මා වෙන් කෙරුණු නගරයම වෙච්ච ඉරණමක මගේ ඇස් අග්ගිස්සේ ආදරණීයම වූ සහ නොවූ ප්‍රේම කතාවක් අවසානයේ මට කියන්න ඉතුරු වුණේ එකම එක දෙයක් විතරයි.

මේ නගරය මා ඔබ මුණගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

තාමත් ඔයාට මතක නම් රිද්දුවත් රිදුණෙ නැති ගාණට ඉන්න හදපු හැම මොහොතකම මගේ ඇස් අග්ගිස්සෙන් එක කඳුළක් ඔහේ ගලාගෙන කම්මුලක් උඩට වැටිලා ඒ කඳුළු බිංදුව ඔයාගේ ඇඟිලි තුඩු අග්ගිස්සකට එහෙමත් නැත්නම් අත්ලක් මතට වැටෙනවා... මේ විසල් අහස යට මේ නගරයේ හැම තැනකම අපි අද නැතත් අපේ සුසුමන් රුඳී ඇති. අපි හමු නොවුණත් අපේ ඒ සුසුම් කොහේ කොහේ හරි තැන්වලදි මුණගැහෙනවා ඇති... සුසුම සුසුමින් දරාගෙන ඒ සුසුම් යළිත් ඉහිරි යනවා ඇති... අපි හමු නොවුණට අපි කතා නොකළට අපි කතා කරපු වචනවල, අපි බෙදාගත්ත ආදරේ කතන්දරවල ළාවට ළාවට ඉහිරිච්ච සංධ්වනියක්ම මේ ගහ කොළ, මල් අතර කොතන කොතන හරි රුඳිලා ඇති... අපි වෙන්වුණ නගරයේම තවත් දාහක් දෙනා ආදරයෙන් හමුවෙනවා ඇති.. තවත් සුවහසක් දෙනා අපි වෙන් වෙච්චි විදිහට වෙන්වෙලා යනවා ඇති... ‍

මේ නගරය මා ඔබ මුණගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

ඔයා දන්නවාද?

වැව් ඉවුරේ දිය රළ පෙර සේම දිලෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා
සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

කිසිවෙකුට නොපෙනෙන්න, කිසිවෙකුට නොදැනෙන්න යමුද අපි ආයෙත් ජීවිතය අප්‍රමාණව විඳගත්ත, දරාගත්ත ඒ සරසවි බිමට ආයෙත්... අ යන්නෙන් පටන්ගෙන ප්‍රේමයේ සාක්ෂරතාව මූර්ධජ මහාප්‍රාණ අකුරු දක්වා මම ඉගෙන ගත්තේ ඔයාගෙන්... ප්‍රේමය ව්‍යාකරණ වරද්දා වරද්දා ඒත් මනරම් අලංකෘත දිගේ මම ඇවිද්ද හැටි මතකද ඔයා එක්ක... අනේ ඉතින් ආදරය කියන්නෙ ආදරයමයි... ප්‍රේමය කියන්නෙ ප්‍රේමයමයි... ඒකමයි රිදුම් පිරිමැද ආදරයෙන් හමුවූ තැනට ආදරයෙන්ම සමුදෙන්න මට ඕනෑ වුණෙත්... ඒත් මම තවමත් ආදරෙයි ඔබට පෙම් කරපු ඒ සරසවි බිමේ හැම අහුමුල්ලකටම.. හැම හුදෙකලා බංකුවකටම... හිරු සඳු තරු යට ගෙවිච්ච හැම රාත්‍රියකටම. ප්‍රේමයේ මනරම් බව මට කියා දුන්නේ ඒ හැමදේම නෙවෙයිද... කියන්නකො ඒක එහෙමයි නේද? ආදරය දවටලා, ආදරය තවරලා මගේ නළලත ඔබ රුඳවූ හාදුවක තිබුණේ අක්ෂරයෙන් අක්ෂරය ඔයා මට එහෙම කියලා දුන්න ආදරයේ ආදරණීයම අනුහසක්.. ඉතින් කාලය ඔයාත් මාත් ජීවිතයේ ගං දෑල තනි කරලා කොච්චර ඈතකට ගලාගෙන ගියත් අනේ...

තාම මම මම හිතන්නේ ඔයාට ආදරෙයි

සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

කාලය ජීවිතයේ වැලිතලා දිගේ අපිව කොච්චර දුර ඈතකට අරගෙන ගිහින්ද? හැමදේම එහෙමමයි... ඔබත් මමත් ඇරෙන්න අනික් හැමදේම එහෙමමයි... 

ඈත ඈත මතක අස්සේ අපි අෙප්මයි අදටත්...
අහන්නකෝ...
ඇත්තටම ඒක එහෙම නේද?
ඒත් උත්තරයක් දෙන්න කෝ ඔයා ළඟ පාතක... 
ඒත් මේ විසල් අහස යට අපි දරාගෙන ඉන්න මේ පොළොව තුළ අපි අපේ නෙවෙයි...

ඔබ නැතුව ඔබ එක්ක
ගෙවමි හැම මොහොතක්ම
ආදරය කියන්නෙම
ඔබ රැඳුණු හුස්මකට

මම එහෙම හිතපු මට එහෙම දැනුණු දවස් තිබුණා...
ඒ ඈත දවස්වල...
ඒත් අද... ජීවිතයේ හැම දෙයක්ම කොච්චර වෙනස් වෙලාද?

ඔබ අත ගෙන ගිය වීදියේ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී යනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා හිතෙනවා

ජීවිතය ජීවත් කරවන්නේ, ජීවිතයට හුස්මක් දෙන්නේ ආදරය... ආදරයත් එක්ක ගැටගැහිච්ච බලාපොරොත්තු... බලාපොරොත්තු අස්සේ ඉපදෙන ප්‍රාර්ථනාවන්... ඒත් කාලය ඒ සමහර හීන, බලාපොරොත්තු, ප්‍රාර්ථනා අපේ තුරුල්ලෙන් උදුරා ගන්න හැටි... උදුරාගෙන අපි තනි කරන හැටි...

ජීවිතයම හීනයෙකැයි කියා හිතෙනවා...

    ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය සහ ගැයුම: මර්වින් පෙරේරා

I සංජු