2023 පෙබරවාරි 26 වන ඉරිදා

ඒ කාලේ මම පාරෙ ගියෙත් කවි කිය කියා නට නටා- දයානි පතිරණ හේමදාස

 2023 පෙබරවාරි 26 වන ඉරිදා, පෙ.ව. 06:00 384

නර්තනය කෙරෙහි ඇගේ ප්‍රේමයේ අක්මුල් විහිද ගියේ දුරාතීතයේ බොහෝ ඈත දවස්වලට වග ඇගේ මතක මට කියයි. කලා කුසලතා වනාහි හුදෙක් සංසාර කුසලයක් යැයි මම විශ්වාස කරමි. නර්තනය, කවිය ඈ නෙක ඉසව් කෙරේ ඇගේ ප්‍රේමය පිටුපසද එනයින් සංසාර කුසලයන්හි සේයාවන් නිතැතින්ම දැල් වී තිබෙනු ඇත.

මාතර කිරින්දේ ගමේ ගෙදරක උපන් දයානි පතිරණ ගේ තාත්තා අන්ද්‍රෙයාස් පතිරණ තම ආදරණීය දෙවැනි දියණිය ළඟ හිඳුවාගෙන පැරණි චිත්‍රපට සින්දු ගායනා කළේ ඒ චිත්‍රපටයෙහි කතාන්දරයද ඇයට වැටහෙන නුවණට සරිලන ලෙස කියා දෙමිනි. දයානිගේ ආදරණීය අම්මා කෝට්ටේවත්ත ගමගේ සෝමාවතී මෑණියන් ඒ ගමේ පුංචි ගෙදර සියලු යුතුකම් තම ආදරණීය ස්වාමියා හා දූවරු දෙදෙනාත් පුතුත් වෙනුවෙන් ඉටු කරද්දී ඒ තාත්තාගේ රැකවරණය දියණිය දයානිගේ හදවත කලාව කෙරෙහි යොමුකරන මං සෑදුවේය.

පුංචි කාලේ තාත්තා අපිට ගමේ පන්සලේ ජාතික කතා ඇසුරෙන් නාට්‍ය එහෙම පෙන්වද්දී බලන්න එක්ක යනවා. ඉතින් මම හරිම ආසයි ඒ නාට්‍ය දිහා බලාගෙන ඉන්න. පුංචි කාලෙ ඉඳන්ම ඒ නාට්‍ය බලලා ඒ නාට්‍ය රස විඳින්න මම පුරුදු වෙලා හිටියා. ජාතක කතා ඇසුරෙන් නිර්මාණය කරපු ඒ නාට්‍යවල පුදුම නාට්‍ය රසයක් තිබුණේ.

මගේ තාත්තාට පරණ චිත්‍රපට ගැන හොඳ දැනුමක් තිබුණා. ඇත්තටම එයාට ලස්සනට ඒ චිත්‍රපට ගීත ගයන්නත් පුළුවන්. තාත්තා එහෙම චිත්‍රපට සිංදු කියද්දී අක්කටත් මල්ලිටත් වඩා ඒ චිත්‍රපට ගීත රසවින්දේ මම. ඒ කලාව ගැන ඇල්මක් මගේ හිතේ පුංචි කාලයේ ඉඳන්ම තිබුණු නිසා වෙන්න ඇති. තාත්තා චිත්‍රපට සින්දු කියද්දී ඒ සින්දුවට අදාළ රූපරාමු මගේ ඇස් ඉස්සරහා මැවිලා පේනවා. ඒ ආදරණීය අතීතයක මතක ශේෂ අතර එක් මතකයක් පමණි.

මාතර කිරින්දේ කණිෂ්ඨයටත් පසුව පුහුල්වැල්ල මහා විද්‍යාලයටත් එතැනින් උසස්පෙළ උගනින්නට මාතර සුජාතා බාලිකාවටත් ගිය දයානි ගමේ කලායතනයේ නැටුම් හදාරන්නට ගියේ පුහුල්වැල්ල මහා විද්‍යාලයේ අකුරු උගන්නා සන්ධියේදීය.
ගමේ කලායතනයට මාව ගෙනිහින් බාර දුන්නෙත් තාත්තා. මම හරි ආසාවෙන් තමයි කලායතනයට ගියේ. ඉස්සර ගමේ කලායතනයේ එක් එක් සංදර්ශන තියෙනවා. උඩරට පහතරට නැටුම් මම ඒ කලායතනයේ ඉගෙන ගත්තා. මගේ අම්මා හරිම ආදරණීයයි. හරිම කාරුණිකයි. අසල්වැසියන්ට නෑදෑයින්ට වුණත් ඒ කරුණාව එහෙමමයි. ඒ වගේම අපේ ජීවිතවල හැමදේකදීම එයා මහා හයියක් මඟ පෙන්වීමක් වෙලා ළඟින් හිටියා. තාත්තා වගේම අම්මාත් කලාව කෙරේ මට තියෙන ඇල්ම හැකියාව තේරුම් අරගෙන හිටියා. 

ගමේ කලායතනයට යන කාලේ අපි සංදර්ශනවලට එහෙම යද්දි වෙනමම ඇඳුම් කියලා තිබුණේ නෑ. ඇඳන් යන අඳුමටම උඩින් මොකක් හරි ගැලපෙන එකක් ඇඳලා නටනවා අපි. මට මතකයි ජසයා සහ ලෙන්චිනා නාට්‍ය රඟදක්වද්දී මම හිටියේ ලෙන්චිනාට. මම ඒ කාලේ නාට්‍යවලට කොච්චර ආසද කියනවානම් මම ඒ කාලේ පාරේ යන්නෙත් කවි කිය කියා. හයියෙන් ලස්සනට කවි කිය කියා පාරේ යන්නට තරම් මම කවියට කලාවට නාට්‍යයට ආසයි. ඇත්තටම මට ලස්සනට ජනකවි ගයන්න පුළුවන්.

චිත්‍රපට ගීත, වෙස්සන්තර ජාතකයේ කවි, පද්‍යරසයේ කවි, පත්තිනි හෑල්ල ඒ දවස්වල මම හරි හයියෙන් කියනවා. පත්තිනි හෑල්ලෙ කවි කියන්න මම ඒ කාලේ හරි ආසයි. තාත්තා ඔය කවි ඔක්කොම කියද්දී මම තාලෙ අල්ලා ගන්නේ තාත්තාගෙන් තමයි. තාලෙ ලස්සනට අල්ලගෙන මම ඊටපස්සේ ලස්සනට ඔය කවි කියනවා. අපි මාතර නිසා ගමේ කලායතනයේ හුඟක් ඉගැන්නුවේ පහතරට නැටුම්.

පාරේ යද්දි කවි කිය කියා විතරක් නෙවෙයි නට නටා යන්නෙ ඒ කාලේ මම. කලායතනයට යන කාලය වෙද්දි කවියයි නැටුමයි ඒ තරමටම ඇගේ ජීවිතයේ හුස්මක් වී තිබූ වග ඇය කියන්නේ එලෙසිනි.

පෙතන්ගහවත්ත ජීවන කලායතනයට ඇය ගියේ ඉනික්බිතිවය. දුලවංශ ගුණවර්ධන ගුරුතුමාගෙන් එකල නර්තනය හැදෑරෑ දයානි නැටුම් ප්‍රාරම්භ විභාගයට ලෑස්ති වූයේද ඒ කාලයේදීම ය. එදවස එහි පෙරදින තූර්යවාදක කණ්ඩායමේද නායිකාව ලෙස කටයුතු කළ ඇය සෑම ඉරිදාම වෙන් කළේ කලායතනයේ නර්තනය හැදෑරීම සඳහාය.

කිරින්ද පෙතන්ගහවත්ත පුරාණ රජමහා විහාරයේ ඉරිදා දහම් පාසල් අධ්‍යාපනය සඳහා ගිය ඇය ධර්මාචාර්ය විභාගය තෙක් එහි අධ්‍යාපනය ලද්දාය.

මට මතකයි මම ධර්මාචාර්ය විභාගය ලියද්දි මාත් එක්ක ඒ විභාගය ලීවේ තවත් හාමුදුරුවරුන් දෙදෙනෙක් විතරයි. දහම් පාසල කියන්නෙත් ඇත්තටම මගේ ජීවිතේ සුවිශේෂී තැනක්. දහම් පාසලේදී පද්‍ය රචනා, කථික, දහම් දැනුම කියන තරග ඉසව් තුනෙන්ම දිස්ත්‍රික්ක තරග දක්වාම ගියා. කිරුළපනේ සරණංකර හිමි තමයි ඒ කාලයේ පෙතන්ගහවත්ත පන්සලේ නායක හාමුදුරුවන් විදිහට වැඩ හිටියේ.

උසස් පෙළ කරන්න මාතර සුජාතා බාලිකාවට යන කාලෙදිත් මම ඉරිදට කලායතනයට යන ගමන කවදාවත් මඟ හැරියේ නෑ. ඇත්තටම මම නර්තනය වගේම ක්‍රීඩාවටත් හරි ආසයි. ගමේ ඉද්දි මම වොලිබෝල් ක්‍රීඩාව කළා. මට වොලිබෝල් ගහන්න පුරුදු කළේ තාත්තා. තාත්තා මට ඔට්ටුපාලුවලින් බෝලයක් හදලා දුන්නා වොලිබෝල් ගහන්න. ඒකෙන් බෝල ගහද්දී අත රිදෙනවා. ඒ වගේම මම එල්ලෙ ක්‍රීඩාවත් කළා. එල්ලෙ ගහන්න තාත්තා මට බැට් එක හදලා දුන්නේ උණ බටයකින්. මම එල්ලෙ ගහද්දි වමට දකුණට දෙකටම ක්‍රීඩා කරනවා. ඒක එල්ලෙ ගහන හුඟක් අයට නොහැකි වුණත් මට ඒ හැකියාව තිබුණා.

ඒත් මාතර සුජාතාවට යද්දි මම යොමුවුණේ දැල්පන්දු ක්‍රීඩාව කරන්න. නමුත් ගමේදී වොලිබෝල් ගහපු පුරුද්දට සහ ආසාවට මම එහේදීත් දැල්පන්දු ගහන බෝලයෙන් වොලිබෝල් ගැහුවා. ඒ කැමැත්ත හා ආසාව මාතර සුජාතාවෙහිද වොලිබෝල් ක්‍රීඩාව ස්ථාපිත වීම දක්වා දුරකට රැගෙන ගියේය. 

ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වූයේ ගමේ ඇති කළ යෞවන සමාජයයි. ගමේ යෞවන සමාජය හරහා මම ක්‍රීඩාවෙන් වගේ නැටුමෙනුත් ඉදිරියටම ගියා. කඹුරුපිටිය තරුණසේවා නිලධාරි විදිහට හිටපු ශාන්ත ජයවර්ධන සර්ගෙන් තමයි අපිට මඟ පෙන්වීම ලැබුණේ. ඒ සර් යෞවන සමාජය වෙනුවෙන් පුදුම කැපවීමකින් කටයුතු කළේ. අපි පුහුණුවීම් සඳහා පිට්ටනියට ගියාම සර් කවදාවත් අපිව පිට්ටනියේ තනිකරලා ගියේ නෑ.

ඇත්තටම මම බෙල්වුඩ් සහ හෙයියන්තුඩුව දෙකටම අයදුම් කළේ මුලින් ආව එකට ඉගෙනීම සඳහා යන්න හිතාගෙන. එක්කෝ නැටුම්...  එක්කො ක්‍රීඩා... ඉස්සරලම ආවේ බෙල්වුඩ්... ඒ උසස් පෙළ ලියන කාලේ. බෙල්වුඩ් යන්න පළමු සම්මුඛ පරීක්ෂණයෙන් මම තේරුණා. දෙවෙනි සම්මුඛ පරීක්ෂණය කැඳවද්දී මම උසස් පෙළ ලියනවා. ඒ නිසා ලියුමකින් ඒ බව දැනුම්දීලා වෙනම දිනයක් ඉල්ලාගෙන මම ඒ සම්මුඛ පරීක්ෂණයට ගියා. ඒ 1985දී. අවුරුදු තුනේ නැටුම් ඩිප්ලෝමා පාඨමාලාවක් සඳහා තමයි මම බෙල්වුඩ් ගියේ. ඒ යන්න ඉස්සර 1984දී මට නිලාවේලිවල පුහුණු වැඩසටහනකට යන්න ලැබුණා. ලංකාවේ තරුණ තරුණියන් එකසිය පනහක් සහභාගි වූ ඒ වැඩමුළුවට යද්දි මම පාසල් ශිෂ්‍යාවක්. තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චරිත රත්වත්තේ සර් මම හඳුනාගත්තේ ඒ වැඩසටහනේදී. 

නිහාල් ගම්හේවා සර් තමයි බෙල්වුඩ්හි සංගීත උපදේශකවරයා වුණේ. නර්තන උපදේශිකාව වුණේ කුසුම් වික්‍රමසූරිය මිස්. 1986දී අපිට පුළුවන් වුණා හොඳම බෑන්ඩ් එක විදිහට සම්මානයට පාත්‍රවෙන්න. පිරිමි ළමයි දෙන්නෙක් සහ ගැහැනු ළමයි 44ක් හිටියා ඒ කණ්ඩායමේ. ඒ හතළිස් හතර දෙනාටම ඇඳුම් මැහුවේ අපි පස් දෙනෙක්. 1988 දී මම ලලිතකලාවේදී ඩිප්ලෝමාව සම්පූර්ණ කළා.

ලලිත කලාවේදී ඩිප්ලෝමාව ලද ඇගේ ගමනේ ඊළඟ තීරණාත්මක හැරවුම වූයේ නැටුම් කණ්ඩායම් උපදේශකවරිය ලෙසත් සහකාර තරුණ සේවා නිලධාරිනියක ලෙසත් ලද තනතුරයි. නැටුම් කණ්ඩායම සමඟ යුරෝපා සහ ආසියානු රටවල් 20කට විතර යන්න මට පුළුවන් වුණා. ඇත්තටම එහිදී මම නැටුම් කණ්ඩායම බලා ගැනීමේ වගකීමත් එහි නර්තන ශිල්පිනියක් ලෙස රංගනයේ යෙදීමේ වගකීමත් දෙකම බාරගත්තා. ඇත්තටම බෙල්වුඩ් ඉන්න කාලයේ නර්තනය හැරුණු විට එක දවසක් අපිට එහි වත්තේ වැඩකරන්න, තව දවසක් කුස්සියේ වැඩ කරන්න, ලූණු එළවළු සුද්ද කරන්න මේ වගේ වැඩ පැවරිලා තිබුණා. ඒ කාලය ජීවිතයට හුඟාක් දේවල් එකතු කරගත්තු කාලයක්.

1991දී මම බෙල්වුඩ්වලට සමුදෙද්දී අපේ නැටුම් කණ්ඩායම සාක් සමුළුවට යන්න සූදානම් වෙනවා. මගේ විවාහයට සති තුනක් තියෙද්දී මම ඒ ළමයින්ට සාක්සමුළුවට ගිහින් නටන්න ඇඳුම් මහලා දෙන්න ගියා. සංස්කෘතික අංශභාර ශ්‍රියා ධනන්සූරිය සර්, ජානක පුෂ්පකුමාර අයියා එතෙන්දි මට ලොකු උදව්වක් වුණා. විවාහයෙන් පසු මැලේසියාවට ආවට පසුත් මම එහි ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වී මෙහේ උත්සව ආදිය පැවැත්වෙද්දී සංස්කෘතික අංග සංවිධානය කළා. ඒ හැමදේම කළේ නොමිලේ. දුව ලැබෙන්න ඉද්දි මගේ කුසට මාස පහක් වෙලා තියෙද්දිත් මම රටවල් පහක සහභාගීත්වයෙන් මැලේසියාවේ පැවැත්වූ සංදර්ශනයකදී පූජා නැටුම නැටුවා... දුවට මාස තුනක් වෙද්දි දුවත් අරගෙන ගිහින් ඒ රටේ දරුවන්ව සංදර්ශන සඳහා සූදානම් කළා. ඒ හැමදේකදිම මගේ මහත්තයා මගේ ළඟ සිටියා.

මගේ මාමා වූ කිරින්දේ ශ්‍රී ධම්මානන්ද නායක හාමුදුරුවෝ එදා දුන් ආශීර්වාදයම මගේ මල්ලි වුණ කොළඹ හුණුපිටිය ගංගාරාමවාසී ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන්ගෙනුත් ඒ වැඩවලදී මට ලැබුණා. මම වගේම මගේ දුවත් නර්තනය පැත්තට යොමුවුණා. ඇය භරත නැටුම් හැදෑරුවා. ඇය නිරෝෂනී රංගනා. දැන් ස්කොට්ලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරියක්. අවුරුදු පහේ සිට භරත නැටුම් හැදෑරූ ඇය අවුරුදු 20දී ඇගේ අරංගේත්‍රම් දැක්ම කළා.

මගේ පුතා ධනින්ද ලක්රුවන් ශ්‍රී ලංකාවේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. මැලේසියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ මේ වනවිට පුතා උසස් අධ්‍යාපනය හදාරනවා.

පියතිස්ස ගමගේ සර්, නිහාල් ගම්හේවා සර්, කුමාරි ගලගොඩ මිස් ඇතුළු මම මුලින් සඳහන් කළ මට හමුවූ සෑම ගුරුවරයෙක්ම, ගුරුවරියක්ම බෙල්වුඩ්වලදී උදව් කළ රියදුරු, නේවාසික පාලිකාවෝ ඇතුළු හැමදෙනාමත් මම මතක් කරන්නේ හරි ආදරෙන්...

සතුට ඇත්තේ ගමනේ කෙළවර නොව යන මඟ දෙපසය... ඒ වග ඇගේ ජීවිතයෙන් ඈ අප වෙත සපයන සංනිදර්ශන සුන්දරය. ඉතින් සොඳුරු දිවිසැරියකට හදසර සුබපැතුම්...

මොනිකා සේරසිංහ