2023 පෙබරවාරි 05 වන ඉරිදා

ඩොලර් මැද තැලෙන පොඩිවෙන මනුස්සකම් ගැන කතාවක් ඩොලර්

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:00 264

ජීවිතය යනු අප ඉල්ලා හිඳින, අපට අවැසි සියල්ලෙන් පරිපූර්ණත්වයට පත් වූ සරල අත්දැකීමක් නොවේ. එහෙයින්ම නිශ්චිත රාමුවක් තුළ රාමුගත කළ හැකි ප්‍රපංචයක් නොවන ජීවිතය යනු නිර්වචනයක් ඔස්සේ පැහැදිලි කළ හැකි සංකල්පයක් ද නොවේ. නිශ්චිත වර්ණයකින්, හැඩයකින්, සුවඳකින් වියුක්ත වූ ජීවිතයට රිද්මයක් එක් කරන්නේ මනුෂ්‍යත්වය හා යාවී හදවතේ ඉපදෙන සොඳුරු මනෝභාවයන්ය. එවැනි සොඳුරුතාවලින් ජීවිතයේ අතු අගිසි මත හෝ මලක් නූපදින දවසක ජීවිතය කියන්නේම රළු බිමක් වග අමුතුවෙන් කිව යුතු නොවේ. එවන් වූ සත්‍යයක් තුළ සෞන්දර්යාත්මක, සැනසිලිදායක, නිදහසේ හුස්මක් රැඳෙන හීන හොයාගෙන රළු බිම් මත ඇවිද යන මිනිසුන්ගේ කතාවක් ලෙස ඩොලර් සිනමා රූපකාරකය අර්ථ ගන්වන්නට මම කැමතිය.

ඩොලර් සිනමා රූපකාරකය නිමැවුණේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ස්ථාන 40ක් කේන්ද්‍ර කර ගනිමිනි. ඔස්ට්‍රේලියාවේ ජීවත්වෙන එහි ස්ථිර පදිංචිය ලත් සහ නොලත් ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ එකමුතුවෙන් නිර්මාණය වූ ඩොලර් චිත්‍රපටයේ තිර රචක සහ අධ්‍යක්ෂ භූමිකාවට හුස්මක් දුන්නේ චන්දිම ජයනෙත්තිය. ශ්‍රීනාත් මද්දුමගේ, භානුක මනෝරත්න, ඉන්දික ඩොනල්ඩ් වැනි රංගනයට ආගන්තුක නොවන පිරිසක් මෙන්ම රංගනයට ආගන්තුක පිරිසක්ද ඩොලර්හි සාර්ථකත්වය වෙනුවෙන් දෙවුර දරා ඇති වගකීම සැබැවින්ම ප්‍රශංසනීය වෙයි.

ලොව කොහේ කෙතැනක ජීවත් වුවත් ජීවත් වීම තුළ අත්විඳිය හැකි වන්නේ සොඳුරු හමුවීම්, ගනුදෙනු, බෙදාහදා ගැනීම් පමණක්ම නොවේ. මානව ස්වභාවයේ ප්‍රකෘතිය තුළ මිනිසා යනු කළු සුදු අළු වර්ණවලින් සන්නද්ධ සිතුවිලි පරාසයන්හි සම්මිශ්‍රණයකි. ඒ සම්මිශ්‍රණය තුළ සුදු වර්ණය කළු අළු වර්ණ යටපත් කරමින් ඉස්මතු වී තැවරුණු හෘද සාක්ෂියක් සහිත මානව ජීවිතයන්හි ගැඹුර විනිවිද ආදරය, ප්‍රේමය, සහකම්පනය වැනි මානවීය ධර්මතා දෝර ගලා යයි. ප්‍රිය හැඟීම් තුළ ජීවිතය වින්දනය කළ හැකි ඉසව් හමුවන්නේ එවැනි මානුෂවාදී ප්‍රවේශයකින් ජීවිතය විවරණය කරගත් මිනිසුන් හමුවේ වුවත් ඒ හමුවීම් යනු අද්‍යතන සමාජ යථාර්ථය තුළ සුලභ යථාවක් නම් නොවේ.

සිනමා රූපකාරකයක් යනු යම් ප්‍රස්තුතයක් කේන්ද්‍ර කර ගනිමින්, ඒ ප්‍රස්තුතය විනිවිද දකිමින්, එහි සියුම් භාවයන් ඉසියුම් ලෙස අතික්‍රමණය කරමින්, නිර්මාණශීලී චින්තනමය ප්‍රවේශයක් තුළ සත්‍ය විනිවිද දැකිය හැකි දිශානතියක් ඔස්සේ මෙහෙයවන නිර්මාණාත්මක වෑයමකි. ඒ වෑයම නිර්මාණශීලී කියවීමක් බවට පත් කළ හැකි වන්නේ තාක්ෂණය යන කාරණාවට පමණක් නොවේ. ඇස් පිහාටුවක් සසැලෙන රිද්මය පවා ඒ කියවීමට අයිතිය. වාචික මෙන්ම නිර්වාචික සන්නිවේදනයන්ද සිනමා සිත්තමක් තුළ ප්‍රබල වෙයි.

සිනමා රූපකාරකයක් තුළ හුදෙක් වචනවලින් නිමැවුණු දෙබස් යනු දුර්වල සන්නිවේදනමය ප්‍රවේශයක් වන අතර හැඟීම් ධ්වනිත කළ යුත්තේ නිර්වාචික ද්වාරයන් ද ඔස්සේය. එහිදී වර්ණ, අංග රචන භාවිතය, සංකේත භාවිතය, රූප රාමුවෙන් රාමුවට නොබිඳෙන රිද්මය, සංගීතය තුළින් මවන භාවමය පසුබිම මේ සියල්ල එකකට එකක් පෑහෙමින් ගොඩනගනු ලබන තාලමය සම්මිශ්‍රණය අතිශය වැදගත් වේ. චන්දිමගේ පළමු සිනමා අත්දැකීම වූ ඩොලර් හි යම්තාක් දුරකට ඒ රිද්මයන් සටහන් වී ඇති අතර වඩාත් පොහොසත් අනාගත සිනමාමය කියවීමක් ඔහු සතු වගට ඩොලර් සංනිදර්ශන සපයයි.

ජීවිතය සහ ජීවත් වීම යනු දෙයාකාර ද්වාරයන් වේ. ජීවත් වීම තුළ හුස්මක් වැටෙන නිසා ජීවත් වෙන මිනිසුන් අතරෙහි හුස්මක් ගන්න නිසා ජීවත් වෙන මිනිසකු වීම යනු ජීවිතයේ සෞන්දර්යාත්මක මාත්‍රාවන් විශාල වශයෙන් අත්දකින පසුබිමක නිමැවුමයි.

ඩොලර්, රුපියල්, නොඑසේ නම් කවර මුදල් ඒකකයක් වේවා ජීවිතයේ අංක එක බවට පත්වූ, ආධ්‍යාත්මික අවශ්‍යතා අභිබවමින් භෞතික අවශ්‍යතා ජීවිතයේ අංක එක බවට පත්වූ අද්‍යතන තාක්ෂණවාදී, පාරිභෝගිකවාදී, වැඩවසම්වාදී සහ අතිශය ආත්මාර්ථකාමී පොදු සමාජ තුළ අප අත්විඳින කටුක නීරස රළු පරළු අත්දැකීම් සමුදායක් සිනමාමය කියැවීමක් තුළ ගෙනහැර දක්වන්නට චන්දිම දැරූ මානුෂවාදී සහ සෞන්දර්යාත්මක ප්‍රයත්නය සැබැවින්ම ප්‍රශංසනීය වෙයි.

සිහින මැද ජීවිත සොයාගෙන යනෙන මඟදී හමුවන ලේ ගලන වේදනාත්මක මතක ඔබත් අත්විඳ ඇත්නම් මගේ කතාවත් මෙතන තියෙනවා වැනි හැඟීමක් ඔබ තුළ ක්ෂණයකින් ජනිත වෙන්නට පුළුවන. කලාව යනු සත්‍ය හා මිත්‍යාව තුළ දිගහැරෙන ප්‍රබන්ධයක් ලෙස අර්ථ ගැන්වුණත් සත්‍යවාදී අනුභූතියක් තුළ දිගහැරෙන සංවේදනාත්මක නිර්මාණයක් ලෙස අත්‍යන්තයෙන්ම ඩොලර් මගේ කියැවීම තුළ සටහන් වෙයි.